Skip to main content

බුදු සමිඳු දැකීම (සතර මහා ‍භූත යනු?)

බුදු සමිඳු දැකීම (සතර මහා ‍භූත යනු?)

බුදු රඳුන්ගේ දහම අනුව, ලොව පවතින සියලු දෑ පඨවි, ආපෝ, වායෝ, තේජෝ යන සතර මහා භූතයන්ගෙන් සෑදී ඇත. මෙහි පාළි භාෂාවේ වචනයක් වන “භූත” යන්නෙහි සරල තේරුම “යමක් සාදන්නා” යන්නයි. සියලුම දෑ සාදනු ලබන්නේ මෙම “සාදන්නන්” හෙවත් “භූත” සතරින් පමණක් නිසා, ඒවාට මහා භූත යන නම ලැබී ඇත. මෙම සතර මහා භූත යනු මොනවාදැයි ඇසුවොත් සාතිශය බහුතරය‍ දෙන පිළිතුරක වනුයේ “පස්, ලී, වීදුරු වැනි තද දුව්‍ය පඨවි වලිනුත්; තෙල්, වතුර වැනි ගලාගෙන යන දේවල් ආපෝවලිනුත්; සුළං වැනි හමාගෙන යන සියුම් දේවල් වායෝ වලිනුත්; උෂ්ණත්වය/තාපය තේජෝ වලිනුත්” සමන්විත බවයි. මෙලෙස මහා භූතයන් දෙස බැලීම “සූත්‍රාන්තික විග්‍රහය” නමි. එනම්, විවිධ නුවණ මට්ටම් සහිත බොහෝ දෙනාට තේරෙන අයුරින් පැවසීමට එසේ පැහැදිලි කෙරේ. එය මහා භූතයන් ද්‍රව්‍යාත්මක ආකාරයෙන් සලකා කෙරෙන විග්‍රහයකි. එහෙත් “ආභිධර්මික විග්‍රහය” ඊට වෙනස් වන අතර, එම විග්‍රහය බුදු දහමේ නිවැරදි විග්‍රහය වේ.

පඨවි, ආපෝ, තේජෝ හා වායු යන සතරම ද්‍රව්‍යාත්මක නොවේ. ඒවා “ගතිගුණ” හතරක් ලෙස සැලකිය යුතුය. පඨවි යනු ඕනෑම දේකට “තද ගතිය” ලබා දෙන ගුණයකි. උදාහරණ කිහිපයක් සැලකීමෙන් මෙය පැහැදිලි කළ හැකිය. යකඩ කැබැල්ලක් අතට ගන්න. එය ඉතා තදට ඔබේ අතට දැනේ. එම ඉතා තද ගතිය පැහැදිලිවම පඨවි නිසා බව වැටහේ. දැන්, පොතක් හෝ රෙදි කැබැල්ලක් හෝ ස්පොන්ජ් කැබැල්ලක් හෝ අතට ගන්න. එයද තදය. එහෙත් යකඩ කැබැල්ල තරම් තද නොවේ. එහෙත් එයද අතට දැනෙන තද ද්‍රව්‍යයක් නිසා පඨවි ගුණය ඇති බව පෙනේ. එහෙත් යකඩ කැබැල්ලට වඩා පඨවි ගුණය අඩුය. දැන් ජලය සලකා බලන්න. ඔබේ අත ජලය තුළට දැමූ විට යම් වෙනසක් දැනේ. එහි යම් තද ගතියක්ද ඇත. එහි තද ගතිය හොඳටම දැනීමට නම් ගඟකට හෝ ජලාශයකට අත දමා අත වේගයෙන් ‍එහා මෙහා කිරීමට උත්සහ දරන්න. ඔබට දැනේවී ජලයෙන් පිටතදී පහසුවෙන් එහා මෙහා කරපු අත ජලය තුළදි අමාරුවෙන් එහා මෙහා කළ යුතු බව. ඊට හේතුව, ජලයේ ඇති පඨවි ගුණයයි. දැන් සැරට සුළං හමන මොහොතක සුළඟට විරුද්ධ දිශාවට දුවන්න. ඔබට දැනේවි සුළ‍ගේ ඇති පඨවි ගුණය. මේ අනුව, පඨවි යනු “ඝන, ද්‍රව, වායු” යනුවෙන් අප භෞතික විද්‍යාවේදී හඳුනාගන්නා ලද (පදාර්ථයේ අවස්ථා) සියල්ලෙහිම පවතින ගතිගුණයක් බව පැහැදිලිය. මෙය තවදුරටත් පැහැදිලි වේවි අනෙක් භූතයන් ගැනද අවබෝධ කරගත් පසු.

ආපෝ යනු ඉහත සඳහන් පඨවි එක්රැස් කිරීමට (විසිරීමට ඉඩ නොදී තබා ගැනීමට) ඇති හැකියාව හෙවත් ගතිගුණයයි. ද්‍රව්‍යයක පඨවි ගුණය වැඩිපුර දැනෙන යකඩ වැනි ඝන ද්‍රව්‍යවල ආපෝ ගුණයද වැඩිය. එලෙසම, ආපෝ ගුණය ඊට වඩා අඩුවෙන් පවතින ජලය වැනි ද්‍රව්‍යවලට ගලායෑමට හැකි වන්නේ ආපෝ ගුණය ‍පැවතියත් එය අධික මට්ටමින් නොපැවතීම නිසයි. ඒ ආකාරයෙන් අප අවට වායුගෝලයේ ඇති වාතය ආදිය අපේ ශරීරයට ඉතා අඩුවෙන් දැනෙන්නේ (හා එම වාත අංශු ඈතින් ඈතට පිහිටා තිබෙන සේ අප විද්‍යාවේදී ඉගෙන ගන්නේ) ආපෝ ගුණය තවත් අඩුවෙන් පවතින නිසාය. ආපෝ ගුණය සම්පූර්ණයෙන්ම ශූන්‍ය වුවහොත් ද්‍රව්‍යය විසිරී මුළු විශ්වය පුරාම පැතිරී යනු ඇත. එක්තරා විදියකට ආපෝ යනු “ආකර්ෂණ බලයක්” ලෙසද සැලකිය හැකිය.

වායු යනු ආපෝ ගුණයට ප්‍රතිවිරුද්ධ ගුණය වේ.  එනම්, ද්‍රව්‍ය එකිනෙකාගෙන් ඈත් කරන හෙවත් විකර්ෂණය කරන ගති ගුණය වායු වේ. ආපෝ ගුණය පමණක් පැවැතියේ නම්, විශ්වයේ තිබෙන සියලු දෑ එක ගුලියක් සේ එක්තැන් වනු ඇත. එහෙත් වායු ගුණය නිසා තත්වය එසේ නොවේ. වායු ගුණයේ ආනුභා‍වයෙන් ද්‍රව්‍ය ඛණ්ඩනය වී වෙන් වෙන්ව පවතී. ඔබ මා ගස් කොලං තනි තනි ඒකක ලෙස පවතින්නේ මෙම වායු ගුණයේ ප්‍රබල බලපෑම නිසාය. “ඝන ද්‍රව වායු” ලෙස විද්‍යාවේ උගැන්වෙන පදාර්ථයේ අවස්ථාද ඒ ඒ ආකාරයෙන් පවතින්නේ ඇත්තටම වායු හා ආපෝ යන ගුණ දෙකෙහි අන්තර් ක්‍රියාකාරිත්‍වය නිසාය.

තේජෝ යනු උෂ්ණත්වය වේ. උෂ්ණත්වය යනු විශ්‍වයේ සෑම දෙයක් සතුවම පවත්නා ගති ගුණයකි. මෙම ගුණය අනෙක් ගුණයන්ට විශාල බලපෑම් කළ හැකිය. විද්‍යාවට අනුව ඕනෑම අංශුවකට ශක්තියක් පවතී. බුදු දහමේ කියැවෙන මෙම තේජෝ ගුණය ඇත්තටම නියෝජනය කරන්නේ එම ‍ශක්තිය වේ.

මේ ආකාරයෙන් බැලූ කල බුදු දහමේ කියැවෙන මහා භූත විද්‍යාවේ ඉගැන්වෙන දේට වඩා වෙනස්ය. තවද, පැරණි බටහිර හා පෙරදිගද ප්‍රචලිත “ජලය, පස, වාතය, ගින්දර” වලින් මුලු විශ්වීය වස්තූන් සෑදී පවතී යන අදහසට මතුපිටින් (සූත්‍රාන්තිකව) අනුගත වුවත්, ඊට වඩා ඉතා ගැඹුරු හා සියුම්ය.


Buddhism

Comments

Popular posts from this blog

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he ...

මෝහනය / mohanaya (hypnosis) - 1

මෝහනය (mohanaya - Hypnosis) ගැන සිංහල බසින් ලියවී නොමැති අතර, එය ගැන උනන්දුවක් දක්වන අයට පහසුවෙනුත් නිවැරදිවත් ඉගෙන එය වගකීම් සහගතව භාවිතා කිරීමට හැකිවන පරිදි එම විෂය පිළිබඳ ඉතා සවිස්තරාත්මකව මෙම පොතෙන් ඉදිරිපත් කිරීම අරමුණ වේ. එම පොතේ කරුණු කුඩා කොටස් වශයෙන් මෙම බ්ලොග් එකෙහි පළ කිරීම සිදු වේ. හැඳින්වීම දියුණු යැයි සම්මත බටහිර සමාජයෙත් “ මෝහනය ” ගැන තවමත් උගත් නූගත් බොහෝ දෙනා අතර පවතින්නේද වැරදි අවබෝධයක් වන අතර, එම තත්වය ශ්‍රී ලංකාව තුළ ඊටත් වඩා බරපතල ලෙස දක්නට ලැබෙනවා. මේ සෑම සමාජයකම මෝහනය ගැන යම් හෝ දැනුමක් ඔවුන් බොහෝ විට ලබා ගෙන ඇත්තේ සමහර චිත්‍රපට හා ටෙලිනාට්‍යවල ඇති මෝහනය ඇතුළත් දර්ශනවලිනි. අවාසනාවකට චිත්‍රපට හා ටෙලිනාට්‍යවලින් පෙන්වන්නේ කිසිසේත් මෝහනයෙන් කළ නොහැකි එහෙත් එම කලාත්මක නිර්මාණයේ රස උත්පාදනය සඳහාම ඇති තවත් ප්‍රබන්ධයන් පමණි. ඔබම සිතා බලන්න මෝහනය පිළිබඳ ඔබ යම් දැනුමක් ලබා ඇතිනම්, ඊට කොතරම් චිත්‍රපට දර්ශන ආදිය බලපා ඇතිද කියා. සෑම ක්ෂේත්‍රයකම මෙන්ම මෝහනයද නිවැරදිව අවබෝධ කර හා නොකර එහි නියැළෙන අය සිටී. කෙනෙකු මෝහනය කිරීමට පැයක් වැනි කුඩා කාලයකින් වුවද අවශ්‍ය නම්...

Company Registration in Sri Lanka (සමාගම් ලියාපදිංචි කිරීම)

මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාව තුල පෞද්ගලික සමාගමක් (private limited company) ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය පියවරින් පියවර සිදු කරන අයුරු විස්තර කිරීමයි. ඇත්තටම මෙම කාරණය තරමක් කරදරකාරි දෙයක් වුවද, ආත්ම විශ්වාසය හා අවශ්‍ය කරන සුලු දැනුමක් තිබේ නම් තමන්ගේ ව්‍යාපාරය තමන්ටම පෞද්ගලික සමාගමක් ලෙස ලියා පදිංචි කර ගත හැකියි. මෙම ලිපියෙන් එම අවශ්‍ය සුලු දැනුම ලබා දීමට මා උත්සහ කරනවා. එය විස්තර කිරීමට පෙර ප්‍රවේශයක් ලෙස පොදු කාරණා කිහිපයක් මුලින්ම පැවසීමට ඇත. මිනිසුන්ට විවිධ අවශ්‍යතා (needs) හා උවමනාවන් (wants) තිබෙන අතර, ඒවා භාණ්ඩ (goods) හා සේවා (services) වශයෙන් ඔවුන් ලබා ගන්නවා. මේවා සැපයීමට මිනිසා විසින් නොයෙකුත් සංවිධාන (organizations) පිහිටුවනවා. ඇත්තටම සංවිධාන වර්ග රාශියක් තිබේ ( ආණ්ඩුව, අමාත්‍යංශ, පාර්ලිමේන්තුව, උසාවි, දෙපාර්තමේන්තු, සංස්ථා, අධිකාරි, කොමිෂන්, සමිති, සමුපකාර, තනි ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සමාගම් , ආදි ලෙස). මේ අතරින් තනි තනි පුද්ගලයන් වශයෙන් හෝ පුද්ගල කණ්ඩායමක් වශයෙන් ගත් විට, අපට වැදගත් වන්නේ ඉන් සමහර සංවිධාන ව්‍යුහයන් පමණි. ආණ්ඩුව, අමාත්‍යංශ, පාර්ලිමේ...