Skip to main content

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම

ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.
 
මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි.  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා.

අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අකුරු 26 පහත දක්වා ඇත.  ඉංග්‍රීසියේදී සෑම අකුරක්ම “සිම්පල්” හා “කැපිටල්” ලෙස දෙයාකාරයකින් ලිවිය හැකිය.  කැපිටල් අකුර හා එහි සිම්පල් අකුර ඒ සමඟම (ඒ ඒ අකු‍රට හිමි නම සමඟ) පහත දැක්වෙනවා.




ඉහත අකුරු ලියා ඇත්තේ ඉරි මතය.  එමඟින් ඔබට එම අකුරු ලියන විට ‍ඉතා නිවැරදිව තිබිය යුත්තේ කෙසේද යන්න බලා ගත හැකියි.  උදාහරණ ලෙස, සිම්පල් g, j, p, q, y ආදි අකුරුවල යට කොටස් රූලේ (ඉරේ) යටට විහිදී ඇත.  ඉහත සෑම අකුරකටම නමක් තිබෙන (උදා: A - ඒ, B - බී, F - එෆ්, Q - කිව්, ආදි ලෙස) බව ඔබ දන්නවා.  දැන් ඔබ කළ යුත්තේ එම අකුරුවලට හිමි “ශබ්ද” මොනවාද යන්න දැන ගැනීමයි.

b - බ්                     c - ක්, ස්
d - ඩ්                     f - ෆ්
g - ග්, ජ්                h - හ්
j - ජ්                      k - ක්
l - ල්                     m - ම්
n - න්                    p - ප්
q - ක්                    r - ර්
s - ස්                     t - ට්, ත්
v - ව්                     w - ව්
x - ක්ස්                  y - ය්
z - ස්(z)

ඉහත දක්වා ඇත්තේ අකුරු 26න් 21ක් පමණි.  තවද, අකුරු කිහිපයක් සඳහා ශබ්ද දෙක බැගින්ද තිබෙන බව පේනවා නේද (t, c, g)?  තවද, එකම ශබ්දය සඳහා අකුරු කිහිපයක්ද ඇති බව පේනවා නේද (ක් -> c, k, q)?  ඔබ ඉහත ශබ්ද සියල්ල මතක තබා ගන්න.  එය අපහසු දෙයක් නොවේ, මක්නිසාද යත් බොහොමයක් අකුරුවලට හිමි මූලික ශබ්දය එම අකුරේ නම තුළම ගැබ් වී ඇති නිසා (p (පී) යන අකුරේ නමෙහි ප් ශබ්දය තිබේ; s (එස්) යන අකුරේ නමෙහි ස් ශබ්දය තිබේ.)

V හා W අකුරු දෙක ගැන ‍දෙයක් දැන ගත යුතුය.  දෙකෙහිම ශබ්දය “ව්” ලෙස සඳහන් වුවත්, ඒ දෙකෙහි සියුම් වෙනසක් ඇත.  W අකුර “ව්” ලෙස ශබ්ද කරන විට, තොල් දෙක උල් කර එසේ ශබ්ද කරන්න (හරියට ඔබ කටින් හුළං පිට කරන විට තොල් උල් කරන්නාක් මෙන්).  V අකුර “ව්” ලෙස ශබ්ද කරන විට, තොල් උල් නොකොට එය ශබ්ද කරන්න (සිංහල අප සාමාන්‍යයෙන් “ව්” ශබ්ද කරන්නේ මෙලෙසය.)

Z අකුරේ ශබ්දයද සිංහල අපට නුපුරුදු ශබ්දයකි.  ශබ්ද කරන සැටි පොතකින් පෙන්වීම පහසු නැත.  එහෙත් හැකි පමණින් මා එය ශබ්ද කරන විදිය කියා දෙන්නම්.  “ද්ස්” ලෙස එය මුලින් ශබ්ද කරන්නට හුරු වන්න.  (ඇත්තටම එය ශබ්ද කරන්නේ උගුරෙන් නින්නාද වන ශබ්දයක් ලෙසිනි.  සුද්දන් එය ශබ්ද කරන හැටි අසා, ඊට ආසන්න ක්‍රමයකට ශබ්ද කරන්න.)

ඉහත අකුරු 21 ම ස්වභාවයෙන් ඇත්තේ හල් අකුරුයි (එනම් හල් ශබ්දයි.)  ඔබ “බ්” (එනම් b හි ශබ්දය) ශබ්ද කර බලන්න.  හොඳින් ශබ්ද කළ නොහැකියි නේද?  එපරිදිම, d, p, t ආදී කිසිම අකුරක් පහසුවෙන් ශබ්ද කළ නොහැකි බව ඔබට දැනේවි.  හැකි නම් ඔබේ මිතුරෙකුට එම අකුරක් ශබ්ද කළ හැකිදැයි අසන්න.  ඔවුනටද එය කළ නොහැකිය.  එම අකුරුවල ස්වභාවය එයයි (ඔව්, s, l, m, r ආදියෙහි ඇති ස්, ල්, ම්, ර් යන ශබ්ද තරමක් පහසුවෙන් ශබ්ද කළ හැකි වුවත්, පසුව කියනු ලබන හේතුවක් මත එම අකුරුද “පහසුවෙන් ශබ්ද කළ නොහැකි” අකුරු ගොඩට දැමේ).  මෙම “පහසුවෙන් ශබ්ද කළ නොහැකි” අකුරු “ව්‍යංජන” හෙවත් “ගාත්‍රාක්ෂර” ලෙස නම් කෙරෙනවා.  ඒවා හරියට පණ නැති මළ මිනි වැනිය (ගාත්‍රාක්ෂර ලෙස නම ලැබී ඇත්තේද “අතපය විතරක් සහිත එහෙත් පණ නැති අකුරු” යන අරුතින්ය).

තවද, ඉතා පහසුවෙන් ශබ්ද කළ හැකි ශබ්ද සමූහයක්ද තිබේ.  ඒවා “ප්‍රාණාක්ෂර” හෙවත් “ස්වර” ලෙස හැඳින්වෙනවා.  පළමුව ඉංග්‍රීසියේ (හා සිංහලේ හා වෙනත් ඕනෑම භාෂාවක) පවතින මූලික ස්වර ශබ්ද මොනවාදැයි බලමු.  ඇත්තෙන්ම, මෙය ගැන ඉහත පිටු 22 හිද සඳහන් කර තිබෙන අතර, එම පිටුවේ ඇති විස්තරයද කියවන්න.

අ       ආ      ඇ      ඈ      ඉ       ඊ
උ       ඌ      එ       ඒ       ඔ       ඕ

ඉහත ඇත්තේ සිංහල හෝඩියේ මුල් අකුරු 12 නේද?  ඔව්, එම අකුරු 12න් නියෝජනය වන්නේ ලෝකයේ සෑම දෙනාම පාහේ ශබ්ද කරන මූලික ස්වර ශබ්ද 12 වේ.  ඔබ දැනටමත් ඒවා දන්නා නිසා, අමුතුවෙන් මතක තබා ගැනීමටද දෙයක් එහි නැහැ නේද?

ඉහත ස්වර ශබ්ද/අකුරු පහසුවෙන් ශබ්ද කළ හැකි මෙන්ම, ඉහත දැක්වූ ගාත්‍රාක්ෂර පහසුවෙන් ශබ්ද කළ හැකි ලෙස පත් කිරීමටද මෙම ස්වරවලට හැකිය.  එනම්, පණකුරු ‍ගාත්‍රාක්ෂරවලට යෙදීමෙන් ගාත්‍රාක්ෂරවලට “පණ” ලැබේ.  ඉහතකදී කියූ s, r, l, m අකුරුද තරමක් පහසුවෙන් ශබ්ද කළ හැකි බව පැවසුවා මතකද?  එසේ වුවත්, එම අකුරුවලට හැකියාවක් නැහැ අනෙක් ව්‍යංජන අකුරුවලට පණ දීමට.  එමනිසයි ඒවා ස්වර ලෙස හැඳින්වෙන්නේ නැත්තේ.  ස්වරයක් වීමට නම්, තමන්ම පහසුවෙන් ශබ්ද කළ හැකි විය යුතුවාක් මෙන්ම, අනෙක් ව්‍යංජනද පහසුවෙන් ශබ්ද කළ හැකි බවට පත් කිරීමට හැකියාවක් තිබිය යුතුය.
හොඳයි දැන් අප ස්වර මඟින් ව්‍යංජනවලට පණ ලබා දෙන්නේ කෙසේදැයි බලමු.  උදාහරණ කිහිපයක් මඟින් එය පහසුවෙන් උගත හැකිය.

“ක” යන අකුර ශබ්ද කරන්න.  ඔබ ඉතා පහසුවෙන් එය ශබ්ද කරාවි.  එලෙසම කා, කැ, කී, කු, කේ, කො යන අකුරුද ශබ්ද කරන්න.  පහසුවෙන් ශබ්ද කළා නේද?  දැන් “ක්” ශබ්ද කරන්න.  ඉතා අපහසුයි නේද?  ක, කා, කී ආදී අකුරු පහසුවෙන් ශබ්ද කළ හැකි වූයේ එම අකුරුවලට ස්වර මඟින් පණ ලැබී තිබෙන නිසයි.  එය ඉතා කෙටි සංඥා ක්‍රමයකින් පහත ආකාරයට දැක්විය හැකිය.

ක = ක් + අ                   කා = ක් + ආ
කැ = ක් + ඇ                කී = ක් + ඊ
කු = ක් + උ                  කෝ = ක් + ඕ

ඉහත දක්වා ඇති පරිදි, “ක” යන්න සෑදී ඇත්තේ හල් කයන්නට (ක්) අයන්න (අ) ආරූඪ ‍වීමෙනි.  අනෙක් අකුරුද එලෙසම සිතා ගත හැකියි නේද?  ඒව නිවැරදිද කියා තව දුරටත් ඔබට පරීක්ෂා කිරීමට පුළුවන්.  “ක” යන අකුර එක හුස්මට දිගටම ශබ්ද කරගෙන යන්න.  ඔබට පේනවා නේද එසේ ශබ්ද කරගෙන සිටින විට ඔබට ඇසෙන්නේ “අ” ශබ්දය බව.  ඒ විදියටම අනෙක් අකුරුද දිගට ශබ්ද කර බලන්න.  ඔබට සියල්ල වැ‍ටහෙන්නට ඇතැයි මා දැන් සිතනවා.

දැන් බලමු ඉංග්‍රීසියේ ඇති ස්වර ශබ්ද මොනවාද කියා.  පිළිතුර ඉතා සරළය.  සිංහල භාෂාවේ පවතින ස්වර ශබ්දම ඉංග්‍රීසියේ ඇත.  තවත් විදියකින් කියතොත්, සිංහල ස්වර අකුරු 12ට හිමි ස්වර ශබ්දම ඉංග්‍රීසියේද තිබිය යුතුය.  එහෙත් ඉංග්‍රීසියේ එම ස්වර ශබ්ද 12 නියෝජනය කිරීමට ඇත්තේ ස්වර අකුරු පහකි.  ඒවා සහ ඒවාට හිමි ශබ්ද පහත දැක්වේ.

A - අ, ආ, ඇ, ඈ, ඒ, ඕ
E - එ, ඒ, අ
I - ඉ, ඊ, (අයි), අ
O - ඔ, ඕ, උ, අ
U - උ, ඌ, අ, (යු)

U අකුරේ ස්වර නොවන “යු” ශබ්දයද පවතින බව පෙනේ.  තවද, I අකුරට ස්වර දෙකක් සංයුක්ත වී සෑදෙන “අඉ” යන ශබ්දයද පවතිනවා.

සිංහලේදී මෙන්ම, ඉංග්‍රීසියේද ව්‍යංජනවලට පණ එන්නේ ස්වර යෙදීමෙනි.  සිංහලේදී නම්, එසේ ස්වර යෙදුනු විට විවිධ පිල්ලම් (ඇලපිලි, පාපිලි ආදිය) මඟින් ව්‍යංජනයට ආරූඪ කර ඇති ස්වර දක්වනු ලැබේ.  එහෙත්, ඉංග්‍රීසියේදී එවැනි පිල්ලම් නැත.  ඒ වෙනුවට කරන්නේ කෙළින්ම ස්වර අකුර ව්‍යංජන අකුරට පසුව යෙදීම පමණි.  මෙය ඉතා පහසු ක්‍රමවත් ක්‍රමයක් නේද?  අමුතුවෙන් මතක තබා ගත යුතු (පිල්ලම්) කිසිවක් නැහැ.

B (බ්) + O (ඔ) = BO (බො)                   B + A (ඇ) = BA (බැ)

ඉහත පේනවා නේද අප කළ දේ?  A අකුරට ස්වර ශබ්ද කිහිපයක් පවතින බව ඔබ දන්නවා.  ඉතිං “BA” යන කොටස ඒ අනුව “බ”, “බා”, “බැ”, “බෑ” ආදි ලෙස ඕනෑම ශබ්දයක් විය හැකිය.  ඔබ ඉංග්‍රීසි වචන ඉගෙන ගන්නා විට ඒවා ශබ්ද කරන විදිය ඉබේම පාඩම් කරන නිසා, සිතන තරම් අපහසුවක් ඔබට ඇති නොවේ.  අධෛර්යමත් නොවන්න.  ඉංග්‍රීසි අපහසු භාෂාවක් ‍නම්, එය මෙතරම් ප්‍රචලිත වන්නේ නැහැ නේද?  දැන් අප තවත් ශබ්ද සෑදෙන අයුරු විමසා බලමු.

A (ඇ) + T (ට්) = AT (ඇට්)                     O (ඔ) + T (ට්) = OT (ඔට්)
E (එ) + T (ට්) = ET (එට්)                       I (ඉ) + T (ට්) = IT (ඉට්)
U (අ) + T (ට්) = UT (අට්)                       U (අ) + T (ට්) = UT (උට්)
H (හ්) + O (ඔ) = HO (හො)                   S (ස්) + E (එ) = SE (සෙ)
L (ල්) + I (ඉ) = LI (ලි)                           P (ප්) + U (ඌ) = PU (පූ)
C (ක්) + A (ඇ) + T (ට්) = CAT (කැට්)    H (හ්) + O (ඔ) + T (ට්) = HOT (හොට්)

ඔබට එක් එක් අකුරට හිමි ශබ්ද මතක නම් ලිවීම හා කියවීම ඉතා පහසුයි නේද?  දැන් පහත සඳහන් වචනවල ශබ්ද සිංහලෙන් ලියන්න.  (පාඩමේ අග මේවායේ පිළිතුරු සටහන් කර ඇත,)

BAT - …………………………                       VAT - ……………………………
KIT - …………………………..                      PIN - …………………………….
LOT - ……………………………                    HOT - …………………………..
SET - …………………………..                      NET - …………………………..
SUN - ……………………………                    GUN - …………………………..

ඔබට සමහරවිට දැනෙන්නට ඇති, ච, ෂ වැනි ශබ්ද ඉහත ඔබ පාඩම් කළ ලිස්ට් ‍එකේ නැති බව.  ඉන් කිය වෙන්නේ එවැනි ශබ්ද ඉංග්‍රීසියේ නැති බවද?  එසේ නොවේ, එම ශබ්දද තිබෙනවා.  මිනිස් කටකින් විවිධ ශබ්ද රාශියක් නිකුත් කළ හැකිය.  එහෙත් ඉංග්‍රීසි භාෂාවේ ඇත්තේ එම නිකුත් කළ හැකි ශබ්ද ගණනට වඩා බෙහෙවින් අඩු අකුරු ගණනකි.  එමනිසයි ඉංග්‍රීසියේදී සමහරක් අකුරුවලට (විශේෂයෙන් ස්වරවලට) විවිධ ශබ්ද කිහිපයක් ‍දී තිබෙන්නේ.  ඊට අමතරව, තවත් උපක්‍රමයක් ඉංග්‍රීසියේදී අනුගමනය කෙරෙනවා.  එය නම්, අකුරු දෙකක් එකතු කර (සංයුක්ත කර) වෙනම ශබ්දයක් ඇති කිරීමයි.  එම සංයුක්ත අකුරු හා ශබ්ද පහත ඇත.

CH - ච්                            PH - ෆ්
TH - ත්, ද්                        SH - ෂ්/ශ්
OO - උ, ඌ                      AA -
EA/ EE - ඊ                      IE - ඊ/ අයි
AU/ OA - ඕ                     UU - යූ/ඉයූ
EU -

ඒ අනුව, සංයුක්ත ව්‍යංජන හා ස්වරද සාමාන්‍ය ආකාරයටම වචන සෑදීමට යෙදේ.

CH (ච්) + A (ඇ) = CHA (චැ)                 B (බ්) + OO (උ) ‍=BOO (බු)
SH (ෂ්) + OO (ඌ) = SHOO (ෂූ)             L (ල්) + IE (අයී) = LIE (ලයී)

පහත සඳහන් වචනවල ශබ්ද සිංහලෙන් ලියන්න.

chat - ……………………………        shot - ……………………………
book - …………………………..        lean - …………………………..
boat - ………………………….         vacuum - ………………………

දැන් ඔබ තවත් මූලික කරුණු කිහිපයක් දැනගත යුතුය.  වචනයක (බොහෝවිට කෙළවර) එකම ගාත්‍රාක්ෂරය ඩබල් (ද්විත්ව) වී තිබේ නම්, එහිදී අවසන් ව්‍යංජනය ශබ්ද නොවේ.  (හේතුව ඉතා සරළය; ස් (හෝ වෙනත් හල් අකුරක්) එකක් තිබුණත්, 100 ක් තිබුණත් ඉබේම ශබ්ද වන්නේ එක “ස්” එකක් නේද?) උදා:

boss - බොස්                             passive - පැසිව්
call - කෝල්                             effect - ඉෆෙක්ට්

W අකුරට පසුව A ඇත්නම්, හැමවිටම පාහේ WA ශබ්ද කළ යුත්තේ “වෝ” ලෙසිනි.  උදා:
water - වෝටර්                                    was - වෝස්

තවද, L අකුරට පෙර A ඇති විට, හැමවිටම පාහේ AL ශබ්ද කළ යුත්තේ “ඕල්” ලෙසිනි.  උදා:
ball - බෝල්                             altogether - ඕල්ටුගෙදර්

(“-al” ලෙස ඉංග්‍රීසි ප්‍රත්‍යයක් (ප්‍රත්‍ය ගැන පොතේ වෙන තැනක ඉගැන්වේ.) ඇති අතර, එය යෙදුනු විට හැමවිටම “අල්” ලෙස ශබ්ද කෙරේ.  උදා:  
basal (බේසල්), nasal (නේසල්))

Q අකුරේ ඇත්තේ ක් ශබ්දය බව පෙනවා.  අරාබි නම් ගම් බොහොමයකම ක් ශබ්දය සඳහා මෙම q යොදා ගැනෙනවා.
Qatar - කටාර්                          Haq - හක්

එසේ අරාබි නම් හැරුණු විට, කිසි විටෙක q අකුර පමණක් යෙදෙන වචන ඉංග්‍රීසියේ හමු නොවේ (ශබ්ද කෝෂයක් අරන් බලන්න Q අකුර සහිත වචන).  හැමවිටම q අකුරට පසුව u අකුර යෙදේ.  එවිට, qu යන්න “ක්ව්” යන ශබ්දය හිමි කර ගනී.

qu (ක්ව්) + e (එ) + s (ස්) + t (ට්) = quest (ක්වෙස්ට්)
queen - ක්වීන්                          quit - ක්විට්

තවද, tion, sion/ssion, tian, cian යන කොටසක් තිබුණොත් එය ශබ්ද කළ යුත්තේ “ෂන්/ෂ්‍යන්” ලෙසිනි.
vision - විෂන්                           nation - නේෂන්
magician - මැජීෂ්‍යන්

තවද, ture/tur යන කොටස හැමවිටම වාගේ ශබ්ද කෙරෙන්නේ “චර්” ලෙසිනි.
lecture - ලෙක්චර්                    picture - පික්චර්

ough යන කොටස බොහෝ විට “අෆ්” ලෙස ශබ්ද කෙරේ.
rough (රෆ්)                              tough (ට‍ෆ්)

augh හා ough (ough අෆ් ලෙසද ශබ්ද වන බව ඉහත පෙන්වා ඇත.) යන කොටස් “ඕ” ලෙස ශබ්ද කෙරේ.
caught - කෝට්                                    bought - බෝට්

වචනයක අග Y අකුර ඇති විටක, එය “ඉ” හෝ “අයි” (ඇත්තටම ය්=ඉ) ලෙස ශබ්ද කෙරේ.
baby (බේබි)                 lady (ලේඩි)                 by (බයි)

C අකුරෙහි සාමාන්‍යයෙන් ඇත්තේ “ක්” ශබ්දයයි.  එහෙත්, ce ලෙස යෙදෙන විට, හැමවිටම පාහේ එය “ස්” ශබ්දය ලබා දෙයි.

car - කාර්                                             cot - කොට්
c (ස්) + e (එ) + nt (න්ට්) - සෙන්ට්         necessary - නෙසෙසරි

c මෙන්ම G ද සාමාන්‍යයෙන් ශබ්ද කෙරෙන්නේ “ග්” ශබ්දය වන අතර, ge ලෙස යෙදෙන විට හැමවිටම පාහේ “ජ්” ලෙස ශබ්ද වේ.

get - ගෙට්                                got - ගොට්
cage - කේජ්                             ridge - රිඩ්ජ්

ර් හා ල් ශබ්ද ගාත්‍රාක්ෂර සමඟ යෙදී ඇති පහත උදාහරණද බලන්න.

clean - ක්ලීන්                           pleat - ප්ලීට්
trash - ට්‍රෑෂ්                              print - ප්‍රින්ට්

w ට පසුව යෙදෙන h ශබ්ද වෙන්නේ නැත (c, p, s, t හැර අනෙක් ගතකුරුවලට පසුද ශබ්ද නොවේ).  එලෙසම, k හෝ t අකුරක් තවත් (h නොවන) ගතකුරකට පෙර, වචනයක් පටන් ගැනීමේදී යෙදී ඇතිවිට, එම k හෝ t ද ශබ්ද වෙන්නේ නැත.  තවද, “wr” යන්න වචනයක මුල ඇති විට එහි w ශබ්ද කෙරෙන්නේ නැත.

which - විච්                              what - වට්
dhamma - දම්ම                       knot - නොට්
tsunami - සුනාමි                      kneel - නීල්
write - රයිට්                             wrong - රෝං

“ate” යන කොටස වාඛ්‍යයක අවසානයේ ඇති විට, එය “ඒට්” ලෙස ශබ්ද කෙරේ.
late - ලේට්                              date - ඩේට්

මෙම ate යන්න විශේෂයෙන් මතක තබාගන්න, මක්නිසාද යත් මෙම කොටස ආශ්‍රයෙන් මා කියා දෙන්නට යන්නේ විශාල රටාවන් ගණනකි.  මෙය තේරුම්ගත් ‍විට, එම රටා සියල්ලම ඔබට එකවර පහසුවෙන් මතක සිටීවි.  මෙය සෑදී ඇත්තේ “ස්වරයක් + ගතකුරක් + e” යන රටාවටයි.  මෙය තමයි ඔබට පෙන්වා දීමට අවශ්‍ය පොදු රටාව.  අවසන් e අකුර ශබ්ද කෙරෙන්නේ නැහැ.  මුලින් ඇති ස්වරය හා ගතකුර නිසා එම කොටසට හිමි ශබ්දය ලැබේ.  ate නිසා “ඒට්” යන ශබ්දය ලැබුණා නම්, abe “ඒබ්” ලෙසද, ade “ඒඩ්” ලෙසද, ane “ඒන්” ලෙසද යනාදී වශයෙන් විවිධ ශබ්ද රටා ඔබට සිතා ගත හැකියි නේද?

game - ගේම්                            lane - ලේන්
pale - පේල්                              tape - ටේප්

එනම්, මැද ඇති ගතකුර වෙනස් කිරීමෙන් අපට පහසුවෙන්ම එකම රටාව ඇති විවිධ ශබ්ද සාදාගත හැකි වුණා.  එලෙසම, අවශ්‍ය නම්, මුලින් ඇති ස්වරයද වෙනස් කළ හැකිය.  එවිටද, ඔබට පහසුවෙන් සිතා ගත හැකි තවත් ශබ්ද රටා සමූහයක් ලැබේ.  ate යනු “ඒට්” නම්, ote යනු “ඕට්” ලෙසද, ite යනු “අයිට්” ලෙසද, ete “ඊට්” ලෙසද, ute “ඉයූට්” ලෙසද ශබ්ද කළ හැකියි නේද?

concrete - කොන්ක්‍රීට්                          tute - ටියූට්
site - සයිට්                                           note - නෝට්

දැන්, ඔබට මුල් ස්වරය හා ඊට පසුව ඇති ව්‍යංජනය යන දෙකම අවශ්‍ය පරිදි වෙනස් කරමින් විවිධ ශබ්ද ඉතා විශාල ගණනක් සෑදිය හැකිය.  සංයුක්ත අක්ෂර පවා යෙදිය හැකියි.

gale - ගේල්                                         mole - මෝල්
pose - පෝස්                                        goose - ගූස්
ache - ඒක්                                           ice - අයිස්
race - රේස්                                          trace - ට්‍රේස්

තවත් ලෙසට ඉහත රටාව මෙසේ පැවසිය හැකිය.  අග ඇති e අකුර ශබ්ද නොවන අතර, ඊට පෙර ඇති ස්වරය දීර්ඝව ශබ්ද කෙරේ.  දැන් පහත ඒවායේ ශබ්ද ලියන්න.

mate - ……………………………..                mete - ………………………
goose - …………………………….                geese - ………………………..
please - ……………………………                rape - …………………………..
safe - …………………………………              knife - ………………………….
wife - …………………………………              bite - …………………………..

ir යන කොටස බොහෝ අවස්ථාවල “අර්” ලෙස ශබ්ද කෙරේ.  එහි “ඉර්” ලෙසද සාමාන්‍ය පරිදි ශබ්ද වන අවස්ථාද තිබෙන බව මතක තබා ගන්න.  තවද, ire යන්න “අයර්” ලෙසද ශබ්ද කෙරේ.

sir - සර්                                              shirt - ෂර්ට්
their - දෙඅර් (දෙයර්)                            coir - කොඅර්
fire -
ෆයර්                                           tire - ටයර්                   

පුළුවන් තරම් ඉංග්‍රීසි වචන කට පාඩම් කළ යුතුය.  ඔබ නිතර නිතර ලියන කියවන කෙනෙක් නම් නිවැරදිව අකුරු (ස්පෙලිං - spelling) ඉබේම වගේ ලියැවෙනු ඇත.  තවද, නිවැරදිව ඉංග්‍රීසි වචන ලිවීමට හා උච්ඡාරණය කිරීමට ඉංග්‍රීසි ව්‍යාකරණය ගැනද දැන ගැනීමට අවශ්‍යයි.  උදාහරණයක් ලෙස, -al යන ප්‍රත්‍ය යෙදෙන විට එය “අල්” ලෙස උච්ඡාරණය කෙරෙන බව මා පැවසුවා මතකද?  එය ව්‍යාකරණයට යටතේ ඉගැන්වෙන්නකි.  තවද, ate වලින් අවසන් වන විට “ඒට්” කියා ශබ්ද කළ යුතු බවද මා පැවසුවා මතකද?  ඇත්තෙන්ම, සමහර ate වලින් අවසන් වන වචනවලට නාමපද මෙන්ම නාම විශේෂණ හෝ ක්‍රියාපද තේරුම්ද ඇත.  එවිට එම පදයම නාමපදයක් හෝ නාම විශේෂණයක් අර්ථයෙන් ගත හැකි නම්, එය “අට්” ලෙස උච්ඡාරණය කළ යුතුය.  මෙයද ව්‍යාකරණය යටතේ එන එකකි.  ව්‍යාකරණ යටතේ එන එවැනි රීතින් මා එම ව්‍යාකරණ කොටස් උගන්වන ස්ථානවල සඳහන් කර තිබේ.  උදා:

approximate (ඇප්‍රොක්සිමේට්) - ආසන්න අගයක් ලබා දෙනවා (ක්‍රියාපදයක්)
approximate (ඇප්‍රොක්සිමට්) - ආසන්න (නාම විශේෂණයක්)

මා මෙම පාඩමින් කියා දුන්නේ ප්‍රධාන වැදගත් කරුණුය.  ඒවා හොඳින් අධ්‍යනය කරන්න.  මතක තබා ගන්න.  මෙතැන් සිට ඔබට ඇසෙන දේවල් ඉංග්‍රීසියෙන් ලිවීමටද, ලියා ඇති දේවල් කියවීමටද හැකියාව ලැබී තිබිය යුතුය.  ඉංග්‍රීසියේ කිසිදු සාධාරණ රටාවක්/රීතියක් නැතිව අමුතුවෙන්ම ශබ්ද කෙරෙන වචන ස්වල්පයක්ද ඇත.  බොහෝ විට එවැනි වචන හමුවන්නේ වෙනත් භාෂාවක වචන ඒ ලෙසම ඉංග්‍රීසියට පැමිණි විටය.  එවැනි වචන හමු වූ විට, ඒවා ඒ ආකාරයටම මතක තබා ගැනීම කළ යුතුය; ඒ හැරෙන්නට වෙන විකල්පයක් නොමැත.  උදාහරණ ලෙස,

Sean - ෂෝන් (නමක්)             Stephen - ස්ටීවන් (නමක්)
depot -
ඩිපෝ (ඩිපෝව)           laugh - ලාෆ් (සිනාසෙනවා)
build - බිල්ඩ් (ඉදිකරනවා)        here - හියර්
there - දෙයර්                         weather - වෙදර්                     

අවසන් වශයෙන් නැවත කියන්නේ පුළුවන් තරම් වචන ඉගෙන ගත යුතු බවයි.  ඔබ වැඩිපුර වචන දන්නා තරමට ස්පෙලිං පහසු ‍වනු ඇත.  ඉඳහිට ස්පෙලිං වැරදී වූවාට එතරම් ලොකුවට සිතිය යුතු නැත.  ඔබ සිංහල භාෂාවේ න,ණ, ල, ළ ආදිය කොතරම් වරද්දා ඇතිද?  සුද්දාට අපට වඩා ස්පෙලිං වරදිනවා.  වැදගත් වන්නේ පහසුවෙන් හා බියක් නැතිව කියවීමට හා ලිවීමට පුරුදු වීමයි.

කියවීම වැඩි දියුණු කර ගැනීමට ඇති පහසුම හා හොඳම ක්‍රමය වන්නේ, නිවැරදීව හා පැහැදිලිව වචන තනි තනිව ශබ්ද නඟා කියවීමයි.  එසේ දවස් කිහිපයක් හොඳින් එය කළ පසු, තනි තනි වචන නොව, වචන කිහිපය බැගින් ඉක්මනින් හා ශබ්ද නඟා කියවන්නට පුරුදු වන්න.  ශබ්ද කිරීමට අමාරු වචන එම අමාරුව නැති වන තෙක් විනාඩි ගණනක් වුවද කමක් නැහැ නොනවත්වා ශබ්ද නඟා කියන්න.  පැටළුනාට කමක් නැහැ.  නැවත නැවත අමාරු දෙයක් කියන විට ඉබේම දිව ඊට ටික වේලාවකින් හුරු වෙනවා.  එසේ හුරු වූ විට එම වචනය පමණක් නොව, එම හැඩය/ස්වරූපය සහිත තවත් වචන දහස් ගණනක්ද පහසුවෙන් කියවීමට හැකි වෙනවා.  අන්න එයයි එහි ඇති වැදගත්කම.  මෙලෙස ඔබට දැනට අපහසුවක් දැනෙන වචන 50ක් පමණ පුරුදු වූ විට, ඉංග්‍රීසි වචන දිව පටලැවෙන්නේ නැතිව කීමට හැකි වේවි.  කර බලන්න.  නැවත අවධාරණය කරන්නේ පුහුණු වන විට හැකි තරම් හඬ නඟා උච්ඡාරණය කරන ලෙසයි.  ඉන් පසු ව්‍යාකරණය ඉගෙන ගන්නා විට හමුවන වාඛ්‍ය රටාවක් ගෙන සුද්දෙක් මෙන් එකවර ඉක්මනින් එය කීමට හැකි වන තෙක් පෙර පරිදිම නැවත නැවත ශබ්ද නඟා කියවන්න.  ඉන් ඔබේ දිව තවත් හුරු වනවා පමණක් නොව, ව්‍යාකරණ රීතින් හා රටාවන්ද ඔබට පහසුවෙන් මතක තබා ගැනීමට හැකි වේවි.

පිළිතුරු

BAT - බැට්         VAT - වැට්         KIT - කිට්
PIN -
පින්          LOT - ලොට්         HOT - හොට්.
SET -
සෙට්            NET - නෙට්        SUN - සන්
GUN -
ගන්        chat - චැට්            shot - ෂොට්
book -
බුක්.         lean - ලීන්         boat - බෝට්
vacuum -
වැක්‍යුම්  mate - මේට්   mete - මීට්
goose -
ගූස්         geese - ගීස්        please - ප්ලීස්
rape -
රේප්        safe - සේෆ්          knife - නයි‍ෆ්.
wife -
වයිෆ්        bite - බයිට්

Comments

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

ඉලෙක්ට්‍රෝනික්ස් II (Electronics) - 6

විශේෂ ප්‍රතිරෝධක ඉහත සාකච්ඡා කළ නියත හා විචල්‍ය ප්‍රතිරෝධක හැරුණහම , තවත් සුවිශේෂී ජනප්‍රිය ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ද තිබෙනවා . මේවා ආලෝකය , උෂ්ණත්වය වැනි විවිධ භෞතික රාශින්ට සංවේදී ප්‍රතිරෝධකයි . මේ අතරින් සුලභම වර්ගය තමයි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක වර්ගය . මේවා ප්‍රකාශ - ප්‍රතිරෝධක (photoresistor) හෝ “ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක” (Light Dependent Resistor – LDR) ලෙස හැඳින් වෙනවා . එහි සාමාන්‍ය භාහිර හැඩය පහත දැක්වේ .   මෙම ප්‍රතිරෝධයේ හිස මත තිබෙන්නේ ආලෝකයට ඉතා සංවේදී කැඩ්මියම් සල්ෆයිඩ් (CdS), ලෙඩ් සල්ෆයිඩ් (PbS), කැඩ්මියම් සෙලිනයිඩ් (CdSe) ආදී යම් රසායනික ද්‍රව්‍යයකි . එම ද්‍රව්‍යයන්වල ඉතා ඉහල ( බොහෝවිට 500k ohm වැනි ) ප්‍රතිරෝධි අගයන් තිබේ . එහෙත් ඒ මතට ආලෝකය වැටෙන විට , ප්‍රතිරෝධි අගය සීඝ්‍රයෙන් පහළ යයි ( බොහෝවිට ඕම් 500 වැනි ). මෙහිදී කිව යුතු වැදගත් කරුණ නම් , ඉහත සඳහන් කළ ( හා නොකළ ) ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය එකම ආකාරයෙන් ආලෝකයට සංවේදී නොවේ . සමහර ඒවා “ආලෝකයේ රතු පැත්තට” ( ඒ කියන්නේ දිගු තරංග ආයාම සහිත ආලෝකයට ) සංවේදිතාව දක්වන අතර , තවත් සමහර ඒවා “ආලෝකයේ නිල් / ද...

පහසුවෙන් ඉංග්‍රිසි කඩිනමින් ඩවුන්ලෝඩ් කර ගැනීම

මෙම බ්ලොග් එකෙහි කොටස් වශයෙන් පළකළ ඉංග්‍රීසි පාඩම් මාලාව තනි පොතක් ලෙස ඊ-බුක් එකක් ලෙස පහත ලින්ක් එකෙන් ඔබට ඩවුන්ලෝඩ් කරගත හැකිය. පහසුවෙන් ඉංග්‍රිසි කඩිනමින් PDF