Skip to main content

තෙරුවන් සරන ගිය මාලිමාව

තවත් අපූරු ඡන්දයක් නිම විය. එය කරුණු රැසක් නිසා අපූර්ව වේ. සමහරු කියන පරිදි රදලයන්ගේ දේශපාලනයේ අවසානයක් (තාවකාලිකව හෝ) ඉන් සිදු විය. වැඩ කරන ජනයාගේ, නිර්ධන පංතියේ නායකයෙකු හා පක්ෂයක් බලයට පත් වීමද සුවිශේෂී වේ. රටේ මෙතෙක් සිදු වූ සකල විධ අපරාධ, දූෂන, භීෂන සොයා දඩුවම් කරනවා යැයි සමස්ථ රටවැසියා විශ්වාස කරන පාලනයක් ඇති විය. තවද, බහුතර කැමැත්ත නැති (එනම් 43%ක කැමැත්ත ඇති) ජනපතිවරයකු පත් විය. ජවිපෙ නායකයෙක් "තෙරුවන් සරණයි" කියා පැවසීමත් පුදුමය. මේ සියල්ල ලංකා ඉතිහාසයේ පලමු වරට සිදු වූ අපූරු දේශපාලන සංසිද්ධි වේ. මාද විවිධ හේතුන් මත අනුරට විරුද්ධව මෙවර තර්ක විතර්ක, සංවාද විවාද, හා "මඩ" යහමින් ගැසූ තත්වයක් මත වුවද, ඔහු දැන් රටේ ජනපති බැවින් ඔහුට පලමුව සුබ පතමි.  ඔහුට විරුද්ධව වැඩ කලත්, මා (කිසිදා) කිසිදු පක්ෂයකට හෝ පුද්ගලයකුට කඩේ ගියේද නැති අතර අඩුම ගණනේ මාගේ ඡන්දය ප්‍රකාශ කිරීමටවත් ඡන්ද පොලට ගියෙ නැත (ජීවිතයේ පලමු වරට ඡන්ද වර්ජනයක). උපතේ සිටම වාමාංශික දේශපාලනය සක්‍රියව යෙදුනු පවුලක හැදී වැඩී, විප්ලවවාදි අදහස්වලින් මෙතෙක් කල් දක්වා සිටි මා පලමු වරට සාම්ප්‍රදායික (කන්සර්වටිව්...

ආනයනය හා අපනයනය (International Trade) - 4

ආනයන අපනයන ක්‍රියාපටිපාටිය (Import and Export Procedure)

මා කැමති ලංකාවේ අපනයනය දියුනු වනු දැකීමටය. එනිසා ආනයනය ගැන විශේෂයෙන් කතා නොකරමි. අපනයනය ගැන උගත් පසු කොහොමත් අවශ්‍ය නම් ආනයනය වුවත් කල හැකි මට්ටමකට පත් වේ.

අපනයන ව්‍යාපාරයක් ලංකාවේ සිදු කිරීමට නම්, මූලික කටයුතු කිහිපයක් කල යුතු වෙනවා.

     1.       ලියාපදිංචි ව්‍යාපාරයක් තිබිය යුතුය.

     2.       ආනයනකරුවන් (ගැනුම්කරුවන්) සොයා ගත යුතුය.

     3.       භාන්ඩ සපයා ගෙන අවශ්‍ය සැකසුම් සිදු කර නැව්ගත කිරීමට අවශ්‍ය මුදල් තිබිය යුතුය.

     4.       ආනයන අපනයන ක්‍රියාවලිය ගැන ප්‍රමානවත් තරම් දැනුමක් තිබිය යුතුය.

මේ පාඩම් පෙලෙහි අරමුන අර හතර වැනි කොන්දේසිය සපුරා ලීමටයි. ඔබට එවැනි දැනුමක් නැතිනම් හෝ ලබා ගැනීමට උවමනාවක් නැතිනම් හා අනෙක් කොන්දේසි (විශේෂයෙන් දෙවැනි හා තෙවැනි) සපුරා ලිය හැකි නම්, ඔබට හැකියි එවැනි දැනුමක් තිබෙන අයකුගේ සහය ඇතිව ව්‍යාපාරය අරඹා පවත්වාගෙන යන්නටත්.

අනිවාර්යෙන්ම අපනයන ව්‍යාපාරය ඔබව කෝටිපතියෙකු කරනවා. එය ස්ථිරයි.

රට තුල කෙනෙකුට ව්‍යාපාර කටයුත්තක් කර ගෙන යෑමට ව්‍යාපාරයක් ලෙස ලියා පදිංචි කිරීම අනිවාර්ය නැත. එහෙත් එලෙස ලියාපදිංචි නොවී කරන ව්‍යාපාර ඉතා සුලු පරිමානයේ ඒවාය. ඒවාට ඉහල පිලිගැනීමක්ද නැත. පොල් කඩන අය, කතුරු/පිහිය මුවත් තියන අය, කරත්ත හෝ රථවලින් පාරවල් දිගේ වෙලඳාම් කිරීම වැනි එදිනෙදා අප දකින බොහෝමයක් ව්‍යාපාර ලියාපදිංචි කල ඒවා නොවේ.

එහෙත් අපනයන හෝ ආනයන ව්‍යාපාරයක් යනු ඉතා බැරෑරුම් කටයුත්තක්නෙ. එනිසා අනිවාර්යෙන්ම තම ව්‍යාපාරය ලියාපදිංචි එකක් විය යුතුයි. ඉඳහිට පොඩි බඩු ප්‍රමානයක් පිටරටට යැවීම හෝ පිටරට සිටින කෙනෙකුගෙන් ලංකාවට ගෙන්වා ගැනීමට ඔබට ව්‍යාපාරයක් ලියාපදිංචි කර තිබීමට අවශ්‍ය නැත. එවැනි කටයුතු ව්‍යාපාරික අරමුනෙන් නෙමෙයිනෙ කරන්නේ. ඒ අනුව පිටරට සිට ඔබට කාර් එකක් වුවත් තෑග්ගක් විදියට එව්වොත් ව්‍යාපාරයක් නැතිව ඔබට එය ක්ලියර් කර ගන්න පුලුවන්. එහෙත් දිගින් දිගටම වාහන ගෙන්වනවා නම් අනිවාර්යෙන්ම ව්‍යාපාරයක් ලෙස එය ලියාපදිංචි කර සිදු කල යුතුය.

 

ලංකාවේ ව්‍යාපාර ස්වරූප

දැනට පවතින නීති අනුව ලංකාවේ ව්‍යාපාර දෙයාකාරයකින් පවතිනවා එහි වගකීම (liability) අනුව.

     1.       සීමාරහිත ව්‍යාපාර (unlimited liability business)

     2.       සීමාසහිත ව්‍යාපාර (limited liability business)

මෙහිදී වගකීම යනු යම් මූල්‍යමය වටිනාකමකි. ඒ කියන්නේ යම්කිසි වැරැද්දක් ඔබේ ව්‍යාපාරය විසින් සිදු වූ විට, එම වැරැද්දට හසු වූ තැනැත්තා වෙත ඔබේ ව්‍යාපාරය කොතරම් “ගෙවීමක්” කල යුතුද යන්න ඉන් හැඟවෙනවා. ව්‍යාපාර කියන්නෙම මූල්‍ය වටිනාකම් එහා මෙහා යන කටයුත්තක්නෙ. ඉතිං, ප්‍රශ්න ඇති වූ විටත් ඒවා හිලව් කරන්නේ මුදල්වලින් තමයි.

සීමාරහිත ව්‍යාපාරයකදී එම ව්‍යාපාරයේ අයිතිකරු හා ව්‍යාපාරය යන දෙකම නීතිමය වශයෙන් එකක් ලෙසයි සලකන්නේ. ව්‍යාපාරයට වෙනම නමක් ලිපිනයක් තිබුනත්, එම ව්‍යාපාරය හා එහි අයිතිකරු/අයිතිකරුවන්ව වෙන් වෙන් වශයෙන් නීතිය දකින්නෙ නැහැ. ඒ කියන්නේ නීතිමය පුද්ගලභාවයක් (legal person/entity) සීමාරහිත ව්‍යාපාරයට නැහැ. එවිට යම් අයකු එම ව්‍යාපාරයට එරෙහිව නඩුවක් දමා වන්දි මුදලක් ඉල්ලා සිටියොත්, එම නඩු දමන පුද්ගලයාට බැහැ එම නඩුව ව්‍යාපාරයේ නමට විරුද්ධව දමන්න. එම නඩු දමන පුද්ගලයාට සිදු වෙනවා ව්‍යාපාරයේ අයිතිකරුවාගේ/අයිතිකරුවන්ගේ නමින් එම නඩුව දමන්න. එලෙසමයි එහි අනෙක් පැත්තත්. නිකටම හෝ එම ව්‍යාපාරය විසින් කාට හෝ නඩුවක් දමා වන්දියක් ගන්නට හැදුවොත්, එවිටත් එම ව්‍යාපාරයේ නමින් එම නඩුව පැවරීමට බැරිය. එම නඩුව පැවරිය යුත්තේ ව්‍යාපාරයේ අයිතිකරුවා/අයිතිකරුවන් ඔවුන්ගේ පෞද්ගලික නම්වලිනි.

වගකීම සීමා රහිත වීමේ තවත් ලක්ෂනයක් ඇත. එනම්, නිකමට හෝ ව්‍යාපාරයට කවුරුන් හෝ නඩු පවරා වන්දියක් ගෙවීමට සිදු වුවොත්, ව්‍යාපාරය තුල එම වන්දිය ගෙවීමට ප්‍රමානවත් තරම් මුදලක් නැති නම්, එම ව්‍යාපාරයේ අයිතිකරුවන්ගේ පෞද්ගලික මුදල් හා ඔවුන්ගේ නමින් තිබෙන දේපල විකුනා හෝ අර වන්දි මුදල ගෙවිය යුතු වෙනවා. අපි මීට කියනවා ව්‍යාපාරයේ වගකීම අයිතිකරුවන්ගේ පෞද්ගලික දේපල දක්වා විහිදෙනවා කියලා. ඒකයි වගකීම සීමා රහිතයි කියන්නේ. මෙම ව්‍යාපාරවල ඇති භයානකකම ඒක තමයි.

එ‍හෙත් සීමාරහිත ව්‍යාපාරයක වාසිත් බොහොමයක් තිබේ.

     1.       මෙවැනි ව්‍යාපාරයක් ඇරඹීමට වැය වන්නේ රුපියල් පන්සියේ සිට තුන් හාරදහක් වැනි ගනනක් දක්වා කුඩා මුදලකි.

     2.       මෙවැනි ව්‍යාපාරයක් කරගෙන යෑම සඳහා දැඩි නීති රීති පනවා නැත.

     3.       ව්‍යාපාර ගනුදෙනුවල ගිනුම් පවත්වාගෙන යෑමද අනිවාර්ය නැත.

     4.       වාර්ෂිකව තරමක් විශාල ගාස්තු හා විවිධ ලියවිලි රජයට ලබා දීමට නැත.

ඇත්තටම මෙහිදී සිදු වන්නේ ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම (business registration) නොවේ. ඒ වෙනුවට සිදු වන්නේ ව්‍යාපාර නාමයක් (business name) ලියා පදිංචි කිරීමකි (business name registration). එහි අරමුන වන්නේ විවිධ අය එකම නමකින් ව්‍යාපාර කරගෙන ගියොත් ප්‍රායෝගික ගැටලු ඇති විය හැකි වීමයි. නිකමට හිතන්න ඔබේ ටවුමේ එකම නම තිබෙන ව්‍යාපාර/කඩ දෙකක් තිබුනොත් කුමක් වේවිද?

ලංකාවේ දැනට පවතින නීතිය අනුව සීමාරහිත ව්‍යාපාර වර්ග දෙකක් තිබෙනවා.

1.       කේවල-ස්වාමි ව්‍යාපාර හෙවත් තනි ව්‍යාපාර (sole enterprise හෙවත් proprietorship)

2.       හවුල් ව්‍යාපාර (partnership)

තනි ව්‍යාපාරයක් යනු නමින්ම කියන විදියට තනි පුද්ගලයකු විසින් අරඹන තනි අයිතිකරුවකු සිටින ව්‍යාපාර වර්ගයයි. මෙහිදී ඔබගේ ව්‍යාපාරයට හොඳ නමක් හදා ගන්න. එම නම දැනටත් එම පලාත තුල ව්‍යාපාරයක් විසින් භාවිතා නොකරන නමක් විය යුතුය. ඉන්පසු තමන්ට අයත් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් තනි ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරීමේ අයදුම්පත් කට්ටලයක් (පෝර්ම් දෙක තුනක් එහි අමුනා ඇත) නොමිලේ ලබා ගන්න. එහි අමුනා ඇති සරල උපදෙස්වලට අනුව කටයුතු කර එම පෝරම පුරවා භාර දෙන්න. හරිම සරලයි.

බොහෝවිට ඔබට සිදු වේවි එම ව්‍යාපාරය අදාල පලාත් පාලන ආයතනයට (මහා නගර සභාව, නගර සභාව, හෝ ප්‍රදේශීය සභාව) යම් මුදලක් ගෙවීමටත්. මෙම මුදලේ ප්‍රමානය තීරනය වන්නේ ඔබේ ව්‍යාපාරයේ ස්වභාවය අනුවයි. රජයේ ගැසට් පත්‍රයකින් එම මුදල නිශ්චිත කර තිබෙනවා. ඔවුන් එම ගැසට් පත්‍රයේ ඇති වගුවේ කුමන අයිතමය යටතෙද ඔබෙ ව්‍යාපාරය වැටෙන්නේ කියා සොයා ඊට අදාල මුදල තමයි අය කරන්නේ. ඔබත් එම ගැසට් එකේ විධි විධාන කියවා අඩු මුදලක් වැය වන ගැලපෙන අයිතමයක් තෝරා ගන්න. ඔබ මෙම මුදල ගෙවූ පසු ඔබට රිසිට් එකක් (කුවිතාන්සියක්) ලැබෙනවා. අන්න එම රිසිට් එකත් අමුනා භාර දෙන්න වේවි ව්‍යාපාර නාම ලියාපදිංචි පෝරම පුරවා ලබා දෙන විට.

තවද, ඔබ ව්‍යාපාරය කරගෙන යෑමට බලාපොරොත්තු වන ස්ථානය ගැනත් ඔවුන්ට තොරතුරු අවශ්‍ය කරනවා. එම ගොඩනැඟිල්ල සහිත ඉඩම ඔබට අයිති නම් ඔප්පුවේ පිටපතක් ඉදිරිපත් කල හැකියි. එය අයිති ඔබේ පවුලේ අයකුට නම් (මවට හෝ පියාට නම්), එම අයගෙන් ලියුමක් ඉදිරිපත් කිරීමට සිදු වේවි එතැන ව්‍යාපාරයක් ඔබ විසින් කරගෙන යෑමට අවසර ලබා දෙනවා කියා ඔප්පුවේ පිටපතට අමතරව. එහෙමත් නැතිනම් එම ගොඩනැඟිල්ල ඔබ විසින් බද්දට අරගෙන නම් තිබෙන්නේ එම බදු ඔප්පුවේ පිටපතක් ඉදිරිපත් කිරීමට සිදු වේ.

මෙලෙස අවශ්‍ය ලියවිලි නිවැරදිව සකසා භාර දී කෙටි කලකින් ඔබේ ව්‍යාපාර නාමය ලියාපදිංචි කර ඔබට දන්වනවා. ඔබට ඒ බවට නිල ලියවිල්ලක් ලැබෙනවා ව්‍යාපාර නාම ලියාපදිංචි සහතිකය (Business name Registration Certificate – BRC) කියා. ඔබට මෙම බීආර්සී එක අවශ්‍ය කරනවා අපනයන ව්‍යාපාරයේ ඉදිරි වැඩකටයුතු සඳහා.

ඉහත පෝරම පුරවන විට, ව්‍යාපාරයේ ස්වරූපය ගැන පිරවීමට තැනක් තිබෙනවා. එතැන අනිවාර්යෙන්ම අපනයන ව්‍යාපාරයක් බව සඳහන් කරන්න. රේගුව තුල ඔබේ ව්‍යාපාරය ලියාපදිංචි කිරීම ඉන් පහසු කරනවා.

මෙලෙසම ක්‍රියාවලියක් තමයි හවුල් ව්‍යාපාරයක් සඳහා තිබෙන්නෙත්. හවුල් ව්‍යාපාරයක් කියන්නේ පුද්ගලයන් කිහිප දෙනෙකු එකතු වී කරන එකක්. එහි අවම හවුල්කරුවන් (partners) දෙදෙනකු වන අතර උපරිම හවුල්කරුවන් ගනන 20කි. අයිතිකරුවන් කිහිප දෙනෙකු සිටීමේ වාසි මෙන්ම අවාසි තිබෙනවා. සිතා බලන්න. ප්‍රබලම අවාසිය තමයි තීරණ ගැනීමේදී “ලොක්ක” කවුද යන්නයි.

මෙවැනි ඇතිවිය හැකි ගැටලු කල් තියා හඳුනාගෙන ඒවා කලමනාකරණය කරන ආකාරය ගැන නීතිමය ලියවිල්ලක් සාදා හවුල්කරුවන් ඊට එකඟ විය හැකියි අත්සන් යොදා. මෙම ලියවිල්ල හවුල් ඔප්පුව (partnership deed) ලෙස හැඳින්වෙනවා. හවුල් ඔප්පුවක් අනිවාර්ය නැතත් එය තිබීම සුදුසුය. එම ඔප්පුව තුල හවුල්කරුවන් වගකීම් බෙදා ගන්නා ආකාරය, ඔවුන්ට පඩි හෝ වෙනත් ගෙවීම් සිදු කරනවා නම් එය සිදු කරන ආකාරය, ව්‍යාපාරයෙන් ණයක් ගන්නවා නම් එය සිදු කරන ආකාරය ආදි නොයෙක් වැදගත් කරුනු ඇතුලත් කල හැකියි.

තනි පුද්ගල හා හවුල් ව්‍යාපාරවල අධ්‍යක්ෂවරු (directors) නැත. සිටින්නේ අයිතිකරුවන්ය (owners හෙවත් proprietors). මා බොහෝ විසිටිං කාඩ්වල හා ව්‍යාපාරික ලියුම් තුල දැක තිබෙනවා තනි හෝ හවුල් ව්‍යාපාරවල අධ්‍යක්ෂක කියා තනතුරු නම් යොදා තිබෙනවා. එය වැරදි භාවිතාවක්. ඒ වෙනුවට proprietor (අයිතිකරු) හෝ General Manager යන නිලයන් භාවිතා කරන්න. තවද, මෙම ව්‍යාපාර දෙකම සමාගම් හෝ කොම්පැනි යන නමින් හැඳින්වීමද කල නොහැකියි. ඊට “ව්‍යාපාරය” හෝ “ෆර්ම් (firm)” යන නම තමයි යොදගන්න ඕන.

දැන් අපි බලමු සීමාසහිත ව්‍යාපාර දෙස. මේවා තමයි සාමාන්‍යයෙන් සමාගම් (company) කියා කියන්නේ. සමාගම් පනත (Companies Act) යටතේ මීට අදාල සියලු නීති ප්‍රතිපාදන හා තත්වයන් විස්තර කර ඇත. තරමක් ඔලුව කරකවන තරමේ තඩි පොතක් තරමට විශාල වුවත් මා යෝජනා කරනවා එය හෙමින් කියවා බලන ලෙස. එහි ඇති බොහෝ කරනු ඇත්තටම සාමාන්‍ය කොම්පැනිවලට අදාල නැත.

එහි කොම්පැනි වර්ග කිහිපයක් හඳුන්වා දී තිබෙනවා සීමාසහිත පෞද්ගලික සමාගම් (private limited company), සීමාසහිත පොදු සමාගම් (public limited company), ඇපයෙන් සීමිත සමගම් (companies limited by guarantee) ආදි ලෙස. අපට මින් වැදගත් වන්නේ පෞද්ගලික සමාගම්ය.

මේ සියලු සමාගම්වලට නීතිමය පුද්ගලභාවය තිබේ. ඉහත විස්තර තුල මා නීතිමය පුද්ගලභාවය කතා කලා. නීතිමය පුද්ගලභාවය යනු නීති ඇසෙන් බලන කල සමාගමත් ඔබ මා වගේම පුද්ගලයෙක් කියා පිලිගැනීමයි. හරියට ඇසිමොව්ගේ Bicentennial Man නම් විද්‍යා ප්‍රභන්ද කතාවේ ඇන්ඩෘ නම් රොබෝව අවසානයේ මනුෂ්‍යකු ලෙස පිලිගන්නවා වගේ.

ඔබට ඔබේම ස්වාධීන පැවැත්මක් තිබෙනවා; මට මගේම ස්වාධීන පැවැත්මක් තිබෙනවා. එලෙසම සමාගමකටත් එයාගෙම ස්වාධීන පැවැත්මක් තිබෙනවා. බැලූ බැල්මට එය විකාරයක් වගේ පෙනුනත් ප්‍රායෝගිකව එහි වාසි කිහිපයක් තිබෙනවා. මුලිනුත් ඔබ කියවා දැනගත් පරිදි සමාගමට දැන් හැකියි නඩුවක් පවරන කොට සමාගමේ නමින්ම එය සිදු කරන්නට. එලෙසම කාට හරි සමාගමට විරුද්ධව නඩු පවරන කොට කෙලින්ම සමාගමේ නමට එම නඩුව ගොනු කල හැකියි. ඒ කියන්නේ නීතිය දකිනවා සමාගම යනු සමාගමේ අයිතිකරුවන්ගෙන් ස්වාධීනව පවතින එකක් කියලා.

එනිසාම සමාගම්වල වගකීමද සීමා සහිතය. ඒ කියන්නේ යම් නීති කටයුත්තකදී සමාගමට වන්දියක් ගෙවීමට නියම වුවොත්, එම වන්දි මුදල සමාගමේ මුදල් හා වත්කම්වලින් පමනයි ගෙවීමට බැඳී සිටින්නේ. උදාහරන ලෙස, සමාගමේ සියලු වත්කම කෝටි 5ක් නම්, ගෙවීමට ඇති වන්දිය කෝටි 10ක් නම්, එහෙත් සමාගමෙන් ගෙවන මුලු වන්දිය කෝටි 5ට සීමා වෙනවා. එම සමාගමේ අයිතිකරුවන්ගේ පෞද්ගලික ධනය කෝටි දහස් ගනනක් වුවත්, උසාවියට බැහැ ඔවුන්ගේ එම පෞද්ගලික ධනයෙන් ඉතිරි මුදල ගෙවන්න කියා නියෝග කරන්න.

මෑතක ලංකාවේ මීට කදිම උදාහරනය තමයි එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට්වලට සිදු වූ දේ. එදිරිසිංහලා මිනිසුන්ගේ ධනය මංකොල්ල කෑවා. අන්තිමේදී එහි වත්කම් ප්‍රමානවත් වුනේ නැහැ මිනිසුන්ගේ තැන්පතු නැවත මිනිසුන්ට දෙන්නට. එසේ වුවත්, එදිරිසිංහලාගේ පෞද්ගලික වත්කම් විශාලයි; උසාවියට බැහැ එම පෞද්ගලික වත්කම් හිලව් කරන්න මොකද එම ව්‍යාපාරය සීමාසහිත එකක්. එහෙත් ඔවුන් කලේ සාපරාධි ක්‍රියාවක් නිසා අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට තිබුනා නීතියක් සාදා පෞද්ගලික වත්කම් පවරාගෙන මහජනයාට සාධාරනය ඉටු කරන්න. එනමුත් එය සිදු වුනේ නැහැ මොකද කවදත් දේශපාලුවා ගත්තේ ධනවතාගෙ පැත්ත (උන්ගෙන් පගාව ගන්න).

සාමාන්‍යයෙන් සමාගමක් බිහිකරන්න හෙවත් සංස්ථාපනය (incorporate) කරන්නට යන විට පිරවිය යුතු පෝරම ගනනාවක් තිබෙනවා. සමාගමක් තමන් විසින්ම සංස්ථාපනය කරන හැටි මීට පෙර මා මෙම බ්ලොග් එකේ ඉතා විස්තරාත්මකව පැහැදිලි කර තිබෙනවා. එය කියවා බලන්න. සමාගමක් ලියාපදිංචි කල පසු ඔබට ලැබෙනවා සංස්ථාපන සහතිකය (Certificate of Incorporation). මෙය ඉහතදී හමු වූ බීආර්සී එකට සමාන්තර ලියවිල්ලක්.

සමාගමක් තමන්ගේම පැවැත්මක් තිබෙන එකක් නිසා එයාට ස්වාධීනව වැඩ කිරීමට හැකියාව තිබිය යුතුයිනෙ. ඒ කියන්නේ සමාගටම එයාගෙම මුදල්/අරමුදල් (fund) තිබිය යුතුයි. එම අරමුදල තමයි ප්‍රාග්ධනය කියන්නේ. එම ප්‍රාග්ධනය සපයන්නේ එක් පුද්ගලයෙක් නැතිනම් අයිතිකරුවන් එකකට වඩා සිටින විට, සමාගමේ අයිතිකරුවන් සියල්ලෝම එකතු වෙලා. මෙම අයිතිකරුවන් සමාගමේ කොටස්කරුවන් (shareholders) ලෙස හැඳින්වෙන අතර, ඔවුන් ෂෙයාර් කර දමන මුලු මුදල සමාගමේ කොටස් ප්‍රාග්ධනය (share capital) ලෙස හැඳින්වෙනවා.

සාමාන්‍යයෙන් මෙම ෂෙයාර් කැපිටල් එක සම්පූර්නයෙන්ම සමාගම ආරම්භ කරන අවස්ථාවෙදිම කවුරුත් දැමිය යුතු වෙනවා. එම මුදලින් සමාගමේ සියලු වියදම් දැරිය යුතුයි. එහෙත් සමහර සමාගම් එම කොටස්කරුවන්ගෙන් සම්පූර්න මුදල අය නොකරගෙන ඉන් යම් ප්‍රතිශතයක මුදලක් තමයි මුලින් යොදන්නට කියන්නේ. එසේ වුවත්, ඕනෑම අවස්ථාවකදී ඉතිරි කොටසත් ගෙවන්න කියා සමාගම තීරනය කලොත් එම ඉතිරි ප්‍රතිශත මුදලත් සමාගමට ලබා දීමට කොටස්කරුවන් බැඳී සිටිනවා.

ඇපයෙන් සීමිත සමාගමක් කියන්නෙත් ඉහත විස්තර කල ආකාරයේ සමාගමක්ම තමයි. එහෙත් එහි ඇති වෙනස වන්නේ එම ඇපයෙන් සීමත සමාගමේ කොටස්කරුවන් තමන්ගේ ප්‍රාග්ධන කොටස සමාගටම ලබා නොදී සිටීමයි. උදාහරන ලෙස මා එවැනි සමාගමක කොටස්හිමියකු නම් හා මගේ එම සමාගමට තිබෙන කොටස්වල හිමිකාරිත්වයේ වටිනාකම රුපියල් මිලියනයයි නම්, මා එම මිලියනය සමාගමට ලබා දෙන්නේ නැත. එහෙත් සමාගමට කිසියම් හෝ මොහොතක මුදල් අවශ්‍ය වුවොත් (වන්දියක් ගෙවීමට සිදු වීමකදී) මා ඇප වී සිටිනවා අර මිලියනය දක්වා වූ මුදල ගෙවන්න. ඒ කියන්නේ කොටස්කරුවෙකුගේ වගකීම සීමාසහිත වනවා ඔහු පොරොන්දු වී තිබෙන වටිනාකම දක්වා. එතනින් එහා සතයක්වත් ඔහු ගෙවන්නට අවශ්‍ය නැහැ මොන තත්වය යටතේවත්. ඉතිං, ඇපයෙන් සීමිත සමාගම් උචිත වන්නේ ව්‍යාපාරවලට වඩා යම් යම් පොදු සේවා සපයන ආයතන, පුන්‍යායතන, පරිසර සංවිධාන ආදි ව්‍යුහයන් සඳහා.

පෞද්ගලික සමාගමක අවම කොටස්කරුවන් එකක් වන අතර උපරිම කොටස්කරුවන් 50කි. එවැන කොම්පැනියක නම හැමවිටම කෙලවර වන්නේ “... පෞද්ගලික සමාගම” (… private limited හෝ ... (pvt) ltd) යනුවෙනි. ලංකාවේ වැඩිපුරම තිබෙන්නේ පෞද්ගලික සමාගම්ය. මෙවැනි සමාගමකට අයිතියක් නැහැ කොටස් වෙලඳපොලට ඇතුලු වන්නට.

පොදු සමාගමක කොටස්කරුවන්ගේ උපරිමයක් නැත; සිය දහස් ගනනක් වුවද සිටිය හැකිය. එවැනි කම්පනියක නම කෙලවර වන්නේ නිකංම “... සමාගම” (… limited) කියාය. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ කොටස් වෙලඳපොලට ඇතුලු විය හැකියි. එලෙස කොටස් වෙලඳ පොලට ඇතුලු වූ විට පොදු සමාගමක් “පොදු ලැයිස්තුගත සමාගමක්” (public listed company – PLC) ලෙස නම වෙනස් වේ. එහෙත් හැමවිටම කෙටි යෙදුම වන PLC තමයි යොදා ගන්නේ (උදාහරන ලෙස Sampath Bank PLC).

සමාගමකට ස්වාධීන පැවැත්මක් තිබෙනවා යැයි කියනවානෙ. ඒ කියන්නේ සමාගමට හැකියි තමන්ගේ මුදල් තමන්ටම හසුරුව ගන්න වගේම තනිවම තීරන ගන්න. එහෙත් සමාගමට පන නැහැනෙ. ඒ කියන්නේ සමාගමේ මෙම වගකීම් ඉටු කිරීම මිනිසුන් ටිකක් සිටිය යුතුයි. එම පිරිස තමයි සමාගමේ අධ්‍යක්ෂකවරු යැයි කියන්නේ. සාමාන්‍යයෙන් සමාගමක අධ්‍යක්ෂවරු තෝරා ගන්නේ සමාගමේ කොටස්හිමියන් අතුරිනි මොකද අධ්‍යක්ෂක මන්ඩලය තමයි කොම්පැනියේ පාලනය සිදු කරන්නේ. අධ්‍යක්ෂවරු කිහිප දෙනෙකු සිටින විට, ඉන් කෙනෙකු අධ්‍යක්ෂකරුන් අතරින් ප්‍රධානියා ලෙස පත් කරන අතර ඔහු අධ්‍යක්ෂක මන්ඩලයේ (director board) සභාපති (chairman) ලෙස හැඳින්වෙනවා.

විශාල සමාගමක විවිධාකාර නාමවලින් හඳුන්වන අධ්‍යක්ෂකවරු ඉන්නවා. එවැනි නම් කිහිපයක් නම්, සාමාන්‍යාධිකාරි හෙවත් අධ්‍යක්ෂක ජනරාල් (director general), නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, අතිරේක අධ්‍යක්ෂක ජනරාල්, අධ්‍යක්ෂක, ක්‍රියාකාරි අධ්‍යක්ෂක (working director), විධායක අධ්‍යක්ෂක (executive director), managing director (MD), නියෝජ්‍ය අධ්‍යක්ෂක, සහකාර අධ්‍යක්ෂක වේ.

සාමාන්‍යයෙන් අධ්‍යක්ෂකවරු සමාගමක ඉහලම  තලයේ සිටින පාලක පිරිසයි. මෙය Top Management ලෙස හෝ Strategic Management ලෙස හැඳින්වෙනවා. බොහෝවිට ඔවුන් ආයතනයේ අයිතිකරුවන්ද වෙනවා. එහෙත් සමහර ආයතනවලට බඳවා ගන්නවා ඉතා විශේෂ දැනුමක් හෝ හැකියාවන් සහිත පුද්ගලයකු ආයතනය මෙහෙය වීම සඳහා. ඔහු තමයි අධ්‍යක්ෂක ජනරාල් හෝ ප්‍රධාන විධායක නිලධාරි (Chief Executive Officer – CEO) හෝ Managing Director ලෙස හැඳින් වෙන්නේ. එහෙත් මෙම නම්වලට නීතිමය අර්ථ කථන නැත. දල අදහසක් දීමට පමනයි මා උත්සහ කලේ.

ටොප් මැනේජ්මන්ට් එක යටතේ ආයතනයේ වැඩ කටයුතු නිසි පරිදි පවත්වාගෙන යෑමට Middle Management හෙවත් Tactical Management එකක් පවතිනවා. ඊටත් යටින් Bottom Management හෙවත් Operational Management පවතිනවා. මේ දෙවර්ගයේම කලමනාකරන කටයුතු සඳහා විවිධාකාරයේ කලමනාකරුවන් (managers) පත් කරනවා. මෙවැනි මැනේජර්ලා ගනනාවක් සිටින විට ඉන් මැනේජර් කෙනෙකු General Manager (GM) වශයෙන් පත් කරනවා. ඇත්තටම ජීඑම් ආයතනයක විධායක අධ්‍යක්ෂක ධුරයක් ලෙස බොහෝවිට සලකනවා (නිකංම මැනේජර් කෙනෙකු ලෙස නොවේ). ඉතිං මේ ආකාරයට මැනේජර් තනතුරු ගනනාවක් තිබෙනවා deputy general manager (DGM), assistant general manager (AGM), senior manager, junior manager, deputy manager, assistant manager ආදි ලෙස.

ඉතිං සමාගමක අධ්‍යක්ෂකවරුන්ට අමතරව ලේකම් (secretary) යන තනතුරක්ද අනිවාර්යෙන්ම තිබෙනවා. සමාගමේ ප්‍රාග්ධනය අඩු නම් (මට මතක විදියට ලක්ෂ 5කට අඩු නම්), සමාගමේ අධ්‍යක්ෂකවරයකුට වුවත් ලේකම් ලෙස පත් විය හැකිය. එහෙත් සමාගමේ එන්නේ එක් අධ්‍යක්ෂකවරයකු පමනයි නම්, එවිට එම තනි අධ්‍යක්ෂකවරයාට ලේකම් ලෙස පත් විය නොහැකිය.

ලොකු කොම්පැනියක් නම් පිටතින් ලේකම් කෙනෙකු පත් කල යුතු වෙනවා. හැමෝටම සමාගම් ලේකම් කෙනෙකු ලෙස පත්විය නොහැකිය. සමාගම් ලේකම් වශයෙන් වැඩ කල හැකි අවසරලත් අය ඉන්නවා (නීතිඥයන් වැනි). ලේකම්වරයකුට ඇත්තටම සමාගම වෙනුවෙන් කල යුතු වගකීම් ප්‍රමානයක් තිබෙනවා. එනිසා ඒ ගැන දැනුමක් තිබෙන අයකු පත් කල යුතුයි.

ව්‍යාපාර කරන ඔබ ආයතනවල මෙවැනි තනතුරු නාම ගැන දැනුමකින් සිටිය යුතුය. එනිසයි මා ඒ ගැන සඳහන් කර තිබෙන්නේ. ලංකාවේ බොහෝ අය මේ වැනි සරල කරුනු ගැන නොදැනුවත්ය. උදාහරන ලෙස, ඕන තරම් අය මා දැක තිබෙනවා විශ්ව විද්‍යාලයක සහය කථිකාචාර්ය කෙනෙකුට වුවත් “මහාචාර්යතුමා” යැයි අමතනවා. තවද ජනාධිපති නීතිඥ යනු ජනාධිපතිගේ නීතිඥයා කියා සිතන අය ඕන තරම් ඉන්නවා.

ඔබ අපනයනකරුවකු වශයෙන් ඉහත කතා කල ඒකපුද්ල ව්‍යාපාරයක්, හවුල් ව්‍යාපාරයක් හෝ සමාගමක් ලෙස එම ව්‍යාපාරය ඇරඹිය යුතුය. එවිට ඔබට ලැබෙනවා ව්‍යාපාරය ලියාපදංචි කල බවට සහතිකයක් (බීආර්සී හෝ සංස්ථාපන සහතිකය). ඒවා සුරක්ෂිතව ලග තබා ගත යුතුයි. සමාගමක නම්, මීට අමතරව අධ්‍යක්ෂකවරුන්ගේ හා ලේකම්වරුන්ගේ සහතික කල පිටපත් (certified copies) කොළඹ (ඩී ආර් විජේවර්ධන මාවතේ කෙලවර) පිහිටි සමාගම් මැදුරෙන් (හෙවත් සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවෙන්) මුදල් ගෙවා ලබා ගත යුතු වෙනවා.

මීටත් අමතරව ඔබේ ව්‍යාපාරයේ නමින් අවශ්‍ය මුද්‍රා (seal) කපා ගත යුතු වෙනවා. සීල් කප්පවා ගන්නා විට අවශ්‍ය තොරතුරු සහිතව ඒවා කප්පවා ගන්න. දැනට වෙනත් ව්‍යාපාර භාවිතා කරන සීල් කිහිපයක් පරික්ෂා කර ඔබට අදහසක් ගත හැකියි. සීල් කප්පවා විතරක් මදි, එම සීල් එක භාවිතා කරන නිලධාරියා/පුද්ගලයාද නිශ්චිත කර ගන්න. හැමෝටම සීල් එක අහුවෙන්න තියන්න එපා.

ඉන්පසු ඔබට සිදු වෙනවා ව්‍යාපාරයේ නමින් හොඳ වානිජ බැංකුවක ජංගම ගිනුමක් (current account) විවෘත කරන්න. ජංගම ගිනුමකට අමතරව සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිනුමක්ද (savings account) විවෘත කරන්න ආයතනය සඳහා. බැංකුවක් තෝරා ගැනීමේදී හොඳ සුහදශීලි හා ඔන්ලයින් පහසුකම් ඇති බැංකුවක් තෝරා ගන්න. අද බොහෝ බැංකු ඔන්ලයින් ආකාරයට බැංකු කටයුතු කිරීමට පහසුකම් සපයනවානෙ. ව්‍යාපාර සඳහා බැංකු සපයන සේවා trade service ලෙස සාමාන්‍යයෙන් හැඳින්වෙනවා. ඔබ බැංකු කිහිපයක වෙබ්සයිට්වලට ගොස් ඒවා කියවා හැඟීමක් ගන්න. මෙම තොරතුරු සාමාන්‍යයෙන් corporate banking යන මාතෘකාව යටතේ තමයි තියෙන්නේ. තවද, බැංකු ශාකාව ව්‍යාපාරික ස්ථානයට ආසන්නව තිබේ නම් තවත් හොඳය.

ඉන්පසු ඔබට සිදු වෙනවා ඔබේ ව්‍යාපාරය රේගුවේ (customs) හා දේශීය ආදයම් දෙපාර්තමේන්තුවේ (inland revenue departmentIRD) යන ආයතන දෙකෙහිම ලියාපදිංචි කරන්න. මේ සඳහා ඔබට මුදල් වැය වන්නේ නැහැ.

දේශීය ආදයම් එකේ ලියාපදිංචියේදී ඔබට අංක දෙකක් ලැබෙනවා. ඉන් එකක් Tax payer Identification Number (TIN number) ලෙස හැඳින්වෙනවා. එය තමයි ඔබේ ව්‍යාපාරය දේශීය ආදයම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීමේදී ඔබේ ව්‍යාපාරය හඳුනාගැනීම සඳහා ලැබෙන අනන්‍ය අංකය. එය හරියට පුද්ලයකුගේ හැඳුනුම්පත් අංකය වගේ. අනෙක් අංකය Value Added Tax Number (VAT Number) වේ. මෙය තමයි වැට් බදු ගෙවන අංකය.

වැට් සඳහා ලියාපදිංචි විය යුතුයි සෑම ආනයන අපනයන ව්‍යාපාරයක්ම. එය අනිවාර්යයි. මුලින්ම ඔබට ලැබෙන්නේ තාවකාලික වැට් අංකයකි. එය වලංගු මාස කිහිපයක් පමනි. ඔබ ඔබේ පලමු අපනයනය/ආනයනය සාර්ථකව නිම වූ පසුව යලි එම ආයතනයෙන් එය ස්ථිර වැට් අංකයක් බවට පත් කර ගත යුතු වෙනවා.

මිනිසුන්ගේ බොරු බයක් තිබෙනවා ටින් හා වැට් ලියාපදිංචියට. ඔබට බදු ගෙවීමට සිදු වන්නේ ඇත්තටම ඔබ හොඳ ආදායමක් ලබනවා නම් පමනි. ලියාපදිංචි වූ පලියට ඔබට බදු ගෙවීමට සිදු වන්නේ නැහැ. අනික, ලංකාවේ ප්‍රතිපත්තියක් ලෙස අපනයනය සඳහා වැට් හෝ තීරු බදු ගහන්නේ නැහැ. එමඟින් අපනයනකරුවන් දිරිගන්වනවා තව තවත් අපනයනය සඳහා. ඔබ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙඩ් අඩවියට ගොස් බදු ගැන බදු ගහන විදිය ගැන විස්තර දැනගන්න. ව්‍යාපාර කරනවා නම් බදු ගැනත් දැන ගන්න එපැයි.

ඉස්සර නම්, ඔබේ ව්‍යාපාරය අපනයන සංවර්ධන මන්ඩලයෙත් (Export Development Board – EDB) ලියාපදිංචි කල යුතුයි. එහෙත් දැන් එම ලියාපදිංචිය අවශ්‍ය නැත. කැමති නම් කල හැකියි. ඔවුන්ගේ වෙඩ් අඩවියද පරිශීලනය කරන්න. ඉතා වැදගත් තොරතුරු එහි ඇත. ඉස්සර නම් කොලඹ නවම් මාවතේ ඔවුන්ගේ කාර්යාලය තිබුනි (දැන් කොහේ තියෙනවාද කියා ගූගල් කර බලන්න).

රේගුව තුල ඔබේ ආයතනය ලියාපදිංචි කිරීමෙදී ඔබට රේගු කටයුතු සිදු කරන ආයතනයක සහය ගැනීමට සිදු වෙනවා. මෙහෙමයි. ඔබට අපනයන හෝ ආනයන ව්‍යාපාරයක් තිබූ පලියට එකවරම රේගුව සමඟ ඍජුව කටයුතු කිරීමට ඔබට හැකියාව ලැබෙන්නේ නැහැ. රේගු කටයුතු කල හැක්කේ ඒ සඳහා අවසර ලත් අයට පමනි. Customs House Agent (CHA) විභාගය සමත්ව, ඉන්පසු රේගු කටයුතු කිරීමේ ව්‍යාපාරයක් ලෙස රේගුව තුල ලියාපදිංචි අයකුට පමනයි එම හැකියාව තිබෙන්නේ. මෙවැනි අයට තමයි Wharf Clerk (වාප්පු ලිපිකරු) යැයි කියන්නේ. එලෙස ලියාපදිංචි වූ විට ඔහුට විශේෂිත ලියාපදිංචි අංකයකුත් ලැබෙනවා (රේගුව තුල ඔහුගේ හැඳුනුම්පත් අංකය වගේ).

මෙවැනි ආයතන කොළඹත් තදාසන්න ප්‍රදේශවලත් ඕන තරම් තිබෙනවා. සමහරු නම් මහා කපටි යක්කුය. කස්ටම් එක සමඟ කටයුතු කරන කොට ඉබේම කපටියො වෙනවා කොහොමත්. කොහොමහරි කතා බහ කර හොඳ අවංක සේවාවක් සපයන මෙවැනි ආයතනයක් සෙට් කර ගන්න. කාලයක් යන කොට ඔබ තෝරාගත් අයගේ ගාස්තු වැඩි නම්, බොරුව වැඩි නම් වහම වෙනත් ආයතනයක් තෝරා ගන්න. ඒ ගැන ඉතිං අමුතුවෙන් කිව යුතු නැහැනෙ. සාමාන්‍ය දැනුම භාවිතා කරන්න.

ඔබට ස්ථාවර අපනයන/ආනයන ව්‍යාපාරයක් තිබේ නම්, ඔබට හැකියි කෙලින්ම කස්ටම් එක සමඟ කටයුතු කිරීමට ඉහත වෙනත් ක්ලියරිං ආයතනයක් හරහා නොගොස්. ඒ සඳහා ඔබට සිදු වෙනවා ඔබේ ආයතනයට CHA බලපත්‍රය තිබෙන අයකු හෝ කිහිප දෙනෙකු බඳවා ගන්න. එවිට එම පිරිස ඔබේ ව්‍යාපාරයේ ෆුල්ටයිම් සේවකයන් වේ.

හරි... ඉහත වැඩ සියල්ල ඉවර කල පසු, ඔබට දැන් පුලුවන් අපනයනය කරන්න. එහෙත් ඒ සඳහා ඔබට හොඳ අදහසක් හා සැලසුමක් තිබිය යුතුයි. ඔබ අපනයනය කරන භාණ්ඩයක් හෝ භාන්ඩ වර්ග කිහිපයක් තොරා ගත යුතුයි. ඔබ තෝරා ගත් බඩු රට තුල යහමින් සපයා ගැනීමට හැකියාවත් තිබිය යුතුයි. උදාහරන ලෙස ගැනුම්කරුවක් ඔබෙන් එම භාන්ඩයෙන් ටොන් 10ක් එවන්න යැයි කී විට, ඔබට සපයා ගත හැක්කේ ටොන් 1ක් විතරයි නම් එතැන ගැටලුවක්නෙ. දැන් නම් අන්තර්ජාලයෙන්, විශේෂයෙන් ෆේස්බුක් එකෙන් ඕනෑ තරම් බඩු සැපයුම් කරන අය (suppliers) සොයා ගත හැකියි. ෆේස්බුක්හි එවැනි ගෲප් තිබෙනවා. ඒවාට ජොයින් වෙන්න.

ඉන්පසු ඔබ අනිවාර්යෙන්ම ඔබේ ආයතනයේ නමින් වෙබ් අඩවියක් දමන්න. මෙහිදී නොමිලේ ලබා දෙන වෙබ් ඇඩ්‍රස්/ඩොමේන් භාවිතා කරන්න එපා. www.tekcroach.com , www.tekcroach.lk, www.tekcroach.biz වැනි සල්ලි දී ලබා ගත් ඩොමේන් එකක් යොදා ගන්න. හැකි තරම් ඔබේ ඩොමේන් නේම් එක (tekcroach වැනි කොටස) කෙටියෙන් තබා ගන්න. දැනටමත් සමහරවිට ඔබේ ආයතනයේ කෙටි නම වෙන අයකු ලබා ගෙන තිබීමට පුලුවන්. එවිට කරන්න දෙයක් නැහැ. එතකොට ඔබේ ආයතනයේ දිගු නම හෝ අර කෙටි නමට අර්ථවත් කෙටි අක්ෂරයක් හෝ කිහිපයක් යොදා කොහොම හරි හොඳ කෙටි නමක් ලබා ගන්න. ඉලක්කම් භාවිතා කරන්න එපා හරක් වගේ.

තවද, මෙම වෙබ් අඩවි රෙජිස්ටර් කරන විට අනිවාර්යෙන්ම ඒවාට තමන්ගෙ ලිපින හා ටෙලිෆෝන් අංක යොදන්න. තමන්ගේ නමට තිබෙන ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ් වලින් ගෙවන්න. ඩොමේන් නේම් එක මිල දී ගන්න විට අවුරුදු තුනක් හෝ පහක් සඳහා එය මිලදී ගන්න (බොරුවට අවුරුද්දෙන් අවුරුද්ද අලුත් කරන්න තියා ගන්න එපා). අවසානයේදී ඉතා ශක්තිමත් පාස්වර්ඩ් දමා ඒවා වෙන අයට ඇතුලු වීමට හෝ හැක් කිරීමට නොහැකි ලෙස තබා ගන්න. කිසිවිටක වෙනත් අයකුට හෝ වෙබ්අඩවි නිර්මානය කරන ආයතනයකට එම කටයුත්ත භාර දී නිකං ඉන්න එපා. ව්‍යාපාරයේ නමින් තිබෙන වෙබ්අඩවිය යනු ඔබේ ආයතනයේ කැඩපත. එය දැඩිව ආරක්ෂා කරගත යුතුයි. අනිවාර්යෙන්ම ඒවායේ යොදන පාස්වර්ඩ් ඔබ විතරක් දැන සිටිය යුතුය. විච්චූර්න වෙබ් පිටු අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ දැකුම්කලු ප්‍රොෆෙෂනල් වෙබ් පිටු වේ.

තවද, ඊමේල් භාවිතා කරන විට gmail, sltnet, hotmail, yahoo වැනි නොමිලේ දෙන ඊමේල් ඇඩ්‍රස් ගැනුම් කරුවන්ට දෙන්න එපා. ඒක ඔබේ ව්‍යාපාරයේ තත්වයට හොඳ නැත. ඔබ දුප්පත් ව්‍යාපාරයක් බවයි ඉන් පෙන්නුම් කරන්නේ. එතකොට ආනයනකරුවන් ඔබට ආකර්ෂනය වෙන එක අඩු වේවි. ඇත්තටම ජීමේල් වැනි ඊමේල් සේවා ලෝකයේ අග්‍ර ගනයේ සේවාවන්ය. එහෙත් ඒවා නොමිලේ ලබා දෙන සේවාන් නිසා ව්‍යාපාරයක් එවැන්නක් භාවිතා කිරීම හිඟන තත්වයකි.

එනිසා අනිවාර්යෙන්ම ඔබ සතුව දැනටමත් තිබෙන වෙබ් ඩොමේන් ඇඩ්‍රස් එකෙන්ම ඊමේල් ඇඩ්‍රස් හදා ගන්න. ඒකට සල්ලි යන්නෙත් නැහැ. නම්බුයි! උදාහරන ලෙස, ඔබේ ව්‍යාපාරයේ නාමල් හා ෂෙරින් ලෙස දෙදෙනෙකු අයිතිකාරව ඉන්නවා නම්, ඔබේ ව්‍යාපාරයේ ඩොමේන් නේම් එක tekcroach.com නම්, ඔබ දෙදෙනාට namal@teckroach.com හා sherin@tekcroach.com ලෙස ඊමේල් ඇඩ්‍රස් දෙකක් හදා ගන්න. ඊට අමතරව ආයතනයට පොදු info@tekcroach.com, contact@tekcroach.com, admin@tekcroach.com, help@tekcroach.com වැනි තවත් ඊමේල් ඇඩ්‍රස් දෙක තුනක් සාදා ගන්න. ඔබේ සියලු ලිපිවල හා පනිවුඩවල තිබිය යුත්තේ මෙවැනි ඊමේල් ඇඩ්‍රස්. ඊමේල් ඇඩ්‍රස් කිහිපයක් තනි ඔබට නඩත්තු කිරීම එතරම් අපහසු නැත. imap හෝ pop3 ක්‍රමයට එම ඊමේල් තමන්ගේ පරිගනකය මත හා ස්මාට් දුරකතනයේ ස්ථාපනය කර ගන්න (මේ ගැන ඔබට දැනුමක් නැතිනම් ඒ ගැන සොයා බලා හෝ දන්න අයකුගෙන් දැනගෙන සිදු කරන්න; හැබැයි ඔහුට ඔබේ ඊමේල්වල පාස්වර්ඩ් කියන්න එපා). වෙබ්සයිට් එක හරහා ඊමේල් චෙක් කරන බොලඳ නූගත් ක්‍රමය නවතා දමන්න. ඊමේල් නිතරම චෙක් කරන්න (පැයකට සැරයක්වත්).

ඉස්සර වගේ ෆැක්ස් හෝ සාමාන්‍ය ෆෝන් අංක එතරම්ම වැදගත් නැත අද අපනයන ව්‍යාපාර සඳහා. එහෙත් හැකි නම් ඔබේ ව්‍යාපාරයට එක ලෑන්ඩ් ලයින් එකක් ගන්න (4G වයර්ලස් ලයින් එකක් නම් තවත් හොඳයි). මොබයිල් අංකයකට වඩා එය හොඳය. එහෙත් ආයතනයේ වැඩවලට මොබයිල් අංකයකුත් ගන්න. මේ සියලු ටෙලිෆෝන් සබඳතා තමන්ගෙ නමට හෝ ආයතනයේ නමට ලබා ගන්න. වෙන අයගේ නමට තිබෙන ඒවා කිසිවිටක භාවිතා කරන්න එපා.

ඉන්පසු වට්ස්ඇප්, වයිබර්, ඉමෝ, ස්කයිප් ආදි අන්තර්ජාලය හරහා කෝල් කල හැකි පහසුකම්ද අර මොබයිල් ටෙලිෆෝන් අංකයටම ලබා ගන්න. මේවා කලින් කලට වෙනස් කරන්නට හදන්න එපා. ඒක නිසා එම ටෙලිෆෝන් අංකවලින් කුනුහරුප වැඩ නොකර ඉන්න. වැදගත් ව්‍යාපාරික කටයුතුවලට පමනක් යොදා ගන්න (මල් කඩන්න වෙන ලයින් භාවිතා කරන්න).

අර වෙබ් අඩවියේ තමන්ගේ කන්ටැක්ට් විස්තර නිවැරදිව දමන්න. ඉතා හොඳ ඉංග්‍රිසියෙන් කරුනු ලියන්න. කැඩිච්ච ඉංග්‍රිසි යොදන්න එපා. තමන්ට බැරි නම් හොඳින් එය කල හැකි කෙනෙකු ලවා කරවා ගන්න. තවද, තමන්ගේ භාන්ඩ ගැන නිවැරදි විස්තර දමන්න. මිල ගනන් දාන්න එපා. ඒවා තමන් සමඟ සාකච්ඡා කර ඔහුට ලබා දිය යුතුය. ඉන්ටර්නෙට් එකෙන් පිංතුර අරං දාන්න එපා. උදාහරන ලෙස, ඔබ ගම්මිරිස් අපනයනය කරනවා නම්, අන්තර්ජාලයේ තිබෙන ගම්මිරිස් වල ලස්සන රූපයක් ගෙන තමන්ගේ එකේ දාන්න එපා. ඒක මහා සවුත්තු වැඩක්. ආනයනකරු එය දැක්කොත් එයා හිතන්නේ අපනයනකරු බොරු කාරයෙක් කියාය. අපනයනකරු ඇත්තටම ගම්මිරිස් වෙලඳාම් කරනවා නම්, ඔහුට හැකි විය යුතුයි තමන්ගේ ගම්මිරිස්වල රූප දාන්න. ඉතිං එලෙස ගන්නා රූපත් කලාත්මකව අරගන්න. ඔබ ආනයනකරුට මැවිය යුත්තේ ඔබට වැඩක් දුන්නොත් සුපිරියට කර දීමට හැකි ආයතනයක ස්වරූපයකි. නිකං පාරක තැඹිලි කඩයක් කරගෙන ඉන්න කෙනෙකුගේ රූපය මවන්න එපා.

හරි... ඒකත් හරි. දැන් ඔබ හොඳ ගැනුම්කරුවන් සොයා ගත යුතුයි. මට මතකයි මා පලමු වරට අපනයනය ගැන ඉගෙන ගන්නකොට එම ගුරුවරු ඒ සඳහා අපට අනුමත කලේ අපනයන සංවර්ධන මන්ඩලයේ තිබෙන සඟරා ආදිය කියවන්න කියාය. තානාපති කාර්යාලවල තිබෙන ට්‍රේඩ් ඩිරෙක්ට්‍රි භාවිතා කරන ලෙසයි. චීනය වැනි රටවල වාර්ෂිකව පවත්වන වෙළඳ ප්‍රදර්ශනවලට සහභාගි වන ලෙසයි. එහෙත් මා දෙවැනි වරටත් අපනයනය පසුකාලයේ ඉගෙන ගන්න විට එම තත්වය සපුරා වෙනස්ය. එවිට ගුරුවරු අපට කිවවේ අන්තර්ජාලය පරිශීලනය කරන ලෙසයි. ගූගල් කරන ලෙසයි. ඇත්ත.

අද නිවසේ සිට ඕනෑ තරම් ගැනුම්කරුවන් සොයා ගත හැකියි. අවශ්‍ය වන්නේ දල ඉංග්‍රිසි දැනුමක් පමනයි. ඔබට ඉංග්‍රිසි දැනුමක් නැතිනම් එය ඇති හිතවතකුගේ උදව් මේ සඳහා ලබා ගන්න.

මෙවැනි ගැනුම්කරුවන්ගේ වෙබ් අඩවි දහස් ගනන් ඇත. ඒවායෙන් ඔවුන්ගේ ඊමේල්, වට්ස්ඇප් ආදි කන්ටැක්ට් විස්තර ගත හැකියි. ඊටත් අමතරව, ආනයන අපනයනකරුවන්ගේ විස්තර සහිත ඔන්ලයින් ට්‍රේඩ් ඩිරෙක්ට්‍රිද ඇත. ඒවායෙන් ඕන තරම් ගැනුම්කරුවන් හා විකුනුම්කරුවන් සිටී. ටිකක් මහන්සි වී ගැනුම්කරුවන් දුසිම් ගානක් සොයා ගත හැකියි.

මෙසේ සොයාගත් ගැනුම්කරුවන්ට ලස්සනට නිවැරදිව ඔබේ වෙලඳ යෝජනා ඉදිරිපත් කල හැකියි ඊමේල්වලින්. එකම ඊමේල් එක වුවද යැවිය හැකියි හැමෝටම. අනිවාර්යෙන්ම එම ඊමේල් එක ප්‍රොෆෙෂන්ල් විදියට තිබිය යුතුයි. වැඩි විස්තර සඳහා ඔබේ වෙඩ් අඩවියට පැමිනීමටද ආරාධනා කරන්න (ආරාධනා කරල විතරක් මදි වෙබ් අඩවියේ ලින්ක් එක හරියට දාන්න මොකද උන් ඔබ ගැන පස්සෙන් හොය හොයා එන්නේ නැත).

ඉතිං, ඔබ යවන හැම මේල් එකටම ඔවුන්ගෙන් ප්‍රතිචාර ලැබෙන එකක් නැහැ. එහෙත් අඩුම ගානේ එකකට හෝ ලැබේවි. ලැබුනත් නොලැබුනත් තව තව ආයතනවලට එලෙසම ඊමේල් යවන්න. ඔවුන් ඔබට ප්‍රතිචාර දක්වන්නේ ඔබෙන් ඔවුන්ට වාසියක් තිබෙනවා කියා ඔවුන්ට සිතුනොත්ය. ඉතිං, ලියන පනිවුඩය හරියට තිබීම වැදගත්. එක් අයකුට එකම ඊමේල් එක යවන්නත් එපා. එක දිගටම උන්ට ඊමේල් කර කර කරදර කරන්නත් එපා. බොරු බේගල් ඇදබාන්නත් එපා. එය හරියට කරන එක ඔබේ වගකීමක්. මට ඉතිං එකින් එක කියා දෙන්න බැහැ.

ඔබට ගැනුම් කරුවන් එලෙස සොයා ගත හැකියි අනිවාර්යෙන්ම. අපනයන බඩු සපයා ගෙන නැව් ගාස්තු ආදිය ගෙවා ගෙන එය සාර්ථක කර ගනීමට මුදලුත් තිබිය යුතු බව සිහිතබා ගන්න. හරියට ප්ලෑන් කලොත් පොලී මුදලාලිගෙන් වුවද එම මුදල ලබාගෙන කල හැකියි. හැබැයි හරියට ගනනය කිරීම් කරන්න. වැඩේ අවුල් වෙලා ජීවිතයත් අවුල් කරගන්න එපා.

එහෙත් තවමත් ඔබට ගැනුම්කරුවකු සමඟ කතා බහ කිරීමට ප්‍රමානවත් දැනුමක් නැතිව ඇති. මේ පාඩම් ටික කියවා හා අන්තර්ජාලයේ තිබෙන තවත් දේවල් කියවා එම දැනුම ඇති කර ගන්න. ඉදිරියේදී තවත් පාඩමකින් හමුවෙමු.