Skip to main content

අම්මා සඳකි මං ඒ ලොව හිරුය රිදී...

දේශපාලන කන්දොස්කිරියාව මැද දවස ගෙවී යද්දී අද සන්ද්‍යාවේ පාඩුවේ පොඩි වෙලාවක් වාඩි වෙලා ඉන්න අතරේ ඈතින් යකඩ කටකින් ටීඑම්ගේ අම්මා සඳකි සිංදුව ඇසුනා. යකඩ කට හඬ ගොරහැඬි වුනාට ඒ සිංදුවේ තනුව පදවැල් සංගීතය රසහව් සියල්ල යහමින් සම් මස් නහර ඇටමිදුලු තුලටම කිඳා බැස තිබෙන නිසා එහි රසයෙහි අඩුවක් නම් දැනුනෙ නැහැ.

ඒ සිංදුව ඉවර වෙනකොටම මොහිදින් බෙග් සිංදු කියන්න ගත්තා. මං මගේ අතීතාවර්ජනාවලියක් ඔස්සේ පියනැංගා. මුලින්ම මතක් වුනේ උසස් පෙල ඉගෙන ගන්න කාලේ මේ සිංදුවට සම්බන්ද සිදුවීමක්. එක්තරා දවසක මට මතක විදියට “කවිදජ“ වැනි නමක් තිබූ ස්වාමින් වහන්සේ නමක විසින් පවත්වමු මව්පිය ගුණ වැඩසටහනක් ඒක. සියලු සිසුන්ට තමන්ගේ දෙමව්පියන් සමඟ පාසලට එන්න අනිවාර්ය කර තිබුනේ. සුපුරුදු ලෙසම මා එදත් තක්කඩි වැඩේ කලා. කිසිදා කුමන හේතුවක් නිසාවත් මා දෙමව්පියන් පාසලේ කිසිම ගුරුදෙගුරු හෝ වෙනත් අවස්ථාවකට අරං ගිහින් නැහැ. අපේ අම්මල අදටත් දන්නෙ නැහැ එවැනි කැඳවීම් පාසලෙන් කලා කියලා. 

ඉතිං හරිබරි ගැහිලා යහලුවකුගේ අම්ම කෙනෙකු සෙට් කරගත්තා. අද එම යාලුවා රටට හෙන ගැහුවත් උගේ පාඩුවේ හම්බ කරගෙන කන ඉංජිනේරුවෙක් RDA එකේ. ඇය පුටුවෙ ඉඳන් ඉන්නවා යාලුවත් මාත් ඇගේ පා ගාවින් බිම වාඩි වෙලා දැන් වැඩසටහනට සහභාගි වුනා. හිතුවට වඩා වැඩේ සෙන්ටිමෙන්ටල්. අර හිමිනම අපි හැමෝවම ඇඬෙව්වා. බකට් එකක් පුරවන්න තරම් එදා කඳුලු එන්න ඇති. හොඳ වෙලාවට අම්මව මං ගෙනිච්චෙ නැත්තේ කියල මං අදටත් හිතනව මොකද එහෙම ඇඬුන එක වස ලැජ්ජාවක්නෙ. අපිව හොඳටම ඇඬෙව්වේ ටීඑම්ගේ අර සිංදුවෙන්. ගෝටා වගේ නෙමෙයි හාමුදුරුවො නම් හොඳටම කලා. උගෙ තට්ටෙ පලන්න ඕන ඉතිං...

ඒ සිතුවිල්ල බොඳ වී යන්නට පෙර මං කල්පනා කලේ ඇයි මං දෙමව්පියන්ව කිසිදා පාසලට අරං නොගියෙ කියලා. කිසිදා කිසිදු විභාගයකින් දෙවැනියා වී නැති මං එසේ කලේ ඇයි කියල හිතුවා. එතරම් මා හා මගේ පවුල අතර සම්බන්දය දුරස්ථයි කියල දැන් තේරෙනවා. සමහරවිට ගෙදරදී අධ්‍යාපනයට මුල් තැන දී පූස් පැටියා වගේ ඉන්න නිසා මා ගැන සොයා බලන්නට දෙයක් නැතැයි සිතන්නටත් ඇති. අදටත් මට අම්ම තාත්ත ඉදිරියේ කෙල්ලෙකුට කෝල් කරන්න බැරි ලැජ්ජාවක් තියෙනවා. එච්චරට පූස් පැටියා. එහෙත් එලියෙදි මං තරමක නසරානියෙක්. මට සිතෙන්නේ ඒගොල්ලන්ට එච්චර ඕනකමක් තිබුනේ නැත කියාය. ඇයි එසේ වුනේ කියා ඔවුන්ගෙන් අසා දැනගැනීමටද අවශ්‍යතාවක් දැනෙන්නේ නැත.

එලෙස දුක සතුටු මිශ්‍ර අතීතය දෙස සිතමින් යන අතරේ මට හිතුනා පිය සෙනෙහස ගැන පොඩ්ඩක් ලියන්න. මා එය උපරිම විඳපු කෙනෙකු නොවන බව මා දන්නවා. එහෙත් පිය සෙනෙහස යනු ලෝකයේ තිබිය හැකි ඉතාම අපූරුතම දෙයක් බව දන්නවා පමනක් නොව හදවතට හොඳින් දැනෙනවා මා තනිකඩයකු වුවත්.

ලංකාවේ බොහෝ විට දක්නට ලැබෙන්නේ මගේ තාත්තා වගේම සාම්ප්‍රදායික පියකි. පවුලේ සියලු බරපැන දරන්නේ ඔහුයි. කෙටියෙන්ම ගෙදර පිරිමියා ඔහුයි. සමහර පියවරු හවසට මධුවිතක් පානය කිරීම සිරිතකි. මා දැඩිව අප්‍රිය කලත් මගේ තාත්තාද එසේය. බිව්වහම ජොලි වුනත් මා අඩුම ගානේ බීපු වෙලාවට කතා කරන්නේවත් නැත. අදටත් මා බීපු අයත් සමඟ කතා කරන්නේ නැත. එම කාලය අපි සමඟ සෙල්ලමක් කිරීමට හෝ සුන්දර කතා බහක් කිරීමට යෙදෙව්වා නම් තාත්තාට අප තවත් ළං වෙන්න තිබුනා යැයි සිතෙනවා. 

මං තරුන කාලේ හිතුවා තාත්තෙක් වෙනවා නම් මෙසේ විය යුතුයි කියලා.

කොච්චර මහන්සිවෙලා ගෙදර ආවත් තාත්තා සුන්දර තාත්තාම විය යුතුය. බිරිඳව සිප විහිලු තහලුවක් කර දරුවන්ව කරට අරං ටිකක් සෙල්ලම් කල යුතුය. තාත්තා අපිවත් එකතු කරගෙන හවසට වත්තට බැහැලා වාඩි වී සිටිය යුතුය. ඒ අතරේ මොනා මොනා හරි ඕප දූප ටිකක් කියව කියවා සිටිය යුතුය. අම්මාද ඒවාට හවුල් විය යුතුය. තාත්තා අපිව එක්කරං පාරේ හෙමින් සක්මන් කල යුතුය. ඒ යන අතරේ ජීවිතයේ විවිද දේවල් ගැන අපට කියා දිය යුතුය. ලෝකයේ හැටි පෙන්වා දිය යුතුය. මිනිසුන්ට ගහකොලට සතා සිව්පාවාට ආදරය කරන හැටි කියා දිය යුතුය. ඒ පාර අනන්තයට යන තෙක් යන පාරක් නම්.... රෑට බිරිඳද දරුවන්ද කැටුව අහසේ තරු බැලිය යුතුය. උල්කාපාත වැට අද්දරට වැටෙන අයුරුත් හෙමින් හෙමින් චන්ද්‍රිකා අහසේ රවුම් ගාන හැටිත් පෙන්විය යුතුය. අහසේ තරු රටාවල තරු එකින් එක ඇහිදිය යුතුය. සුදු වැලි පාරක ලස්සන, සඳ ඇති දවසට පොල් ඉති අඹ කොල දිලිසෙන ලස්සන, පාන්දර පිනිදිය කොල අග රැඳී තිබෙන අපූරුව, ඝනදුරේ පියාඹන කුඩා ලන්තෑරුම් එලිවල ලස්සන ආදිය අප සිත් තුල කාවද්දා ලෝකයේ ශෘංගාරය අපට දැනවිය යුතුය. රෝම ග්‍රීක හින්දු මිත්‍යා කතාන්දර රසකර අපිට කියා දිය යුතුය. තාත්තාගේ අතින් එක කටක්වත් කැවිය යුතුය. තාත්තාගේ වැඩවලට අපිවත් පොඩියට හරි හවුල් කර ගත යුතුය. තාත්තා අපිවත් එකතු කරගෙන ඉඳහිට ගෙදර කෑම වේලක් පිසිය යුතුය. ස්පෙෂල් එක... ලස්සන පොතක් ගැන අපි සමඟ සාකච්ඡා කල යුතුය. අපි සමඟ සිංදු කිය යුතුය. සතියකට වරක්වත් ආදරෙයි කියා කිය යුතුය. මේ කිසිවකට තාත්තාට අමුතුවෙන් සල්ලි වැය වන්නේ නැත. ඇයි අපේ තාත්තා එහෙම කලේ නැත්තේ?

තම ආදරනීය බිරිඳ හා දරුවන් වෙනුවෙන් තාත්තාට වියදම් නොකර කොතරම් දේවල් තව කල හැකිද... පෞද්ගලිකව මා මිතුරන්ට මේවා පවසන විට ඒවා නොකරන්නට දහසක් හේතු උන් මට කියනවා. එහෙත් බිරිඳගේ දරුවන්ගෙ ජීවිතවලට වඩා වටින තව දෙයක් කසාද පිරිමියෙකුට තිබිය හැකිද? විවිධ වැඩ දහසක් තිබුනත් ඒ සියලු වැඩ අතර පවුල සමඟ ගත කිරීම පලමු රාජකාරිය විය යුතුය. අපේ තාත්තා මෙහෙම අපේ ජීවිත බබලවපු සුන්දර වටිනාම මිනිසා කියා තම දරුවකුගේ කටින් ඇසීම එම පියාව ස්වර්ගයට ගෙන යෑමට එකම හේතුව විය හැකිය. සුන්දර පියකු වන්න. එතකොට අර ටීඑම් කියනවා වගේ දරුවගේ ලොවේ බබලන හිරු ඔබයි.

Comments

Popular posts from this blog

ලංකාවේ දේශපාලන පවුල්

තරමක ඕපාදූපයක් ගැන ලියන්නට හිතුනා. මේක දේශපාලන ඔපාදූපයක්. ලංකා දේශපාලනය හැඩගැස්වීමට (හොඳට නරකට) මූලික වූ දේශපාලන චරිත හා පරම්පරා කිහිපයක තොරතුරු ටිකක් ගැනයි මේ සටහන. ඔවුන් එකිනෙකා නෑයෝ. අන්න ඒ නෑදෑකම් ගැන පමනයි මා මෙහිදි සටහන් කරන්නට සිතන්නේ. සේනානායක, බණ්ඩාරනායක, ඔබේසේකර, විජේවර්ධන, ජයවර්ධන, කොතලාවල ආදී පරම්පරා අතර තිබෙන නෑ සබඳතා ගැනයි මේ විමසුම. එහෙත් ඒ ගැන ලිවීමට පෙර මේ මොහොතේ සමාජ මාධ්‍ය තුල පක්ෂ විපක්ෂව කතා කෙරෙන ජනපති අනුර හා පිරිසගේ විදෙස් සංචාර වියදම හා ඊට සාපේක්ෂව හිටපු ජනපතිවරුන්ගේ විදෙස් සංචාරක වියදම ගැනත් කෙටියෙන් සටහනක් තැබීමට කැමතියි. හිටපු ජනපතිවරුන්ගේ, විශේෂයෙන් මහින්ද රාජපක්කගේ විදෙස් සංචාර ගැන අපට ඇත්තටම ඇත්තේ පිලිකුලකි. උන් රටේ දුප්පත් ජනයාගේ වියදමින් එම ගමන් බිමන් ගියේ හා විනෝද වුනේ ධනවත් කුවේරයන් මෙනි. ඒ ගැන තිබෙන පිලිකුල එලෙසම නොවෙනස්ව තිබේ. ඊට සාපේක්ෂව අනුර කුමාරගේ වියදම රුපියල් ලක්ෂ 18ක් බව පැවසේ. මේ ගැන චාමර මන්ත්‍රී වරයා පාර්ලිමේන්තුවේදී අපූරු කතාවක් කලා. අනුරට බාගේ ටිකට් කඩලද දන්නේ නැහැ යනුවෙන් ඔහු කල හාස්‍යජනක ප්‍රකාශය ඇත්තටම ඇසිය යුතු ඉතාම නිවැරදි ප්‍රකාශයය...

අව් කන්නාඩියක් (sunglass) තෝර ගන්නා හැටි

මෑතකදී මා මිල දී ගත් අව් කන්නාඩියේ ප්‍රමිතිය ගැන මට ගැටලුවක් ඇති විය. දැන් මා එම ගැටලුව මුලු මනින්ම විසඳා ගත් අතර, එහි ඇති වැදගත්කම නිසා ඒ ගැන කෙටි ලිපියක් ලියන්නට සිතුනා. සමහර අය සිතන්නේ අව් කන්නාඩි පලදින්නේ සෝබනේට බවයි. ඔව්, සෝබනේටත් එය පැලදිය හැකි අතර මා සිතන්නේ ලංකාවේ බොහෝ අය එය පලදින්නේ ඇත්තටම සෝබනේට තමයි මොකද ඔවුන් මිල දී ගන්නා අව් කන්නාඩියේ තිබිය යුතු වැදගත් අංග මොනවාද යන්න ගැන අවබෝධයක් නැති අතර, හුදෙක්ම එහි හැඩය ගැන පමනයි සලකන්නේ. පලමුව කිව යුත්තේ ප්‍රමිතිගත අව්කන්නාඩි පැලදීම ඇත්තටම ඉතාම හොඳ සෞඛ්‍යසම්පන්න පුරුද්දක් බව. ඊට හේතු කිහිපයක් තිබේ. එලිමහනේ යද්දී හෝ සිටිද්දී අපේ ඇසට සාමාන්‍ය ආලෝකයට පමනක් නොව පාරජම්බූල කිරන (ultraviolet rays - UV rays) පවා ඇතුලු වේ. පාරජම්බූල කිරන යනු ඇසට පමනක් නොව, බොහෝ දේවලට අහිතකර කිරණ විශේෂයකි (හරියට එක්ස්රේ වගේ දරුනුයි යැයි සිතන්න). ඉතිං, එක්ස් කිරණ මෙන්ම පාරජම්බූල කිරණද අපේ ඇසට කොතරම් ඇතුලු වුවත් අපට එය තේරෙන්නේ නැත (ඇස සංවේදී නැත). ඉතිං, පාරජම්බූල කිරණ ඇසට ඇතුලු වූ විට ඇසේ සුද මතු වේ. අද එය සුලභ රෝගයකි (බොහෝ අය කාච දමන්නේ එම රෝගය නිසාය).  ඉති...

කතාවක් කර පොරක් වන්න...

කෙනෙකුගේ ජීවිතය තුල අඩුම වශයෙන් එක් වතාවක් හෝ කතාවක් පිරිසක් ඉදිරියේ කර තිබෙනවාට කිසිදු සැකයක් නැත. පාසැලේදී බලෙන් හෝ යම් සංගම් සැසියක හෝ රැස්වීමක හෝ එම කතාව සමහරවිට සිදු කර ඇති. පාසලේදී කතා මඟ හැරීමට ටොයිලට් එකේ සැඟවුනු අවස්ථාද මට දැන් සිහිපත් වේ. එහෙත් එදා එසේ කතා මඟ හැරීම ගැන අපරාදේ එහෙම කළේ යැයි අද සිතේ. යහලුවන් ඉදිරියේ "පොර" වෙන්න තිබූ අවස්ථා මඟ හැරුණේ යැයි දුකක් සිතට නැඟේ. ඇත්තටම කතාවක් කිරීම "පොර" කමකි. දක්ෂ කතිකයන්ට සමාජයේ ඉහල වටිනාකමක් හිමි වේ. පාසැලේදී වේවා, මඟුලක් අවමඟුලක් හෝ වෙනත් ඕනෑම සමාජ අවස්ථාවකදී වේවා දේශපාලන වේදිකාව මත වේවා කතාවක් කිරීමේදී පිලිපැදිය යුත්තේ සරල පිලිවෙතකි. එහෙත් එම සරල පිලිවෙත තුල වුවද, තමන්ගේ අනන්‍යතාව රඳවන කතාවක් කිරීමට කාටත් හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වේ. එම වෙනස ප්‍රසිද්ධ කතා (public speaking) තුලද පවත්වාගත හැකිය. මේ ගැන මට ලිපියක් ලියන්නට සිතුනේ මාගේ මිතුරෙකුට ප්‍රසිද්ධ කතාවක් කිරීමට අවශ්‍ය වී, ඒ ගැන මේ ළඟ දවසක අප පැයක් පමණ සිදු කළ සංවාදයක් නිසාය. මා ප්‍රසිද්ධ දේශකයකු නොවුණත් මේ විෂය සම්බන්දයෙන් පාසැල් කාලයේ සිටම පත ...