Skip to main content

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 4

Simple Tense

ඉංග්‍රීසියේ වැඩිපුරම භාවිතා කෙරෙන tense එක මෙය වේ.  “කරනවා” (කනවා, ‍යනවා ආදී ලෙස) ලෙස සිංහල (වර්ථමාන) තේරුම මින් ලබා දේ.  මෙහි ඇති විශේෂත්වය නම් අනෙක් tense වලදී මෙන් අමුතුවෙන් ක්‍රියාපද ස්වරූපයක් මෙම tense එකට නොමැති වීමයි.  මූලික (dictionary) ක්‍රියා රූපයම simple tense හි වර්ථමාන රූපය ලෙස යෙදේ.

eat → eat (කනවා)                 go → go (යනවා)

Eg:
We eat rice. 
(අපි බත් කනවා.)
Kamal and Nimal eat rice.  (කමලුයි නිමලුයි බත් කනවා.)

ඇත්තටම ඉහත ආකාරයට මූලික ක්‍රියාවම කිසිදු වෙනසකට ලක් නොකර යොදනු ලබන්නේ උක්තය බහුවචන වන අවස්ථාවලදීය.  උක්තය ඒකවචන නම්, අප එම මූලික ක්‍රියාවට පසු s අකුරක් යොදනවා.  (ඒකවචන නාමපද බහුවචන කළේද මෙලෙසම නාමය අගට s යෙදීමෙන් බව මතකද?)

Kamal eats rice.  (කමල් බත් කනවා.)
She drinks water.  (ඇය වතුර බොනවා.)
I eat rice. 
(මම බත් කනවා.)  (I සහ You පද ව්‍යාකරණයේදී බහුවචන ලෙස සලකන බව ඔබ දන්නවා.)
I go to the temple every day.  (මම හැමදාම පාසල් යනවා.)
We usually play cricket.  (අපි සාමාන්‍යයෙන් සෙල්ලම් කරන්නේ ක්‍රිකට්.)
She knows English.  (ඇය ඉංග්‍රීසි දන්නවා.)
The sun arises in the morning.  (උදේ ඉර පායනවා.)

තව එක ඉතා වැදගත් කරුණක් ගැන ඔබ දත යුතුය.  එනම් “කරනවා” යන වර්ථමාන තේරුමින් අප simple tense වාඛ්‍ය ලියන්නේ හැමදාම/නිතර/නිතිපතා සිදුවන, පුරුද්දක්/චාරිත්‍රයක් ලෙස සිදුවන, ස්වාභාවිකව/සාමාන්‍යයෙන් සිදුවන අවස්ථාවන්වලදී ඇති “කරනවා” යන අදහස දීමටයි.  ඊට හේතුව මෙයයි.  “කරනවා” යන අර්ථයෙන් ඉංග්‍රීසියේදී අවස්ථා දෙකක් තිබේ.

           1.      එක් (තනි) නිශ්චිත මොහොතක “කරනවා” යන තේරුමින්
           2.      ඉහත එක් නිශ්චිත මොහොතක් නොවන අන් සියලු අවස්ථාවලදී “කරනවා” යන තේරුමින්

උදාහරණ කිහිපයක් ගෙන මෙම අවස්ථා දෙක හඳුනා ගනිමු.'

“මම දැන් පාඩම් කරනවා.”       “අපි මේ (දැන්) සෙල්ලම් කරනවා.”
“අන්න, බල්ලෝ බුරනවා.”

ඉහත උදාහරණ දෙක බැලූ විට පෙනී යන්නේ, ඒවා දැන් කෙරෙන බවක් නේද?  එනම්, එක් නිශ්චිත මොහොතක “කරනවා” යන අර්ථය නේද?  එක් නිශ්චිත මොහොතක් බව හඳුනාගත්තේ “දැන්”, “මේ”, “අන්න” වැනි ක්‍රියා විශේෂණ මඟිනි.  සමහර විටෙක එවැනි විශේෂණ පද නැතිවද තනි මොහොතක සිදුවන බව අපට තේරුම්ගත හැකිය.  පහත උදාහරණය බලන්න.

“බල්ලෝ බුරනවා.  ගිහින් බලන්න.”'

මෙහි “බල්ලෝ බුරනවා” යන වාඛ්‍යය එක් නිශ්චිත අවස්ථාවක්ද නැද්ද කියා හඳුනාගන්නේ කෙසේද?  ඉහත උදාහරණවල මෙන් එක් අවස්ථාවක් හඟවන විශේෂණ පදද නැත.  එහෙත්, සිතා බලන්න ඔබට නිකමට මෙන් සිතෙනවා නේද මෙය එක් අවස්ථාවක් ගැන පවසන වාඛ්‍යයක් කියා?  ඇත්තෙන්ම මෙහි ඇති බුරනවා (කරනවා) යන ක්‍රියාව තනි අවස්ථාවක් බව අපට සිතෙන්නේ ඊට පසුව යෙදී ඇති දෙවැනි වාඛ්‍යය නිසාය.  “ගිහින් බලන්න” කියා කියන්නේම තනි අවස්ථාවකි.  එම වාඛ්‍ය දෙක එකිනෙකට සම්බන්ධ නිසා පෙර වාඛ්‍යයද තනි අවස්ථාවක් ගැන කියයි.  (“සන්දර්භය” විසින් එය තේරුම් ගත යුතු කියා අප පවසනවා.)

සන්දර්භය යන්නට ඉංග්‍රීසියෙන් context කියා කියනු ලබනවා.  ඇත්තටම එය කුමක්ද?  යමක් ගැන අප කතා කරමින් සිටින විට අපේ සිහිය තිබෙන්නේ ඒ දේ ගැන නේද?  එනම් යම් කතාවක් කරගෙන යන විට අප සිටින්නේ ඒ දේ පිළිබඳ “පරිසරය” තුළයි.  මෙම පරිසරයටයි අප සන්දර්භය කියා කියන්නේ.  උදාහරණයක් ලෙස, ඔබ ක්‍රිකට ගැන කතා කරමින් සිටින විට ඔබ සිටින්නේ එම සන්දර්භය තුළයි.  කෙනෙකු දැන් ඔබෙන් ඇසුවොත් “සනත්ට දැන් කොහොමද?” කියා ඔබ එක වර පවසාවි “සනත් දැන් ක්‍රිකට් ගහන්නේ නැහැ” කියා.  ඔබ දන්නේ කොහොමද ඔහු ඔබෙන් ඇසුවේ ක්‍රිකට් ගහන සනත් ජයසූරිය ගැනද කියා.  සමහර විට, ඔහු ඇසුවේ සනත් ගුණතිලක කියන නළුවා ගැන විය නොහැකිද?  එහෙමත් නැතිනම් වෙනත් සනත් කෙනෙක් ගැන විය නොහැකිද?  කෙසේ වෙතත් ඔබට නම් සිතෙන්නේම ඔහු කතා කළේ සනත් ජයසූරිය ගැන කියා නේද?  ඔබ කතා කර කර සිටියේ චිත්‍රපට ගැන නම්, එම ප්‍රශ්නෙම යළිත් ‍ඇසුවොත් ඒ සනත් ගුණතිලක ගැන බව ඔබට සිතෙනවා.

මෙලෙස අප ඒ ඒ දේවල් තේරුම් ගන්නේ සන්දර්භය තුළිනි.  ඔනෑම පොඩි එකකු පවා මෙම “සන්දර්භය” යන වචනය නොදැන සිටියත් සන්දර්භය අනුව ඔහු හැමදාම කටයුතු කරනවා.  මෙම පොතේ විවිධ තැන්වල මෙම සන්දර්භය ගැන කියවෙන නිසා මේ වචනය ගැන හොඳින් මතක තබා ගන්න.

මේ ආකාරයට විශේෂණ පද මඟින් හෝ සන්දර්භය මඟින් හෝ අපට එක් නිශ්චිත තනි අවස්ථාවක්ද නැද්ද කියා තේරුම් ගැනීමට හැකි විය යුතුය.  මෙවැනි එක් මොහොතක “කරනවා” යන අර්ථය ඇති වාඛ්‍ය අපට simple tense මඟින් ලිවිය නොහැකිය.  එම වාඛ්‍ය අප ලිවිය යුත්තේ ඔබ දැනටමත් දන්නා continuous tense එකේ වර්ථමාන කාලයේ රූපයෙනි.  ඔව්, දැන් ඔබ තේරුම් ගන්න continuous tense (වර්ථමාන කාලය) මඟින් “කරමින් ඉන්නවා” යන තේරුම මෙන්ම (එක් මොහොතක) “කරනවා” යන තේරුමද ඇති බව.  පහත උදාහරණ දී ඇත්තේ මෙම අළුත් යෙදුමට අනුව “කරනවා” යන අර්ථයෙනි.

I am reading a book.  (මම පොතක් කියවනවා.)
We are going to the party.  (අපි පාටියට යනවා.)
They are playing football in the ground.  (ඒගොල්ලෝ පිට්ටනියේ පාපන්දු සෙල්ලම් කරනවා.)
Are you watching the drama?  (ඔයා නාට්‍යය බලනවාද?)
Is she not writing a letter?  (ඇය ලියුමක් ලියන්නේ නැද්ද?)

Exercises 4-1
Kamal is watching TV.  (.............................................................)
Nirmani and Achala are talking about the drama.  (......................)
……………………….  (බල්ලා බුරනවා.)
Are the girls laughing?  (....................................................)
…………………………… (එගොල්ලෝ ගෙයක් හදන්නේ නැද්ද?)

ඔබ මඳක් ගැඹුරට සිතුවොත් පෙනේවි “කරමින් ඉන්නවා” යන තේරුමත් (එක් මොහොතක) “කරනවා” යන තේරුමත් සමාන බව.  සිංහල භාෂාවේදි මෙය ක්‍රියා ස්වරූප දෙකක් වුවද සුද්දාට මෙය එකම අවස්ථාවකි.  භාෂා දෙකක් හැම විටම සියයට සියයක් සමාන නොවන බව ඔබ තේරුම් ගෙන ඇතැයි මා සිතනවා.
 
හොඳයි, ඉහත එක් නිශ්චිත මොහොතක් නොවන “කරනවා” යන තේරුම යෙදෙන අන් සෑම අවස්ථාවක්ම ඒ අනුව simple tense වලින් ලිවිය යුතු බව පැහැදිලියි නේද?  අප ඉහතදී දැක්වූ පරිදි නිතර/හැමදාව/නිතිපතා, පුරුද්දක්/වාරිත්‍රයක් ලෙස, ස්වාභාවිකව/සාමාන්‍යයෙන් සිදුවන අවස්ථා ලෙස අපට ඒවා හඳුනාගත හැකිය.

I bathe every day.  (මම හැමදාම නානවා.)

ඉහත වාඛ්‍යය හැමදාම (එනම් නිතිපතා (යම් නිශ්චිත කාල සීමාවකට සැරයක්; හැමදාව, සතිපතා, සෑම පැයකදීම ආදි ලෙස)) කරන නිසා “එක් නිශ්චිත මොහොතක්” නොවන බව පැහැදිලියි.  එලෙසම, පහත වාඛ්‍යය සාමාන්‍යයෙන් (හෝ ස්වාභාවිකව) සිදුවන දෙයක් ගැන පවසයි.  එනම් බල්ලෝ බුරනවා මිසක් ඤාව් ගහන්නේ නැත.  තවද මේ දැන් බුරන බවක් නොව සාමාන්‍යයෙන් මොන බල්ලත් කරන බුරන එක මෙහිදී පවසයි.  (“මම හරක් මස් කන්නේ නැහැ” කියා කෙනෙක් සමහර විට පවසන්නේ ඔහු ජීවිත කාලය පුරාම එය සාමාන්‍යයෙන් නොකරන බව මිසක් දැන් විතරක් නොකන බව නොවේ නේද?)

Dogs bark.  (බල්ලෝ බුරනවා/බුරති.)

ඔබට දැන් “කරනවා” යන අර්ථයේ ඇති එක් නිශ්චිත මොහොත මැනවින් හඳුනා ගැනීමට හැකි වේ යැයි ම විශ්වාස කරනවා.  මෙම වෙනස හඳුනා ගැනීම අනිවාර්ය වේ.

My father works hard every day.  (මගේ තාත්තා හැමදාම මහන්සියෙන් වැඩකරනවා.)
The mother usually cooks rice for the lunch.  (සාමාන්‍යයෙන් දවල් කෑමට අම්මා උයන්නේ බත්.)
The doctors normally work in hospitals.  (දොස්තරවරු සාමාන්‍යයෙන් වැඩ කරන්නේ රෝහල්වල.)
Trees give us fruits.  (ගස් අපට පළතුරු ලබා දෙනවා.)
I always live like a human.  (මම හැමවිටම මනුෂ්‍යයෙක් ලෙස ජීවත් වෙනවා.)

Exercises 4-2
The sun arises every day in the morning.  (.................................)
The moon shines in full in poya days.  (.........................................)
…………………………………………………..  (අපි හවසට සෙල්ලම් කරනවා.)
……………………………………………..  (එයා නිතරම අපිට කතා කරනවා.)

අප මෙතෙක් ඉගෙන ගත්තේ simple tense හි වර්ථමාන ස්වරූපය වේ.  දැන් අතීත හා අනාගත කාලයන් සාදමු.  අතීතයේදී හා අනාගතයේදී, වර්ථමානයේ තිබූ එක් නිශ්චිත අවස්ථාවක් නැද්ද යන බෙදීම නැත.  එය විශාල අස්වැසිල්ලක් නේද?  (එනම්, අතීත හා අනාගත කාල simple tense වාඛය සාදන විට එක මොහොතක වුවත් නැතත් එය අපට ගැටළුවන් නොවේ.)  අතීතය සාදාගන්නේ මූලික ක්‍රියාව අගට ed දැමීමෙනි.  ඔබට මතකද past participle එක සෑදීමේදීද අප ed දැමුවා?  මෙහිදීද කරන්නට ඇත්තේ එයමයි.  එමනිසා අමුතුවෙන් පාඩම් කිරීමට දෙයක් මෙහි නැත.  ඒ අනුව simple tense හි අතීත කාලයෙහි සිංහල තේරුම “කළා/කෙරුවා” විය යුතුය.  (“මම සෙල්ලම් කරනවා” හි අතීතය ඔබ පවසන්නේ “මම සෙල්ලම් කළා” ලෙස නේද?)

play/plays → played (සෙල්ලම් කළා)
bark/barks → barked (බිරුවා)

තවද, අක්‍රමික ක්‍රියාපද 150 ක් ගැන කතා කළා මතකද?  එම ක්‍රියාපදවල අතීතය සෑදීමට ed දමන්නේ නැත.  past participle සෑදීමේදී මෙන්ම අතීත රූපය සදන විටත්, එම ක්‍රියාපද 150ට ක්‍රමවත් විදියක් නැත.  එමනිසා, ඒවා වෙන වෙනම කටපාඩමින් දත යුතුය.  (අතිරේකය - 4 කියවා එම වචන පාඩම් කරගන්න.)

eat/eats → ate (කෑවා)                        drink/drinks → drank (බීව්වා)

I played cricket yesterday.  (ඊ‍යේ මම ක්‍රිකට සෙල්ලම් කළා.)
Kamal ate rice and curry.  (කමල් බතුයි හොදියි කෑවා.)
We complained about him to the police. 
(අපි ඔහු ගැන පොලිසියට පැමිණිලි කළා.)

Exercises 4-3
Kamal went to the market.  (.........................................................)
Nimal and Amali danced in the concert.  (.....................................)
………………………………………..  (අපි ඊයේ ලස්සන චිත්‍රපටියක් බැලුවා.)

දැන් අනාගත කාලය සාදමු.  ඔබ එය හොඳින් දන්නවා; කිරීමට ඇත්තේ will යන පදය ක්‍රියාවේ ඉදිරියෙන් යෙදීම නේද?  අනාගතයේදී එය කරන බවක් මින් කියැවේ.

play/plays → will play (සෙල්ලම් කරාවි/ (මතු) සෙල්ලම් කරයි)

eat/eats → will eat (කාවි/ (මතු) කයි)
I will finish it tomorrow.  (මම හෙට එය ඉවර කරන්නම්.)
Sunil will come to the school next week.  (සුනිල් ලබන සුමානේ පාසලට එනවා/ඒවි.)

Exercises 4-4
The teacher will give home work tomorrow.  (.............................)
A new year will begin from tomorrow.  (......................................)
…………………………………….  (හෙට අළුත් හිරක් පායයි.)

මෙතෙක් ඉගෙන ගත්තේ simple tense හි ඇත ප්‍රකාශය පමණි (SVo ලෙස වචන පෙළ ගැස්සු විට අපට ඉබේම ලැබෙන්නේ ඇත ප්‍රකාශය වේ.)  දැන් බලමු අනෙක් වාඛ්‍ය වර්ග තුන (නැත ප්‍රකාශය හා ඇත/නැත ප්‍රශ්න) සාදන අන්දම.

ඇත ප්‍රශ්නය සාදනුයේ ක්‍රියාවේ පළමු කොටස උක්තය ඉදිරියට ගෙන ඒමෙන් නේද?  එහෙත් මෙහිදී අපට ප්‍රශ්නයක් මතු වේ, මක්නිසාද යත් simple tense හි අතීත හා වර්ථමාන කාල ක්‍රියාව සෑදී තිබෙන්නේ එකම එක වචනයකින් පමණක් වීම; එනම්, ක්‍රියාව තුළ පළමු දෙවැනි ආදි ලෙස කොටස් කිහිපයක් නොමැත.  (අනාගත කාලයේදී නම් will සමඟ තවත් කොටසක් ඇති නිසා,‍ කොටස් දෙකක් ඇත; එනම් අනාගත කාල ක්‍රියාවට ගැටළුවක් පැන නොනගී.)  දැන් අප කළ යුත්තේ එම තනි කොටසක් පමණක් ඇති ක්‍රියාව, එහි තේරුම වෙනස් නොවන අයුරින් කොටස් දෙකක් බවට පත් කිරීමයි.  ඒ සඳහා do යන උපකාරක කොටස තනි ක්‍රියාවට ඉදිරියෙන් යෙදිය යුතුය.

play = do play                      eat = do eat

ඉහත පෙන්වා ඇති පරිදි තේරුම් සමාන වේ.  do යෙදී ඇත්තේ “වැඩකාරයෙක්” වශයෙනි.  තවද, ඉහත play, eat ආදි ලෙස යෙදෙන්නේ උක්තය බහුවචන වන විට බව ඔබ දන්නවා.  උක්තය ඒකවචන නම්, අගට s අකුරක් යොදා ඒවා plays, eats ආදි ලෙස සැකසිය යුතු බවද ඔබ දන්නවා.  එවැනි plays, eats ලෙස s යොදා ඇති විට, do පිටතින් දැමූ විට, එම s කොටසද do විසින් “උරා” ගන්නවා (එවිට do → does බවට පත් වෙනවා).  ඇත්තටම, s උරා ගන්නවා යැයි කීවේ ක්‍රියාපදය ඒකවචන බව හැඟවූ කාර්යද තමා විසින්ම කිරීමට do භාර ගත් බවයි.  ඒ විතරක් නෙමේ; පසුව දැක්වෙන පරිදි, ක්‍රියාව අතීත බවට පත් කරන කාර්යයද do විසින් භාර ගනු ලැබේ.  ඒ අතින් බලන විට, do යනු කඩිසර අවංක “වැඩකරුවෙක්” නේද?
දැන් අපට අනෙක් වාඛ්‍ය වර්ග තුන පහසුවෙන් සෑදිය හැකිය.

I do not eat beef.  (මම (සාමාන්‍යයෙන්) හරක් මස් කන්නේ නැහැ.)
Do you play rugby too?  (ඕගොල්ලෝ රග්බිත් සෙල්ලම් කරනවාද?)
Do they not go to schools?  (ඒගොල්ලෝ පාසල් යන්නේ නැද්ද?)
She does not watch TV in the morning.  (ඇය උදේ ටීවී බලන්නේ නැහැ.)
Does Kamal go to the gym?  (කමල් ජිම් එකට යනවාද?)

Exercises 4-5
The car does not run on water.  (……………………………………………)
Does the river flow like a snake?  (................................................)
………………………………………………………..  (පූසෝ බුරන්නේ නැහැ.)
…………………………………………… (හැමදාම කමල් සෙල්ලම් කරනවාද?)

ඉහත ආකාරයටම අතීත ක්‍රියා රූපය කොටස් දෙකකට කැඩීමට උපකාරයට ගෙනෙන්නේ do ම වේ.  එවිට, ක්‍රියාවේ ed කොටස (එනම්, ක්‍රියාවේ අතීත යැයි හැඟ‍වීමේ කාර්යය) do භාර ගෙන did (do හි අතීත ස්වරූපය did වේ; එය අක්‍රමවත් ක්‍රියා ගොඩට අයත් ක්‍රියාවකි) බවට පත් වේ.
I did not steal it.  (මම ඒක හොරකම් කළේ නැහැ.)
Did Nirmal finish home work?  (නිර්මාල් ගෙදර වැඩ ඉවර කළාද?)
Did they not help you?  (ඒගොල්ලෝ ඔයාට උදව් කළේ නැද්ද?)

Exercises 4-6
The concert did not start yet.  (.................................................)
Did the game start?  (........................................................)
………………………………………………….  (ඔයා එහි ගියාද?)

අනාගත කාලය සඳහා අමුතුවෙන් do ගෙන ආ යුතු නැත, මක්නිසාද යත් “වැඩකරුවෙකුගේ” අවශ්‍යතාව ඊට නැත (දැනටමත් කොටස් දෙකකින් යුතු ක්‍රියාවක් ඇති නිසා).

Sunil will not tolerate it again.  (සුනිල් එය නැවත ඉවසන එකක් නැහැ/නොඉවසාවි.)
Will you do it for me?  (ඔයා මා සඳහා/වෙනුවෙන් එය කරාවිද?)
Will she not come to the class tomorrow?  (ඇය හෙට පංතියට නොඒවිද?)

Exercises 4-7
I will not do it without a reason.  (................................................)
Will she come with me to the party?  (..........................................)
…………………………………………….  (ගුරුතුමා හෙට ගෙදර වැඩ දේවිද?)

අප do පිටතින් ගෙන ආවේ හේතුවක් ඇතිව බව ඔබ දන්නවා.  එනම් ඇත ප්‍රකාශනය හැර අනෙක් වගන්ති වර්ග තුන සෑදීමට ක්‍රියාවේ කොටස් කිහිපයක් තිබිය යුතු නිසා.  එමනිසා, ඇත ප්‍රකාශය සඳහා අප පෙර පරිදි do ගෙන එන්නේ නැත.  එහෙත්, ඇත ප්‍රකාශනයටද එසේ do යොදන අවස්ථාවක් ඇත.  එහිදී, අර්ථය වෙනස් වේ.  do නැති වාඛ්‍යයට වඩා අවධාරණය කිරීමක් do සහිත වාඛ්‍යය තුළ ඇත.

I come to the party.  (මම සාදයට එනවා.)
I do come to the party.  (මම සාදයට එනවමයි/කොහොම හරි ‍එනවා.)
He passes the exam.  (ඔහු විභාගය සමත් වෙනවා.)
He does pass the exam.  (ඔහු විභාගය සමත් වෙනවාමයි/ කොහොම හරි සමත් වෙනවා.)

මේ අනුව, අප සාමාන්‍යයෙන් ඉදිරියේදි කරන දේවල් (“හෙට ඉස්කෝලේ යනවා”, “ලබන අවුරුද්දේ කසාද බඳිනවා” වැනි) පවසන්නේ simple tense එකේ අනාගත කාල වාඛ්‍යවලින් බව ඔබට පැහැදිලියි නේද?  මීට අමතරව, අනාගතය පවසන්නට අප continuous tense එකට අයත් වර්ථමාන හා අනාගත කාල වාඛ්‍යද යොදා ගන්නවා.  බොහෝ විට එවැනි විදියට වාඛ්‍ය ලියන විට, tomorrow, later වැනි අනාගත කාලය හඟවන ක්‍රියා විශේෂණද එම වාඛ්‍ය තුළ ඇතුළත් වේ.  සමහර විට, සන්දර්භය තුළින් එය අනාගත අර්ථයක් බව තේරුම් ගත යුතුය.  එමඟින් (සාමාන්‍ය continuous tense තේරුම වන “කරමින් ඉන්නවා” ද, නැතහොත් අනාගත තේරුමද වන වග) පැටලීමක් නැතිවම අනිකාට අවබෝධ වේ.  (අසවල් වේලාවේ යන්න හඟවන ක්‍රියා විශේෂණයක් මේ ක්‍රමයේදී ඇතුළත් නිසා යම් ස්ථිර බවකින් එය කරන බවක්ද මෙවැනි වගන්තිවල ඇත.)

I am going to India next week.  (මම ලබන සතියේ ඉංදියාවට යනවා.)
She is coming home from France soon.  (ඇය ඉක්මනින් ප්‍රංශෙ ඉදන් ගෙදර එනවා.)
They are showing the play in the next assembly.  (ඊ ළඟ රැස්වීමේදී එයාලා නාට්‍යය පෙන්වනවා.)

Exercises 4-8
My mother is making bread tonight.  (.........................................)
…………………………………………………. (අද රෑට අපි වෙරළට යනවා.)

තවද, ඉහත උගත් පරිදි අප සාමාන්‍යයෙන් අතීතයේ කළ යමක් පැවසීමට (“අපි ඊයේ සෙල්ලම් කළා”, “ගිය මාසයේ අපි ට්‍රිප් එකක් ගියා” වැනි) simple tense හි අතීත කාලය භාවිතා කිරීමට පුළුවන්.  එලෙස භාවිතා කළ විට එම අතීතය “නිශ්චිතවම” (ස්ථිරවම) කළ බවක් පැවසෙනවා.  එහෙත් බොහෝ විට අප පවසන අතීතය එච්චර ස්ථිර බවකින් පැවසීමට නොහැකිය.  බලන්න පහත උදාහරණය දෙස.
ඒ දවස්වල එයා අපේ ගෙදරට හැමදාම ආවා.

‍මෙවැනි වාඛ්‍ය ඔබ නිතරම පවසනවා නේද?  එහෙත් සිතා බලන්න ඔබ එවැනි වාඛ්‍යයක් පවසන විට ඇත්ත වශයෙන්ම ඒ වාඛ්‍යයෙන් කියන විදියට “හැමදාව නොකඩවා” ගෙදර පැමිණීමක් ගැනද පවසන්නේ කියා.  නැහැ නේද?  එයා නිතර නිතර පැමිණි බව මිස දවසක් නෑර හැමදාම (නිශ්චිතවම) පැමිණි බවක් ගැන නෙමේ නේද පවසන්නේ?  එවැනි අවිනිශ්චිත අතීතයක් සහිත වාඛ්‍ය අප බොහෝ විට සිංහලේදී වර්ථමාන ක්‍රියා ස්වරූපයකින් තබනවා.  ඒ අනුව, ඉහත වාඛ්‍යයම පහත ආකාරයටද තැබිය හැකියි.
 
ඒ දවස්වල එයා අපේ ගෙදරට හැමදාම එනවා.

මෙහි “ඒ දවස්වල” යන ක්‍රියා විශේෂණය ඇති නිසා, අතීත කතාවක් හෙවත් අතීත කාල සිදුවීමක් බව පැහැදිලිව පෙනේ.  එහෙත් එහි අතීතය “නිශ්චිත” බව අඩු නිසා වර්ථමාන කාලයේ ක්‍රියාවක් යොදා ඇත.  මෙවැනි අවිනිශ්චිත අතීතය හැඟවීමට සමහර විටක සිංහලේදී “වගේ” (ක්‍රියා විශේෂණය සමඟ) යන කොටසක් වාඛ්‍ය තුළ ඇත.

ඒ දවස්වල එයා අපේ ගෙදරට හැමදාම වගේ ආවා/එනවා.

විවිධ ආකාරයට සිංහලෙන් එවැනි අවිනිශ්චිත අතීත සිදුවීම් ලිවිය හැකිය.  ඔබට ඕනෑම ආකාරයකින් පවතින එවැනි වාඛ්‍ය තේරුම් ගැනීමට හැකි විය යුතුය.  අමුතුවෙන් උගත යුතු නැත; ඔබට ඉබේම එවැනි වාඛ්‍ය දැනෙනවා.

ඉතිං, ඉංග්‍රීසියේද මෙ‍ම අවිනිශ්චිත අතීතය පැවසීමට ක්‍රමයක් ඇත.  (බොහෝ ඉංග්‍රීසි බස ඉගෙන ගන්නා අය මේ වෙනස නොදැන නිශ්චිත හා අවිනිශ්චිත යන අතීත දෙකටම simple tense හි සාමාන්‍ය අතීත රූපයම භාවිතා කරනවා.  එහෙත් එය එතරම් නිවැරදි නොවේ.)  මෙවැනි අවිනිශ්චිත අතීතය පැවසීමට අප will යෙදු අන්දමටම would යන උපකාරක ක්‍රියාව යොදනවා.  එනම්, simple tense හි අනාගතය සෑදීමට අප will යෙදූ අයුරු මතකයි නේද?  එහි will වෙනුවට would ආදේශ කරන්න.  ඔබ will යොදන විට පිළිපැදිය යුතු කරුණු පෙර සඳහන් වූවා. 

Those days, I would go to the beach every evening.  (ඉස්සර හැම හැන්දෑවකම මම වෙරළට යනවා.)
He would come to me for every problem (those days), but now he is not coming now.  ((ඒ දවස්වල) එයා හැම ප්‍රශ්නයකටම මා වෙතට ආ නමුත් දැන් එන්නේ නැහැ.)

Exercises 4-9
Those days, my mother would cook rice for dinner.  (..................)
Kamal would play cricket after school, but now he does not have time.  (...............................................................)
…………………………………….  (ඉස්සර අපි කතා කරනවා, එහෙත් දැන් එයාට වෙලාවක් නැහැ.)

Comments

  1. Reported speech ගැන දැනගන්න කැමතියි! ඔබ ලොකු සේවයක් කරන්නෙ

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...

ඉලෙක්ට්‍රෝනික්ස් II (Electronics) - 6

විශේෂ ප්‍රතිරෝධක ඉහත සාකච්ඡා කළ නියත හා විචල්‍ය ප්‍රතිරෝධක හැරුණහම , තවත් සුවිශේෂී ජනප්‍රිය ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ද තිබෙනවා . මේවා ආලෝකය , උෂ්ණත්වය වැනි විවිධ භෞතික රාශින්ට සංවේදී ප්‍රතිරෝධකයි . මේ අතරින් සුලභම වර්ගය තමයි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක වර්ගය . මේවා ප්‍රකාශ - ප්‍රතිරෝධක (photoresistor) හෝ “ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක” (Light Dependent Resistor – LDR) ලෙස හැඳින් වෙනවා . එහි සාමාන්‍ය භාහිර හැඩය පහත දැක්වේ .   මෙම ප්‍රතිරෝධයේ හිස මත තිබෙන්නේ ආලෝකයට ඉතා සංවේදී කැඩ්මියම් සල්ෆයිඩ් (CdS), ලෙඩ් සල්ෆයිඩ් (PbS), කැඩ්මියම් සෙලිනයිඩ් (CdSe) ආදී යම් රසායනික ද්‍රව්‍යයකි . එම ද්‍රව්‍යයන්වල ඉතා ඉහල ( බොහෝවිට 500k ohm වැනි ) ප්‍රතිරෝධි අගයන් තිබේ . එහෙත් ඒ මතට ආලෝකය වැටෙන විට , ප්‍රතිරෝධි අගය සීඝ්‍රයෙන් පහළ යයි ( බොහෝවිට ඕම් 500 වැනි ). මෙහිදී කිව යුතු වැදගත් කරුණ නම් , ඉහත සඳහන් කළ ( හා නොකළ ) ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය එකම ආකාරයෙන් ආලෝකයට සංවේදී නොවේ . සමහර ඒවා “ආලෝකයේ රතු පැත්තට” ( ඒ කියන්නේ දිගු තරංග ආයාම සහිත ආලෝකයට ) සංවේදිතාව දක්වන අතර , තවත් සමහර ඒවා “ආලෝකයේ නිල් / ද...