Skip to main content

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 2

Word Formation

භාෂාවක වචන ලක්ෂ ගණනක් පැවතියත් බොහෝ විට එම වචනවලින් වැඩි හරියක් සෑදී තිබෙන්නේ ඊට වඩා සරළ කුඩා වචනවලිනි.  මෙය අපට වචන මතක තබා ගැනීමට ඉතා ප්‍රයෝජනවත් දෙයකි.  එවිට, ඔබට වෙන වෙනම වචන දහස් ගණනක් කට පාඩම් කරනවාට වඩා මූලික වචන යම් ප්‍රමාණයක් ඉගෙන, ඒවා ආශ්‍රයෙන් තවත් වචන ක්ෂණයකින් ඉගෙන ගත හැකියි.

එලෙස වචන සෑදෙන ක්‍රමය මා කියා දෙන්නම් සැකෙවින්.  මෙහි සිදුවන්නේ තනි තනි අකුරු නොව, සර්ග නමින් හැඳින්වෙන “වචන කොටස්” කිහිපයක් එකතු කිරීමයි.  යම් මූලික වචනයකට හෙවත් මූලයකට (root) ඉදිරියෙන් හා/හෝ පසුපසින් මෙම වචන කොටස් එකතු කෙරෙනවා.

ඉදිරියෙන් එකතු කෙරෙන සර්ග උපසර්ග (prefix) කියා හැඳින්වෙනවා.  එවැනි උපසර්ග යම් ප්‍රමාණයක් පවතින අතර, ඔබ කළ යුත්තේ අඩුම තරමින් බහුලවම යෙදෙන උපසර්ග කට පාඩම් කිරීමයි.  මා එවැනි ඉංග්‍රිසි උපසර්ග කිහිපයක් ඒවායේ අර්ථ හා උදාහරණ කිහිපයක් සමඟ පහත දක්වනවා.  සමහරක්විට උපසර්ගයට පසු hyphen (-) එකක් යෙදේ.  මෙම උපසර්ග ඉංග්‍රිසි ඒවා බැවින්, එසේ උපසර්ග යොදා සකස් කරන හැම වචනයක් සඳහාම තනි සිංහල පද නොතිබීමට ඉඩ තිබේ.  ඊට කරන්න දෙයක් නැහැ.  එහෙත් ඒවායේ අර්ථ ඔබට සිතාගත හැකියි.  එයයි වැදගත්.

pre- පෙර
preschool (පෙරපාසල), preset (පෙරසකසනවා), precede, predate

post- පසු
postwar (පශ්චාත් යුධ), postdate (පසුදිනයක් යොදනවා), postnatal

anti- විරුද්ධ
anti
-missile (මිසයිල නාශක), antisocial (සමාජ විරෝධි), antigen

re- නැවත
retake (නැවත ගන්නවා), resell (නැවත විකුණනවා), resit, revisit

inter- අන්තර්
international (අන්තර්ජාතික), interschool (අන්තර් පාසල්), internet

intra- අන්තඃ
intra
molecular (අනතඃඅණුක), intravenous

mis- වැරදි
mistake (වැරදියට ගන්නවා), mislead (වැරදියට පාර පෙන්වනවා)

un-/dis- නො/අ (විරුද්ධාර්ථය)
unclear (අපැහැදිලි), uneasy (අපහසු), dissatisfy (අතෘප්තිමත් වෙනවා)

in-/ir-/il-/im- විරුද්ධාර්ථය
in
tolerable (විඳිය නොහැකි), irregular (අක්‍රමවත්), illegal, (නීතිවිරෝධි), immoral (සදාචාර විරෝධි)

(in යන්න regular වැනි r අකුරකින් පටන් ගන්නා වචනයක් ඉදිරියට දැමූ විට ir ලෙස වෙනස් වේ.  එලෙසම, l අකුරකින් පටන් ගන්නා වචන ඉදිරියෙන් il ලෙසද, m/p යන අකුරුවලින් පටන්ගන්නා වචන ඉදිරියෙන් im ලෙසද වෙනස් වේ.)

co- සම
co-chairman (සමසභාපති), co-operate (සහයෝගයෙන් වැඩකරනවා)

pro- වෙනුවෙන්/ඉදිරියට
pro-war (යුද්ධයට කැමති), progress, progression, project

mid- මැද
mid
night (මධ්‍යම රාත්‍රිය), midterm, midline, midway

auto- ස්වයං
auto
suggestion (ස්වයං යෝජනාව), autostart, automation

self- ස්ව (තමන්ගේම)
self-care (ස්වයං පරිස්සම), self-study, self-addressed, self-adhesive

trans- හරහා/එකකින් තව එකකට
transform (එකකින් තව එකකට පත් වෙනවා), translate, transgender

uni-/mono- තනි/ඒක
unilateral (ඒක පාර්ශ්වික), monotheism (ඒක දේවවාදය), union

bi- ද්වි
bilateral (ද්වි පාර්ශ්වික), bicycle, bisect, bifocal, bicameral, biped

tri- ත්‍රි
tri
angle (ත්‍රිකෝණය), tripod, tricycle, trivet, triplet, trilateral, triped

quadr(i)- චතුර්
quadrangle (චතුරස්‍රය), quadruple, quadruped

poly-/multi- බහු
polytheism (බහු දේවවාදය), multilateral (බහු පාර්ශ්වීය), multipart

sub- පහත්/අඩු
sub
standard (සම්මතයට පහත්), subtotal, subcontract, subcontractor

super- ඉහළ/වැඩි
super
standard (සම්මතයට ඉහළ), superman, supermarket

neo- අළුත්
neo
natal (උපන් අළුත)

micro- ක්ෂුද
microorganism (ක්ෂුද්‍ර ජීවියා), microworld, microscope, microscopic

macro - විශාල
macroorganism (විශාල ජීවියා), macroworld, macroscopic

non- නොමැති
non
sense (කිසි තේරුමක් නැති දේ), non-fiction, non-flammable

hemi-/semi-/demi- අර්ධ
hemisphere (අර්‍ධගෝලය), semicircle (අර්ධ වෘත්තය), demigod (අර්ධ දෙවියා), semifinal, semi-transparent

hyper- අති
hyperactivity (අධික ක්‍රියාකාරිත්වය), hyperactive, hypertension

hypo- මන්ද/අඩු
hypo-activity (මන්ද ක්‍රියාකාරිත්වය), hypo-active, hypotension

mega- විශාල
mega-construction (විශාල ඉදිකිරීම), mega-teledrama

homo- සමාන
homo
geneous (සමවර්ගික), homosex, homosexual

hetero- අසමාන
heterogeneous (විසමවර්ගික), heterosex, heterosexual

ex- හිටපු/ඉවතට
ex-wife (හිටපු බිරිඳ), exclude (ඉවත් කරනවා), excrete, exhale

mini- කුඩා
miniskirt (කුඩා/කොට සාය), minimal, minimum

ultra- වැඩි/අති/පාර
ultra
sound (අතිධ්වනිය), ultraviolet, ultraspeed

infra- අඩු/අධෝ
infra
red (අධෝරක්ත), infrastructure, infrasound

tele- දුරස්ථ
telescope (දූරදක්නය), telephone, television, teledrama

para- ඔබ්බට
paraphysical (පාරභෞතික), parapsychology

එලෙසම, යම් පදයකට පසුපසින් දමනු ලබන සර්ග ප්‍රත්‍ය (suffix) ලෙස හැඳින්වේ.  උපසර්ග මෙන් නොව, ප්‍රත්‍යවලට එක එ‍ල්ලේ තේරුම් සැපයීම අපහසුය.  ඊට හේතුව වන්නේ ප්‍රත්‍යවලින් සිදුවන්නේ වචනයක ස්වභාවය (එනම්, නාමපදයක් ක්‍රියාපදයක් කිරීම, නාම විශේෂණයක් නාමපදයක් කිරීම වැනි) වෙනස් කිරීමයි.  සිංහල භාෂාවේදීද තත්වය එසේමය.  උදා:

ප්‍රදේශ + ඉක = ප්‍රාදේශික

ඉහත “ප්‍රදේශ” යනු නාමයක් වන අතර “ඉක” යන ප්‍රත්‍යය යෙදීමෙන් එය නාම විශේෂණයක් බවට පත්විය.  “ඉක” යන ප්‍රත්‍යයට එක එල්ලේ අර්ථයක් දිය නොහැකි වුවත්, එහි “සහිත/ගැන” යන තේරුම ඇති බව කවුරුත් දන්නවා.

එවැනි ඉංග්‍රිසි ප්‍රත්‍ය කිහිපයක්ද ඒවායින් මූලිකව කෙරෙන කාර්යද සමඟ පහත දැක්වේ.  මේවාද මතක තබා ගන්න.  උපසර්ග මෙන් නොව, ප්‍රත්‍ය යෙදීමේදී බොහෝ අවස්ථාවල root එකේ අග අකුරුද සුදුසු පරිදි වෙනස් කිරීමකට ලක් වෙනවා (මූලය y වලින් අවසන් වේ නම්, එය i බවට පත්වීම, ස්වරයකින් ඇරඹෙන ප්‍රත්‍යයක් ස්වරයකින් අවසන් වන මූලයකට යෙදෙන විට එම මූලයේ අවසන් ස්වරය ලොප් වීම, ආදිය).  ‍එම වෙනස්කම්ද ඔබට පහසුවෙන් වැටහේවි එවැනි පද හොඳින් අධ්‍යනය කළොත්.

තවද, ඔබ මෙසේ වචන සෑදීම ගැන උනන්දුවෙන් අධ්‍යනය කරන විට රටා රාශියක් දැක ගත හැකි වේවි.  උදාහරණයක් ලෙස, punish වැනි ish ලෙස අවසන් වන ක්‍රියාවන් එහිම නාම බවට පත්කිරීමට -ment හෝ -ion යන ප්‍රත්‍ය දෙක බහුලවම භාවිතා කෙරේ.  (abolish → abolition, demolish → demolition, etc)  -ion යන ප්‍රත්‍යය එසේ යෙදෙන විට, එම ish හි sh යන කොටස t බවටද පත් වෙන බවත් ඔබට දක්නට ලැබේවි.  (sh → t වීමට හේතුව ඉතා සරළය.  tion යන්න ශබ්ද කෙරෙන්නේ “ෂන්” ලෙසයි.  -ion යන්න කැමැත්තක් දක්වන්නේ t හෝ s අකුරක් සමඟ සම්බන්ධ වී “ෂන්” ලෙස ශබ්ද වීමටයි.)  මතක තබා ගන්න මෙසේ වචන සෑදෙන විට ඒවායේ සමහරක් අකුරු වෙනස් ‍වන්නේ උච්ඡාරණ රීති (එනම්, පහසුවෙන් උච්ඡාරණය කිරීමට) අනුව මිසක්, සංකීර්ණ ව්‍යාකරණ රීති අනුව නොවන බව.

-ment - ක්‍රියාවක් එහිම නාමපදය බවට පත් කරයි (verb → noun)
punish (දඬුවම් කරනවා) → punishment (දඬුවම්කිරීම හෙවත් දඬුවම), astonish (පුදුම වෙනවා) → astonishment (පුදුමය)

-ness – adj → noun.  “කම/බව” යන තේරුම ඇත.
lazy (කම්මැලි) → laziness (කම්මැලිකම), easiness, numbness

-ize/-ise – noun → verb.  “ඒ දේ කරනවා” යන තේරුම.
hospital (රෝහල) → hospitalize (රෝහල්ගත කරනවා), materialise

-ion – verb → noun.  එහිම නාමය බවට.
automate (ස්වයංක්‍රිය කරනවා) → automation (ස්වයංක්‍රියකිරීම)

-ive – verb → adj.  “ගැන/සහිත”
educate (උගන්වනවා) → educative (අධ්‍යාපනික), provocative, active

-ity – adj → noun.  “බව/කම”
educative → educativity (අධ්‍යාපනිකබව), activity, provacativity

-ic – verb → adj.  “ගැන/සහිත”
pacify (සමාදාන කරනවා) → pacific (සමාදාන කරන), scientific, logic

-al – noun → adj.  “ගැන/සහිත”
education (අධ්‍යාපනය) → educational (අධ්‍යාපනික), logical, political

-ism – noun/adj → noun.  “දර්ශනය/වාදය”
national (ජාතික) → nationalism (ජාතිවාදය), Buddhism, Catholism

-ist – noun/verb/adj → noun.  “වාදියා”
national → nationalist (ජාතිවාදියා), Buddhist, educationalist

-less – noun → adj.  “රහිත”
job (රැකියාව) → jobless (රැකියා විරහිත), restless, lifeless

-ed – verb → verb/adj.  “ඒ දේ කරපු” යන තේරුම මෙන්ම simple tense හි අතීත ක්‍රියා රූපය සෑදීමට යෙදේ.
learn (ඉගෙන ගන්නවා) → learned (උගත්/ඉගෙන ගත්තා)

-ing – verb → verb/adj.  “ඒ දේ කරන” යන තේරුම මෙන්ම continuous/perfect continuous tense සෑදීමට යෙදේ.
learn → learning (ඉගෙන ගන්නා/ ඉගෙන ගනිමින්)

-ish – noun → adj.  “වැනි/සහිත”
fool (මෝඩයා) → foolish (මෝඩ), childish, girlish, boyish

-ly – adj → adv.  නාම විශේෂණයක් ක්‍රියා විශේෂණ කරයි.
quick (ඉක්මන්) → quickly (ඉක්මනින්)

-ful – noun → adj.  “සමන්විත”
hand (අත) → handful (අත පිරුණු (අතින් ගත හැකි පමණ)), playful

-able/-ible – verb → adj.  “එසේ කිරීමට හැකි”         
eat (කනවා) → eatable (කත හැකි), readable, edible, neglible

-er – verb → noun or adj/adv → adj/adv.  “එය කරන කෙනා” යන තේරුම මෙන්ම විශේෂණයක් වඩා යන අරුත ගෙන දීමට යෙදේ.
run (දුවනවා) → runner (දුවන්නා), fast → faster, swimmer, hitter

-est – adj/adv → adj/adv.  විශේෂණයක වඩාත්ම යන අරුත දෙයි.
fast → fastest

-s – noun → noun or verb → verb.  ඒකවචන නාමයක් බහුවචන කිරීම මෙන්ම, simple tense හි ඒකවචන ක්‍රියා රූපය සෑදීමට.
pen → pens       eat → eats

-ent/-ant – verb → adj/noun.  “ඒ දේ කරන්නා” හා “එය කරන” යන තේරුම් ඇත.
enter ඇතුළු වෙනවා) → entrant (ඇතුළුවන, ඇතුළු වන්නා), contestant

-ance/-ence – verb → noun.  “එය කිරීම”
enter→entrance (ඇතුළුවීම), dependence, independence, negligence

-ship – noun → noun.  “කම/බව”
friend (යාළුවා) → friendship (යාළුකම), leadership, scholarship

-ous – verb/noun → adj.  “සහිත”
joy (සතුට) → joyous (සතුටු පිරි), marvel (පුදුම වෙනවා) → marvelous (පුදුම වන/සහගත), pious, perilous, famous, zealous

-or – verb → noun.  “එය කරන කෙනා”
indicate (දක්වනවා) → indicator (දර්ශකය), radiator, director

-ess – noun → noun.  පුරුෂ නාමයක් ස්ත්‍රී ලිංග කරයි.
lion (සිංහයා) → lioness (සිංහ ධේනුව), tigress, directress, actress

දැන් ඔබ දන්නා වචනවලට ඉහත සුදුසු උපසර්ග හා ප්‍රත්‍ය යෙදිය හැකිය.  එවිට ලැබෙන්නේ අළුත් වචනයකි.  සමහර වචන සඳහා එසේ සර්ග යොදා අළුතින්ම වචන 30ක් පමණ සෑදිය හැකිය.  උදා:

educate, education, educational, educative, educationist, educationalist, educativity, educativeness, educated, educatedness, miseducate, miseducative, miseducation, miseducational, miseducativeness, uneducated, non-educational, non-educative, pro-education, pro-educational, pro-educationist, pro-educationalist, anti-education, anti-educational, educator, educatable, miseducatable, …

තවත් සමහරක් වචන සමඟ සෑදිය හැක්කේ වචන දෙක තුනක් පමණි.  එසේ හෙයින්, පොදුවේ සැලකුවොත් යම් වචනයකින් අළුත් වචන පහක් හයක් පමණ සෑදිය හැකි යැයි උපකල්පනය කළ හැකිය.
එහෙත් එක්වර ඔබ වචන සාදන්නට යන්න එපා.  ඔබට අවශ්‍ය නම් සර්ග යොදා අළුත් වචන සෑදිය හැකියි.  ඊට විරුද්ධ වීමට කිසි කෙනෙකුට බැරිය.  එහෙත්, එයද යම් දක්ෂකමකි.  ඉංග්‍රිසි‍යේ වචන දැනටත් ලක්ෂ ගණනක් ඇති හෙයින් ඔබට බොහෝ විට එ‍ලෙස අළුතින් වචන සෑදීමට අවශ්‍යතාවක්ද නැහැ නේද?  එනම්, ඔබ කළ යුත්තේ කුමක්ද?  පහසු දෙයකි.  ඔබට අළුත් වචන හමු වූ විට බලන්න ඉහත දැක්වූ සර්ග ඒවායේ ඇතිද කියා.  බොහෝ අවස්ථාවලදී එවැනි කොටස් ඇත.  ඒ අනුව ඔබට එම අලුත් (මෙතෙක් පාඩම් නොකරපු) වචනයේ තේරුම සිතාගත හැකියි.  මේ අයුරින් දැන් ඔබට අළුතින් හමුවන බොහෝ වචන ඇත්තටම අළුත් කියා හැ‍ඟෙන එකක් නැහැ.

ඇත්තටම, මූලය බොහෝ අවස්ථාවලදී ඉංග්‍රීසිද නොවේ.  ලතින් භාෂාවෙන් උකහා ගත් මූල බොහෝ විට යෙදේ.  ඉන් අදහස් කෙරෙන්නේ ඔබ ලතින් බසද ඉගෙන ගත යුතු බව නොවේ.  මෙහි ඇති පහසුව මෙයයි.  මූලය ඉංග්‍රීසි හෝ වේවා ලතින් හෝ වේවා ඔබ එක වචනයක් කට පාඩම් කළ විට, ඉන් තවත් වචන රාශියක් සෑදිය හැකිය.

වෛද්‍ය වද්‍යාව, රසායන විද්‍යාව ආදී විද්‍යාවන් හා ශාස්ත්‍රයන්හි ඇති අති මහත් බහුතර පාරිභාෂික වචන ඇත්තෙන්ම සාදා තිබෙන්නේ මෙලෙස සර්ග යෙදීමෙනි.  උදාහරණ ලෙස, hypoglycemia යනු රුධිරයේ සීනි අඩුවීමේ රෝගයට කියන වෛද්‍ය විද්‍යාත්මක වචනය වන අතර, hyperglycemia යනු රුධිරයේ සීනි වැඩි වූ විට ඇති වන ලෙඩය වේ.  සමහර සර්ග ඒ ඒ විෂයන්ටම ආවේණික වේ.  mono, bi, di, tri, quad, tetra, penta, deci, milli, micro, nano, kilo, mega, centi, hyper, gly, amino, phenyl, cyclo, trans, paeleo, pseudo, bio, homo, melano, cyano, neuro ආදී උපසර්ගද, ac, y, ula, trophy, tomy, stasis, scope, ptosis ආදී ප්‍රත්‍යද උදාහරණ ලෙස දැක්විය හැකිය.  ඔබ මෙම උපසර්ග නොදැන සිටියත් ප්‍රශ්නයක් නැත මක්නිසාද යත් ඒවා අවශ්‍ය වන්නේ ඒ ඒ විෂයන් ඉගෙන ගන්නා අයටයි.

තවද සමහරක් වචන බැලූ බැල්මට සර්ග යොදා ඇති බවක් පෙනුනත් එසේ නොවේ.  ඒවායේ සාමාන්‍ය ස්වරූපය එය විය හැකිය.  උදා:

torment - මෙහි බැලූ බැල්මට -ment යන ප්‍රත්‍යය ඇති බව පේනවා නේද?  එහෙත් ඇත්තෙන්ම මෙහි සිදු වී ඇත්තේ එය නොවේ.  ment යන්න ඇතත් එය ප්‍රත්‍යයක් ලෙස නොව, එම පදයේ සාමාන්‍ය අකුරු ලෙසම යෙදී ඇත.
problem - මෙහි pro- යන්න ඇතත් එය උපසර්ගයක් ලෙස නොව එම වචනයේ සාමාන්‍ය අකුරු ලෙසයි ඇත්තේ.

මේ ආකාරයට සර්ග නොවන අවස්ථාද හඳුනාගන්න.  ඉහතදී දක්වා ඇත්තේ සර්ග කිහිපයක් පමණි.  තවත් සර්ග ගණනාවක් පවතී.  ඒවා ගැනද සොයා බලා හැකි තරම් ඒවා මතක තබා ගන්න.  ශබ්ද කෝෂයක් ගෙන උපසර්ග යොදා ඇති වචන බලන්න.

Comments

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

ඉලෙක්ට්‍රෝනික්ස් II (Electronics) - 6

විශේෂ ප්‍රතිරෝධක ඉහත සාකච්ඡා කළ නියත හා විචල්‍ය ප්‍රතිරෝධක හැරුණහම , තවත් සුවිශේෂී ජනප්‍රිය ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ද තිබෙනවා . මේවා ආලෝකය , උෂ්ණත්වය වැනි විවිධ භෞතික රාශින්ට සංවේදී ප්‍රතිරෝධකයි . මේ අතරින් සුලභම වර්ගය තමයි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක වර්ගය . මේවා ප්‍රකාශ - ප්‍රතිරෝධක (photoresistor) හෝ “ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක” (Light Dependent Resistor – LDR) ලෙස හැඳින් වෙනවා . එහි සාමාන්‍ය භාහිර හැඩය පහත දැක්වේ .   මෙම ප්‍රතිරෝධයේ හිස මත තිබෙන්නේ ආලෝකයට ඉතා සංවේදී කැඩ්මියම් සල්ෆයිඩ් (CdS), ලෙඩ් සල්ෆයිඩ් (PbS), කැඩ්මියම් සෙලිනයිඩ් (CdSe) ආදී යම් රසායනික ද්‍රව්‍යයකි . එම ද්‍රව්‍යයන්වල ඉතා ඉහල ( බොහෝවිට 500k ohm වැනි ) ප්‍රතිරෝධි අගයන් තිබේ . එහෙත් ඒ මතට ආලෝකය වැටෙන විට , ප්‍රතිරෝධි අගය සීඝ්‍රයෙන් පහළ යයි ( බොහෝවිට ඕම් 500 වැනි ). මෙහිදී කිව යුතු වැදගත් කරුණ නම් , ඉහත සඳහන් කළ ( හා නොකළ ) ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය එකම ආකාරයෙන් ආලෝකයට සංවේදී නොවේ . සමහර ඒවා “ආලෝකයේ රතු පැත්තට” ( ඒ කියන්නේ දිගු තරංග ආයාම සහිත ආලෝකයට ) සංවේදිතාව දක්වන අතර , තවත් සමහර ඒවා “ආලෝකයේ නිල් / ද...

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්...