Skip to main content

ආනයනය හා අපනයනය (International Trade) - 5

අපනයන ක්‍රියාපටිපාටිය තව දුරටත්...

 

ඔබ අපනයනය කරන්නට හදන භාන්ඩ තීරණය කර අවසන් යැයි හිතමුකො. එහෙත් ඒ  ගැන තවදුරටත් ඔබට සොයා බැලීමට සිදු වේ. ඊට හේතුව සෑම බඩුවක්ම අපට ඕන ඕන විදියට අපනයන කිරීමට බැරිය. දල වශයෙන් භාන්ඩ කාන්ඩ 3කට කැඩිය හැකියි.

       1.       අපනයනය කිරීමට තහනම් භාන්ඩ (prohibited cargo)

       2.       අපනයන කිරීමට සීමා පනවා ඇති භාන්ඩ (restricted/licensed cargo)

       3.       කිසි සීමාකිරීමක් හෝ තහනම් කිරීමක් නැති භාන්ඩ (cargo)

ආනයන අපනයනවලදී ගනුදෙනු කරන භාන්ඩ (goods) හැඳින්වෙන්නේ cargo (කාගෝ) කියාය. අපනයනය කිරීමට තහනම් හෝ සීමාකර ඇති භාන්ඩ ලැයිස්තුව කලින් කලට වෙනස් විය හැකිය. එනිසා කස්ටම්ස් වෙබ්සයිට් එකෙන් හෝ අපනයන සංවර්ධන මන්ඩලයේ වෙබ් සයිට් එකෙන් හෝ ඔවුන්ට කතා කර හෝ ඒ ගැන හරියටම දැන ගත හැකියි.

විවිධ හේතු නිසා භාන්ඩ අපනයනය තහනම් හෝ සීමා කරයි. අපනයනයට විතරක් නොවෙයි, ආනයනය කිරීමටත් එලෙසම තහනම් කිරිලි හා සීමා පැනවීම් තිබේ. අපනයනයට සීමා කර හෝ තහනම් පනවා තිබෙන භාන්ඩ හා ආනයනයට සීමා කර හෝ තහනම් පනවා තිබෙන භාන්ඩ සමාන වීම අවශ්‍ය නැහැ. එම ලැයිස්තු වෙනස් විය හැකියි.

ඔබ ලෝකයෙ තිබෙන හැම බඩුවක්ම අපනයනය කරන්නට යන්නෙ නැහැනෙ. ඉතිං ඔබ අපනයනය කරන්නට හදන බඩු එලෙස තහනම් හෝ සීමා කිරීම් කර ඇති ලැයිස්තුවල තිබේ දැයි සොයා බලන්න.

රට තුල රඳවා ගත යුතු දේවල් අපනයනය කිරීමට සීමා පැනවීම සුදුසුය. එනිසයි පුරාවිද්‍යාත්මක කිසිම දෙයක් (antique) අපනයනය කිරීම තහනම් කර තිබෙන්නේ. දල වශයෙන් වසර 100කට වඩා පැරනි ඕනම දෙයක් පුරාවිද්‍යාත්මකයි. තවද, ලංකාවට පමනක් උරුමයක් තිබෙන දේවල් (ජාන සම්පත වැනි) අපනයනයත් සීමා කිරීම යුක්ති සහගතයි. එනිසයි කොතල හිඹුටු වැනි දෑ අපනයනයට තහනම් කලේ.

එහෙත් බොහෝමයක් භාන්ඩ රිසි සේ අපනයනය කල හැකියි. එසේ වුවත්, එවැනි භාන්ඩ ඇසුරින් සමහරකට විශේෂ සැලකිලි ඇත. එනම්, එවැනි බඩු අපනයනය කිරීමට පෙර ලංකාවේ අදාල රාජ්‍ය ආයතනයකින් පූර්ව අවසර පත්‍රයක් ලබා ගැනීමට සිදු වෙනවා.සීමා කරනවා යනු එයයි. මෙම ගොන්නට වැටෙන භාන්ඩ කිහිපයක් වන්නේ, සියලු මත්වතුර, අවි ආයුධ, පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති භාන්ඩ, පුවක්, බෙහෙත්, ආයුර්වේද බෙහෙත්, පොල් ආශ්‍රිත නිෂ්පාදන, ලිපිලේඛන, මැනික් හා ස්වර්ණාභරන, ඛනිජ හා ඛනිජමය නිෂ්පාදන, ස්වාභාවික රබර්, නිමි ඇඳුම්, බුදු පිලිම, තේ, දැව හා දැවමය නිෂ්පාදන, අබිලි යකඩ/ඇලුමිනියම්/නිකල්/තඹ/සින්ක්/ඊයම්/පිත්තල ආදියයි.

මෙලෙස බඩු අපනයනය සීමා කිරීමේ හේතු විවිධය. සමහර බඩු සීමා කර තිබෙන්නේ විශාල වශයෙන් ඒවා පිටරට යෑම වැලැක්වීමටය (පිත්තල වැනි); මෙලෙස සීමා නොකරන්නේ නම් දේශීය කර්මාන්ත කඩා වැටෙනු ඇත. තවත් ඒවා සීමා කර තිබෙන්නේ මුලදිත් පැවසූ විදියට ජාතික උරුමයන් රට තුල ආරක්ෂා කර ගැනීමටය (ලිපිලේකන, පුරාවිද්‍යා අයිතම). තවත් ඒවා සීමා කරන්නේ එම බඩුවල ශ්‍රී ලංකීය කීර්ති නාමය ආරක්ෂා කර ගැනීමටය (සිලෝන් ටී).

තහනම් කර ඇති භාන්ඩ අපනයනයන හෝ ආනයනය කල නොහැකි වුවත් සීමා කර තිබෙන භාන්ඩ අපනයනය කල හැකියි. එහෙත් ඊට පෙර අදාල ආයතනවලින් නිසි අවසර ලබා ගත යුතුය. ඉතිං, ඔබ අපනයනය කරන්නට හදන භාන්ඩය මෙවැනි ලැයිස්තුවක තිබේ නම්, ඒ ගැන සොයා බලන්න. ඔබ අවසර ගත යුතු රාජ්‍ය ආයතනය කුමක්දැයි පහසුවෙන් සොයා ගත හැකියි.

එලෙස සීමාකර ඇති බඩු කිහිපයක් හා ඒ සඳහා අවසර ගත යුතු රාජ්‍ය ආයතන මා පහත සටහන් කරනවා. සම්පූර්න ලැයිස්තු රෙගුවේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.

ඇල්කොහොල්/මත්වතුරු - සුරාබදු දෙපාර්තමේන්තුව (Excise department)

ජීවි සතුන්, මල සතුන්, හෝ සතුන්ගේ කොටස් - සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කොරන්ටයින් අංශය (Department of Animal Production and Health – Quarantine service)

ජීවී ශාක, මල ශාක, ශාක කොටස් - වන සංරක්ෂන දෙපාර්තමේන්තුව (Forest Department) හා ජාතික ශාක නිරෝධායන සේවාව (National Plant Quarantine Service)

ආයුර්වේද බෙහෙත් - ආයුරේවේද දෙපාර්තමේන්තුව (Ayurveda Department)

(බටහිර) බෙහෙත් - ජාතික ඹෟෂධ නියාමන අධිකාරිය (National Medicine Regulatory Authority – NMRA)

පොල් ආශ්‍රිත නිෂ්පාදන - පොල් සංවර්ධන අධිකාරිය (Coconut Development Authority)

ලියකියවිලි - ජාතික ලේකනාරක්ෂක දෙපාර්තමේන්තුව (National Archives Department) හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව (Department of Archeology)

මැනික් හා ස්වර්ණාභරන - ජාතික මැනික් හා ස්වර්ණාභරන අධිකාරිය (National Gem and Jewelry Authority)

නිමි ඇඳුම් - ඇඟලුම්වලට අදාල අමාත්‍යංශය.

ලංකාවේ ජනපති කොලුවා රෑ ගැහැනිත් එක්ක බුදියන කොට අහවල් අමාත්‍යංශයේ නම හා විෂය පථය වෙනස් කරන්න ඕන කියලා හිතිලා, ඊළඟ දවසේ එය වෙනස් කරන මාන්දමක් තිබෙන නිසා අමාත්‍යංශවල නාමයන් දිනෙන් දින වෙනස් වේ. සමහර විට එම නම දැන් “බතික් හෑන්ඩ්ලූම් ගැහැනු දිග ජංගි කොට ජංගි ලමා යට ඇඳුම් යට සාය කොට සාය මිනිස්කර්ට් ස්ට්‍රැප්ලස් බ්‍රා පෑඩ් රාජ්‍ය අමාත්‍යංශය” ලෙස නම් කර ඇති.

ද ඩික්ටේටර් චිත්‍රපටියේ හැරුනහම ජාත්‍යන්තර රාජතාන්ත්‍රික කවටයෝ ඉන්නේ ලංකාවේ පමනි. You can find international diplomatic jokers only in Sri Lanka except in the movie “The Dictator”.

තේ - ශ්‍රී ලංකා තේ මන්ඩලය (Sri Lanka Tea Board)

දැව හා දැවමය නිෂ්පාදන - වන සංරක්ෂන දෙපාර්තමේන්තුව

සමහර අවස්ථාවල ගැනුම්කරු ඉල්ලා සිටිනවා අපගේ භාන්ඩවල සාම්පල් (sample). එහිදී ගැනුම්කරුගේ වතගොත සොයා බලන්න. සමහරවිට අයකු සිටිනවා විය හැකියි ආනයනකරුවකු ලෙස බොරුවට ලෝකයේ විවිධ අපනයනකරුවන්ගෙන් සාම්පල් එකතු කරන. මාත් ඉගෙන ගන්න කාලේ ලෝකයේ බොහෝ වටිනා සඟරා ආදිය මෙලෙස ලබා ගෙන තිබෙනවා. සාම්පලුත් එම සෑම්පලයට ගන්න අය ඉන්නවා.

ඔබට සාමාන්‍යයෙන් සාම්පල් යවන්න වෙන්නේ යම් කුරියර් සේවාවක් හෝ පාර්සල් සේවාවක් හරහා. සාම්පලයක් කියන්නේ පෙනුම, කොලිටිය වැනි කරුනු දැක බලා ගැනීමට යවන දෙයක් නිසා, තමන්ගේ බඩුවල ඉතා කුඩා ප්‍රමානයක් යැව්වහම ඇති. උදාහරණයක් ලෙස, ඔබ සබන් අපනයනය කරනවා නම්, හැම වර්ගයේම සබන් කැටයක් බැඟින් යැව්වත් ප්‍රමානවත්ය. සාම්පල් යවන විට, ලංකාවේ රෙගුලාසියක් තිබෙනවා එහි උපරිම වටිනාකම ගැන. ඒ කාලේ සාම්පලයක උපරිම වටිනාකම රුපියල් 10,000කට වැඩි නොවිය යුතුයි (දැන් අගය රේගුවෙන් විමසා බලන්න).

සෑම භාන්ඩයක්ම ලංකාවේ සිට එක්කෝ ගුවනින් නැතිනම් මුහුදෙන් තමයි යවන්න වෙන්නේ ලංකාව දූපතක් නිසා. ඉතිං, එවැනි දිගු රළු ගමනකට ඔරොත්තු දෙන පරිදි එම කාගෝ ඇසුරුම් (package/packing) කල යුතුයි. සාමාන්‍යයෙන් ඒ ඒ භාන්ඩවලටම හරියන ඇසුරුම් ක්‍රම තිබෙනවා. ඔබේ භාන්ඩ අසුරන හොඳම හා ලාභ ක්‍රම ඔබ සොයා ගන්න. ගැනුම්කරුවාත් සමහරවිට පවසාවි අහවල් විදියට අසුරන්න කියා. රෙජිෆෝම්, බබ්ල් රැප් (bubble wrap), ඝනකම් කාඩ්බෝඩ් ආදිය යොදා ගන්නට වේවි. ඊට අමතරව බඩු එකින් එක උඩ පැටවීමේදී පහල බඩු තෙරපීමට ලක්වෙනවානෙ. එය වැලැක්වීමට තද ලී පෙට්ටි, පැලට් (wooden palette) පවා යොදා ගන්නට වේවි. පැලට් යොදා ගැනීමේදි ශක්තිමත් නොදිරූ සම්මත ප්‍රමානයට සැකසූ ඒවා භාවිතා කරන්න. මේ සඳහා ඔබට අපනයන සංවර්ධන මන්ඩලයෙන් හා අන්තර්ජාලයෙන් ඕනෑ තරම් උදව් ලබා ගත හැකියි.

බඩුවල පැකිං මත අදාල සුදුසු ලේබල්, ලාංචන හා සංකේත (labels, signs, and symbols) යොදන්න. බිඳෙන සුලු බඩු තිබෙන්නේ හෙමින් හසුරුවන්න, වැස්සට අවුවට තබන්න එපා, පෙට්ටියේ උඩ පැත්ත මේකයි ආදි ලෙස වැදගත් උපදෙස් මෙවැනි සංකේතවල තිබේ. පහත දැක්වෙන්නේ එවැනි ප්‍රසිද්ධ සංකේත කිහිපයකි. මෙවැනි සංකේත දුටු හැටියේ ඉන් අදහස් කරන්නේ කුමක්දැයි වැටහේ ඉංග්‍රිසි කියවිය නොහැකි කෙනෙකුට වුවත්.

 

මීටත් අමතරව ගැනුම්කරු විසින්ද සමහර ලේබල් යෝජනා කල හැකියි. ඒවා ප්‍රින්ට් කරගෙන සුදුසු විදියට අලවන්න. ඇත්තටම ලේබල් කිරීම ආනයන අපනයන ක්‍රියාවලියේ ඉතා වැදගත් අංශයක්.

අනිවාර්යෙන්ම ඔබ ගැනුම්කරු කියන විදියට ඇසුරුම් කල යුතුමයි. එය හොදින් මතක තබා ගන්න. තවද, පෙට්ටි හැම එකෙහිම එම බඩු ගොඩ බාන වරායේ නම (destination port) හා ආනයනකරුට තම බඩු පහසුවෙන් හඳුනාගත හැකි සංකේත (ඔහු විසින් ඒවා යෝජනා කරාවි) යොදන්න. බොහෝවිට ආනයනකරුගේ ව්‍යාපාර නාමයේ කෙටි අකුරු වගේ දේවල් තමයි එලෙස ලියන්නේ. අර අපේ අය පිට රට යන කොට තමන්ගේ ගමන් මලු වල තමන්ගේ නමේ මුලකුරු කොටනවා වගේ; එවිට අන් අයගේ ගමන් මලු සමග තමන්ගේ ගමන් මල්ල පැටලැවෙන්නේ නැත.

නැව්වලින් බඩු යවන එක ගුවනින් යවනවාට වඩා බොහෝම ලාබදායක වේ. එය පැහැදිලියිනෙ. තනි නැවක පටවන බඩු ගුවන් යානා විශාල ගනනක පැටවීමට සිදු වේ. එහෙත් ගුවනින් බඩු යැවීම ඉක්මන්ය; එම කාලය පැය ගනනකි. එහෙත් නැවකින් බඩු යවන විට ඒවා දවස් හෝ සතිවලින් කීමට සිදු වෙනවා. එනිසා ගුවනින් යවන්නේ පහත ආකාරයේ බඩුය.

       1.       කෑම වර්ග වැනි ඉක්මනින් නරක් විය හැකි බඩු (perishable goods)

       2.       යන්ත්‍රයක ස්පෙයාර් පාර්ට් එකක්, හදිසි ලිපිලේකනයක් වැනි කුමක් හෝ හේතුවක් නිසා ඉතා ඉක්මනින් යැවිය යුතු බඩු (emergency shipments)

       3.       පන තියෙන සතුන් හා සුරතල් මසුන්, ජීවී ගුනය රැක ගත යුතු භාන්ඩ (සමහර පැලෑටි වර්ග වැනි)

       4.       විශාලත්වයත් බරත් එතරම් නැති කුඩා ප්‍රමානයේ බඩු

       5.       ඉතා වටිනා බඩු (රන් මැනික් වගේ)

ඇත්තටම නැවෙන් හා ගුවනින් බඩු යැවීම ගැන ඔබේ ව්‍යාපාරයේ මාකටිං ප්ලෑන් එකට ඇතුලත් කල යුතු කරුනකි. අපනයනකරුට විවිධ අවස්ථාවලදී මේ දෙකම භාවිතා කිරීමට සිදු වේවි. උදාහරන ලෙස, ඔබ සාමාන්‍යයෙන් නැවෙන් බඩු යැව්වත්, එම බඩු ආනයනකරු විසින් අවසන් කර ඇති විටක හා එම බඩුවල හදිසි හිඟයක් ඇති විටක අපනයනකරුට නැවෙන් එම බඩු යවන්නට ගියොත් සති ගනනක් එම බඩුවල හිඟයක් ඇති විය හැකියි. එවිට ගුවනින් එම බඩු යැවිය හැකියි. අන්න එලෙස සිතා බලන්න.

සාමාන්‍යයෙන් නැව්වල බඩු පැටවීමේදී අය කරන්නේ විශාලත්වයටයි. එහෙත් ගුවනින් බඩු යවන විට විශාලත්වය මෙන්ම බරද සලකනවා. නැව්වල බඩු යවන විට මූලිකව ක්‍රම දෙකකට බඩු යවනවා.

       1.       Containerized cargo

       2.       Bulk cargo

කන්ටේනරයිස්ඩ් කාගෝ යනු සියලු බඩු කන්ටේනර් තුල හසුරා යවන ක්‍රමයයි. ඔබ අප නිතර දකින්නේ එවැනි නැව් තමයි. බොහෝවිට ඔබ අපනයන කරනු ඇත්තෙත් මෙලෙසයි. එහෙත් කන්ටේනර් තුල අසුරා යවන්නෙ නැති භාන්ඩත් තියෙනවා. බල්ක් කාගෝ කියන්නේ එවැනි බඩුයි. තිරිඟු පිටි, ඉන්ධන ආදිය මීට උදාහරනයි. සාමාන්‍යයෙන් මේ සඳහාම නිපදවා ඇති නැව් (bulk cargo carrier) ඒ සඳහා යොදා ගන්නවා.

ගුවන් යානාවල කන්ටේනර් යවන්නේ නැහැනෙ. එහෙත් දල වශයෙන් ඉහත ආකාර දෙක එහිත් පවතිනවා. කන්ටේනර් වෙනුවට විශාල පෙට්ටි වගේ තදට පැක් කරලයි එම භාන්ඩ යවන්නේ (මෙවිට ගුවන් යානයට අමතර කන්ටේනර් පෙට්ටිවල බර පැටවෙන්නේ නැත). බල්ක් ක්‍රමයටත් බඩු යවනවා විශේෂිත ආකාරවල හසුරා.

ඔබට බඩු යැවීමට නැවක් හෝ ගුවන් යානයක් බුක් කර ගන්න වෙනවා කල් තියාම. එහිදී කෙලින්ම නැව් හෝ ගුවන් සමාගම සමග ඔබ ඒ ගැන කතා කරගන්නේ නැත. ලංකාවට එන යන සියලුම නැව් සේවා (shipping lines) හා ගුවන් සේවා (air lines) වල නියෝජිත ආයතනයක් අනිවාර්යෙන්ම ලංකාව තුල ඇත. ඇත්තටම එවැනි නියෝජිත ආයතන බර ගනනාවක් ඇත. ඔබ රට යන විට ටිකට් එකක් බුක් කරන්නට ඕන නම් සෑම ටවුන් එකකම ඒ වැඩේ ඉටු කර දෙන ආයතන (ටිකටිං ඔෆිස්) තිබෙනවානෙ. අන්න ඒ වගේ. අවශ්‍ය නම් ඔබටත් මෙවැනි ආයතනයක් බිහි කල හැකියි.

මෙලෙස අපනයනය කිරීමට නැව් හෝ ගුවන් යානා ඉඩ වෙන් කර දෙන හා ඒ සම්බන්දයෙන් සියලු වැඩ කටයුතු කර දෙන ආයතන තමයි Forwarding company හෝ ‍‍forwarder කියන්නේ. ටිකටිං ඔෆිස්වල එකම ගුවන් යානයේ එකම ටිකට් එකේ මිල ගනන් වෙනස් වෙනවා වගේ, මෙහිදිත් විවිධ ෆෝවඩර්ස්ලාගේ මිල ගනන් වෙනස් වේ. අන්තර්ජාලයෙන් සර්ච් කර එවැනි ආයතනවල කන්ටැක්ට් අරගෙන කතා කර බලන්න. මිල ගනන් විස්තරාත්මකව අසන්න. අවශ්‍ය නම් එවැනි ආයතනවලට ගොස් විමසා බලන්න.

ආනයනයේදීත් එවැනිම සේවාවක් අපට ලබා ගැනීමට සිදු වේවි. එම අයට ෆෝවඩ්ර්ස් යැයි කියන්නේ නැත. ඒ අය නිෂ්කාශන ආයතන (clearing agents) යැයි හඳුන්වනවා. ඇත්තටම ක්ලියරිං ඒජන්ට්ට නැව් සමාගම් ගුවන් සමාගම් සමඟ ගනුදෙනුවක් නැත. ඔවුන් කරන්නේ වරායේ දැනටමත් ගොඩ බා ඇති බඩු ඔබගේ උපදෙස් පිට වරායෙන් “නිෂ්කාෂනය” කර (clear) ඔබගේ ගබඩාව වෙත ගෙන ඒමයි. ඔබට මෙවැනි ආයතනයක් වුවද බිහි කල හැකියි.

කෙසේ වෙතත්, ඔබ යවන බඩු කන්ටේනරයක පිරවීමට තරම් විශාල නොවිය හැකියි. මෙලෙස කන්ටේනරයක් පිරෙන්නට බඩු නැති අවස්ථාවක් Less than Container Load (LCL) යැයි කියනවා. එහෙත් ඔබේ බඩු යවන්නේ කන්ටේනරයක් තුල තමයි. එතැනදී, ඔබේ බඩු ඔබේ ගබඩාවේ සිට කන්ටේනර් තුල බඩු පටවන තැනකට (container stuffing location/station) ලොරිවලින් ගිහින් දැමිය යුතුයි. එවැනි ස්ටෆිං ස්ථාන කිහිපයක් ලංකාවේ තිබේ. ඔබගේ ෆෝවඩර් එම උපදෙස් දෙනු ඇත. ඔබ ඉතා හොඳින් බඩු ටික පැක් කර එම ස්ථානයට ගොඩ බෑ යුතුයි. ඉන්පසු, ඔබ වැනිම තවත් එල්සීඑල් විදියට බඩු යවන අයත් ඉන්නවානෙ. අන්න ඒගොල්ලන්ගේ බඩුත් සමඟ කන්ටේනර් පිරෙන්න බඩු පැක් කරනවා. එවිට එක කන්ටේනරයක් තුල විවිධ අපනයනකරුවන්ගේ බඩු එකට තිබෙනවා. (කන්ටේනරයක් බඩු පැක් කිරීම container stuffing යැයි පවසනවා.) මෙනිසා තමයි බඩුවල හා පැක්වල ඒ බඩු එකිනෙකට පැටලෙන්නේ නැති වෙන්න සුදුසු සලකුනු ඉහත කතා කල පරිදි තිබිය යුත්තේ.

සාමාන්‍යයෙන් නැවක් වරායෙන් දියත් කිරීමට තිබෙන දිනට (sale date) දවසකට දෙකකට පෙර ඔබට සිදු වෙනවා ඔබේ LCL කාගෝ ස්ටෆිං ස්ථානයකට ගෙනහින් භාර දෙන්න. ඔබට ඔවුන් අවසාන දිනයක් (deadline) එකක් දේවි මේ දිනේට පෙර ගිහින් භාර දෙන්න කියා. මෙම අවසන් දිනය cut-off date කියා කියනවා. සාමාන්‍යයෙන් එම කටෝෆ් ඩේට් එක සේල් ඩේට් එකට වඩා දවසක් දෙකක් ඉදිරියෙන් තිබේ. මොකද ඔවුන්ටත් කාලය ඕනනේ කන්ටේනර්වලට බඩා “ස්ටෆ්” කරන්න (බඩු අහුරන්න). ඉන්පසු ඔවුන් එම කන්ටේනර් වරායට ගෙන යා යුතුත් වෙනවනෙ. ඒ සඳහා යම් කාලයක් ඔවුන්ට අවශ්‍යයි.

එහෙත් ඔබට කන්ටේනරයක් හෝ කන්ටේනර් කිහිපයක් පිරෙන්න බඩු තිබිය හැකියි. එවිට, ඔබගේ ගබඩාවට හිස් කන්ටේනර් ගෙන්වාගත හැකියි අර ෆෝවඩර්ලාගේ උපදෙස් පිට. ඒවාට නිසියාකාරව බඩු පටවා වරායට ගෙන යා හැකියි ෆෝවඩර්ගේ සහය ඇතිව. මෙලෙස එකම අපනයනකරුගේ බඩු විතරක් කන්ටේනරයක යන විට ඊට Full Container Load (FCL) යැයි කියනවා.

මෙහිදී ඔබ කන්ටේනර් මිලට ගන්නේ නැත. ඒවා ඔබේ බඩු පටවා අවශ්‍ය තැනට යැවීම සඳහා කුලියට ගැනීමක් පමනයි කරන්නේ. යම් කන්ටේනරයක් කලින් කලට ලෝකයේ විවිධ රටවල පවතිනු ඇත. ඒවා නිසි පරිදි නඩත්තු කිරීම හා අවශ්‍ය තැන්වලට ගෙන යෑම එම කන්ටේනර් අයිති ආයතන විසින් ලස්සනට සිදු කරනවා. ඒ ගැන ඔබ වද විය යුතු නැහැ.

කන්ටේනර්වලට අපේ අය “ටැංකි” කියා කියනවා. ටැංකි වර්ග හා සයිස් වර්ග කිහිපයක් ඇත.

සම්මත ටැංකියක් අඩි 20ක් (මීටර් 5.57) දිග වන අතර, එහි පලල අඩි 8ක්ද (මීටර් 2.35) උස අඩි 8.5ක්ද (මීටර් 2.38) වේ. එනිසා එහි ඇතුලත පවතින පරිමාව කියුබික් මීටර් (Cubic Meter – CBM) 5.57m x 2.35m x 2.38m = 33m3 = 33 CBM වේ. සාමාන්‍යයෙන් එහි ලෝහ බර (එනම් හිස් කන්ටේනරයක බර) කිලෝග්‍රෑම් 2500ක් පමනය. ඊට පැටවිය හැකි බඩුවල බර ප්‍රමානය දල වශයෙන් ටොන් 25ක් පමන වේ. මෙම උපරිම බර අගය ෂිපිං ලයින් එකෙන් එකට වෙනස් විය හැකිය (ටිකක් වැඩි හෝ අඩු විය හැකියි). වරායවල හා නැව්වල තිබෙන දොබකරවලට දැරිය හැකි උපරිම බරක් තිබෙනවා. එනිසා ඒවා මඟින් ඔසවන කන්ටේනර්වල බර අනිවාර්යෙන්ම නියාමනය කල යුතු වෙනවා. ටැංකියක ඉඩ තිබ්බත් ඔබට බැහැ ඔබගේ නැව් සමාගම (ෂිපිං ලයින්) අනුමත කර තිබෙන බරට වඩා වැඩි බරක් එහි පටවන්න.

 

උස හා පලල මෙම ප්‍රමානයම ඇති නමුත් දිග අඩි 40ක් වන ටැංකිද බහුලව ඇත. මෙවිට පැහැදිලිව මෙවැනි ටැංකියක පරිමාව අඩි 20 ටැංකියක මෙන් දෙගුනයක්නෙ; ඒ කියන්නේ 66 CBM පමන වේ. බැලූබැල්මට ඔබට හිතෙනු ඇත්තේ අඩි 20 ටැංකියට පටවනවා වගේ දෙගුනයක බඩු තොගයක් අඩි 40 ටැංකියට පැටවිය හැකි බවයි. එහෙම බැහැ. දල වශයෙන් අර බරමයි පැටවිය හැක්කේ (නමුත් ටිකක් වැඩිපුර පැටවිය හැකියි; විමසා බලන්න).

එතකොට ඇයි ලොකු ටැංකියක් භාවිතා කරන්නේ? ඊට හේතුව සමහර බඩුවල බරට වඩා එහි විශාලත්වය (පරිමාව) විශාලය. හිතන්න යකඩ ටොන් 25ක් හා පුලුං ටොන් 25ක් ගැන. අනිවාර්යෙන්ම යකට ටොන් 25ට වඩා පුලුං ටොන් 25 අති විශාලයිනෙ. මෙවිට යකඩ ටොන් 25 පහසුවෙන්ම තනි අඩි 20 ටැංකියකට පැටවිය හැකි වුවත්, පුලුං ටොන් 25 පැටවීමට එය කොහෙත්ම ප්‍රමානවත් නොවේවි. මෙවිට එක්කෝ අඩි 20 කන්ටේනර් ගනනාවක් (හිතමු 4ක් කියා) හෝ අඩි 40 කන්ටේනර් අඩු ගනනක් (මෙවිට 2ක්) භාවිතා කල හැකියි.

අඩි 40 ටැංකියේම තමත් වර්ගයක් තිබෙනවා 40 feet High Cube Container (HC) කියා. මෙය අඩි 40 ටැංකියකින් වෙනස් වන්නේ මෙහි උස මීටර් 2.65ක් වීමයි. ඒ කියන්නේ අරකට වඩා ටිකක් උසයි. පරිමාව වැඩි වූවාට පෙර සේම අඩි 20ට පැටවිය යුතු උපරිම බරමයි දල වශයෙන් මෙහිත් තිබිය යුත්තේ.

ඇත්තටම ඔබ පාරෙ යන හෝ කන්ටේනරයක් පිටුපස බැලුවොත් පෙනේවි එහි යම් යම් විස්තර වගයක් ලියා තිබෙනවා. ඒවා කියවා බලන්න. කන්ටේනරයක specification එක තමයි ඒ ලියල තියෙන්නේ. පහත රූපය කියවා බලන්න. උදාහරන ලෙස, මෙහි ලියා තිබෙනවා බඩුත් සහිත මුලු කන්ටේනරයේ උපරිම බර හෙවත් කන්ටේනරයේ උපරිම දල බර (max gross weight) කිලෝගෑම් 30480ක් හෙවත් රාත්තල් (LBS) 67200ක් බව.

සෑම කන්ටේනරයක් සඳහාම අනන්‍ය වූ අංකයක් තිබෙනවා. එම අංකය container number ලෙස හැඳින්වෙනවා. ලෝකය පුරා ලක්ෂ ගනනක් කන්ටේනර් හුවමාරු වෙනවනෙ. ඉතිං මේවා එකින් එක පැටලැවෙන්නේ නැතිව වෙන් කොට හඳුනා ගන්නයි මෙම කන්ටේනර් අංකය තිබෙන්නේ. ඉහත රූපයේ IPXU 339249 8 ලෙස තිබෙන්නේ මෙම අංකය තමයි. මෙහි පලමු අකුරු 3න් කියන්නේ මෙම ටැංකිය දැනට අයිති ආයතනයේ කෙටි නමයි (BIC code හෙවත් Owner prefix). IPX යනු SeaCastle යන ආයතනයයි. ඉන්පසු තනි අකුරකින් මේ ටැංකිය කුමන වර්ගයට අයත්දැයි කියනවා. U අකුරින් පවසන්නේ අප භාවිතා කරන සාමාන්‍ය ටැංකි (freight containers) වේ. ඉන්පසුව ඉලක්කම් 6ක සීරියල් අංකයක් තිබෙනවා. මෙය ඒ ඒ සමාගම විසින් තමන්ගේ එක් එක් ටැංකිය වෙන් වෙන්ව හඳුනාගැනීමට දෙන අංකයයි. ඉන්පසු අවසානයේ තනි ඉලක්කමක් තිබෙනවා; මෙය check digit ලෙස හඳුන්වන අතර, එම අංකය ඊට ඉදිරියෙන් තිබූ අංක මත යම් ගනනය කිරීමක් සිදු කර ලබා ගන්නා අංකයක්; එහි අරමුන වන්නේ වැරදියට අංකයක් ඇතුලත් කලොත් එම වැරැද්ද එවෙලෙහිම පරිගනකය මත පෙන්වා දීමටයි. ඇත්තටම මෙම කරුනු ඔබ දැන සිටීම අත්‍යවශ්‍ය නැතත් රසවත් නිසයි කතා කලේ.

ඉහත කතා කලේ සාමාන්‍ය කන්ටේනර් වර්ග වේ. විශේෂ අවශ්‍යතා සඳහා සැකසූ කන්ටේනර්ද තිබේ. Reefer container යනු එවැනි වර්ගයකි. මීටම refrigerated container යැයි කියනවා. මෙහි ඇති විශේෂත්වය වන්නේ එහි ඇතුල අධිශීතකරණයක් වීමයි. නැව් මඟින් නරක් විය හැකි ද්‍රව්‍ය යවන විට මෙවැනි කන්ටේනර් භාවිතා කරනවා. රීෆර් එකක රූපයක් පහත ඇත.

පහත දැක්වෙන්නේ විවිධාකාරයේ කන්ටේනර් වර්ගවල සාරාංශගත විස්තරයකි.

ඔබට මේ විශේෂිත කන්ටේනර් සමඟ වැඩ කිරීමට අවශ්‍යතාවක් බොහෝ විට පැන නොනැඟෙනු ඇත. නිකං දැන සිටීම ප්‍රමානවත් විවිධ කන්ටේනර් ඇති බව.

නැවක් වෙන් කර ගන්නවා වගේමයි ගුවන් යානයක් වෙන් කර ගැනීමත්. මෙහිදී ගාස්තු අගය වැඩිය (නැව් ගාස්තු මෙන් දස ගුනයකට වඩා වැඩි විය හැකිය). ගාස්තු අය කරන ක්‍රමයත් තරමක් වෙනස්ය. ගුවන් යානයක ඇත්තටම බර, ගමන් කල යුතු දුර, හා පරිමාව යන තුනම එක සේ වැදගත් කරුනු වේ. ඉතිං, ඔය තුනෙන් එකක් හෝ කිහිපයක් වැඩි වෙනවා කියන්නේ ගාස්තුද වැඩි වෙනවා කියන එකයි.

සාමාන්‍යයෙන් එයාර් ෆ්‍රේට් (ගුවනින් බඩු යැවීම) සඳහා ගාස්තු ගනනය කරන ක්‍රම දෙකක් තිබෙනවා. එකක් වන්නේ බඩුවල සත්‍ය බර (actual weight) පදනම් කර ගෙන තීරනය කරන ගාස්තුවයි. දෙවනුව පරිමාව පදනම් කර ගත් බඩුවල බර (volumetric weight) මත තීරනය කරන ගාස්තුවයි.

සත්‍ය බර මත ගාස්තු තීරණය කිරීම හරිම පහසුයිනෙ. උදාහරණයක් ලෙස, එයාර් කාගෝවල බර කිලෝ 100 නම්, කිලෝ එකකට ඩොලර් 2 නම්, කිලෝ 100ට ඩොලර් 200ක් ගාස්තුවක් ගෙවීමට සිදු වේ.

එහෙත් ගුවන් සේවාව ඉහත ආකාරයට පමනක් ගාස්තුව ගනනය කරන්නේ නැත. ඔවුන් තව දුරටත් බඩුවල පරිමාවත් මනී. සාමාන්‍යයෙන් ඔවුන් බඩුවල පරිමාව ඝන සෙන්ටිමීටර්වලින් මැන, එය 6000 න් බෙදයි. මෙලෙස ලැබෙන බරට තමයි වොල්‍යුමෙට්‍රික් බර කියන්නේ. (සමහර ගුවන් සේවා 6000 ම නොව ඊට ආසන්න වෙනත් අගයන්ද ගන්නවා).

ඉන්පසු ගුවන් සේවාව බලනවා ඉහත ලැබුනු සත්‍ය බර හා වොල්‍යුමෙට්‍රික් බර යන දෙකෙන් වැඩි මොකක්ද කියලා. අන්න ඒ වැඩි එක තමයි බර (කිලෝ ප්‍රමානය) කියල ගන්නේ. උදාහරන ලෙස, සත්‍ය බර කිලෝ 100 වුවත් වොල්‍යුමෙට්‍රික් බර කිලෝ 110ක් ලෙස ලැබුනා නම්, ගුවන් සේවාව අය කරන්නේ ඩොලර් 200ක් නොව ඩොලර් 110 x 2 = 220 වේ. මෙලෙස වැඩි බිලක් සෑදෙන විදියට තමයි ක්‍රියාත්මක වන්නේ. වැඩි මිල සෑදෙන පරිදි ගන්නා බරට chargeable weight යැයි කියනවා.

මීට අමතරව ගුවන් සේවා වල මිල ගනන් වෙනස් වන ක්‍රම තිබෙනවා. විවිධ බර කාන්ඩවලට විවිධ මිල ගනන් සාමාන්‍යයෙන් පවතිනවා. එනිසා ඒ ගැන ෆෝවඩර්ලා සමග කතා බහ කර දැනගත යුතුයි.

නැවකට බඩු පැටවූ පසු අපනයනකරුට ලැබෙනවා නෞභාර පත්‍රය (Bill of Lading හෙවත් B/L) නම් ලියවිල්ල. එවැනිම ලියවිල්ලක් ලැබෙනවා ගුවන් යානයකට බඩු පැට වූ පසුව. එය Airway Bill (AWB) ලෙස හැඳින්වේ. එයාර්වේ බිල් හෝ බීඑල් එක ඉතාම වැදගත් ලියවිල්ලකි. එය නැතිව බඩු ආනයකරුට ක්ලියර් කර ගත නොහැකිය. මේ ලියවිලි ගැනත් තවත් ලියවිලි රාශියක් ගැනත් පසුවට විස්තරාත්මකව බලමු. මීලඟ ලිපියෙන් නැවත හමු වෙමු.

Comments

  1. මට බයිසිකල් පදින්න බෑ. හේතුව මම පිරිමියෙක් වීම.
    පුළුවන් නම් ට්‍රයිසිකල් හෝ ක්වඩ්සයිකල් ගැන ලිපියක් දාන්න.

    ReplyDelete
    Replies
    1. ට්‍රයිසිකලේට වඩා බයිසිකලේ කන්ට්‍රෝල්... පැදල බලන්න.

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...

ඉලෙක්ට්‍රෝනික්ස් II (Electronics) - 6

විශේෂ ප්‍රතිරෝධක ඉහත සාකච්ඡා කළ නියත හා විචල්‍ය ප්‍රතිරෝධක හැරුණහම , තවත් සුවිශේෂී ජනප්‍රිය ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ද තිබෙනවා . මේවා ආලෝකය , උෂ්ණත්වය වැනි විවිධ භෞතික රාශින්ට සංවේදී ප්‍රතිරෝධකයි . මේ අතරින් සුලභම වර්ගය තමයි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක වර්ගය . මේවා ප්‍රකාශ - ප්‍රතිරෝධක (photoresistor) හෝ “ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක” (Light Dependent Resistor – LDR) ලෙස හැඳින් වෙනවා . එහි සාමාන්‍ය භාහිර හැඩය පහත දැක්වේ .   මෙම ප්‍රතිරෝධයේ හිස මත තිබෙන්නේ ආලෝකයට ඉතා සංවේදී කැඩ්මියම් සල්ෆයිඩ් (CdS), ලෙඩ් සල්ෆයිඩ් (PbS), කැඩ්මියම් සෙලිනයිඩ් (CdSe) ආදී යම් රසායනික ද්‍රව්‍යයකි . එම ද්‍රව්‍යයන්වල ඉතා ඉහල ( බොහෝවිට 500k ohm වැනි ) ප්‍රතිරෝධි අගයන් තිබේ . එහෙත් ඒ මතට ආලෝකය වැටෙන විට , ප්‍රතිරෝධි අගය සීඝ්‍රයෙන් පහළ යයි ( බොහෝවිට ඕම් 500 වැනි ). මෙහිදී කිව යුතු වැදගත් කරුණ නම් , ඉහත සඳහන් කළ ( හා නොකළ ) ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය එකම ආකාරයෙන් ආලෝකයට සංවේදී නොවේ . සමහර ඒවා “ආලෝකයේ රතු පැත්තට” ( ඒ කියන්නේ දිගු තරංග ආයාම සහිත ආලෝකයට ) සංවේදිතාව දක්වන අතර , තවත් සමහර ඒවා “ආලෝකයේ නිල් / ද...