Skip to main content

බුදු සමිඳු දැකීම (සිතට පව් පිං කළ නොහැකිය. ඇයි?)

බුදු සමිඳු දැකීම (සිතට පව් පිං කළ නොහැකිය. ඇයි?)

සිත, විඤ්ඥාණය, මනස ආදී වචන වලින් හැඳින්වෙන්නේ එකම දෙය වේ. විද්‍යාව තුළද “සිත” (mind) ගැන විග්‍රහයක් ඇත. එහෙත් විද්‍යාව තුළ සිත ගැන තිබෙන විග්‍රහය බුදු දහම තුළ සිත විග්‍රහ කරන ආකාරයට වඩා ඉඳුරාම වෙනස්ය. මා මෙම ලිපියෙන් සාකච්ඡා කරන්නේ බුදු දහම තුළ තිබෙන සිත පිළිබඳ විග්‍රහය පමණි.

සිත යනු කුමක්ද? “අරමුණු (ආරම්මණයන්) දැන ගැනීමම” සිත වේ. වසර දහස් ගණනක් පුරා අද දක්වාම මිනිසාව අන්ද මන්ද කළ ඒ ගැඹුරු සිත ගැන බුදු දහමෙන් කියන්නේ එයයි. එලෙස වචන තුනකින් සිත විග්‍රහ කර ඇත. මෙය තවදුරටත් පැහැදිලි කර ගමු. මෙහි අරමුණ යනු එදිනෙදා ව්‍යවහාරයේදී තිබෙන තේරුම නොවේ. එදිනෙදා ජීවිතයේදී අරමුණක් (objective) යනු ඉදිරියේදී කරන්නට යන නිශ්චිත දෙයක් යන්නයි.

ඔබට ඇස, කන, නාසය, දිව, ශරීරිය යන ඉන්ද්‍රියන් පහක් ඇත. ලෝකය පිළිබඳ සියලු දේවල් ජීවියකු දැන ගන්නේ (සඤ්ජානනය) මෙම ඉන්ද්‍රියන් හරහාය. දැන් මොහොතක් කල්පනා කර බලන්න ඔබේ ඇස් ඉදිරිපිට ‍පෙනන දේවල් ගැන. ඔබට නොයෙක් දේවල් එකවර පෙනේ. එහෙත් එක වරකට ඔබේ අවධානය යොමු වන්නේ මේ සියලු දේ අතරින් නිශ්චිත දේකටය. උදාහරණයක් ලෙස, ඔබ දැන් මෙම වාඛ්‍ය කියවමින් සිටින නිසා, ඹබට නොයෙක් දේවල් පෙනුනත් ඔබේ අවධානය නිශ්චිතව යොමු වී ඇත්තේ මෙම අකුරු (වාඛ්‍ය) වලටය. අරමුණ යනු එයයි. තවත් උදාහරණයක් ගමු. ඔබට වටපිටාවෙන් නොයෙක් ශබ්ද එකවර ඇසේ. එහෙත් වරකට ඔබේ අවධානය යොමු වන්නේ මේ අතරින් එක් ශබ්දයකට පමණි. මිනිසුන් රාශියක් සිටින තැනක ඔබ තවත් කෙනෙකු සමග කතා කරමින් සිටින අවස්ථාවක් සලකා බලන්න. ඔබට විවිධ මිනිසුන් රාශියකගේ කතා බහ ඇසෙනු ඇත. එහෙත්, ඔබගේ අවධානය යොමු කර ඇත්තේ ඹබේ මිතුරාගේ කට හඩටයි. අරමුණ යනු එයයි. එක්තරා විදියකට බැලුවොත් මෙය ඉන්ද්‍රියන් විසින් සිදු කරන “ෆිල්ටර්” කිරීමකි (අවශ්‍ය දේ පමණක් ඇතුලට ගෙන ඉතිරි ඒවා නොසලකා හැරීම).

ඉහත ඇස හා කන යන ඉඳුරන් දෙක සේම අනෙක් ඉන්ද්‍රියන්ගෙන්ද එලෙස අරමුණු ගැනීම සිදු වේ. ජීවිතය පවතින තාක් සත්වයකු මෙම අරමුණු ගැනීම කරමින් සිටී. එක අරමුණක සිත පවත්වාගැනීම හරිම අපහසුය. සමාධි භාවනාවෙන් කිරීමට උත්සහ කරන්නේ එයයි (එනම්, එක අරමුණක වැඩි කාලයක් සිත පවත්වා ගැනීම). ඇස කන ආදී ඉහත ඉඳුරන් නිදාගත් අවස්ථාවක හරි හැටි වැඩ කරන්නේ නැත. ඒ කියන්නේ, නිදාගත් විට සිත සමාධිගත වීමක් සිදු වන ‍බව හෝ නිදාගත් අවස්ථාවක අරමුණ ගැනීමක් ‍සිදු නොවන බවක්ද? එය එසේ නම්, නිදා සිටින විට, සිත අක්‍රිය වී පවතිනවා යැයි නිගමනය කිරීමට සිදු වේ. සිත අක්‍රිය වෙනවා යනුම බුදු දහම අනුව එක්කෝ නිරෝධ සමාපත්තියට පත් වීමක් හෝ නිවන් දැක පරිනිර්වාණය වීමකි. ඒ අනුව නිදාගත් විටද, සිත ක්‍රියා කළ යුතුය යන මතයට අපට පැමිණීමට සිදු වේ. එහෙත් ප්‍රශ්නය වන්නේ ඉහත ඉඳුරන් පහම අක්‍රිය තත්වයේ පවතිනවා නම්, කෙලෙසද සිත වැඩ කරන්නේ කියාය. ඊට පිළිතුරක් ඇත.

එනම්, ඉහත ඉඳුරන් පහට අමතරම තවත් වැදගත් ඉඳුරක් ඇත. එය “මනස” යන නමින් හඳුන්වනවා. ඔව්, මනස යන වචනය දෙයාකාරයකින් මෙහිදී භාවිතා වී ඇති බව පෙනේ (මෙතන පමණක් නොව, බුදු දහම තුළ බොහෝ අවස්ථාවල එකම වචනය සියුම් වෙනස්කම් සහිතව වෙනස් තේරුම් ඇතිව භාවිතා වී ඇත.) අනෙක් ඉඳුරන් පහද මෙම මනස නමැති ඉන්ද්‍රිය විසින් වෙළාගෙන පවතිනවා. මට මෙය පැහැදිලි කිරීමට කදිම උපමාවක් මතක් වෙනවා. එනම්, විශාල මීදුමකින් වෙළාගත් කඳු පන්තියක් ගැන සිතන්න. මනස යන ඉන්ද්‍රිය මීදුමක් සේ කඳු නමැති අනෙක් ඉන්ද්‍රියන් හාත්පස වසාගෙන වෙළා ගෙන පවතිනවා. ඉඳ හිට මීදුම තුනී වී එක් එක කඳු මුදුන දර්ශනය වන්නාක් සේ, නිමේෂයක් පාසා මනස නමැති ඉන්ද්‍රිය තුනී වී (අප්‍රකට වී හෙවත් පසකට වී) ඇස හෝ කන හෝ වෙනත් ඉන්ද්‍රියක් නමැති කන්දක් මතු වේ (ප්‍රකට වේ). සංසාරය පුරාවටම මෙම ඉන්ද්‍රියන් හය (ෂඩේන්ද්‍රිය) ඉහත ආකාරයට ක්‍රියා කරමින් පවතී. නින්දේදී මනස නමැති ඉන්ද්‍රිය ක්‍රියාකාරිව පවතී.

දැන් ප්‍රශ්නය වන්නේ සිතට කළ හැක්කේ කුමක්ද කියාය. ඇත්තටම සිතට කළ හැක්කේ එකම එක දෙයකි. එනම්, අරමුණක බැඳීමයි (එනම්, අරමුණු අල්ලා ගැනීම හෝ අරමුණ දැන ගැනීම). ඊට පව් පිං කළ නොහැකිය. සත්වයකුට ඇත්තේද එකම එක සිතකි. එය දිග නූලක් සේ දිවෙන තනි එකක් නොවේ. එය මොහොතක් පාසා නැති වී යන (භංග), ඒ නැති වූ ක්ෂණයෙන්ම නැවත අලුතින් උපදින (උත්පාද), ඉපදුනාට පසු නිමේෂයක් පවතින (ථිති), ඉන්පසු නැවැත විනාශ වෙන ආදි වශයෙන් සංසාරය පුරාවටම එම සිද්ධි දාමය අඛණ්ඩව චක්‍රයක් සේ සිදුවන පබලු වැලක් සේ පවතින දෙයකි. මෙම ක්‍රියාවලිය උත්පාද-තිති-භංග-උත්පාද-තිති-භංග-උත්පාද... ආදී ලෙස පවතින ච්ත්ත සන්තානය යන වචනයෙන් හැඳින්වේ. (සිත, පුනර්භවය, කර්මය, ලෝක ගැන වෙනම ලිපියකින් තවත් විස්තර කිරීමට බලාපොරොත්තු වෙමි.)

බොහෝ දෙනා සිතා සිටින්නේ පව් පිං සිදු කරන්නේ සිත බවයි. එහෙත් ඉහත විග්‍රහය අනුව සිතට එවැනි බලයක් නැති බව පෙනේ. එවිතරක් නොවේ. බොහෝ දෙනා සිතා සිටින බොහෝ දේවල් සිතට අදාල දේවල්ද නොවේ. ඒ සියලු දේ කරන තවත් පරමාර්ථ ධර්මයක් සිත ආශ්‍රය කරගෙන පවතී. චෛතසික යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඒවාය. අභාග්‍යකට මෙන් චෛතසික ගැන බෞද්ධයාට දැනුමක් නොමැත. නැතිනම්, චෛතසික යනු සිතට කියන තවත් නමක් සේ ඔවුන් විශ්වාස කරයි. එහෙත් එය එසේ නොවේ.

සත්වයකු සතුව කැඩි කැඩි එක දිගට පවතින (ඉහත විස්තර කළ පරිදි) එක සිතක් පමණක් තිබුණද, චෛතසික 52ක් පවතී. මෙම 52ට වෙන වෙනම නම් ලබා දී ඇති අතර, ඒවා තනි තනිව යම් නිශ්චිත කාර්යන් සිදු කරයි. චෛතසික හැමවිටම පවතින්නේ සිත ආශ්‍රය කරගෙනය. සිතක් භංග (නැති) ‍වෙන කොට ඒ සමගම ‍චෛතසිකද භංග වෙනවා. නිමේෂයකින් නැවත සිත හට ගන්නා විට, චෛතසිකද ඒ සමගම හට ගන්නවා. සිත පවතින කාලය තුළ චෛතසිකද පවතිනවා. ඒ අනුව පෙනෙන්නේ සිත හා චෛතසික පෙර පසු නොවී සිත සමගම උත්පාද-තිති-භංග වන බවයි. මා එම 52 කම විස්තර කරන්නට යන්නේ නැත. ඵස්ස, වේදනා, සංඥා, චේතනා, ශ්‍රද්ධා, ථීනය, ප්‍රීති, ඒකග්‍රතා ආදී ලෙස ඒවා නම් කර ඇත. අප ශ්‍රද්ධාව යනුවෙන් හඳුන්වනු ලබන “මානසික තත්තවය” ඇත්තටම එක් චෛතසිකයක්ය. (සිතට පවි පිං කළ නොහැකිය යන්න පැහැදිලි කිරීම මේ ලිපියේ අරමුණ නිසා, චෛතසික ගැන පූර්ණ විග්‍රහයකි මා මෙහිදී කරන්නේ නැත.)

මෙම චෛතසික අතරින්, සමහරකට “පව්” යන ගුණය ඇත. එනම්, එම චෛතසික සමග සිත වැඩ කළ විට, කර්මය සකස් වන්නේ අනිසි භයානක ප්‍රතිපලයක් ලබා දෙන ආකාරයෙනි. අප පව් කියා කියන්නේ මෙවැනි දේටයි. එලෙසම්, සමහරක් චෛතසිකයන්ට “පිං” යන ගුණය ඇත. තවත් සමහරකට පව් හෝ පිං යන ගුණය ඇති කළ නොහැකිය.

චෛතසික හැමවිටම සිත සමගව බද්ධ වී පවතින බව ඉහතදී පැවසුවා. එමනිසා, චෛතසික “සිත තුළ හටගනී” යනුවෙන් අප ‍කීමට පුරුදුව සිටිනවා. ඇත්තටම සිත තුළ හට ගන්නො නැත; ඒ වෙනුවට සිදු වන්නේ සිත ආශ්‍රය කරගෙන පැවතීමයි. තවද, චෛතසික 52කම එකවර නොපවතී. ඒවා අතරින් සමහරක් (චෛතසික 7ක් පමණ. සබ්බ ච්ත්ත සාධාරණ චෛතසික යන නමින් මෙම 7 හැඳින් වේ.) සෑම සිතකම පවතී. අනෙක් ඒවා ඒ ඒ සිත අරමුණු කරගන්නා දේ අනුව පවතී. පව්කාර චෛතසික හා පිංකාර චෛතසික එකවර හටගන්නේ නැත.


මෙම චෛතසික අතරින් “චේතනා” යන වැදගත් චෛතසිකයක් ඇත. ‍සත්වයා පව් පිං සිදු කර කර්මය සකස් කර ගන්නේ මෙම චේනතා චෛතසිකය නිසාය (සිත නිසා නොවේ.). එමනිසයි බුදු රදුන් දේශනා කළේ “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” කියා. ඔබට යම් මොහොතක කුසලයක්/පිනක් කිරීමට චේනතාවක් හටගත්තේ නම්, එය විසින් අර අනෙක් චෛතසිකයන්ගෙන් කුසල කර්මයක් සිදු කරන චෛතසික එක් රැස් කර දෙයි. එලෙසම, අකුසල චේතනාවක් ඇති විටක, එය විසින් අකුසල චෛතසික සිතට බද්ධ කරයි. චේතනා චෛතසිකය හරියට බසයක රියදුරු වැනිය. සංගීත සංධ්වනියක සංගීතය මෙහෙයවන්නා බදුය.


Buddhism

Comments

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

ඉලෙක්ට්‍රෝනික්ස් II (Electronics) - 6

විශේෂ ප්‍රතිරෝධක ඉහත සාකච්ඡා කළ නියත හා විචල්‍ය ප්‍රතිරෝධක හැරුණහම , තවත් සුවිශේෂී ජනප්‍රිය ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ද තිබෙනවා . මේවා ආලෝකය , උෂ්ණත්වය වැනි විවිධ භෞතික රාශින්ට සංවේදී ප්‍රතිරෝධකයි . මේ අතරින් සුලභම වර්ගය තමයි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක වර්ගය . මේවා ප්‍රකාශ - ප්‍රතිරෝධක (photoresistor) හෝ “ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක” (Light Dependent Resistor – LDR) ලෙස හැඳින් වෙනවා . එහි සාමාන්‍ය භාහිර හැඩය පහත දැක්වේ .   මෙම ප්‍රතිරෝධයේ හිස මත තිබෙන්නේ ආලෝකයට ඉතා සංවේදී කැඩ්මියම් සල්ෆයිඩ් (CdS), ලෙඩ් සල්ෆයිඩ් (PbS), කැඩ්මියම් සෙලිනයිඩ් (CdSe) ආදී යම් රසායනික ද්‍රව්‍යයකි . එම ද්‍රව්‍යයන්වල ඉතා ඉහල ( බොහෝවිට 500k ohm වැනි ) ප්‍රතිරෝධි අගයන් තිබේ . එහෙත් ඒ මතට ආලෝකය වැටෙන විට , ප්‍රතිරෝධි අගය සීඝ්‍රයෙන් පහළ යයි ( බොහෝවිට ඕම් 500 වැනි ). මෙහිදී කිව යුතු වැදගත් කරුණ නම් , ඉහත සඳහන් කළ ( හා නොකළ ) ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය එකම ආකාරයෙන් ආලෝකයට සංවේදී නොවේ . සමහර ඒවා “ආලෝකයේ රතු පැත්තට” ( ඒ කියන්නේ දිගු තරංග ආයාම සහිත ආලෝකයට ) සංවේදිතාව දක්වන අතර , තවත් සමහර ඒවා “ආලෝකයේ නිල් / ද...

පහසුවෙන් ඉංග්‍රිසි කඩිනමින් ඩවුන්ලෝඩ් කර ගැනීම

මෙම බ්ලොග් එකෙහි කොටස් වශයෙන් පළකළ ඉංග්‍රීසි පාඩම් මාලාව තනි පොතක් ලෙස ඊ-බුක් එකක් ලෙස පහත ලින්ක් එකෙන් ඔබට ඩවුන්ලෝඩ් කරගත හැකිය. පහසුවෙන් ඉංග්‍රිසි කඩිනමින් PDF