Skip to main content

තෙරුවන් සරන ගිය මාලිමාව

තවත් අපූරු ඡන්දයක් නිම විය. එය කරුණු රැසක් නිසා අපූර්ව වේ. සමහරු කියන පරිදි රදලයන්ගේ දේශපාලනයේ අවසානයක් (තාවකාලිකව හෝ) ඉන් සිදු විය. වැඩ කරන ජනයාගේ, නිර්ධන පංතියේ නායකයෙකු හා පක්ෂයක් බලයට පත් වීමද සුවිශේෂී වේ. රටේ මෙතෙක් සිදු වූ සකල විධ අපරාධ, දූෂන, භීෂන සොයා දඩුවම් කරනවා යැයි සමස්ථ රටවැසියා විශ්වාස කරන පාලනයක් ඇති විය. තවද, බහුතර කැමැත්ත නැති (එනම් 43%ක කැමැත්ත ඇති) ජනපතිවරයකු පත් විය. ජවිපෙ නායකයෙක් "තෙරුවන් සරණයි" කියා පැවසීමත් පුදුමය. මේ සියල්ල ලංකා ඉතිහාසයේ පලමු වරට සිදු වූ අපූරු දේශපාලන සංසිද්ධි වේ. මාද විවිධ හේතුන් මත අනුරට විරුද්ධව මෙවර තර්ක විතර්ක, සංවාද විවාද, හා "මඩ" යහමින් ගැසූ තත්වයක් මත වුවද, ඔහු දැන් රටේ ජනපති බැවින් ඔහුට පලමුව සුබ පතමි.  ඔහුට විරුද්ධව වැඩ කලත්, මා (කිසිදා) කිසිදු පක්ෂයකට හෝ පුද්ගලයකුට කඩේ ගියේද නැති අතර අඩුම ගණනේ මාගේ ඡන්දය ප්‍රකාශ කිරීමටවත් ඡන්ද පොලට ගියෙ නැත (ජීවිතයේ පලමු වරට ඡන්ද වර්ජනයක). උපතේ සිටම වාමාංශික දේශපාලනය සක්‍රියව යෙදුනු පවුලක හැදී වැඩී, විප්ලවවාදි අදහස්වලින් මෙතෙක් කල් දක්වා සිටි මා පලමු වරට සාම්ප්‍රදායික (කන්සර්වටිව්...

Company Registration in Sri Lanka (සමාගම් ලියාපදිංචි කිරීම)

මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාව තුල පෞද්ගලික සමාගමක් (private limited company) ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය පියවරින් පියවර සිදු කරන අයුරු විස්තර කිරීමයි. ඇත්තටම මෙම කාරණය තරමක් කරදරකාරි දෙයක් වුවද, ආත්ම විශ්වාසය හා අවශ්‍ය කරන සුලු දැනුමක් තිබේ නම් තමන්ගේ ව්‍යාපාරය තමන්ටම පෞද්ගලික සමාගමක් ලෙස ලියා පදිංචි කර ගත හැකියි. මෙම ලිපියෙන් එම අවශ්‍ය සුලු දැනුම ලබා දීමට මා උත්සහ කරනවා. එය විස්තර කිරීමට පෙර ප්‍රවේශයක් ලෙස පොදු කාරණා කිහිපයක් මුලින්ම පැවසීමට ඇත.

මිනිසුන්ට විවිධ අවශ්‍යතා (needs) හා උවමනාවන් (wants) තිබෙන අතර, ඒවා භාණ්ඩ (goods) හා සේවා (services) වශයෙන් ඔවුන් ලබා ගන්නවා. මේවා සැපයීමට මිනිසා විසින් නොයෙකුත් සංවිධාන (organizations) පිහිටුවනවා. ඇත්තටම සංවිධාන වර්ග රාශියක් තිබේ (ආණ්ඩුව, අමාත්‍යංශ, පාර්ලිමේන්තුව, උසාවි, දෙපාර්තමේන්තු, සංස්ථා, අධිකාරි, කොමිෂන්, සමිති, සමුපකාර, තනි ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සමාගම්, ආදි ලෙස). මේ අතරින් තනි තනි පුද්ගලයන් වශයෙන් හෝ පුද්ගල කණ්ඩායමක් වශයෙන් ගත් විට, අපට වැදගත් වන්නේ ඉන් සමහර සංවිධාන ව්‍යුහයන් පමණි. ආණ්ඩුව, අමාත්‍යංශ, පාර්ලිමේන්තුව, උසාවි, දෙපාර්තමේන්තු, සංස්ථා, අධිකාරි, කොමිසන් වැනි සංවිධාන ඔබ අපට පිහිටුවිය හැකි දේවල් නොවන බව පැහැදිලියිනෙ. ඒවා රාජ්‍ය සංවිධාන (state organization/institutions හෝ public organizations) වේ. අපගේ අවධානය යොමු වන්නේ පුද්ගලයන් අයිතිය දරන පෞද්ගලික සංවිධාන (private organizations) කෙරෙහිය.

රටේ ඕනෑම පුරවැසියකුට තමන් කැමැති ව්‍යාපාරයක නියැලීමට මූලික අයිතිවාසිකමක් ඇත. තමන් සපයන භාණ්ඩ හෝ සේවා රටේ නීතිය විසින් තහනම් කර නොතිබීම අවශ්‍ය වේ (ඒකනේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය සිදු කරන්නට බැරි). තවත් භාණ්ඩ හා සේවා තිබෙනවා සම්පූර්ණයෙන්ම තහනම් කර නොතිබුණත් යම් යම් සීමා රජය විසින් පනවා තිබෙන. එවිට, එම සීමා කොන්දේසි සපුරමින් එම ව්‍යාපාරවල යෙදිය හැකිය. සමහර සීමා ස්ථිර වන අතර, සමහර ඒවා තාවකාලික වේ (උදාහරණ ලෙස, මේ දවස්වල ඩොලරයට සාපේක්ෂව රුපියල බාල්දු වෙමින් පවතින නිසා සමහර භාණ්ඩ ආනයනයට සීමා ඇත).

ඉතිං, ඕනෑම පුරවැසියකුට නීත්‍යානුකූලව යම් භාණ්ඩයක් හෝ සේවාවක් වෙළඳාම් කිරීමට හැකිය. ඒ සඳහා අමුතුවෙන් අවසරයක් ගැනීමට හෝ ලියාපදිංචි වීමක් අවශ්‍ය නැත. අවශ්‍ය නම්, තමන්ගේ පවුලේ අය හෝ නෑදෑ හිතමිතුරන් කිහිප දෙනෙකු හෝ ඊට සම්බන්ද කර ගත හැකිය. ඇත්තටම මේ ආකාරයට සිදු කරන ව්‍යාපාර විශාල ප්‍රමාණයක් රටක් තුල පවතී. උත්සවවලට කේක් සෑදීම, ඇඳුම් මැසීම, ගමේ කුඩා කඩයක් දැමීම ආදිය සිදු වන්නේ මේ ආකාරයට නේද? මෙවැනි ව්‍යාපාර ස්වභාවයෙන්ම කුඩා ව්‍යාපාර (small scale business) වේ.

ඉතිං, තමන් තනියෙන් (කේවලව) සිදු කරන සුලු ව්‍යාපාරයට තරමක පිලිගැනීමක් ලබා දීමට හැකියි එම ව්‍යාපාරයේ නාමය (business name) ලියාපදිංචි කිරීමෙන්. මේ සඳහා තමයි තනි ව්‍යාපාර හෙවත් කේවල ස්වාමි ව්‍යාපාර (sole enterprise හෙවත් proprietorship) ලෙස හැඳින්වෙන ව්‍යාපාරික ස්වරූපය පවතින්නේ. මෙහිදී ඇත්තටම සිදු වන්නේ ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමක් නොව, ව්‍යාපාරයේ නම ලියාපදිංචි කිරීමක් පමනි. එලෙස නමක් ලියාපදිංචි කළ විට එම නමින් තවත් අයෙකුට ව්‍යාපාරයක් කිරීමට නොහැකිය.

තනි පුද්ගලයකු නොව පිරිසක් යම් ව්‍යාපාරයක් කරන විට, එවැනි ව්‍යාපාරයකට යම් පිලිගැනීමක් ලබා ගැනීමට එම ව්‍යාපාර නාමය හවුල් ව්‍යාපාරයක් (partnership) ලෙස ලියාපදිංචි කළ හැකියි. මෙහිදීද ව්‍යාපාරය නොව ව්‍යාපාර නමයි ලියාපදිංචි කරන්නේ. මෙහි ඇති එක් වැදගත්ම කොන්දේසිය වන්නේ හවුල්කරුවන් (partners) 20කට අඩුවෙන් සිටිය යුතු වීමයි. පිරිසක් එක්ව වැඩ කරන නිසා, පසුවට ඇති විය හැකි ආරවුල් අවම කර ගැනීමට හවුල් ඔප්පුව (partnership deed) නම් පොදු ලියවිල්ලක්ද සියලු හවුල් කරුවන්ගේ එකඟතාවෙන් සකසා ගත හැකිය (නමුත් හවුල් ඔප්පුව අනිවාර්ය නැත). එම ලියවිල්ල ඇත්තටම එම සංවිධානයේ ව්‍යවස්ථාවයි (එනම් ව්‍යාපාරය පවත්වා ගෙන යා යුත්තේ එහි ඇති කොන්දේසිවලට අනුවයි).

ඉහත සඳහන් කළ දෙවර්ගයේම සංවිධානවල නීතිමය පුද්ගලභාවයක් (legal body හෙවත් legal entity හෙවත් legal person) නැත. නීතිමය පුද්ගලභාවය යනු ඉතා වැදගත් සංකල්පයකි. ඔබ හා මා පුද්ගලයන්ය. ඕනෑම පොඩි එකකුට වුවද එය වැටහේ. ලංකාවේ නීතිය අනුව, වයස අවුරුදු 18ට වැඩි නම් හා ස්වාධීනව තීරණ ගත නොහැකි තරමේ උග්‍ර මානසික රෝගියකු ("පිස්සෙකු") නොවන්නේ නම්, ඔහුට හෝ ඇයට රට තුල ස්වාධීනව කටයුතු කළ හැකිය. නීතියට අනුව යම් යම් සංවිධානද ඔබ මා සේ "පුද්ගලයකු" සේ සලකනු ලබනවා. හැබැයි සංවිධානයක් යනු අප්‍රානික දෙයක් බව ඔබ දන්නවා. එනිසා මේවා "නීතිමය පුද්ගලයන්" සේ හඳුන්වනවා (ඒ කියන්නේ නීතිය ක්‍රියාත්මක වීමේදී එවැනි ආයතන ස්වාධීනව තීරණ ගත හැකි සාමාන්‍ය පුද්ගලයකු සේ සලකා කටයුතු සිදු වෙනවා). එහෙත් මේවා අප්‍රානික නිසා, එවැනි නීතිමය පුද්ගලභාවයක් තිබෙන ආයතනවල සියලු තීරණ ගැනීම සඳහා මිනිසුන් එක් කෙනෙකු හෝ කිහිප දෙනෙකුගෙන් සැදුම්ලත් යම් පරිපාලන ඒකකයක් (අධ්‍යක්ෂක මණ්ඩලයක්) අනිවාර්යෙන්ම පවතිනවා.

ඉතිං මෙලෙස නීතිමය පුද්ගලභාවයක් තිබීමෙන් ඇතිවන වාසි මොනවාද? යම් ව්‍යාපාරයක නීතිමය පුද්ගලභාවය නැති නම්, එම ව්‍යාපාරය යනු එම ව්‍යාපාරයේ අයිතිකරුවන්ම වේ. ඒ කියන්නේ ව්‍යාපාරයේ පැවැත්ම හා අයිතිකරුවන්ගේ පැවැත්ම එකිනෙකට බැඳී පවතී. උදාහරණයක් ලෙස, කිසියම් හේතුවක් නිසා, එවැනි නීතිමය පුද්ගලභාවයක් නැති ආයතනයකට කවුරුන් හෝ විසින් වන්දි නඩුවක් දමා, ව්‍යාපාරයට එම වන්දි ගෙවීමට සිදු වුවොත්, ව්‍යාපාරය සතුව එම වන්දිය ගෙවීමට මුදල්/වත්කම් නැති වුවොත් අයිතිකරුවන් සතු පෞද්ගලික දේපල (තම නිවෙස්, ඉඩම්, වාහන, බැංකු ගිනුම්වල මුදල් ආදිය) යොදවා හෝ එම වන්දි ගෙවිය යුතුය. එහෙත් වන්දි ගෙවීමට සිදු වන්නේ නීතිමය පුද්ගලභාවය ඇති ව්‍යාපාරයකට නම්, ව්‍යාපාරයේ ඇති වත්කම්වලට පමනක් එම වන්දිය සීමා වේ. ඒ අනුව, ව්‍යාපාරයේ වත්කම් වන්දිය සඳහා ප්‍රමාණවත් නොවන්නේ නම්, අයිතිකරුවන් සතු පෞද්ගලික වත්කම්වලින් ඒවා ගෙවීමට අවශ්‍ය නැත (අයිතිකරුවන් සතුව කොපමන වත්කම්/මුදල් තිබුණත්).

ඒ අනුව, තනි ව්‍යාපාර හා හවුල් ව්‍යාපාරවලට නීතිමය පුද්ගලභාවය නැති නිසා, අයිතිකරුවන්ට යම් අවදානමක් තිබෙන බව පැහැදිලියිනෙ. ඇත්තටම ඉහත කතා කළ විස්තර අනුව නීතිමය පුද්ගලභාවය සමඟ ගැට ගැහුණු අනෙක් සංකල්පය වන්නේ වගකීම (liability) වේ. වගකීම යනු යම් භාහිර පාර්ශ්වයකට වටිනාකමක් (මුදලක් වැනි) ගෙවා දැමීමට බැඳී තිබීමයි. උදාහරණයක් ලෙස, ඉහත විස්තර කළ ලෙසට, වන්දි නඩුවකින් යම් වන්දියක් ගෙවීමට සිදු වේ නම්, එම වන්දි මුදල ව්‍යාපාරයට වගකීමක් වේ. ඉතිං, තනි ව්‍යාපාර හා හවුල් ව්‍යාපාරවල වගකීම සීමාරහිත (unlimited liability) වේ. ඒ අනුව, තමන්ගේ පෞද්ගලික දේපල දක්වා වගකීම පැතිරේ.

කෙසේ වෙතත් ඉහත දෙයාකාරයේ ව්‍යාපාරවල වාසිද රැසක් පවතී. ඉතා සුලු මුදලක් (ලියාපදිංචි ගාස්තුව හා ප්‍රාදේශීය/නගර සභා බදු දෙක සඳහාම රුපියන් 4000කට අඩු මුදලක්) පමනක් වැය කොට ඒවායේ නාම ලියාපදිංචි කර ගත හැකියි. මෙවැනි ව්‍යාපාර පහසුවෙන් ඇරඹිය හැකි සේම, ඕනම තත්පරයකදී අවසන්ද කළ හැකිය (අයිතිකරුවන්ට දැන් සිතුනොත් ව්‍යාපාරය නතර කරනවා කියා, එම මොහොතේ සිටම එය අවසන් වේ). තවද, තනි ව්‍යාපාරයේ හිමිකර මැරුනොත් හෝ හවුල් ව්‍යාපාරයක එක් හවුල්කරුවෙකු හෝ ඉන් ඉවත් වුණොත් හෝ මැරුනොත් එවිට ඉබේම එම ව්‍යාපාරය අහෝසි වී යයි (එවිට නැවත අලුතින් ව්‍යාපාර නාමය ලියාපදිංචි කළ යුතුය). ව්‍යාපාරයට අමුතුවෙන් බලපාන දැඩි නීතිද නැත. එවැනි ව්‍යාපාරයක් සඳහා ගිනුම් පවත්වාගෙන යෑම අනිවාර්ය නොවේ. කෙසේ වෙතත් නීති දැඩිව බලපාන විශේෂ අවස්ථා තිබිය හැකිය (ආනයන අපනයන සිදු කරන අවස්ථා වැනි).

විශේෂයෙන් මතක තබා ගත යුත්තේ මෙම දෙවර්ගයේම ව්‍යාපාර සමාගම් හෝ කොම්පැනි යන නාමයෙන් හැඳින් විය නොහැකි බවයි. ව්‍යාපාරය හෝ බිස්නස් එක හෝ firm (ෆර්ම් එක) ලෙස ඒවා හැඳින්විය හැකිය. තවද, ඒවායේ අයිතිකරුවන් හෝ එවැනි ව්‍යාපාරයක් පාලනය කරන අයව අධ්‍යක්ෂක හෝ ඩිරෙක්ටර් යන නාමයෙන්ද හැඳින්විය නොහැකිය. ඒ වෙනුවට ජෙනරල් මැනේජර් (General Manager - GM), මැනේජර්, අයිතිකරු (owner හෙවත් proprietor) යන නම් භාවිතා කළ හැකිය.

මෙම ලිපියේ අරමුණ තනි ව්‍යාපාර හෝ හවුල් ව්‍යාපාර ලියාපදිංචි කිරීම ගැන නොවන නිසා, ඒ ගැන විස්තර ලියන්නේ නැත (එහෙත් එය ඉතා පහසුවෙන් කළ හැකි දෙයකි; අවශ්‍ය නම්, පසුවට ඒ ගැනත් ලිවිය හැකිය). ඉතිං, නීතිමය පුද්ගලභාවය සහිත වගකීමද සීමා සහිත ව්‍යාපාරික ව්‍යුහයක් තමයි සමාගම් (company) කියන්නේ. මූලිකවම ලංකාවේ නීතිය අනුව සමාගම් වර්ග 3කි - පෞද්ගලික සමාගම් (private limited company), පොදු සමාගම් (public limited company), ඇපයෙන් සීමිත සමාගම් (company limited by guarantee). ඉනුත් අපට වැදගත් වන්නේ පෞද්ගලික සමාගම්ය. මෙම සියලු සමාගම් සඳහා බලපවත්වන්නේ 2007 අංක 07 දරන සමාගම් පනතයි (එය විශාල පිටු ගණනක් සහිත තඩි පොතකි).

ඕනෑම සමාගමක් ආරම්භ කිරීමේදී ඊට අවශ්‍ය මූලික දේවල් (වත්කම් - assets ලෙස මේවා නම් කරමු) මිලදී ගැනීමට හා වියදම් දැරීමට යම් මුදලක් (මෙය කෙලින්ම මුදල් වශයෙන් හෝ ඉඩමක්, බිල්ඩිමක්, වාහනයක්, යන්ත්‍රෝපකරණයක්, වටිනා ව්‍යාපාරික අදහසක් ආදි වශයෙන් පැවතිය හැකිය) අවශ්‍ය වේ. මෙම මුදල ප්‍රාග්ධනය (capital) ලෙස හැඳින් වේ. මෙම ප්‍රාග්ධනය සාමාන්‍යයෙන් සපයන්නේ සමාගමේ අයිතිකරුවන් විසිනි. සමාගමක අයිතිකරුවරුවන් හඳුන්වන්නේ කොටස්කරුවන් (shareholders) යන නමිනි. ඒ නම භාවිතා වන්නට හේතුව වන්නේ සමාගමේ මුලු ප්‍රාග්ධනය එක සමාන කොටස් (shares) වලට කැඩීමයි. එවිට, ඒ ඒ අයිතිකරුවන්/කොටස්හිමියන් එම මුලු කොටස් ගණනින් යම් යම් ප්‍රමාණයන් ලබා ගනී. උදාහරණයක් ලෙස, යම් සමාගමක ආරම්භක ප්‍රාග්ධනය රුපියල් මිලියනයක් නම් හා එම මිලියනය කොටස් ලක්ෂයකට බෙදුවේ නම් එක් කොටසක මිල රුපියල් 10කි (කොටසක මිල කොපමන විය යුතුදැයි තීරණය කරන්නේ සමාගම විසිනි). එවිට, යම් අයිතිකරුවෙකු ඉන් කොටස් 25,000ක්ද තවත් අයෙක් තවත් කොටස් 20,000ක්ද, ඉතිරි කොටස් 55,000 තවත් අයෙකුද අයිති කර ගත්තා නම්, එම සමාගමේ කොටස්හිමියන් තිදෙනෙකු සිටී.

පෞද්ගලික සමාගමක් සඳහා අවම වශයෙන් එක් කොටස්කරුවෙකු සිටිය යුතුය (එවිට සියලු කොටස් ඔහු සතුය). සිටිය හැකි උපරිම කොටස්හිමියන් ගණන 50කි. මීට අමතරව, සමාගමේ වැඩ කරන සේවකයන්ටද අවශ්‍ය නම් කොටස් යම් ප්‍රමාණයක් ලබා දිය හැකි අතර, එවන් අවස්ථාවලදී සේවකයන් කොටස්හිමියන් ලෙස සැලකුවත් අර 50 සීමාව ගණනය කිරීමේදී ඔවුන් සලකා බැලෙන්නේ නැත. එම සේවකයන් විශ්‍රාම ගිය පසුත් අවශ්‍ය නම් අර කොටස් අත් නොහැර තමා සතුව දිගටම පවත්වාගෙන යා හැකි අතර, එවිටත් ඔවුන්ව අර 50 සීමාවට අයත් නොවේ.

කොටස්හිමියන් සතු කොටස්වලට සමානුපාතිකව ඒ ඒ කොටස්හිමියන් සතු සමාගමේ තීරණය ගැනීමේ බලය (හෙවත් සමාගමේ යෝජනා සම්මත කර ගැනීමේදී යොදා ගනු ලබන ඡන්ද බලය) හිමි වේ. සාමාන්‍යයෙන් වැඩිම කොටස් තිබෙන අය තමයි එම සමාගම පරිපාලනය කරන අධ්‍යක්ෂකවරුන් බවට පත් වන්නෙත්.

කොටස්හිමියන් අතුරින් අවම වශයෙන් එක් කෙනෙකුවත් සමාගමේ අධ්‍යක්ෂක (director) ලෙස තෝරා ගත යුතුය. සමහරවිට අධ්‍යක්ෂකවරුන් කිහිප දෙනෙකු සිටින අතර, එවිට ඔවුන්ව අධ්‍යක්ෂක මණ්ඩලය (director board) ලෙස හැඳින් වේ. මොවුන් තමයි මා පෙර සඳහන් කළ පරිදි නීතිමය පුද්ගලභාවය ප්‍රායෝගිකව ක්‍රියාවෙහි යොදවන පරිපාලන ඒකකය. සමාගමේ සියලු තීරණ ගන්නේ ඔවුන් විසිනි (සමහර තීරණ සඳහා කොටස්හිමියන්ගේ බහුතර කැමැත්තද හිමිවිය යුතුය). ඔවුන් ගන්නා තීරණ රාශිය අතර, සමාගමක් මාස 12ක් තිස්සේ ව්‍යාපාරික කටයුතු කර ඉන් ලබන ලාභය (ලාභයක් ඇත් නම්) කොටස්හිමියන් අතර කෙසේ කොපමණ බෙදිය යුතුදැයි තීරණය කරන්නේ අධ්‍යක්ෂක මණ්ඩලය විසිනි. අධ්‍යක්ෂක මණ්ඩලය සමාගමේ කොටස්හිමියන්ට වගකිව යුතුය. සමාගමේ යම් යම් ගැටලු මතු වුවොත් ඒවාට වග කියන්නේද අධ්‍යක්ෂක මණ්ඩලයයි. එනිසා ඔවුන්ට ඉතා වැදගත් රාජකාරී රාශියක් ඇත; විශාල වගකීමකි.

කිහිප දෙනෙකු යම් සභාවක් වන්නේ නම්, ඉන් අවශ්‍යයෙන්ම එක් කෙනෙකු එම සභාවේ ප්‍රධානියා බවට පත් කර ගත යුතුය. අධ්‍යක්ෂක මණ්ඩලයද එලෙස තමන් අතුරින් එක් කෙනෙකු සභාපති (chairman) බවට පත් කර ගනී. ඒ අනුව සභාපති යනුද අධ්‍යක්ෂක කෙනෙකු වේ. ඔහුට සාමාන්‍ය අධ්‍යක්ෂකවරයකුට වඩා වැඩිපුර බලතල පැවරීමට හැකියි අධ්‍යක්ෂක මණ්ඩල තීරණයකින් හෝ සමාගමේ ව්‍යවස්ථාව මඟින්.

ඇත්තටම, ව්‍යාපාරයේ විවිධ අංශ/වැඩකටයුතු භාරව විවිධ නම්වලින් අධ්‍යක්ෂකරුන් පත් කර ගත හැකිය. executive director, managing director (MD), working director (WD), director general (DG) (සාමාන්‍යාධිකාරි) යනු එවැනි නම් කිහිපයකි. මෙම නම්වලින් හැඳින්වෙන අධ්‍යක්ෂකවරයා අනෙක් අධ්‍යක්ෂකවරුන්ට වඩා බලයක් උසුලයි. සමාගමේ එදිනෙදා තීරණ ගැනීමේ බලය සාමාන්‍යයෙන් මෙවන් අධ්‍යක්ෂකවරයකු සතුය. සමහර ආයතනවල ප්‍රධාන විධායක නිළධාරි (Chief Executive Officer - CEO) ලෙසද හඳුන්වන්නේ මොහුමය. කුඩා හා මධ්‍යම පරිමාන ව්‍යාපාරවල බොහෝවිට සභාපතිම මෙම තනතුර/වගකීම දරයි. සාමාන්‍ය අධ්‍යක්ෂකවරයකු මෙන් නොව, මෙවන් විධායක බලය සහිත අධ්‍යක්ෂකවරයකු සමාගමේ සේවකයකුද වේ (එනම් පඩියක් අනිවාර්යෙන් ලබයි).

සමාගමක නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරු (deputy director general - DGM), අතිරේක අධ්‍යක්ෂක ජනරාල්වරු (additional director general - ADG), නියෝජ්‍ය අධ්‍යක්ෂකවරු (deputy director), අතිරේක අධ්‍යක්ෂකවරු (additional director), සහකාර අධ්‍යක්ෂක (assistant director) ආදි ලෙස දෙවැනි, තෙවැනි මට්ටම්වල ඉහල තනතුරුද පැවතිය හැකිය. මීටත් අමතරව කළමනාකරු (manager) යන තනතුරුද අධ්‍යක්ෂකවරුන්ට පහලින් පැවතිය හැකිය. මැනේජර්ලාද නැවත විවිධ මට්ටම්වලින් සිටිය හැකියි - General Manager (GM), deputy general manager (DGM), assistant general manager (AGM), senior manager, deputy manager, assistant manager ආදි ලෙස. ව්‍යාපාරයේ විශාලත්වය අනුව පවතින තනතුරු ප්‍රමාණය හා ස්වරූපය තීරණය වන බව පැහැදිලියිනෙ. කුඩා සමාගම්වල නම් බොහෝවිට අධ්‍යක්ෂකවරයෙකු හෝ කිහිප දෙනෙකුත්, හා මැනේජර්වර් කෙනෙකු හෝ කිහිප දෙනෙකු සිටිය හැකියි.

අධ්‍යක්ෂකවරුන්ට අමතරව, සමාගමක අවශ්‍යයෙන්ම සිටිය යුතු තවත් වැදගත් තනතුරක් තමයි සමාගම් ලේකම් (company secretary) කියන්නේ. ඔහුගේ/ඇයගේ රාජකාරිය තරමක් නීති පැත්තට බර වේ. තනි ව්‍යාපාර හා හවුල් ව්‍යාපාර මෙන් නොව, සමාගම් සඳහා විශාල අමතර නීති ප්‍රමාණයක් අදාල වේ. අවුරුදු පතා ව්‍යාපාරයේ වැඩකටයුතු රජයට (ඇත්තටම රජය වෙනුවෙන් සමාගම් රේජිස්ට්‍රාර්ට) වාර්තා කළ යුතුය (සමාගම් රෙජිස්ට්‍රාර් - company registrar යනු සමාගම් ලියාපදිංචිය සිදු කරන හා ඒවා ගැන අඛණ්ඩව සොයා බලන රජයේ දෙපාර්තමේන්තුවකි). මේවා භාරදූර වැඩ වන අතර, ඒ සඳහා දැනුමක්ද අවශ්‍ය වේ. ඉතිං, මේ වැඩ සියල්ල සිදු කරන්නේ ලේකම් විසිනි. ලේකම් තනි පුද්ගලයකු හෝ ආයතනයක් විය හැකිය (ඒ කියන්නේ මුදල් අයකරගෙන ලේකම් රාජකාරිය කිරීමම අරමුණු කරගත් ව්‍යාපාර/ආයතන තිබේ).

සමාගමක ලේකම් ලෙස පත්වීමක් හැමෝටම ගත නොහැකිය. ඒ සඳහා සමාගම් රෙජිස්ට්‍රාර් ගාව ලියාපදිංචි වීමට අවශ්‍ය වේ. නීතිඥයන්, ගණකාධිවරුන් වැනි සුදුසුකම් ලත් අයට යම් ගෙවීමක් සිදු කර සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි විය හැකිය (තනි පුද්ගලයකුට සේම ආයතනවලට එසේ ලියාපදිංචි විය හැකිය). අන්න එවැනි ලියාපදිංචිය ලත් කෙනෙකුව තමයි සමාගමක ලේකම් ලෙස පත් කළ හැක්කේ. මොවුන් සඳහා වාර්ෂිකව (හෝ මාසිකව) විශාල මුදලක් ගෙවීමටත් සිදු වේ.

එහෙත් එලෙස මුදල් ගෙවීමට අකමැති නම්, තවත් එක් ක්‍රමයක් තිබේ. එනම්, සමාගමක අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු හෝ වැඩියෙන් සිටී නම්, ඉන් එක් කෙනෙකුව තම සමාගමේ ලේකම් ලෙසත් පත් විය හැකිය. ඔහුට ලේකම් කෙනෙකු විසින් සිදු කරන සියල්ල සිදු කිරීමට වේ. කෙසේ වෙතත්, සමාගමේ කොටස් ප්‍රාග්ධනය (share capital) රුපියල් 500,000 හෝ වාර්ෂික පිරිවැටුම (annual turnover) රුපියල් 1,000,000 ට වැඩි නම්, මෙය කළ නොහැකි අතර සුදුසුකම් ලත් භාහිර ලේකම් කෙනෙකුව පත් කිරීමට සිදු වේ.

දැන් බලමු පෞද්ගලික සමාගමක් සමාගම් මැදුරේ (සමාගම් රෙජිස්ට්‍රාර් සිටින කාර්යාලය හඳුන්වන්නේ මෙම නමින් වන අතර, එය දැනට ඩීආර් විජේවර්ධන මාවතේ මරදාන පැත්තේ කෙලවර පිහිටා තිබේ) ලියාපදිංචි කරන්නේ කෙසේද කියා පියවරින් පියවර. එහි පියවරවල් පහත දැක්වේ.

1. සමාගම් නාමය ලියාපදිංචි කිරීම
2. සමාගම් ව්‍යවස්ථාව, කොටස්හිමියන්, අධ්‍යක්ෂකවරුන්, ලේකම්/ලේකම්වරුන් ලියාපදිංචි කිරීම
3. සමාගම ලියාපදිංචි කළ බවට රටේ මහා ජනයාට දැනුම් දීම

පලමුවෙන්ම සමාගමේ නාමය ලියා පදිංචි (company name approval) කර ගත යුතුය. දැනටමත් රට තුල සමාගම් දහස් සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇත. ඉතිං, ඔබ රෙජිස්ටර් කිරීමට යන කම්පැනියේ නම ඒ කිසිදු කොම්පැනියක නමකට සමාන විය නොහැකිය. තවද, රජයේ වැදගත් නිලතල හැඟවෙන (ජනාධිපති, අගමැති වැනි) හෝ රජයට සම්බන්ද බවක් හැඟවෙන පරිදි (වංක අදහසින්) සැකසූ නමක්ද යෙදිය නොහැකිය. ඇත්තටම තමන් අවංක අදහසින් කරන ව්‍යාපාරයක් නම්, අමුතුවෙන් වද වීමට හේතුවක් නැත. ඉතිං, තමන් සිතා සිටින නම සමාගම් මැදුරට ගොස් එහි ෆෝර්ම් එකක පුරවා රුපියල් 2000ක පමන ගාස්තුවක්ද සමඟ භාර දෙන්න. අර කියපු ආකාරයට එම නම දැනටමත් අරගෙන නැතිනම් හා අනෙකුත් කොන්දේසි උල්ලංඝනය කර නොමැති නම් දවස් දෙකකින් පමන එම නම අනුමත වේවි. එම අනුමැතිය සමඟ name approval number ලෙස අංකයක්ද ලැබේ (මෙම අංකය පසුව ඉදිරිපත් කරන ලේකනවල ඇතුලත් කළ යුතුය). එලෙස අනුමත කර ගත් නමක් මාස කිහිපයකට පමනි වලංගු වන්නේ. ඒ කියන්නේ එම කාලය ඇතුලත සමාගම ලියාපදිංචි කිරීමේ අනෙක් පියවරවල් අර ගත යුතුය.

පෞද්ගලික සමාගමක සඳහා ඔබ තෝරා ගත් නමට පිටුපසින් හැමවිටම "පෞද්ගලික සමාගම" හෙවත් private limited හෙවත් (pvt) ltd යන කොටසක් එකතු වේ. උදාහරණයක් ලෙස, ඔබ තෝරා ගත් නම "ටෙක්රෝච්" නම්, එම සමාගම් නාමය "ටෙක්රෝච් පෞද්ගලික සමාගම" (TekCroach (pvt) Ltd) ලෙස ලැබේ.

නාමය අනුමත වීමෙන් පළමු පියවර අවසන් වේ. ඉන්පසු භාරදූර දෙවැනි පියවරට යා යුතුය. මෙහිදී ෆෝර්ම් වර්ග කිහිපයක්ම පිරවීමට අවශ්‍ය වේ. මුදල්ද වැඩියෙන් වැය වේ. මේ එක් එක් ෆෝර්ම් එක ගැන මා කෙටියෙන් ලියන්නම්. මේ සියලු ෆෝර්ම් පිරවිය යුත්තේ අතින් නොව, ටයිප්රයිටරයකිනි. එහෙත් ඊට වඩා පහසුයි මෙම ෆෝර්ම් ඉන්ටර්නෙට් එකෙන් word (doc) ෆයිල් වශයෙන් ඩවුන්ලෝඩ් කර ගෙන පරිගනකයෙන්ම පුරවා ප්‍රින්ට්අවුට් ගැනීම.

මෙම ඩොක්‍යුමන්ට් සෙට් එක අතරින් වැදගත්ම ලේකනය වන්නේ සමාගම් ව්‍යවස්ථාවලියයි. එය කවුරුත් හඳුන්වන්නේ Articles of Association ලෙසයි. ගමේ අවමංගල්‍යාධාර සමිතියකත් ව්‍යවස්ථාවක් තිබෙනවා නේද? රටකටත් ව්‍යවස්ථාවක් තිබෙනවා. යම් පිරිසක් සිටින තැනක නිතැතින්ම ආරවුල් ඇති විය හැකියි. ඉතිං, එවැනි අවස්ථා කල්තියාම දැනගෙන ඒවා මැඩ පැවැත්විය හැකියි එම පිරිස හැසිරිය යුත්තේ කෙසේද වැඩ කළ යුත්තේ කෙසේද යනුවෙන් යම් පොදු රීති මාලාවක් කල් තියා සාදා ගෙන ඇත් නම්. එවිට, කවුරුත් ඊට අනුගතව වැඩ කළ යුතුය. එලෙස, සෑම සමාගමක් සඳහාම ව්‍යවස්ථාවක් තිබේ.

ඇත්තටම, සමාගමක් සඳහා වලංගු පොදු ව්‍යවස්ථාවක් සමාගම් පනතේම ඇත (එය first schedule ලෙස හැඳින්වේ මොකද පනත අවසානයේ වෙනම කොටස් (ෂෙඩ්‍යුල්) කිහිපයක් පවතින අතර, ඉන් පලමු ෂෙඩ්‍යුලය එය වේ). පනතේ පලමු ෂෙඩ්‍යුලයේ ඇති පොදු ව්‍යවස්ථාව ඇත්තටම බොහෝ සමාගම් සඳහා ප්‍රමාණවත්ද වේ. එහෙත් එය ප්‍රමාණවත් නොවේ නම් හෝ එහි යම් යම් වෙනස්කම් කිරීමට අවශ්‍ය නම්, තම සමාගම සඳහාම අලුත්ම ව්‍යවස්ථාවක් සකසා ගත හැකිය. එය නම් කල්ගතවන තරමක් බැරෑරුම් වැඩකි (එහෙත් දැනුම තිබේ නම් එයද ඔබටම කර ගත හැකිය).

මෙම ව්‍යවස්ථාවේ සාමාන්‍යයෙන් පවතින්නේ අධ්‍යක්ෂකවරුන්ට පඩි හෝ දීමනා ගෙවන ආකාරය, ඔවුන්ව පත් කර ගන්නා ආකාරය, රැස්වීම් පවත්වන ආකාරය, තීරණ ගන්නා ආකාරය, සමාගම විසින් සිදු කරන කාර්යන් මොනවාද නොකළ යුතු කාර්යන් මොනවාද යන්න, කොටස්හිමියන් සතු අයිතිය තවත් අයට පවරන ආකාරය, සමාගම අවසන් (හෙවත් ඈවර) කරන්නේ නම් එය සිදු කරන ආකාරය, ලැදියාවන් පිලිබඳ ගැටුම් (conflict of interest) සමනය කරන අාකාරය, අධ්‍යක්ෂකවරුන්ගේ වගකීම් මොනවාද අාදි ඉතා වැදගත් කරුණු රාශියකි.

පහත දැක්වෙන්නේ යම් සමාගමක් සඳහා සැකසූ ව්‍යවස්ථාවකි. ව්‍යවස්ථාවක් ලිවිය යුත්තේ A4 කොල මත වන අතර, පිටු අංකිත කළ යුතුය. සෑම රීතියක්මත් (section) පිලිවෙලින් අංක හා අනුඅංක සහිතව පැවතිය යුතුය. එහි පළමු පිටුව පහත ව්‍යවස්ථාවේ ආකාරයට ලිවිය යුතුය. එම ව්‍යවස්ථාව අවසානයේ සියලු කොටස්හිමියන්ගේ නම, ලිපිනය, අත්සන සහිත පිටුවක්ද තිබේ. එම ලේකනයේ අවසානයේ එය අත්සන් කළ දිනයද දැමිය යුතුය. පහත ව්‍යවස්ථාව බලන්න.

https://drive.google.com/open?id=1U0-CnZMRzfvDB_3jP_lFlN4Wak0uQvep


පිරවිය යුතු පෝරම රාශිය අතුරින් එක් පෝරමයක් හඳුන්වන්නේ Form 1 කියාය. එයම Application for Registration of a Company ලෙස හැඳින්වේ. මෙම පෝරමය තමයි ඇත්තටම රෙජිස්ටර් කරන්නට යන කොම්පැනියේ මූලික තොරතුරු සියල්ලම පවතින්නේ.

එහි Number of the Company යන කොටුව තුල කිසිත් නොලියන්න. ඔබට එම නම්බරය ලැබෙන්නේ සමාගමක් ලියාපදිංචිය අවසන් වූ පසුවයි.

එහි Type of Company යටතේ Private Limited Company ලෙස ලිවිය යුතුය.

Name Approval Number යටතේ මින් පෙර නාමය අනුමත කරගැනීමේදී ලැබුනු කේතය/අංකය ඒ විදියටම ලිවිය යුතුය.

Name of the Proposed Company යටතේ තමන්ගේ කම්පැනියේ නම නිවැරදිව සටහන් කළ යුතුය (මෙහිදී (pvt) ltd යන කොටසද ලිවිය යුතුය).

Registered Address යන කොටසෙහි සමාගම පවත්වාගෙන යෑමට අදහස් කරන ස්ථානයේ ලිපිනය ලිවිය යුතුය. ඇත්තටම, දැනට සමාගම සඳහා වෙනමම ලිපිනයක් නැතිනම්, අධ්‍යක්ෂකවරයකුගේ හෝ කොටස්හිමියකුගේ හෝ වෙනත් අයකුගේ (ඔහුගේ කැමැත්ත ඇතිව) ලිපිනයක් වුවද දැමිය හැකිය. පසුව, සමාගමේ ලිපිනය වෙනස් වුවොත්, එම වෙනස් වූ ලිපිනය සමාගම් රෙජිස්ට්‍රාර්වරයාට දැනුම් දිය යුතුයි තවත් පෝරමයක් පුරවා තවත් රුපියල් දෙතුන්දහස ගාස්තුවක්ද ගෙවමින්.

Articles of Association යන හෙඩිම යටතේ වැකි දෙකක් ඇති අතර, ඉන් ගැලපෙන එක තබා අනෙක කපා දැමිය යුතුය. එහි අදහස මෙයයි. ඔබ ඔබේම ව්‍යවස්ථාවක් සකසා ඉදිරිපත් කරන්නේ නම් The articles of association of the proposed company shall be as set out in the first schecule of the act යන්න කපා දමන්න. එහෙත් ඔබ අලුතින් ව්‍යවස්ථාවක් නොසාදා පනතේ තිබෙන ව්‍යවස්ථාව ඔබේ සමාගමට අදාල කර ගන්නේ නම්, The articles of association of the proposed company shall be as set out in the Annexture A signed by each of us යන අනෙක් වාක්‍ය කපා දමන්න. මෙවිට articles of association නම් ලියවිල්ලක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවේ.

එම පෝරමයේ පලමු කොටස එතැනින් අවසන් වන අතර, අනෙක් කොටස යටතේ සමාගමේ ආරම්භක අධ්‍යක්ෂවරු පිලිබඳ කෙටි විස්තර ඇතුලු කිරීමට ඇත. එහිදී එක් එක් අධ්‍යක්ෂකගේ වාසගමද සහිතව සම්පූර්න නම (හැඳුනුම්පතේ ඇති පරිදි) ලිවිය යුතුය. තවද, හැඳුනුම්පත් අංකයද, ලංකාවේ ඔහු පදිංචි ලිපිනයද ලිවිය යුතුය. එක් එක් අධ්‍යක්ෂකගේ එම විස්තර වෙන වෙනම කොටුවල ඇතුලු කළ යුතුය. අදාල තැන්වල එක් එක් අධ්‍යක්ෂකගේ අත්සනද තැබිය යුතුය.


එම කොටසට පසුව සියලුම ආරම්භක කොටස්හිමියන්ගේ විස්තරද ඇතුලු කිරීමට කොටසක් ඇත. පෙර සේම සම්පූර්ණ නම්, හැඳුනුම්පත් අංකය, ලංකාවේ ලිපිනය, හා අත්සන තැබිය යුතුය. ඊට අමතරව, එක් එක් කොටස්හිමියා සමාගමේ කොටස් කොපමන හිමිකරගෙන ඇත්දැයි ලිවිය යුතුය.


ඉන්පසුව එන්නේ සමාගම් ලේකම්ගේ තොරතුරු ඇතුලු කිරීමේ කොටසයි. එහිදී සම්පූර්න නම, ලිපිනය, හා අත්සන ලිවිය යුතුය. තවද, එම ලේකම් භාහිර කෙනෙකු නම් (එනම් සමාගමේ අධ්‍යක්ෂකවරයකුම ලේකම් නොවන විට), එම ලේකම් සමාගම් මැදුරේ ලියාපදිංචි වී තිබෙන registration no එකද ඇතුලු කිරීමට සිදු වේ. සමාගමේ අධ්‍යක්ෂකවරයකු ලේකම් වන විට එවැනි ලියාපදිංචියක අනවශ්‍ය නිසා එම කොටුව හිස්ව තැබිය හැකිය.


අවසාන වශයෙන් මෙම ලිපි ලේකන ඉදිරිපත් කරන තැනැත්තාගේ විස්තරද ඇතුලු කිරීමට කොටුවක් ඇත. එය ඉදිරිපත් කරන තැනැත්තා සමාගමේ අධ්‍යක්ෂකවරයකු ලෙස හෝ ලේකම්වරයකු ලෙස හෝ වැඩ කිරීමට යන පුද්ගලයකු විය හැකිය. සමාගමේ කොටස්හිමියකු විය හැකිය. එහෙමත් නැතිනම් සමාගමට කිසිදු සම්බන්දයක් නැති සමාගම් ලියාපදිංචි සිදු කරන භාහිර පුද්ගලයකු විය හැකිය. අවසානයේ මෙම ලේකනය සැකසූ හෝ අත්සන් කළ දිනයද දැමිය යුතුය. දළ වශයෙන් මෙම දිනය හා ව්‍යවස්ථාවේ ඇති දිනය සමාන වීම සුදුසුය.


ඉන්පසුව Form 18 නම් පෝරමය පිරවිය යුතුය. එය Notice of Consent and Certificate of Director යන නමින්ද හැඳින්වේ. මෙහි අරමුණ වන්නේ සමාගමේ අධ්‍යක්ෂවරුන් පිළිබඳ විස්තර සැපයීමයි. සමාගමේ සිටින එක් එක් අධ්‍යක්ෂවරයකු සඳහා වෙන වෙනම මෙම පෝරමය පිරවිය යුතුය.

මෙහි Name of Proposed Company යටතේ සමාගමේ සම්පූරණ නම ලිවිය යුතුය.


අධ්‍යක්ෂවරයාගේ නම කොටස් වශයෙන් මෙහි ඉල්ලා සිටිය හැකිය (first name, last name). මෙහිදී මෙම පෝරම සකස් කරපු සමාගම් මැදුරේ එවුන්ගේ සුපුරුදු හරක් ගතිය ප්‍රදර්ශනය කෙරේ. එනම්, ලෝක සම්මතය අනුව first name (හෙවත් christian name) යනු පුද්ගලයාට යොදන ලස්සන නමයි (ෂෙහාන්, අරවින්ද, කාවින්දි ආදි ලෙස); last name (හෙවත් surname) යනු පුද්ගලයකුට තම මව්පිය පාර්ශවයෙන් ලැබෙන පෙළපත් නමයි. එහෙත් පිටරටක පවතින ආකෘතික පත්‍ර හා වචන හා පරිගනක වැඩසටහන් එලෙසම කොපි කර ඇති නිසාදෝ මේ දැන් විස්තර කළ පරිදි හරි විදියට ඔබ නම ඇතුලු කළොත් ඔබේ පෝරම ප්‍රතික්ෂේප වේ (හෝ ගැටලුවලට මුහුන දීමට සිදු වේ). එනිසා ඔබේ නම ඇතුලු කරන විට first name යන කොටුවේ ඇතුලු කළ යුත්තේ ඔබේ හැඳුනුම්පතේ ඇති සම්පූර්ණ නමෙහි පළමු කොටස් වන අතර, last name යන කොටුවේ දැමිය යුත්තේ එහි ඉතිරි කොටසය. උදාහරණයක් ලෙස, "උඩහමුල්ල ලොකුහෙට්ටිගේ ෂෙහාන් කෞෂාන්" ලෙස සම්පූර්ණ නම ඇති අයෙක් first name යන්නෙහි උඩහමුල්ල ලොකුහෙට්ටිගේ ලෙසත්, last name යන්නෙහි ෂෙහාන් කෞෂාන් ලෙසත් දැමිය යුතුය.

ඉන්පසු occupation යන කොටුවෙහි තමුන්ගේ සාමාන්‍ය රැකියාව දැමිය යුතුය. බොහෝ අය මෙහි දමන්නේ businessman කියාය (තමන් ඇත්තටම තවම ව්‍යාපාරියකු වුවත් නැතත්).

ඉන්පසුව හැඳුනුම්පත් අංකය හා ලිපිනය දැමීමටද කොටු දෙකක් ඇත. තවද, නැවතත් සම්පූර්ණ නම ලිවීමටද කොටුවක් තිබිය හැකිය. එවිට එහි හැඳුනුම්පතේ තිබෙන සේ මුලු නම ලියන්න. අත්සන දැමීමටද කොටුවක් ඇත.

Date of Appointment ලෙසද දිනයක් දැමීමට කොටු ඇත. එහිදී අධ්‍යක්ෂක ලෙස පත් කරපු දිනය දැමිය යුතුය. මෙම දිනයත් දළ වශයෙන් සමාගම් ව්‍යවස්ථාවේ දැමූ දිනය දැමිය හැකිය. එහිම Date ලෙස දිනය දැමීමට තවත් කොටුවක් ඇත. එහිදී සාමාන්‍යයෙන් දමන්නේ මෙම පෝරමය පුරවපු දවස වේ. අනිවාර්යෙන්ම Date of Appointment යන දිනය මෙම දිනයට වඩා පෙර දිනයක් විය යුතුය (නැතිනම් පෝරමය ප්‍රතික්ෂේප වේ).

ඉන්පසු සුපුරුදු ලෙසම මෙම ලේකන ඉදිරිපත් කරන පුද්ගලයාගේ තොරතුරු ඇතුලු කිරීටම කොටසක් ඇත. ඇත්තටම මෙම කොටස සෑම ලේකනයකම එක සේ පවතී.

ලේකම් ගැන තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා Form 19 නම් පෝරමය පිරවිය යුතුය. එය Notice of Consent and Certificate of Secretary ලෙස හැඳින් වේ. සමාගමේ සිටින ලේකම්වරුන් ගණනට සමාන පෝරම ගණනක් පිරවිය යුතුය (සාමාන්‍යයෙන් සමාගමකට සිටින්නේ එක් ලේකම් කෙනෙකුය; වැඩිපුර පත් කරගත් විය වියදම වැඩි වේ). මෙම පෝරමයේද ඇත්තේ form 18 හි ඇති තොරතුරුම වේ. ඊට අමතරව, භාහිර ලියාපදිංචි ලේකම් කෙනෙකු නම් ඔහුගේ ලියාපදිංචි අංකය ඇතුලත් කිරීමට Registration no ලෙස කොටුවක් ඇත. සමාගමේම අධ්‍යක්ෂකවරයකු ලේකම් වන්නේ නම්, එම කොටුව හිස්ව තබන්න.


ඉහත ලිපි ලේකන සියල්ල සකසා, ඒවා ෆයිල් කවරයක දමා සමාගම් මැදුරට භාර දිය යුතුය. එහිදී එක් form 18 හා form 19 පෝරමයකට රුපියල් 2000 බැඟින් අය කෙරේ. තවද, form 1 සඳහා රුපියල් 4000ක්ද අය කෙරේ. මේ සියල්ල සමාගමක් ලියාපදිංචි කිරීමේ ගාස්තුව වේ. මේ ලිපියෙහි සඳහන් සියලු ගාස්තුවලට වැට් බද්දත් තව එකතු කළ යුතුය (15%).

සියලු ලිපිලේකනවල දොස් නැති නම්, සමාගම ලියාපදිංචි කිරීම දින දෙකක් ඇතුලත සිදු වේවි. ඒ බැව් ඔබට විමසා දැන ගත හැකිය. ලියාපදිංචිය සිදු වූ පසු ඔබේ සමාගමට ලියාපදිංචි අංකයක් ලැබේ (එය PV ලෙස පටන් ගන්නා ඉලක්කම් කිහිපයකින් යුතු එකකි). මෙම අංකය ඔබේ සමාගමේ නම සමඟ සියලුම නීත්‍යානුකූල ලිපිලේකනවල මින් ඉදිරියෙදී සටහන් කළ යුතුය (සමාගමේ සීල්වල පවා). මෙතැනින් දෙවැනි පියවර අවසන් වේ.

සමාගම ලියාපදිංචිය එලෙස සිදු වී සතියකින් පමන ඔබට සමාගම් මැදුරට ගොස් අර පීවී අංකය පවසා ඔබේ සමාගම ලියාපදිංචි වූ බවට සහතකිය ලබා ගත හැකිය. මෙය සංස්ථාපන සහතිකය (certificate of incorporation) ලෙස හැඳින් වේ.

තවත් පියවරක් ඇත. එනම් සමාගම ලියාපදිංචි වී ඇති බවට රටේ මහාජනයාට දැනුම් දිය යුතු යැයි සමාගම් නීතියේ ඇත. ඒ අනුව, එම දැනුම් දීම රජයේ ගැසට් එකේ එක් බසකින්ද, සිංහල, දෙමල, ඉංග්‍රිසි යන භාෂා තුනෙන්ම රටේ පිලිගත් පුවත්පත් 3කද එම දැනුම් දීම කළ යුතුය. එම දැනුම්දීම තුල සමාගමේ නම හා පීවී අංකයද, එහි ලියාපදිංචි ලිපිනයද, ලියාපදිංචිය ලත් දිනයද අනිවාර්යෙන් සටහන් කළ යුතුය. පත්‍රවල ඇඩ් පළ කිරීමේදී අය කිරීම සිදු කරන්නේ විශාලත්වය අනුව බැවින් හැකි තරම් කුඩාවට ඇඩ් එක සකස් කර ගැනීම යෝග්‍ය වේ. ඒ ගැන විස්තර ටිකක් දැන් බලමු.

ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහා බොරැල්ලේ පිහිටි රජයේ මුද්‍රනාලයට යා යුතුය. ඇඩ් එක තමන් කැමති බසකින් ප්‍රින්ට් කරගෙන යා යුතුය. සංස්ථාපන සහතිකයේ ෆොටෝකොපියක්ද, පත්‍රයේ ඇඩ් එක පළ කරන ලෙස ඉල්ලීමක් සිදු කරමින් ලේකම් හෝ අධ්‍යක්ෂක කෙනෙකු විසින් කරපු ලියුමක්ද රැගෙන යා යුතුය. දැනුම්දීම (ඇඩ් එක) පහත දැක්වෙන ආකාරයට ලියා ගත හැකිය (මා එය සිංහලෙන් හා ඉංග්‍රිසියෙන් දෙකෙන්ම පෙන්වා ඇත). තවද, ඉල්ලීම් ලිපියක්ද මා දක්වා ඇත. මේ සඳහා රුපියල් 1000කට අඩු මුදලක් වැය වේ.






දැන් පුවත්පතකද (ඇත්තටම භාෂා 3න් පළ කළ යුතු නිසා පුවත් පත් 3ක) දැන්වීම පළ කළ යුතුය. ලේක්හවුස්, විජය නිවුස්පේපර් ආදි ලෙස පුවත්පත් ආයතන කිහිපයක්ම ලංකාවේ පවතින අතර, ඔවුන් විසින් අය කරන ගාස්තු විවිධ වේ. මට අත්දැකීම ඇත්තේ ලේක්හවුස් ආයතනය සමඟ නිසා එය පාදක කර ගෙන විස්තරය කරනවා. ඩීආර් විජේවර්ධන මාවත ආරම්භයේම ඇති ලේක්හවුස් මූලස්ථානයට හෝ සමාගම් මැදුර ඉදිරිපිට ඇති ලේක්හවුස් දැන්වීම් අංශයට ඔබට යා හැකියි. මෙහිදීත් සිංහල, ඉංග්‍රිසි යන භාෂා ද්විත්වයෙන්ම තමන්ට අවශ්‍ය සයිස් එකට ඇඩ් එක ප්‍රින්ට් කර ගෙන යා යුතුය. දෙමළින් හැකි නම් එයද සකසා ගෙන යා හැකි වුවත්, ඔවුන් අපට උදව්වක් ලෙස දෙමළ ඇඩ් එක පරිවර්තනය කර දමනවා. සති අන්ත පුවත්පත්වලට වඩා සතියේ දිනවල පළවන පුවත්පත්වල ගාස්තු අඩුය.

පුවත්පත්වල ඇඩ් වර්ග කිහිපයක්ම පවතී. ගාසතුව අධික සම්පූර්ණ පිටු දැන්වීම් (full page ad) හා ගාස්තු ඉතා අඩු ලුහුඬු දැන්වීම් (classified ad) මේ සඳහා යොදා ගත නොහැකිය. සාමාන්‍යයෙන් පත්‍රයක පිටුවක් ගත් විට උඩ සිට පහලට තීරු (column) කිහිපයකට කඩයි. එක් තීරුවක පළල සෙන්ටිමීටර් 3ක් පමණ වේ (මෙම අගය පත්‍රයෙන් පත්‍රයට සුලු වශයෙන් වෙනස් වේ). ඉතිං, පත්‍රයක පළ කරන ඕනෑම ඇඩ් එකක අවම පළල මෙම තීරු සයිස් එක විය යුතුය. එක කොලමක්  මදි නම් කොලම් කිහිපයක් වුවද ගත හැකිය (කොලම්වල භාග ගත නොහැකිය). එවිට, ඇඩ් එක යට අතට පැතිරෙන දුර සෙන්ටිමීටර්වලින් මැනේ (මෙයද ආසන්නතම විශාල සෙන්ටිමීටරයට මැනේ; උදාහරණයක් ලෙස ඇඩ් එකේ උස සෙමී 3.4ක් නම් එය සෙමී 4ක් ලෙස සලකයි). පහත දැක්වෙන්නේ අඩුම උසක් ඇති වන සේ සකස් කළ එවන් දැන්වීම් දෙකකි (සිංහලෙන් හා ඉංග්‍රිසියෙන්). සිංහල දැන්වීම දිනමින පුවත්පතට සරිලන ලෙසත්, ඉංග්‍රිසි දැන්වීම daily news පුවත්පතට ගැලපෙන ලෙසත් මා සකස් කර ඇත (දෙමල ඇඩ් එක තිනකරන් පත්‍රයේ පළ වේ). භාෂා 3න්ම දැන්වීම් පළ කිරීමට රුපියල් 5500කට අඩුවෙන් කර ගත හැකිය. දැන්වීම පළ කිරීමට සංස්ථාපන සහතිකයේ පිටපතක් (හෝ පිටපත් 3ක්) රැගෙන යා යුතුය.



ගැසට් පත්‍රයේ හා පුවත්පත්වල එම දැන්වීම් පළවන දිනයන් ඔවුන්ගෙන් අසා දැන ගන්න. ඉන්පසු එම දැන්වීම් පළ වූ පසු ඒවායේ ෆොටෝකොපි සමාගම් මැදුරට භාර දී සමාගම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය අවසන් කළ හැකිය.

ඉන්පසු සමාගමට අවශ්‍ය මුද්‍රා (seal) කප්පවා ගත හැකිය. සාමාන්‍යයෙන් ඩිරෙක්ටර් සීල්, සෙක්‍රටරි සීල් ලෙස සීල් වර්ග 2ක් සාදා ගැනේ. එය ප්‍රී-ඉන්ක් (pre-ink) ක්‍රමයට (මෙවැනි සීල් එකක් රුපියල් 700කට පමන සාදා ගත හැකිය) හෝ සාමාන්‍ය රබර් සීල් ක්‍රමයට (මෙවැනි සීල් එකක් රුපියල් 250කට පමන සාදා ගත හැකිය) ඒවා සකස් කර ගත හැකිය. අවශ්‍ය නම්, එම්බොස් සීල් එකක්ද සාදා ගත හැකිය (රුපියල් 2500කට පමන). මීටත් අමතරව, අවශ්‍යතාවේ හැටියට විවිධ සීල් වර්ග සකසා ගැනේ. සමාගම් මැදුර ආසන්නයේ පාරවල්වල මෙම සීල් සෑදීමේ කඩ විශාල ගණනක් පෝලිමට ඇත (මරදාන පැත්තට යන කල්ම).

මේ සමඟම සාමාන්‍යයෙන් කොම්පැනියේ නමින් ජංගම ගිනුමක් (current account) හා ඉතිරි කිරීමේ ගිනුමක් (savings account) විවෘත කෙරේ. ඒ සඳහා ඔබට විශ්වාසී හා වැඩි පහසුකම් ලබා දෙන බැංකුවක් තෝරා ගත හැකිය. බැංකුවකින් ගිනුම් විවෘත කිරීමේදී සංස්ථාපන සහතිකයේ පිටපතක් හා certified form1 නම් ලේකනයක්ද අවශ්‍ය වේ. මෙම certified form1 ලේකනය යනු ඇත්තටම ඔබ විසින් පෙර ඉදිරිපත් කළ form1 ලේකනයේම පිටපතකි. එහෙත් එම පිටපත ඔබ ලබා ගත යුත්තේ සමාගම් රෙජිස්ට්‍රාර් වරයාගෙනි. ඒ සඳහා රුපියල් 1000ක් ගෙවීමට සිදු වේ. එම පිටපත මත සමාගම් රෙජිස්ට්‍රාර් විසින් සීල් එකක් ගසයි. තවද, බැංකුවට ඉදිරිපත් කරන ලේකනවලට ඔබගේ සමාගමේ සීල් එකද ගැසිය යුතුය. එම සීල් එකේ ස්වභාවය බැංකුවෙන් බැංකුවට හා එහි සිටින බැංකු නිලධාරියාට අනුව තරමක් වෙනස් වන බවක් පෙනේ (කිසි වැදගම්මකට නැති තර්ක දමමින්).

සමාගම් විසින් ගිනුම් තැබීම (book keeping) අනිවාර්ය වේ. එනිසා සාම්ප්‍රදායික ක්‍රමයට ලෙජර් පොත් යොදා ගනිමින් හෝ පරිගනක ප්‍රෝග්‍රැම් යොදාගෙන හෝ ගිනුම් (accounts) පවත්වාගෙන යා යුතුය.

තවද, දේශීය ආදයම් බදු දෙපාර්තමේන්තුවට ගොස් එහි කොම්පැනියට බදු ගොනුවක් විවෘත කිරීමට බොහෝවිට සිදු වේවි (බදු සඳහා ලියාපදිංචි වීමට ශතයක්වත් වැය නොවේ). ව්‍යාපාරයක් අරඹා එය සමාගමක් වශයෙන් ලියාපදිංචි කිරීම ජීවිතයේ එක්තරා කඩඉමක් විය හැකිය. එවන් භාරදූර වැදගත් දෙයක් සිදු වන විට හොර වංචා කිරීමට සිතේ නම් එය අභාග්‍යයකි. සමහරුන් හොරට ගිනුම් පවත්වාගෙන යෑමටද උපදෙස් ලබා දේ. තමන් හොර වැඩ නොකරන්නේ නම්, ප්‍රතිපත්ති හා තියුණු ව්‍යාපාරික නුවනකින් ඒවා සිදු කරයි නම් හොඳ ලාභයක් උපයා ගත හැකිය. ඉන් යම් පංගුවක් බදු වශයෙන් රජයට ගෙවීම වගකීමකි (එහෙත් එම බදු මුදලින් අපේ කාලකන්නි වනචර දේශපාලුවන් හා රාජ්‍ය නිලධාරින් පිස්සු කෙලින හැටි දකින විට බදු නොගෙවීමටද සිතෙනවා ඇති). එනිසා බදුවලට බිය විය යුතු නැත. බදු ගෙවන්නේ යම් මට්ටමකට වඩා වැඩි ලාභයක් ඔබ උපයන්නේ නම් පමනි. පවතින බදු ප්‍රතිපත්ති ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න. ඕපදූප අසා ඒ ගැන තීරණ නොගන්න. සියලු විස්තර ඉතා හොඳින් අන්තර්ජාලය ඔස්සේ දේශීය ආදායම් දෙපාර්තමේන්තු (inland revenue department) වෙබ් අඩවියෙන් නොමිලේ ලබා ගත හැකිය.

අද කාලයේ හැටියට සමාගමක් සඳහා වෙබ් අඩවියක්ද සාදා ගත්තට වරදක් නැත. විශේෂයෙන්ම විදෙස් රටවල් සමඟ ගනුදෙනු කරන්නේ නම් හෝ විවිධ භාණ්ඩ හා සේවා අලෙවි කරන්නේ නම් හෝ එය අනිවාර්යෙන්ම අවශ්‍ය කෙරේ. මේ සඳහා ලක්ෂ ගණන් වියදම් කිරීමට අවශ්‍ය නොවේ. තමන්ටම කර ගත හැකියි අභියෝග භාර ගැනීමට කැමැත්තක් ඇත් නම්.

ඇත්තටම මෙම ලිපිය මා ලියන්නේ ඕන තරම් සල්ලි විසි කළ හැකි අයට නොව, සුලු ව්‍යාපාරිකයන් සඳහාය. ඔවුන් අත ඇති සෑම සතයක්ම වටී. සමහරවිට තමන්ගේ මුලු සේසතම උකසට තබායි ඔවුන් ව්‍යාපාර අරඹන්නේ.

අවසාන වශයෙන් කිව යුතු දෙයක් තිබේ. එනම්, සමාගමක් ලියාපදිංචි කළ පසුත් වාර්ෂිකව යම් වියදමක් දැරීමට සිදු වේ. ඒ කියන්නේ, සෑම වර්ෂයක් පාසාම ඔබේ ගිනුම් විගණනය (audit) කළ යුතුය. ඒ සඳහා වියදමක් යයි. එම විගණන වාර්තාවද, අධ්‍යක්ෂකවරුන් විසින් ඉදිරිපත් කරන වාර්තාවද ඇතුලුව තවත් පෝරමයක් පුරවා රුපියල් 6000ක් වැනි ගාස්තුවක්ද සමඟ සමාගම් රෙජස්ට්‍රාර්ට ඉදිරිපත් කළ යුතුය. එය annual returns ලෙස හැඳින්වේ. මේවා සකසා ඉදිරිපත් කිරීමද සමාගම් ලේකම්ගේ වගකීමක් වේ. තවද, කොටස්හිමියන් වෙනස් වන විට, අධ්‍යක්ෂකවරුන් වෙනස් වන විට, ලේකම්වරුන් වෙනස් වන විට, කොම්පැනියේ ලිපිනය වෙනස් වන විට, සමාගමේ ව්‍යවස්ථාව සංශෝධනය කරන විට එහෙමත් ඒ බැව් සුමාන දෙකක් තුල සුදුසු පෝරම පුරවා මුදල් ගාස්තුද සමඟ සමාගම් රෙජිස්ට්‍රාර්ට සමාගමේ ලේකම් විසින් දැනුම් දිය යුතුය. දිගු හා සංකීර්ණ වුවත් සමාගම් පනත (Companies act) කියවීම වඩා සුදුසු වේ (පුද්ගලික සමාගම්වලට බලපාන රීති කියවන්න).