පුරවැසියනි,
දුවේ පුතේ,
වර්ග කිලෝමීටර් 65610ක තරම් විශාලත්වයක් තිබෙන ශ්‍රී ලංකාව එහි විශාලත්වයේ කුඩාබව අභිබවා ලෝක ඉතිහාසයේ ඉතා වැදගත් රාජ්‍යයක්ව පැවති බවට ඓතිහාසික වාර්තා තිබේ. එය අවුරුදු දහස් ගනනක් තිස්සේ ආසන්න භාරත දේශයෙහි පැවති හිඟන රාජ්‍යවල නිරන්තර ආක්‍රමන හා කැරලිවලටත් ඉන්පසු අධිරාජ්‍යවාදී පෘතුග්‍රීසි ලන්දේසි හා ඉංග්‍රිසි රාජ්‍යවලට ම්ලේච්ඡ ආක්‍රමනවලටත් ගොදුරුව අද වන විට සිංහල ස්වදේශික වෙන්දේසි පාලකයන්ගේ ග්‍රහනයට හසුව තිබේ.
ඓතිහාසිකව විවිධ සමාජ ආර්ථික දේශපාලනික විපර්යාසයන්ට හසු වෙමින් අද වන විට අපේ රට දෙවන ජනරජ ව්‍යවස්ථාව යටතේ පවතින රාමුව තුල 1979 වසරේ සිට පාලනය වෙමින් පවතී. මෙම ව්‍යවස්ථාවෙහි සාධනීය ලක්ෂණ ගනනාවක් පැවතියත් අද රටේ පවතින සියලු ප්‍රශ්නවලට මුලද මෙම ව්‍යවස්ථාවම බව පසක් වන්නේ ව්‍යවස්ථාවෙන් ස්ථාපිත දේශපාලන ව්‍යුහයන් හා පාලන ක්‍රමවේදය හොරකමට, අකාර්යක්ෂමතාවට, හා දූෂනයට විශාල ලෙස අනුග්‍රහ දැක්වීමයි. මේ සම්බන්දයෙන් ඕනෑ තරම් කතිකා පසුගිය දශක කිහිපය මුලුල්ලේ සිදු වී ඇති නිසා, ඒ ගැන වැඩිමනත් ඉදිරිපත් කිරීම නොකළ මනාය.
මේ සියලු අත්දැකීම් පාදක කරගනිමින්ද, ලෝකයේ විවිධ ක්ෂේත්‍ර තුල සිදු වී ඇති දැවැන්ත දියුනුව හා වෙනස්කම්වලට ගැලපෙන අයුරින් පහත අභිමතාර්ථ ක්ෂාත් ක්ෂාත් කරගනු පිනිස රට තුල සමස්ථ සමාජ ආර්ථික දේශපාලන ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව අවිවාදිතය.
යෝජිත ප්‍රතිසංස්කරණ
1.
රාජ්‍යයක් භූමිය පදනම් කර ගනිමින් එම භූමිය තුල
වෙසෙනන මිනිසුනුත් එම භූමියට සවි වූ සියලු දෑත් යැයි පිලි ගත්තත්, ව්‍යවස්ථාව
තුලින් හෝ වෙනත් නීතියක් තුලින් හෝ එම තත්වය නීතිමය පිලිගැනීමකට ලක් කර නැත.
එනිසා, එහි මිනිසුන් මෙන්ම එහි වෙසෙන සතා සිව්පාවා, ගහකොල මෙන්ම පරිසරයද රාජ්‍යයේ
වැදගත් අත් නොහල යුතු අංග බවට උසස් මිනිසුන් ලෙස අප විසින් පිලි ගත යුතුව ඇත.
2.
පරිසරය ගැන අවධානය යොමු වන සෑම අවස්ථාවකදීම
“තිරසාර සංවර්ධන“ (sustainable development) යන
සංකල්පයට යටත් කොට ඒ ගැන තීරණ ගැනීම අද ලෝක ප්‍රවනතාව බවට පත්ව ඇත. අනාගත මිනිස්
පරම්පරාවලට පරිසර සම්පත් හිමිකර දෙමින් දැනට සිටින අප විසින් පරිසර සම්පත් අරපරිස්සමින්
භුක්ති විදිය යුතු බව ඉන් කියයි. එහෙත් එය කිසිසේත් එසේ විය යුතු නැත. මිනිසා
වැදගත් වන්නා සේම පරිසරයද එලෙසම වැදගත් වේ. එනිසා පරිසරය ආරක්ෂා විය යුත්තේ අපගේ
ප්‍රයෝජනය සඳහාම නොව පරිසරය ආරක්ෂා විය යුත්තේ පරිසරයම වෙනුවෙනි. මෙම සංකල්පය “ස්වභා
අයිතිය (natural eco right)“ ලෙස අපි හඳුන්වමු. එනිසා පරිසරය පරිසරය සඳහාම
ආරක්ෂා කර දෙන ප්‍රතිපත්ති හා නීති රාමුවක් සේම එවැනි සහජීවන සංවර්ධන මාදිලියකට
යොමු වූ සමාජයක් සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඇති කර ගත යුතුය.
3.
රාජ්‍ය පාලනය යනු තනි පුද්ගලයකු හෝ තනි න්‍යෂ්ටිගත
හෝ විශෘත පවුලක් විසින් සිදු කල යුත්තක් නොවේ. එය අනිවාර්යෙන්ම රාජ්‍යය තුල සිටින
විවිධ සමර්ථ පුද්ගලයන් සමූහයක් විසින්ම සිදු කළ යුතුය. එනිසා ඒකාධිපති හෝ පවුල්
පාලනයක් රට තුල ඇති නොවන පරිදි නීති ප්‍රතිසංස්කරන අවශ්‍ය කෙරේ.
4.
රාජ්‍යය විසින් පුරවැසියන් හා වෙනත් පුද්ගලයන්
වෙනුවෙන් සිදු කරන වගකීම්, රාජකාරි, හා කාර්යන් විශාල පරාසයක් පුරා පැතිර පවතින
අතර, එම සේවා අද පවතින අන්තර්ජාල හා සන්නිවේදන තාක්ෂණයේ ඇති දියුනු මෙවලම් තුලින්
ඉතා පහසු ඉතා ලාභදායක හා ඉතා ඵලදායි ලෙස රාජ්‍ය විසින් ලබා දිය හැකි වන පරිදි
සමස්ථ රාජ්‍ය යාන්ත්‍රනයම පුලුල් ප්‍රතිසංස්කරණවලට ලක් කල යුතුය. විශේෂයෙන් විද්‍යුත්
රාජ්‍ය ක්‍රමවේදය ක්‍රියාත්මක කළ යුතුය.
5.
ජනතා බදු මුදල් හා රාජ්‍ය මුදල් ඉතාම වගකීමෙන්,
විනයකින්, හා විනිවදභාවයකින් සිදු කිරීමට බල කරන දැඩි නීති ප්‍රතිසංස්කරණ අවශ්‍ය
කෙරේ.
6.
රාජ්‍ය පාලකයන්, රාජය නිලධාරින්, මෙන්ම පොදු ජනයා
තුලින්ද දූෂන හා අල්ලස ඉවත් කරන ප්‍රතිසංස්කරණ අවශ්‍ය කෙරේ. තවද, දූෂන හා අල්ලස්
විරෝධී ආකල්ප රටේ මහා සංස්කෘතික අංග ලෙස දියුනු කළ යුතු වේ.
7. විචාරවත්, විනයවත්, හා තාර්කික මිනිසුන් ඇති වනු පිනිස අධ්‍යාපනික හා සමාජික ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කර ක්‍රියාවට නැංවිය යුතු අතර, ස්වභාව ධර්මයට හා කලාවට ප්‍රියබවද වැඩි දියුනු වනු පිනිස අවශ්‍ය වටපිටාව බිහි කිරීමද කළ යුතුය.
8.
විධායක බලය හැකි තරම් ජාතික මට්ටමේ සිට ප්‍රාදේශික
මට්ටම දක්වා පුලුල් ලෙස බෙදා දිය යුතුය. ඇත්තටම කුඩා රටකට ව්‍යවස්ථාදායක බලය බෙදා
දීම ප්‍රායෝගික නැත. විධායක බලය පුරවැසියාට ආසන්නම අධිකාරිවලින් ක්‍රියාත්මක විය
යුතුය.
9.
මූලික අයිතිවාසිකම් පුලුල් විය යුතු අතර, පුද්ගල
නිදහස සුදුසු පරිදි උපරිම අන්දමින් භුක්ති විදිය හැකි පරිසරයක් පැවතිය යුතුය.
පුරවැසියා සතුව පරමාධිපත්‍ය පවතින බැවින්, පුරවැසියාගේ ගරුත්වය හෝ අයිතිවාසිකම්
අවමානයට ලක් වන පරිදි විධායක, ව්‍යවස්ථාදායක හෝ අධිකරණ බලය ක්‍රියාත්මක නොවිය
යුතුය. විශේෂයෙන් අධිකරණය විසින් අත්තනෝමතික යම් බලයන් ආරෝපනය කර ගෙන පුරවැසියා
දෙවැනි පංතියේ පුද්ගල මට්ටමකට ලක් වී තිබෙන බවක් පෙනේ. එනිසා උසාවි අපහස නීතිය වහම
සුදුසු ලෙස සීමාවලට යටත් කළ යුතුය. තවද, අධිකරණ පද්ධතියම විධායකයේ හෝ වෙනත්
අධිකාරියක බලපෑමට යටත් වීම නැති කර අධිකරණ සත්‍ය ලෙසම වගකීම් සහිත ස්වාධීනව කටයුතු
කල හැකි ප්‍රතිසංස්කරණ අවශ්‍ය කෙරේ.
10.
නීතියේ ආධිපත්‍ය උපරිමව පවතින මෙන්ම නීතිය
යුක්තියෙන් දුරස් නොවන පරිදි පවත්වාගෙන යෑමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය
යුතුය.
11.
ක්‍රියාපටිපාටි නීති (procedural laws) රෙගුලාසි ලෙස පවත්වාගෙන යා යුතු අතර, ඒවා
භාවිතාවේදී මානව අයිතින් හා වෙනත් අයිතිවාසිකම් අවහිර වන පරිදි බලාත්මක නොකර
යුතුය. ක්‍රියාපටිපාටි නීති පැවතිය
යුත්තේ යුක්තිය පසඳලීමට හෝ රාජ්‍ය සේවය යහපත් ලෙස පවත්වාගෙන යෑමට උපකාරයක් වශයෙන්
මිස යුක්තියට හෝ රාජ්‍ය සේවයට ඇති ප්‍රවේශය අවහිර කිරීමට නොව. උදාහරණ ලෙස,
මැතිවරණයකදී නාමයෝජනාවල යම් දෝෂයක් ඇත් නම්, එම නාමයෝජනාව ප්‍රතික්ෂේප කිරීමම
මුග්ධ ක්‍රියාවකි. කළ යුතුව තියෙන්නේ එය නිවැරදි කිරීමට එක අවස්ථාවක් හෝ දීමයි
මක්නිසාද යත් දේශපාලනයේ නියැලීමට තිබෙන අයිතිය අකුරක දෙකක වරදක් නිසා ප්‍රතික්ෂේප
වීමකට වඩා වැදගත් වේ.
12.
සතුට හා යුක්තිගරුක බව ප්‍රමුඛ කොට සලකන, ඒ සඳහා
සමාජය මෙහෙය විය හැකි කුඩාම ඒකකය පවුල බව හඳුනාගෙන, පවුල් ඒකකය පදනම් කර ගත් රාජ්‍ය
ප්‍රතිපත්ති හඳුන්වා දිය යුතුය.
13. 5R (ප්‍රතික්ෂේප කිරීම, අඩු කිරීම, නැවත භාවිතයට ගැනීම, පිලිසකර කිරීම, ප්‍රතිචක්ක්‍රිකරනය) යන සංකල්ප රටේ පොදු සංස්කෘතික ලක්ෂන බවට දියුනු කිරීමට අධ්‍යාපන හා සමාජ ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය යුතුය.
ඉහත හඳුනාගත් කරුණුද ඊට ආනුශංගික හා වෙනත් කරුනුද රට තුල හඳුන්වා දී ඒවා වහම ක්‍රියාත්මක කළ යුතු අතර, ඒ සඳහා අවශ්‍ය කරන මූලික මෙන්ම ඉතා වැදගත්ම රාමුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. එනිසා, මෙම යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉහත කරුණු මුදුන්පත් කිරීමට මෙන්ම රටේ සමාජ හා පාලන පද්ධතිය (“සිස්ටම් එක“) නව දියුනු මානයකට රැගෙන යන ආකාරයෙන් සකස් කර ඇත.
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සුවිශේෂිතා
1. රට තුල වෙසෙන මිනිසා මෙන්ම එහි සිටින සතුන්ද, ගහකොලද, සමස්ථ පරිසරයද පරමාධිපත්‍යය හිමි වැදගත් සාමාජිකයන් බව පිලිගැනීමට ලක් කරන අතර, මින් තීරණ ගත හැක්කේ මිනිසාට පමනක් නිසා, මිනිසා පරිසරය, සතුන්, ගහ කොල නොසලකා තීරණ ගැනීමට සංවරණ ඇති කර තිබේ.
2. සාම්ප්‍රදායික මොන්ටිස්ක්‍යු න්‍යාය පදනම් කර ගත් බල විභේදනය තව දුරටත් විස්තීර්ණ කර තිබේ. මොන්ටිස්ක්‍යු න්‍යාය එලෙසම එම තත්කාලයට උචිත වුවත්, මෑත කාලයේ මානවයාගේ සුවිශේෂි දියුනුව හා විශේෂයෙන් සන්නිවේදන තාක්ෂණයේ දියුනුව නිසා සාම්ප්‍රදායික ව්‍යවස්ථාදායක, විධායක, හා අධිකරණ යන බල ත්‍රිත්වයට අමතරව, මානව හිමිකම්, රාජ්‍ය පාලනය හා එහි තීරණවලට පුරවැසියා ඍජුව මැදිහත් වීමේ අවකාශය, හා ජන සන්නිවේදන මාධ්‍යයන්ද ඇතුලත් කර ඇත.
3. ඉතාම පුලුල් මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් ඇතුලත් කර ඇත.
4. තොරතුරු දැන ගැනීමේ අයිතිය දැඩිව ක්‍රියාත්මක කර ඇත.
5. විවිධ ශාරීරික මෙන්ම මානසික ආබාධ ඇති අයට සුවිශේෂි මූලික අයිතිවාසිකම් හඳුන්වා දී ඇත.
6. ළමයා යන්නට නීතිමය නිර්වචනය හඳුන්වා දී ඇති අතර, ළමුන් වෙනුවෙන්ම සුවිශේෂි මූලික අයිතිවාසිකම් හඳුන්වා දී ඇත.
7. පුරවැසියාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන අයිතිවාසිකම් හඳුන්වා දී ඇත.
8. මූලික අයිතිවාසිකම් කඩ වීමකදී පුරවැසියාට මෙන්ම වෙනත් අයටද පිලිසරණ ලබා ගත හැකි ක්‍රම පුලුල් කර ඇත. මූලික අයිතිවාසිකම් වෙනුවෙන් දැනට මූලික අවස්ථා අධිකරණය ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ක්‍රියාත්මක වන අතර, එය අවසාන අභියාචනාධිකරණයද වන බැවින් මූලික අයිතිවාසිකම් නඩුවකදී නැවත එක් වරක් හෝ ඇපැල් කිරීමට අයිතිය දැනට පුරවැසියාට නැත. එම තත්වය මඟහරවා මූලික අයිතිවාසිකම් නඩුවල මූලික අවස්ථා අධිකරණය ලෙස අභියාචනාධිකරණය පත් කර ඇත.
9. මානව හිමිකම් වෙනුවෙන් මානව හිමිකම් කොමිසම බලතල සහිතව ආණ්ඩුකම ව්‍යවස්ථා ප්‍රතිපාදන යටතේම පිහිටුවා බලනංවා ඇත.
10. මහජන සුභසිද්ධි නඩුකර ක්‍රමය ලංකාවට හඳුන්වා දී ඇත
11. අධිකරණ අපහසයට හිමි උපරිම දඬුවම නූතන මානව සමාජයකට ගැලපෙන පරිදි සීමාවට යටත් කර ඇත.
12. අධිකරණ විනිසුරුවරුන්ගේ ස්වාධීනත්වය තහවුරු කිරීමට ප්‍රතිපාදන රාශියක් හඳුන්වා දී ඇත. ඒ අතර, උසස් විනිසුරුවන් පත් කිරීම ව්‍යවස්ථා කවුන්සිලයේ උපදෙස් මත ජනපති විසින් සිදු කළ යුතුය. තවද, සියලු උසාවි වල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස එක සමාන කර ඇත. තවද, ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරණයට විනිසුරුවන් පත් කිරීමේදී පහල උසාවිවල සිට උසස් වීම්වලින් පමනක් පත් කෙරෙන අතර, නීතිපති හෝ වෙනත් නීතිපති කොමිසමේ/දෙපාර්තමේන්තුවේ නිලධාරින් පත් වීම අහෝසි කර ඇත. විනිසුරුවරුන් විශ්‍රාම ගිය විට හෝ ඉල්ලා අස් වූ විට යම් කාලයක් යන තුරු දේශපාලනයේ නියැලීම මෙන්ම වෙනත් රාජ්‍ය තනතුරුවලට පත් වීම තහනම් කර ඇත.
13. අග්‍රවිනිශ්චයකරු සතු සමහර බලතල ඉන් ඉවත් කර අධිකරණ සේවා කොමිසමට ලබා දී තිබේ. තවද, නඩුකරයකදී විනිසුරු මඬුල්ල තේරීම අහඹු තෝරා ගැනීමකින් සිදු කළ යුතු බවට ප්‍රතිපාදන තිබේ. අග්‍රවිනිශ්චයකරුගේ අනියම් බලපෑම්වලින් පහල උසාවිවල විනිසුරුවන්ගේ අපක්ෂපාතී වෘත්තිය භාවිතාව නිදහස් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදනද තිබේ.
14. උසාවි ගනන වැඩි කර ඇත. තවද, විනිසුරු මඬුල්ලක සිටින විනිසුරුවරු ගනනද විශාල ලෙස වැඩි කොට ඇත. එමඟින් පුරවැසියාට අපක්ෂපාති නිවැරදි තීන්දු ලැබීමට ඇති හැකියාව වැඩි කෙරේ. තවද, මෙම නිසාම නඩුකරයක් ඇපැල් කිරීම අවම උසාවි ගනනකින් සිදු කර ගත හැකිය. එමඟින් ඉක්මනින් යුක්තිය පැසඳලීම සිදු වී, නිකරුනේ නඩු කල් යෑම ආදිය අවම වේ.
15. අල්ලස්, දූෂන, හා එවැනි නඩුකර දිනපතා විභාග කිරීමට විශේෂ මහාධිකරණයක්ද පිහිටු වේ.
16. නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීන කොමිසමක් බවට පත් කෙරේ. නීතිපති මෙන්ම සොලිසිටර් ජෙනරාල් තනතුරු දෙකක්ද එහි සාමාජිකත්වය දරයි. නීති කොමිසමෙන් දැමූ නඩුවක් ඉල්ලා අස් කර ගැනීමට නම් කොමිසමේ තිදෙනාම ඊට අනුමැතිය දිය යුතුයි. මෙමඟින් නීතිපතිගේ අවකල් ක්‍රියා අවම කල හැකියි.
17. බලය බෙදීම යටතේ විධායක බලය පමනක් විශාල බෙදීමකට ලක් කර තිබෙන අතර, ව්‍යවස්ථාදායක බලය බෙදා දී නැත. ලංකාව වැනි කුඩා රටකට හෝ ඉතා දියුනු දේශපාලන විනයක් නැති රටකට කුඩා කුඩා ඒකකවලට තම තමන්ගේම නීති සාදා ගැනීමට ඉඩ දීම ප්‍රායෝගික නැත.
18. පරිධියට බලය බෙදා දී තිබෙන්නේ ප්‍රාදේශික සභාවලටයි (මහා නගර සභා, නගර සභා, ප්‍රදේශිය සභා යන පලාත් පාලන ආයතන අහෝසි කරමින් ව්‍යවස්ථාවෙන්ම ස්ථාපිත කර ඇති ප්‍රාදේශික ආණ්ඩුව). මෙම බලය බෙදීම ඉතා පුලුල් පරාසයක පවතී. රට තුල ප්‍රාදේශික 80ක් ව්‍යවස්ථාවෙන්ම පිහිටුවන අතර, එක් ප්‍රාදේශික සභාවක් ඒ එක් එක් ප්‍රාදේශිකයට ඇත. මෙම සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට සමාන වන අතර, එම බලය ඔහු විසින් මෙහෙය වන්නේ ජනතාවටද සහභාගි විය හැකි උපදේශක කමිටු 8ක් හරහාය.
19. පලාත් පහක් ඇති අතර, ඒ සෑම පලාතකමට පලාත් සභාවක් ඇත. එහෙත් ව්‍යවස්ථාවෙන් පලාත් සභාවකට කිසිදු බලයක් බෙදා දී නැති අතර, පලාත් සභාවක රාජකාරි පැහැදිලිව ව්‍යවස්ථාවේ සඳහන් කර ඇත.
20. පොලිස් බලතල මෙන්ම ඉඩම් බලතලද ඉතා පැහැදිලි සීමාවලට යටත්ව ප්‍රාදේශිකවලට බෙදා දී ඇත. එම සීමා ඉක්මවා වැඩ කිරීම එම සභා විසුරුවා හැර එහි පාලනය මධ්‍යම රජයට යටත් වීමටද හේතු වේ.
21. මධ්‍යම රජය සතු විධායක බලතල ජනපති, අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩල හරහා සිදු වේ.
22. නිශ්චිතව ආණ්ඩුව පද සීමනයට මෙන්ම බල සීමනයට පත් කර ඇත. දැනට පවතින ව්‍යවස්ථාව අනුව අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයද නැතිනම් ජනපතිද ආණ්ඩුව යන්න නිශ්චිත නැත. ඇත්තට ප්‍රායෝගිකව මේ දෙකම සමාන්තර ආණ්ඩු වැනි තත්වයක් පවතී. උදාහරණ ලෙස, අද පවතින ජනතා විරෝධතාවලද විශාල සාංකාවක්ව ඇත්තේ ආණ්ඩුව වෙනස් කිරීම ගැටලුකාරි වීමයි මොකද ජනපති මෙන්ම අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය යන දෙකම ඉවත් කිරීමට සිදු වෙනවා ආණ්ඩුව ප්‍රායෝගිකව වෙනස් කිරීමට. මෙම යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තමයි (මධ්‍යම) ආණ්ඩුව වන්නේ.
23. එසේ වුවත්, ජනපති ධුරයද නිකංම නාමික තනතුරක් නොවේ. ඊටද සාධාරණ හා සාධනීය බලතල රාශියක් පවරා ඇත. ජනපති නිර්පාක්ෂික දේශපාලකයකු ලෙස වැඩ කටයුතු කිරීම අපේක්ෂා කෙරේ.
24. මහ මැතිවරණයකදී අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසිරී ගොස් එම සියලු බලතල ජනපති යටතට පත් වේ මැතිවරණය අවසන්ව නව ආණ්ඩුවක් බිහිවන තුරු. මෙම භාරකාර ආණ්ඩුව අපක්ෂපාතිව එම කාලය තුල රාජ්‍ය පාලනය කිරීම අපේක්ෂා කෙරේ.
25. ජනපතිට පවරා ඇති බොහෝ වගකීම් ඉටු කිරීමට සහය වීමට උපජනපති තනතුරද හඳුන්වා දී ඇත. තවද, සෑම පලාතකටම එකකු බැගින් ආණ්ඩුකාරවරුද ජනපති විසින් පත් කරනු ඇත.
26. අමාත්‍ය මණ්ඩලය නිශ්චිතවම 14ක් වන අතර ඒවායේ නම් මෙන්ම ඊට අයත් ආයතනද නිශ්චිත වේ.
27. සෑම අමාත්‍යංශයකටම එක් කැබිනට් ඇමති කෙනෙකු හා එක නියෝජ්‍ය ඇමති කෙනෙකු පමනක් පත් කල හැකි අතර, වෙනත් නාමකරන යටතේ ඇමතිවරු පත් කළ නොහැකියි.
28. ජනපතිට හා අගමැතිට සුවිශේෂි බලතල පැවතියත්, අමාත්‍යංශයක් දැරීමට බැරිය.
29. දේශපාලකයකුගේ පවුලේ උදවිය කවුරුන්ද යන්න අර්ථ දක්වා ඇති අතර, ඊට විශාල වපසරියක පිරිස අයත් වේ. එවැනි පවුලේ උදවියට එකවර ජනපති අගමැති දූර දැරිය නොහැකි සේම, ඇමති දූරද සමාන්තරව දැරිය නොහැකිය. මෙමඟින් දූෂිත අධම පවුල් පාලන ක්‍රමය අහෝසි වේ.
30. ඉහත අර්ථ දක්වා ඇති පවුලේ අය නිල හෝ පෞද්ගලික කාර්ය මණ්ඩලවලට පත් කිරීමද තහනම් කර ඇත.
31. පුරවැසිබව ශක්තිමත් මෙන්ම සරල කර ඇත. කුමන හේතුවක් නිසාවත් පුරවැසියාට තම පුරවැසි බව අත් හල නොහැකිය. පුරවැසිකමත් විකුනං කන රටක් බවට දැනට ලංකාව පත්ව තිබීම කනගාටුදායකය.
32. ද්විත්ව පුරවැසියන්ට හෝ පුරවැසි නොවන අයට දේශපාලන තනතුරුවලට ඉල්ලීමට අයිතිය නැති කර ඇත.
33. භාෂා ප්‍රතිපත්තිය ඉතා සරල කර ඇත. සිංහල, දෙමල, ඉංග්‍රිසි නිල භාෂා වන අතර, තමන් කැමති එම භාෂාවලින් එකකින් වැඩ කිරීමට මෙන්ම සන්නිවේදනය ලැබීමට අයිතිය ශක්තිමත් කර ඇත. ඵලදායි ලෙස භාෂා ත්‍රිත්වයෙන්ම වැඩ කිරීමට හැකි වනු පිනිස ඒ සඳහාම ස්ථාපිත භාෂා කාර්යාලයක් ඇති අතර, වියදමකින් තොරව රජය සමඟ භාෂා තුනෙන්ම වැඩ කිරීමට ඕනෑම කෙනෙකුට ඉන් හැකියාව ලැබෙනු ඇත (රියල්ටයිම් පරිවර්තන පහසුකම් සහිතයි).
34. වයස 70 පසු කිසිදු දේශපාලන පත් වීමක සිටිය නොහැකිය. එමඟින් ඉතා වයෝවෘද්ධ අය දේශපාලන සක්‍රිය තනතුරුවලින් ඉවත් කෙරේ.
35. නීති සාදන්නේ මධ්‍යම රජය පමනය. මධ්‍යම රජය සතු බලතල සම්බන්දයෙන් නීති සාදන්නේ පාර්ලිමේන්තුව විසින්ය. පාර්ලිමේන්තු මන්ත්‍රින් 190ක් දක්වා අඩු කෙරේ.
36. විමධ්‍යගත කල බලතල සම්බන්දයෙන් මෙන්ම ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීමට පාර්ලිමේන්තුවට බලතල නැති අතර, ඒ සඳහා රාජ්‍ය මන්ත්‍රන සභාව නම් අලුත් දේශපාලන (ව්‍යවස්දායක) ව්‍යුහයක් පිහිටුවා ඇත. ඊට අමතරව, සියලු දෝශාභියෝගද රාජ්‍ය මන්ත්‍රන සභාව තුල සිදු කළ යුතුය. ජනපති මෙන්ම නියෝජ්‍ය ජනපතිද පත් කරගනු ලබන්නේ මෙම සභාවෙනි. එහි තවත් බලතලද ඇත.
37. දේශපාලන ව්‍යුහ ලෙස රාජ්‍ය මන්ත්‍රන සභාව, පාර්ලිමේන්තුව, පලාත් සභාව, ප්‍රාදේශික සභාව යන ව්‍යුහ හතරක් ඇති අතර, මෙහි ඍජුවම ඡන්දයකින් මන්ත්‍රින් පත් වන්නේ පාර්ලිමේන්තුවට හා ප්‍රාදේශික සභාවලට පමනි. පලාත් සභාවට නිල බලයෙන් පත් වීම් ලබයි. රාජ්‍ය මන්ත්‍රන සභාවටද පත් වීම් ලබන්නේ නිල බලයෙනි.
38. මුලු ලංකාවටම ඇත්තේ එක් මැතිවරණයක් පමනි (මහ මැතිවරණය). එය අවුරුදු හතරකට සැරයක් පැවැත් වේ. කොන්දේසිවලට යටත්ව, මන්ත්‍රි පුරප්පාඩු සඳහා අතුරු මැතිවරණද පැවැත් වේ.
39. ඉතා පුලුල් බලතල සහිත ස්වාධීන මැතිවරණ කොමිසමක් ඇත. මැතිවරණයකදී මන්ත්‍රින් පත් කරගනු ලබන ආකාරයට ඉතා සරල කර ඇත.
40. මැතිවරණ සාධාරණ ලෙස පවත්වගෙන යෑම සඳහා පක්ෂ හා අපේක්ෂකයන්ගේ වියදම් සීමා කර ඇත. මැතිවරණවලට අරමුදල් සපයන ආකාර විනිවිද විය යුතුය. සමහර අරමුදල් ගැනීම තහනම් කර ඇත.
41. සියලු මැතිවරණ අපේක්ෂයන් මෙන්ම ඉහතදී විස්තර කල පුලුල් පරාසයකයට අයත් වන පවුලේ සාමාජිකයන්ගේ වත්කම් ප්‍රකාශ අනිවාර්යෙන්ම ඉදිරිපත් කල යුතුය. ඒවා සත්‍යෙක්ෂණය කෙරෙන අතර මහජනයාට ප්‍රසිද්ධ කරයි.
42. දේශපාලකයන් මෙන්ම තවත් බොහෝ කාණ්ඩවලට අයත් පිරිස් විසින් අනිවාර්යෙන්ම වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අනිවාර්ය කර ඇත. ඒවා සත්‍යෙක්ෂනය කෙරෙන අතර මහජනයාටද ප්‍රසිද්ධද කෙරේ.
43. වත්කම් ප්‍රකාශයට ඇතුලත් කල යුතු කරුනුද ඉතා විශාල පරාසයක් පුරා පැතිර පවතී (ඉතා උසස් අනතර්ජාතික ප්‍රතිපත්තිවලට අනුව සකසා ඇත).
44. ස්වාධීන කොමිසම් රාශියක් පිහිටුවා ඇත. ඒවායේ ස්වාධීනත්වය තහවුරු කර ඇත.
45. ඉතා ප්‍රබල දූෂන විරෝධි කොමිසමක් පිහිටුවා ඇත. එම කොමිසමට ඉතා සුවිශේෂි බලතල ඇත. කාලයක් මුලුල්ලේ කොමිසම විසින් POLICY SUGGESTIONS FOR PROPOSED LEGISLATIVE AMENDMENTS (ISBN 978-624-5040-06-3) යන ග්‍රන්ථයෙන් හා තවත් තැන්වල යෝජනා කරන ලද එහෙත් දූෂිත දේශපාලකයන් හා නිලධාරින් තවමත් ක්‍රියාවට නංගවන්නේ නැති සියලු ප්‍රතිසංස්කරණද ඊට ඇතුලත් කර ඇත. තවද, මෙම දූෂන විරෝධි කොමිසම ව්‍යවස්ථාවෙන්ම බලතල සහිතව පිහිටුවා ඇත. තවද, මෙම කොමිසමේ පුලුල් බලතල විදහා දැක්වීමට Commission to Investigate Allegations of Bribery or Corruption යන නම වෙනුවට Anti-Corruption Commission යනුවෙන් නම යොදා ඇත.
46. මධ්‍යම හා ප්‍රාදේශික ආණ්ඩුවල සියලු ප්‍රසම්පාදන ක්‍රියාවන් අධීක්ෂනය කිරීමට ජාතික ප්‍රසම්පාදන කොමිසමක් පිහිටුවා ඇත.
47. සියලු රාජ්‍ය ගනුදෙනුවල මුදල් හුවමාරු වීම් (මුදල් ලැබීම් මෙන්ම ගෙවීම්) බැංකු හරහා පමනක් සිදු කළ යුතු වේ. එමඟින් දූෂන අවම වීම හා මහජනයාද බැංකු පද්ධතිවලට සමීප කරවීම සිදු වේ. තවද, විද්‍යුත් රාජ්‍ය ක්‍රමවේදය ඵලදායිව සිදු කල හැක්කේද බැංකු පද්ධති හරහා මුදල් හුවමාරු කරන තත්වයකට පත් වුවොත්ය. (එහෙත් කිසියම් පුද්ලයකු බැංකු පහසුකම් වෙනුවට අතින් මුදල් ගෙවීම් සිදු කරන්නට අවශ්‍ය වුවොත් ඊටද පහසුකම් සැපයිය යුතු අතර, එම භාවිතාව අධෛර්ය කරනු වස් 25%ක අධිභාරයක් පැනවීමටද යෝජනා කරමු. මෙම යෝජනාව ව්‍යවස්ථාවේ නැති අතර, රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස එය කල යුතුය.)
48. තොරතුරු දැන ගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස අභියාචනාධිකරණ නඩුකරයක් ලෙස සිදු කිරීමට ඇති අයිතිට එසේම තිබියදී තොරතුරු කොමිසම හරහාද සහන ලබා ගත හැකි ලෙස ප්‍රතිපාදන පවතී. සියලු රාජ්‍ය ආයතනවල වෙබ් අඩිවවල තොරතුරු ඉතාම යාවත්කාලීනව පවත්වාගෙන යෑමද ඉන් බලාත්මක කෙරේ. වර්තමානයේ රාජ්‍ය වෙබ් අඩවි සියල්ලම පාහේ එක්කෝ අක්‍රියව පවතී නැතිනම් අවුරුදු ගනන් පරන තොරතුරු ඇත (යාවත්කාලීන කර නැත). තොරතුරු දැනගැනීමේ අයිතියේ මූලික අයිතමයක් ලෙස රාජ්‍ය වෙබ් අඩවි සැලකිය යුතුය.
49. ජන මාධ්‍යය රාජ්‍යකරණයේදී ඉතා ප්‍රබල අංශයක් ලෙස පිලි ගැනීමට ලක් කර ඇත. දූෂන ආදිය හෙලි කර ගැනීමට ජන මාධ්‍යය අත්‍යවශ්‍ය වේ. ජනමාධ්‍ය ස්වාධීනවත් වෘත්තිය ලෙසත් ශක්තිමත්වත් පවත්වාගෙන යෑම සඳහා ස්වාධීන කොමිසමක් ඇත (තොරතුරු කොමිසමත් ඊට අන්තර්ග්‍රහනය කර ඇත). ජනමාධ්‍ය බලපත් මෙන්ම ජනමාධ්‍ය හැදුනුම්පත් ලබා දීමද මෙම කොමිසම මඟින් කල යුතුය.
50. සාම්ප්‍රදායික භූ නිර්ණය කොමිසම වෙනුවට ලංකාවේ විවිධ භූමි නිර්ණ තොරතුරු විද්‍යුත් පද්ධතියක් ලෙස පවත්වාගෙන යෑමේ බලයද සහිත කොමිසමක් පිහිටුවා ඇත. එමඟින් ලංකාවේ සියලු මායිම් GPS ඛණ්ඩාංක සහිතව මෙම පද්ධතිය තුල යාවත්කාලීන වශයෙන් පවතී. රට තුල නිශ්චිත හා නිරවද්‍ය ලෙස තොරතුරු පවතින GPS navigation පද්ධතියක් මෙමඟින් සකසා ගතද හැකියි.
51. රාජ්‍ය මාධ්‍ය ලෙස රූපවාහිනිය, ශ්‍රී ලංකා ගුවන් විදුලිය, හා ලේක්හවුස් හැරුනු විට වෙනත් නාලිකා හා ආයතන නොපැවතිය යුතු අතර, එම වෙනත් නාලිකා හා ආයතන අධ්‍යාපනික හෝ වෙනත් පොදු සුභ සිද්ධි මුල් කර ගත් අභිමතාර්ථ වෙනුවෙන් ස්වාධීන අයිතින්ට පැවරිය යුතුය. තවද, ඉහත සඳහන් රාජ්‍ය මාධ්‍ය යනු ආණ්ඩුවේ මාධ්‍ය (“හොරනෑ“) නොවන පරිදි කටයුතු කිරීමට එම ආයතනවල ප්‍රධානින් පත් වන්නේද ව්‍යවස්ථා කවුන්සිලයේ උපදෙස් මතය.
52. ලංකාවට අයත් මුහුද “ශ්‍රී ලංකා මුහුද“ ලෙසද, අහස “ශ්‍රී ලංකා අහස“ ලෙසද නම් කර ඇත.
53. පරිසරය වෙනුවෙන් පරිසරය ආරක්ෂා කිරීම පිනිස කිසිදු මිනිස් ක්‍රියාකාරකමක් (අධ්‍යන හා පර්යේෂන වැනි කාර්යන් හැරුනු විට) සිදු කල නොහැකි වනාන්තර පද්ධතියක් (අවම වශයෙන් ගොඩ බිම් භූමියෙන් 25%ක් වත්) “හරිත පලාත“ යන නමින් ව්‍යවස්ථාවෙන්ම වෙන් කර ඇත. තවද, අලි මිනිස් ගැටුම මැඬලීමට මෙන්ම මිනිස් ක්‍රියාකාරකම් අධෛර්ය කිරීමේ ක්‍රමවේදයක්ද ඇතුලත් කර ඇත. තවද, නූතන LIDAR වැනි තාක්ෂණ ඔස්සේ නිරන්තර අධීක්ෂණයටද එම පරිසර පද්ධතිය ලක් කල යුතු බවට නියම කර ඇත. තවද, හරිත පලාත වට කර බෆර් කලාපයක්ද ඇති කර ඇත.
54. ආපදා තත්වයන් කලමනාකරණය කිරීමට ප්‍රබල ආයතනයක් අගමැති යටතේ පිහිටුවා ඇත. සෑම ප්‍රාදේශිකයකම මධ්‍යයෙහි පිහිටි පොදු භූමිය (public garden) මිනිසුන්ට විවේකය ගත කිරීමට (කොළම විහාර දේවි පාර්ක් වැනි) මෙන්ම හදිසි අවස්ථාවකදී පංසල්, පාසල් වැනි ස්ථාන භාවිතා නොකර අවතැන් වූවන් රැඳවීමටද හැකි පහසුකමක් ලෙසද යොදා ගත හැකිය.
55. කිසිදු භූමියක් විදේශිකයකුට සින්නක්කරව මිලට ගත නොහැකි අතර, බදු දීමේදීද පැහැදිලි කොන්දේසි ඇත.
56. පුද්ගලයකුට තනිව සින්නක්කරව තබා ගත හැකි ඉඩම් ප්‍රමානය සීමා කර ඇත. ආර්ථික කටයුත්තකට නම් ඕනෑ තරම් ඉඩම් ප්‍රමානයක් තබා ගත හැකියි.
57. ජාතික කොඩිය මෙන්ම ජාතික ගීය පැහැදිලි විස්තරාත්මක අයුරින් ඉදිරිපත් කර ඇත.
58. රාජ්‍ය ප්‍රතිපත්ති සෑදීමේදී හෝ තීරණ ගැනීමේදී සැලකිල්ලට ගත යුතු නමුත් මෙතෙක් කලක් නීතිමය බලාත්මකබවක් නැතිව පැවති Directive Principles බලාත්මකබවක් ඇති කර තිබේ.
59. අද පවතින සන්නිවේදන තාක්ෂනයේ දියුනුව හා ආරක්ෂිතබව සලකන විට, රාජ්‍යකරණයට පුරවැසියා ඍජුවම මැදිහත් කළ හැකි මට්ටමක පවතී. එය බැරෑරුම් කටයුත්තක් මෙන්ම වෙනත් ප්‍රායෝගික ගැටලු හා කරුනුද නැතුවා නොවේ. එහෙත් එම ඍජු ප්‍රජාතන්ත්‍රවාදයට ළං වීමක් ලෙස, සියලු ව්‍යවස්ථා සංශෝධන අනිවාර්ය ජනමත විචාරණයකට ලක් කර තිබේ. ඇත්තටම, විද්‍යුත් ක්‍රමයට මැතිවරණ පැවැත්වීමටත් වහ කටයුතු කළ යුතුයි. ඉන් වියදම මෙන්ම කාලය ඉතා විශාල ලෙස ඉතිරි කර ගත හැකියි.
60. ජනාධිපති සමාව සීමාවලට ලක් කර ඇත.
61. මෙතෙක් කලක් පාර්ලිමේන්තු පනත් හරහා ස්ථාපනය කළ පුන්‍යායතන හෝ පදනම් හෝ එවැනි ආයතන අවලංගු කර, ඒ සියලු ආයතන ජනපති චාටර් මඟින් ස්ථාපනය කළ යුතුය. තවද, ජනපති චාටර් මඟින් වෘත්තික සංගම් ආදී ජාතික වැදගත්කමක් සහිත ආයතනද ස්ථාපනය කළ හැකියි.
62. ව්‍යවස්ථා ප්‍රතිපාදනවලට පටහැනි සියලු නීති හා රෙගුලාසි බල රහිත වන අතර, එවැනි අනපනත් වහම සංශෝධනය කිරීමට කොමිසමක් පත් කෙරේ. රටක මූලික නීතිය ලෙස ව්‍යවස්ථාව සකසා සියලු නීති ඊට යටත් විය යුතු යැයි කියමින්, තවත් තැනක පරන නීතියක් ඊට පටහැනි වුවත් එය බලාත්මක විය යුතු යැයි පිලිගැනීමම මෝඩකමකි. ව්‍යවස්ථාදායකය යනු නීති හැදීමට හා යාවත්කාලීන කිරීමට සිටින අධිකාරිමය ආයතනය වන අතර, ඔවුන් විසින් එය සිදු කරවීමටද නීතිය බලාත්මක විය යුතුය.
63. ශරීයා, තේසවලාම, කන්ද උඩරට වැනි පෞද්ගලික නීති අහෝසි වී සියලුම පුරවැසියන් එකම පොදු නීතියකට යටත් කෙරේ.
64. ඉතා පුලුල් බලතල සහිත ජාතික විගනන කොමිසමක් පිහිටු වේ. ජනපති, අගමැති, අමාත්‍යංශද ඇතුලත්ව විශාල වපසරියක ආයතන ප්‍රමානයක් එහි බලයට නතු වේ.
මෙම ව්‍යවස්ථාව යටතේ ශ්‍රී ලංකාව ඒකියද ෆෙඩර්ල්ද?
ශ්‍රී ලංකා දේශපාලනය තුල රටට අවශ්‍ය බොහෝ ප්‍රතිසංස්කරණ වැලකූ “කාලකන්නි“ තර්කයක් වූයේ මෙයයි. රාජ්‍යය (රට), ඒකීය බව, සන්ධීය (ෆෙඩරල්) බව, ස්වයංනිර්ණ බලය, භෞමික අඛණ්ඩත්වය ආදි සංකල්ප මෙහිදී මතු වේ.
රටක් හෙවත් රාජ්‍යයක් යනු කුමක්දැයි ලෝකයේ සැවොම පිලිගන්නා එක් මතයක් නැත. ඇත්තටම රටකට රටවැසියා කැමති වුවත් නැතත් එම රට තුල බලාත්මක කල හැකි නීති සෑදිය හැකියි එම රටෙහි ව්‍යවස්ථාදායකයට. එහෙත් ලෝකය වෙනුවෙන්ම එලෙස නීති හෝ සංකල්ප සාදන්නට හැකි අධිකාරි බලයක් කිසිදු පුද්ගලයකුට හෝ රටකට නැත. එක් එක් නීති වේදීන් හෝ විද්‍යාර්ථි හෝ යම් ජගත් සංවිධාන හෝ යම් අන්තර්ජාතික සමුලු සම්මතයන් වල මත හෝ තීරණ යනු හුදෙක්ම මත පමනි. එනිසා රාජ්‍යයක් යනු කුමක්දැයි අදටත් හෙටටත් තනි මතයක් නොපවතිනු ඇත.
තනි රටක්ව එලෙසම ඉදිරියටත් පවත්වාගෙන යෑම භෞමික අඛණ්ඩතාවයි. එය කැඩුනු විට එතැන රටවල් දෙකක් බිහි වේ. එලෙස තනි රටක් දෙකඩ වීම හා ඒවා වෙන වෙනම රටවල් ලෙස පිලිගැනෙන්නේ ලෝකයේ වෙනත් රටවල් ඊට ලබා දෙන පිලිගැනීමට අනුවයි. එසේත් නැතිනම් එක්සත් ජාතින්ගේ සංගමය තුල ඒවා වෙනත් රටවල් ලෙස පිලිගැනීමට ලක් වූ විටයි. එසේ වුවත් යම් රටකට ස්වාධීන අභිමතය පවතිනවා වෙනත් රටක් පිලිගැනීමට හෝ නොපිලිගැනීමට. එවිට, රටේ පවතින ව්‍යවස්ථාවේ ඒකිය ලෙස හෝ සන්ධීය ලෙස සටහන් ව තිබීම බාධාවක් නොවේ. එතැන පවතින්නේ ගෝලීය දේශපාලනයයි.
යම් ව්‍යවස්ථාවකින් ස්වයංනිර්ණය අයිතිය යම් යම් කොට්ඨාශවලට ලබා දී ඇත්නම්, එම කොට්ඨාශය එම ව්‍යවස්ථාවේ හෝ නීතියේ පවතින ප්‍රතිපාදන අනුව (බොහෝ විට ජනමත විචාරණයකින්) තමන් වෙනත් රටක් ලෙස ප්‍රකාශයකට පත් කිරීමට හැකියාවක් තිබිය හැකියි. එවිට, එලෙස දෙකඩ කැඩුනු කොටස් දෙකම අවබෝධයෙන් එය සිදු කරන නිසා, සෙසු රටවලට එහි ප්‍රශ්නයක් නැත.
මෙම ව්‍යවස්ථාවේ කිසිදු තැනක ස්වයංනිර්ණය අයිතිය ගැන කිසිදු සටහනක් හෝ ප්‍රතිපාදනයක් නැත. එනිසා භෞමික අඛණ්ඩතාවට කිසිදු තර්ජනයක් නැත.
ඒකීය හා සන්ධීය යන වචන දෙක එකකින් අනෙක වෙන් කරන බෙදුම් රේඛාව සොයා ගත නොහැකි තරම් සියුම් හෝ අතිච්ඡාදනයකින් පවතී. බැලූබැල්මට ඒකීය යනු තනි රටක් තුල තනි මධ්‍යම ආණ්ඩුවක අනසක යටතේ එම රට පාලනය වීමයි. ඉංග්‍රිසියෙන් සාම්ප්‍රදායිකව ඒකිය යන්න unitary ලෙස පරිවර්තනය කෙරේ. සන්ධීය යනු තනි මධ්‍යම ආණ්ඩුවකින් මෙන්ම එම රට තුල කුඩා කුඩා කොට්ඨාශ (ප්‍රාන්ත) සඳහා ප්‍රාන්ත ආණ්ඩුද පවතින රටකි. ඉංග්‍රිසියෙන් federal ලෙස හඳුන්වයි.
සෛද්ධාන්තික මෙන්ම ප්‍රායෝගික ගැටලු මෙහි ඇත. රට තුල සියලු බලතල මධ්‍යම රජය සතු නම් එය ඒකීය වේ. එහෙත් බොහෝ රටවල එලෙස සියලු බලතල මධ්‍යම රජය සතුව නැති අතර, සමහර බලතල පරිධියට බෙදා දී තිබේ. දැනටත් ශ්‍රී ලංකාවේද පලාත් සභාවලට එලෙස බලතල බෙදා ඇත. එහෙත් ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක්ලු මක්නිසාද යත් පවතින 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවැනි ව්‍යවස්ථාව අනුව, ශ්‍රී ලංකාව ඒකිය රාජ්‍යයක් බව පවසනවා.
ශ්‍රී ලංකාවට වඩා ඉංදියාවේ තත්වය වෙනස් වන අතර, එහි ප්‍රාන්තවලට විශාල බලතල ඇත. එහෙත් ඉංදියාව ෆෙඩරල් රාජ්‍යයක් නොවේ. එක්සත් රාජධානිය තුල ස්කොට්ලන්තයට ස්වයංනිර්ණය අයිතිය ඇති නිසා අවශ්‍ය නම් වෙනත් රාජ්‍යයක් ලෙස වෙන් වී යෑමටද හැකිය. එහෙත් එක්සත් රාජධානියත් ඒකිය “රාජ්‍යයක්ලු“. එලෙසම ඇමරිකානු එක්සත් ජනපදය යනු ෆෙඩරල් රාජ්‍යයක්. එහෙත් එහි ප්‍රාන්තවලට වෙන් වීමේ හැකියාව නැත. මේ සියලු දේ බලන විට, ඒකීය හෝ ෆෙඩරල් යනු හුදෙක්ම මනෝ සංකල්ප පමනි.
අප බැලීමට අවශ්‍ය වන්නේ පවතින තනි රට දෙකඩ වීමට හැකියාව තිබේද නැද්ද ගැන පමනි. එම හැකියාවද ඉහත විස්තරය අනුව දෙයාකාර වේ. එකක් ස්වයංනිර්ණය බලය මත සිදු විය හැකිය. අනෙක් ක්‍රමය නම් විදෙස් රටවල වුවමනාවන් මත රටක් කොටස් දෙකක් වෙන් වෙන් රටවල් ලෙස පිලිගැනීමට ලක් කිරීමයි එම රටේ ව්‍යවස්ථාවේ කුමක් තිබුනත්. එහෙත් මෙම දෙවැනි ක්‍රමය පහසු නැත විවිධ ගෝලීය තත්වයන් නිසා.
තවද, ඒකීය මට්ටමේ සිට ෆෙඩරල් වීමට බලය මෙතරම් බෙදිය යුතු යැයි සම්මතයක්වත් නැත. මෙහිදී බලය යන්නද ප්‍රශ්නකාරි වේ. එම බලය විධායක බලයද? ව්‍යවස්ථාදායක බලයද? අධිකරණ බලයද? හෝ මින් කිහිපයක්මද?
මේ සියලු කාරණා සැලකීමේදී ඒකීය හෝ සන්ධීය යන
සංකල්ප ප්‍රායෝගික තලයේදී පුස්සකි. මෙම යෝජිත ව්‍යවස්ථාවේ යම් යම් කොට්ඨාශවලට වෙනත්
රටක් ලෙස වෙන්ව යෑමට කිසිසේත් අවසර නැත. තවද, භෞමික අඛණ්ඩතාව රැක ගැනීමට සන්නද්ධ
හමුදා හා බුද්ධි අංශද ඕනෑ තරම් යෙදවිය හැකිය. අවශ්‍ය නම්, ප්‍රාදේශික සභා ආදිය
විසුරුවා හැරීමටද හැකිය. එහෙත් මෙම ව්‍යවස්ථාවේ ඒකීය හෝ සන්ධීය ගැන සටහනක් නැත.
විධායක බලයද පුලුල් ලෙස පරිධියට බෙදා ඇත. වචන ඔස්සේ එල්ලී අනවශ්‍ය ගැටුම් සාදා
ගැනීම මෝඩකමකි.
අවසානය
මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමේදී 1978 ව්‍යවස්ථාවේ යහපත් ව්‍යවස්ථා හා කොටස් මෙන්ම 2000 වසරේ සම්පාදිත (නමුත් සම්මත කර ගන්නට නොහැකි වූ) ව්‍යවස්ථා කෙටුම්පතෙහි සමහර කොටස්ද ප්‍රයෝජනවත් වූ බව සිහිපත් කරමි.
පවතින ව්‍යවස්ථාව රටට යෝග්‍ය ලෙස සංශෝධනය කිරීමට හෝ රට වෙනුවෙන්ම අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමට පැවති දේශපාලන පක්ෂ මෙන්ම දේශපාලකයන්ද අසමර්ථ වී තිබේ. ඊට හේතු කිහිපයක් ඇත. විශේෂයෙන් ඉන්දියාවේ අනිසි හා අදිසි බලපෑම්වලට අප රටේ මුග්ධ නපුංසක දේශපාලකයන් යට වීමත්, බලයේ සිටින පක්ෂයට හා එහි සාමාජිකයන්ට වාසි වන පරිදි ව්‍යවස්ථා වෙනස් කිරීමත් ඊට හේතුවයි. වරක් ආණ්ඩු පක්ෂය ඉතා හොඳ ව්‍යවස්ථා සංශෝධනයන් වැලැක්වනු ලැබුවා එම පක්ෂයේ සිටින දේශපාලකයන් කිහිප දෙනෙකුට පාර්ලිමේන්තුවට පත් වීමට තිබෙන අවස්ථාව ඉන් මඟ හැරෙනවා කියමින්. මෑත කාලයේදී තම ඇමරිකන් පුරවැසි සොහොයුරු පාර්ලිමේන්තුවට ගෙන ඒම පිනිසත් එවැනිම ව්‍යවස්ථා සංශෝධන සිදු කළේය.
තවද, වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ වන විට 20 වතාවක් සංශෝධනය වී ඇති අතර, එය කියවන ඕනම කෙනෙකුට පලමුව හැඟෙනුයේ මෙය බාලාංශ ලමයකුගේ පොතක් ලෙසය. ඊට හේතුව එච්චරට එහි කැපිලි කෙටිලි ආදිය තිබීමයි. ඇත්තටම වත්මන ව්‍යවස්ථාව සමූහ දූෂනයට ලක්ව ඇති නීති පොතකි. රටේ මූලික ලියවිල්ලම එවැනි අශුද්ධ ආකාරයෙන් පැවතීමත් ලැජ්ජා සහගතය. උදාහරණ ලෙස, එහි උපලේඛනයක ඇති ශ්‍රී ලංකා ජාතික ගීය ඉතාම අපහැදිලි හා කැත අත් අකුරින් ලියා ඇති එකකි.
අවසාන වශයෙන් දූෂනය අවම කරන, නීතියේ ආධිපත්‍ය පවතින, නීතිය යුක්තියට සවි වූ, පරිසරය හා සතා සිව්පාවා පවා සුරකින, මානව හිමිකම් සුරකින, ඵලදායි යහපාලනයක් පවතින, අභිමානවත් පුරවැසියන් සේ ජීවත් විය හැකි තනි ශ්‍රී ලාංකික ජාතියක් බිහි කිරීමේ වැදගත් පියවර ලෙස මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කරමි.
සුමිත් වන්නි ආරච්චිගේ
+94
(0)70 7500992
+1 (213) 537 8643
+44 20 3468 1935
sumith@tekcroach.top
sumithlk@gmail.com