Skip to main content

අම්මා සඳකි මං ඒ ලොව හිරුය රිදී...

දේශපාලන කන්දොස්කිරියාව මැද දවස ගෙවී යද්දී අද සන්ද්‍යාවේ පාඩුවේ පොඩි වෙලාවක් වාඩි වෙලා ඉන්න අතරේ ඈතින් යකඩ කටකින් ටීඑම්ගේ අම්මා සඳකි සිංදුව ඇසුනා. යකඩ කට හඬ ගොරහැඬි වුනාට ඒ සිංදුවේ තනුව පදවැල් සංගීතය රසහව් සියල්ල යහමින් සම් මස් නහර ඇටමිදුලු තුලටම කිඳා බැස තිබෙන නිසා එහි රසයෙහි අඩුවක් නම් දැනුනෙ නැහැ.

ඒ සිංදුව ඉවර වෙනකොටම මොහිදින් බෙග් සිංදු කියන්න ගත්තා. මං මගේ අතීතාවර්ජනාවලියක් ඔස්සේ පියනැංගා. මුලින්ම මතක් වුනේ උසස් පෙල ඉගෙන ගන්න කාලේ මේ සිංදුවට සම්බන්ද සිදුවීමක්. එක්තරා දවසක මට මතක විදියට “කවිදජ“ වැනි නමක් තිබූ ස්වාමින් වහන්සේ නමක විසින් පවත්වමු මව්පිය ගුණ වැඩසටහනක් ඒක. සියලු සිසුන්ට තමන්ගේ දෙමව්පියන් සමඟ පාසලට එන්න අනිවාර්ය කර තිබුනේ. සුපුරුදු ලෙසම මා එදත් තක්කඩි වැඩේ කලා. කිසිදා කුමන හේතුවක් නිසාවත් මා දෙමව්පියන් පාසලේ කිසිම ගුරුදෙගුරු හෝ වෙනත් අවස්ථාවකට අරං ගිහින් නැහැ. අපේ අම්මල අදටත් දන්නෙ නැහැ එවැනි කැඳවීම් පාසලෙන් කලා කියලා. 

ඉතිං හරිබරි ගැහිලා යහලුවකුගේ අම්ම කෙනෙකු සෙට් කරගත්තා. අද එම යාලුවා රටට හෙන ගැහුවත් උගේ පාඩුවේ හම්බ කරගෙන කන ඉංජිනේරුවෙක් RDA එකේ. ඇය පුටුවෙ ඉඳන් ඉන්නවා යාලුවත් මාත් ඇගේ පා ගාවින් බිම වාඩි වෙලා දැන් වැඩසටහනට සහභාගි වුනා. හිතුවට වඩා වැඩේ සෙන්ටිමෙන්ටල්. අර හිමිනම අපි හැමෝවම ඇඬෙව්වා. බකට් එකක් පුරවන්න තරම් එදා කඳුලු එන්න ඇති. හොඳ වෙලාවට අම්මව මං ගෙනිච්චෙ නැත්තේ කියල මං අදටත් හිතනව මොකද එහෙම ඇඬුන එක වස ලැජ්ජාවක්නෙ. අපිව හොඳටම ඇඬෙව්වේ ටීඑම්ගේ අර සිංදුවෙන්. ගෝටා වගේ නෙමෙයි හාමුදුරුවො නම් හොඳටම කලා. උගෙ තට්ටෙ පලන්න ඕන ඉතිං...

ඒ සිතුවිල්ල බොඳ වී යන්නට පෙර මං කල්පනා කලේ ඇයි මං දෙමව්පියන්ව කිසිදා පාසලට අරං නොගියෙ කියලා. කිසිදා කිසිදු විභාගයකින් දෙවැනියා වී නැති මං එසේ කලේ ඇයි කියල හිතුවා. එතරම් මා හා මගේ පවුල අතර සම්බන්දය දුරස්ථයි කියල දැන් තේරෙනවා. සමහරවිට ගෙදරදී අධ්‍යාපනයට මුල් තැන දී පූස් පැටියා වගේ ඉන්න නිසා මා ගැන සොයා බලන්නට දෙයක් නැතැයි සිතන්නටත් ඇති. අදටත් මට අම්ම තාත්ත ඉදිරියේ කෙල්ලෙකුට කෝල් කරන්න බැරි ලැජ්ජාවක් තියෙනවා. එච්චරට පූස් පැටියා. එහෙත් එලියෙදි මං තරමක නසරානියෙක්. මට සිතෙන්නේ ඒගොල්ලන්ට එච්චර ඕනකමක් තිබුනේ නැත කියාය. ඇයි එසේ වුනේ කියා ඔවුන්ගෙන් අසා දැනගැනීමටද අවශ්‍යතාවක් දැනෙන්නේ නැත.

එලෙස දුක සතුටු මිශ්‍ර අතීතය දෙස සිතමින් යන අතරේ මට හිතුනා පිය සෙනෙහස ගැන පොඩ්ඩක් ලියන්න. මා එය උපරිම විඳපු කෙනෙකු නොවන බව මා දන්නවා. එහෙත් පිය සෙනෙහස යනු ලෝකයේ තිබිය හැකි ඉතාම අපූරුතම දෙයක් බව දන්නවා පමනක් නොව හදවතට හොඳින් දැනෙනවා මා තනිකඩයකු වුවත්.

ලංකාවේ බොහෝ විට දක්නට ලැබෙන්නේ මගේ තාත්තා වගේම සාම්ප්‍රදායික පියකි. පවුලේ සියලු බරපැන දරන්නේ ඔහුයි. කෙටියෙන්ම ගෙදර පිරිමියා ඔහුයි. සමහර පියවරු හවසට මධුවිතක් පානය කිරීම සිරිතකි. මා දැඩිව අප්‍රිය කලත් මගේ තාත්තාද එසේය. බිව්වහම ජොලි වුනත් මා අඩුම ගානේ බීපු වෙලාවට කතා කරන්නේවත් නැත. අදටත් මා බීපු අයත් සමඟ කතා කරන්නේ නැත. එම කාලය අපි සමඟ සෙල්ලමක් කිරීමට හෝ සුන්දර කතා බහක් කිරීමට යෙදෙව්වා නම් තාත්තාට අප තවත් ළං වෙන්න තිබුනා යැයි සිතෙනවා. 

මං තරුන කාලේ හිතුවා තාත්තෙක් වෙනවා නම් මෙසේ විය යුතුයි කියලා.

කොච්චර මහන්සිවෙලා ගෙදර ආවත් තාත්තා සුන්දර තාත්තාම විය යුතුය. බිරිඳව සිප විහිලු තහලුවක් කර දරුවන්ව කරට අරං ටිකක් සෙල්ලම් කල යුතුය. තාත්තා අපිවත් එකතු කරගෙන හවසට වත්තට බැහැලා වාඩි වී සිටිය යුතුය. ඒ අතරේ මොනා මොනා හරි ඕප දූප ටිකක් කියව කියවා සිටිය යුතුය. අම්මාද ඒවාට හවුල් විය යුතුය. තාත්තා අපිව එක්කරං පාරේ හෙමින් සක්මන් කල යුතුය. ඒ යන අතරේ ජීවිතයේ විවිද දේවල් ගැන අපට කියා දිය යුතුය. ලෝකයේ හැටි පෙන්වා දිය යුතුය. මිනිසුන්ට ගහකොලට සතා සිව්පාවාට ආදරය කරන හැටි කියා දිය යුතුය. ඒ පාර අනන්තයට යන තෙක් යන පාරක් නම්.... රෑට බිරිඳද දරුවන්ද කැටුව අහසේ තරු බැලිය යුතුය. උල්කාපාත වැට අද්දරට වැටෙන අයුරුත් හෙමින් හෙමින් චන්ද්‍රිකා අහසේ රවුම් ගාන හැටිත් පෙන්විය යුතුය. අහසේ තරු රටාවල තරු එකින් එක ඇහිදිය යුතුය. සුදු වැලි පාරක ලස්සන, සඳ ඇති දවසට පොල් ඉති අඹ කොල දිලිසෙන ලස්සන, පාන්දර පිනිදිය කොල අග රැඳී තිබෙන අපූරුව, ඝනදුරේ පියාඹන කුඩා ලන්තෑරුම් එලිවල ලස්සන ආදිය අප සිත් තුල කාවද්දා ලෝකයේ ශෘංගාරය අපට දැනවිය යුතුය. රෝම ග්‍රීක හින්දු මිත්‍යා කතාන්දර රසකර අපිට කියා දිය යුතුය. තාත්තාගේ අතින් එක කටක්වත් කැවිය යුතුය. තාත්තාගේ වැඩවලට අපිවත් පොඩියට හරි හවුල් කර ගත යුතුය. තාත්තා අපිවත් එකතු කරගෙන ඉඳහිට ගෙදර කෑම වේලක් පිසිය යුතුය. ස්පෙෂල් එක... ලස්සන පොතක් ගැන අපි සමඟ සාකච්ඡා කල යුතුය. අපි සමඟ සිංදු කිය යුතුය. සතියකට වරක්වත් ආදරෙයි කියා කිය යුතුය. මේ කිසිවකට තාත්තාට අමුතුවෙන් සල්ලි වැය වන්නේ නැත. ඇයි අපේ තාත්තා එහෙම කලේ නැත්තේ?

තම ආදරනීය බිරිඳ හා දරුවන් වෙනුවෙන් තාත්තාට වියදම් නොකර කොතරම් දේවල් තව කල හැකිද... පෞද්ගලිකව මා මිතුරන්ට මේවා පවසන විට ඒවා නොකරන්නට දහසක් හේතු උන් මට කියනවා. එහෙත් බිරිඳගේ දරුවන්ගෙ ජීවිතවලට වඩා වටින තව දෙයක් කසාද පිරිමියෙකුට තිබිය හැකිද? විවිධ වැඩ දහසක් තිබුනත් ඒ සියලු වැඩ අතර පවුල සමඟ ගත කිරීම පලමු රාජකාරිය විය යුතුය. අපේ තාත්තා මෙහෙම අපේ ජීවිත බබලවපු සුන්දර වටිනාම මිනිසා කියා තම දරුවකුගේ කටින් ඇසීම එම පියාව ස්වර්ගයට ගෙන යෑමට එකම හේතුව විය හැකිය. සුන්දර පියකු වන්න. එතකොට අර ටීඑම් කියනවා වගේ දරුවගේ ලොවේ බබලන හිරු ඔබයි.

Comments

Popular posts from this blog

මෝහනය / mohanaya (hypnosis) - 1

මෝහනය (mohanaya - Hypnosis) ගැන සිංහල බසින් ලියවී නොමැති අතර, එය ගැන උනන්දුවක් දක්වන අයට පහසුවෙනුත් නිවැරදිවත් ඉගෙන එය වගකීම් සහගතව භාවිතා කිරීමට හැකිවන පරිදි එම විෂය පිළිබඳ ඉතා සවිස්තරාත්මකව මෙම පොතෙන් ඉදිරිපත් කිරීම අරමුණ වේ. එම පොතේ කරුණු කුඩා කොටස් වශයෙන් මෙම බ්ලොග් එකෙහි පළ කිරීම සිදු වේ. හැඳින්වීම දියුණු යැයි සම්මත බටහිර සමාජයෙත් “ මෝහනය ” ගැන තවමත් උගත් නූගත් බොහෝ දෙනා අතර පවතින්නේද වැරදි අවබෝධයක් වන අතර, එම තත්වය ශ්‍රී ලංකාව තුළ ඊටත් වඩා බරපතල ලෙස දක්නට ලැබෙනවා. මේ සෑම සමාජයකම මෝහනය ගැන යම් හෝ දැනුමක් ඔවුන් බොහෝ විට ලබා ගෙන ඇත්තේ සමහර චිත්‍රපට හා ටෙලිනාට්‍යවල ඇති මෝහනය ඇතුළත් දර්ශනවලිනි. අවාසනාවකට චිත්‍රපට හා ටෙලිනාට්‍යවලින් පෙන්වන්නේ කිසිසේත් මෝහනයෙන් කළ නොහැකි එහෙත් එම කලාත්මක නිර්මාණයේ රස උත්පාදනය සඳහාම ඇති තවත් ප්‍රබන්ධයන් පමණි. ඔබම සිතා බලන්න මෝහනය පිළිබඳ ඔබ යම් දැනුමක් ලබා ඇතිනම්, ඊට කොතරම් චිත්‍රපට දර්ශන ආදිය බලපා ඇතිද කියා. සෑම ක්ෂේත්‍රයකම මෙන්ම මෝහනයද නිවැරදිව අවබෝධ කර හා නොකර එහි නියැළෙන අය සිටී. කෙනෙකු මෝහනය කිරීමට පැයක් වැනි කුඩා කාලයකින් වුවද අවශ්‍ය නම්...

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala)

ඔන්න මෙතෙක් කාලයක් මා මඟ හරිමින් සිටි මාතෘකාවක් ගැන තරමක් කතා කරන්නයි සූදානම් වන්නේ; ඒ කියන්නේ ක්වන්ටම් භෞතිකය තමයි මාතෘකාව. සැරින් සැරේ කමෙන්ට් හරහාත්, ඊමේල් ආදියෙනුත් මේ ගැන කතා කරමු යැයි කිහිප දෙනෙකුම යෝජනා කර තිබුණත්, මෙම විෂයේ නිසඟයෙන්ම තිබෙන අවුල් ස්වභාවය නිසාත්, විශේෂඥයෝ යැයි කියා ගන්නා අයත් මේ ගැන කතා කිරීමේදී "කොරවන නිසාත්", මේ ගැන ලියමින් යන විට අනිවාර්යෙන්ම මාව හිට් විකට් කිරීමට එවන පන්දු හමුවේ නොදැවී සිටීමට හැකිදැයි සැකයක් මා තුල තිබුණි.   එනිසා මා විසින්ම මට පනවා ගත් කොන්දේසියක් සමඟ මා ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමි. එම කොන්දේසිය වන්නේ මේ විෂය ගැන අසන කිසිදු පැනයකට මා පිලිතුරු නොදී සිටීමයි. එහෙත් ඕනෑම අයෙකුට ප්‍රශ්නය ඇසීමට මෙන්ම ඒවාට පක්ෂව හෝ විරුද්ධව කරුනු දැක්වීමට හා පිලිතුරු සැපයීමට ඇති අයිතිය මා අවහිර නොකරමි. විෂයට බහින්නට පෙර මේ විෂය සම්බන්දයෙන් මගේ ජීවිතයේ පැතිකඩක් පලමුව දිග හරින්නට කැමතියි. මට ක්වන්ටම් විද්‍යාව ගැන උනන්දුවක් ඇති වූයේ සාපෙල කරන සමයේය (අද මෙන් අන්තර්ජාලයක් අපට එදා තිබුනේ නැත). මා පාසලේ 6 වසරේ සිට උසස් පෙල දක්වා අඛන්ඩව විදුසර පාඨකයෙකු වන අ...

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අ...