දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 3

ශබ්ද කෝෂයක් භාවිතා කරන අයුරු

ශබ්ද කෝෂයක් (dictionary) යනු යම් භාෂාවක ඇති වචනවලට දී ඇති සම්මත තේරුම් පෙන්වා දෙන පොතකි.  ‍යම් භාෂාවක ඇති වචන එම භාෂාවේම සරළ හා කවුරුත් දන්නා වචන මඟින් හා උදාහරණ මඟින් එහි පෙන්වා ඇත.  අප නිවැරදිව වචන උගත යුත්තේ හැමවිටම හොඳ ශබ්ද කෝෂයක් භාවිතා කරගෙනය.  (සමහරෙක් වචන ඉගෙන ගන්නේ තවත් කෙනෙකුගෙන් තේරුම් අසා ගෙන වන අතර එය එතරම් හොඳ ක්‍රමයක් නොවේ.)  සමහර dictionary සාදා තිබෙනවා එක් භාෂාවක පවතින වචනවල තේරුම් වෙනත් භාෂාවකින් දක්වා තිබෙන සේ.  උදාහරණයක් ලෙස, ඉංග්‍රීසි වචන සඳහා සිංහලෙන් තේරුම් දක්වා තිබීම.
ඉතිං, ඔබ ඉංග්‍රීසි ඉගෙන ගන්නවා නම්, කරුණාකර හොඳ ශබ්ද කෝෂයක් මිළදී ගන්න.  පදික වේදිකාවේ තිබෙන නොයෙක් අය ලියූ ශබ්ද කෝෂ ගැන විශ්වාසය නොතබන්න.  ඔබේ පහසුව පිණිස එවැනි කවුරුත් පිළි ගන්නා හොඳ ශබ්ද කෝෂ කිහිපයක් ගැන සඳහන් කරන්නම්.  ආධුනිකයෙකු හට මහාචාර්ය ගුණපාල මලලසේකරයන් විසින් සකස් කළ “මලලසේකර ඉංග්‍රීසි-සිංහල ශබ්ද කෝෂය” හොඳය.  එහි බොහෝ ඉංග්‍රීසි වචන සඳහා සිංහලෙන් තේරුම් සපයා ඇත (එමනිසයි එයට “ඉංග්‍රීසි-සිංහල ශබ්ද කෝෂය” ලෙස නම ලැබී ඇත්තෙත්).

තරමක් ඉංග්‍රීසි ඉගෙන ගත් පසු මා විශේෂයෙන් හා කැමැත්තෙන් යෝජනා කරන්නේ ලෝක පූජිත Oxford dictionary එකක් හෝ Cambridge dictionary එකක් භාවිතා කරන ලෙසයි.  එම ශබ්ද කෝෂවල තේරුම්ද සපයා ඇත්තේ ඉංග්‍රීසියෙනි (එනම්, එවා ඉංග්‍රීසි-ඉංග්‍රීසි ශබ්ද කෝෂ ලෙස සැලකේ).  තවද, ඒවායේ තේරුම්වල නිරවද්‍යතාව අතිශය ඉහළ වන අතර මුද්‍රණ දෝෂද නැති තරම්ය.  මා පෞදිගලිකව භාවිතා කරන්නේ Oxford dictionary වේ.  Oxford නම යටතේ විවිධ මට්ටමේ ශබ්ද කෝෂ කිහිපයක් ඇත.  ඒ අතුරින්, Oxford Advanced Learner’s Dictionary ඉතා පහසු මෙන්ම හොඳය.  එහි, වචනවල තේරුම්වලට අමතරව, එම වචන යොදා ලියනු ලබන වගන්ති හා යෙදුම්ද බොහෝ උදාහරණ මඟින් දක්වා තිබේ.  එමගින් එම වචනවල තේරුම් තවත් පහසුවෙන් අවබෝධ කර ගත හැකිය.  ඊට අමතරව The Concise Oxford Dictionary නමින්ද විශාල හොඳ ශබ්ද කෝෂයක් ඇත.  එහි Advanced Learner’s එකට වඩා වචන පවතින අතර, තේරුම් සපයා ඇත්තේ සැකවින්ය.

දැන් ඔබ හොද ශබ්ද කෝෂයක් හෝ කිහිපයක් මිළ දී ගත් පසු එය නිවැරදිව භාවිතා කිරීමටද දැනගත යුතුය.  සාමාන්‍යයෙන් කෙනෙකු මිළදී ගන්නා ශබ්ද කෝෂයක් තමන්ගේ ජීවිත කාලය පුරාම තබා ගන්නකි.  (භාෂාවක වචනවල තේරුම් කාලය සමඟ වෙනස් විය හැකි අතර පවතින සමහර වචන අභාවයටද යන අතර අළුත් වචන නිරන්තරයෙන් එකතු වේ.  එමනිසා, ජීවිත කාලය තුළ එම ශබ්ද කෝෂයන්ගේ නව සංස්කරණ (edition) කිහිපයක් මිළ දී ගැනීම වඩා සුදුසු වේ.  එය ඔබ අවුරුදු 15ක් හෝ එවැනි ගණනකට පසුව කරන දෙයක් නිසා සල්ලි ගැන වද විය යුතුත් නැහැ නේද?  එවිට, කැමති නම්, ඔබේ පැරණි ශබ්ද කෝෂය වෙනත් ඉගෙන ගන්නා කෙනෙකුට පරිත්‍යාග කළ හැකිය.)  සෑම උගතෙකුම හා බුද්ධිමතෙකුම තමන් සතුව පවතින පත පොත අතුරින් වැඩිම ඇල්මක් දක්වන්නේ තමන්ගේ ශබ්ද කෝෂයටයි.  ජීවිතයේ වැඩිම වාර ගණනක් භාවිතා කරන පොත වන්නේද එයයි.  එහි වටිනාකම කියා නිම කළ නොහැකි බව ඔබටද එය භාවිතා කරන්නට ගත් පසු වැ‍ටහේවි.  එම නිසා, පළමුව එය පිරිසිදුව භාවිතා කරන්නට ඉගෙන ගන්න.
හැම තැනම එය විසි කරන්නට එපා.  එයට පොත් රාක්කයේ හෝ වෙනත් සුදුසු පහසුවෙන් ළඟාවිය හැකි තැනක ඉඩක් වෙන් කර තබන්න.  තේ කෝප්ප හෝ කෑම පිඟන් හෝ එවැනි දේවල් ඒ මත නොතබන්න.  පිටුවල කොන් නමන්නට එපා (යම් තැනක් පසුව පහසුවෙන් බැලිය හැකි වන සේ සටහන් කිරීමට අවශ්‍ය නම්, බුක්මාර්ක් හෝ එවැනි සිහින් දෙයක් පිටු අතර තබන්න.  බුක්මාර්ක් වුවද බොහෝ ගණනක් එසේ පොත තුළ තබන්න එපා; ඉන් පොත විකෘති විය හැකිය).  පිටු එසේ නැමී තිබේ නම්, ඒවා දුටු විගස නැවත සකසන්න.  පිටු පෙරළන විට ඇඟිල්ලේ කෙල ගසා එය කරන්නට එපා.  (එම පුරුද්ද නම් ඇත්තෙනම් අප්‍රියජනක මෙන්ම අමන වැඩකි.  කිසිම පොතක් හෝ පත්තරයක් කියවීමේදි එය කරන්න එපා.  පිටු පෙරළිම පහසුවෙන් කළ හැකිය.  එය පුරුදු වෙන්න.)

ඔබ ශබ්ද කෝෂයක ඇති වචන මුල් පිටුවේ සිට පාඩම් කරන්නටද යන්න එපා.  ශබ්ද කෝෂයක් එසේ වචන ඉගෙනීමට සාදා තිබෙන ‍එකක් නොවේ.  කළ යුත්තේ ඔබ එදිනෙදා කියවන හා ඇසෙන දේවල නොදන්නා වචන හමු වූ විට එම වචනවල තේරුම් ශබ්ද කෝෂය කියවා මතක තබාගැනීමයි.  මා ඉංග්‍රීසි ඉගෙන ගන්නා කුඩා අවධියේ (හා දැනුදු කරන්නේ) කළේ හමුවන අමාරු වචන වෙනම පොතක ලියා, පසුව ශබ්ද කෝෂය පෙරළා එම පද වල තේරුම් අර පොතේම ලියා ගැනීමයි.  එවිට, හැම විටම ශබ්ද කෝෂය පෙරළ පෙරළා බැලිය යුතු නොවේ.  වචන ලියා ඇති නිසා, නිතර නිතර එය රැගෙන පාඩම්ද කළ හැකි නිසා වචන ගිලිහී ගොස් අමතක නොවේ.  දෙයක් එක වරක් පමණක් හොඳින් පාඩම් කළ පසු එය ජීවිත කාලයටම එලෙසම මතක සිටින්නේ නැහැ.  එය නැවත නැවත භාවිතා ‍විය යුතුය.  නැතිනම් වෙන්නේ යම් දවසක් අමාරුවෙන් පාඩම් කරගත් දේවල් මාසෙකින් පමණ බැලූ විට ඒවා අමතක වී තිබීමයි.  එහිදි ඔබට විශාල වේදනාවක් මෙන්ම කලකිරීමක්ද ඇති විය හැකිය.  එමනිසා, අර විදියට පොතක අමාරු වචන ලියා, අඩුම ගානේ සතියකට වරක් හෝ එම වචන උඩින් පල්ලෙන් කියවාගෙන යන්න.  ඒ සඳහා ඔබට විනාඩි කිහිපයක් වැය වේවි.  එහෙත් එමගින් ඔබට විශාල ශක්තියක් ලැබේවි.

ශබ්ද කෝෂයක වචන ලියා ඇත්තේ අකාරාදි පිළිවෙළටය.  එනම් ඉංග්‍රීසියේදී a සිට z දක්වාය.  එමනිසා, යම් වචනයක් සොයන විට, ශබ්ද කෝෂයේ මුල් පිටුවේ සිට පෙරළාගෙන යා යුතු නැත.  ඔබ ටික කලක් ශබ්ද කෝෂයක් භාවිතා කළ පසු ඉබේම මෙන් එම වචනය පටන් ගන්නා අකුරට ආසන්න පිටුවක් එකවර පෙරළාගත හැකිය.  පිහිනීමට නම් වතුරට බැසිය යුතුවාක් මෙන්ම එම හැකියාව ලබා ගැනීමට ඔබ ශබ්ද කෝෂයක් ටික කලක් භාවිතා කළ යුතු වෙනවා.  බොහෝ ශබ්ද කෝෂවල වම් පිටුවේ ඉහළම එක කෙළවරක වචනයක් පෙනේ.  එම වචනයෙන් කියන්නේ එම පිටුවේ ඇති අළුතින් පටන් ගන්නා පළමු වචනයයි.  එලෙසම දකුණු අත පැත්තේ ඇති පිටුවේද උඩ කෙළවරක වචනයක් ඇත.  ඉන් කියන්නේ එම පිටුවේ අවසානයට යෙදී ඇති වචනයයි.  ඇයි එලෙස වචන දෙකක් දක්වා ඇත්තේ?  ඔබේ පහසුවටයි.  ඔබ සොයන වචනය එම පිටු දෙකෙහි ඇතිද යන්න එකවර දැන ගත හැකියි ඉහත කී උඩ ඇති වචන දෙක පමණක් බැලීමෙන්.  ඔබට එම පිටු දෙකෙහි ඇති සියලු වචන කියවා කාලය නාස්ති කිරීමට අවශ්‍ය වන්නේ නැහැ.  මේ ආකාරයට ඉක්මනින් වචනය සොයා ගැනීමට පුහුණු වන්න.  දවස් කිහිපයක් නැවැරදි විදියට ශබ්ද කෝෂයක් භාවිතා කරන විට එම හැකියාව ඇති වේවි.

කළාතුරකින් ඔබ සොයන වචනය ශබ්ද කෝෂයක තුළ හමු නොවීමටද ඉඩ ඇත.  අළුත් වචන හෝ ඉතා පැරණි (දැන් භාවිතයේ නොමැති) වචන හෝ තාක්ෂණික (විවිධ විෂයන්ට අයත් පාරිභාෂික වචන) වචන සමහරවිටක හමු නොවේ.  පාරිභාෂික වචන සඳහා නම්, ඒ ඒ විෂයන් වෙනුවෙන්ම වෙන වෙනම ශබ්ද කෝෂ සකසා ඇත එම අඩුව පිරවීමට.  ඊට හේතුව සෑම කෙනෙක්ම සෑම විෂයක් ගැනම ඉගෙන ගන්නේ නැති වීමයි.  එය සාධාරණ ක්‍රමයක්.  තවත් සමහර අවස්ථාවල ඒ ඒ ලිපි ලේඛන ලියන අය විසින් ඔවුන්ගේම අළුත් වචන සාදා ගන්නවා ව්‍යාකරණ රීති අනුගමනය කරමින් (උදා: pre-select යන වචනය ශබ්ද කෝෂයේ හමු නොවීමට පුළුවන්.  එහෙත් එහි තේරුම අපට සිතාගත හැකියි “මුලින් තෝරනවා” ලෙස ව්‍යාකරණය ගැන දැනුමක් තිබේ නම්).  මෙම පොතේ වෙනත් තැනක අළුත් වචන සාදාගන්නා හැටි ඉගෙන් වෙනවා.  එය කියවූ පසුව ඔබට එවැනි වචනවල තේරුම ශබ්ද කෝෂයක් බලන්නේ නැතිවම සිතාගත හැකි වෙනවා.  එම නිසා, ඒ ගැන කනස්සල්ලක් ඇති කර ගන්න එපා.

ශබ්ද කෝෂයක් සාමාන්‍යයෙන් සාදනු ලබන්නේ විවිධ තරාතිරමේ බොහෝ අයට ප්‍රයෝජනවත් වන පරිදිය.  තවද, ඒවායේ වචන ලියා ඇත්තේ මූලික ස්වරූපයෙනි (එමනිසා ශබ්ද කෝෂයේ පවතින ස්වරූපයට අපි “මූලික ස්වරූපය” හෙවත් “dictionary රූපය” ලෙසද නම් කරමු).  එනම් ඔබට drinking කියා වචනයක් බොහෝවිට ශබ්ද කෝෂයේ හමු නොවන අතර drink ලෙස නම් වචනයක් ඇත.  එලෙසම cats කියා හමු නොවන අතර cat කියා එය හමු වේ.  ඔබ වචන පාඩම් කරන විට මූලික ස්වරූපයෙන් එම වචනවල තේරුම් පාඩම් කරන්න.  කියවන පොතේ drinking ලෙස තිබුණත් පාඩම් කරන විට එය drink ලෙස මූලික ස්වරූපයට පත් කොට එහි තේරුම මතක තබා ගන්න.  තවද, වචනවල තේරුමට අමතරව වෙනත් වැදගත් තොරතුරුද අපට ශබ්ද කෝෂයකින් ලබා ගත හැකිය.  එනම්, අදාල වචනය නාමපදයක්ද, ක්‍රියාපදයක්ද, නැතිනම් වෙනත් වචනයක්ද යන වග සෑම වචනයක් සඳහාම සඳහන් කර තිබෙනවා.  සමහර වචනවලට නාම, ක්‍රියා, නාම විශේෂණ ආදී විවිධ තේරුම් කිහිපයක්ම තිබිය හැකිය.  එවිටද, ඒවා පැහැදිලිව වෙන් වෙන් වශයෙන් දක්වා තිබෙනවා.  ශබ්ද කෝෂයක මෙවැනි තොරතුරු දක්වා තිබෙන්නේ කෙටි සංඥා ක්‍රම මඟිනි.  ඒ ඒ ශබ්ද කෝෂයන්හි මුල් හෝ අග පිටුවක මෙම සංඥා මොනවාදැයි සඳහන් කර තිබෙනවා.  ඔබේ ශබ්ද කෝෂයට අදාළ එම සංඥා මොනවාදැයි මතක තබා ගන්න.  බොහෝ විට පහත සංඥා හැම ශබ්ද කෝෂයකම වාගේ භාවිතා කෙරේ.  තවත් සංඥා පවතින අතර ඒවා කියවා දැනගන්න.

n - නාම            v - ක්‍රියා                        adj - නාම විශේෂණ
adv - ක්‍රියා විශේෂණ                              prep - නිපාත

නිවැරදිව වචන උච්ඡාරණය කරන සැටිද ඉගෙන ගත යුත්තේ ශබ්ද කෝෂයෙනි.  ඉංග්‍රීසි අකුරු යනු එකම අකුර විවිධ විදියට ශබ්ද කළ හැකි නිසා, වචන ශබ්ද කරන විදිය බොහෝවිට දක්වා තිබෙන්නේ IPA (International Phonetic Alphabet) යන ජාත්‍යන්තරව සම්මත සංඥා ක්‍රමයකිනි.  එම සංඥාවල ඇති විශේෂත්වය නම්, එක සංඥාවක් ශබ්ද කළ හැක්කේ එකම එක ආකාරයකට පමණක් වීමය.  එමනිසා, යම් වචනයක් ශබ්ද කරන විදිය IPA ක්‍රමයෙන් ලියා ඇති විට එහි උච්ඡාරණය ගැන අපට දෙගිඩියාවක් ඇති නොවේ.  ශබ්ද කෝෂයේ මුල් හෝ අග පිටුවක හෝ වෙනත් තැනක එම IPA හෝඩිය/සංඥා දක්වා ඒවාට හිමි අනන්‍ය ශබ්ද මොනවාද යන්නද උදාහරණ මඟින් දක්වා තිබෙනවා.  එයද කියවා මතක තබා ගන්න.

අප ඉංග්‍රීසි භාෂාව ලෙස හැඳින්‍ වුවත්, එක් එක් රටවල භාවිතා කෙරෙන ඉංග්‍රීසියෙහි සුළු සුළු වෙනස් කම් පවතිනවා.  ඒ ඒ රටවලට පමණක් ආවේණික ඉංග්‍රීසි වචන මෙන්ම වාඛ්‍ය රටාවන් පවතිනවා.  (සමහරෙක් “කැඩිච්ච ඉංග්‍රීසි” හෝ එවැනි නම් වලින් මෙවැනි වෙනස්කම් සහිත ඉංග්‍රීසි හඳුන්වනවා.)  එහෙත් මෙම සියලු වෙනස්කම් ශබ්ද කෝෂයක දක්වන්නට ගියොත් සිතා ගත නොහැකි තරම් පොත විශාල වීමටත්, පොත සකස් කිරීම සංකීර්ණ වීමටත් ඉඩ තිබෙන නිසා, දැනට ලොව ප්‍රධාන ඉංග්‍රීසි භාෂා ව්‍යවහාර රටා දෙකක් පමණක් බොහෝ විට ශබ්ද කෝෂවල දක්වනවා.  ඒවා නම් UK English හා US (American) English වේ.  ලොව බහුලවම භාවිතා වූයේ UK English වේ.  ඊට හේතුව එංගලන්තය (UK) විසින් ලොව විශාල රටවල් ප්‍රමාණයක් යටත් ක‍රගෙන තිබූ නිසා, ලොව පුරා ඔවුන්ගේ ක්‍රමය පැතිර තිබීමයි.  අප රටේද එම නිසා UK English අභාෂය පවතී.  එහෙත්, පරිගණක (හා වෙනත් තාක්ෂණික මෙවලම්) භාවිතය ප්‍රචලිත වීමත් සමඟ, දැන් දැන් American English ආභාෂය ප්‍රචලිත වෙමින් පවතී.  ඊට හේතුව වන්නේ පරිගණක මෙන්ම අනෙකුත් බොහෝ තාක්ෂනික දේවල් ලොව පුරා පැතිරෙන්නේ ඇමෙරිකාවෙන් නිසාය.

ඇත්තෙන්ම, මේ දෙක අතර ඇත්තේ සුළු වෙනස් කම්ය.  බොහෝ වෙනස් කම් පවතින්නේ spelling වලය.  උදාහරණයක් ලෙස UK English වලින් colour කියනු ලබන දේ US English වලින් ලියැවෙන්නේ color ලෙසිනි.  Spelling වලට අමතරව, සමහර වචනද ඒ ඒ ව්‍යවහාරයන්හි වෙනස්ය.  උදාහරණයක් ලෙස UK හි biscuit හා film කියන ඒවාට US හි cookie හා movie කියනවා.  සමහර වචන ශබ්ද කරන විදිය (pronunciation) වෙනස්ය.  උදාහරණයක් ලෙස often යන්න UK හි “ඕෆන්” ලෙස ශබ්ද වුවත් US හි “ඕෆ්ටන්” ලෙස ශබ්ද කෙරේ.  සමහර ප්‍රකාශ (expression) ආදියෙහිද වෙනස්කම් තිබේ.  උදාහරණයක් ලෙස “2012 ඔක්තෝබර් 7” යන දිනය UK ක්‍රමයට 7/10/2012 ලෙසත් US ක්‍රමයට 10/7/2012 ලෙසත් ලියැවෙනවා.  ඇත්තෙන්ම, ඔබ බිය විය යුතු නැහැ.  එවැනි වෙනස් කම් ඇත්තේ බොහෝම ස්වල්පයකි.  කුමන ඉංග්‍රීසි ක්‍රමයක් අනුගමනය කළද අනෙකාට ඔබ කියන හෝ ලියන දේ අවබෝධ වෙනවා.  ඔබට අවශ්‍ය නම් මෙම වෙනස්කම් ගැන වෙනම ඉගෙන ගත හැකිය.  ඒ ගැන ලියැවී ඇති පොත්ද තිබේ.  එම වෙනස්කම් බොහෝමයක් ඉතා පහසුවෙන් උගත හැකිය.  ඉතිං, ශබ්ද කෝෂයක මෙවැනි වෙනස්කම් දක්වා තිබෙනවා.  එසේ වෙනස්කම් ඇති යම් වචනයක් හෝ යෙදුමක් US ක්‍රමයට මෙන්ම UK ක්‍රමයටද ඒවායේ දක්වා තිබෙනවා.  එවැන්නක් ලඟින් US ලෙස හෝ UK (හෝ සමහර විටක Brit ලෙස) ලෙස දක්වා තිබෙනවා.
ශබ්ද කෝෂයක් යම් වචනයක් සඳහා තේරුම් රාශියක් දී ඇත.  සමහර වචන සඳහා පිටු ගණනක් පුරාම විවිධ තේරුම් දී ඇත.  එහෙත් ඔබ විචාරශීලීව එම තේරුම් දෙස බැලුවොත් පෙනේවි බොහෝ තේරුම් දී ඇතත් එම තේරුම්වල දළ තේරුම එකක් බව.  ශබ්ද කෝෂයක් යනු සමහර අවස්ථාවල නීතිමය අවශ්‍යතා සඳහාද යොදා ගැනෙන්නෙකි.  ශාස්ත්‍රිය කටයුතු සඳහාද යොදා ගැනෙන්නෙකි.  එමනිසයි, ඒවායේ එලෙස සියුම් වෙනස් කම් පවා වෙන වෙනම දක්වා තිබෙන්නේ.  ඔබට එම සියුම් වෙනස්කම් අවශ්‍ය නැත.  කලක් ශබ්ද කෝෂයක් භාවිතා කරන විට ඔබටම එම තේරුම් රාශිය අතරින් එක් සරළ තේරුමක් සකසා ගැනීමට හැකි වෙනවා.  එහෙත් තවත් සමහර අවස්ථාවල, එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් තේරුම් කිහිපයක්ද යම් වචනයකට තිබිය හැකිය.  එහිදී, ඔබට අවශ්‍ය හා නිතර යෙදිය හැකි යැයි ඔබ සිතන තේරුම් පාඩම් කරගන්න.


අද බොහෝ “ඉංග්‍රීසි පණ්ඩිතයන්” අපේ ක්‍රමයට ඉංග්‍රීසි භාවිතා කරන්නට යැයි උපදෙස් දෙනවා.  පාසල්වල හරි හැටියට එය උගන්වන්නේ නැති නිසයි ළමයින්ට තාමත් ඉංග්‍රීසි භාවිතා කිරීමට බැරි වී තිබෙන්නේ.  එය හරි ගස්සන්නේ නැතිව මෙම පණ්ඩිතයන් සිතන්නේ අපට ඉංග්‍රීසි බැරි වී ඇත්තේ ඉංග්‍රීසිය සිංහල උරුවට සකස් වී නැති බව නිසා යැයි “උන්” පවසන දේවලින් දැනෙනවා.  ඔබ ඒවා පසෙක තබා “සම්මත ඉංග්‍රීසිය” පුළුවන් තරම් ඉගෙන ගන්නට උත්සහ කරන්න.  කුමන ක්‍රමයකින් හෝ කමක් නැහැ උගත යුත්තේ අවසානයේදී “සම්මත වචන”, “සම්මත වාඛ්‍ය රටා” සහිත ඉංග්‍රීසියයි.  ඔබ දැක ඇති CNN වැනි රූපවාහිනි නාලිකාවල සමහර වැඩසටහන්වල ඉංග්‍රීසි උපසිරැසි යොදනවා සමහරුන් (ඉංග්‍රීසිය ඔවු‍න්ගේම ක්‍රම වලින් කතා කරන අය) ඉංග්‍රිසයෙන් කතා කරන විටත්.  ඊට හේතුව වී ඇත්තේ අපේ මෙම බක පණ්ඩිතයන් කරන්නට උත්සහ කරන ආකාරයට සම්මත නොවන ඉංග්‍රීසියක් ඔවුන් කතා කරන නිසා.  නමට “ඉංග්‍රීසි” භාවිතා කළාට පලක් නැත.  එය අසන කියවන ඉංග්‍රීසිය උගත් ලෝක වාසින්ට එය නොතේරෙනවා නම්.  එනිසා, නැවත කියන්නේ “සම්මත” ව්‍යවහාරයන්ට හුරු වන්න.  Indian English හෝ වෙනත් සම්මත නොවන ඉංග්‍රීසි ව්‍යවහාර හා වචන භාවිතා නොකරන්න (උදාහරණයක් ලෙස lakh, crore යන වචන සම්මත ඉංග්‍රීසියේ නැත; ඒවා ඉංදියාවේ අය කියන වචනයි).  ඒ සඳහා හොඳ ශබ්ද කෝෂයකින් ලැබෙන පිටුවහල ඉතා ඉහළය.

Comments

  1. Good post. Thank you....

    ReplyDelete
  2. සෑහෙන්න වටිනවා මේ ලිපි පෙල. මේ බ්ලොග් එකට ගොඩවුණේ අද ඒ නිසා එක එක හෙමීට කියවගෙන යනවා , ස්තූතියි
    මේ වගේ වටිනා දෙයක් කිරීම ගැන.

    ReplyDelete
  3. thanks for the lessons.it was very important for me.thank you very much

    ReplyDelete
  4. thanks for the lessons.it was very important for me.thank you very much

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

දෛශික (vectors) - 1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 7

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala) - 1

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 1