Friday, March 22, 2019

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 6

3

අයිකේඑස් ගැන කතා කරන්නට පෙර චන්ද්‍රිකා සංඥා ස්ක්‍රැම්බල් කරන්නේ කෙසේදැයි කෙටියෙන් බලමු. ඇත්තටම මෙහි දිගු ඉතිහාස කතාවක් ඇත. කාලයත් සමඟ පාඩම් ඉගෙන ගනිමින් ක්‍රමයෙන් වැඩි දියුණු වී ඇත. කිසිදු ස්ක්‍රැම්බල් කිරීමක් නොකරන විට, ඕනෑම කෙනෙකුට එම චැනල් නොමිලේ බැලිය හැකියිනෙ; එනිසානෙ ඕනෑම කෙනෙකුට නොමිලේ බැලීමට බැරි වන ආකාරයට සංඥා සකසන්නේ (එනිසා Conditional Access ලෙස මෙලෙස සංඥා බැලීම සීමා කිරීම හැඳින්වෙනවා). Conditional Access System ගණනාවක්ම ලොව පුරා භාවිතා වෙනවා. ඉන් ප්‍රධාන ඒවා කිහිපයක් වන්නේ Irdeta, DigiCipher II, MediaGuard (Seca), VideoGuard, ViaAccess, Nagravision, BISS, PowerVu යනාදියයි. උදාහරණයක් ලෙස, දැනට ඩයලොග් සමාගම භාවිතා කරන චන්ද්‍රිකාව යොදා ගන්නේ Irdeta ක්‍රමයයි.
 
චන්ද්‍රිකාවලින් සංඥා එවන්නේ broadcast ක්‍රමයටයි (සාමාන්‍ය ටීවී හා රේඩියෝද බ්‍රෝඩ්කාස්ට් ක්‍රමයයි භාවිතා කරන්නේ). බ්‍රෝඩ්කාස්ට් ක්‍රමයේදී සිදු වන්නේ, සංඥා එක තැනක සිට විශාල ප්‍රදේශයක් පුරා එකවර සම්ප්‍රේෂණය කර, එම ප්‍රදේශයේ සිටින විශාල පිරිසකට එකවර එම සංඥා ග්‍රහනය කර ගැනීමට අවස්ථාව සැලසීමයි. එහෙත් ඔබ දුරකතනයකින් යමෙකුට අමතන විට එය බ්‍රෝඩ්කාස්ට් ක්‍රමයට නෙමෙයි යන්නේ (ඔබයි ඇයයි පමනයි එහිදී සම්බන්ධ වන්නේ); මෙම ක්‍රමය unicast ලෙස හැඳින්වේ. යුනිකාස්ට් ක්‍රමයේදී ඉතා පහසුවෙන්ම සංඥා අදාල නැති අයට කියවිය නොහැකි ආකාරයට ස්ක්‍රැම්බල් කළ හැකිය (එම දෙදෙනා පමනක් දන්නා රහස් කේතයකින් එය පහසුවෙන් කළ හැකියි). 
 
එහෙත් බ්‍රෝඩ්කාස්ට් ක්‍රමයේදී චන්ද්‍රිකාවේ සිට එන සංඥා එක් එක් ග්‍රාහකයාට එවන්නේ නැහැනෙ (එසේ කිරීමට තරම් විශාල බෑන්ඩ්විත් එකක් චන්ද්‍රිකාවට නැත). එනිසා ඒ ඒ ග්‍රාහකයා හා චන්ද්‍රිකාව අතර වෙන වෙනම රහස්‍ය කේත තබා ගත නොහැකිය. එසේ නම් කළ හැක්කේ සියලුම ග්‍රාහකයන්ට එවන සංඥාව එකම රහස්‍ය කේතයකින් (Code Word) ස්ක්‍රැම්බල් කර එවීමයි. එය නම් පහසුවෙන්ම කළ හැකියි චන්ද්‍රිකාවට. මෙවිට එම රහස්‍ය කේතය තිබෙන අයට පමනක් ස්ක්‍රැම්බල් කරපු චැනල් බැලිය හැකි වේවි. එහෙත් මෙම ක්‍රමයද අතිශය අසාර්ථක ක්‍රමයකි. නිකමට හෝ මෙම කෝඩ්වර්ඩ් එක පිට ගියොත්, එතැන් සිට හැමෝටම හොරෙන් එම චැනල් බැලිය හැකි වේවි. තවද, මෙම අසාර්ථක ක්‍රමයෙදි සෑම ග්‍රාහකයෙක්ම එකම මට්ටමේ ලා සැලකීමට සිදු වෙනවා. ඒ කියන්නේ එක් එක් ග්‍රාහකයන්ට වෙනස් වෙනස් පැකේජ කිහිපයක් හඳුන්වා දීමට නොහැකි වෙනවා.
 
එසේ නම්, ඉහත ක්‍රම දෙකම නොවන, නමුත් ඒ ක්‍රම දෙකෙහි අතරමැදි ක්‍රමයක් යොදා ගත හැකියි. එහිදී සිදු වන්නේ මෙසේය. සෑම ග්‍රාහකයෙක්ටම ඔහුටම අනන්‍ය/සුවිශේෂි වූ රහස්‍ය කේතයක් (private key) ලබා දෙනවා (රිසීවරය තුලට දැමීමට හැකි smart card එකක් හෙවත් සිම් කාඩ් එකක් තුල මෙම ප්‍රයිවට් කී එක ගබඩා කර තිබේ). එනිසා ග්‍රාහකයන් මිලියනයක් සිටියොත්, එකිනෙකට වෙනස් private keys මිලියනයක් තිබේ. එහෙත්, චන්ද්‍රිකාවේ සිට එන සංඥා ස්ක්‍රැම්බල් කරන්නේ මේ කිසිදු ප්‍රයිවට් කී එකකින් නොවේ (එය කළ නොහැකියිනෙ කොහොමත්). ඒ වෙනුවට, සංඥා එන්ක්‍රිප්ට් කරන්නේ වෙනත්ම කේතයකිනි (code word - CW). මෙන්න මෙම විශේෂිත කෝඩ්වර්ඩ් එක චන්ද්‍රිකාවේ සිට සාමාන්‍ය ටීවී චැනල් සංඥා සමඟම එවයි.
 
එහෙත් එම කෝඩ්වර්ඩ් එක නිකංම එව්වොත්, එම සංඥාව අල්ලාගෙන එම කේතය ඕනම කෙනෙකුට කියවිය හැකි වෙනවානෙ; එතකොට පහසුවෙන්ම එසේ අල්ලාගත් කේතයෙන් සංඥා ඩික්‍රිප්ට් කළ හැකි වෙනවා. එය වැලැක්විය යුතුයි. ඒ සඳහා කරන්නේ එම විශේෂිත කෝඩ්වර්ඩ් එක නිකංම එවන්නේ නැතිව, එක් එක් ග්‍රාහකයාගේ ප්‍රයිවට් කී එකෙන් එන්ක්‍රිප්ට් කොට එවීමයි (encrypted CW). ඒ අනුව, ග්‍රාහකයන් මිලියනයක් සිටී නම්, අර කේතය ඒ එක් එක් ග්‍රාහකයන් මිලියන දෙනාගේම තනි තනි ප්‍රයිවට් කීවලින් එන්ක්‍රිප්ට් කර එවයි.







දැන් සිතන්න එම ග්‍රාහකයන් මිලියන දෙනා අතර ඔබත් මාත් සිටිනවා කියා. එවිට, මගේ රහස්‍ය කේතය 11223344 නම් හා ඔබේ කී එක 55667788 නම්, හා සංඥා එන්ක්‍රිප්ට් කරන්නට යොදා ගත් විශේෂිත කෝඩ්වර්ඩ් එක 1234567890 නම්, මෙම 1234567890 යන කේතය මගේ කී එකෙන් එන්ක්‍රිප්ට් කර ටීවී සංඥා සමගම පොලොව වෙතට එවයි. එන්ක්‍රිප්ට් කළාට පසුව සංඥාවේ කෝඩ්වර්ඩ් එක 1234567890 ලෙස නොව, 45542367439 වැනි වෙනත් ඉලක්කම් ටිකක් බවට පත් වේ (එය නිකංම වෙනත් ඉලක්කම් ටිකක් බවට නොව, යම්කිසි ක්‍රමවේදයකට අනුව සිදු වන්නකි). එවිට, මගේ රිසීවරයට හැකි වෙනවා එලෙස එන්ක්‍රිප්ට් කරපු කෝඩ්වර්ඩ් එක වන 45542367439 කියවා නැවත 1234567890 බවට ඩික්‍රිප්ට් කරන්නට (යම්කිසි සූත්‍රයකට/ක්‍රමවේදයකට එන්ක්‍රිප්ට් කරපු නිසයි මෙලෙස ඔරිජිනල් කෝඩ්වර්ඩ් එක නැවත සකස් කර ගන්නට හැකි වූයේ). එය ඩික්‍රිප්ට් කිරීමට මගේ රිසීවරයට හැරෙන්නට වෙන කාටවත් බැරිය මොකද මගේ රිසීවරයේ විතරයි 11223344 යන කේතය තිබෙන්නේ (හරියට මගේ බැංකු කාඩ් එකෙන් වෙන කාටවත් සල්ලි ගන්න බැහැ වගේ මොකද මං විතරයි එහි පින් අංකය දන්නේ). එලෙසම, එම 1234567890 යන කෝඩ්වර්ඩ් එක ඔබේ ප්‍රයිවට් කී එක වන 55667788 යන කේතයෙනුත් එන්ක්‍රිප්ට් කර එවනවා. ඔබේ කේතයෙන් එන්ක්‍රිප්ට් කළාට පසුව එය 1234567890 නොව 06452268321 වැනි වෙනත් අමුතු කේතයක් බවට පත් වේ. දැන් එම 06452268321 යන කේතය නැවත 1234567890 බවට පත් කළ හැක්කේ ඔබේ රිසීවරයට පමනි. මෙලෙස, මිලියන දෙනෙක් සිටී නම්, ඒ සියලු දෙනාටම මෙම කතාව වලංගු වේ.
 
මෙහි ඇති වාසිය කුමක්ද? නිකමට හෝ ඔබේ කී එක පිටතට ගිහින් ඇත්නම් හා සැටලයිට් ටීවී සේවාව සපයන ආයතනයට එය ආරංචි වුවොත්, වහම ඔවුන්ට හැකියි ඔබේ කී එක අත්හිටුවන්න. එවිට, චන්ද්‍රිකාව විසින් තවදුරටත් ඔබේ කී එකෙන් එන්ක්‍රිප්ට් කරපු කෝඩ්වර්ඩ් එවන්නේ නැත. ඒ කියන්නේ දැන් ඔබේ රිසීවරයට විදියක් නැහැ කෝඩ්වර්ඩ් එක ඩික්‍රිප්ට් කරන්නට. එලෙසම, ඔබගේ සැටලයිට් ටීවී සේවාව නවතා දැමුවොත්, එවිටත් සැටලයිට් ටීවී සපයන සමාගම කරන්නේ එම දේමයි.
 
මෙම ක්‍රමයේ ඇති තවත් වාසියක් නම්, එක් එක් ග්‍රාහකයාට ගැලපෙන පරිදි පැකේජ ලබා දිය හැකි වීමයි (එනම් ඔබේ පැකේජයේ චැනල් 100ක් තිබෙන එකක් වන අතර, මගේ එකේ චැනල් 30ක් පමනක් තිබිය හැකිය). ඔබගේ අවශ්‍යතාවේ හැටියට තිබෙන චැනල් අඩු කර ගැනීමට හෝ තවත් චැනල් එකතු කර ගැනීම කළ හැකිය.
 
මෙලෙස දළ වශයෙන් විනාඩියකට දෙපාරක් හෝ තුන්පාරක් සංඥා කී එක සැටලයිට් එක විසින් මාරු කරයි. එසේ සිදු කරන්නේ හොරෙන් මෙම සේවා ලබා ගැනීමට අපහසු කරලීමටයි (කාලයක් පුරා හොරුන්ගෙන් ඉගෙන ගත්තු පාඩමක් එය). එසේ වෙනස් කරන වාරයක් පාසා පෙර විස්තර කළ විදියට ඒ ඒ ග්‍රාහකයාගේ කී එකෙන් කෝඩ්වර්ඩ් එක වෙන වෙනම එන්ක්‍රිප්ට් කර එවයි.
 
බැලූබැල්මට ඉහත ක්‍රියාවලිය සිදු කිරීමට චන්ද්‍රිකාවට විශාල වැඩක් කිරීමටත්, ඒ සඳහා බෑන්ඩ්විත් විශාල ප්‍රමානයක් “නාස්ති” කිරීමට සිදු වන බව පෙනේ. එහෙත් එය එසේ නොවේ; කී එකක් යනු කුඩා දත්ත ප්‍රමානයකි (පරිගනක/ඩිජිටල් තාක්ෂනික වචනයෙන් කියන්නේ නම්, බයිට් දුසිම් කිහිපයකි; සිතමු බයිට් 30ක් කියා). ඉතිං, ග්‍රාහකයන් මිලියනයක් වැනි විශාල ගණනක් සිටියත්, ඒ සියලු දෙනා සඳහාම වැය වන්නේ 1,000,000 x 30 Bytes = 30,000,000 Bytes = 30 MegaBytes (MB) වේ. බිට්වලින් එය 8 x 30 Megabytes = 240MegaBits (Mb) වේ (බයිට් 1කට බිට් 8ක් ඇති අතර බයිට් හි සංඛේතය කැපිටල් B වන අතර බිට් හි සංඛේතය සිම්පල් b වේ). විනාඩියකට මෙලෙස කී එක දෙපාරක් අලුත් වන්නේ යැයි සිතුවොත්, විනාඩියකට 2 x 240Mb = 480Mb වේ. එවිට තත්පරයකට 480Mb/60 = 8Mb හෙවත් 8Megabits per second (Mbps) වේ. 8Mbps යනු එතරම් විශාල බෑන්ඩ්විත් එකක් නොවේ (ඉන් සිදු කරන කාර්යේ හා හොරුන්ගෙන් ආරක්ෂා කර ගන්නා මුදල් වටිනාකම බැලුවහම).
 
IKS ක්‍රමය මෙම කතාවට ඇතුලු වන විදිය බලමු. උදාහරණයක් ලෙස, ඩයලොග් සමාගම ගමු. ඔවුන්ගේ චන්ද්‍රිකාවෙන් එන සංඥා Irdeta ක්‍රමයට එන්ක්‍රිප්ට් කර ඇත. දැනට චැනල් 130ක් පමන එහි ඇත. යමෙක් එම චැනල් සියල්ලම බැලිය හැකි කනෙක්ෂන් එකක් නීත්‍යානුකූලව මිලදී ගනී; මාසිකව ගාස්තුද ගෙවයි. එහෙත් එම කනෙක්ෂන් එකට ලැබෙන සිම් එක ඇතුලු කරන්නේ ඩයලොග් විසින් ලබා දෙන රිසීවරයට නොව, විශේෂිත සැටලයිට් ඩිකෝඩරයක් තුලටයි. එම සිම් එකේ ඇති ප්‍රයිවට් කී එකෙන් ඩික්‍රිප්ට් කරන වර්ඩ්කෝඩ් එක තව අයට බෙදා දිය (share) හැකි පරිදි එම ඩිකෝඩරය සකසා ඇත. දැන් චන්ද්‍රිකාවෙන් විනාඩියකට දෙතුන් වතාවක් පමන වෙනස් කරන සෑම සංඥා කී එකක්ම ඩික්‍රිප්ට් කර අන් අයට බෙදා දේ. මෙනිසා card sharing හෙවත් code word sharing (CW Sharing) යනුවෙන් මෙම ක්‍රියාවලිය හැඳින් වේ.
 
ඉතිං, එම කෝඩ්වර්ඩ් එක බෙදා දීම සිදු වන්නේ පරිගනක ජාලයක් (computer network) හරහාය (පරිගනක ජාලයක් යනු එකිනෙකාට සන්නිවේදනය කළ හැකි පරිදි එකට කනෙක්ට් කර ඇති පරිගනක සමූහයකි). එය අන්තර්ජාලය (Internet) වීමම අවශ්ය නැත (අන්තර්ජාලය යනු ඕනෑම අයෙකුට නිදහසේ කනෙක්ට් විය හැකි ලොව විශාලතම පරිගනක ජාලයයි). ඕනෑම පරිගනක ජාලයක් මේ සඳහා යොදා ගත හැකිය. 


එහෙත් අප කවුරුත් දන්නා හා සම්බන්ද වන පරිගනක ජාලය අන්තර්ජාලය බැවින් එම කාඩ් ෂෙයාරිං ඩිකෝඩරය අන්තර්ජාලයට සම්බන්ද කිරීමයි සාමාන්‍යයෙන් සිදු වන්නේ. ඉතිං, දැන් මට හැකියි IKS පහසුකම ඇති මගේ රිසීවරය අන්තර්ජාලයට සම්බන්ද කර එහි සෙටිංස් සකසන්නට අර කාඩ් ෂෙයාරිං ඩිකෝඩරයට කනෙක්ට් වී කෝඩ්වර්ඩ් එක ලබා ගන්නා ලෙස. එවිට, කෝඩ්වර්ඩ් එක අලුත් වන අලුත් වන වාරයක් පාසා එම කෝඩ්වර්ඩ් එක මගේ රිසීවරයට අන්තර්ජාලය හරහා ලැබේ. එම නිවැරදි කෝඩ්වර්ඩ් එකෙන් ස්ක්‍රැම්බල් කරපු සංඥා ඩිස්ක්‍රැම්බල්/ඩික්‍රිප්ට් කෙරේ.




අන්තර්ජාලයට පරිගනක හා පරිගනක මෙන් දත්ත හැසිරිය හැකි වෙනත් උපකරණ (ස්මාට් ෆෝන්, ස්මාට් ටීවී, සැටලයිට් රිසීවර් ආදිය) සවි කළ හැකියිනෙ. ඉතිං, අන්තර්ජාලයට සම්බන්ධිත ඕනෑම උපකරණ දෙකක් අතර සන්නිවේදනයක් සිදු වීමට නම්, එම උපකරණ දෙකට අනන්‍ය වූ යම් ඇඩ්‍රස් එකක් හෝ අංකයක් අවශ්‍ය වේ (දුරකතන අංකය, නිවසේ අංකය වැනි). එම අංකය/ලිපිනය IP address ලෙස හැඳින් වේ (IP යනු Internet Protocol යන සමස්ථ අන්තර්ජාලයම රඳා පවතින සම්මතය/ප්‍රමිතිය වේ). අයිපී ඇඩ්‍රස් එකක ආකාරය (ෆෝමැට් එක) 192.168.1.10 වැනිය. එනම් ඩොට් 3කින් වෙන් වූ සංඛ්‍යා 4කින් එය සැදුම් ලත් වේ. මේ සෑම සංඛ්‍යාවක්ම 0ත් 255ත් අතර විය යුතුය (ඒ කියන්නේ 277.42.74.33 වැනි අයිපී ඇඩ්‍රස් තිබිය නොහැකිය). අන්තර්ජාලයට සම්බන්ද වන විට අපට ඉබේම මෙම අයිපී ඇඩ්‍රස් එකක් ලැබේ (ඍජුවම අන්තර්ජාලයට සම්බන්ධිත ඕනෑම පරිගනකයක් හා සම්බන්ධ විය හැකි බැවින් මේවා public IP ලෙස හැඳින්වේ).
 
ඉතිං, ඉහත විස්තර කළ ආකාරයට කාඩ් ෂෙයාරිං ඩිකෝඩරයක් අන්තර්ජාලයට සම්බන්ද වන විට, ඊටද පබ්ලික් අයිපී එකක් ලැබේ. අපගේ රිසීවරය එම ඩිකෝඩරයට සම්බන්ද වීමට නම්, ඩිකෝඩරයේ එම අයිපී ඇඩ්‍රස් එක දැනගත යුතුය; එම ලිපිනය අපේ රිසීවරයේ IKS සෙටිංස් සාදන විට ඇතුලු කළ යුතුය.
 
අන්තර්ජාලයේ තිබෙන ඕනෑම සේවාවක් ලබා ගැනීමට අවශ්‍ය වූ විට, දැන් අපට සිදු වනවා එම සේවාව සපයන විශේෂිත පරිගනකයේ (සේවා සපයන පරිගනකයකට Server යනුවෙන් කියයි) අයිපී එක දැන ගන්න (ඔබට මා හට කතා කිරීමට අවශ්ය නම් මාගේ දුරකතන අංකය මුලින්ම දැන ගැනීමට සිදු වෙනවා වාගේ). 
 
ඔබ දන්නවා මිනිසා ඉලක්කම් මතක තබා ගැනීමට ඉතාම අදක්ෂය; ඔවුන්ට පහසුවෙන් නම්ගම් මතක තිබේ. ඒකනේ මොබයිල් ෆෝන් එකේ ෆෝන්බුක් එකක් ලබා දී තිබෙන්නෙත්. ඉතිං, ඉහත විස්තර කළ පරිදි අන්තර්ජාලයේ භාවිතා වන අයිපී ඇඩ්‍රස් දිගු ඉලක්කම් වේ. එහෙත් අන්තර්ජාලයේද “ෆෝන්බුක්” ක්‍රමයක් ඇත; ඊට DNS (Domain Name Service) යැයි කියයි. එමඟින් අපට හැකියි www.google.com, blog.tekcroach.top වැනි නම් (domain name ලෙස මෙම නම් හැඳින්වේ) භාවිතා කරන්නට. දැන් ඔබ මෙවැනි ඩොමේන් නේම් එකක් ෆයර්ෆොක්ස් හෝ ක්‍රෝම් හෝ වෙනත් ප්‍රෝග්‍රෑම්/ඇප් එකකට ඇතුලු කරන විට, DNS සේවාව මඟින් ක්ෂණිකව එම ඩොමේන් නේම් එකට අදාල අයිපී ඇඩ්රස් එක සොයා දෙයි. ඉන්පසු අන්න එලෙස ඩීඑන්එස් මඟින් සොයා ගත් අයිපී ලිපිනයේ ඇති සර්වර් එකට කනෙක්ට් වේ
 
මෙනිසා, IKS සේවා සපයන අය අයිපී ඇඩ්රස් වෙනුවට hdnet.pk වැනි ඩොමේන් නේම් බොහෝවිට භාවිතා කරයි. එවිට, ඔබට සිදු වෙනවා ඔබගේ රිසීවරයට මෙම ඩොමේන් නේම් එක හරියට ඇතුලු කරන්නට (ඩොමේන් නේම් නැතිනම් අයිපී ඇඩ්රස් එක ඇතුලු කළ යුතුය.)
 
අන්තර්ජාලය යනු යටිතල පහසුකමකි; එම යටිතල පහසුකම මත විවිධ සේවා පවතී (ඊමේල් සේවාව, වෙබ් සේවාව, යූටියුබ් වැනි ස්ට්‍රීමිං සේවා, වයිබර්/වට්ස්ඇප් වැනි අන්තර්ජාල දුරකතන සේවා ආදිය). සමහර සේවා සම්මත ඒවා වේ; සමහර සේවා ඒ ඒ කෙනාට අවශ්‍යතාව පරිදි සපයන ඒවා වේ (කැමති නම් ඔබේම අලුත් සේවාවක් අන්තර්ජාලය හරහා ලබා දිය හැකියි). ඉතිං, අන්තර්ජාලනයට සම්බන්ධිත ඔබේ පරිගනකය/දුරකතනයට හැකියි විවිධ අන්තර්ජාල සේවාවන් එකවර ලබා ගන්න. එය හරියට ගෙදර ලෑන්ඩ් දුරකතන ලයින් එකෙන් ගෙදර සිටින සියලු අයට කතා කළ හැකියි වැනිය. මෙවිට දුරකතන අංකයට අමතරව ඇමතීමට අවශ්‍ය කෙනාගේ නමද දැන සිටිය යුතුය. එවිටනෙ ඔබට හැකියාව ලැබෙන්නේ මගේ ගෙදර ලයින් එකට කතා කර, මට කතා කරන්න පුලුවන්ද කියා අසන්න. අන්තර්ජාලයේද මෙම තත්වය පවතී. නිකංම අයිපී ඇඩ්‍රස් එක පමනක් ප්‍රමානවත් නැත. අහවල් සේවාව ලබා ගැනීමට අවශ්‍ය බවද කිව යුතුය. එය සිදු වන්නේ port යන නමින් හැඳින්වෙන සංඛ්යාවකිනි. එම අගය හැමවිටම 1 ට වඩා වැඩි 65535ට වඩා අඩු සංඛ්යාවකි. ඒ අනුව අන්තර්ජාලය හරහා කුමන සේවාවක් සැපයුවත් එය යම් අයිපී ඇඩ්‍රස් එකක් (හෝ ඒ වෙනුවට ඩොමේන් නේම් එකක්) හා පෝට් එකක් හරහා සැපයිය යුතුය. සම්මත අන්තර්ජාල සේවා සඳහා සම්මත පෝට් ඇත (උදාහරණ ලෙස, www සේවාව සඳහා සම්මත පෝට් එක වන්නේ 80 වේ). 
 
ඉතිං, IKS සේවාව සපයන අය එම සර්වරයේ අයිපී ඇඩ්රස් එක (හෝ ඩොමේන් නේම් එක) පමනක් නොව, එම සේවාව ලබා දෙන පෝට් අංකයත් සටහන් කරයි. ඔබගේ රිසීවරයට එම පෝට් අංකයද ලබා දීමට සිදු වේ. IKS සේවාව අන්තර්ජාලයේ පවතින සම්මත සේවාවක් නොවේ. එනිසා එම සේවාව සපයන අය තමන්ට කැමති පෝට් අංකයකින් එම සේවාව ලබා දේ. ඔබට කරන්නට තිබෙන්නේ එම ඔවුන් භාවිතා කරන පෝට් අංකය (අදාල අයිපී ලිපිනයද සමඟ) ඔබගේ රිසීවරයට සෙට් කිරීමයි.
 
තවද, ඕනෑම තැනක සීමිත පිරිසකට (උදාහරණයක් ලෙස, යම් මුදලක් ගෙවපු අයට) පමනක් යම් දෙයක් කිරීමට අවසර ලබා දීමට අවශ්‍ය වූ විට, username – password ක්‍රමය භාවිතා කරනවානෙ. මෙහිදිත් තත්වය එසේය. කාඩ් ෂෙයාරිං සේවාව හැමෝටම නොමිලේ ලබා දෙන්නේ නැත. ඊට අවසර ලබා දෙන්නේ යූසර්නේම්-පාස්වර්ඩ් එකක් හරහාය. ඉතිං, කාඩ් ෂෙයාරිං සේවාව ලබා දෙන අය, මෙලෙස තම සේවාව යූසර්නේම්-පාස්වර්ඩ් යුගලයකින් ආරක්ෂා කරයි. හැමෝටම එකම යූසර්නේම්-පාස්වර්ඩ් ජෝඩුවක් දෙනවා වෙනුවට, බොහෝවිට සිදු වන්නේ එක් එක් අයට තනි තනි යූසර්නේම්-පාස්වර්ඩ් ලබා දීමයි. එනිසා, ඔබටත් සිදු වෙනවා එලෙස යූසර්නේම්-පාස්වර්ඩ් යුගලයක් ලබා ගැනීමට. මෙන්න මෙම යූසර්නේම්-පාස්වර්ඩ් යුගලයද IKS සෙටිංස් සකසන විට ඔබගේ රිසීවරයට ඇතුලු කළ යුතුය.
ඒ අනුව, ඔබගේ රිසීවරයේ IKS සෙටිංස් ලබා දෙන විට ඇතුලත් කළ යුතු මූලික සෙටිංස් වන්නේ එම කාඩ් ෂෙයාරිං සර්වර් එකේ IP Address (හෝ domain name), port, username-password වේ. 

අන්තර්ජාලය හරහා IKS සේවාව ලබා දෙන අය ඒවා ලබා දෙන්නේ මුදලකට වේ (ඔවුන් එම හොර වැඩේ කරන්නේ මුදල් හම්බ කිරීමට වේ). එහෙත් එම මුදල සුලු මුදලකි (රුපියල් දෙතුන් සියයක් වැනි). ඔබ ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ් එකකින් හෝ අන් ක්‍රමයකින් මුදල් ගෙවා එම පහසුකම ලබා ගත යුතුය. එහෙත් නොමිලේ එම සේවාව ලබා දෙන අවස්ථාද ඕනෑ තරම් ඇත.
 
මෙම ක්‍රමයේ ගැටලුවක් නැත්තේම නොවේ. ඉහත විස්තර කළ ආකාරයට කෝඩ්වර්ඩ් එක ලබා ගන්නේ අන්තර්ජාලය හරහානෙ. සමහර වෙලාවට ඔබගේ අන්තර්ජාල පහසුකම කිසියම් හේතුවක් නිසා හෝ වැඩ නොකරන අවස්ථාවල ටීවී චැනල් බැලීමට නොහැකි වෙනවා. තවද, සමහර වෙලාවට ඔබේ අන්තර්ජාල සම්බන්දතාව ඉතාම මන්දගාමී වේ. මෙවන් අවස්ථාවලද ටීවී බැලීමට අපහසු වේ. තවත් අවස්ථාවල ඔබේ අන්තර්ජාල සම්බන්දතාව ඉස්තරම් වුවත්, එම කාඩ්ෂෙයාරිං සේවාව සපයන අයගේ පරිගනකය හෝ අන්තර්ජාල සම්බන්දතාව මන්දගාමී විය හැකිය (වැඩි පිරිසක් ඊට කනෙක්ට් වීම නිසා). මේ සෑම අවස්ථාවකදීම සිදු වන්නේ අපට ටීවී බැලීමට අපහසු වීමයි. කෝඩ්වර්ඩ් එක ක්ෂණිකව අපගේ රිසීවරයට පැමිනිය යුතුයි අවහිරයක් නැතිව ටීවී බැලීමට නම්. 
 
ඉතිං, නොමිලේ මෙම සේවාව සමහරුන් ලබා දුන්නත්, ඇත්තටම ඒවාවලින් හැමවිටම හොඳ සේවාවක් ලැබෙන්නේ නැත. දවසේ සමහර වෙලාවලදී පමනක් ඒවා මඟින් හොඳින් ටීවී බැලීමට හැකි වේවි; එහෙත් දවසේ වෙනත් වෙලාවන්වලදී ටීවී බැලීම අප්‍රිය කරවන තරමට එම සේවා දුර්වල වේ. මුදල් ගෙවා ලබා ගන්නා සමහර සේවා ඉස්තරම්ය. නිසිවෙලාවට අන්තර්ජාලයෙන් කෝඩ්වර්ඩ් (විනාඩියකට දෙතුන් වරක් මෙම කෝඩ්වර්ඩ් අපගේ රිසීවරයට ලැබිය යුතුය) අපේ රිසීවරයට නොලැබෙන විට, ටීවී එකේ දර්ශනය වෙමින් පවතින රූප-ශබ්ද එකවරම නැති වී යයි; freeze වෙනවා යැයි එතකොට කියනවා.
 
ඔබගේ සැටලයිට් රිසීවරය අන්තර්ජාලයට සම්බන්ද කරන ක්‍රම කිහිපයක් ඇත. දැන් ඒ ගැන මඳක් විමසා බලමු. සාමාන්‍යයෙන් ඔබගේ රිසීවරයේ USB port දෙකක් ඇත (අඩුම ගානේ එකක්වත් තිබේවි). ඉන් එක් පෝට් එකකට WiFi stick හෙවත් WiFi adaptor එකක් සවි කළ හැකිය. මෙහිදී අප සතුව තිබෙන ඕනෑම ස්ටික් එකක් කනෙක්ට් කළ නොහැකි අතර, ඔබගේ රිසීවරය සපෝට් කරන වර්ගයේ එකක්ම තිබිය යුතුය. මෙවිට, ඔබ සතුව වයිෆයි නෙට්වර්ක් එකක් නිවසේ ඇත් නම්, එම ස්ටික් එක හරහා ඊට කනෙක්ට් විය හැකිය. අද බොහෝ ගෙවල්වල වයිෆයි කනෙක්ෂන් ඇති නිසා ඉතාම ප්‍රචලිත ක්‍රමය මෙයයි (අවශ්‍ය නම් ඔබේ ස්මාට් ෆෝන් එකද වයිෆයි රවුටරයක් ලෙස සකසා ගත හැකියි අමුතුවෙන් වයිෆයි රවුටරයක් මිලදී නොගෙන).
 


තවත් රිසීවර්වලදී යූඑස්බී පෝට් එකට කෙලින්ම 3G (හෝ HSPA/HSDPA) dongle එකක් සවි කළ හැකිය. මෙහිද ඔබේ රිසීවරය විසින් සපෝට් කරන වර්ගයේ එකක්ම විය යුතුය. මෙවිට, එම ඉන්ටර්නෙට් ඩොන්ගල් එකට ඩේටා සිම් එකක් දමා කෙලින්ම අන්තර්ජාලයට සම්බන්ද විය හැකියි. 
 
තවත් සමහර රිසීවර් ඉහත ආකාර දෙකම නැත (ඉහත ආකාර දෙකම wireless ක්‍රම වේ). ඒ වෙනුවට Ethernet port යනුවෙන් හැඳින්වෙන පෝට් එකක් එහි ඇත. එවිට, එම ඊතර්නෙට් පෝට් එක Ethernet switch එකකට සම්බන්ද කළ යුතු වෙනවා ඊතර්නෙට් කේබල් එකක් මඟින් (එනිසා මෙම ක්‍රමය වයර්ලස් ක්‍රමයක් නොවේ). මෙම ක්‍රමය එතරම් ප්‍රචලිතද නැත.




සමහර රිසීවර්වල චන්ද්‍රිකා චැනල් ග්‍රහනය කිරීමට අමතරව තවත් දේවල් කළ හැකි බව මා පෙරත් පැවසුවා. Youtube වීඩියෝ බැලීමටද සමහර ඒවායේ හැකිය. IPTV ක්‍රමයට ලෝකයේ බොහෝ ටීවී චැනල් බැලීමටද හැකියාව සමහර රිසීවර්වල ඇත. මේ දෙකටම ඔබගේ ඩේටා කැපේ; එනිසා පරිස්සම් වන්න. කාඩ්ෂෙයාරිං පහසුකම සඳහාද ඔබගේ ඩේටා කැපේ. එහෙත් එසේ කැපෙන ඩේටා ප්‍රමාණය ඉතාම සුලුය; මසකට මෙගාබයිට් 100කට අඩුවෙන් වැය වේ (මසටම රුපියල් 30ක් පමන).
 
සමහර රිසීවර්වල ඔබ නරඹන චැනල් record කිරීමටද පහසුකම ඇත. තමන් නරඹන වීඩියෝවක් පටිගත කරන උපකරණය PVR (Personal Video Recorder) ලෙසයි හැඳින්වෙන්නේ. එනිසා පීවීආර් පහසුකම සහිත රිසීවරයකදී එම පටිගත කිරීම සිදු කරන්නේ flash/pen drive එකකයි. රිසීවරයේ තිබෙන යූඑස්බී පෝට් එකකට පෙන් ඩ්‍රයිව් එක ගසා, ඒ මතට වීඩියෝ පටිගත කළ හැකිය.
 
තවත් සමහර රිසීවර්වල හැකියාව තිබෙනවා DVB-T2 (හෝ DVB-T1) ආකාරයේ සංඥාද ග්‍රහනය කර ගෙන ටීවී එකේ පෙන්වන්නට. ටීටූ ක්‍රමය චන්ද්‍රිකාවල භාවිතා වන්නේ නැත. ගොඩබිම ඇති ටවර් මඟින් ඩිජිටල් ආකාරයෙන් රූපවාහිනි චැනල් ප්‍රචාරය කරන ක්‍රමයකි එය. මෙවන් රිසීවර් combo receiver හෝ combo box ලෙස හැඳින් වේ (combo යනු සංයුක්ත යන තේරුම ලබා දෙන වචනයකි). කොම්බෝ රිසීවර් එකකදී චන්ද්‍රිකා ඩිෂ් එක සවි කරන එෆ් කනෙක්ටරයට අමතරව, සාමාන්‍ය ටීවී කොඇක්සියල් කනෙක්ටරයක් සවි කරන කනෙක්ටරයක්ද වෙනම ඇත. ඊට සාමාන්‍ය ටීවී ඇන්ටනාවක් සවි කරගෙන ටීටූ ක්‍රමයට විසුරුවා හරින චැනල් ඇත්නම් ඒවා ටියුන් කර ගත හැකිය. දැනට ලංකාවේ TV Lanka නම් ආයතනයෙන් මෙම ක්‍රමයට චැනල් විසුරුවීම අරඹා ඇත.




හරි... දැන් සියලු පොදු විස්තර අවසන්. ප්‍රායෝගිකව ඩිෂ් සවි කරගෙන චැනල් ටියුන් කර ගෙන අයිකේඑස් සෙටිංස් ආදිය සකසා ගෙන “හොරෙන්” ටීවී බලන විදිය ඊළඟට මා පියවරින් පියවර පෙන්වා දෙන්නම් (අධ්‍යාපනික වටිනාකම උදෙසා මෙය කියා දෙමි; එය නීතිවිරෝධි බවත් ඔබ කිසිවෙකුට තමන් සැටලයිට් ටීවී බලන්නේ අහවල් හොර විදියෙන් බව නොපවසා සිටී නම්, කිසිම ගැටලුවක් නැතිව දිගටම මෙම ක්‍රමය භාවිතා කළ හැකි බවද කිව හැකිය). මෙලෙස හොරෙන් සැටලයිට් ටීවී අල්ලා ගෙන, උදේ නැගිට්ට වෙලේ සිට බුදියන තෙක් කාලකන්නි වගේ ටීවී එකේ මුහුන ඔබා ගෙන චිත්‍රපටි බලන එවුන්ගේ රිසීවර් පිච්චී යත්වා!


Read More »