Skip to main content

පෙරවදන (ඉංග්‍රිසි පාඩම් මාලාවේ)

පෙරවදන

මා මෙම පොත ලියන මොහොත වන විට, ලෝක ජනගහනය කෝටි 700ක් පමණ වෙතැයි කවුරුත් පවසනවා.  එම ජනයා කුමන හෝ භාෂාවක් භාවිතා කළ යුතුයි.  එලෙස භාවිතා කෙරෙන භාෂා දහස් සංඛ්‍යාවක් ඇත.  තවද, කෝටි 100 කට වැඩි ජනගහනයක් සිටින චීනයේ (ලොව වැඩිම ජනගහනයක් සිටින රට එයයි.) භාවිතා කෙරෙන්නේ චීන භාෂාවයි.  එයද උපභාෂා ගණනාවකින් යුතුය.  ඒ අනුව, ලොව වැඩිම පිරිසක් කතා කරන භාෂාව එයයි.

එසේ වුවද, ඉංග්‍රීසි යනු ලොව ජනප්‍රියතම හා එකසේ ලොවපුරා පොදුවේ භාවිතා කෙරෙන අන්තර්ජාතික භාෂාවයි.  ඔබ අප මෙන්ම එය ඉගෙනීමට සෙසු ලෝ ජනයාද උනන්දුවක් දකවනවා.  ඊට හේතුව අද විද්‍යාව, දැනුම, තාක්ෂණය, හා ව්‍යාපාර බහුලවම පැතිරෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් වීමය.  සමහරුන් නම් ඉංග්‍රීසි ඉගෙන ගන්නේ සමාජ තත්වයක්ද ආරෝපණය කර ගැනීමටයි.

ඉංග්‍රීසි භාෂාව විශේෂයෙන් ඉගෙනීමට අවශ්‍ය නැති බව කියන “පණ්ඩිතයන්ද” සමහර විටෙක ජනමාධ්‍ය ඔස්සේ දකින්නට ලැබෙනවා.  එහෙත් දැනුම සොයා යන අය හෝ ව්‍යාපාර කරන අය හෝ ලෝකය සමඟ නොයෙක් අන්දමින් කටයුතු කරන අයට ඉංග්‍රීසියේ වටිනාකම ඉතා හොඳින් අවබෝධ කරගත හැකිය.  එනිසා ඉංග්‍රීසිය ආභරණයක් ලෙස නොව, මෙවලමක්, දක්ෂකමක් (skill) ලෙස ඉගෙන ගන්න, කවුරු මොන දේ කීවත්.

ඉංග්‍රීසිය ඉගැන්වීමට නොයෙක් දෙනා නොයෙක් ක්‍රමවේද භාවිතා කරනවා.  තවද, ඒ ගැන සිය ගණන් ‍පතපොතද ලියැ වී තිබෙනවා.  ඒ හැම ක්‍රමයකින්ම හා පොතකින්ම ඉංග්‍රීසිය උගත් අය සිටිනවා විය යුතුයි.  එහෙත් ඉංග්‍රීසි ඉගැන්වීමේදී බොහෝ පොත් හා ක්‍රමවල මා දුටු අඩුපාඩු තියෙනවා.  ඒවා බොහෝමයක් ලියැ වී ඇත්තේ එකම සාම්ප්‍රදායික රටාවකටයි.  භාෂාඥයින් විසින් ඉංග්‍රීසිය විශ්ලේෂණය කර, යම් යම් පොදු රටා, කොටස්, උපකොටස් ආදියට බෙදා තිබේ.  එය භාෂාව “භාෂා විද්‍යාත්මකව” හැදෑරීමට ඉතා අනඝි විය හැකි වුවත්, නවකයකුට එම කරුණු ඉගෙනීම අනවශ්‍ය “කුණු ගොඩකි”.  භාෂාඥයෙකු භාෂාවක් අධ්‍යනය කරන්නේ වෙනත් අරමුණකිනි.  එය විශේෂඥ හා ශාස්ත්‍රිය දැනුමක් සොයා යෑමකි.  නවකයකු භාෂාවක් ඉගෙන ගන්නේ ඉක්මනින්ම එම භාෂාවෙන් තේරුම් ගැනීම, කතා කිරීම වැනි වැඩ ගැනීමට හෙවත් “දක්ෂතාවක්/මෙවලමක්” ලෙස ප්‍රයෝජනයට ගැනීමටයි.  ඉතිං, මෙවැනි අයට ඉතා පහසුවෙන් හා විනෝදාත්මකව හා ඉක්මනින් ඉගෙනීමට හැකි වන ලෙස භාෂාවක් ඉගැන්විය යුතුයි.  උදාහරණයක් ලෙස, nouns (නාමපද) විවිධාකාරයෙන් කොටස් අනුකොටස් කර දක්වා තිබෙනවා. (abstract, concrete nouns; feminine, masculine, neuter, common nouns; common, proper, collective nouns; countable, uncountable nouns; singular, plural nouns, ...)  මෙලෙසම, විශේෂණ පද, ක්‍රියාපද ආදී අනෙක් අංගයන්ද බෙදීම් රාශියකට ලක් කර ඇත.  එහෙත් භාෂාවක් ඉගෙනීමට මෙම සියලු ආකාරයේ බෙදීම් ගැන ඉගෙනීමට අවශ්‍ය නැත.  මා විසින් මෙම පොතේදී එම සාම්ප්‍රදායික “මෝඩ ක්‍රම” ඉවත් කර ඇත.  භාෂාව ඉගෙනීමට රුකුලක් නොවන කිසිම දෙයක් ඇතුළත් නොකිරීමට බොහෝ උත්සහයක් යොදා ඇත.

මඳක් සිතා බලන්න.  ඔබ හොඳින් සිංහල භාෂාව හසුරුවනවා නේද?  එහෙත් කුමාරතුංග මුනිදාසයන්ගේ ව්‍යාකරණ ග්‍රන්ථයක් නිකමට හරි කියෙව්වොත් ඔබ ඇත්තටම සිංහල දන්නවාද කියා සිතේවි.  ඉංග්‍රීසිය ගැනද කිව යුත්තේ එයයි.  තවද, තවත් ඉංග්‍රීසි උගන්වන පිරිසක් ව්‍යාකරණය ඉගැන්වීම අනවශ්‍ය යැයි කියා දෙබස් පාඩම් කිරීමට සලස්වා ඉංග්‍රීසිය උගැන්වීමටද පෙළඹී තිබෙනවා.  එය ඊටත් වඩා “ගොන්” කමකි.  කෙනෙකු ඉංග්‍රීසිය විතරක් කතා කරන, ඉංග්‍රීසිය විතරක් ඇසෙන පරිසරයක සිටී නම්, ඉබේම යම් කාලයකට පසුව යම් ප්‍රමාණයක් ඉංග්‍රීසි ඉගෙනීමට හැකි වෙනවා.  එහෙත්, එය පංති කාමරයක් තුළ සිදු කිරීම හෝ ඉතා කෙටි කළකට පවත්වනු ලබන “කඳවුරුවල” සිදු කිරීම කොතරම් ඵලදායකද යන වග ඒවාට සහභාගී වූ අයගෙන්ම ඔබට දැන ගත හැකිය.  ඔබේ මුදල් නාස්ති කිරීමට නම් එය ඉතා හොඳ ක්‍රමයක් විය හැකියි.

එ‍් අනුව, මේ දෙක අතරමැද විසදුමක් තිබේ.  ව්‍යාකරණය ඉගෙන ගත යුතුමයි.  එහෙත් එය භාෂා විද්‍යාඥයකු ඉගෙන ගන්නා ස්වරූපයෙන් නොවන ආකාරයෙන් විය යුතුය.  එය සිදු කිරීමට නම්, උගන්වන හෝ පොත් ලියන අය බොහෝ දේවල් ගැන සොයා මහන්සියෙන් අලුත්ම ක්‍රම වේද ගොඩ නැඟිය යුතුය.  ආදී පඬිවරුන් විසින් ලියන ලද දේම නැවත ලිවීමෙන්ම වැඩක් නැත.  “Eight parts of speech” ආදී ලෙස සමහරුන් උගන්වන්නේ එයයි.  ඔවුනට එය කිරීම පහසුය.  වැඩි මහන්සියක්ද නැත.  පැරණි පොතක් දෙකක් ගෙන එයම වෙනත් වචන වලින් ලිවීමකි.  පහසු මුදල් සෙවීමක්ද විය හැකිය.  මෙම සාම්ප්‍රදායික ක්‍රම නිසා නොවේද අදටත් රටේ ළමුන්ගේ ඉංග්‍රීසි දැනුම ඉතා අඩු තත්වයක පවතින්නේ?  මෙහි ඇති භයානකම ප්‍රතිඵලය ලෙස මා දකින්නේ, එසේ ඉංග්‍රීසිය ඉගෙනීමට විශාල මහන්සියක්, ධනයක් හා කාලයක් වැය කළත්, ඉංග්‍රීසිය අවශ්‍ය ප්‍රමාණයට ඉගෙනීමට අපොහොසත් වීම නිසා, ඉංග්‍රීසිය ඉතා නීරස මෙන්ම අමාරු භාෂාවක් ලෙස දැකීමට පටන් ගැනීමයි.

ඇත්තටම මා ලොව බොහෝ භාෂා ගැන දන්නේ නැත.  එහෙත්, ඉංග්‍රීසිය යනු ඉතාම පහසු හා සරළ භාෂාවක් බව නිර්භයව කියනවා.  ඉංග්‍රීසිය සම්මත ඉංග්‍රීසි විදියට ඉගෙන ගත හැකිය.  දැන් දැන් පෙර මා සඳහන් කළ අධ්‍යාපනික ව්‍යාපෘති කරනා පණ්ඩිතයන් “අපේ ක්‍රමයට” ඉංග්‍රීසිය ඉගැන්වීමක් ගැන කතා කරනවා.  ප්‍රශ්නය වැරදි තැනකින් අල්ලාගෙන ඇති බවයි ඉන් පෙනෙන්නේ.  එය අපේ රටේ පොදු ලක්ෂණයකි (ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්නේ එය විසඳන අයට වැඩි ලාභ ප්‍රයෝජන ලැබෙන ලෙස).

මෙම පොතින් මා තනිවම උත්සහයක් දරන්නේ ඔබට අමාරුවක් නොදැනෙන සේ ඉංග්‍රීසිය ඉගැන් වීමටයි.  එහිදී, මා විසින් සමහර ව්‍යාකරණ රීතීන්වල ඇති සියුම් වෙනස්කම් ඉවත් කර ඇත.  (බිය නොවන්න: පොත කියවා අවසානයේදී ඔබ ඉතා ප්‍රායෝගික හා තාර්කික අයුරින් ඉංග්‍රීසිය ඉගෙන ගෙන තිබෙනු ඇත.)  අනවශ්‍ය ව්‍යාකරණ හෑලි ඉවත් කර ඇත.  තවද, කරුණු ඉදිරිපත් කර ඇත්තේ පහසුව හා පොදු රටාවන් ඉස්මතුවන ආකාරයටයි.  පොත තැනින් තැන ඔබට අවශ්‍ය කොටස් විතරක් කියවන්න එපා.  මුල සිට පිළිවෙළින් කියවන්න.  යම් ව්‍යාකරණ රීතියක් හෝ රටාවක් ඉගෙන ගත් විට, එය හොඳින් මතක සිටින තෙක් එය පුහුණු වන්න.  පරණ ‍ඒවාද නැවත නැවත බලා එම රටාවන් හා රීතින් අමතක නොවන්නට වග බලා ගන්න.  නැවත අවධාරණය කරන්නේ, ඔබ මුලදී කියවන දේවල් අමතක කර පසුව කියවන දේවල් ඉගෙනීමට බැරි බවයි.  (මෙම පොත සකස් කර ඇත්තේ එලෙසයි.  ඔබට දේවල් අමතක නම් කෙසේද භාෂාවක් ඉගෙන ගන්නේ?)
මා උගන්වන්නේ වෙනත් භාෂාවකි.  එය මා විසින් සොයාගන්නා ලද හෝ නිර්මාණය කරන ලද්දක් නොවේ.  එමනිසා, මා කැමැති වුණත් නැතත් එහි ඇති අංග සියල්ල ඔබට පැවසීමට සිදු වේ.  මට අවශ්‍ය දේ පමණක් ඉගැන්විය නොහැකිය.  එසේ වුවත්, භාෂාව ඉගෙනීමට බාධා ඇති කරන බොහෝ දේවල් ඉවත් කර ඇත.  සමහර රීතීන්/රටාවන් සම්මත නිර්වචනයන්ට පිටින් මා දක්වා ඇත.  උදාහරණයක් ලෙස, relative pronouns යොදා සකස් කරන වගන්ති මා අමුතුම ක්‍රමයකට දක්වා තිබෙන්නේ.  එවැනි radical වෙනස්කම් කිහිපයක්ම මෙහි ඇත.  අපහසු යැයි සම්මත එම රීතින් ඔබට ඉතා පහසුවෙන් අවබෝධ කර ගන්න පුළුවන් මාගේ එම ඉදිරිපත් කිරීමේ ක්‍රමය නිසාම.

ඔබට ඉතා පහසුවෙන් හා ඉක්මනින් මෙන්ම තනිවම මෙම පොත මඟින් ඉංග්‍රීසි ඉගෙනීමට හැකියි.  දී ඇති උපදෙස් ඒ අයුරින්ම පිළිපදින්න.  ව්‍යාකරණය “ඔ‍ලුවෙන්” මතක තබා ගන්නා අතරම, “කටින්” හා “කනින්” එය පුරුදු වන්න.  ඉංග්‍රීසි යනු “හලන්ත” වවන සහිත භාෂාවකි (එනම්, බොහෝම වචන හල් අකුරු වලින් අවසන් වේ).  සිංහල යනු “ස්වරාන්ත” භාෂාවකි (එනම්, වචන හල් අකුරු වලින් අවසන් නොවී ස්වර ශබ්ද වලින් අවසන් වේ).  මේ හේතුව නිසා ඉංග්‍රීසි ශබ්ද කිරීම ඔබේ කටට අපහසුය.  කනටද අපහසුය.  එමනිසා එම අවයව දෙක පුහුණු කළ යුතුය.  නිතර නිතර ඉංග්‍රීසිවලට ඇහුම් කන් දෙන්න.  ශබ්ද නඟා ඉංග්‍රීසි කියවන්න.  තනි තනි වචන පමණක් නොව, සම්පූර්ණ වාඛ්‍යම ශබ්ද කර කියවන්න.  අනෙක් අයට ඇසේවි යැයි ලැජ්ජාව නිසා ශබ්ද නොකර ඉන්න එපා.  ඔබට ඉංග්‍රීසිය ඉගෙනීමට අවශ්‍ය නම් එසේ කිරීම අනිවාර්ය වේ.  ඔබේ දිව හුරු කරගන්නට වෙන ක්‍රමයක් නැත.  පිහිනීමට අවශ්‍ය නම් වතුරට බසින්නටම සිදු වෙනවා නේද?  ශබ්ද කිරීමට අමාරු වචන හෝ වාඛ්‍ය හමු වූ විට, ඒවා මඟ හැර යන්න එපා.  මහන්සියෙන් ඒවා ශබ්ද කරන්න.  විශ්වාස කරන්න ඔබ එය විනාඩි කිහිපයක් ශබ්ද කළ විට, එය ඉතා පහසුවෙන් “වතුර වගේ” කියන්නට පුලුවන් වෙනවා.  එම වචනය විතරක් නෙමේ, ඊට ආසන්න සියලු ශබ්ද ඔබට ඉන් ඉදිරියට ශබ්ද කළ හැකි වෙනවා.  ඔබ ඒවා මඟ හැරියොත් සිදු වෙනනේ එම වටිනා පුහුණුව නැති වී ඉංග්‍රීසි හැකියාව දුර්වල වීමයි.
ඉංග්‍රීසි පොත් හා පත්තර කියවන්න.  ඉංග්‍රීසියෙන් ඔබේ සටහන් ආදිය ලියන්න.  එසේ නොකළොත් කෙටි කාලයකින් ඔබට ඉංග්‍රීසිය අමතක වේවි.  එය ස්ථිරයි.  පුළුවන් තරම් වචන දැනීම වැඩි කර ගන්න.  ඒ සඳහා ඔබට අතිරේකය - 2 බොහෝ උපකාරී වේවි.


තවද, මෙම පොත සාර්ථකව ඔබ අතට පත් වන තුරු කටයුතු කළ සියලු දෙනාටද ස්තූති කරමි.  ඔබ මෙම පොත පරිශීලනය කොට, ඒ ලබා ගත් දැනුමින් ඔබේ ජීවිතය තවත් සාර්ථක කර‍ ගෙන, තවත් අයට ඒ දැනුම බෙදා දීමටද හැකියාව ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි.

Comments

Popular posts from this blog

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

ඉලෙක්ට්‍රොනික්ස් III (Electronics) - 20

Tunnel Diode Esaki නම් ජපන් ජාතිකයා විසින් මෙය සොයා ගත් නිසා මෙම ඩයෝඩය එසාකි ඩයෝඩය ලෙසද හඳුන්වනවා . මෙම සොයා ගැනීමත් සමගම ඔහු විසින් ක්වන්ටම් ටනල් ආචරණයද සොයා ගත් නිසා නොබෙල් ත්‍යාගය පවා ඔහුට ලැබුණා . ක්වන්ටම් ටනල් ආචරණය සෙනර් ඩයෝඩයේදී දක්නට ලැබුණා මතකද ? මෙම ඩයෝඩයත් ක්වන්ටම් ටනල් ආචරණය මත පදනම්ව සාදා ඇති නිසාම ඊට ටනල් ඩයෝඩය ( උමං ඩයෝඩය ) යන නම ලැබී තිබෙනවා . එහි සංඛේතය පහත දැක්වේ .   සාමාන්‍ය ඩයෝඩයක මෙන්ම පී හා එන් කැබැලි දෙකකින් සෑදූ සන්ධියක් ඇත . එහෙත් සාමාන්‍ය ඩයෝඩයකට වඩා ඇති වෙනස නම් , එම අර්ධසන්නායක කොටස් ඉතා අධිකව මාත්‍රණය කර තිබෙනවා ( සාමාන්‍ය ඩයෝඩයකට වඩා ලක්ෂ ගුණයක් පමණ ). එවිට අර්ධසන්නායක කොටස් දෙකෙහිම යහමින් ආරෝපණ වාහක තිබෙනවා ( සාමාන්‍ය සන්නායකයක් වගේම ). එහි ප්‍රතිඵල දෙකක් තිබෙනවා . එකක් නම් , පෙර නැඹුරු කළ විට උමං ආචරණය සිදු වීම . දෙවැන්න නම් , පසු නැඹුරු කළ විට සාමාන්‍ය සන්නායකයක් ලෙස ක්‍රියා කිරීම . මේ දෙක දැන් සලකා බලමු . පෙර නැඹුරු කළ විට , උමං ආචරණය නිසා සුපුරුදු ඩයෝඩ ක්‍රියාකාරිත්වය නොදක්වයි . ඒ කියන්නේ 0 සිට වෝල්ටියතාව වැඩි කර ගෙන යන විට , ධාරාවද ක...