Skip to main content

පට්ට ගවේසි

කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා.  ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක. 

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 2

ඉංග්‍රීසියේදී නාමපද ප්‍රධාන කොටස් දෙකකි.

        1.      එක දෙක තුන ආ‍දී ලෙස ගණන් කළ හැකි නාම
        2.      එලෙස ගණන් කළ නොහැකි නාම

ගණන් කළ නොහැකි නාම සියල්ලම ඒකවචන ලෙස සැලකේ.  ඒවා හඳුනා ගැනීම හා මතක තබා ගැනීම ඉතා පහසුය.  එම නාමපද සියල්ලම බැලූ බැල්මට පෙනී යන්නේ ඒවා එක දෙක තුන ආදි ලෙස ගණන් කළ නොහැකි බවයි.  උදා:

water (වතුර)          rice (හාල්)                         goodness (හොඳ)
cricket (ක්‍රිකට්)      dust (දූවිල්ල)

ඒ අනුව, දියර වර්ග (water, oil, …), ඇට වර්ග (rice, mustard, …), කුඩු වර්ග (powder, flour, dust, …), භාවයන්/හැඟීම් (goodness, love, hatred, …), ක්‍රීඩාවන් (cricket, tennis, …), මස් මාළු වර්ග (fish, pork, beef, chicken, …), හා අප විසින් දෙන නම් (names – Kamal, Tarzan, වැනි) යන කාණ්ඩවලට අයත් සියලු නාමපද ගණන් කළ නොහැකියි නේද?

ඉහත ගණන් කළ නොහැකි නාම හැරුණු විට, අනෙක් සියලු නාම ගණන් කළ හැකිය.  එමනිසා, ඒවාට ඒකවචන බහුවචන භේදයක් ඇත. තවද, එම නාමපද ස්වභාවයෙන්ම ඒකවචනය.

dog (බල්ලා)                 face (මුහුණ)                pen (පෑන)

ඉංග්‍රීසියේදි ඒකවචන නාමපද බහුවචන කිරීම ඉතාම පහසුය.  කළ යුත්තේ ඒකවචන නාමපදය අගට  S දැමීමය.  උදා:

dog → dogs (බල්ලෝ)             face → faces (මුහුණු)
pen → pens
(පෑන්)

ඒකවචන බහුවචන භේදය හැරුණු විට, මෙම ගණන් කළ හැකි නාමපද ගැන අපට මතක තබා ගත යුතු අනෙක් කාරණය නම්, ඒවායේ “නිශ්විත-අවිනිශ්චිත” වෙනසය.  ඉංග්‍රීසියේදී “ගණන් කළ නොහැකි” නාමපද හැර, අනෙක් සියලුම නාමපද (ඒකවචන බහුවචන දෙකෙහිම) එක්කෝ නිශ්චිතය, නැතහොත් අවිනිශ්චිතය.  ඒ බව පෙන්වීම සඳහා නාමපද සමඟ a, the යන පද වලින් සුදුසු එකක් ඒ ඒ නාමපදයට ඉදිරියෙන් යෙදිය යුතුය.  ඉහත සඳහන් “ගණන් කළ නොහැකි” නාමපද සමඟ a හෝ the යොදන්නේ නැති බව ඔබට ‍වැ‍ටහෙනවා නේද? (මක්නිසාද යත්, ඒවාට නිශ්චිත අවිනිශ්චිත භේදයක් නැති නිසා)

“නිශ්චිත” යන්නෙහි සරළ තේරුම නම් “දැනටමත් දන්නා” යන්නයි.  එනම්, එම නාමපදයෙන් හඟවන දේ ගැන අප මේ වන විටත් දන්නවා (මීට පෙර ඒ ගැන කතා කර තිබෙනවා හෝ දැක තිබෙනවා).  නාමපදය නිශ්චිත යැයි හැඟවීමට අප එම නාමයට ඉදිරියෙන් the යන පදය යොදනවා.  ඒකවචන වුවත් බහුවචන වුවත් යොදන්නේ the ය.  උදා:

the man (මිනිසා)         the girl (ගැහැණු ළමයා)
the girls (ගැහැණු ළමයි)

ඒ අනුව “අවිනිශ්විත” යන්නෙහි තේරුම “දැනට නොදන්නා” යන්නය.  සාමාන්‍යයෙන් එදිනෙදා ව්‍යවහාරයේදී අප මීට පෙර නොදත් යමක් හෝ යමෙක් ගැන පළමු වර ප්‍රකාශ කරන විට, එම නාමපදය අවිනිශ්චිත ලෙස සැලකෙනවා.  ඉහත නිශ්චිත අවස්ථාව මෙන් නොව, ඒකවචන බහුවචන භේදය මෙහිදි බලපානවා.  අප ඒකවචන අවිනිශ්චිත නාමයක් ඉදිරියෙන් a දමන අතර, බහුවචන අවිනිශ්චිත නාමයක් ඉදිරියෙන් කිසිත් යොදන්නේ නැත.

a man (මිනිහෙක්)        a girl (ගැහැණු ළමයෙක්)
girls (ගැහැණු ළමයි)


මෙහිදී කිව යුතු දෙයක් ඇත.  සිංහලේදීද නිශ්චිත අවිනිශ්චිත භේදය ඇත්තේ ඒකවචන නාම සඳහා පමණි.  අවිනිශ්චිත ඒකවචන නාම “එක් හෝ අක්” යන ශබ්දයකින් අවසන් වන අතර, නිශ්චිත ඒකවචන නාම එසේ නොවේ.  එහෙත් බහුවචන නාම සඳහා සිංහලේදී එම භේදය නොමැත.  එමනිසයි girls හා the girls යන දෙක සඳහාම “ගැහැණු ළමයි” යන එකම තේරුම යෙදී ඇත්තේ.  එහෙත්, ඉංග්‍රීසියේදී ඒක හා බහු යන වචන දෙකේදීම නිශ්චිත හා අවිනිශ්චිත භේදය ඇති බව හොඳින් මතක තබා ගෙන නිසි ලෙස a, the යොදන්න.


ඒකවචන
බහුවචන
නිශ්චිත
The dog (බල්ලා)
The dogs ((දන්නා) බල්ලෝ)
අවිනිශ්චිත
A dog (බල්ලෙක්)
Dogs ((නොදන්නා) බල්ලෝ)

භාෂාවක ස්වර (vowels) යනුවෙන් අකුරු වර්ගයක් ඇත.  එම අකුරු ස්වර නොවන (ව්‍යඤ්ජන) අකුරු වලින් වෙනස් වන්නේ, ඒවා තනිව හොඳින් ශබ්ද කළ හැකි නිසාත්, එසේ තනිව ශබ්ද කිරීමට අපහසු ව්‍යඤ්ජන අකුරුවලට සම්බන්ධ කළ විට, ඒවාද ශබ්ද කළ හැකි අකුරු බවට පත් කරන නිසාය.  උදාහරණ ලෙස, “අ”, “උ”, “ඊ” යන අකුරු තුන ශබ්ද කර බලන්න.  ඒවා ශබ්ද කිරීම ඉතා පහසුයි නේද?  ඔබට අවශ්‍ය නම් ඒවා ඔබේ එක හුස්මක් ඉවර වෙන තුරුම දිගටම ශබ්ද කරගෙන සිටිය හැකි නේද (අර සංගීතඥයින් “ආ.........” කියා බොහෝ වේලාවක් සිටින්නාක් මෙන්)?  දැන් “බ්”, “ක්”, “ට්” යන හල් අකුරු තුන ඒ විදියට ශබ්ද කර බලන්න.  එය කිරීම ඉතාම අපහසුයි නේද?  පහසුවෙන් ශබ්ද කළ හැකි අකුරු ස්වර වන අතර, අනෙක් අකුරු ව්‍යඤ්ජන ලෙස නම් කරනවා.  සිංහල භාෂාවේ මෙලෙස ප්‍රධාන ස්වර 12 ක් පමණ තිබෙනවා.  ඒවා නම්,

අ, ආ, ඇ, ඈ, ඉ, ඊ, උ, ඌ, එ, ඒ, ඔ, ඕ

යන්නයි.  මෙම සෑම අකුරකින්ම ස්වර ශබ්දයක් පිටවේ.

ඉංග්‍රීසියේද ස්වර ඇත.  ඒවා නම්, a, e, I, o, u යන අකුරු පහය.  ‍සිංහලේ මෙන් නොව, ඉංග්‍රීසියේ එක් අකුරකට ශබ්ද කිහිපයක් ඇති නිසා, එම ස්වර පහෙන් ස්වර ශබ්ද 12ක් පමණ පිට කෙරෙනවා (සුද්දාද කතා කරන්නේ කටින් නිසා, ඔහුගේ කටින්ද පිට විය යුත්තේ වෙනත් ඕනෑම භාෂාවක් කතා කරන කෙනෙකු පිට කරන ශබ්දම ‍විය යුතුයි නේද?  එම නිසා ඉංග්‍රීසියේ ස්වර අකුරු තිබෙන්නේ පහක් වුවද, සිංහල භාෂාවේදි හමු වන ස්වර ශබ්ද 12 එහි තිබිය යුතු බව තේරුම් ගන්න.)  මට මෙහිදී අවධාරණය කරන්නට වුවමනා වන්නේ ස්වර අකුරු හා ස්වර ශබ්ද යනු දෙකක් බව පෙන්වා දීමටයි.  ස්වර අකුරු වලින් ස්වර ශබ්ද නිකුත් කෙරේ.

ස්වර ශබ්ද 12 මතක තබා ගැනීමද අපට පහසුය.  ඊට හේතුව ඒවා අපේ සිංහල හෝඩියේ පළමු අකුරු 12 වීමයි.

a වෙනුවට an යෙදෙන අවස්ථාවක් ඇත.  එනම්, යම් අවිනිශ්චිත ඒකවචන නාමයක් පටන් ගන්නේ ස්වර ශබ්දයකින් නම්, a වෙනුවට an යොදනවා.  උදා:

an apple (ඇපල් ගෙඩියක්)      an elephant (අලියෙක්)
an Indian (ඉන්දියානුවෙක්)      an orange (දොඩමක්)
an umbrella (කුඩයක්)             a university (විශ්ව විද්‍යාලයක්)
an hour (පැයක්)

ඉහත university (යුනිවර්සිටි) යන්න පටන් ගන්නේ ස්වර අකුරකින් වුවද, එහි ශබ්දය “යු” ලෙස ස්වර නොවන ශබ්දයක් නිසා an යෙදීමට නොහැකිය.  එලෙසම, hour (අවර්) යන්න පටන් ගන්නේ ස්වර නොවන අකුරකින් වුවද, එහි ශබ්දය ස්වර ශබ්දයක් නිසා an යෙදිය යුතුය.

the යෙදීමේදි, ස්වරද නැද්ද යන ඉහත කාරණාව වැදගත් නැත.  එහෙත් සමහරෙක් ස්වර ශබ්දයක් ඉදිරියෙන් ඇති the (ද) පදය “දී” ලෙස උච්ඡාරණය කරනවා.  උදා:

the apple (දි ඇප්ල්)                 the hour (දි අවර්)
the elephant (දි එලිෆන්ට්)

අප දැන් නාමපද ගැන දත යුතු සියල්ල ඉගෙන ඇත.  සිංහලේදී හමුවන ස්ත්‍රී-පුරුෂ-නපුංසක ආදි ලිංග භේදය, ප්‍රථම-කර්ම ආදි විභක්ති භේදය හෝ වෙනත් කිසිම භේදයක් අපට ඉංග්‍රීසි වාඛ්‍ය තැනීමට වැදගත් නැත.  ඉහත සඳහන් ඒක-බහුවචන භේදය හා නිශ්චිත-අවිනිශ්චිත භේදය ගැන ඉගෙන ගන්න.  උදාහරණ කිහිපයක් බලමු.

A man is writing.  (මිනිහෙක් ලියමින් ඉන්නවා.)
A man is writing a letter.  (මිනිහෙක් ලියුමක් ලියමින් ඉන්නවා.)
A man is writing a letter to a friend.  (මිනිහෙක් යහළුවෙකුට ලියුමක් ලියමින් ඉන්නවා.)
A cook is cooking rice.  (කෝකියෙක් බත් උයමින් ඉන්නේ.)
The man is giving an orange to the child.  (මිනිසා දොඩමක් ළමයාට දෙමින් ඉන්නවා.)
Students are going to a university.  (ශිෂ්‍යයෝ විශ්ව විද්‍යාලයකට යමින් ඉන්නවා.)

Exercises 2-1
….. are singing.  ((නොදන්නා) පිරිමි ළමයි සිංදුවක් කියමින් ඉන්නේ.)
……………… Is giving ………………. to ……………… (ගුරුවරයා ගැහැණු ළමයාට පොතක් දෙමින් ඉන්නවා.)
……………. Is reading …………. (කමල් පොතක් කියවමින් ඉන්නවා.)
……………………………..…. (ළමයෙක් නිමල්ට පොතක් දෙමින් ඉන්නේ.)
………………………………………… (අම්මා බත් උයමින් ඉන්නවා.)


විශේෂණ පද

නාමපද හා ක්‍රියාපද වලට “අමතර විස්තර” සපයන (එනම්, ඒවා “විශේෂ” කරන) පද විශේෂණ පදයි.  නාමපද සමඟ යෙදෙන්නේ නාම විශේෂණ (adjective) වන අතර. ක්‍රියා සමඟ යෙදෙන්නේ ක්‍රියා විශේෂණ (adverb) වේ.

නාම විශේෂණ අප අදාල නාමපදයට ඉදිරියෙන් යොදනවා.  එහිදි, නාමපදය සමඟ යෙදී ඇති a/an, the පද අළුතින් යෙදෙන නාම විශේෂණයේ ඉදිරියට ගෙන ආ යුතුයි.  පහත උදාහරණ බලන්න.

a boy (පිරිමි ළමයෙක්) → a beautiful boy (ලස්සන පිරිමි ළමයෙක්)
the girl (ගැහැණු ළමයා) → the good girl (හොඳ ගැහැණු ළමයා)
the boys ((දන්නා) පිරිමි ළමයි) → the bad boys ((දන්නා) නරක පිරිමි ළමයි)
teachers ((නොදන්නා) ගුරුවරු) → good teachers ((නොදන්නා) හොඳ ගුරුවරු)
an elephant (අලියෙක්) → a big elephant (විශාල අලියෙක්)

ඉහත “an elephant” යන්නෙහි an පදය ති‍බුණේ “එලිෆන්ට්” යන නාමපදයේ “එ” යන ස්වර ශබ්දය නිසා බව ඔබ දැනටමත් දන්නවා.  එහෙත්, big යන්න යෙදූ පසු an වෙනුවට a යෙදුවේ ඇයිදැයි ඔබට සිතාගත හැකිද?  ඊට හේතුව, දැන් එතැන ස්වර ශබ්දය වෙනුවට “බිග් එලිෆන්ට්” හි ස්වර නොවන ශබ්දයක් (“බ්”) ඇති නිසා an දැමිය නොහැකි වීමයි.  මතක තබා ගන්න, අප a හෝ an දමන්නේ ඊට පසුව ඇති වචනයේ ශබ්දය අනුව බව.
අවශ්‍ය නම් අපට එක දිගට විශේෂණ පද කිහිපයක් වුවද යෙදිය හැකිය.  අපි දැන් වාඛ්‍ය කිහිපයක් සාදමු.

The good boy is reading an interesting book.  (හොඳ ළමයා රසවත් පොතක් කියමින් ඉන්නවා.)
A good tall boy is playing cricket.  (හොඳ උස පිරිමි ළමයෙක් ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉන්නවා.)
I am writing an interesting short story for a competition.  (මම රසවත් කෙටි කතාවක් ලියමින් ඉන්නවා තරගයකට.)

Exercises 2-2
…………………… is playing ……………….  (උස ගැහැණු ළමයා නෙට්බෝල් සෙල්ලම් කරමින් ඉන්නේ.)
……….. is playing ……….. (මිටි පිරිමි ළමයා ක්‍රිකට් ගසමින් ඉන්නේ.)
………………………. are facing …………… ((දන්නා) දක්ෂ ළමයි විභාගයට මුහුණ දෙමින් ඉන්නේ.)
……………………. are eating ……………. with ………….. ((නොදන්නා) දුප්පත් පිරිමි ළමයි තේ සමඟ පාන් කමින් ඉන්නවා.)
……………………………………….. ((නොදන්නා) දුප්පත් ළමයිනුයි (දන්නා) දක්ෂ ළමයිනුයි ග‍ගේ පිහිනමින් ඉන්නවා.)

ක්‍රියාපද “විශේෂ” කරනුයේ ක්‍රියා විශේෂණ විසිනි.  නාම විශේෂණ නාමයට ඉදිරියෙන් යෙදුවත්, ක්‍රියා විශේෂණ යෙදීමට ස්ථාන කිහිපයක් ඇත.  එනම්, වාඛ්‍යයේ මුලට, ක්‍රියාපදයේ කෙළවරට, ක්‍රියාපදයේ පළමු කොටසට පසුව, කෙටි වාඛ්‍යයක් නම් වාඛ්‍යයේ කෙළවරට යන ඕනෑම තැනකට එය යෙදිය හැකිය.  උදාහරණ කිහිපයක් බලමු.

I am eating rice now.  (මම දැන් බත් කමින් ඉන්නේ.)  ‍(කෙටි වාඛ්‍යයේ අගට)
Now I am eating rice.  (මම දැන් බත් කමින් ඉන්නේ.)  (වාඛ්‍යයේ මුලට)
I am now eating rice.  (ක්‍රියාවේ මුල් කොටස වන am ට පසුව)
I am eating now rice.  (ක්‍රියාවේ අගට)

ක්‍රියා විශේෂණ අහවල් ස්ථානයේම දැමිය යුතු යැයි රීතියක් නොමැති වුවද, ඒවා යෙදීම ගැන පහත කරුණු කිහිපය වැදගත් වේ.

සාමාන්‍යයෙන් කෙටි වාඛ්‍යයකදී ක්‍රියා විශේෂණය වාඛ්‍යයේ අගට යොදනවා.  සමහර ක්‍රියා විශේෂණ (“එමනිසා”, “එහෙත්”, “තවද” වැනි ක්‍රියා විශේෂණ) මඟින් එම ක්‍රියා විශේෂණය ඇතුළත් වාඛ්‍යය ඊට පෙර වාඛ්‍යය සමඟ යම් සම්බන්ධතාවක් ගොඩ නඟනවා.  එවැනි අවස්ථාවල, එම ක්‍රියා විශේෂණය වාඛ්‍යයේ මුලට යොදනවා.  ක්‍රියාපදයේ පළමු කොටසට පසුව යොදන ක්‍රියා විශේෂණ වර්ගය බොහෝ විට ඒ ඒ tense එක සමඟම නිතර භාවිතා වන ඒවාය.  ඔබ තරමක් ඉංග්‍රීසි පොත පත පරිශීලනය කළ විට, සුදුසු තැන ක්‍රියා විශේෂණ යෙදීම ඉබේම වගේ සිදුවනු ඇත.  ඒ ගැන කනස්සල්ලක් ඇති කර ගන්න එපා.  දැන් නිතර භාවිතා කෙරෙන ක්‍රියා විශේෂණ කිහිපයක් ඉගෙන ගනිමු.

now - දැන්                    yesterday - ඊයේ
today - අද                    tomorrow - හෙට
tonight - අද රෑට           here - මෙහි
there - එහි                   then - එවිට
always - හැමවිටම       often - නිතරම
already - දැනටමත්      altogether - සැවොම එකට
still/yet - තවම             therefore/so - එමනිසා
thus - මෙලෙස             those days - ඒ දවස්වල
anyway - කෙසේ වුවත් actually/in fact - ඇත්තෙන්ම
however - එහෙත්        by the way - ආ ඒක නෙමේ
too/also/as well - ත්/ද (උදා: කමල්, ‍නරකත්)
additionally/ in addition/ moreover/ furthermore - තවද

මෙලෙස කටපාඩමින් දත යුතු ක්‍රියා විශේෂණ සුළු ප්‍රමාණයක් ඇති අතර, අනෙක් ක්‍රියා විශේෂණ සාදා ගනු ලබන්නේ නාම විශේෂණවලිනි.  එනම්, නාම විශේෂණය අගට ly යන කොටස එකතු කිරීමෙනි.  සිංහල භාෂාවේද මෙවැනි ක්‍රමයක් අනුගමනය කිරීමෙන් නාම විශේෂණයකින් ඊට අනුරූප ක්‍රියා විශේෂණය සාදා ගැනේ (සිංහලේදී නාම විශේෂණය අගට ව, ට, ඉන්/එන් යන ශබ්දයක් දමා ක්‍රියා විශේෂණ සෑදෙන බව ඔබ දන්නා සිංහල ක්‍රියා විශේෂණ කිහිපයක් විම‍සීමෙන් ඔබට එය පැහැදිලි ‍කරගත හැකිය.  උදා:  ලස්සන ලස්සනට, ඉක්මන් ඉක්මනට/ඉක්මනින්, පැහැදිලි පැහැදිලිව).

bad (නරක) →   badly (නරකට/නරකින්)
beautiful (ලස්සන) →  beautifully (ලස්සනට)
quickly (ඉක්මනින්)                  slowly (සෙමින්)

මෙතෙක් අප ඉගෙන ගත්තේ continuous tense වාඛ්‍ය සාදන හැටි නේද?  ඉතා කෙටි (උක්තය හා ක්‍රියාව පමණක් ඇති) වාඛ්‍ය හා දිගු (විශේෂණ, නිපාත කොටස්ද ඇතුළත්) වාඛ්‍යද අප සාදන හැටි ඉගෙන ගත්තා.
අප ඇත්තටම ඉගෙන ගත්තේ continuous tense එකේ වර්ථමාන කාලයට අයත් වාඛ්‍ය පමණි.  ඒ අනුව එහි අතීත හා අනාගත කාල වාඛ්‍ය සාදන අයුරු දැන් ඉගෙන ගනිමු.  වාඛ්‍යයක අතීත, වර්ථමාන, අනාගත කාලය තීරණය කරනුයේ එම වාඛ්‍යයේ ක්‍රියාව මඟින්ය.  ඒ අනුව අප පෙර ඉගෙන ගත් වර්තමාන කාලයට අයත් වාඛ්‍ය අතීතයට හා අනාගතයට හරවනු ලබන්නේ එම වාඛ්‍යවල ඇති ක්‍රියාපදය පමණක් වෙනස් කිරීමෙන් බව ඔබට වැ‍ටහෙනවා නේද?  continuous tense හි පමණක් නොව, අනෙක් ඕනෑම tense එකකද කාලය වෙනස් ‍වන්නේ එම tense වලට අයත් ක්‍රියාපදයන් වෙනස් කිරීමෙන් බව දැන් හොඳින් පැහැදිලි විය යුතුය.  වර්ථමාන කාල ක්‍රියාව දන්නවා නම්, ඉන් පහසුවෙන් අතීත හා අනාගත කාල ක්‍රියා රූපයන් සාදාගත හැකිය.

continuous tense හි වර්තමාන ක්‍රියා ස්වරූපය “am/is/are + ing-ක්‍රියාව” නේද?  මෙය අතීතයට හරවනුයේ am/is/are වෙනුවට was/were යන පද ආදේශ කිරීමෙනි.  එහි සිංහල තේරුම “කරමින් හිටයා” ලෙස වෙනස් වෙනවා නේද?



උදා:
was/were eating (කකා හිටියා)
was/were going (යමින් හිටියා)
The good boy was reading an interesting book.  (හොඳ ළමයා රසවත් පොතක් කියමින් සිටියා.)
Good tall boys were playing cricket.  (හොඳ උස පිරිමි ළමයින් ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටියා.)
I was writing an interesting short story for the competition.  (මම තරගෙට රසවත් කෙටි කතාවක් ලියමින් සිටියා.)

Exercises 2-3
……………….. was playing …………….(උස ගැහැණු ළමයා නෙට්බෝල් සෙල්ලම් කරමින් සිටියා.)
………….. was playing ……….. (මිටි පිරිමි ළමයා ක්‍රිකට් ගසමින් සිටියා.)
…………………….. were facing ………………. ((දන්නා) දක්ෂ ළමයි විභාගයට මුහුණ දෙමින් සිටියා.)
………………….. were eating ………….. with ………….. ((නොදන්නා) දුප්පත් පිරිමි ළමයි තේ සමඟ පාන් කමින් සිටියා.)
…………………………………….. ((නොදන්නා) දුප්පත් ළමයිනුයි (දන්නා) දක්ෂ ළමයිනුයි ග‍ගේ පිහිනමින් සිටියා.)

දැන් continuous tense හි අනාගත කාලය සාදමු.  ඒ සඳහා කරනුයේ will යන උපකාරක ක්‍රියාව වර්ථමාන කාලික රූපයට ඉදිරියෙන් යෙදීමය.

will (හෝ අප පසුවට ඉගෙන ගන්නා ඕනෑම උපකාරක ක්‍රියාපදයක්) දමන්නේ හැම විටම වර්ථමාන කාලික ක්‍රියා ස්වරූපයක් ඉදිරියෙන් පමණි.  තවද, එසේ උපකාරක ක්‍රියාවක් දැමූ පසු, එම උපකාරක ක්‍රියාවට පසුව ඇති කොටස මූලික ස්වරූපයට පත් විය යුතුය.  උදාහරණයක් ලෙස,

will + am/is/are eating → will be eating

මෙහි will ට පසුව ඇත්තේ am/is/are යන පදවලින් එකක් වන අතර ඉහත පැවසූ පරිදි එම පද මූලික ස්වරූපයට (BE ගැන කියවා බලන්න.) පත්‍ වේ.

ඒ අනුව, continuous tense හි අනාගත කාලික ක්‍රියාව

                               will be <ing-ක්‍රියාව>

වේ.  එහි සිංහල තේරුම “කරමින් ඉදීවි (අනාගතයේදි)” යන්නයි.  උදා:

will be eating (කකා ඉදීවි)
will be playing (සෙල්ලම් කර කර ඉදීවි)
The good boy will be reading an interesting book.  (හොඳ ළමයා රසවත් පොතක් කියමින් සිටීවි.)
Good tall boys will be playing cricket.  (හොඳ උස පිරිමි ළමයින් ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටීවි.)
I will be writing a short interesting story for a competition.  (මම තරගෙකට රසවත් කෙටි කතාවක් ලියමින් සිටීවි.)

Exercises 2-4
……………………….. will be playing ………….(උස ගැහැණු ළමයා නෙට්බෝල් සෙල්ලම් කරමින් සිටීවි.)
………….. will be playing ………….. (මිටි පිරිමි ළමයා ක්‍රිකට් ගසමින් සිටීවි.)
……………….. will be facing …………………. ((දන්නා) දක්ෂ ළමයි විභාගයට මුහුණ දෙමින් සිටීවි.)
…………………….. will be eating …………….. with …………….. ((නොදන්නා) දුප්පත් පිරිමි ළමයි තේ සමඟ පාන් කමින් සිටීවි.)
……………………………………………….. ((නොදන්නා) දුප්පත් ළමයිනුයි (දන්නා) දක්ෂ ළමයිනුයි ග‍ගේ පිහිනමින් සිටීවි.)

දැන් අප continuous tense හි අතීත, වර්ථමාන, අනාගත කාලික වාඛ්‍ය සියල්ල සාදන අයුරු දන්නවා.  මෙහි තව එක් දෙයක් ඉගෙනීමට තිබේ.  කුමක්ද?

ඉහත වාඛ්‍ය සියල්ල බැලූ විට ඔබට පෙනී යන්නේ, ඒවා සියල්ලම ප්‍රකාශන (statement) බවයි.  මෙම ප්‍රකාශන වලට අමතරව අපට ප්‍රශ්න (question) ස්වරූපයෙන්ද වාඛ්‍ය සෑදීමට හැකි විය යුතුයි නේද?  සෑම ප්‍රකාශනයක්ම අපට ප්‍රශ්න ස්වරූපයට ඉතා පහසුවෙන් ඉංග්‍රීසියේදි හැරවිය හැකිය.  ඒ සඳහා කළ යුත්තේ continuous tense එකට අයත් ක්‍රියාවේ පළමු කොටස, තිබූ තැනින් ඉවත් කර උක්තයට ඉස්සරහින් දැමීම පමණි.

එක් එක් tense එකක් සඳහා වෙන වෙනම ක්‍රියා ස්වරූපයන් පවතින බව ඔබ තේරුම ගෙන ඇතැයි මා සිතනවා.  ඉතිං අප මෙතෙක් ඉගෙන ගත්තේ continuous tense එකට අදාල ක්‍රියා ස්වරූපය (එහි අතීත,වර්ථමාන, අනාගත කාල තුනටම අයත්) බව ඔබට වැ‍ටහෙනවා නේද?  මෙලෙස යම් ක්‍රියා ස්වරූපයක් ගත් විට, එය කොටස් කිහිපයකින් යුතු වෙනවා.  උදාහරණයක් ලෙස,

am eating (continuous හි වර්ථමාන ක්‍රියා රූපය) - කොටස් දෙකකි: am හා eating
was eating (continuous හි අතීත රූපය) - කොටස් දෙකකි: was  හා eating
will be eating (continuous හි අනාගත රූපය) - කොටස් තුනකි: will, be, eating

මෙලස, අපට යම් ක්‍රියාවක කොටස් කිහිපයක් හමු විය හැකිය.  කොතරම් කොටස් තිබුණත් ගැටළුවක් නැත.  අපට අවශ්‍ය වන්නේ ක්‍රියාව කොටස් එකකට වඩා තිබීම පමණි.  එවිටයි, අපට ක්‍රියාවේ පළමු කොටස වෙනස් කර අපට අවශ්‍ය දේ (ප්‍රශ්න ස්වරූපය සෑදීම වැනි දේවල්) කළ හැක්කේ.


ඉහත උදාහරණවලින් පෙන්වා ඇත්තේ continuous tense වාඛ්‍යවල ප්‍රකාශන ස්වරූපයන්, ඒවායේම ප්‍රශ්න ස්වරූපයන්ට පත් කරන ආකාරයයි.

ප්‍රකාශන ස්වරූපයේ තේරුම නම් ඔබට ඉතා හුරු පුරුදු “මම ඇපල් ගෙඩියක් කමින් ඉන්නවා” යන්න බව පැහැදිලි නේද?  දැන් සිතා බලන්න ඊට ඉදිරියෙන් ඇති ප්‍රශ්න ස්වරූපයේ වාඛ්‍යයේ තේරුම කුමක් විය හැකිද?  “මම ඇපල් ගෙඩියක් කමින් ඉන්නවාද” ‍(හෝ “මම ඇපල් ගෙඩියක් කමින්ද ඉන්නේ”) ‍කියා ඔබට තේරුම සිතාගත හැකි වූවා නම් ඔබ නිවැරදියි.  තවද, මෙලෙස ක්‍රියාවේ පළමු කොටස උක්තය ඉදිරියට ගෙනෙන විට a, the, නාම විශේෂණ ආදිය නාමපදයට යෙදී ඇති නම්, ඒවා නාම පද‍යටම එකතු කළ කොටස් බැවින් ක්‍රියාවේ පළමු කොටස ඒවාටද ඉදිරියෙන් යෙදිය යුතුය.

Is Kamal drinking?  (කමල් බොමින් සිටිනවාද?)
Are we watching TV?  (අපි ටීවි බලමින්ද ඉන්නේ?)
Was I going to the market?  (මම පොළට යමින් සිටියාද?)
Were Nirmani and Dayan playing carrom?  (නිර්මානියි දයානුයි කැරම් ගහමින්ද සිටියේ?)
Will the good boy be dancing?  (හොඳ ළමයා නටමින් සිටීවිද?)

Exercises 2-5
……………………………………………….. (මම පොතක් කියවමින් සිටියාද?)
……………………………………………………. (නාමල් බත් උයමින් ඉඳීවිද?)
Is the teacher teaching now?  (........................................)

ඉහත ප්‍රකාශන ස්වරූපය හෝ වේවා ප්‍රශ්න ස්වරූපය හෝ වේවා අපට “නැහැ” අර්ථයට පෙරළිය හැකිය.  උදාහරණ ලෙස, “මම කමින් ඉන්නවා” යන්න “මම කමන් ඉන්නෙ නැහැ” (හෝ “මම නොකමින් ඉන්නවා” හෝ “මම කමින් නෙමේ ඉන්නේ” හෝ) ලෙස නැත යන අර්ථය සහිත ප්‍රකාශනයක් බවට පත් කළ හැකිය.  එලෙසම “මම කමින්ද ඉන්නේ” යන ප්‍රශ්නය “මම කමින් නෙමේද ඉන්නෙ” (හෝ “මම නොකමින්ද ඉන්නේ” හෝ “මම කමින් ඉන්නෙ නැද්ද” හෝ) ලෙස නැත අර්ථය සහිත ප්‍රශ්නයක් බවට පත් කළ හැකිය. 
අප කළ යුත්තේ, not යන පදය සාමාන්‍ය වාඛ්‍යයේ (එනම් “නැත යන තේරුම නොමැති වාඛ්‍යයේ” හෙවත් “ඇත  යන තේරුම ඇති වාඛ්‍යයේ”) ක්‍රියාවේ දෙවන කොටසට ඉදිරියෙන් දැමීම පමණි.  සිංහලේ “නැහැ” යන්න ඉංග්‍රීසියේ “not” යන්නට සමාන බව පේනවා නේද?  ඒ අනුව,


Suresh is not studying History.  (සුරේෂ් ඉතිහාසය ඉගෙන ගනිමින් නෙමේ ඉන්නේ.)
I was not watching TV.  (මම ටීවි බලමින් නෙමේ හිටියේ.)
We were not going to the party yesterday.  (අපි ඊයේ සාදයට යමින් නෙමේ හිටියේ.)
Nayana will not be dancing tomorrow.  (නයනා හෙට නටමින් ඉන්නේ නැහැ/ඉන්න එකක් නැහැ.)
Are we not going to the party?  (අපි පාටියට යමින් නෙමේද ඉන්නේ?/යමින් ඉන්නේ නැද්ද?)
Was Kamal not reading?  (කමල් කියවමින් සිටියේ නැද්ද?)
Will the teachers not coming to the seminar?  (සම්මන්ත්‍රණයට ගුරුවරුන් එමින් සිටින එකක් නැද්ද?)

Exercises 2-6
Is Kamal not writing the letter?  (...............................................)
…………………………………………… (දසුන් උයමින් ඉන්න එකක් නැද්ද?)
Were we not studying for the exam?  (........................................)
………………….. (දොස්තරවරු හෙට වැඩ කරමින් ඉන්න එකක් නැද්ද?)

ඕනෑම වාඛ්‍යයක් ‍හතර ආකාරයකින් ලිවිය හැකි බව තේරුම් ගත යුතුය.

1.  ඇත අර්ථයේ ප්‍රකාශනය                 2.  නැත අර්ථයේ ප්‍රකාශනය
3. 
ඇත අර්ථයේ ප්‍රශ්නය                     4.  නැත අර්ථයේ ප්‍රශ්නය

SVo ආකාරයෙන් ලියන විට අපට ඉබේම ලැබෙන්නේ “ඇත ප්‍රකාශනය” වේ.  ඉතිරි තුන සාදාගනු ලබන්නේ එම ඇත ප්‍රකාශනය සුළු සුළු වෙනස්කමකට භාජනය කිරීමෙනි.  පෙර අප ඉගෙන ගත්තා ක්‍රියාවේ පළමු කොටස උක්තය ඉදිරියට ගෙන ඒමෙන් ප්‍රශ්නය සාදාගන්නා අයුරු.  එලෙසම නැත අර්ථයේ වාඛ්‍ය සෑදීමට not යෙදුවා.   continuous tense පමණක් නොව, අනෙක් ඕනෑම tense එකක් සඳහාද මෙම ක්‍රමයම අනුගමනය කළ යුතුය.  එනම්,

·        SVo ලෙස වාඛ්‍යය සකස් කළ විට ඉබේම ලැබෙන්නේ “ඇත ප්‍රකාශනය” වේ.
·         ඉහත ඇත ප්‍රකාශ‍නයේ ඇති ක්‍රියාවේ පළමු කොටස උක්තය ඉදිරියට ගෙන ආ විට, “ඇත ප්‍රශ්නය” ලැබේ.
·         ඉහත අවස්ථා දෙකෙහිදී ලැබුණු ඇත ප්‍රකාශනය හා ඇත ප්‍රශ්නය යන දෙකෙහි ක්‍රියාවේ දෙවන කොටසට ඉදිරියෙන් not යෙදීමෙන් “නැත ප්‍රකාශනය” හා “නැත ප්‍රශ්නය” ලැබේ.

ඔබ ඉගෙන ගන්නේ වෙනත් භාෂාවකි.  එහි සිංහල භාෂාවට සමාන ව්‍යාකරණ රීතීන් මෙන්ම එසේ සම නොවන රීතින්ද ඇත.  එය ස්වාභාවිකය.  එහෙත් සිංහල හා ඉංග්‍රීසි අයත් වන්නේ එකම “භාෂා පවුලකට” (ඉන්දු යුරෝපීය භාෂා පවුල) බැවින් බොහෝ සමාන ලක්ෂණ දෙකෙහිම ඇත.  අනෙක් අතට, ඔබ දැනටමත් සිංහල භාෂාව හොඳින් දන්නා නිසා, ඉංග්‍රීසි ඉගෙනීමට එය පහසුවක් වේ.  ඔබ කළ යුත්තේ ඉංග්‍රීසියේ ඇති වාඛ්‍ය සෑදීමේ රටා කිහිපයක් හා රීති කිහිපයක් මතක තබා ගැනීම හා ඊට අනුරූප සිංහල තේරුම් විමසා බැලීමය.  ‍එක එක විදියට සැකසූ පසු ඉංග්‍රීසි වාඛ්‍ය රටා සිය ගණනක් වුවද තිබෙන නමුත් එම සියල්ල මූලික රටා හා රීති කිහිපයකට ඌණනය/අඩු කළ හැකිය.  මා මෙම පොතින් කරන්නට උත්සහ කරන්නේ ඔබට මෙම පහසු රටා හා රීති කිහිපය පෙන්වා දී, ඒ මඟින් සියලු ආකාරයේ වාඛ්‍ය ඉංග්‍රීසියෙන් සෑදිය හැකි බව පෙන්වීමටයි.

තවද, එම සෑම ඉංග්‍රීසි වාඛ්‍ය රටාවකම සිංහල රටා/තේරුම් කට පාඩම් කළ යුතු නැත.  ඔබ හොඳින් දන්නා සිංහලය කට පාඩම් කරන්නේ ඇයි?  උදාහරණයක් ලෙස ඉංග්‍රීසි continuous tense හි වර්ථමාන රූපය සිංහලේදි “කරමින් ඉන්නවා” ලෙස මතක තබා ගැනීම පමණක් එම tense එක සඳහා ප්‍රමාණවත්ය.  එම නිසා, එහි අතීත කාලය “කරමින් හිටියා” ලෙසද, අනාගත කාලය “කරමින් ඉඳීවි” ලෙසද, ඒ ඒ කාලයන්හි නැත ප්‍රකාශන “කරමින් සිටින්නේ නැහැ”, “කරමින් සිටියේ නැහැ”, “කරමින් නොසිටීවි” ලෙසද, ඒ ඒ කාලයන්හි ඇත හා නැත ප්‍රශ්න “කරමින් ඉන්නවාද”, “කරමින් ඉන්නේ නැද්ද”, “කරමින් හිටියාද”, “කරමින් හි‍ටියේ නැද්ද”, “කරමින් ඉඳීවිද”, “කරමින් නොඉඳීවිද” ලෙසද සියලුම රටා අමුතුවෙන් කටපාඩම් කළ යුතු ‍නැත.  ඔබට ඒවා සිතාගත හැකි විය යුතුය, මක්නිසාද යත් හැමදාම ඔබ එවැනි සිංහල වාඛ්‍ය කොතෙකුත් භාවිතා කරන නිසා.

තවද, සරළ එක් උදාහරණයක් ආශ්‍රයෙන් රටාවක් මතක තබා ගැනීමද ඉංග්‍රීසි පහසුවෙන් මතක තබා ගැනීමට හොඳ ක්‍රමයකි.  උදාහරණයක් ලෙස eat (හෝ play හෝ) යන ක්‍රියාව ආශ්‍රයෙන් continuous tense එක “am/is/are eating” ලෙස මතක තබා ගත හැකිය.  අවශ්‍ය වන්නේ එක් මූලික ඉංග්‍රීසි ර‍ටාව හා ඊට අදාල සිංහල තේරුම මතක තබා ගැනීම පමණි.  ඒ අනුව continuous tense සඳහා “am/is/are eating” හා එහි සිංහල තේරුම “කමින් ඉන්නවා” ලෙස පමණක් හොඳින් මතක තබා ගන්න.

Comments

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල භාෂාව තුළින් ඉගෙනීමට උත්සහ කළ යුතුය. 

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අකුරු 26 පහත දක්වා ඇත.  ඉංග්‍රීසියේදී සෑම අකුරක්ම “සිම්පල්” හා “කැපිටල්” ලෙස දෙයාකාර

කතාවක් කර පොරක් වන්න...

කෙනෙකුගේ ජීවිතය තුල අඩුම වශයෙන් එක් වතාවක් හෝ කතාවක් පිරිසක් ඉදිරියේ කර තිබෙනවාට කිසිදු සැකයක් නැත. පාසැලේදී බලෙන් හෝ යම් සංගම් සැසියක හෝ රැස්වීමක හෝ එම කතාව සමහරවිට සිදු කර ඇති. පාසලේදී කතා මඟ හැරීමට ටොයිලට් එකේ සැඟවුනු අවස්ථාද මට දැන් සිහිපත් වේ. එහෙත් එදා එසේ කතා මඟ හැරීම ගැන අපරාදේ එහෙම කළේ යැයි අද සිතේ. යහලුවන් ඉදිරියේ "පොර" වෙන්න තිබූ අවස්ථා මඟ හැරුණේ යැයි දුකක් සිතට නැඟේ. ඇත්තටම කතාවක් කිරීම "පොර" කමකි. දක්ෂ කතිකයන්ට සමාජයේ ඉහල වටිනාකමක් හිමි වේ. පාසැලේදී වේවා, මඟුලක් අවමඟුලක් හෝ වෙනත් ඕනෑම සමාජ අවස්ථාවකදී වේවා දේශපාලන වේදිකාව මත වේවා කතාවක් කිරීමේදී පිලිපැදිය යුත්තේ සරල පිලිවෙතකි. එහෙත් එම සරල පිලිවෙත තුල වුවද, තමන්ගේ අනන්‍යතාව රඳවන කතාවක් කිරීමට කාටත් හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වේ. එම වෙනස ප්‍රසිද්ධ කතා (public speaking) තුලද පවත්වාගත හැකිය. මේ ගැන මට ලිපියක් ලියන්නට සිතුනේ මාගේ මිතුරෙකුට ප්‍රසිද්ධ කතාවක් කිරීමට අවශ්‍ය වී, ඒ ගැන මේ ළඟ දවසක අප පැයක් පමණ සිදු කළ සංවාදයක් නිසාය. මා ප්‍රසිද්ධ දේශකයකු නොවුණත් මේ විෂය සම්බන්දයෙන් පාසැල් කාලයේ සිටම පත

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he    ඔහු    with    සමඟ    on    මත    do    කරනවා, "මෙව්ව කරනවා"    say    කියනවා    this    මේ, මේක    they    උන්, ඒවා, ඒගොල්ලෝ    at    දෙස, අසල    but    නමුත්    we    අපි    his    ඔහුගේ    from    සිට, ගෙන්    not    නැහැ    by    විසින්, මඟින්    she    ඇය    or    හෝ, හෙවත්    as    විට, නිසා, වශයෙන්    what    මොකක්ද,