Skip to main content

ආනයනය හා අපනයනය (International Trade) - 1

ආනයනය හා අපනයනය (International Trade)

වසර කිහිපයකට පෙර සිටම ආනයන හා අපනයන වෙළඳාම හෙවත් අන්තර්ජාතික වෙළඳාම ගැන ලියන්නට සිතාගෙන සිටියත් වෙනත් මාතෘකා ගැන ලියමින් සිටි නිසා හා දේශපාලන කලකිරීම් මත කාලයක් නොලියාම සිටි නිසා අද වන තුරු ඒ ගැන ලිවීම පස්සට ගියා. මාස කිහිපයකට පෙර (එතකොම මා බ්ලොගයෙහි ලිවීම නතර කරලයි තිබුනේ) ෆේස්බුක්හි අපනයන සමූහවල අපනයනය ගැන කිසිත් දැනුම්ක් නැති අය සඳහා විශාල ලිපි හතරක් පල කලත් එම ගෘෘප්වල “උත්තුංග ඇඩ්මින්වරු“ පසුවට ලියූ ලිපි පල නොකිරීම නිසා ඒ ගැන ලිවීමද මා නතර කලා.

මේ විෂය ගැන මගේද අත්දැකීම් හා අතීත කතාවක් තිබෙනවා. මා පළමු වරට මේ විෂය ඉගෙන ගත්තේ 2005 වසරේදී රේගුව, වරාය අධිකාරිය, කර්මාන්ත සංවර්ධන කාර්යංශය, හා මධ්‍යම පලාත් ව්‍යාපාර සංවර්ධන කේන්ද්‍රය එක්ව පැවැත් වූ පාඨමාලාව හැදෑරීමෙනි.

නැවතත් මා අන්තර්ජාතික වෙලඳාම ගැන ඉගෙන ගන්නට සිතී රේගුවේ Customs House Agent (CHA) නම් පාඨමාලාව 2011 දී හදාරා එම විභාගයෙන්ද වැඩිම ලකුනු ලබා ගත් දෙවැනියා බවට පත් විය.

මුලින්ම මතක් කරන්නේ අල්ලස් දීමට බැරි එවුන් සිටිත් නම් උඹලට මෙම ක්ෂේත්‍රය සුදුසු නැත.

හරි... අපි දැන් වැඩේට බහිමු.

මිනිසාට ආහාර, නිවාස, ඇඳුම්, අධ්‍යාපනය, වෛද්‍ය පහසුකම්, ප්‍රවාහන පසුකම්, සන්නිවේදන පහසුකම් වැනි සීමිත අවශ්‍යතා (needs) ප්‍රමානයක්ද නිමක් නැති උවමනාවන් (wants) කන්දරාවක්ද කවදත් ඇත. මෙම අවශ්‍යතා හා වුවමනා පවතින්නේ එක්කෝ භාණ්ඩ (goods) ලෙසය, නැතිනම් සේවා (services) ලෙසය.

ඉතිං, මෙම භාන්ඩ හා සේව සාමාන්‍ය ජනතාව විසින් පරිභෝජනය (consumption) කිරීමට නම් ඒවා නිෂ්පාදනය කර (manufacture) පාරිභෝගිකයා දක්වා ගෙන යෑමට සිදු වේ. නිෂ්පාදනය කළ භාණ්ඩ/සේවා පාරිභෝගිකයා දක්වා රැගෙන යන කොටස දළ වශයෙන් වෙළඳාමයි (trade).

එම වෙලඳාම රටක් තුල සිදු වන විට ඊට දේශීය වෙලඳාම (domestic trade) යැයි පවසනවා. එහෙත් සෑම භාන්ඩයක්/සේවාවක්ම තම රට තුලම නිපදවා ගන්න බැහැනෙ (එසේ නිපදවාගත හැකි නම් රට ස්වයං-පෝෂිත යැයි කියනවා). සමහරවිට එසේ නිපදවා ගැනීමට හැකි වුවත් ඊට වඩා වෙනත් රටකින් එම භාන්ඩ/සේවා ගෙන්වා ගැනීම හෙවත් ආනයනය වඩා ලාබදායි විය හැකියි. මෙම තත්වයට comparative advantage (සාපේක්ෂ වාසිය?) යැයි පවසනවා. 

මෙලෙස රටවල් අතර සිදුවන භාන්ඩ හා සේවා වෙලඳාම අන්තර්ජාතික වෙළඳාම (international trade) ලෙස පවසනවා. රටකින් තවත් රටකට භාන්ඩ හා සේවා යැවීම අපනයනය (export) ලෙසත්, රටකින් තවත් රටකට භාන්ඩ හා සේවා ගෙන්වා ගැනීම ආනයනය (import) ලෙසත් හැඳින්වෙනවා. එනිසා අන්තර්ජාතික වෙලඳාම ආනයන-අපනයන වෙලඳාම ලෙසත් හැඳින් වෙනවා.

සාමාන්‍යයෙන් වෙලඳාම දෙයාකාරයි - තොග (whole sale) හා සිල්ලර (retail). තොග වෙලඳාමේදි සාමාන්‍යයෙන් එක් භාන්ඩ වර්ගයක් විශාල පරිමානයෙන් වෙලඳාම් කෙරේ. තවද තොග වෙලෙන්දා තම තොග විකුනන්නේ සාමාන්‍ය පාරිභෝගිකයාට නොව වෙනත් සිල්ලර හෝ තොග වෙලෙන්දන්ටයි. එහෙත් සිල්ලර වෙලෙන්දා විවිධ බඩු කුඩා ප්‍රමානවලින් සාමාන්‍ය පාරිභෝගිකයාට විකුනයි. සමහර කඩවලට ගියොත් එහි නැත්තේ බෝම්බ හා තුවක්කු පමනි; වෙනත් ඕනෑම බඩුවක් එහි ඇත.

සාමාන්‍යයෙන් ආනයනය හා අපනයනයත් තොග වෙලඳාමකි. එහෙත් වර්තමානයේ අන්තර්ජාලය ප්‍රචලිත හා ලාබදායික වීම නිසා විවිධ ඔන්ලයින් වෙලඳපොලවල් ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙනුත් ඇරඹී ඇති අතර, ඒවායේ බඩු සිල්ලර ක්‍රමයට විකිනේ. උදාහරණ ලෙස, ebay හා aliexpress ගත හැකිය. ඒවායෙන් ඔබ ඕර්ඩර් කරන බඩු තැපෑලෙන් හෝ වෙනත් කුරියර් හෝ පාර්සල් සේවාවක් මඟින් ඔබේ නිවසටම පැමිනේ. ඇත්තටම අද කොළඹට ගිහින් බඩුවක් ගන්නවාට වඩා පහසුවෙන් හා ඉතාම ලාබෙට චීනයෙන් ඇලිඑක්සප්‍රෙස් එකෙන් බඩුවක් ගත හැකිය. ලංකාවෙන් බඩුවක් සොයා ගැනීම, ඒ ගැන විමසා බැලීම, හා මිල දී ගැනීම බොහෝ විට ලේ කෝප කරවන අන්දමේ අත්දැකීමකි මොකද කඩකරුගේ ගොන් පාට් බැලීමට අපට බොහෝවිට සිදු වේ.

ලංකාව වැනි ඩොලර් (විදෙස් විනිමය) ගැටලු තිබෙන රටකට ඉතාම වැදගත් අංශයක් වන්නේ අපනයනයයි. එහෙත් අපනයනය කරන්නේ ලංකාවේ අප විතරක් නොවේ. එනිසා උග්‍ර තරගයක් තිබේ. චීනය යනු ලෝකයේ අංක එකේ අපනයනකරුය. ඇත්තටම චීන රජය ඉතාම තක්කඩි ලෙස තම රටේ අපනයන භාන්ඩ සමහරවිට නිෂ්පාදන වියදමටත් වඩා අඩු මිලකට අපනයන කරන්නේ වෙනත් රටවලට තරග කිරීමට බැරි වන ලෙසයි. ඊටත් අමතරව ඩොලරයට සාපේක්ෂව චීන මුදල් ඒකකය කෘත්‍රිමව අඩු අගයකද පවත්වාගෙන යයි (ඊට විරුද්ධව චීනයට දැඩි අන්තර්ජාතික පීඩනයක් එල්ල වී තිබීම නිසා දැන් එම තත්වය පහව යමින් පවතී). එනිසා එම චීන අභියෝගයට අපට මුහුන දීමටද සිදු වේ. ඊට සාපේක්ෂව ලංකාව ගැන බලන විට අපේ අවජාතක පාලකයෝ තම හිතවතුන්ට බිලියන ගනන් අයථා ලාබ ඉපයීමට ආනයනය දිරිමත් කරන බවක් පෙනේ (සමහර බදු යහලුවන්ට වාසි සැලසෙන ලෙස අඩු කිරීමෙන්). 

ලෝකයම ඉදිරියට යද්දී වංශෙ කබල් ගාන “සිංහල රට“ ආපස්සට යමින් සිටී.

රටක් තුල සිදු කරන වෙලඳාම වගේ අන්තර්ජාතික වෙලඳාම පහසු නැත. එය තරමක් සංකීර්ණය. ඊට සාධාරන හේතු කිහිපයක් තිබේ.

     1.       තනි රටක් තුල සිදු වන වෙලඳාම ගත් විට, එම රට තුල බලාත්මකව පවතින්නේ එම රටේ පොදු නීති පද්ධතිය (jurisdiction) පමනි. සාමාන්‍යයෙන් රටක් තුල එකම නීතියක් තිබෙන නිසා, වෙලඳාමේදී ගෙවීම් පිලිබඳ හෝ භාන්ඩ හා සේවාවල ගුනාත්මය හෝ වෙලඳ කොන්දේසි කඩ වීම් සිදු වූ විට හෝ නීතිය ක්‍රියාත්මක කර ගැනීම පහසුය.

එහෙත් විවිධ රටවල් ගත් විට, එම රටවල් අතර පවතින නීති රෙගුලාසි වෙනස්ය. එවිට, යම් වෙලඳ ගැටලුවකදී කුමන නීතිය ක්‍රියාත්මක කල යුතුද, කෙසේ ක්‍රියාත්මක කල යුතුද යන්න සැලකිය යුතු කරුනකි. තවද, එවන් නීති ක්‍රියාත්මක කර ගැනීමක් අවශ්‍ය වූ විට ඊට යන වියදමද අධික වේ.

     2.       එක් රටක සිට තවත් රටකට භාන්ඩ යවන විට සාමාන්‍යයෙන් එම රටවල් අතර තිබෙන පරතරය වැඩි නිසා ගුවන් සේවා, නැව් සේවා භාවිතා කරන්නට සිදු වේ. ලංකාව වැනි දූපත් රාජ්‍යයකට නම් එම ක්‍රම දෙක තමයි තිබෙන්නේ. එහෙත් යූරෝපා රටවල හෝ එවැනි ගොඩබිම් දේශ සීමාවලින් වෙන්ව ඇති රටවල් අතර අර ක්‍රම දෙකට අමතරව දුම්රිය සේවා, ට්‍රක් රථ සේවා, අභ්‍යන්තර ජල ප්‍රවාහන සේවා මඟින්ද භාන්ඩ ප්‍රවාහනය කෙරේ. ලංකාව ගැන සැලකුවොත් බඩු ගුවන් ගත කිරීම හෝ නැව් ගත කිරීමද තරමක බැරෑරුම් ලෙස සිදු කළ යුතු කාර්යකි.

     3.       තනි රටක් තුල සිදු වන ගනුදෙනුවලදී එම රටේ මුදල් ඒකකයෙන් ගෙවිය හැකි වුවත්, අන්තර්ජාතික වෙලඳාමේදී සාමාන්‍යයෙන් මුදල් ගෙවිය යුත්තේ අන්තර්ජාතික මුදල් ඒකකයකින්ය. ඇමරිකානු ඩොලරය (United States Dollar – USD), යුරෝ (Euro – EUR), ජපන් යෙන් (Japanese Yen – JPY), හා එක්සත් රාජධානි පවුම හෙවත් සටර්ලිං පවුම (Great British Pound – GBP) යනු ප්‍රධාන අන්තර්ජාතික මුදල් ඒකක හතරයි. මෙම තත්වය අන්තර්ජාතික වෙලඳාම තවත් සංකීර්න කරනවා.

ඉතිං, ඉහත මූලික අභියෝග තුනට ඉතාම හොඳ ක්‍රමවේද පවතී. ඒ සඳහා රටවල් දෙකක් අතර පවතින ද්විපාර්ශ්වික වෙලඳ ගිවිසුම් (bilateral trade agreements), රටවල් ගනනාවක් අතර ඇති කර ගන්නා බහුපාර්ශ්වික වෙලඳ ගිවිසුම් (multilateral trade agreements), හා අන්තර්ජාතික ආයතනවලින් හඳුන්වා දී ලෝකයේ බොහෝ රටවල් විසින් නීතිමය වශයෙන් බැඳීමකටද ලක් වී ඇති නොයෙක් ජාත්‍යන්තර ගිවිසුම් (international agreements, treaties, and covenants) හා ප්‍රමිතින් (international standards) පවතී. ලෝක වෙළඳ සංගමය (World Trade Organization – WTO), ජාත්‍යන්තර වානිජ මන්ඩලය (International Chamber of Commerce – ICC), ලෝක-ව්‍යාප්ත ජාත්‍යන්තර මූල්‍ය ගනුදෙනු සන්නිවේදනය සඳහා වූ සංගමය (Society for Worldwide International Financial TelecommunicationSWIFT) ආදි ජාත්‍යන්තර ගනයේ ආයතන මේ කටයුතුවල ඉදිරියෙන් සිටී.

හොඳයි, ඉදිරි ලිපිවලින් ආනයන අපනයන ක්‍රියාවලිය ගැන තරමක් ගැඹුරින් අධ්‍යනය කරමු.

Comments

  1. ඉතා හොද දැනුම් ලිපියක්
    ඉදිරි ලේකන කටයුතු සාර්ථක වේවා

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්...

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he ...

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල...