Skip to main content

තෙරුවන් සරන ගිය මාලිමාව

තවත් අපූරු ඡන්දයක් නිම විය. එය කරුණු රැසක් නිසා අපූර්ව වේ. සමහරු කියන පරිදි රදලයන්ගේ දේශපාලනයේ අවසානයක් (තාවකාලිකව හෝ) ඉන් සිදු විය. වැඩ කරන ජනයාගේ, නිර්ධන පංතියේ නායකයෙකු හා පක්ෂයක් බලයට පත් වීමද සුවිශේෂී වේ. රටේ මෙතෙක් සිදු වූ සකල විධ අපරාධ, දූෂන, භීෂන සොයා දඩුවම් කරනවා යැයි සමස්ථ රටවැසියා විශ්වාස කරන පාලනයක් ඇති විය. තවද, බහුතර කැමැත්ත නැති (එනම් 43%ක කැමැත්ත ඇති) ජනපතිවරයකු පත් විය. ජවිපෙ නායකයෙක් "තෙරුවන් සරණයි" කියා පැවසීමත් පුදුමය. මේ සියල්ල ලංකා ඉතිහාසයේ පලමු වරට සිදු වූ අපූරු දේශපාලන සංසිද්ධි වේ. මාද විවිධ හේතුන් මත අනුරට විරුද්ධව මෙවර තර්ක විතර්ක, සංවාද විවාද, හා "මඩ" යහමින් ගැසූ තත්වයක් මත වුවද, ඔහු දැන් රටේ ජනපති බැවින් ඔහුට පලමුව සුබ පතමි.  ඔහුට විරුද්ධව වැඩ කලත්, මා (කිසිදා) කිසිදු පක්ෂයකට හෝ පුද්ගලයකුට කඩේ ගියේද නැති අතර අඩුම ගණනේ මාගේ ඡන්දය ප්‍රකාශ කිරීමටවත් ඡන්ද පොලට ගියෙ නැත (ජීවිතයේ පලමු වරට ඡන්ද වර්ජනයක). උපතේ සිටම වාමාංශික දේශපාලනය සක්‍රියව යෙදුනු පවුලක හැදී වැඩී, විප්ලවවාදි අදහස්වලින් මෙතෙක් කල් දක්වා සිටි මා පලමු වරට සාම්ප්‍රදායික (කන්සර්වටිව්...

ආනයනය හා අපනයනය (International Trade) - 3

Payment Terms (ගෙවුම් ක්‍රම)

ඕනෑම වෙලඳාමකදී මෙන්ම, අන්තර්ජාතික වෙලඳාමෙදිත් මුදල් ගෙවීම් කළ යුතු වෙනවා. අපනයනකරු තම බඩු ආනයනකරුට යවන විට එම බඩුවල වටිනාකම ගෙවන්න එපැයි. එහෙත් රටක් තුල මුදල් ගෙවනවා වගේ පහසුවක් මෙහිදී නැත. රටක් තුල සිදු වූ වෙලඳාමකදී නම්, එම රටේ මුදල් ඒකකයෙන් අත්පිට මුදල් (cash) වලින් ගෙවිය හැකිය. එහෙමත් නැතිනම් චෙක්පතකින් ගෙවිය හැකිය. සාමාන්‍ය බිස්නස් ගනුදෙනු ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්වලින් ගෙවිය නොහැකිය. ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ් තියෙන්නේ පෞද්ගලික ගෙවීම් (personal expenses) සිදු කිරීමටයි.

අන්තර්ජාතික වෙලඳාමෙදි ගෙවීම් සිදු කල හැකි ආකාර ප්‍රධාන වශයෙන් 4ක් පමන ඇත.

     1.       Advance Payment

     2.       Letter of Credit (L/C) හෙවත් Documentary Credit

     3.       Documentary Collection

     4.       Open Account Payment

මේ ක්‍රම 4න් ප්‍රචලිතම ක්‍රමය වන්නේ L/C ක්‍රමය වේ. එහෙත් අනෙක් ක්‍රමද බහුලව භාවිතා වේ. අන්තර්ජාතික වෙලඳාමෙහි පාර්ශව දෙකක් හමු වෙනවානෙ අපනයනකරු හා ආනයනකරු ලෙස. ඉතිං, බොහෝවිට මෙම දෙදෙනා එකිනෙකාට මුන ගැසී නැත. සමහරවිට කතා බහද කර නැති වීමට හැකියි (ඊමේල් වැනි පනිවුඩ හරහා ගනුදෙනු තීරණය කරනවා විය හැකියි). තවද, අපි කඩේකින් ගිහින් තෝරාගෙන බඩු ගන්නවා වගේ ආනයනකරුට බැහැ බඩු චෙක් කර කර ගන්න. මෙවැනි අවදානම් අධික පරිසරයකදී මුදල් ගෙවීම ගැන කොතරම් සාංකාවක් එම පාර්ශව අතර ඇතිදැයි සිතා බලන්න.

ආනයනකරු සිතනවා ඇත්තේ මං ඉල්ලන බඩු ඒ කොලිටියෙන්ම අපනයනකරු විසින් එවාවිද යන්නයි. ඉතිං ඔහු කැමති නැති වෙන්න පුලුවන් බඩු ටික තමන් වෙත ලැබී ඒවා චෙක් කරන තුරු මුදල් ගෙවන්න. එලෙසම තත්වයකයි අපනයනකරුත් සිටින්නේ. ඔහු සිතනවා ඇති ආනයනකරු බඩු ටික ගත්තාට පසු ඔහුට මුදල් එවන එකක් නැහැ හෝ මුදල් එවීම කල් දදා ඉඳියි කියලා (ලංකාවේ ණයට සල්ලි ගත්තු එවුන් වගේ - සල්ලි ගන්න තුරු වැදගෙන එන එකා සල්ලි ගත්තට පසු උගේ පස්සෙන් වැඳගෙන යා යුතුය). එහෙත් කාලයක් තිස්සේ දෙදෙනා අතර වෙළඳාම් සාර්ථකව වැදගත් ලෙස සිදු වුනාම බොහෝවිට දෙදෙනා අතර යාලුකමක් හෝ විශ්වාසයක්ද ඇති විය හැකියි. එවිට මුදල් ගනුදෙනුව ගැන විශ්වාසයද වැඩි වේ.

ඉතිං, ආනයනකරු හා අපනයනකරු අතර පවතින විශ්වාසයේ තරමට ගැලපෙන ලෙස ගෙවීම් වර්ග 4ක් තිබේ. මේ එක් එක් ක්‍රමය ගැන විමසා බලමු.

 

Advance Payment

ඇඩ්වාන්ස් ක්‍රමයේදී අපනයනකරුට ආනයනකරුගෙන් ඕඩර් එක ලැබී ඒ ගැන සියලු කොන්දේසි කතා කර ගත් පසු, ආනයනකරු විසින් අපනයනකරු වෙත මුදල් එවයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ අපනයනකරුට මුදල් ලැබෙන්නේ ඔහු බඩු යවන්නටත් පෙරයි. ඒ කියන්නේ ආනයකරු අපනයනකරුව විශ්වාස කරනවා කියන එකයි. ඒකනෙ බඩුවලට කලින්ම සල්ලිත් ගෙවන්නේ. මෙය අපනයනකරුට ඉතාම වාසිදායක ගෙවීම් ක්‍රමයයි.

සමහර වෙලාවට ආනයනකරුට අකමැත්තෙන් හෝ අපනයනකරුට මෙලෙස ඇඩ්වාන්ස් පේමන්ට් කිරීමට සිදු වන අවස්ථා තිබෙනවා. උදාහරනයක් ලෙස, ආනයනකරුට යම් භාන්ඩයක් සපයා ගැනීම දුෂ්කර නම්, ඔහු අපනයනකරුගේ මොන කොන්දේසියකට යටත්ව හෝ එම භාන්ඩ ලබා ගන්න උත්සහ කරනවා. ලංකාවේ තෙල් හා ගෑස්වලට එවැනි තත්වයක් උදා වී තිබෙනවා. එම තෙල් හෝ ගෑස් සපයන ආයතනවලට ලංකා රජය ගැන තිබෙන විශ්වාසය කොතරම් අඩු වෙලාද කියතොත් “දෙන්නම් කාසිවලට“ (එනම්, අනෙක් ගෙවීම් ක්‍රමවලට) තෙල් ගෑස් දැන් උන් සපයන්නේ නැති අතර, මුලින් මුදල් ලබා දෙන ලෙස ඔවුන් කියයි. රටක් වශයෙන් අප කොතරම් හිඟන ලැජ්ජා සහගත තත්වයකට පත් වී ඇත්දැයි සිතා බලන්න.

තවමත් මූලික මට්ටමේ සිටින අපනයන ව්‍යාපාරවලට (startup export business) බොහෝවිට මෙම ගෙවීම් ක්‍රමයට මුදල් නොලැබෙනු ඇත. අලුත් ව්‍යාපාර ගැන කොහොමත් විශ්වාසය අඩුයිනෙ.

මෙම ක්‍රමය යොදා ගැනීමේ තවත් වාසියක් වන්නේ මේ සඳහා වැය වන බැංකු ගාස්තු ඉතා අවම වීමයි. සාමාන්‍යයෙන් TT (ටී ටී) යන ක්‍රමයට හෝ බැංකු අණකර (bank drafts) ක්‍රමයට මෙම මුදල් යැවිය හැකියි.

මොකක්ද මේ ටීටී?

Telegraphic Transfer හෝ Telex Transfer ලෙස හැඳින්වෙන මෙය කෙටියෙන් TT වේ. ටෙලෙක්ස් හෝ ටෙලිග්‍රැෆික් යන වචන තිබ්බත් දැන් එම තාක්ෂනයන් ඩයිනසෝර්ලා වගේ යල් පැන ඇති අතර, ඒ වෙනුවට අද පවතින දියුනු සන්නිවේදන පහසුකම් තමයි භාවිතා වෙන්නේ; එහෙත් අර පරන නම හුරුබුහුටි හා ප්‍රචලිත නිසා තවමත් එම නාමයන් එලෙසම භාවිතා වෙනවා.

මෙම ක්‍රමයම තමයි SWIFT transfer, Wire Transfer යන නම්වලිනුත් දැන් හැඳින්වෙන්නේ. සමහරවිට bank transfer කියාද මෙය හැඳින්වෙනවා (හැබැයි බෑන්ක් ට්‍රාන්ස්ෆර් කිව්වහම රටක් තුල බැංකු අතර මුදල් හුවමාරුවත් අයත් වෙනවා).

අන්තර්ජාතික ව්‍යාපාර ගනුදෙනු සඳහා පමනක් නොව, සාමාන්‍ය පුද්ගලයකු වෙනත් රටක සිටින පුද්ගලයකුට මුදල් යවන පහසු ක්‍රමයද මෙය වේ. 

අන්තර්ජාතික ව්‍යාපාර ගනුදෙනු සඳහා පමනක් නොව, සාමාන්‍ය පුද්ගලයකු වෙනත් රටක සිටින පුද්ගලයකුට මුදල් යවන පහසු ක්‍රමයද මෙය වේ. මෙහිදී එක් ට්‍රාන්සර් එකකට ඩොලර් 40ක් පමන බැංකු ගාස්තු අය කරනවා. එහෙත් මෙම අගය මීට වඩා බොහෝ වැඩි විය හැකියි (අතරමැදි කොරෙස්පොන්ඩන්ට් බැංකුත් හවුල් වෙනවා සමහර වෙලාවට; එවිට ඔවුන්ගේ චාජස් එකතු වෙනවා). බැංකුවෙන් බැංකුවට අයකිරීම්වල සුලු වෙනස්කම් තිබෙනවා.

පහත පියවරවලින් එය සිදු කෙරේ.

     1.       එහිදී ඔබ මුදල් ලබන කෙනාගේ බැංකු විස්තර පලමුව ලබා ගත යුතුය (කොහොමත් එම විස්තර ඕන කරනවනෙ ලංකාවේ ඇතුලෙ ඉන්න කෙනෙකුට මුදල් යවන්න වුනත්). ඔහු ඔබට ඔහුගේ බැංකුවේ නම හා SWIFT කෝඩ් එකයි, ඔහුගේ බැංකු ගිනුම් අංකයයි ලබා දේවි. දැන් ඔබ ආනයනකරු ලෙස සිතාගෙනයි මා මෙම විස්තරය කරන්නේ.

SWIFT ගැන මා මීට සති කිහිපයකට පෙර ඉතා පුලුල්ව සාකච්ඡා කර තිබෙනවා මෙම බ්ලොග් එකේම. ඒවා කියවා බලන්න. කෙටියෙන් කියතොත් ස්විෆ්ට් යනු ලොව පුරා තිබෙන බැංකු අතර මුදල් ගනුදෙනු කිරීමේදී එම ගනුදෙනුවලට අදාලව උපදෙස් රහසිගතව හා ආරක්ෂිතව බැංකු අතර හුවමාරු කරන පරිගනක ජාලයයි. ඇඩ්වාන්ස් පේමන්ට් ක්‍රමයෙදි පමනක් නොව අන්තර්ජාතික මට්ටමේ සිදු කරන ඕනෑම බැංකු ගනුදෙනුවකට වර්තමානයේ ස්විෆ්ට් හවුල් වේ. එම ස්විෆ්ට් ජාලයට සම්බන්ද සෑම බැංකුවකටම අනන්‍ය ස්විෆ්ට් කේතයක් ලැබේ. ඉතිං, ඔබගේ බැංකුවේ එම කේතය දැන ගත යුතුයි ඔබේ බැංකු ගිනුම් අංකය දන්නවා වගේම. උදාහරණ ලෙස සම්පත් බැංකුවේ ස්විෆ්ට් කේතය BSAMLKLX වේ.

     2.       ඉන්පසු ඔබේ බැංකුවට ගොස් ඔබට ටීටී එකක් යැවීමට ඇතැයි පවසන්න. එවිට, ඔබට ෆෝර්ම් එකක් දේවි පුරවන්න. එය පුරවා සල්ලි බදින්න. එහෙමත් නැතිනම් ඔබේ ගිනුමක් තිබේ නම්, එහි ප්‍රමානවත් මුදල් තිබේ නම්, එම ගිනුමෙන් මුදල් කපා ගන්නා ලෙසත් අර ෆෝරමයේ සටහන් කළ හැකියි.

මෙසේ කීවාට ඔබට මේ කටයුත්තට බාධා පවතිනවා. ඔබේ ගිනුමේ සල්ලි තිබුනු පලියට ඔබට ඕන ඕන විදියට විදෙස් විනිමය යැවීම තහනම් වේ. ඊට හේතුව ලංකාවේ විදෙස් විනිමය කවදත් හිඟ වීමයි. ඉතිං, අත්‍යවශ්‍ය කටයුතුවලට පමනයි ඔබට පිටරටට සල්ලි යැවිය හැක්කේ. එවන් අත්‍යවශ්‍ය කරනු කිහිපයක් ඇත.

 

ඔබේ දුවෙක් පුතෙක් හෝ සහකරු විදෙස් රටක උසස් අධ්‍යාපනය හදාරානවා නම්, ඊට සාක්ෂි ඉදිරිපත් කර ඔහුගේ අධ්‍යාපන වියදම් සඳහා මුදල් යැවීමට අවසර තිබේ.

 

ඔබට වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස්ගත වෙනවා නම්, එලෙස මුදල් යැවිය හැකියි.

 

විදෙස් රටක සංචාරය කරනවා නම් ඒ සඳහා වියදම් කිරීමටද ඔබට මුදල් ලබා ගත හැකියි.

 

එහෙමත් නැතිනම් ඔබ ආනයනය ව්‍යාපාරයක් කරන්නේ නම්, එවිටද ඔබගේ ආනයනික බඩුවලට ගෙවීමට මුදල් යැවිය හැකියි.


එසේ වුවත්, රටේ පවතින ආර්ථික තත්වයන් අනුව ඕනම මොහොතක ආණ්ඩුවට හැකියි මෙම නීති රීති වෙනස් කරන්නට. ඒ අනුව මේ ලියන මොහොතේ ලංකා රජයට ඩොලර් තඹ දොයිතුවක් නැති බංකොලොත් තත්වයට පත්ව ඇති නිසා, බෙහෙත් වැනි අත්‍යවශ්‍ය දෙයක්වත් ආනයනය කිරීමට ඩොලර් නැත. ලාෆ් ගෑස් සමාගටම ගෑස් ලංකාවට ගෙන ඒම සඳහා වියදම් කිරීමටවත් ඩොලර් නැත. එනිසා අති විශාල භාන්ඩ තොගයක් ආනයනය කිරීම තහනම් කර ඇත; එහෙමත් නැතිනම් දැඩි සීමා කිරීම් දමා ඇත.

ඉතිං, සාමාන්‍ය තත්වයෙන් රට තිබෙන අවස්ථාවකදී ඔබ බැංකුවට ගොස් ඔබේ නීත්‍යානුකූල ආනයන ලියවිලි ඉදිරිපත් කර, බැංකුව ලවා ටීටී එකක් අපනයනකරුට යැවිය හැකියි.

මෙහිදී තවත් සැලකිල්ලෙන් කල යුතු දෙයක් තිබෙනවා (එය ඇත්තටම බැංකුවේ සිටින නිලධාරියා විසින් කල යුත්තක්). එනම් ස්විෆ්ට් එක හරහා සල්ලි යැවීමේදී අඩුම ගාස්තුවක් අය වෙන විදියට කොරෙස්පොන්ඩන්ට් බැංකු තෝරා ගත යුතුයි. බැංකු නිලධාරියාගේ නොසැලකිල්ල හෝ නොදැනුවත්කම නිසා වැඩි අයකිරීම් සහිත අතරමැදි බැංකුවක සේවාව ලබා ගැනීමට හැකියි. වරක් එය මට සිදු වුනා. සාමාන්‍ය ගාස්තු මෙන් දෙගුනයක ගාස්තු මට එහිදී ගෙවන්නට සිදු වුනා. ඉතිං බැංකු නිලධාරියාට ඒ බව මතක් කරන්න. ඔබ මීට පෙර අඩු ගාස්තුවලින් සල්ලි යැව්වා නම්, ඒ බවත් ප්‍රකාශ කරන්න. බොහෝවිට ඔබ යැවූ පරන ක්‍රමයටම තමයි බැංකු නිලධාරියාත් නැවත සල්ලි යවන්නේ. කෝකටත් කියන එක හොඳයිනෙ.

     3.       අපනයනකරු තමන්ට මුදල් ලැබුනු පසු ඔහු බොහෝවිට එම මුදලින්ම තැරැව්කරුවන්ගෙන් හෝ කෙලින්ම නිෂ්පාදකයාගෙන් භාණ්ඩ සපයා ගෙන ඒවා හසුරා නැව්ගත කර ඔබට අවශ්‍ය ලිපිලේකන කුරියර් සේවාවක් (DHL, FedEx වැනි) හරහා එවනු ඇත. ඇත්තටම මෙහිදී අපනයනකරුට අතින් එක සතයක් වියදම් කිරීමටද අවශ්‍ය නැත මොකද මුලින්ම මුදල් ලැබෙන නිසා, එම මුදලින් ඒවා කර තමන්ටද අතිරේකව ලාභයක් ලැබිය හැකියි.

මොනාද බෑන්ක් ඩ්‍රාෆ්ට් කියන්නේ?

බෑන්ක් ඩ්‍රාෆ්ට් එකක් වුවත් බැංකුවකට ගිහින් ලබා ගත හැකියි. බෑන්ක් ඩ්‍රාෆ්ට් එකක් රටක් තුල යම් ගෙවීමක් කිරීම සඳහා ලබා ගන්නා විට, ඉතාම පහසුවෙන් එය බැංකුව විසින් ඉටු කර දුන්නත්, විදෙස් රටකට යවන බෑන්ක් ඩ්‍රාෆ්ට් එකකදී පෙර කියූ දැඩි කොන්දේසි හා සීමාවලට ඔබ යටත් වේ. මේ සඳහාද (ඔබ යවන මුදලේ මුලු වටිනාකම අනුව) ගාස්තු දල වශයෙන් රුපියල් 500 සිට හත් අට දහක් දක්වා පරාසයක පවතිනවා.

ඍජුවම ආනයන අපනයනට සම්බන්ද නොවුනත් බැංකු ඩ්‍රාෆ්ට් ගැන වචනයක් කීමට සිතුනා. වාහනයක් මිල දී ගැනීමේදී හෝ ඉඩමක්/නිවසක් මිල දී ගැනීමේදී ඔබ සාමාන්‍යයෙන් විශාල මුදලක් අතේ ගෙනියනවනෙ. එය ඇත්තටම භයානකයි. සොර සතුරන් එය මංකොල්ල කෑමට හැකියි. තවද, එම ඉඩම/වාහනය විකුනන අයම මඟදී කට්ටිය සෙට් කර එම මංකොල්ල කෑම් කාපු අවස්ථා වාර්තා වී ඇත. ඉතිං, ඔබට අතේ සල්ලි ගෙනියන්නේ නැතිව, එම සල්ලි ඔබේ බැංකුවට දමා, බැංකුවෙන් අදාල වටිනාකමට සරිලන බැංකු ඩ්‍රාෆ්ට් එකක් ඉල්ලා ගන්න. දැන් අර ප්‍රශ්න කිසිවක් නැත. සියල්ලොම ආරක්ෂිතයි.

මෙම ඇඩ්වාන්ස් පේමන්ට් ක්‍රමය බැංකු ගාස්තු අඩු නිසාත් බැංකුවල මැදිහත් වීම ඉතාම අල්ප නිසාත් පහසු ක්‍රමයකි. ආනයනකරුට අධිකම රිස්ක් එකක් ඇත. අපනයනකරු ගැන විශ්වාසයක් ඇති විට සමහරවිට ආනයනකරු මෙම ක්‍රමයට කැමති විය හැකියි. කුඩා ප්‍රමානවලින් බඩු යවන අයටත් මෙම ක්‍රමය වාසිදායකය. සාමාන්‍යයෙන් ඇඩ්ව්න්ස් පේමන්ට් එක ලැබී දින 90ක් හෝ එවැනි ගිවිස ගත් දින ගනනක් තුල අපනයනකරු විසින් ආනයනකරුට බඩු නැව්ගත කල යුතුය.

මෙම ක්‍රමයෙන් මුදල් යැවීමේදී තවත් කොන්දේසි කිහිපයක් ලංකා රජයෙන් පනවා තිබෙනවා (මෙම කොන්දේසි වෙනස් විය හැකියි). සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් 50,000කට නොඅඩු මුදලක් තමයි ලංකාවේ ආනයනකරුවකු විසින් පිටරට සිටින අපනයනකරුවෙකුට ඇඩ්වාන්ස් ක්‍රමය යටතේ යැවිය හැක්කේ. ඇමරිකානු ඩොලර් නොවී ජපන් යෙන් හෝ යුරෝ වැනි මුදල් ඒකකයකින් යැව්වත් එම යෙන් හෝ යුරෝවල වටිනාකම ඇමරිකානු ඩොලර් 50,000ට වඩා අඩු විය යුතුයි.

එහෙත් ඉහත අගයට වඩා වැඩි අගයක් යැවිය යුතු නම්, ලංකාවේ සිටින ආනයනකරුගෙන් මුදල් ලබා ගන්නා අපනයනකරුට සිදු වෙනවා අප යවන මුදලේ වටිනාකමට සමාන බැංකු ඇපයක් (bank guarantee) හෝ Standby Letter of Credit (SBLC) එකක් ඔහුගේ රටේ බැංකුවකින් ආනයනකරු වෙත ලබා දෙන්න. බැංකු ඇප හා SBLC ගැන පසුවට විමසා බලමු; දැනට එය අප එදිනෙදා අසන “ඇපයක්“ ලෙසම සිතන්න. මෙමඟින් ඇත්තටම ආනයනකරුට යම් ආරක්ෂාවක් ලැබේ; රටටත් නිකරුනේ වටිනා විදේශ විනිමය අහිමි වීම වැලකී යයි.

මෙම ඇපකර ක්‍රමයට අපනයනකරු කැමති නැතිනම්, ඩොලර් 50,000ට වඩා ගෙවීමටත් අවශ්‍යම නම්, ලංකාවේ සිටින ආනයන පාලකට (Controller of Imports) ලිඛිත ලියවිලි ඉදිරිපත් කර ඒ සඳහා විශේෂ අවසරයක් ලබා ගැනීමටද හැකිය.

ඉහත ඩොලර් 50,000 සීමාව ගැටලුවක් වන්නේ ආනයනකරු රුපියල් මුදල් ඒකකවලින් තම බැංකු ගිනුම් පවත්වාගෙන යන්නේ නම් පමනි. එවිට, ඔහු විසින් ලබා දෙන රුපියල් බැංකුව විසින් විදෙස් විනිමය බවට හරවලනෙ පිටරට සිටින අපනයනකරුට යවන්නේ. එහෙත් ආනයනකරුට ඩොලර් (හෝ වෙනත් විදෙස් විනිමය) ගිනුමක් ලංකාව තුල තිබේ නම් (ඒ කියන්නේ එම ගිනුමේ රුපියල් වෙනුවට තියෙන්නේ විදෙස් විනිමයයි), ඔහුට හැකියාව තිබෙනවා මෙම සීමාවලට යටත් නොවී අවශ්‍ය මුදල ඇඩ්වාන්ස් ක්‍රමයට යවන්න ඔහුගේ එම ගිනුමේ අවශ්‍ය තරම් විදෙස් විනිමය තිබේ නම්.

මීටත් අමතරව, රත්තරං හෝ ප්ලැටිනම් ලෝහ ආනයනය කරන අයටත් මෙම කොන්දේසි වලංගු නොවේ. ඔවුන්ට විශේෂ අවසරයක් රජයෙන් ලබා දී තිබේ.

ඇත්තටම බෑන්ක් ඩ්‍රාෆ්ට් හා ටීටී හැරුනු විට ඇඩ්වාන්ස් පේමන්ට් ක්‍රමයට ගෙවීම් කල හැකි තවත් දියුනු හා සංකීර්න ක්‍රම තිබේ. අලුත් ක්‍රම ඉදිරියටත් බිහි වේවි. ඒ ගැනත් අවධියෙන් සිටින්න. සෑම රටක්ම සියලු ක්‍රම භාවිතා කරන්නේද නැත.

 

Open Account හෝ Consignment Basis

ඇඩ්වාන්ස් ක්‍රමයේ විරුද්ධ ක්‍රමය තමයි Open Account කියන්නේ. එහිදී අපනයනකරුට ආනයනකරුගෙන් ඕඩරය ලැබී, එම ඕඩරයට අනුව සියලු බඩු සපයා හසුරා ආනයනකරු වෙත නැව්ගත කරනවා. ඉන්පසු ආනයනකරුට අවශ්‍ය ලිපිලේකනත් යවනවා අපනයනකරු විසින්. ආනයනකරු එම බඩු වරායෙන් ලබා ගෙන පසුව අපනයනකරුට අදාල මුදල යවනවා ටීටී ක්‍රමයට හෝ බෑන්ක් ඩ්‍රාෆ්ට් ක්‍රමයට හෝ වෙනත් ක්‍රමයකින්.

මෙහිදී අපනයනකරුට විශාලතම රිස්ක් එක ඇත මොකද ආනයනකරු මුදල් නොගෙවා සිටීමටද හැකියිනෙ. මෙහිදීද මූලික ක්‍රමවේද දෙකක් තිබෙන බව පෙනේ. එක් ක්‍රමයකදී භාන්ඩ නිදහස් කර යම් දින ගනනක් තුලදී එම ගෙවීම සිදු කල යුතු යැයි ගිවිසුමේ සඳහන් වී තිබිය හැකියි. අනෙක් ක්‍රමයේදී ආනයනකරු එම බඩු විකුනා දමා ඒ විකුනා දැමුවට පසුවයි අපනයනකරුට එම මුදල ගෙවන්නේ. මෙම දෙවැනි ක්‍රමය බොහෝවිට Consignment basis payment ලෙසද හැඳින්වෙනවා open account payment නොකියා.

කොන්සයින්මන්ට් ක්‍රමය බොහෝවිට යොදා ගන්නවා අපනයනකරුගේම ආයතනයක්/ශාකාවක් හෝ ඔහුගේ නියෝජිත ආයතනයක් (agency හෝ franchised dealer) වෙනත් රටක තිබෙන විට, හා එම රටට බඩු අපනයනය කර විකුනා දමන විට. එහිදී විශ්වාසය ගැන ඉතිං ගැටලුවකුත් නැහැනෙ. අපනයනකරු තම රට තුල බඩු විකුනා  ලාබ ලබනවා වගේ පිටරටවල තමන්මම හෝ තම නියෝජිත ආයතනය හරහා බඩු විකුනා අවසානයේ ලාබ ලබනවා. ඒ දෙකම එකයි නේද?

 

Letter of Credit

සිංහලෙන් ණයවර ලිපිය ලෙස හැඳින් වෙන නමුත් බොහෝ දෙනා “එල්සී“ යනුවෙන් පවසන මෙම ක්‍රමය තරමක් සංකීර්ණ මෙන්ම විශාල බැංකු ගාස්තු සහිත ක්‍රමයකි. Documentary Credit ලෙසත් මෙය ඉංග්‍රිසියෙන් හඳුන්වනවා.  බැංකු ගාස්තු රුපියල් 4000 සිට ඉහලට පවතිනවා. ඔබ යවන මුදලේ මුලු වටිනාකමින් 0.3% ක් වැනි ප්‍රතිශතයක් තමයි ඔවුන් ගාස්තුව වශයෙන් සාමාන්‍යයෙන් අය කරන්නේ. එක් එක් බැංකුවලට ගොස් විස්තරාත්මකව මේ අය කිරීම් ගැන විමසන්න (ඔවුන්ගේ වෙබ් අඩවිවල corporate banking යන කොටස යටතේ මෙම තොරතුරු බොහෝවිට ඇත).

එසේ වුවත්, ඉහත හඳුනාගත් ක්‍රම දෙක මෙන් නොව, මෙම ක්‍රමය ආනයනකරු හා අපනයනකරු යන දෙදෙනාටම එකසේ වාසිදායක වේ. දෙන්නට දෙන්නා විශ්වාස නැති විට, මෙම ක්‍රමය භාවිතා කළ හැකියි. මෙහිදී ආනයනකරු හා අපනයනකරු වෙනුවට ඔවුන් දෙදෙනාගේ බැංකු ඉදිරිපත් වේ. ඉතිං, බැංකු දෙකක් විශ්වාස කල හැකියිනෙ නිකංම මිනිසුන් දෙදෙනකු අතර විශ්වාසයක් ගොඩ නඟනවාට වඩා. බැංකු සංකීර්න භූමිකාවක් මෙහි නිරූපනය කරන නිසා තමයි මෙය වියදම් අධික ක්‍රමය වන්නේ.

බැංකු කිසිවිටක බෝධිසත්ව චරිත රඟ පාන්නේ නැත. හැම මඟුලින්ම බැංකු ලාභ ලබනවා.

විවිධාකාරයේ ණයවර ලිපි ඇත. ඒ සියල්ලම අප දැන සිටීමට අවශ්‍ය නැත. ඇත්තටම ණයවර ලිපි ක්‍රමයට ගෙවීම් කිරීම අන්තර්ජාතික වෙලඳාමෙදි පමනක් නොව දේශීය වෙලඳාමෙදිත් භාවිතා වෙනවා. ලංකාවෙදි මෙම ක්‍රමය දේශීයව යොදා ගන්නේ ඉතා අඩුවෙනි. මට මතකයි දැනට වසර දහයකට පහලොවකට පෙර බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා (එකල යූඑන්පී එකේ ඇමති දුරයක සිටියා රනිල් යටතේ; තමන්ට යූඑන්පී එක තමයි හොඳටම ගැලපෙන්නේ කියා මේ යකා වසර කිහිපයකින් ආයෙත් අනෙත් පක්ෂයට පැන්නා) මෙම ක්‍රමය දේශීය කෘෂි කර්මාන්තය තුල ප්‍රචලිත කරන්න උත්සහ කළා forward agreement ක්‍රමයකින්. එය සාර්ථකව ඉදිරිපත් කර ලංකාව තුල ප්‍රචලිත කිරීමට නොහැකි වීම අභාග්‍ය සම්පන්නය. දැන් වුවත් මෙම ක්‍රමය ලංකාවේ දේශීය කෘෂි නිෂ්පාදනයට උචිතය.

එල්සී එකේ මූලික පාර්ශවකරුවන් දෙදෙනා ආනයනකරු හා අපනයනකරුනෙ. ඉතිං මේ දෙන්නාගෙම එකඟතාවකින් හෙවත් ගිවිසුමකින් තමයි ගනුදෙනුව සිදු කරන්නේ. ඒ සියලු ගිවිසුම්ගත කරුනු එල්සී එකේ සටහන් කිරීමට සිදු වෙනවා. සමහර එල්සී කුඩා පොත් පිංචක් වැනිය; එච්චරට පිටු තියෙනවා. එල්සී එකක් නිවැරදිව සැකසිය යුතුය මක්නිසාද යත් අවසානයේ අපනයනකරු හා ආනයනකරු නීති මඟකට බැස්ස විට සලකා බලන්නේ ඔවුන් දෙදෙනා ඊමේල්වලින් එකිනෙකා අතර හුවමාරු කර ගත් එකඟතා නොව එල්සී එකේ සටහන් කර තිබෙන එකඟතාය. එනිසා බඩුවල බර, ප්‍රමානය, කොලිටිය, ප්‍රමිතින්, හැසුරුම් ක්‍රමය, ලේබල්, ආදී සෑම දෙයක් ගැනම එහි නිශ්චිතව සටහන් වන තරමට හොඳය.

ජාත්‍යන්තර වෙලඳාමේදි එක් රටක බැංකුවකින් තවත් රටක බැංකුවකට තමයි එල්සී යවන්නේ. එල්සී වර්තමානයේ යවන්නේ විද්‍යුත් ක්‍රමයටයි; කුරියර් හරහා නොවේ. එය SWIFT ජාලය හරහා තමයි යන්නේ. පහත දැක්වෙන්නේ එලෙස ස්විෆ්ට් ජාලය හරහා යැවූ එල්සී එකක සාම්පල් පිටුවකි.

එල්සී විවිධ කාරණා පදනම් කරගෙන ලස්සනට වර්ගීකරණය කළ හැකියි. එවැනි එක් ක්‍රමයකට (එනම් එල්සී එකක් අවලංගු කල හැක්කේ කාටද යන්න මත) වර්ග කල විට එල්සී වර්ග දෙකකි.

     1.       අවලංගු කල හැකි ණයවර ලිපි (Revocable Letter of Credit)

     2.       අවලංගු කල නොහැකි ණයවර ලිපි (Irrevocable Letter of Credit)

ඇත්තටම ඕනෑම ණයවර ලිපියක් හෙවත් “ණයවරයක්“ අවලංගු කල හැකියි දෙදෙනාගේම කැමැත්ත මත. ඉතිං, ආනයනකරු හා අපනයනකරු යන දෙදෙනාගේම කැමැත්ත ඇත්නම් ණයවර ලිපියක් අවලංගු කර දැමීමට හෝ වෙනස් කිරීමට හැකියි. එවැනි ණයවර ලිපි තමයි අවලංගු කල නොහැකි ණයවර ලිපි කියා කියන්නේ. ඇත්තටම මෙහිදී නමෙහි පොඩි අවුලක් තිබේ; මෙතැන ණයවර ලිපිය නිකුත් කල කෙනාට තමන්ට හිතුන වෙලාවට තනියෙන් අවලංගු කල නොහැකියි යන තේරුමයි තියෙන්නේ.

අවලංගු කල හැකි ණයවර ලිපිවලදී ණයවර ලිපිය නිකුත් කල කෙනාට හැකියාව තිබුනා අනෙකාගෙන් විමසන්නේ නැතිව එය අවලංගු කරන්නට හෝ එහි කොන්දේසි වෙනස් කරන්නට. එය ඉතාම ගැටලුකාරි වන බව අමුතුවෙන් කිව යුතු නැහැනෙ. එනිසා අද ලෝකයේ අවලංගු කල හැකි ණයවර ලිපි ජාත්‍යන්තර වෙලඳාමෙදි භාවිතා කරන්නේ නැත. එනිසා අද පවතින සියලු එල්සී අවලංගු කල නොහැකි ගනයට අයත්ය.

ඔබ දේශපාලන ලෝකයේ සිදු වන දේවල් විමසිලිමත්ව සිටියේ නම්, පහුගිය කාලයේ මෙම එල්සී අර්බුද දෙකක් මතු වුනා මතක ඇති. එකක් නම්, රාජපක්ක රජය (මං හිතන්නේ ජපානෙන්) කෝටි එකසිය ගනනක මන්ත්‍රී වාහන ආනයනයට එල්සී නිකුත් කර තිබීමේ සිද්ධිය. එහෙත් රට තුල ඊට පැන නැඟුනු විරෝධය නිසා එම වාහන ගෙන්වීම අත්හිටවනවා කිව්වත්, රජයට එවැනි තීන්දුවක් එකවර තනියම ගැනීමට නොහැකි වූවා මොකද ණයවර ලිපියක් අවලංගු කර ගැනීමට අපනයනකරුත් කැමැති විය යුතුයි. ඉන්පසු අපනයනකරු ඊට කැමැති කරවා ගත්තා යැයි කිව්වත් ඇත්තටම සිදු වූයේ කුමක්දැයි අපි දන්නේ නැත.

එවැනිම දෙයක් තමයි සිදු වුනේ නන්දසේනගේ කාබනික පොහොර මේනියාව නිසා චීනෙන් ගෙන්වපු අසූචි නැවටත්. පැලෑටි කොරන්ටයින් රෙගුලාසිවලටත් පිටින් එම දුෂිත ගනුදෙනුව රජය විසින් සිදු කලා. එහෙත් ඔබ දන්නවා පරීක්ෂණවලදී එම අසූචිවල අහිතකර ක්ෂුද්‍ර ජීවින් සිටින බවට ඔප්පු වී එය ගොඩ බෑමට ඉඩ දුන්නේ නැහැ. එහෙත් ඒ වන කොටත් නීති විරෝධි ලෙස ලංකාවේ දූෂිතයන් එම චීන සමාගමට ණයවර ලිපි විවෘත කර තිබුනා. චීන සමාගම කැමැති වුනේ නැහැ ණයවර ලිපිය කැන්සල් කරන්නට.

ඊට පසු සිදු වූ දේත් මෙම ක්ෂේත්‍රය ගැන ගැඹුරු දැනුමක් ලබා ගැනීමට අප මඳක් විමසා බලමු. ඇත්තටම ණයවර ලිපිය යවන බැංකුවට හැකියි අවශ්‍ය නම් ණයවර ලිපියට නොගෙවා ඉන්න (එනම් කැන්සල් කරන්න). එහෙත් එවිට ලෝකයාගෙන් එම බැංකුව කෙරෙහි විශ්වාසය නැතිව යනවා; තවදුරටත් එවැනි බැංකුවක් සමඟ ගනුදෙනු කිරීමට මැලි වෙනවා. චීනය කල දේ මතකද? ලංකාවේ බැංකුව ඔවුන් අසාධු ලේකනගත කලා (blacklist). එවිට, චීනයේ කිසිම වෙලෙන්දෙකුට ලංකාවේ එම බැංකුව සමඟ ගනුදෙනු කිරීමට තහනම් වෙනවා. වෙනත් රටවල් පවා එවැනි බැංකු සමඟ කටයුතු කිරීම නවතා දමනවා. එවන් අවස්ථා හුදු ව්‍යාපාර ලෝකයේ ගැටලුම නොව දේශපාලන හා රාජ්‍යතාන්ත්‍රික ගැටලු දක්වා වර්ධනය වෙනවා.

තවත් ප්‍රචලිත ණයවර ලිපි වර්ගයක් වන්නේ Standby Letter of Credit (SBLC) ය. මෙය හැම අතින්ම බැංකු ගැරන්ටියකට (bank guaranteeBG) සමානය.

ඔබ දන්නවා බැඳුම්කරයක් හෙවත් “බොන්ඩ් එකක්” (bond) කියන්නේ මොකක්ද කියා. යම් වටිනාකමක් තිබෙන දෙයක් (ඉඩමක්, වාහනයක්, හෝ මුදලක්) ඔබ ඇපයට (collateral) තබනවා යම් වගකීමක් ඉටු කරන බවට පොරොන්දු වෙමින්. ඔබ එම වගකීම (obligation) නිසි ලෙස ඉටු නොකරන විට, අර තැබූ ඇපය ඔබට නැති වෙනවා. ව්‍යාපාර ලෝකයේ විවිධ බොන්ඩ් වර්ගත් තිබෙනවා performance bond, bid bond, payment bond ආදි ලෙස.

ඕනෑම බොන්ඩ් එකකදී මූලික වශයෙන් පාර්ශව (parties) තුනක් ඉන්නවා. එක්කෙනෙක් තමයි ඇපය ඉල්ලුම් කරන කෙනා (principal). දෙවැන්නා තමයි එම ඇපය හිමි කෙනා (obligee). තෙවැනි පාර්ශවය තමයි ඇපය ඉල්ලුම් කරන කෙනා ගැන හොඳින් සොයා බලා සෑහීමකට පත් වන්නේ නම් ඔහුට ඇපයකරයක් නිකුත් කරන බැංකුව වැනි ආයතනය (surety).

බෑන්ක් බොන්ඩ් කියන්නෙත් එවැනිම සාමාන්‍ය බොන්ඩ් වගේ දෙයකි. එහිදී ඔබ යම් මුදලක් හෝ ඔබේ වටිනා දෙයක් (මෙය “ඇපය” (collateral) නමි) බැංකුවට දෙනවා/පවරනවා. හැබැයි බැංකුවට තාම එම මුදලේ හෝ දේපලේ අයිතිය ලැබෙන්නේ නැත. ඔබ තැබූ මුදල හෝ දේපලට සරිලන ලේකනයක් ඔබට බැංකුවෙන් ලැබෙනවා. එම ලේකනයට තමයි බෑන්ක් බොන්ඩ් කියන්නේ.

බැංකුවකින් එය ලබා දෙන නිසා කාටත් එය පිලිගන්නත් පුලුවන්; ඒ කියන්නේ ඒකට හොඳ පිලිගැනීමක් තිබෙනවා. ඔබට බැහැ සල්ලි හෝ ඔබේ වටිනා දේපලක් ඔහේ කෙනෙකුට ඇපයක් ලෙස දෙන්න. ඔහුව ඔබට ෂුවර් නැහැනෙ. එහෙත් ඔබට බැංකු ෂුවර්. ඔබ (principal) බැංකුවට (surety) ඔබේ සල්ලි හෝ දේපල තබා, බැංකුවෙන් ඊට සරිලන බීජී එක ලබා ගෙන ඔහුට (obligee හෝ beneficiary) දෙනවා.

ඔබ නිකමට හෝ එම බොන්ඩ් එකට සම්බන්ද කොන්දේසි (obligations) ඉටු කරන්නට බැරි වුනොත් (default) එම බීජී එක හිමි ඔහු එය බැංකුවට ඉදිරිපත් කර ඔබ කොන්දේසි කඩා තිබෙන බව ඔප්පු කර එම බීජී එකේ සඳහන් මුදල ලබා ගන්නවා. බැංකුව එම මුදල ඔහුට ගෙවා, එම මුදල ඔබ බැංකුවේ තබා තිබෙන මුදලින් හෝ දේපලින් හිලව් කර ගන්නවා. අන්න එවිටයි ඔබ ඇපයට තැබූ දේපල බැංකුවට සින්න වෙන්නේ.

එස්බීඑල්සී එකක් යනුත් බීජී එකක්ම වගෙයි. භාවිතාව ඒ දෙකෙහිම සමාන වගේ පෙනුනත්, නීතිමය වශයෙන් ඒ දෙකෙහි වෙනස්කම් පවතී. ඇමරිකාවෙහි වැඩි පිලිගැනීමක් තියෙන්නේ sblc වලට මිසක් BG වලට නොවේ. එනිසා ඇමරිකාව සමඟ ගනුදෙනු කරන අයට නිතර අසන්නට ලැබෙන්නේ එස්බීඑල්සීය.

බීජී හෝ එස්බීඑල්සී දෙක ඇත්තටම ගෙවීම් ක්‍රමයක් නොවේ (මුදල් ගෙවීම් ක්‍රමයක අරමුන සාමාන්‍ය තත්වය යටතේ ගනුදෙනුවකට අදාලව මුදල් ගෙවීමම තමයි); මේ දෙකෙහිදී මුදල් ගෙවන්නේ සාමාන්‍ය තත්වය යටතේ ගනුදෙනුව හරියාකාරව සිදු නොවී ඇති විටයි. ඒ කියන්නේ මේ දෙකෙහි අරමුන කෙනෙකුව වගකීමකින් බන්දවා තැබීමයි; හරිහැටි වගකීම ඉටු කිරීම පැහැර හැරියොත් හෙවත් “ඩිෆෝල්ට්“ කලොත් තමයි මෙම ගෙවීම සිදු වන්නේ.

මං දන්නවා තාමත් ඔබ දන්නෙ නැහැ ණයවර ලිපියක් යනු කුමක්ද කියා ඒ ගැන විවිද විස්තර මෙතෙක් කියෙව්වත්. හරි... තව ටිකක් කියවගෙන යන විට තේරෙයි.

දැන් අපි බලමු කොහොමද ණයවර ලිපියක් නිකුත් කරන්නේ කියා (“නිකුත් කරනවා“ වෙනුවට “විවෘත කරනවා“ යනුවෙනුත් භාවිතා වෙනවා). ණයවරයක් විවෘත කරන්නේ ආනයනකරු විසිනි. අපනයනකරු ණයවර ලිපි විවෘත කරන්නේ නැත. සල්ලි යවන කෙනා, එනම් ආනයනකරුයි එය විවෘත කරන්නේ. එය සිදු වන්නේ පහත පියවරවලිනි.

     1.       පලමුව ආනයනකරු හා අපනයනකරු අතර වෙලඳාම් කරන්නට යන භාන්ඩ ගැන එකඟතාවකට එනවා. එහිදී එම බඩුවලට ගෙවන විදිය ගැන කතා බහේදී දෙන්නට දෙන්නා ෂුවර් නැතිනම් අනිවාර්යෙන්ම ණයවර ක්‍රමයට ගෙවීමට එකඟ වීමට දෙදෙනාටම සිදු වෙනවා බැංකු ගාස්තු අධික වුවත්.

     2.       එවිට ආනයනකරු තම රටේ බැංකුවක් වෙතට ගොස් අපනයනකරුට (ඇත්තටම අපනයනකරුගේ බැංකුවට) ණයවරයක් විවෘත කරනවා. මෙහිදී අපනයනකරුට (අපනයනකරුගේ බැංකුවට) එම රටේ ඔහු තෝරාගත් බැංකුව ගැන පැහැදීමක් නැතිනම්, වෙනත් බැංකුවක් යෝජනා කල යුතු වෙනවා. එලෙස පිලිගත් බැංකුවකට ආනයනකරු ගොස් සාමාන්‍යයෙන් අවලංගු කල නොහැකි ණයවර ලිපියක් විවෘත කරනවා අපනයනකරුගේ බැංකුවට. එහිදී දෙදෙනා ගිවිස ගත් කොන්දේසි සියල්ල එම ණයවරයට ඇතුලු කල යුතුයි.

     3.       මෙම ණයවරය ආනයනකරුගේ බැංකුවේ සිට අපනයනකරුගේ බැංකුවට දැන් එනවා SWIFT ජාලය හරහා. අපනයනකරුගේ බැංකුව එය ආ විගස අපනයනකරුට දන්වනවා.

     4.       ණයවර ලිපියක් ගිවිසගත් පරිදි ආවා කියන්නේ එම ගිවිසගත් මුදල තමන්ට අනිවාර්යෙන්ම ලැබෙනවා කියන එකයි. එනිසා දැන් අපනයනකරුට බයක් නැහැ මොකද එම මුදල ගෙවීමට තමන්ගේ බැංකුව බැඳී සිටිනවා. අපනයනකරුගෙ බැංකුව එම මුදල ගෙවීමට බැඳී සිටින්නේ ආනයනකරුගේ බැංකුව එම මුදල ගෙවීමට බැඳී සිටින නිසයි. ආනයනකරුගේ බැංකුව ඊට බැඳී සිටින්නේ බොහෝවිට ආනයනකරු දැනටමත් එම මුදල එම බැංකුවට ගෙවා තිබීම නිසයි.

බැංකුව හා ආනයනකරු අතර සම්බන්දය වැඩි දියුනු වන කොට ආනයනකරු බැංකුවට මුලින් ගෙවන එම මුදලද ක්‍රමයෙන් අඩු කර ගත හැකියි. එය බැංකුවෙන් ලැබෙන එක්තරා සහනයක් හරියට ජංගම ගිනුම් සඳහා අයිරා
(overdraft – OD) පහසුකම දෙනව වගේ. මෙවිට එල්සී එකේ මුලු වටිනාකමින් 40%ක් හෝ යම් ප්‍රතිශතයක් පමනයි මුලින් බැංකුවට ගෙවීමට සිදු වන්නේ (අයිරාව වැනිම මෙම පහසුකමට කියන්නේ LC Margin කියාය). එහෙත් නවක ආනයනකරුවෙකුට එම සහනය ලැබෙන්නේ නැත; මුලු මුදලම බැංකුවේ තැන්පත් කිරීමට සිදු වෙනවා ණයවරය විවෘත කරන්නට පෙර.

     5.       ඉතිං, අපනයනකරු එම බඩු සපයාගෙන පැක් කර නැව්ගත කරනවා. ඉන්පසු එම සියලු ලේකන තම බැංකුවට ලබා දී ණයවර ලිපියෙහි සඳහන් මුදල ලබා ගන්නවා. එච්චරයි. හැබැයි බැංකුව එම මුදල අපනයනකරුට දීමට පෙර චෙක් කර බලනවා අපනයනකරු ණයවරයෙ සඳහන් පරිදි කොන්දේසි සපුරලාද කියා. බැංකුව ඇත්තටම භාන්ඩ චෙක් කරන්නේ නැත. ඒ වෙනුවට චෙක් කරන්නේ විවිධාකාරයේ ලියවිලිය. උදාහරන ලෙස, අහවල් භාන්ඩ සඳහා අහවල් ප්‍රමිති සහතිකය තිබිය යුතු යැයි කොන්දේසිවල තිබේ නම්, අපනයනකරු එම ප්‍රමිතියට බඩු සකසා ඊට ප්‍රමිති සහතිකය නිසි පරිදි ලබා ගෙන තිබිය යුතුයි. එනිසයි පවසන්නේ කොන්දේසි සියල්ල ණයවර ලිපියෙහි සඳහන් කල යුතු බවට.

පහත දැක්වෙන්නේ ඉහත සමස්ථ ක්‍රියාවලිම රූප සටහනකින්. ඉම්පෝටර්ගෙ ඉල්ලීම පරිදි ණයවරය විවෘත කරන හෙවත් නිකුත් කරන බැංකුව Issuing Bank ලෙස හැඳින්වෙනවා. එක්ස්පෝර්ටර්ගේ බැංකුව Advising Bank ලෙස හැඳින්වෙනවා. මුලින්ම ගිවිසුම ඇති කර ගන්නවා දෙදෙනා අතර. දෙවනුව ඉම්පෝර්ටර් විසින් ඉෂූයිං බැංකුව හරහා ණයවරය විවෘත කරනවා ඇඩ්වයිසිං බැංකුවට. තෙවනුව එම ණයවරය ඉෂූයිං බැංකුවෙ සිට ඇඩ්වයිසිං බැංකුවට යවනවා. සිව්වැනියට ඇඩ්වයිසිං බැංකුව ණයවර ලිපියක් ආ බව එක්ස්පෝර්ටර්ට් දන්වනවා. පස්වැනියට එක්ස්පෝර්ටර් බඩු නැව්ගත කරනවා (shipment). හයවැනියට එම අපනයන ලියවිලි ඇඩ්වයිසිං බැංකුවට දී එක්ස්පෝර්ටර් මුදල් ලබා ගන්නවා. හත්වැනියට ඇඩ්වයිසිං බැංකුව විසින් එම ලියවිලි ඉෂුයිං බැංකුවට යවා ඇඩ්වයිසිං බැංකුවට මුදල් ලබා ගන්නවා ඉෂුයිං බැංකුවෙන්. ඒ සමඟම ඉෂුයිං බැංකුව එම ලියවිලි ඉම්පෝර්ටර්ට ලබා දෙනවා. අවසානයේ ඉම්පෝර්ටර් එම ලියවිලිවලින් එම බඩු තොගය වරායෙන් නිදහස් කර ගන්නවා.

සාමාන්‍යයෙන් අපි බැංකු පිලිගන්නවා කිව්වත් ඇත්තටම සමහර බැංකුවලට එතරම් පිලිගැනීමක් නැත. විශේෂයෙන් දුප්පත් රටවල තිබෙන බැංකු කෙරෙහි ධනවත් රටවල අය එතරම් විශ්වාස කරන්නේ නැත (අපිට අපේ රටේ බැංකු ලොකු වුනාට පිටරට එවුන් ඒවා ගනන් ගන්නේ නැත). එනිසා සමහර බැංකු හෝ සමහර රටවල්වල ඇති සමස්ථ බැංකු සියල්ලම විසින් නිකුත් කරන අවලංගු කල නොහැකි ණයවර ලිපි පවා පිලිනොගන්නා අවස්ථා තිබෙනවා. එවිට, confirmed irrevocable letter of credit (තහවුරු කල අවලංගු කල නොහැකි ණයවර ලිපි) යන ණයවර ලිපි වැදගත් වෙනවා. මෙයම කෙටියෙන් confirmed letter of credit කියාත් හැඳින්වෙනවා.

මෙවිට ඉහත විස්තරය තුල සිටි issuing bank එක අපනයනකරුට ෂුවර් නැත. එවිට ඇඩ්වයිසිං බැංකුව/අපනයනකරු යෝජනා කරනවා එම බැංකුව නිසි පරිදි මුදල් ගෙවන බවට තවත් පිලි ගන්නා බැංකුවකින් සහතික කරගන්නා ලෙස. එවිට, ලෝකයේ තිබෙන තවත් බැංකුවකට ගාස්තුවක් ගෙවා ඉෂුයිං බැංකුවෙන් නිකුත් කරන ණයවර ලිපිය “තහවුරු කරනවා“ (confirm). මෙම තහවුරු කරන  බැංකුව confirming bank ලෙස හැඳින්වෙනවා. මෙම තහවුරු කිරීමෙන් අදහස් වන්නේ නිකමට හෝ ඉෂුයිං බැංකුව විසින් ඇඩ්වයිසිං බැංකුවට මුදල් ගෙවීමට බැරි වුවොත් කන්ෆර්මිං බැංකුව විසින් එම මුදල ගෙවන බවයි. සමහරවිට ඇඩ්වයිසිං බැංකුවම කන්ෆර්මිං බැංකුව ලෙසත් ක්‍රියා කරනවා.

ඇත්තටම ඉහත විස්තර කලේ Sight LC හෙවත් LC at sight යන එල්සී වර්ගයයි. ඒ කියන්නේ ආනයනකරු හා අපනයනකරු ගනුදෙනු විස්තර කතා කරන අවස්ථාවේදී අපනයනකරු ඉල්ලා සිටින්න ඕන තමන් කැමැති සයිට් එල්සී එකකට කියා. එහිදී තමයි, අපනයනකරු බඩු පටවා එම ලියවිලි තම බැංකුවට දුන් විට ඔහුට මුදල් ලැබෙන්නේ. අපනයනකරුගෙ බැංකුව එම ලියවිලි ආනයනකරුගේ බැංකුවට යවනවනෙ. ආනයනකරුට එම ලියවිලි එම බැංකුවෙන් ලැබෙන්නේ මුලු මුදල ගෙව්වට පස්සේ. මෙම ක්‍රමය තමයි අපනයනකරුට වාසි.

සයිට් එල්සී එකක් සලකන විට තවත් වැදගත් කරුනක් වන්නේ අපනයනකරුට ඇත්තටම එම වෙලාවෙම මුදල් ලැබෙනවාද කියන එකයි. එල්සීවලට අදාලව පවතින සම්මුතින්ට අනුව එම මොහොතෙම අපනයනකරුගේ බැංකුව අනිවාර්යෙන්ම අපනයනකරුට මුදල් දීමට බැඳී සිටින්නේ එම බැංකුව කන්ෆර්මිං බැංකුව ලෙසත් එල්සී එකේ සඳහන් වී තිබේ නම් පමනි. ඒ කියන්නේ ඇඩ්වයිසිං බැංකුවම කන්ෆර්මිං බැංකුව ලෙස ක්‍රියාත්මක වේ නම්, අපනයනකරු ලියවිලි ලබා දෙන මොහොතෙම අපනයනකරුට එම මුදල ගෙවීම අනිවාර්යයි. එහෙත් ඇඩ්වයිසිං බැංකුව කන්ෆර්මිං බැංකුව නොවෙයි නම්, එලෙස එවෙලෙහිම මුදල් දීමට බැඳී නොසිටියි. එවිට ඇඩ්වයිසිං බැංකුව ඉෂූයිං බැංකුවෙන් (හෝ වෙනත් කන්ෆර්මිං බැංකුවකින්) එම මුදල් තමන්ට ලැබෙනුට පසු අපනයනකරුට එම මුදල ගෙවයි.

සයිට් එල්සී එකට වෙනස් තවත් ක්‍රම 3ක් ඇත. ඒ කියන්නේ එල්සී එකකින් මුදල් ලබා දීම සිදු වන ආකාරය (availability) අනුව එල්සී වර්ග 4ක් ඇත. ඉතිං, ණයවර ලිපියක් ඕපන් කරන විට, එම පෝරමයේ අනිවාර්යෙන්ම මෙම ක්‍රමවලින් එකක් තෝරාගත යුතු වෙනවා. ගනුදෙනුව කතා බහ කරන විට ආනයනකරු හා අපනයනකරු මුලින්ම අදාල ක්‍රමය ගැන එකඟතාවකටද පැමින සිටිය යුතුයි.

     1.       Sight payment

     2.       Deferred payment (Usance LC)

     3.       Acceptance

     4.       Negotiation

ඉහතදී අපි සයිට් පේමන්ට් එල්සී හෙවත් සයිට් එල්සී ගැන කතා කලා. දැන් අනෙක් ක්‍රම ගැනත් බලමු.

අනෙක් ප්‍රචලිත ක්‍රමය වන්නේ Usance LC (යූසන්ස් එල්සී) ලෙස හැඳින්වෙන එල්සී එකයි. මෙයම සමහර අය deferred payment LC හෝ term LC ලෙසත් හඳුන්වනවා. මෙහිදී ආනයනකරුට අර ලියවිලි ඔහුගේ බැංකුවෙන් ලබා දෙනවා ඔහු විසින් අදාල ගෙවීම් කිරීමටත් පෙර. එවිට, ඔහුට එම බඩු වරායෙන් ක්ලියර් කරගත හැකියි සල්ලි ගෙවන්නට පෙර. එහෙත් යූසන්ස් එල්සී එකේ තිබෙනවා යම් දින ගනනක් (grace period). එම දින ගනන ඇතුලත ඔහු මුදල් ගෙවීමට බැඳී සිටිනවා. එතෙක් අපනයනකරුටද මුදල් ලැබෙන්නේ නැත. මෙම දින ගනන දින 30ක්, 60ක්, 90ක්, 120ක් ආදි ලෙස වේ. ලබා දෙන ග්‍රේස් පීරියඩ් එක අනුව එවැනි එල්සී LC 30 days, LC 60 days, LC 120 days ආදි ලෙස හැඳින්වේ. මෙම ක්‍රමය අපනයනකරුට එතරම් හිතකර නොවේ.

ඇක්සෙප්ටන්ස් ක්‍රමයත් යූසන්ස් ක්‍රමය වගේමයි. මෙහිදී එල්සී එකට අදාලව අපනයනකරු විසින් විනිමය බිල්පතක්ද සපයනවා. විනිමය බිල්පත් ගැන පසුවට විස්තර වේ. ඇඩ්වයිසිං බැංකුව මෙම විනිමය බිල්පත පිලිගත් පසු අනිවාර්යෙන්ම එම ගෙවීම අදාල දිනට ගෙවීමට බැඳී සිටිනවා. මෙවිට අදාල දින පූර්ණ වීමේදී (maturity) විනිමය බිල්පතට අදාල ගෙවීම අපනයනකරුට ලැබෙනවා.

නෙගොෂියේෂන් ක්‍රමය ගැන මට එතරම් දැනුමක් නැත. බැංකු සමඟ කතා බහ කර ඒ ගැන පහසුවෙන් ඔබට දැනගත හැකියි. එහෙත් මගේ දැනුමෙ හැටියට මෙහිදී ඔබට ලැබෙන එල්සී එක වෙනත් බැංකුවක් වෙත ගෙන ගොස් එය එම බැංකුවට යම් ඩිස්කවුන්ට් එකකට ලබා දී (එනම්, එහි සඳහන් මුදලට වඩා අඩු මුදලක් ඉල්ලා සිටිමින්) බැංකුවෙන් කල්තියාම (එනම්, ආනයනකරුගේ බැංකුවෙන් අදාල මුදල ණයවරය කල්පිරෙන මොහොතෙදී ලැබීමටත් මෙම බැංකුවට ලැබීමටත් පෙර) අපනයනකරු වෙත මුදලක් ලබා ගත හැකියි.

LC එකක් ඕපන් කරද්දී එහි වලංගු කාලයක්ද (validity period) තිබෙනවා. ඉන් අදහස් කරන්නේ ආනයනකරු විසින් තම බැංකුව හරහා එල්සී එක අපනයනකරුගේ බැංකුවට එවා, අපනයනකරුගේ බැංකුවෙන් අපනයනකරුට ඒ බැව් දනවා (notification), අපනයනකරුට එම එල්සී එකට අදාලව කටයුතු කර අවසන් ලියවිලි ටික බැංකුවට ලබා දීමට තිබෙන කාල සීමාවයි. උදාහරණයක් ලෙස, එම දින ගනන 30ක් නම්, අපනයනකරුට සිදු වෙනවා තමන් එල්සී එක බැංකුවට පැමින ලබා ගත් දිනයේ සිට දින 30ක් ඇතුලත එම ලියවිලි බැංකුවට භාර දීමට. නිකමට හෝ එම දින ගනන ප්‍රමානවත් නොවේ නම්, කල් තියා ආනයනකරුට ඒ බව දන්වා ආනයනකරු විසින් එම දින ගනන වැඩි කර ගත (extend) යුතුයි. ඒ සඳහා බැංකුවට නැවතත් ගෙවීමක් සිදු කිරීමට වේ.

බැංකුවෙන් ලබා දෙන එල්සී පෝරමය පුරවන විට එහි tolerance යන නමින් පිරවිය යුතු තැනක්ද තිබෙනවා. සිංහලෙන් මෙය “සහනතා අගය” යැයි පැවසිය හැකියි. මේ ගැනත් ඔබ දැනුවත්ව සිටීම හොඳයි. අප යවන බඩු හරියටම ඒ කියන ප්‍රමානයම සමහරවිට යැවිය නොහැකි වන්නට පුලුවන්. යම් භාන්ඩයක් ඩොලර් ලක්ෂ 20ක් වටිනාකමකින් මෙට්‍රික් ටොන් 200ක් අපනයනකරු යැවිය යුතු වුවත් විවිධ ප්‍රායෝගික හේතු මත එම අගය මෙට්‍රික් ටොන් 190ක් හෝ 210ක් වීමට හැකියි. මෙලෙස භාන්ඩවල ප්‍රමානය අඩු වැඩි වන විට ඉබේම එහි මිලත් වෙනස් වෙනවානෙ. ඉතිං, එල්සීවල මෙම තත්වය කලමනාකරණය කරන්නට තමයි ටොලරන්ස් යන කොටස තිබෙන්නේ.

සාමාන්‍ය ණයවර ලිපි සම්බන්දයෙන් පවතින ජාත්‍යන්තර සම්මුතිය අනුව මෙම ‍ටොලරන්ස් අගය 10%ක් විය හැකියි. ඒ කියන්නේ කියන ගානට/ප්‍රමානයට වඩා 10%ක උපරිමයකට යටත්ව අඩුවෙන් හෝ වැඩියෙන් තිබිය හැකියි. උදාහරණ ලෙස, බඩුවල වටිනාකම ඩොලර් මිලියන 10 යැයි තිබුනත් මෙම 10% ටොලරන්ස් අගයට යටත්ව එම අගය ඩොලර් මිලියන 9 සිට 11 දක්වා පරාසයක වටිනාකමක් විය හැකියි.

එහෙත් බඩුවල ප්‍රමානය හෝ මිල හෝ බඩුවක ඒකකයක මිල මෙම 10% ට වඩා අඩු හෝ වැඩි වෙනසක් සිදු වේ නම්, ඔබට සිදු වෙනවා එල්සී එක නැවත වෙනස් කරන්නට. තිබෙන එල්සී එක ඇඩ්වයිසිං බැංකුවෙන් බාර නොගෙන සිටීමට හැකියි. ඊටත් අමතරව, රේගුවෙන්ද ප්‍රශ්න ඇති වේවි.

ණයවර ලිපි විවෘත කිරීමට පමනක් නොවේ බැංකුව අය කරන්නේ. යම් ණයවරයක වලංගු කාලය දීර්ඝ කරන විටත් ඔවුන් විවෘත කරනවාට ආසන්න මුදලක් අය කරනවා. ණයවර ලිපියක් ආනයනකරු විසින් බැංකු හරහා අපනයනකරුගෙ බැංකුව වෙත එවනවනේ. එතකොට අපනයනකරුගේ බැංකු ඒ වැඩේටත් අය කරනවා රුපියල් තුන් හාරදහක් පමන. ඉන්පසු අපනයනකරුගේ බැංකුවෙන් ණයකරය ලබා දෙන අපනයනකරුට මුදල් ගෙවන විට ආයෙත් මුදල් කපා ගන්නවා රුපියල් හාරපන්දහයක් විතර. හැම මඟුලකටම බැංකු සල්ලි කපා ගන්නවා.

තවත් විශේෂිත එල්සී වර්ගයක් තමයි ‍Revolving Letter of Credit කියන්නේ. සාමාන්‍ය ණයවර ලිපියකින් කවර් කරන්නේ එක් ගනුදෙනුවකි. එම ගනුදෙනුවට අදාල මුදල එකවර ඉන් ගෙවා දමනවා. එහෙත් සමහර අවස්ථා තිබෙනවා අදාල මුදල කොටස් වශයෙන් ගෙවීමට සිදු වන. එවිට, යම් යම් කොන්දේසි සපිරෙන විට, ඊට අදාල කොටස ගෙවා දමනවා. කුඩා අගයන් රාශියකට වෙන වෙනම ණයවර ලිපි ගනනාවක් නිකුත් කරනවාට වඩා මෙවැනි එක් රිවෝල්විං ණයවරයක් නිකුත් කිරීම ප්‍රමානවත් වේ; වැඩේ සරලයි ලාභදායකයි.

තවත් එක් විශේෂිත එල්සී වර්ගයක් වන්නේ Back-to-Back Letter of Credit වේ. මෙය ඇත්තටම එකිනෙකට සම්බන්ද ණයවර ලිපි දෙකකි. ඒ කියන්නේ A නම් පුද්ගලයා B නම් පුද්ගලයාගේ නමට ණයවරයක් නිකුත් කරන අතර, B නම් පුද්ගලයා එම ණයවරය බැංකුව ඇපයක් (collateral) ලෙස තබා තවත් C නම් පුද්ලයකුට තවත් ණයවරයක් විවෘත කරයි.

උදාහරන ලෙස, යම් ආනයනකරුවෙකු විසින් අපනයනකරුගෙ නමට විවෘත කරන ණයවරය, එම අපනයනකරු විසින් තමන්ගේ බැංකුවේ ඇපයට තබා ඔහුට බඩු සපයන නිෂ්පාදකයකුට වෙනත් ණයවර ලිපියක් විවෘත කළ හැකියි මෙම ක්‍රමයෙන්. තවත් උදාහරණයක් ගතහොත්, අතරමැදියකුටත් (broker) හැකියි යම් බයර් කෙනෙකුගෙන් තමන්ගේ නමට ණයවරයක් නිකුත් කර, ඉන්පසු එම ණයවරය ඇපයට තබා වෙනත් සෙලර් කෙනෙකුගෙ නමින් අලුත් ණයවරයක් විවෘත කරන්නට. අතරමැදියා එක රුපියලක්වත් වියදම් නොකර මෙතන තමන්ට යම් කොමිෂම් මුදලක් (ලාභයක්) තබා ගෙන ගනුදෙනුවක් ලස්සනට සිදු කරනවා. බොහෝවිට දෙවනුවට නිකුත් කරන ණයවරය අර මුල් ණයවරයට වඩා අඩු අගයක එකකි.

තවත් සුවිශේෂම ණයවර ලිපි වර්යක් වන්නේ Red Clause Letter of Credit වේ. මෙය තරමක් මිල අධික ණයවරයකි. මෙහි ඇති විශේෂත්වය වන්නේ සාමාන්‍ය ණයවර ලිපියකට එහාට ගොස් අපනයනකරුට කලින්ම යම් මුදලකුත් ගෙවනවා (හරියට ඇඩ්වාන්ස් පේමන්ට් එකක් වගේ). ඇත්තටම මෙලෙස කලින් ගෙවන මුදලට කියන්නේ Advance කියල තමයි.

මෙම ඇඩ්වාන්ස් එක සාමාන්‍යයෙන් ණයවර ලිපියෙහි සඳහන් මුලු මුදලින් යම් ප්‍රතිශතයකි. එම ප්‍රතිශතය තීරණය කරන්නේ ආනයනකරුය (ණයවරය සදන කෙනා). මෙම ක්‍රමයට ණයවර ලිපි නිකුත් කරන අවස්ථා කිහිපයක් තිබේ. මෙම අවස්ථාවල අරමුන වන්නේ අපනයන බඩු සපයා ගැනීමට මූලික ධනයක් අපනයනකරුට සැපයීමයි (pre-shipment finance). මෙමගින් අපනයනකරුගේ කාරක ප්‍රාග්ධනය (operating capital) වැඩි වී ඉක්මනින් බඩු ටික නැව්ගත කිරීමට හැකි වෙනවා. සමහර අවස්ථාවකදී අපනයනකරු විසින් තම භාන්ඩ සඳහා යම් වට්ටමක්ද (discount) ලබා දෙනවා ආනයනකරුගේ මෙම සහයෝගය වෙනුවෙන්.

     1.       ආනයනය කරන ව්‍යාපාරයේම ශාකාවක් හෝ නියෝජිත ආයතනයක් නම් අපනයනය සිදු කරන්නේ වෙනත් රටක සිට, එවිට එම ආයතනයට භාන්ඩ සපයා ගන්නට කලින් මුදල් සැපයීම මින් සිදු වේ. බය වෙන්න දෙයකුත් නැහැනෙ තමන්ගෙම ආයතනය හෝ තමන්ගේ විශ්වාසී නියෝජිත ආයතනයටනෙ ඇඩ්වාන්ස් එක දෙන්නේ.

     2.       දෙවැනි අවස්ථාවක් වන්නේ සමහර ආනයනකරුවන් ඇත්තටම අපනයනකරුට උදව් කිරීමක් ලෙස (සමහරවිට අපනයනකරුට බඩු සපයා ගැනීමට ආරම්භක මුදලක් නැති වීය හැකියිනෙ) මෙවැනි රෙඩ් ක්ලෝස් එල්සී එකක් නිකුත් කල හැකියි.

කෙලින්ම ආනයනකරු විසින් අපනයනකරුට සල්ලි නොදී මෙම ක්‍රමයෙන් දීමෙහි ඇති වාසිය වන්නේ මෙහිදී දැනටත් දැඩිව බලාත්මක කල හැකි විකුනුම් ගිවිසුමක් ආනයනකරු හා අපනයනකරු අතර තිබෙනවානෙ. ඉතිං, ඉන් ආනයනකරුට විශාල ආරක්ෂාවක් ලැබෙනවා.

මීට රෙඩ් ක්ලෝස් යන නම වැටී තිබෙන්නේ එම ණයවරය සකස් කිරීමේදී රතු පාටින් එම වැකිය ලියන සම්ප්‍රදායක් පවතින නිසයි.

මේ ආදි ලෙස තවත් ණයවර ලිපි වර්ග කිහිපයක් ඇත. මේ සියලු ණයවර ලිපි ගැන ජාත්‍යන්තර සම්මුතින් හා ප්‍රමිතින් සකසන්නේ International Chamber of Commerce (ICC) යන ආයතනයයි. එම ජාත්‍යන්තර ආයතනය විසින්  the Uniform Customs and Practice for Documentary Credits (UCP) යන නාමය යටතේ මෙම සම්මතයන් හා රෙගුලාසි ප්‍රකාශයට පත් කරනවා කලින් කලට යාවත්කාලීන කරමින්. UCP 400, UCP 500, UCP 600 ආදි ලෙස එම ප්‍රකාශන පවතිනවා. ඒවා කියවා ණයවර ලිපි ගැන ගැඹුරු දැනුමක් ගත හැකිය. එහෙත් ජාත්‍යන්තර වෙලඳාම සිදු කිරීමට එච්චරම ගැඹුරු දැනුමක්ද අවශ්‍ය නොවේ.

 

Documentary Collection

මෙයත් ප්‍රචලිත ගෙවීම් ක්‍රමවේදයකි. මෙම ක්‍රමය ණයවර ලිපි ක්‍රමයට වඩා ලාබදායක වේ. එහෙත් මෙහි වැඩිපුර වාසියක් ආනයනකරුට ලැබෙන අතර වැඩිපුර රිස්ක් එකක් අපනයනකරුට ඇත. මෙහි ආකාර දෙකක් පවතිනවා.

     1.       Documents against Payment (D/P)

     2.       Documents against Acceptance (D/A)

නම්වලින් බැලූ බැල්මට හැඟෙන්නේ ඩීපී ක්‍රමයේදී ලියවිලි අපනයනකරු විසින් ආනයනකරුට භාර දෙන්නේ අදාල මුදල් ගෙවීමෙන් පසුව බවත්, ඩීඒ ක්‍රමයේදි ලියවිලි අපනයනකරු විසින් ආනයනකරුට භාර දෙන්නේ ආනයනකරු තමන් මුදල් ගෙවන බවට අපනයනකරුට පොරොන්දුවක් දීමෙන් බවත්ය.

පලමුව අපි ඩීපී ක්‍රමය ගැන විමසමු. එහි පහත පියවර ටික සිදු වේ.

     1.       අපනයනකරු හා ආනයනකරු අතර ගනුදෙනුව සාකච්ඡා වේ. මෙහිදී ගෙවුම් ක්‍රමය ලෙස ඩීපී යොදා ගත්තා යැයි සිතමු.

     2.       අපනයනකරු එම බඩු සපයා සකසා පැක් කර දැන් නැව්ගත කරනවා. ඉන්පසු එම ලියවිලි තමන්ගේ බැංකුවට ලබා දෙනවා. මෙම බැංකුව අපනයකරුගේ බැංකුව (exporter’s bank හෝ remitting bank) ලෙස හැඳින්වෙනවා. මෙම ලියවිලි සමඟ sight draft ලෙස හැඳින්වෙන යම් බැංකු අණකරයක්ද පවතිනවා.

     3.       රෙමිටිං බැංකුව විසින් දැන් ඒ සියලු ලිපිලේකන ආනයනකරුගේ හෙවත් ගැනුම්කරුගේ බැංකුවට (importer’s bank හෙවත් buyer’s bank හෙවත් collecting bank) වෙත යවනවා.

     4.       කලෙක්ටිං බැංකුව තමන්ට එම ලිපි ලැබුනු ගමන් ආනයකරුට ඒ බව දන්වනවා. ආනයනකරු ඉක්මනින් බැංකුවට ඇවිත් අර සයිට් ඩ්‍රාෆ්ට් එකේ සඳහන් කර ඇති මුලු මුදල ගෙවා එම ලිපිලේකන අරගන්නවා. ඉන්පසු එම ලේකන යොදාගෙන වරායෙන් භාන්ඩ ටික මුදා ගන්නවා.

     5.       ඉන්පසු කලෙක්ටිං බැංකුව එම මුදල් රෙමිටිං බැංකුවට එවනවා.

     6.       රෙමිටිං බැංකුව එම මුදල් අපනයනකරුට ලබා දෙනවා.

දෙවනුව අපි බලමු ඩීඒ ක්‍රමය ගැන. ඇත්තටම මෙයත් ඩීපී ක්‍රමය වගේමයි. එකම වෙනස මෙහිදී sight draft වෙනුවට time draft එකක් තමයි භාවිතා වෙන්නේ. සයිට් ඩ්‍රාෆ්ට් එකකදී එයට එවෙලෙහිම සල්ලි ගෙවල තමයි අවශ්‍ය ලිපිලේකන බැංකුවෙන් මුදා ගන්නේ. එහෙත් ටයිම් ඩ්‍රාෆ්ට් එකක් යවන විට, ආනයනකරු කලෙක්ටිං බැංකුවට පැමින මුදල් ගෙවන්නේ නැත. ඒ වෙනුවට ඔහු කරන්නේ අර ටයිම් ඩ්‍රාෆ්ට් එකට අත්සන් කර තමන් එම ටයිම් ඩ්‍රාෆ්ට් එකේ සඳහන් කර ඇති දින ගනන ඇතුලත මුලු මුදල ගෙවන බවට බැංකුවට පොරොන්දු වී අදාල ලිපිලේකන නිදහස් කර ගැනීමයි. ආනයනකරුගේ මෙම පොරොන්දු වීම trade acceptance යැයි කියනවා. සාමාන්‍යයෙන් මෙම කාල සීමාව මාසයක්, මාස දෙකක්, මාස තුනක්, මාස හයක් ආදි ලෙස වේ. මාස ගනන වැඩි වන තරමට අපනයනකරුට අවාසි බව අමුතුවෙන් කිව යුතු නැහැනෙ.

ඩීඒ හා ඩීපී ක්‍රම දෙක අතුරින් ඩීඒ ක්‍රමය අපනයනකරුට බොහෝ අවාසිය. ඒ කියන්නේ තමන් ආනයනකරුට සියලු භාන්ඩ යවනවා ඔහු “හරි මං සල්ලි දෙන්න පොරොන්දු වෙනවා“ කියන පොරොන්දුවට. මෙම පොරොන්දුවට කිසිදු බැංකුවක් වගකියන්න බැඳී නැත. එනිසා එම පොරොන්දුව කැඩුවොත් බැංකුවලින් එම මුදල ලැබෙන්නේ නැහැ අපනයනකරුට (ණයවරවලදී නම් බැංකු ඇප වුනානෙ). නිකමට හෝ ආනයනකරු මුදල් නොගෙවා සිටියොත් අපනයකරුට හැකියි ආනයනකරුට විරුද්ධව ඔහුගේ රටට ගොස් නඩු පවරන්න. එහෙත් එය ඉතා විශාල වියදම් සහගත වැඩක් බව පේනවානෙ.

 

විනිමය බිල්පත් (Bill of Exchange – BoE)

ඉහත ඩ්‍රාෆ්ට් ලෙස සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ විනිමය බිල්පත් (Bill of Exchange) වේ. විනිමය බිල්පතක් යනුත් එක්තරා විදියට චෙක්පතකි. සාමාන්‍ය චෙක්පතකින් කරන්නේ චෙක් එක ලියන කෙනා (drawer) යම් බැංකුවකට (drawee) “අණ කරනවා“ තමන්ගේ ජංගම ගිනුමේ ඇති මුදලින් අහවලාට (beneficiary හෝ payee) අච්චර මුදලක් ගෙවා දමන්න කියා. විනිමය බිල්පතකුත් එසේමයි. එහෙත් එහි ඇති වෙනස නම්, ඔහු බැංකුවක් වෙනුවට යම් පුද්ගලයකුට “අණ කරනවා“ මේ දැන්ම හෝ යම් කාලයක් තුල තමන්ට අච්චර මුදලක් ගෙවන්න කියා.

මේ අනුව විනිමය බිල්පත් වර්ග දෙකකි. එම බිල්පත දුටු මොහොතේ (එනම් එවෙලෙහිම) සල්ලි ගෙවන්න කියා කියන විනිමය බිල්පත් තිබෙනවා. ඒවා තමයි bill of exchange at sight හෙවත් bill of exchange on demand හෙවත් sight draft කියන්නේ. පහත දැක්වෙන්නේ ටයිම් ඩ්‍රාෆ්ට් එකකි.

අනෙක් බිල්පත් වර්ගයේදී යම් කාල සීමාවකදී තමයි (දවස් 30ක් ඇතුලත් වැනි) ගෙවීම කරන්න කියන්නේ. එවැනි බිල්පත් time draft යැයි කියනවා. පහත දැක්වෙන්නේ සයිට් ඩ්‍රාෆ්ට් එකකි.

ටයිම් ඩ්‍රාෆ්ට් හා සයිට් ඩ්‍රාෆ්ට් දෙකටම පොදුවේ trade draft කියාද කියනවා. ඇත්තටම බැංකු අණකර (bank draft) කියන්නෙත් විශේෂ සයිට් ඩ්‍රාෆ්ට් වර්ගයේ විනිමය බිල්පතක්. එහි ඇති විශේෂත්වය වන්නේ මෙම බිල්පත හැමවිටම නිකුත් කරන්නේ බැංකුවක් විසින් වීමයි. බැංකු අණකරය බැංකුවට ඉදිරිපත කල විගට සල්ලි ලැබෙනවා. පහත දැක්වෙන්නේ බැංකු අණකරයක්.

අපි දැන් ආනයන අපනයනයේදී භාවිතා කරන සියලු ගෙවීම් ක්‍රම ගැන කතා කර අවසන්. මීළඟ ලිපියෙන් නැවත හමු වෙමු.