Tuesday, March 12, 2019

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 2


නැවතත් චන්ද්‍රිකා කක්ෂ වෙතට අවධානය යොමු කරමු. මේ කක්ෂ අතුරින් විශේෂිත කක්ෂ වර්ගයක් තිබේ geosynchronous orbits ලෙස. මෙවන් කක්ෂයක රඳවන චන්ද්‍රිකාවක් geosynchronous satellite ලෙස හැඳින්වේ. මෙම කක්ෂයේ ඇති විශේෂත්වය තමයි, එම කක්ෂය පොලොව මතු පිට සිට 35,786km උසකින් (පොලොවේ කේන්ද්‍රයේ සිට මනින විට 42,164km උසකින්) හැමවිටම පැවතීම. ඒ විතරක් නොව; මෙම කක්ෂයේ රඳවන චන්ද්‍රිකාවක කරකැවීමේ වේගය පොලොවේ කරකැවීමේ වේගයට හරියටම සමාන වේ (එනම් පැය 24කට හෙවත් තත්පර 86,400 කට එක වටයකි). ඒ අනුව පැය 24කදී පොලොව තමන් වටේ එක වටයක් භ්‍රමනය වන විට, චන්ද්‍රිකාව පොලොව වටේ 1 වටයක් හරියටම යයි. තවද, සෑම දිනකම එකම වෙලාවකදී චන්ද්රිකාවද අහසේ එකම ස්ථානකයදී දර්ශනය වේවි. පහත රූපයේ නිල්පාටින් දක්වා තිබෙන්නේ ජියෝසින්ක්‍රොනස් කක්ෂයක් වන අතර, එය විවිධ අංශක ගණන්වලින් ඇල වී (angle of inclination) තිබිය හැකිය.



එයිනුත්, Geostationary orbit (භූ-ස්ථාවර කක්ෂය) යනු සුවිශේෂි ජියෝසින්ක්‍රොනස් කක්ෂයකි; නමුත් මෙම කක්ෂය හරියටම අහසේ පිහිටන්නේ පොලොවේ සමකයට එක එල්ලේ උඩින් වේ (එනම් ඇලය ශූන්‍ය වේ). එබැවින් ජියෝසින්ක්‍රොනස් කක්ෂ ඕනෑ තරමක් පැවතියත් ජියෝස්ටේෂනරි කක්ෂ ඇත්තේ එකක් පමනි (එනම් එය විරල සම්පතකි). ඉහත රූපයේ සුදුපාට  කක්ෂය මෙය වේ. මෙම කක්ෂය සුවිශේෂි එකක් නිසා, එය ආතර් සී ක්ලාර්ක් මහතාට ගෞරව පිනිස ඔහුගේ නමින් ක්ලාර්ක් කක්ෂය (Clarke Orbit) හෙවත් Clarke Belt ලෙස නම් කර ඇත. මෙම ක්ලාර්ක් කක්ෂය මත යම් චන්ද්‍රිකාවක් රැඳවුවොත්, ඔබ පොලොවේ සිට බලන විට, එම චන්ද්‍රිකාව කොහේවත් ගමන් කරන වගක් නොපෙනේ. ඔබ දවසේ ඕනෑම මොහොතක එවන් චන්ද්‍රිකාවක් දෙස බැලුවොත්, එය එකම තැන තිබෙන සේ පෙනේ.
 




බැලූබැල්මට එය මැජික් එකක් සේ පෙනුනත්, එතැන තිබෙන්නේ ඉතාම සරල සිද්ධාන්තයකි. ඔබ හා මිතුරෙකු පාරෙදි හමු වී කතා කරමින් යන අවස්ථාවක් සලකන්න. ඔබ දෙදෙනාම චලනය වේ (ගමන් කරයි). එහෙත් ඔබ දෙදෙනා එසේ ඇවිදන ගමන්ම එකිනෙකාගේ මුහුන බලා කතාද කරයි (හරියට දෙදෙනා නැවතී සිට ගමන් කරන්නා සේ). දෙදෙනාම එකම වේගයෙන් එකම දිශාවට යන නිසා නේද එසේ වන්නේ? අන්න එලෙසම, චන්ද්‍රිකාව හා පොලව එකම දිශාවට එකම වේගයෙන් කරකැවෙන විට චන්ද්‍රිකාව හා පොලොව එකිනෙකාට මුහුන බලාගෙන සිටී. සැටලයිට් ටීවී ඩිෂ් එක වහලය මත යම් නිශ්චිත දිශාවකට සදාකල්හිම සවි කර ටිවී බැලීමට හැකියාව ලැබෙන්නේ එනිසාය.
කාලයත් සමඟ චන්ද්‍රිකාවේ ස්ථානය වෙනස් වන්නේ නම්, ඩිෂ් එකද චන්ද්‍රිකාව යන යන පැත්තට හැරවෙන සේ උපක්‍රමයක් යෙදීමට සිදු වේ. ක්ලාර්ක් කක්ෂයේ හැර අහසේ වෙනත් ඕනෑම ස්ථානයක රඳවන චන්ද්‍රිකාවක තත්වය එයයි. එනම් කාලයත් සමඟ චන්ද්‍රිකාව ක්‍රමයෙන් අහසේ ගමන් කරනු පෙනේ. එවන් චන්ද්‍රිකාවක් සමඟ වුවද අපට සන්නිවේදනය කළ හැකියි. එහෙත් මෙවිට අපගේ ඩිෂ් ඇන්ටනාව ගමන් කරන චන්ද්‍රිකාව සමඟම සෙමින් චන්ද්‍රිකාව පස්සේම ගමන් කළ යුතුය. ඒ සඳහා විශේෂිත මෝටර් යොදා සැකසූ ඩිෂ් රඳවන ඇත. කෙසේ වෙතත් සැටලයිට් ටීවීවලදී අපට මෙම චන්ද්‍රිකා වැඩක් නැත. පහත දැක්වෙන්නේ මෙවන් විශේෂිත ඇන්ටනාවකි.
 




මේ වන විට ක්ලාර්ක් කක්ෂයේ චන්ද්‍රිකා සිය ගණනක් රඳවා ඇත. පහත දැක්වෙන්නේ ක්ලාර්ක් කක්ෂයේ එලෙස රඳවා තිබෙන භූ-ස්ථාවර චන්ද්‍රිකා ගණනාවක රූපයකි (ඒවායේ දේශාංශකවල අංශක ගණන් සමඟ). මින් සමහර චන්ද්‍රිකා කාලයත් සමඟ ඉවත් කර ඒ වෙනුවට අලුත් චන්ද්‍රිකා රඳවනු ඇත. උදාහරණයක් ලෙස ඩයලොග් ටීවී සේවාව සපයන අංශක 45 රඳවා තිබෙන ඉන්ටෙල්සැට්38 චන්ද්‍රිකාව මෙම රූපයේ නැත. මෙම රූපය මත ක්ලික් කර එහි විශාල පැහැදිලි රූපය දැක ගත හැකිය.
 




සෑම චන්ද්‍රිකාවකටම කෙටි නමක් ඇත. සමහර ඒවාට එවැනි නම් දෙකක් වුවද තිබිය හැකිය (උදාහරණ ලෙස, Intelsat 38 හා Azerspace 2 යනු එකම චන්ද්‍රිකාව වේ). ඊටත් අමතරව සෑම චන්ද්‍රිකාවකටම අන්තර්ජාතිකව පිලිගත් කේත නාමද තිබේ. ඇමරිකානු රාජ්‍ය ආයතනයක් වන USSPACECOM විසින් එවැනි අංකයක් ලොව කුමන රටක් මඟින් හෝ යවන සෑම චන්ද්‍රිකාවටම ලබා දේ (එය satellite catalog number හෝ NORAD number ලෙස හැඳින්වේ). එලෙසම, අන්තර්ජාතික සමාගමක් වන COSPAR විසින්ද International Designator හෙවත් cospar number යන නමින් සෑම චන්ද්‍රිකාවකටම අනන්‍ය අංකයක් ලබා දේ. උදාහරණයක් ලෙස, ඉහත කතා කළ ඉන්ටෙල්සැට් 38 යන චන්ද්‍රිකාවේ කැටලොග් අංකය 43632 වන අතර, ඊටම ලබා දී තිබෙන කොස්පාර් අංකය වන්නේ 2018-074A වේ. ඕනෑම (බොහෝ) චන්ද්‍රිකාවල විස්තරයක් https://www.n2yo.com/database/ යන සර්ච් පිටුවෙන් බලාගත හැකිය.
 
නිශ්චිත කක්ෂයක කැරකි කැරකි තිබෙන ගල් කැටයක් වැනි වස්තුවක් වුවද චන්ද්‍රිකාවක් ලෙස සැලකේ. එහෙත් අප විසින් යවන චන්ද්‍රිකා අධිතාක්ෂණික මෙවලම් අඩංගු ඒවාය. එම චන්ද්‍රිකා පොලොව සමඟ නිරන්තරයෙන්ම රේඩියෝ තරංග මඟින් සම්බන්ධතා පවත්වා ගෙන යයි. විවිධ පර්යේෂන, කාලගුනය ගැන ගවේෂනය කිරීම, ආරක්ෂක හා බුද්ධි තොරතුරු ලබා ගැනීම, ජීපීඑස් වැනි radio navigation සේවා ලබා දීම, ටීවී/රේඩියෝ ප්‍රචාරණය කිරීම වැනි නොයෙක් සේවා චන්ද්‍රිකා විසින් අද වන විට ඉටු කරයි. මේ සියලුම දේ අහසේ සිට චන්ද්‍රිකා විසින් සිදු කළත් පොලොව හා සම්බන්ද වන්නේ රේඩියෝ තරංග මඟිනි.
 


ඒ ඒ රට තුල රේඩියෝ තරංග/සංඛ්‍යාතයන් භාවිතා කළ යුත්තේ කුමන ආකාරවලින්ද යන්න ගැන තීරණය කිරීම එම රට සතු අයිතියකි. එහෙත් රේඩියෝ තරංගවලට රටවල දේශ සීමා වැඩක් නැත. එක් රටකින් යවන රේඩියෝ තරංග තවත් රටකට බාධා ඇති කළ හැකිය. මෙනිසා ලෝකයක් වශයෙන්ම රේඩියෝ සංඛ්‍යාතයන් යොදා ගැනීම පිලිබඳව එකඟතාවලට පැමින ඇත. එම ජාත්‍යන්තර මට්ටමේ නියාමනය සිදු කරන්නේ ITU (International Telecommunication Union) මඟිනි. ලොව සෑම රටක්ම මෙම ආයතනය හා කිට්ටුවෙන් වැඩ කරයි. ඒ අනුව චන්ද්රිකා සමඟ සන්නිවේදනය කිරීමේදී රේඩියෝ තරංග භාවිතා කළ යුත්තේ කෙසේද යන්න මෙම ආයතනය විසින් “රීතීන්” සම්මත කර ගෙන ඇත. විවිධ අවශ්‍යතා සඳහා කුමන කුමන රේඩියෝ සංඛ්‍යාත (frequency) කලාපයන් යොදා ගත යුතුද යන්න එම ආයතනය විසින් සකසා ඇති RADIO REGULATIONS (RR) යන රෙගුලාසිමාලාවේ සවිස්තරාත්මකව දක්වා ඇත (එය විශාල පොතක් වැනි ලියවිල්ලකි). ඒ අනුව, චන්ද්‍රිකා සඳහාද වෙනමම සංඛ්‍යාත කලාපයන් වෙන් කර ඇත. බොහෝ අය C band, Ku band ආදි ලෙස කතා කරන්නේ එම සංඛයාත පරාසයන් තමයි. පහත දැක්වෙන්නේ ගිගාහර්ට්ස් කලාපය තුල විවිධ නම්වලින් සංඛ්‍යාත පරාසයන් කඩා වෙන් කර තිබෙන ආකාරයයි.






ඉහත වගුවේ සංඛ්‍යාත පරාසයට අමතරව ඒ ඒ බෑන්ඩ් එකේ තරංග ආයාම (wavelength) පරාසයන්ද දක්වා තිබෙනවා. ඕනෑම රේඩියෝ තරංගයක් සංඛ්‍යාතයෙන් හෝ තරංග ආයාමයෙන් දැක්විය හැකියි (සංඛ්‍යාතය හා තරංග ආයාමය යනු රේඩියෝ තරංගයක මූලික ලක්ෂණ දෙකකි). ඒ දෙක අතර ලස්සන නියත සම්බන්දතාවක් තිබෙනවා.
 
(ආලෝකයේ/රේඩියෝ තරංගයේ වේගය) = (සංඛ්‍යාතය) x (තරංග ආයාමය)
 
ඉහත සමීකරණය කෙටියෙන් c = fλ ලෙස ලියනවා. ආලෝකයේ/රේඩියෝ තරංගවල වේගය රික්තකයකදී තත්පරයට කිලෝමීටර් 300,000ක් (තත්පරයට මීටර් 300,000,000) පමන වේ. එම වේගය තරංගය ගමන් කරන මාධ්‍ය අනුව අඩු වන අතර, වාතයේදීත් දළ වශයෙන් රික්තකයේ වේගයම ඇත. ඒ අනුව යම් තරංගයක සංඛ්‍යාතය දන්නේ නම් මෙම සූත්‍රය අනුව පහසුවෙන්ම තරංග ආයාමයද, තරංග ආයාමය දන්නේ නම් සංඛ්‍යාතයද සෙවිය හැකිය. උදාහරණයක් ලෙස, සංඛ්‍යාතය ගිගාහර්ට්ස් 1ක (හෙවත් හර්ට්ස් 1,000,000,000) රේඩියෝ තරංගයක තරංග ආයාමය වනුයේ 300,000,000/1,000,000,000 = මීටර් 0.3 හෙවත් සෙන්ටිමීටර් 30ක් වේ.
 
ඉහත සියලුම සංඛ්‍යාත පරාසයන් පොදුවේ ක්ෂුද්‍ර තරංග (microwave) ලෙස හැඳින්වේ. ඉහත ආකාරයට සංඛ්‍යාත පරාසයන් පැවසීම ප්‍රචලිත වුවත් වඩා ක්‍රමානුකූලව සමස්ථ රේඩියෝ සංඛ්‍යාත පරාසයම පහත ආකාරයටයි බෙදා ඇත්තේ. මෙම වගු බලන විට පෙනෙන්නේ සැටලයිට් ටීවීවල නිතර කතා කරන සී බෑන්ඩ් කූ බෑන්ඩ් ආදිය අයත් වන්නේ UHF හා ඊට ඉහල බෑන්ඩ්වලට බවයි.





මුල් කාලයේ මෙම රේඩියෝ සංඥා ඇනලොග් ක්‍රමයට යැවූ අතර, අද වන විට ඩිජිටල් තාක්ෂනය දියුනු නිසා ඩිජිටල් ආකාරයට එම සංඥා යවයි. එමඟින් විශාල වාසි ගණනක් ලැබී ඇත - වැඩි දත්ත ප්‍රමාණයක් හකුලුවා යැවීමට (data compression) හැකි වීම, සංඥා ආරක්ෂිත කිරීම (encryption) මෙම වාසි අතර ප්‍රමුඛ වේ.
පොලොවේ සිට චන්ද්‍රිකාව දෙසට රේඩියෝ සංඥා යවන විට ඊට Uplink එක කියා පවසන අතර, චන්ද්රිකාවේ සිට පොලොවට එවන රේඩියෝ සංඥා Downlink කියා හඳුන්වනවා.




හැමවිටම අප්ලින්ක් එක සඳහා යොදා ගන්නා සංඛයාත පරාසයට වඩා වෙනස් සංඛ්‍යාත පරාසයක් තමයි ඩවුන්ලින්ක් එක සඳහා යොදා ගන්නේ. සැටලයිට් ටීවීවලදී අපට වැදගත් වන්නේ ඩවුන්ලින්ක් එක පමනයි මොකද චන්ද්‍රිකාවේ සිට එන සංඥා අප අල්ලා ගන්නවා මිසක් අප විසින් චන්ද්‍රිකාවට සංඥා යවන්නේ නැත. අප දන්නවා යම් උපාංගයක් විසින් රේඩියෝ සංඥා සම්ප්‍රේෂනය කරන විට ඊට අප රේඩියෝ සම්ප්‍රේෂකය (radio transmitter) යැයි පවසනවා. එලෙසම, රේඩියෝ සංඥා ග්‍රහනය කරන උපාංගය රේඩියෝ ආදායකය (radio receiver) ලෙස හඳුන්වනවා. මේ දෙකම කළ හැකි උපකරණය transceiver ලෙස හැඳින්වෙනවා (ඒ අනුව ඔබගේ ජංගම දුරකතනය ට්රාන්සීවරයකි; ටීවී එක රිසීවරයකි).
 
චන්ද්‍රිකාවකද ට්‍රාන්සීවර් තිබිය යුතුය මොකද අප්ලින්ක් එකෙන් එන සංඥා ග්‍රහනය කිරීමටත්, ඩවුන්ලින්ක් එක දිගේ සංඥා සම්ප්‍රේෂනය කිරීමටත් චන්ද්‍රිකාවට සිදු වේ. චන්ද්‍රිකාවක ඇති ට්‍රාන්සීවරයට transponder යැයි පවසනවා. බොහෝ අය කෙටියේ tp යැයි ඊට කියනවා. ඇත්තටම එක් චන්ද්රිකාවක ට්රාන්ස්පොන්ඩර් ගණනාවක්ම (32ක්) සවි කර තිබෙනවා. සංඥා අල්ලා ගැනීමට හා සංඥා සම්ප්‍රේෂනය කිරීමට ටීපීයට ඇන්ටනාද සවි කර තිබේ. 
 
දළ වශයෙන් එක් ටීපීයකට 24MHz ක bandwidth එකක් තිබේ. බෑන්ඩ්විත් යනු යම් සංඥාවක් රේඩියෝ තරංග ඔස්සේ යැවීමේදී අවශ්‍ය කරන සංඛ්‍යාත පරාසයයි. උදාහරණයක් ලෙස, යම් සංඥාවක් ට්‍රාන්ස්මීටරයකින් යවන්නේ මෙගාහර්ට්ස් 500 සිට 520ක සංඛ්‍යාත පරාසයක් තුල නම්, එම චැනලයේ බෑන්ඩ්විත් එක (520 – 500 =) 20MHz කි. ඕනෑම විද්‍යුත් තරංගයක් (වයර් එකක් දිගේ යන) හෝ රේඩියෝ තරංගයක් සංඥා රැගෙන යන විට ඊට අවශ්‍ය කරන අවම බෑන්ඩ්විත් එකක් ඇත. උදාහරණ ලෙස, සාමාන්‍ය එෆ්එම් රේඩියෝවලදී එක් එක් එෆ්එම් චැනලයකට 150KHz ක පමන බෑන්ඩ්විත් එකක්ද, සාමාන්‍ය ඇනලොග් ටීවි චැනලයක් සඳහා 6MHz ක පමන බෑන්ඩ්විත් එකක්ද අවශ්‍ය වේ. 
 
එකවර විශාල දත්ත ප්‍රමානයක් යැවීමට වැඩි බෑන්ඩ්විත් එකක් අවශ්‍ය කෙරේ. එනිසා සාමාන්‍ය ශබ්දය යැවීමට වඩා වැඩි බෑන්ඩ්විත් එකක් වීඩියෝ යැවීමට අවශ්‍ය බව ඉහත උදාහරණයෙන්ම පෙනේ. වීඩියෝද දැන් “කොලිටි” කිහිපයකින්ම පවතී. Standard Definition (SD) යනු අඩු කොලිටියක් සහිත වීඩියෝ වේ. ඊට වඩා ඉතා හොඳ කොලිටියක් High Definition (HD) වලට ඇත. ටීවී ස්ක්‍රීන් එක ලොකු වන්නට වන්නට වීඩියෝ එකේ කොලිටිය ඉතා හොඳින් දැනේ; එනිසා එච්ඩී වීඩියෝවල වටිනාකම හොඳින් දැනේ. සැටලයිට් චැනල්ද දැන් දැන් එච්ඩී ක්‍රමයට යැවේ. එහෙත් මෙහිදී වැඩි බෑන්ඩ්විත් එකක්ද අවශ්‍ය වේ.
 
ඇනලොග් ක්‍රමයේදී එක් ටීපීයකින් යැවිය හැක්කේ එක් ටීවී චැනලයක් පමනි (එනම් ටීපීයේ සම්පූර්න බෑන්ඩ්විත් එකම එම චැනලය භාවිතා කරයි). එහෙත්, ඩිජිටල් ක්‍රමයේදී එක් ටීපී එකකින් ටීවී හෝ රේඩියෝ චැනල් දුසිම් කිහිපයක් එකට කැටි කොට එවිය හැකිය (මෙලෙස විවිධ සංඥා කිහිපයක් එකට කැටි කොට යැවීම multiplexing ලෙස හැඳින්වෙනවා). ඒ අනුව, එක් එක් ටීපී එකකින් එන්නේ මල්ටිප්ලෙක්ස් කරපු සංඥාවකි. විවිධ රේඩියෝ සංඛ්‍යාත පරාස යටතේ ටීපී ගනනාවකින්ම සංඥා යැවිය හැකි නිසා, තනි චන්ද්‍රිකාවකට ටීවී චැනල් සිය ගණනක් යැවීමට හැකියාව ලැබේ. එහෙත් චන්ද්‍රිකාවේ සිට එවන එච්ඩී චැනල් ගණන වැඩි වන විට, එක් ටීපීයකින් යැවිය හැකි ටීවී චැනල් ගණනත් අඩු වේ (දත්ත හකුලුවන ක්‍රම දියුනු නොකළොත්). මෙනිසා, චන්ද්‍රිකා ටීවී සේවා විසින් එච්ඩී ආකාරයට වීඩියෝ ලබා දෙන විට අය කරන ගාස්තුද තරමක් ඉහල යා හැකිය.
 
චන්ද්‍රිකාව පොලොවේ සිට ඉහලට යන්නට යන්නට පොලොවේ වැඩි භූමි ප්‍රමාණයක් ආවරණය කළ හැකිය. එහෙත් මෙවිට පොලොවට එන සංඥා එන්න එන්න දුර්වලද වේ. එලෙස පොලොවෙන් 1/3ක් හෝ ඊටත් වැඩි ප්‍රමාණයක් තනි චන්ද්‍රිකාවකින් ආවරණය කළ හැකිය (ඒකයි කියන්නේ චන්ද්‍රිකා 3කින් මුලු ලොවම ආවරණය කළ හැකියි කියා). මෙවැනි පුලුල් පරාසයක් ආවරණය කරන විට ඊට global beam යැයි පවසනවා. එහෙත් මෙවිට රේඩියෝ සංඥා ඉතාම දියාරු/දුර්වල වී පොලොවට එනු ඇත. මීට වඩා කුඩා ප්‍රදේශයක් ආවරණය වන පරිදි සංඥා එවිය හැකි අතර එවිට එය regional beam යැයි පවසනවා. ඉතාම කුඩා ප්රදේශයකට පමනක් පතිත වන පරිදිද චන්ද්රිකාවක සිට සංඥා එවිය හැකි අතර, ඊට spot beam යැයි පවසනවා. මෙවිට සංඥා සෑහෙන්න ප්‍රබල වේ. ට්‍රාන්ස්පොන්ඩර්වලට සවි කර තිබෙන කුඩා ඇන්ටනා සුදුසු පරිදි කරකැවීමෙන් චන්ද්‍රිකාවේ සිට පොලොවට වැටෙන සංඥා කුමන ප්‍රදේශයක් කොතරම් ප්‍රමාණයක් ආවරණය කළ යුතුදැයි සැකසිය හැකිය.

චන්ද්‍රිකාවක සිට එන සංඥා පොලොවේ හැමතැනම එකම ප්‍රබලතාවෙන් පතිත නොවේ. යම් ප්‍රදේශයකට වැඩිම ප්‍රබලතාවක්ද, එහි සිට ඈතට යන්නට යන්නට ක්‍රමයෙන් සංඥාද දුර්වල වේ. චන්ද්‍රිකාවකින් පොලොව මත සංඥා යවන විට, ඒවා විවිධ ප්‍රබලතාවලින් පොලොව මත පතිත වන සැටි පෙන්වන සටහන footprint ලෙස හැඳින්වේ.






සෑම චන්ද්‍රිකාවකටම ඒ අනුව ෆුට්ප්‍රින්ට් ඇත. ෆුට්ප්‍රින්ට් එකක රේඛා සටහන් කර තිබෙන අතර, ඒ එක් එක් රේඛාව මත යම් ඩෙසිබල් (decibel) අගයක් සටහන් කර තිබේ. මෙම අගය වැඩියි කියන්නේ සංඥාවේ ප්‍රබලතාව වැඩියි කියන එකයි. එම අගය අගය අඩු වන්නට වන්නට සංඥාව දුර්වල වේ. සංඥාව දුර්වල වන්නට වන්නට යොදා ගත යුතු ඇන්ටනාවේ දීසියේ සයිස් එකත් විශාල විය යුතුය. සංඥා ප්‍රබලතාව හා දීසියේ සයිස් එක අතර එවන් සම්බන්දතාවක් තිබිය යුතුයි කියන එක කොහොමත් ඔබට වැටහෙනවානෙ.
 
ඇත්තටම එක් චන්ද්‍රිකාවකට එක් තනි ෆුට්ප්‍රින්ට් එකක් නොව, ෆුට්ප්‍රින්ට් ගනනාවක්ම තිබේ. ඊට හේතුව චන්ද්‍රිකාවකට ටීපී විශාල ගණනක් තිබීමයි. ඉතිං, එක් එක් ටීපී එකේ සිට පොලොවේ විවිධ (හෝ එකම) ප්‍රදේශයට සංඥා පතිත කළ හැකියි. උදාහරණයක් ලෙස, දැනට ඩයලොග් සමාගම විසින් ලබා දෙන සැටලයිට් ටීවී පහසුකම සඳහා යොදා ගන්නා ඉන්ටෙල්සැට් 38 චන්ද්‍රිකාවේ beam කිහිපයක්ම (එනම් ෆුට්ප්‍රින්ට් කිහිපයක්ම) ඇත. පහත දැක්වෙන්නේ විශේෂයෙන්ම ලංකාවටම එවන බීම් එකයි (මෙහිදී ටීපී කිහිපයක්ම ලංකාව දෙසට එල්ල කර ඇත). පහත රූපය මත ක්ලික් කර එහි විශාල රූපය බලන්න.




පහත දැක්වෙන්නේ එම චන්ද්‍රිකාව විසින්ම ලොව වෙනත් ප්‍රදේශවලට යවන බීම්වල ෆුට්ප්‍රින්ට් වේ.











ඉහත ආකාරයේ සැටලයිට් ෆුට්ප්‍රින්ට් නොමිලේ ලබා ගත හැකි වෙබ්සයිට් ගණනාවක් ඇත. http://www.lyngsat-maps.com , https://www.satbeams.com/ යනු එවැනි හොඳ වෙබ් අඩවි දෙකකි.
 

No comments:

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top.

InnoCentive > Challenges & Rewards