Skip to main content

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 9

කර්මකාරක වාඛ්‍යය (passive voice)

පෙරදී පැවසුවාක් මෙන්, කර්තෘ නොමැති හෝ කර්තෘ වැදගත් නැති විට අපට එම කර්තෘ නොමැතිව (හෝ කර්තෘ උක්ත නොකර) වාඛ්‍ය සෑදිය හැකි විය යුතුය.  එවැනි වාඛ්‍ය “කර්මකාරක” වාඛ්‍ය ලෙස හැඳින් වෙනවා.  එහෙත් ඔබ විමසිල්ලෙන් බැලිය යුතුයි ඇත්තටම කර්තෘ කෙනෙක් සිටීද නැද්ද කියා.  මක්නිසාද යත්, සමහර අවස්ථාවලදී කර්තෘ ‍පෙනෙන්නට නොසිටියත් සැඟවී තිබිය හැකිය.  ඉහතදී එවැනි අවස්ථා දෙකක් ගැන අප කතා කළා මතකද?

තවද, ඔබට සිදු වුවහොත් සිංහලෙන් ලියා ඇති දෙයක් ඉංග්‍රීසියට පරිවර්ථනය කිරීමට, ඔබට තවත් ගැටළුවකට බොහෝ විට මුහුණ දීමට සිදු විය හැකිය.  එනම්, සිංහලේදී අප සමහර විට උක්ත කර්තෘ ලියන්නේ නැතිව වාඛ්‍ය ලියනවා.  උදාහරණයක් ලෙස බලන්න පහත වාඛ්‍යය දෙක.

“වැඩ කරලා හරිම මහන්සියි.  ඒක නිසා මම ඉදගන්නවා.”

එහි පළමු වාඛ්‍යයේ උක්තයක් (කර්තෘ) නැහැ නේද?  එවිට, ඔබට සිතේවි මෙය කර්මකාරකයෙන් පරිවර්ථනය කළ යුතු බව.  එහෙත් එය එසේ නොවේ.  මෙහි උක්තයක් ඇත.  එම උක්තය නම් “මම” යන්නයි.  එය සොයා ගත යුත්තේ එම වාඛ්‍යය සමඟ යෙදී ඇති ‍මුලින් හා පසුව ඇති අනෙක් වාඛ්‍යද කිය‍වීමෙනි.  ඒ අනුව දෙවැනි වාඛ්‍යයේ “... මම ඉඳගන්නවා” යන කොටසින් පැහැදිලි වෙනවා නේද එය කරන්නේ “මම” කියා.  අප අවස්ථා කිහිපයකම මේ ගැන කතා කළා.  “සන්දර්භයෙන්” තේරුම් ගත යුතු යැයි මා නොයෙක් විට සඳහන් කළා මතකද?  ඒ අනුව, “... මහන්සියි” යන වාඛ්‍යය “... මට (මම) මහන්සියි.” ලෙස නැවත සකසා ගත හැකිය.  දැන් එම වාඛ්‍යය සාමාන්‍යයෙන් අප හොඳින් දන්නා BE-වාඛ්‍යයක් නේද?  කර්මකාරකය අවශ්‍ය නැහැ.

මෙම තත්වය හැමවිටම වාගේ ඇති වන්නේ සිංහලෙන් ලියා ඇති දෙයක් ඉංග්‍රීසියට පරිවර්ථනය කෙරෙන විට (හා සිංහලෙන් සිතා එය ඉංග්‍රීසියෙන් පැවසීමට පුරුදුව සිටන අයට) ය.  එවිට, ඔබ බුද්ධිමත් විය යුතුයි සැඟවී තිබෙන උක්ත පදය සන්දර්භයෙන් සොයා ගැනීමට.  (අනුන් විසින් ලියන ලද දෙයක් පරිවර්ථනය නොකර, ඔබගේම අදහස් කෙළින්ම ඉංග්‍රීසියෙන් ලියන විට ඔබ දන්නවා උක්තය කවුද වග.  එවිට අමුතුවෙන් කර්තෘ සොය සොයා සිටීමට අවශ්‍ය නැහැ.)  ඔබේ වැඩිපුර අවධානය පිණිස එවැනි අවස්ථා කිහිපයක් සලකා බලමු.  (යටින් ඉරි ගසා ඇති වාඛ්‍ය හොඳින් බලන්න.)

“ඔයා මොනවද අද කෑවේ?” – “බතුයි හොඳියි කෑවේ.”
“ඉස්කෝලේදි එයා මොනවද උගන්වන්නේ?” – “ඉතිහාසය, ගණිතය, ඉංග්‍රීසි එහෙම උගන්වනවා.

ඉහත ඉරි ගසා ඇති වාඛ්‍ය දෙකෙහි කර්තෘ පිළිවෙළින් “මම” හා “එයා” නේද?

ඇත්තෙන්ම, ඉංග්‍රීසියේ වැඩිපුරම යෙදෙන්නේ කර්තෘකාරක වාඛ්‍ය වේ.  ඊට හේතුව නම්, එම වාඛ්‍යවල ක්‍රියා ස්වරූපයන් කෙටි වීම හා යමක් සිදුකිරීම හෝ සිදුවීම කරන කර්තෘ හැම විටම වාගේ අප පවසන නිසා.  එය නිරායාසයෙන්ම සිදුවන්නකි.  එහෙත් වුවමනාවෙන්ම කර්තෘ ඉවත් කරන අවස්ථා ඇත.  උදාහරණයක් ලෙස ගතහොත්, බොහෝ විද්‍යාත්මක හෝ එවැනි ලිපි ලේඛන (reports) සෑදීමේදී කියවන කෙ‍නාට වැදගත් වන්නේ එම ලිපියෙහි ඇති විද්‍යාත්මක කරුණු මිස, ඒවා අහවල් අහවල් පුද්ගලයන් විසින් කළා යන්න නෙමේ නේද?  (එනම්, අහවල් පරීක්ෂණය කළේ “කමල්” ද “ඈන්” ද කියා වැදගත් නැත; වැදගත් වන්නේ එම පරීක්ෂණය නිවැරදි ආකාරයට සිදු කළේද, ‍එය කෙසේ සිදු කෙළේද යන්න සඳහන් කිරීමය.)  ඊට අමතරව, ඇත්තට කර්තෘ කවුරුද යන්න නොදන්නා අවස්ථාද ඇත.  උදාහරණයක් ලෙස,

“මම අද ගෙදර එන කොට, පාරෙ තාර දාල තිබ්බා.”

එම වාඛ්‍යයේ පාරේ තාර දමා ඇත්තේ කවුරුන්ද යන වග මා දන්නේ නැහැ.  එවිට, කර්තෘ පදයක් ඇත්තටම නැහැ නේද?

එසේ නම්, අප දැන් බලමු කර්මකාරක වාඛ්‍යයක් සාදා ගන්නා අයුරු.  කර්තෘකාරක වාඛ්‍යයක් සෑදීමට අනිවාර්යෙන්ම කර්තෘ පදයක් තිබිය යුතු වූවා සේම, කර්මකාරක වාඛ්‍යයක් සෑදීමට අනිවාර්යෙන්ම කර්ම පදයක් අවශ්‍ය වේ.  එනම්, කර්ම පදය උක්ත (s) කළ යුතුය.  අප හැමවිටම යොදාගත් SVo ක්‍රමයටම වාඛ්‍යය සකස් කළ යුතුය.  මෙහිද, අප පෙර උගත් tenses භාවිතා කළ යුතුය (ඇත්තටම Perfect Continuous tense එක කර්මකාරකයේ හමු නොවන අතර, අනෙක් tense තුන ඇත).  එහෙත්, ඒ ඒ tense සඳහා ඇති ක්‍රියාවල ස්වරූපයන් වෙනස් වේ.  එය අවශ්‍යයෙන්ම විය යුතුයි නේද?  එසේ නොමැති වුවහොත් කෙසේද කර්මකාරකද කර්තෘකාරකද කියා අප වාඛ්‍ය දෙස බැලීමෙන් හඳුනා ගන්නේ?

දැන් ඔබට වැටහේවි tense තුනෙහි මූලික ක්‍රියා රූපයන්හි කර්මකාරක ස්වරූප මතක තබාගැනීම පමණයි ඔබට අමුතුවෙන් කළ යුත්තේ කියා.  මම දැන් පහත වගුව මඟින් ඔබට කර්මකාරක ක්‍රියා රූපයන් පෙන්වන්නම්.  (ඔබට පහසුවෙන් සැසඳීමට හැකිවනු පිණිස කර්තෘකාරක ක්‍රියා රූපයන්ද මා දක්වනවා.)


Simple
Continuous
Perfect
Perfect Continuous
කර්ම කාරක
be played
(සෙල්ලම් කරනු ලබනවා/ කෙරේ)
be being played
(සෙල්ලම කරමින් ඉඳිනු ලබනවා)
have been played
(සෙල්ලම් කරනු ලැබ තියෙනවා)
-
කර්තෘ කාරක
play(s)
(සෙල්ලම් කරනවා)
be playing
(සෙල්ලම් කරමින් ඉන්නවා)
have played
(සෙල්ලම් කරලා/ කරලා තියෙනවා)
have been playing
(සෙල්ලම් කරමින් ඉඳලා තියෙනවා)

මා දන්නවා, ඔබට කර්මකාරක ක්‍රියාවල සිංහල තේරුම් තරමක් නුහුරු නුපුරුදු බව.  ඊට හේතුව
කතාකරන සිංහලය තුළ අප කර්මකාරක වාඛ්‍යද පවසන්නේ කර්තෘකාරක ක්‍රියා රූපයන්ම භාවිතා කරමිනි.  උදාහරණ,

“ගස කපනවා”  (මෙය නිවැරදිව ලියනවා නම් “ගස කපනු ලබනවා” හෝ “ගස කැපේ” ලෙස ලිය යුතුය.)
“ගස කපමින් තියෙනවා”  (“ගස කපනු ලබමින් තියෙනවා” විය යුතුය.)
“ගස කපලා/කපලා තියෙනවා”  (“ගස කපනු ලැබ තිබේ” හෝ “ගස කපනු ලැබ ඇත” ලෙස විය යුතුය.)

තේරෙනවා නේද අප සිංහලෙන්ද නිවැරදි විදියට කර්මකාරකය භාවිතා කරන සැටි නැවත ඉගෙන ගත යුතුයි කියා.  එහෙත්, ඉංග්‍රීසියේදී නම් කර්මකාරකය නිවැරදිව ලිවිය යුතුය.  එය කිසි විටෙක කර්තෘකාරක ක්‍රියා රූපයකින් ලිවිය නොහැකිය.  (අවශ්‍ය නම් ඔබට පොඩි උපායක් යොදාගත හැකියි.  එනම්, ඉංග්‍රීසියෙන් නිවැරදිව කර්මකාරකය ලියන අතරම, සිංහල පරිවර්ථනය කරන විට, ඔබට හුරු පුරුදු (නිවැරදි නොවූවත්කතා කරන සිංහලයේදී හමුවන) කර්තෘකාරක ස්වරූපයම සිංහල තේරුම් දීම සඳහා යොදා ගත හැකිය.)  අවශ්‍ය වන්නේ කර්තෘ නොමැතිව කර්ම පදයකින් වාඛ්‍යය පවතින බව සිතා ගැනීම පමණි.  එවිට ඔබ ඉහත කර්මකාරක ක්‍රියා රූප දන්නා නිසා, ඉබේම කර්මකාරක ක්‍රියා යෙදෙනු ඇත.  පුහුණු වන්න.  එවිට කිසිදු ගැටළුවක් ඇති නොවේ.

ඉහත වගුවේ ඇති කර්මකාරක ක්‍රියා රූප තුන බැලූ විට ඔබට යම් විශේෂ දෙයක් පෙනිය යුතුය.  එනම්, එම සියලු රූප වල අගට ඇත්තේ ක්‍රියාවේ past participle එක බව (past participle ගැන පිට 37 කියවන්න).  ඒ අනුව,

   1.      Simple tense හි කර්මකාරක රූපය සෑදෙන්නේ

be + <ක්‍රියාවේ past participle එක>

be given (දෙනු ලබනවා), be built (සාදනු ලබනවා), be punished (දඩුවම් කරනු ලබනවා)

A book is given to a child.  (පොතක් ළමයෙකුට දෙනවා/දෙනු ලබනවා.)
A hut is built.  (මඩුවක් හදනවා/ හදනු ලබනවා.)

   2.      Continuous tense හි කර්මකාරක රූපය සෑදෙන්නේ

be being + <ක්‍රියාවේ past participle එක>

be being given (දෙනු ලබමින් තිබේ), be being built (සාදනු ලබමින් තිබේ)

Books are being given to poor children.  (දුප්පත් ළමුන්ට පොත් දෙමින් තිබෙනවා.)
Flats are being built still.  (තවම තට්ටු නිවාස සාදමින් තිබෙන්නේ/සාදනවා.)

   3.      Perfect tense හි කර්මකාරක රූපය සෑදෙන්නේ

have been + <ක්‍රියාවේ past participle එක>

have been given (දෙනු ලැබ තිබේ)

The book has been given.  (පොත දීලා.)

දැන් කර්මකාරක වාඛ්‍ය කිහිපයක් සාදමු.
The book is being written.  (පොත ලියනු ලබමින් තිබේ.)
The tree has been cut.  (ගස කපනු ලැබ තිබේ.)

ඔබට සිංහල කර්මකාරක ක්‍රියා රූපයන් නුහුරු නම්, ඊට පුරුදු වන්න.  (අවශ්‍ය නම් සිංහල ව්‍යාකරණ පොතක් කියවා ඉගෙන ගන්න වැඩිදුරටත්).  අවශ්‍ය නම්, එම වාඛ්‍යවලට කර්තෘකාරක ක්‍රියා රූපයන්ම භාවිතා කරන්න (ඔබ දැනටත් සිංහල කතා කරන විට සිදුකරන්නේ එයයි).  ඒ අනුව,

“පොත ලියනු ලබනවා” යන්න “පොත ලියනවා” ලෙසද, “පොත ලියනු ලබමින් ඉන්නවා” යන්න “පොත ලියමින් ඉන්නවා” ලෙසද, “ගස කපනු ලැබ තිබේ” යන්න “ගස කපලා” ලෙසද පැවසිය හැකිය.

The letter has not been sent yet.  (ලියුම තවම යවලා නැහැ.)
Is the house being built?  (නිවස සාදමින් තියෙනවාද?)
If the house has already been built, why don’t you live there?  (නිවස දැනටමත් සාදා තිබේ නම්, ඇයි ඔබ එහි ජීවත් වෙන්නේ නැත්තේ?)
While the tree is being cut, I am talking to a friend.  (ගස කපමින් තිබෙන විට, මම මිතුරෙකුට කතා කරමින් සිටිනවා.
The tree can be cut.  (ගස කපන්න/කපනු ලබන්නට පුළුවන්.)
Must the tree be cut?  (ගස කැපිය යුතුද/ කපනු ලැබිය යුතුද?)
Sometimes the tree may not be cut.  (සමහරවිට ගස කපන එකක් නැහැ.)

ඉහත උදාහරණවලින් පෙන්වා ඇති අන්දමට, දැන් ඔබට කර්මකාරක වාඛ්‍ය සමඟ උපකාරක ක්‍රියා යෙදීමට හැකි විය යුතුය.  (එ‍හිදී ඒවායේ තේරුම් පෙර පරිදිම වේ.)  තවද, while, because වැනි සම්බන්ධවාචී පද භාවිතා කර දිගු කර්මකාරක වාඛ්‍යද සෑදිය හැකිය.

තවද, කර්මකාරකයේදී බොහෝ විට simple tense හා perfect tense හි අර්ථ ළඟින් යන බවක් දැනෙනවා නේද?  ඔව්, ඒවායේ තේරුම් බොහෝ දුරට සමානයි.

The tree is cut(ගස කපලා.)
The tree has been cut(ගස කපලා.)

Exercises 9-1
The road is being made.  (..................................................)
Patients are not being treated in hospitals due to a strike.  (....................................................)
……………………  (‍නාට්‍යයක් පුහුණු වෙමින් තියෙනවා/පුහුණු වෙනවා.)
…………………………………….  (පාර හදලා.)
We can go easily now because the road has been made.  (................)
If the exam can be passed, you will be selected for the job.  (.........................................)

ඔබට අතීත, අනාගත කාලයන්ද පහසුවෙන් සාදාගත හැකියි නේද?  එහිදී ඔබ උගත් රීතීන් අනුගමනය කරන්න.  එනම්, ක්‍රියාවේ මුල් කොටස අතීත හා අනාගත ස්වරූපයන්ට පෙරළන්න.

am/is/are → was/were
                       will be
have/has →   had
                       will have

When we working there, the road was being made.  (අපි එහේ වැඩකරමින් සිටි විට, පාර සාදමින් තිබුණා.)
The road had not been made.  (පාර හදලා තිබුණේ නැහැ.)
Will the house have been built on time?  (නියම වෙලාවට ගෙය හදලා තියේවිද?)

Exercises 9-2
The car had been repaired.  (...................................................)
The shop will not be opened until 9 am.  (...................................)
………………………………………..  (මගේ පොත විකුණලා තිබුණේ නැද්ද?)

සමහරක් විටෙක කර්මකාරක වගන්තිය කර්තෘකාරක නොකර, කර්තෘ පදයක් දැමීමට අවශ්‍ය නම්, “by <කර්තෘ>” (“අහවලා විසින්”) යන නිපාත කොටස එම කර්මකාරක වාඛ්‍යයට එකතු කළ හැකිය.

The tree is being cut.  → The tree is being cut by the man(මිනිසා විසින් ගස කපනු ලබනවා/කපනවා.)
A letter has been sent.  → A letter has been sent by me(මා විසින් ලියුමක් යවනු ලැබ තියෙනවා/යවලා තියෙනවා.)
The chair is built by the carpenter.  (වඩුවා විසින් පුටුව සාදනු ලැබේ.)

අවසාන වශයෙන් මතක් කර දෙ‍න්නේ, කර්මකාරක වාඛ්‍යයක ක්‍රියාවෙන් පවසනු ලබන දෙය විඳින්නේ හෙවත් එම ක්‍රියාවට ලක් වන්නේ උක්ත පදය බවයි.  කර්තෘකාරක වාඛ්‍යයකදී නම් එම ක්‍රියාව සිදු කරන්නේ උක්ත පදයයි.  වෙනස තේරුණා නේද?

Comments

  1. Thank you very much? Is a good explanation

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

ඉලෙක්ට්‍රෝනික්ස් II (Electronics) - 6

විශේෂ ප්‍රතිරෝධක ඉහත සාකච්ඡා කළ නියත හා විචල්‍ය ප්‍රතිරෝධක හැරුණහම , තවත් සුවිශේෂී ජනප්‍රිය ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ද තිබෙනවා . මේවා ආලෝකය , උෂ්ණත්වය වැනි විවිධ භෞතික රාශින්ට සංවේදී ප්‍රතිරෝධකයි . මේ අතරින් සුලභම වර්ගය තමයි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක වර්ගය . මේවා ප්‍රකාශ - ප්‍රතිරෝධක (photoresistor) හෝ “ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක” (Light Dependent Resistor – LDR) ලෙස හැඳින් වෙනවා . එහි සාමාන්‍ය භාහිර හැඩය පහත දැක්වේ .   මෙම ප්‍රතිරෝධයේ හිස මත තිබෙන්නේ ආලෝකයට ඉතා සංවේදී කැඩ්මියම් සල්ෆයිඩ් (CdS), ලෙඩ් සල්ෆයිඩ් (PbS), කැඩ්මියම් සෙලිනයිඩ් (CdSe) ආදී යම් රසායනික ද්‍රව්‍යයකි . එම ද්‍රව්‍යයන්වල ඉතා ඉහල ( බොහෝවිට 500k ohm වැනි ) ප්‍රතිරෝධි අගයන් තිබේ . එහෙත් ඒ මතට ආලෝකය වැටෙන විට , ප්‍රතිරෝධි අගය සීඝ්‍රයෙන් පහළ යයි ( බොහෝවිට ඕම් 500 වැනි ). මෙහිදී කිව යුතු වැදගත් කරුණ නම් , ඉහත සඳහන් කළ ( හා නොකළ ) ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය එකම ආකාරයෙන් ආලෝකයට සංවේදී නොවේ . සමහර ඒවා “ආලෝකයේ රතු පැත්තට” ( ඒ කියන්නේ දිගු තරංග ආයාම සහිත ආලෝකයට ) සංවේදිතාව දක්වන අතර , තවත් සමහර ඒවා “ආලෝකයේ නිල් / ද...

පහසුවෙන් ඉංග්‍රිසි කඩිනමින් ඩවුන්ලෝඩ් කර ගැනීම

මෙම බ්ලොග් එකෙහි කොටස් වශයෙන් පළකළ ඉංග්‍රීසි පාඩම් මාලාව තනි පොතක් ලෙස ඊ-බුක් එකක් ලෙස පහත ලින්ක් එකෙන් ඔබට ඩවුන්ලෝඩ් කරගත හැකිය. පහසුවෙන් ඉංග්‍රිසි කඩිනමින් PDF