Skip to main content

බුදු සමිඳු දැකීම (සිතට පව් පිං කළ නොහැකිය. ඇයි?)

බුදු සමිඳු දැකීම (සිතට පව් පිං කළ නොහැකිය. ඇයි?)

සිත, විඤ්ඥාණය, මනස ආදී වචන වලින් හැඳින්වෙන්නේ එකම දෙය වේ. විද්‍යාව තුළද “සිත” (mind) ගැන විග්‍රහයක් ඇත. එහෙත් විද්‍යාව තුළ සිත ගැන තිබෙන විග්‍රහය බුදු දහම තුළ සිත විග්‍රහ කරන ආකාරයට වඩා ඉඳුරාම වෙනස්ය. මා මෙම ලිපියෙන් සාකච්ඡා කරන්නේ බුදු දහම තුළ තිබෙන සිත පිළිබඳ විග්‍රහය පමණි.

සිත යනු කුමක්ද? “අරමුණු (ආරම්මණයන්) දැන ගැනීමම” සිත වේ. වසර දහස් ගණනක් පුරා අද දක්වාම මිනිසාව අන්ද මන්ද කළ ඒ ගැඹුරු සිත ගැන බුදු දහමෙන් කියන්නේ එයයි. එලෙස වචන තුනකින් සිත විග්‍රහ කර ඇත. මෙය තවදුරටත් පැහැදිලි කර ගමු. මෙහි අරමුණ යනු එදිනෙදා ව්‍යවහාරයේදී තිබෙන තේරුම නොවේ. එදිනෙදා ජීවිතයේදී අරමුණක් (objective) යනු ඉදිරියේදී කරන්නට යන නිශ්චිත දෙයක් යන්නයි.

ඔබට ඇස, කන, නාසය, දිව, ශරීරිය යන ඉන්ද්‍රියන් පහක් ඇත. ලෝකය පිළිබඳ සියලු දේවල් ජීවියකු දැන ගන්නේ (සඤ්ජානනය) මෙම ඉන්ද්‍රියන් හරහාය. දැන් මොහොතක් කල්පනා කර බලන්න ඔබේ ඇස් ඉදිරිපිට ‍පෙනන දේවල් ගැන. ඔබට නොයෙක් දේවල් එකවර පෙනේ. එහෙත් එක වරකට ඔබේ අවධානය යොමු වන්නේ මේ සියලු දේ අතරින් නිශ්චිත දේකටය. උදාහරණයක් ලෙස, ඔබ දැන් මෙම වාඛ්‍ය කියවමින් සිටින නිසා, ඹබට නොයෙක් දේවල් පෙනුනත් ඔබේ අවධානය නිශ්චිතව යොමු වී ඇත්තේ මෙම අකුරු (වාඛ්‍ය) වලටය. අරමුණ යනු එයයි. තවත් උදාහරණයක් ගමු. ඔබට වටපිටාවෙන් නොයෙක් ශබ්ද එකවර ඇසේ. එහෙත් වරකට ඔබේ අවධානය යොමු වන්නේ මේ අතරින් එක් ශබ්දයකට පමණි. මිනිසුන් රාශියක් සිටින තැනක ඔබ තවත් කෙනෙකු සමග කතා කරමින් සිටින අවස්ථාවක් සලකා බලන්න. ඔබට විවිධ මිනිසුන් රාශියකගේ කතා බහ ඇසෙනු ඇත. එහෙත්, ඔබගේ අවධානය යොමු කර ඇත්තේ ඹබේ මිතුරාගේ කට හඩටයි. අරමුණ යනු එයයි. එක්තරා විදියකට බැලුවොත් මෙය ඉන්ද්‍රියන් විසින් සිදු කරන “ෆිල්ටර්” කිරීමකි (අවශ්‍ය දේ පමණක් ඇතුලට ගෙන ඉතිරි ඒවා නොසලකා හැරීම).

ඉහත ඇස හා කන යන ඉඳුරන් දෙක සේම අනෙක් ඉන්ද්‍රියන්ගෙන්ද එලෙස අරමුණු ගැනීම සිදු වේ. ජීවිතය පවතින තාක් සත්වයකු මෙම අරමුණු ගැනීම කරමින් සිටී. එක අරමුණක සිත පවත්වාගැනීම හරිම අපහසුය. සමාධි භාවනාවෙන් කිරීමට උත්සහ කරන්නේ එයයි (එනම්, එක අරමුණක වැඩි කාලයක් සිත පවත්වා ගැනීම). ඇස කන ආදී ඉහත ඉඳුරන් නිදාගත් අවස්ථාවක හරි හැටි වැඩ කරන්නේ නැත. ඒ කියන්නේ, නිදාගත් විට සිත සමාධිගත වීමක් සිදු වන ‍බව හෝ නිදාගත් අවස්ථාවක අරමුණ ගැනීමක් ‍සිදු නොවන බවක්ද? එය එසේ නම්, නිදා සිටින විට, සිත අක්‍රිය වී පවතිනවා යැයි නිගමනය කිරීමට සිදු වේ. සිත අක්‍රිය වෙනවා යනුම බුදු දහම අනුව එක්කෝ නිරෝධ සමාපත්තියට පත් වීමක් හෝ නිවන් දැක පරිනිර්වාණය වීමකි. ඒ අනුව නිදාගත් විටද, සිත ක්‍රියා කළ යුතුය යන මතයට අපට පැමිණීමට සිදු වේ. එහෙත් ප්‍රශ්නය වන්නේ ඉහත ඉඳුරන් පහම අක්‍රිය තත්වයේ පවතිනවා නම්, කෙලෙසද සිත වැඩ කරන්නේ කියාය. ඊට පිළිතුරක් ඇත.

එනම්, ඉහත ඉඳුරන් පහට අමතරම තවත් වැදගත් ඉඳුරක් ඇත. එය “මනස” යන නමින් හඳුන්වනවා. ඔව්, මනස යන වචනය දෙයාකාරයකින් මෙහිදී භාවිතා වී ඇති බව පෙනේ (මෙතන පමණක් නොව, බුදු දහම තුළ බොහෝ අවස්ථාවල එකම වචනය සියුම් වෙනස්කම් සහිතව වෙනස් තේරුම් ඇතිව භාවිතා වී ඇත.) අනෙක් ඉඳුරන් පහද මෙම මනස නමැති ඉන්ද්‍රිය විසින් වෙළාගෙන පවතිනවා. මට මෙය පැහැදිලි කිරීමට කදිම උපමාවක් මතක් වෙනවා. එනම්, විශාල මීදුමකින් වෙළාගත් කඳු පන්තියක් ගැන සිතන්න. මනස යන ඉන්ද්‍රිය මීදුමක් සේ කඳු නමැති අනෙක් ඉන්ද්‍රියන් හාත්පස වසාගෙන වෙළා ගෙන පවතිනවා. ඉඳ හිට මීදුම තුනී වී එක් එක කඳු මුදුන දර්ශනය වන්නාක් සේ, නිමේෂයක් පාසා මනස නමැති ඉන්ද්‍රිය තුනී වී (අප්‍රකට වී හෙවත් පසකට වී) ඇස හෝ කන හෝ වෙනත් ඉන්ද්‍රියක් නමැති කන්දක් මතු වේ (ප්‍රකට වේ). සංසාරය පුරාවටම මෙම ඉන්ද්‍රියන් හය (ෂඩේන්ද්‍රිය) ඉහත ආකාරයට ක්‍රියා කරමින් පවතී. නින්දේදී මනස නමැති ඉන්ද්‍රිය ක්‍රියාකාරිව පවතී.

දැන් ප්‍රශ්නය වන්නේ සිතට කළ හැක්කේ කුමක්ද කියාය. ඇත්තටම සිතට කළ හැක්කේ එකම එක දෙයකි. එනම්, අරමුණක බැඳීමයි (එනම්, අරමුණු අල්ලා ගැනීම හෝ අරමුණ දැන ගැනීම). ඊට පව් පිං කළ නොහැකිය. සත්වයකුට ඇත්තේද එකම එක සිතකි. එය දිග නූලක් සේ දිවෙන තනි එකක් නොවේ. එය මොහොතක් පාසා නැති වී යන (භංග), ඒ නැති වූ ක්ෂණයෙන්ම නැවත අලුතින් උපදින (උත්පාද), ඉපදුනාට පසු නිමේෂයක් පවතින (ථිති), ඉන්පසු නැවැත විනාශ වෙන ආදි වශයෙන් සංසාරය පුරාවටම එම සිද්ධි දාමය අඛණ්ඩව චක්‍රයක් සේ සිදුවන පබලු වැලක් සේ පවතින දෙයකි. මෙම ක්‍රියාවලිය උත්පාද-තිති-භංග-උත්පාද-තිති-භංග-උත්පාද... ආදී ලෙස පවතින ච්ත්ත සන්තානය යන වචනයෙන් හැඳින්වේ. (සිත, පුනර්භවය, කර්මය, ලෝක ගැන වෙනම ලිපියකින් තවත් විස්තර කිරීමට බලාපොරොත්තු වෙමි.)

බොහෝ දෙනා සිතා සිටින්නේ පව් පිං සිදු කරන්නේ සිත බවයි. එහෙත් ඉහත විග්‍රහය අනුව සිතට එවැනි බලයක් නැති බව පෙනේ. එවිතරක් නොවේ. බොහෝ දෙනා සිතා සිටින බොහෝ දේවල් සිතට අදාල දේවල්ද නොවේ. ඒ සියලු දේ කරන තවත් පරමාර්ථ ධර්මයක් සිත ආශ්‍රය කරගෙන පවතී. චෛතසික යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඒවාය. අභාග්‍යකට මෙන් චෛතසික ගැන බෞද්ධයාට දැනුමක් නොමැත. නැතිනම්, චෛතසික යනු සිතට කියන තවත් නමක් සේ ඔවුන් විශ්වාස කරයි. එහෙත් එය එසේ නොවේ.

සත්වයකු සතුව කැඩි කැඩි එක දිගට පවතින (ඉහත විස්තර කළ පරිදි) එක සිතක් පමණක් තිබුණද, චෛතසික 52ක් පවතී. මෙම 52ට වෙන වෙනම නම් ලබා දී ඇති අතර, ඒවා තනි තනිව යම් නිශ්චිත කාර්යන් සිදු කරයි. චෛතසික හැමවිටම පවතින්නේ සිත ආශ්‍රය කරගෙනය. සිතක් භංග (නැති) ‍වෙන කොට ඒ සමගම ‍චෛතසිකද භංග වෙනවා. නිමේෂයකින් නැවත සිත හට ගන්නා විට, චෛතසිකද ඒ සමගම හට ගන්නවා. සිත පවතින කාලය තුළ චෛතසිකද පවතිනවා. ඒ අනුව පෙනෙන්නේ සිත හා චෛතසික පෙර පසු නොවී සිත සමගම උත්පාද-තිති-භංග වන බවයි. මා එම 52 කම විස්තර කරන්නට යන්නේ නැත. ඵස්ස, වේදනා, සංඥා, චේතනා, ශ්‍රද්ධා, ථීනය, ප්‍රීති, ඒකග්‍රතා ආදී ලෙස ඒවා නම් කර ඇත. අප ශ්‍රද්ධාව යනුවෙන් හඳුන්වනු ලබන “මානසික තත්තවය” ඇත්තටම එක් චෛතසිකයක්ය. (සිතට පවි පිං කළ නොහැකිය යන්න පැහැදිලි කිරීම මේ ලිපියේ අරමුණ නිසා, චෛතසික ගැන පූර්ණ විග්‍රහයකි මා මෙහිදී කරන්නේ නැත.)

මෙම චෛතසික අතරින්, සමහරකට “පව්” යන ගුණය ඇත. එනම්, එම චෛතසික සමග සිත වැඩ කළ විට, කර්මය සකස් වන්නේ අනිසි භයානක ප්‍රතිපලයක් ලබා දෙන ආකාරයෙනි. අප පව් කියා කියන්නේ මෙවැනි දේටයි. එලෙසම්, සමහරක් චෛතසිකයන්ට “පිං” යන ගුණය ඇත. තවත් සමහරකට පව් හෝ පිං යන ගුණය ඇති කළ නොහැකිය.

චෛතසික හැමවිටම සිත සමගව බද්ධ වී පවතින බව ඉහතදී පැවසුවා. එමනිසා, චෛතසික “සිත තුළ හටගනී” යනුවෙන් අප ‍කීමට පුරුදුව සිටිනවා. ඇත්තටම සිත තුළ හට ගන්නො නැත; ඒ වෙනුවට සිදු වන්නේ සිත ආශ්‍රය කරගෙන පැවතීමයි. තවද, චෛතසික 52කම එකවර නොපවතී. ඒවා අතරින් සමහරක් (චෛතසික 7ක් පමණ. සබ්බ ච්ත්ත සාධාරණ චෛතසික යන නමින් මෙම 7 හැඳින් වේ.) සෑම සිතකම පවතී. අනෙක් ඒවා ඒ ඒ සිත අරමුණු කරගන්නා දේ අනුව පවතී. පව්කාර චෛතසික හා පිංකාර චෛතසික එකවර හටගන්නේ නැත.


මෙම චෛතසික අතරින් “චේතනා” යන වැදගත් චෛතසිකයක් ඇත. ‍සත්වයා පව් පිං සිදු කර කර්මය සකස් කර ගන්නේ මෙම චේනතා චෛතසිකය නිසාය (සිත නිසා නොවේ.). එමනිසයි බුදු රදුන් දේශනා කළේ “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” කියා. ඔබට යම් මොහොතක කුසලයක්/පිනක් කිරීමට චේනතාවක් හටගත්තේ නම්, එය විසින් අර අනෙක් චෛතසිකයන්ගෙන් කුසල කර්මයක් සිදු කරන චෛතසික එක් රැස් කර දෙයි. එලෙසම, අකුසල චේතනාවක් ඇති විටක, එය විසින් අකුසල චෛතසික සිතට බද්ධ කරයි. චේතනා චෛතසිකය හරියට බසයක රියදුරු වැනිය. සංගීත සංධ්වනියක සංගීතය මෙහෙයවන්නා බදුය.


Buddhism

Comments

Popular posts from this blog

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he ...

මෝහනය / mohanaya (hypnosis) - 1

මෝහනය (mohanaya - Hypnosis) ගැන සිංහල බසින් ලියවී නොමැති අතර, එය ගැන උනන්දුවක් දක්වන අයට පහසුවෙනුත් නිවැරදිවත් ඉගෙන එය වගකීම් සහගතව භාවිතා කිරීමට හැකිවන පරිදි එම විෂය පිළිබඳ ඉතා සවිස්තරාත්මකව මෙම පොතෙන් ඉදිරිපත් කිරීම අරමුණ වේ. එම පොතේ කරුණු කුඩා කොටස් වශයෙන් මෙම බ්ලොග් එකෙහි පළ කිරීම සිදු වේ. හැඳින්වීම දියුණු යැයි සම්මත බටහිර සමාජයෙත් “ මෝහනය ” ගැන තවමත් උගත් නූගත් බොහෝ දෙනා අතර පවතින්නේද වැරදි අවබෝධයක් වන අතර, එම තත්වය ශ්‍රී ලංකාව තුළ ඊටත් වඩා බරපතල ලෙස දක්නට ලැබෙනවා. මේ සෑම සමාජයකම මෝහනය ගැන යම් හෝ දැනුමක් ඔවුන් බොහෝ විට ලබා ගෙන ඇත්තේ සමහර චිත්‍රපට හා ටෙලිනාට්‍යවල ඇති මෝහනය ඇතුළත් දර්ශනවලිනි. අවාසනාවකට චිත්‍රපට හා ටෙලිනාට්‍යවලින් පෙන්වන්නේ කිසිසේත් මෝහනයෙන් කළ නොහැකි එහෙත් එම කලාත්මක නිර්මාණයේ රස උත්පාදනය සඳහාම ඇති තවත් ප්‍රබන්ධයන් පමණි. ඔබම සිතා බලන්න මෝහනය පිළිබඳ ඔබ යම් දැනුමක් ලබා ඇතිනම්, ඊට කොතරම් චිත්‍රපට දර්ශන ආදිය බලපා ඇතිද කියා. සෑම ක්ෂේත්‍රයකම මෙන්ම මෝහනයද නිවැරදිව අවබෝධ කර හා නොකර එහි නියැළෙන අය සිටී. කෙනෙකු මෝහනය කිරීමට පැයක් වැනි කුඩා කාලයකින් වුවද අවශ්‍ය නම්...