දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 12 (අවසාන පාඩම)

ඔබ මේ වන විට ඉංග්‍රීසි භාෂාවේ ව්‍යාකරණ රීතින් අති විශාල ප්‍රමාණයක් ඉගෙන ගෙන ඇත.  භාෂාවක් හොඳින් භාවිතා කිරීමට නම් ව්‍යාකරණයට අමතරව එම භාෂාවේ පවතින වචන විශාල ප්‍රමාණයක්ද මතක තබා ගත යුතුය.  ඔබ කොතරම් ව්‍යාකරණය දැන සිටියත් වැඩක් නැහැ ඔබේ වදන් මාලාව කු‍ඩා නම්.  ඔබේ උගත්කම මනින මිම්මක් ලෙසද ඔබේ වචන කෝෂය සැලකිය හැකිය.  ඇත්තටම ඔබ දැනටමත් ඉංග්‍රීසි වචන දහාකට අධික ප්‍රමාණයක් දන්නවා.  සිතා බලන්න එදිනෙදා ජීවිතයේ ඔබ කොතරම් ඉංග්‍රීසි වචන සංඛ්‍යාවක් යොදාගන්නවාද කියා.  උදාහරණ ලෙස බස්, ෆෝන්, කෝල්, ‍ටීවී, රේඩියෝ, චැනල්, සීට්, ටිකට්, ආදීය...  ඔබේ ඉංග්‍රීසි වචන මාලාව ඉතා පහසුවෙන් ඉහළ නංවා ගත හැකි ක්‍රමයක් මා අතිරේකය - 2 හි දක්වා තිබෙනවා.  එම ක්‍රමය හොඳින් දැනගත් පසු ඔබේ වචන සංඛ්‍යාව පැය කිහිපයකින් පස් හය ගුණයකින් පමණ ඉහළ යාවි.

භාෂාවක් යනු අවුරුදු දහස් ගණනක් තිස්සේ ලොව විවිධ ප්‍රදේශවල ජීවත් වන මිනිසුන් කෝටි ගණනක් විසින් භාවිතාවෙන් පැවත එන්නකි.  එමනිසා, එවැනි භාෂාවක නීති රීතින් අනුව මෙන්ම නීති රීතින්ට පිටින් පවතින විවිධ රටාද පැවතිය හැකිය.  උදාහරණ ලෙස අක්‍රමික ක්‍රියා යනු එවැනි රීතියක් නැති ක්‍රියාපද ටිකක් බව තේරෙනවා නේද?  වාසනාවකට මෙන්, ඉංග්‍රීසියේ එවැනි සම්මත ක්‍රමවලින් බැහැරව පවතින්නේ ඉතා සුළු අවස්ථා කිහිපයක් පමණි.  එමනිසා, ඒවාද කට පාඩම් කළ පසු ප්‍රශ්නයක් ඇති නොවේ.

භාෂාවක් යනු නිරන්තරයෙන් වෙනස් වන්නකි.  සමහර වචන හා රටාවන් කාලයාගේ ඇවෑමෙන් ඉවත් වේ; තවත් අළුතින් වචන එකතු වේ; තවත් සමහර වචනවල දැනට පවතින තේරුම් වෙනස් විය හැකිය.  උදාහරණ ලෙස පරිගණක භාවිතාව නිසා mouse යන ඉංග්‍රීසි වචනයට නව තේරුමක්ද ලැබී ඇත (එනම්, පරිගණකයට සම්බන්ධ උපකරණයක් මෙම නමින් හැඳින් වේ).  තවද, සමහරක් ව්‍යාකරණ රීතින් ගැන විවිධ විශාරදයින් විවිධ වෙනස් මතද පළ කරයි.  මේවාට “ගුරුකුල මත” (school or school of thoughts) යැයි අප කියනවා.  අපට මෙහිදී කළ හැකි දෙයක් නොමැත.  එවැනි අවස්ථාවකදී ඔවුන් කියන විවිධ මත සියල්ලම හෝ ඔබට පහසු/නිවැරදි යැයි ‍හැ‍‍ඟෙන එක් මතයක් ගැනීමට අයිතිය ඔබට ඇත.  ඒවා ගැන වාද විවාද කිරීම භාෂා විශාරදයින්ට භාර දෙන්න.  (හොඳින් ඉගෙන ගෙන භාෂා විශාරදයෙක් වූ පසු අවශ්‍ය නම් ඔබටද ඒවා ගැන වාද විවාද කළ හැකිය.)

මා මෙම පාඩමින් තවත් සුළු සුළු කරුණු කිහිපයක් කියා දෙන්නම්.  ඒවාද පාඩම් කර ගන්න.

සාමාන්‍ය නාම විශේෂණ පදයක් ඉදිරියෙන් the දැමූ විට “අය” යන තේරුමක් ලැබේ.

the rich (පොහොසත් අය)                    the educated (උගත් අය)

what, when ආදී ප්‍රශ්න වාචී පදවලට ever යන කොටස් ඇඳූ විට, “වුණත්” යන තේරුම ඒවාට එකතු වේ.

whatever - මොනව වුණත්                   whoever - කවුරු වුණත්
whenever - කවද/කීයට වුණත්             whichever - කෝක වුණත්
whomever - කාව වුණත්                      however - කොහොම වුණත්
wherever - කොහේ වුණත්

I don’t care whatever he is doing.  (මම ගනන් ගන්නේ නැහැ ඔහු මොනවා වුණත් කරමින් සිටිනවා කියලා)

වචනයෙන් වචනය ඉහත අන්දමට සිංහලට පරිවර්ථනය කළත්, ඉහත සිංහල තේරුම හුරුබුහුටි කරගන්න පුළුවන් “මම ගනන් ගන්නේ නැහැ ඔහු මොනව කරමින් සිටිය වුණත්” ලෙස.

I am coming after you wherever you would go.  (ඔයා කොහේ ගියා වුණත්/ඔබ කොහේ ගියත්, මම ඔබ පසුපස එනවා.)

ඉහතකදී ක්‍රියාවේ පළමු කොටස හා not යන පදය සහිත අවස්ථාවකදී, ඒවා කෙටි කළ අන්දම මතකද? තවත් එවැනි වචන දෙකක් කෙටි කරන ක්‍රමයක් තිබෙනවා.  එනම්, යම් කිසි උක්ත පදයකට පසුව (සමහරක්) උපකාරක ක්‍රියා ඇති විට එය සිදු වේ.  උදාහරණ කිහිපයක් මඟින් මම ඒවා දක්වන්නම්.

he will – he’ll              I shall – I’ll
she would – she’d       we should – we’d
he could – he’d           you had – you’d
Kamal is – Kamal’s      Nimal has – Nimal’s
they are – they’re       I am – I’m
we have – we’ve

ඉහත ආකාරයට කෙටි කරනු ලබන්නේ ඉතා ඉක්මනින් හා පහසුවෙන් එම කොටස් උච්ඡාරණය කළ හැකි නම් පමණි.  will, shall, has, have, had, would, could, should, am, is, are යන පද පමණි.  ඒවා ඔබ කට පාඩම් කළ යුතු නැත.  යම් තැනක එසේ කෙටි කර ඇති විට දැන් ඔබට ඒවා ඉබේම තේරේවි.  තවද, උපකාරක ක්‍රියා කිහිපයක්ම කෙටි කළ පසු එකම විදියටද පත් වෙනවා නේද?  උදාහරණයක් ලෙස he සමඟ has, is යන දෙකම කෙටි වූ පසු he’s බවට පත් වෙනවා.  එවැනි අවස්ථා ඔබට ව්‍යාකූල කරාවිද?  නැත.

He’s gone to Kandy.

ඉහත වාඛ්‍යයේ he’s යන්නෙහි ඇත්තේ has කියා ඔබට සිතා ගත හැකියි මක්නිසාද යත්, එතැන ඇත්තේ perfect tense කියා ඔබ දන්නවා.  මෙහිදී කිව යුතු තවත් දෙයක් ඇත.  එනම්, අප ඉහත ආකාරයට කෙටි කරන්නේ එය කෙටි කළ පසු පහසුවෙන් ශබ්ද කළ හැකි නම් පමණි.  ඉතිං Kamal will යන්න Kamal’ll ලෙස දැක්විය හැකි වුවත් කවදාවත් එසේ ලිවීම සුදුසු නැත.  ඊට හේතුව එය උච්ඡාරණය කිරීමට අපහසු වීමයි.  උච්ඡාරණය කිරීමට පහසු වෙනවා නම් පමණක් ඉහත ආකාරයට කෙටි කළාට වරදක් නැත.

වෙනත් කෙනෙකු කියනු ලබන දේ සමඟ අප එකඟවන අවස්ථා මෙන්ම එකඟ නොවන අවස්ථාද ඕන තරම් තිබෙනවා නේද?  එනම්, කෙනෙක් යමක් කරනවා යැයි කී විට තමනුත්/අහවල් කෙනත් ඒ දේ කරනවා යැයි අප නොයෙක් විට පවසනවා නේද?  උදාහරණයක් බලමු.

“මම ක්‍රිකට්වලට කැමැතියි”      “මමත්” (හෝ “මමත් එහෙමයි” හෝ “මමත් කැමැතියි”)

මෙම කෙටි ක්‍රමය නොතිබුණා නම්, “මමත් ක්‍රිකට් වලට කැමැතියි” කියා නේද දීර්ඝව පැවසිය යුත්තේ?  එම දිග වාඛ්‍යය ඉංග්‍රීසියෙන් ලියන්නේ නම්,

I like cricket too.  (මමත් ක්‍රිකට්වලට කැමැතියි.)

ලෙස ලිවිය යුතුය.  එහෙත්, ඉහත කෙටි ආකාරයට අප සිංහලේදී කී වාඛ්‍ය රටාවම ඉංග්‍රීසියේද ඇත.  එය සාදාගනු ලබන්නේ, so යන පදය මුලින් ලියා, ඉන්පසු ක්‍රියාවේ මුල් කොටස ලියා තෙවනුව උක්තය ලියනු ලැබේ.

I like cricket too → So do I.  (මමත්/ මමත් එහෙමයි)

මෙහි do යෙදී ඇත්තේ like යන simple tense ක්‍රියාවේ පළමු කොටස ලෙස බව ඔබ මේ වෙනකොට දන්නවා.  තවත්, උදාහරණ කිහිපයක් බලමු.

“I am going to Colombo tomorrow.”             “So am I.”
“Kamal will win it.”     “So will Nimal.”

Exercises 12-1
I like chocolates.  ……………….  (කමලුත් එහෙමයි.)
Nirmani is a teacher.  ………….  (මමත් එහෙමයි./මමත් ගුරුවරයෙක්.)

කෙනෙක් දෙයක් නොකරන බවක් කී විට, තමනුත්/අහවලත් ඒ දේ නොකරන බවද කියන ක්‍රමයක් පවතිනවා සිංහලේ හා ඉංග්‍රීසියේ යන දෙකෙහිම.  එයද, ඉහත වාඛ්‍ය රටාවට බෙහෙවින් සමානය.  එකම වෙනස නම්, මෙහිදී so වෙනුවට neither හෝ nor යෙදීම පමණයි.  (nor හා neither සෑදී තිබෙන්නේ not+or හා not+either යන ක්‍රමයෙන් නිසා, එම පද දෙකෙහි ස්වභාවයෙන්ම “නැත” තේරුම ඇති බැවින් අමුතුවෙන් not පදයක් කෙටි වාඛ්‍ය තුළ දමන්නේ නැත.)

“I don’t like cricket.”               “Nor do I.”  (“Nor don’t I” ලෙස ලිවිය නොහැකිය.)
“Nimal will not finish it.”        “Neither will Kamal.”
“Our team could not do it.”    “Nor/neither could the other team.”

Exercises 12-2
I don’t like chocolates.  ………………………….  (කමලුත් නැහැ.)
Nirmani isn’t a teacher.  ………………………………..  (මමත් නැහැ.)

තවත් ක්‍රමයක් අනුව, ඉහත so ක්‍රමයට ලියන්නේ නැතිව, කර්තෘ පදය නිකම්ම (අනුක්ත) නාමපදයක් ලෙස යොදා ඉන්පසු too හෝ also යොදාද “අහවලත් එහෙමයි” යන තේරුම ලබා ගන්නවා.

“I like cricket.”                        “Kamal too.”  (කමලුත් එහෙමයි.)
“They will go there.”  “Me too.”

“හෝ” යන අරුතින් or යෙදුවා මතකද?  එහිදී or ට දෙපසින් නාම හෝ ක්‍රියා හෝ විශේෂණ හෝ කොටස්/කෑලි දෙකක් හැම විටම තිබිය යුතු යැයි ඔබ දන්නවා.  එය පොදු රටාවක් ලෙස ගත හොත් “ XXXXXX or YYYYYYY ” ලෙස ලිවිය හැකියි නේද? අවශ්‍ය නම් තවත් මෙම රටාව ඉංග්‍රීසියේදී හුරුබුහුටි කළ හැකියි either යන වචනය පළමු කෑල්ල (XXXXX) ට ඉදිරියෙන් යෙදීමෙන්.

Kamal or Nimal = either Kamal or Nimal

eat rice or drink water = either eat rice or drink water
Either Nirmala or Saman will tell it.
I will either finish the job on time or abandon it.

Exercises 12-3
Either you have to do it or she has to do it. (= Either you or she has to do it.)  (...............................................................)
You have to be either an engineer or a doctor.  (..........................)

ඉහත වාඛ්‍ය රටාවම නැත යන අරුතින් ඇති විට (එනම්, not පදය සහිත වූ විට), අවශ්‍ය නම්, තරමක් වෙනස් ක්‍රමයකින් ලිවිය හැකිය.

Either Kamal or I will not do it. → Neither Kamal nor I will do it.

එනම්, නැත අරුත ඇති not යන පදය either … or තුළට කා වද්දා ඇත.  (neither = not + either; nor = not + or)  ඉහත වාඛ්‍ය රටාව either … or හා neither … nor ලෙස බොහෝ අය දක්වනවා.  කැමැති නම්, ඔබට එසේ මතක තබා ගන්න.

not only … but also ලෙසද ප්‍රසිද්ධ වාඛ්‍ය රටාවක් ඉංග්‍රීසියේ ඇත.  එහි තේරුම නම්, “... විතරක් නෙමේ... ද වේ” යන්නයි.

Not only Kamal but also Nimal came to the party.  (කමල් විතරක් නෙමේ, නිමල්ද සාදයට ආවා.)
I am good at not only maths but also English.  (මම ගණිතයට පමණක් නෙමේ ඉංග්‍රීසියටද දක්ෂයි.)
He can not only sing, but also dance.  (එයාට සිංදු කියන්න විතරක් නෙමේ, නටන්නත් පුළුවන්.)

මෙහි also යන පදය අවශ්‍ය නම් ඉවත් කළ හැකිය.  එසේත් නැතිනම්, එය සුදුසු වෙනත් තැනකට වුවද යෙදිය හැකිය.  එලෙස වෙනත් තැනක යොදා ඇති විටක also වෙනුවට as well හෝ too යන්න ආදේශ කළ හැකිය.

Not only Kamal but Nimal also came to the party.
I am good at not only maths but English too.
He can not only sing, but dance.

not පදයට පසුව අවිනිශ්චිත බව හඟවන a, any වැනි පදයක් ඇති විට, අවශ්‍ය නම් එම පද දෙක වෙනුවට no යෙදිය හැකිය.

not + any → no       not + a/an → no

There is not a cat on the table. = There is no cat on the table.

මතකද අවිනිශ්චිත බහුවචන නාම ඉදිරියෙන් a වැනි කිසිදු පදයක් නොමැති බව.  එහෙත් ඉහත කී කොන්දේසිය අනුව (එනම්, “අවිනිශ්චිත බව හඟවන පදයක් ඇති විට ...”), not ට පසු එවැනි අවිනිශ්චිත බහුවචන නාමයක් යෙදී ඇති විටද no යෙදිය හැකිය.

There are not cats on the table. = There are no cats on the table.

 “ඕන කෙනෙක්” යන අරුතින් සමහර විට අප වාඛ්‍ය කියනවා නේද?  එනම්, මම, ඔබ, නයනා හෝ වෙනත් ඕන කෙනෙක් යන පොදු අර්ථය එහි ඇත.  උදා:

“කිසිම කෙනෙක්” එය සමත් වෙන්නේ නැහැ.

මෙවැනි පොදු අර්ථයෙන් “කිසිම කෙනෙක්” හෝ “තමා/තමන්” යන්නට ඉංග්‍රීසියේද වචනයක් ඇත.  ඇත්තෙන්ම වචන දෙකක්ම ඇත.  ඒවා නම්, one හා you යන්නයි.  ඒ අනුව ඉහත සිංහල වාඛ්‍යය ඉංග්‍රීසියෙන් පහත ආකාරයට ලිවිය හැකිය.

One does not pass it.
You do not pass it.

ඇත්තටම එම ක්‍රම දෙක අතුරින් වැඩිපුර ජනප්‍රිය you දමා සාදනු ලබන රටාවයි.

You can’t do it easily.  (ඕනම කෙනෙකුට එය පහසුවෙන් කරන්නට බැහැ.)

මෙවැනි වාඛ්‍ය සිංහලේදී බොහෝ විට “ඕනම කෙනෙක්” යන ‍උක්තය රහිතවද කියන සිරිතක් තිබෙනවා.  මෙහිදී, දැනටමත් සිංහලෙන් ලියා ඇති එවැනි වාඛ්‍යයක උක්තය එකවර නොපෙනෙන නිසා ඔබට එවැනි වාඛ්‍යයක් කර්මකාරක ක්‍රමයට ලිවීමට සිතෙන්නට පුළුවන්.  එහෙත් හොඳින් බලන්න වාඛ්‍යයේ තේරුම “ඕනෑම කෙනෙක්” අරුතින් ‍භාවිතා වී ඇති වාඛ්‍යයක්ද කියා.

You can’t pass exams easily.  (පහසුවෙන් විභාග සමත් වෙන්න බැහැ.)

Exercises 12-4
You don’t have to be an engineer to repair it.  (..........................)
One doesn’t have to be a doctor to say to take aspirin for a headache.  (……………………………..)

තවද, “කෙනෙකුගේ” (ඕනෑම කෙනෙකුගේ) හෝ “තමන්ගේ” යන අරුතින් your හෝ one’s යෙදිය හැකියි.  (එනම්, your හා one යනු you හා one යන්නෙහි අයිතිය හඟවන ස්වරූප බව ඔබ දන්නවා.)

You must protect your country.  (තමන්ගේ රට (තමන්) ආරක්ෂා කරගත යුතුයි.)
One must learn one’s language.  (තමන්ගේ බස (තමන්) ඉගෙන ගත යුතුයි.)

WH-පදයක් හා ඊට පසුව to-ක්‍රියාවක් යෙදෙන වාඛ්‍ය රටාවක්ද ඉංග්‍රීසියේ ඇත.  ඒවායේ තේරුම් ඔබට එකවරම සිතාගත හැකිය.

what to do - කුමක් කරන්නට කියා                  how to go - කොහොම යන්නට කියා
when to eat - කීයට කන්නට කියා       ආදී වශයෙන්

I do not know what to say(මම දන්නේ නැහැ කුමක් කියන්නට කියා.)
He know where to and how to go
(එයා දන්නවා කොහේටද කොහොමද යන්නේ කියා.)

to හා that යොදා phrasal nouns සෑදුවා මතකද?  එවැනි නාම BE-වාඛ්‍යවලද යෙදිය හැකි බව ඔබ දන්නවා.  උදා:

To eat rice is good.
That he is a thief is not a secret.

අවශ්‍ය නම්, ඉහත වාඛ්‍ය be ක්‍රියාව හා ඊට පසුව ඇති කොටස් ඉදිරියට ගෙනද වාඛ්‍ය සකස් කළ හැකිය.  එවිට, it යන්න වාඛ්‍යයේ මුලට යෙදිය යුතුද වෙනවා.

It is good to eat rice.  (  to eat rice is good)
It is not a secret that he is a thief.

සිංහලේදී “වලු කතා” යනුවෙන් අප හාස්‍යයට මෙන් කියන වාඛ්‍ය ක්‍රමයක් තිබෙනවා.  එය කියනු ලබන්නේ “අහවල් දේ සිද්ද වුණාලු” ‍ආදී ලෙසටයි.  උදා:

“එතැන ඉස්සර යුද්ධයක් සිද්ධ වුණාලු.”
“ඒ ගෙදර හොල්මනක් ඉන්නවලු.”

මෙවැනි “වලු කතා” ඉංග්‍රීසියේද ඇත.  එවැනි වාඛ්‍යයක් ඉංග්‍රීසියෙන් ලියන්නේ පහත ආකාරයටයි.  එනම්, they say that හෝ it says that හෝ it is said that වැනි කොටසකින් පටන් ගෙන සිද්ධිය සාමාන්‍ය වගන්තියක් ලෙස that ට පසු යෙදිය යුතුය (ඇත්තටම that යන පදය අවශ්‍ය නම් ලොප් කළ හැකි බව ඔබ දන්නවා නේද?).

They say that the plane crashed here.  (ගුවන් යානය කඩා වැටුනේ මෙතැනලු.)
It is said he is dead.  (එයා මැරිලලු.)

Exercises 12-5
They say he is mad.  (...................................................................)
……………………………………………….  (කමනි ගුරුවරියක්ලු.)

ඇත්තටම they say හෝ it is said වැනි කොටසින් තමයි “වලු” ගතිය වාඛ්‍යයට ලබා දෙ‍න්නේ.  බැලූ බැල්මට එම කොටස් වලින් “එගොල්ලෝ කියනවා”, “එහෙම කියනවා” වැනි තේරුමක් නේද ඒවායේ තිබෙන්නේ?  එහෙත් සිංහලේදී වලු කතා, සුද්දා ඉංග්‍රීසියෙන් පවසන්නේ එහෙමයි.  ඉහත අරුත්ම ඇති (හෝ ඊට ඉතා ආසන්න තේරුමින්) it is rumored (“කටකතාවක් තියෙනවා”) යෙදුමද භාවිතා වෙනවා.

තවත් අවස්ථාවලදී, කෙනෙකු තමන් (හෝ වෙන කෙනෙකු) අහවල් විදියයි කියා කියන ප්‍රකාශනද “වලු” ප්‍රකාශන ලෙස භාවිතා කෙරේ.  උදාහරණයක් ලෙස,

“කමල් කියනවා එය ගුරුවරයෙක් කියලා.”

ඉහත ප්‍රකාශනයම අපට වෙන කෙනෙකුට පවසන කොට “කමල් ගුරුවරයෙක්ලු” කියා අප කියනවා නේද?  එවිට එය ඉංග්‍රීසියෙන් කියන්නේ පෙර සඳහන් they say වැනි කොටසක් භාවිතා කරන්නේ නැතිවය.  මෙය ඉංග්‍රීසියෙන් කියන්නේ “අහවලා කියනවා” යන කොටස සහිත වාඛ්‍යයක් ලෙසයි.

Kamal says that he is a teacher.  (කමල් ගුරුව‍රයෙක්ලු/ කමල් කියනවා එයි ගුරුවරයෙක්ලු)
Sunil says he went there yesterday.  (
සුනිල් ඊයෙ එහේ ගියාලු/ සුනිල් කියනවා ඊයේ එහේ ගියාලු)
My mother said she knows about it.  (මගේ අම්මා ඒ ගැන දන්නවලු/ මගේ අම්මා කිව්වා ඇය ඒ ගැන දන්නවලු)

ඉහත ඉංග්‍රීසි වාඛ්‍යය සාමාන්‍ය පරිදි that යොදා සාදාගත් වාඛ්‍යයක් නේද?  ඔව්, එසේ වුවත් “වලු” යන අදහසින් බහුලව මෙම වාඛ්‍ය රටාව භාවිතා කෙරේ.

“කමල්ගේ එක”, “මගේ එක” ආදී තැන්වල ඇති “එක” යන වචනය ඉංග්‍රීසියෙන් පැවසෙන්නේ one කියාය.  එමෙන්ම “එක” යන්නෙහි බහුවචන තේරුම වන “ඒවා” සඳහා ones ලෙස යෙදෙනවා.

I like your one(මම කැමැතියි ඔයාගේ එකට.)
His one is more beautiful than my one(එයාගේ එක මගේ එකට වඩා ලස්සනයි.)
We want their ones(අපිට ඕන එගොල්ලන්ගේ ඒවා.)

BE-වාඛ්‍ය ගැන ඔබ දැන් දන්නවා.  ඔබ දන්නවාද එම වාඛ්‍යද continuous හා perfect යන ක්‍රමවලින් පවතින බව.  ඔව්.  සාමාන්‍ය පරිදි BE ක්‍රියාව ලිවීම ඇත්තෙන්ම simple tense ය.  එහි continuous tense ක්‍රියා රූපය වන්නේ, “be being” යන්නයි.  මෙම රූපය අතීත (was/were being), වර්ථමාන (am/is/are being), හා අනාගත (will be being) ලෙස සැකසිය හැකි බව ඔබට දැන් සිතාගත හැකි විය යුතුය.  එහෙත්, මෙම කිසිදු රූපයක් බහුලව භාවිතා නොවේ.  බැරිවෙලාවත් එම රූප භාවිතා වෙන්නේ නම්, ඒවායේ තේරුම “එම කියනු ලබන දේ තාවකාලිකව/වංචාවට තිබෙන” බවකි.

You are being kind.  (ඔබ කරුණාවන්තයි (බොරුවට).)

එනම්, ඔහු වෙනදාට කරුණාවන්ත නැත.  (ඔහු ස්වභාවයෙන්ම කරුණාවන්ත නැත.)  දැන් කරුණාවන්ත බව පෙන්වන්නේ බොරුවට විය හැකිය වැනි අදහසක් එම වගන්තිය තුළ ඇත.

He was being kind to me.  (ඔහු මට කරුණාවන්ත වුණා. (වෙනදාට නම් එහෙම නැහැ හැබැයි))

BE-වාඛ්‍යවල perfect tense ස්වරූපය have been විය යුතුයි නේද?  (ඇත්තෙන්ම, ඔබ මෙතෙක් පාඩම් මාලාව හොඳින් අධ්‍යනය කර මතක තබා ගෙන ඇති නම්, මෙම රූපයන් ක්ෂණයෙන් සාදා ගත හැකි විය යුතුය.)  එහි මූලික තේරුම “වෙලා තියෙනවා” යනුයි.

I have been kind to him for years.  (මම අවුරුදු ගාණක් ඔහුට කරුණාවන්ත වෙලා තියෙනවා.)
She had been a teacher.  (ඇය ගුරුවරයෙක් වෙලා තිබුණා.)

සිංහලෙන් “අහවලා කියලා කෙනෙක්” යන අරුත දීමට ඉංග්‍රීසියෙන් කරනු ලබන්නේ අදාල නාමපදයට ඉදිරියෙන් one හෝ a/an යෙදීම පමණි.

a Kamal - කමල් කියලා කෙනෙක්
one Geetha - ගීතා කියල කෙනෙක්
an Upul - උපුල් කියලා කෙනෙක්

help යන ක්‍රියාවට පසුව to-ක්‍රියාවක් යෙදෙයි නම්, අවශ්‍ය නම් to පදය නැතිව වුවද ලිවිය හැකිය.

I helped to build the house.  = I helped build the house.

ගෙදර යන (නිශ්චිත) අරුත ඇතිව අප “the home” කියා කියන්නේ නැති අතර, හැම විටම home ලෙස පමණක් ලිවිය යුතුය (එහෙත් the house කියා කිව හැකියි).  තවද, “ගෙදරට” යන අරුතින් “to home” කියා ලියන්නේ නැති අතර, හැම විටම to නැතිව home ලෙස පමණක් ලිවිය යුතුය.

I went home.  (I went to the home නොවේ.)

ඇත්තටම මෙහි යම් න්‍යායක් ඇත.  එනම්, ශිෂ්‍යයෙකු පාසලට යන එකේ පුදුමයක් නැහැ නේද?  එලෙසමයි, කම්කරුවෙක් (රස්සාවක් කරන අයකු) වැඩපොලට යන එකත් සාමාන්‍ය දෙයක්.  කොයි කවුරුත් තමන්ගේ නිවස්වලට පැමිණීමත් එලෙසම සාමාන්‍ය දෙයක්.  ඔවුන් එම ස්ථානවලට යන්නේ නැති නම් තමයි පුදුමේ.  මේ ආකාරයට, යම් යම් පුද්ගලයන් හා ස්වභාවයෙන්ම බැඳුන් ස්ථාන තිබෙනවා නේද?  වෛද්‍යවරයා හා රෝහල, ශිෂ්‍යයා (හෝ ගුරුවරයා) හා පාසල, ආදී ව‍ශයෙන්.  ඉතිං, ‍එවැනි කෙනෙක් එවැනි ස්ථානයකට යන විට අප එම ස්ථානයේ ඉදිරියෙන් the නොදමා සිටිය හැකිය.

The doctor goes to (the) hospital.
My father went to (the) work.
He goes to (the) school. 
(මෙහි he යනු පාසල් යන ළමයෙක් බව ඔබට සිතාගැනීමට සිදු වේ.)
I am going to (the) school.  (
මෙහි I යනු නැවතත් පාසල් ශිෂ්‍යයෙක් බව සිතීමට සිදු ‍වේ.)

හැබැයි, ඔබේ පියා ඔබේ පාසලට යන විට ඔහුට “I am going to school” කියා කිව නොහැකිය.  ඔහු ශිෂ්‍යයෙක් හෝ ගුරුවරයෙක් නොවන නිසා ඔහු එහි නිතර දෙවේලේ (නිතිපතා) යන කෙනෙකු නොවේ.  එමනිසා, ඔහුට එය “I am going to the school” හෝ “I am going to my son’s school” කියා කිව හැකිය.  තවද, කෙනෙකු නිදා ගැනීමට “ඇඳට යනවා” යනුවෙන් පවසන විදියටම ඉංග්‍රීසියෙන් කියන විටද “to bed” ලෙස කිවිය යුතුය (to the bed නොවේ).

I am going to bed.  (මම ඇඳට යනවා)

“අහවල්ලු වන ඔබ/ඔබලා” යන අරුතින් වාඛ්‍ය කොටසක් තිබෙනවා නේද?  උදාහරණ ලෙස,

ගුරුවරුවරු වන ඔබලා ළමයිනට ඉගැන්විය යුතුයි.
වෛද්‍යවරයකු වන ඔබ ලෙඩුන්ට ප්‍රතිකිර කළ යුතුයි.

ඉංග්‍රීසියෙන් මෙවැනි “අහවල්ලු වන ඔබ/ඔබලා” යන අර්ථය සෑදීම ඉතා පහසුය.  පළමුව you පදය යොදා දෙවනුව “අහවලා” යන වචනය යොදන්න (එහිදි නාමපදය ඉදිරියෙන් a, the ‍නොයෙදේ).  අවශ්‍ය නම්, නාම විශේෂණ වුවද එම නාමපදය ඉදිරියෙන් යෙදිය හැකිය.

you teachers - ගුරුවරු වන ඔබලා
you teacher - ගුරුවරයකු වන ඔබ
you good teachers -
හොඳ ගුරුවරු වන ඔබලා

You teachers must teach students.  (ගුරුවරු වන ඔබලා ළමයින්ට ඉගැන්විය යුතුයි.)
I must protect you my children.  (මගේ ළමයින් වන ඔබලාව මම ආරක්ෂා කළ යුතුයි.)
You good kind doctors always treat patients. 
(හොඳ කරුණාවන්ත වෛද්‍යවරුන් වන ඔබලා හැමවිටම ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරනවා.)

තමන් ඉදිරියෙන් ඉන්න කෙනෙකුට “ඔයා/උඹ මෝඩයෙක්”, “ඔයාලා/උඹලා හිඟන්නෝ” ආදී ලෙස බනින ක්‍රමයක් සිංහලේ තියෙනවා නේද?  (හැමවිටම වාගේ මෙම රටාව යොදා ගැනෙන්නේ කෙනෙකුගේ නරකක් කීම සඳහා මිස හොඳක් කීමට නොවේ.)  ඉංග්‍රීසියේද ඒ විදියටම මෙම ක්‍රමය පවතී.  ඒ සඳහාම ඉහත “you <නාමය>” යන රටාවම යෙදේ.

You fool.  (උඹ මෝඩයෙක්.)
You fools.  (උඔලා මෝඩයෝ.)
You stupid people.  (උඹලා මහ මෝඩ මිනිස්සු.)
You poor people, only good for begging.  (උඹලා අනිත් අයගෙන් හිඟා කෑමට ‍විතරක් දක්ෂ දුප්පත් මිනිස්සු.)

‍මෙම රටාවටම (එහෙත් නාමපදය බහුවචන විය යුතුය) පිටු පසින් නාම විශේෂණයක් යෙදූ විට “අහවල්ලු කොහොමත් එහෙමයිනේ” යන තේරුම ලැබේ.  මෙවැනි වාඛ්‍යයක් කියනු ලබන්නේ එවැනි කෙනෙක් ඉදිරිපිටය.  (ඒක නිසානේ you යන පදය යෙදී තිබෙන්නේ නේද?)

You players agile.  (ක්‍රීඩකයන් කොහොමත් ක්‍රියාශීලියිනෙ.)
You pilots funny.  (ගුවන් නියමුවන් කොහොමත් විහිළුයිනේ/විහිළුකාරයොනෙ.)

how යන වචනයට පසුව නාම විශේෂණයක් යෙදූ විට “ෂා... මාර ...නේ” යන තේරුම සහිත විශ්මය ප්‍රකාශ කරන වාඛ්‍ය රටාව සෑදේ.

How beautiful!  (මාර ලස්සනයිනේ!)
How wonderful!  (මාර කදිමයිනේ! / මාරයිනේ!)

ඉහත කොටසට පසුව අවශ්‍ය නම් “අහවලා” යන තේරුම සපයන you are, she is ආදී කොටසක්ද ඊට එකතු කළ හැකියි.

How beautiful she is!  (ඇය මාර ලස්සනයිනේ!)
How kind you are!  (ඔයා මාර කරුණාවන්තයිනේ!)

ඉහත රටාවට සමාන තවත් යෙදුමක් ඇත.  එහිදී what යන්න යොදා, ඊට පසුව අවිනිශ්චිත (a සහිත) ඒකවචන නාමපදයක් යෙදේ.  තවද, බොහෝ අවස්ථාවලදී නාමපදය සමඟ නාම විශේෂණයක්ද යෙදේ.  එහ සිංහල තේරුමද “මාර ... එකෙක්නේ” යන්නයි.

What a match!  (මාර තරගයක්නෙ!)
What a nice match!  (මාර කදිම තරගයක්නෙ!)
What a beautiful girl she is!  (ඇය මාර ලස්සන කෙල්ලක්නෙ!)
What a fool you are!  (ඔයා මාර මෝඩයෙක්නෙ!)

“it be (very/so) <adj> of you/<කෙනා>” ලෙස ඉංග්‍රීසි වාඛ්‍ය රටාවක් පවතී.  මින් කියන්නේ “ඔබ/අහවලා ඒ විශේෂණයෙන් කියනු ලබන ගුණයෙන් යුතු” බවයි.

It is very kind of you.  (ඔයා ඉතා කරුණාවන්තයි.)
It is so generous of him.  (එයා ඉතා ත්‍යාගශීලියි.)
It was kind of you to have given me the book.  (මට පොත දී තියෙන්නට තරම්/මට පොත දෙන්නට තරම් ඔබ කරුණාවන්ත වුණා.)

 “අහවලයි අහවල් දේ කළේ/කරන්නේ” වැනි වාඛ්‍ය රටාවක් ඉංග්‍රීසියේද ඇත.  එම රටාව නම්,

“it be <අහවලා> <who clause>”

It is me who does it(මමයි එය කරන්නේ.)
It was him who ate the cake(එයයි කේක් එක කෑවේ.)
It will be Kamal who will win the match(කමලුයි මැච් එක දිනන්නේ.)

more/ -er යොදා විශේෂණ පදවල “වඩා” යන සංසන්දන රූපයන් සාදා වගන්තිවල යෙදුවා මතකද?  එම වාඛ්‍යවල ඇති එම more/-er සහිත විශේෂණය ද්විත්ව කළොත් කුමක් වේවිද?  (more සහිත පදයක් නම් more පමණක් ද්විත්ව වන අතර, -er දැමූ පදයක් නම්, එම පදයම ද්විත්ව කිරීමට හෝ more ක්‍රමයම අනුගමනය කළ හැකිය.)

She is becoming more and more beautiful.
Faster and faster boats are manufactured. (= More and more fast boats are manufactured.)

ඔව්, එසේ ද්විත්ව කළ විට, “වඩ වඩා” (වැඩි වැඩියෙන්) යන තේරුම ඇති වේ.  ඒ අනුව, පළමු වගන්‍තියේ තේරුම “ඇය වැඩි වැඩියෙන් ලස්සන වෙමින් ඉන්නවා” හා දෙවැන්නේ තේරුම “වඩ වඩා වේගවත් බෝට්ටු සාදනු ලබනවා” යන්නයි.

I am running faster and faster (more and more fast).  (මම වඩ වඩා වේගයෙන් දුවනවා.)
We should work harder and harder (more and more hard) to win the match.  (තරගය දිනන්නට අප වැඩි වැඩියෙන් මහන්සියෙන් වැඩ කළ යුතුයි.)

be ක්‍රියාවට පසුව යෙදෙන “...ට” යන නිපාත අර්ථය සඳහා to නිපාතය නොව for (සඳහා) නිපාතය දැමිය යුතුය.

The flowers are for you.  (the flowers are to you නෙමේ.)
Is this present for you?  (Is this present to you නෙමේ.)

යමක් වැඩිපුර කරන/වන තරමට, වැඩිපුර කරනවා/වෙනවා” (“යමක් අඩුවෙන් කරන තරමට, අඩුවෙන් වෙනවා” හෝ) යන අර්ථයෙන් යුතු වාඛ්‍ය ඉංග්‍රීසියෙන් සෑදීම ඉතා පහසුය.  එය පොදු රටාවක් ලෙස ලියන්නේ නම්, පහත ආකාරයට ලිවිය හැකිය.

the <more විශේෂණය>, the <more විශේෂණය>

The more beautiful, the better.  (වැඩිය ලස්සන වන තරමට, වඩා හොඳයි.)
The cleverer you are, the better for you.  (ඔබ වැඩිය දක්ෂ වන තරමට, ඔබට හොඳයි.)
The faster, the more productive.  (වැඩිපුර වේගවත් විට, වැඩිපුර ඵලදායි වේ.)
The less quick, the less wrong.  (අඩුවෙන් ඉක්මන් වූ විට, අඩුවෙන් වැරදි වේ.)
The faster Kamal’s car goes, the less expensive the trip would be.  (කමල්ගේ කාරය වේගෙන් යන තරමට, චාරිකාව වියදම් අඩු වේවි.)

ඉහත උදාහරණ බැලූ විට පෙනී යන්නේ නාම හා ක්‍රියා විශේෂණ යන දෙකම එක සේ මෙම ක්‍රමයට යෙදිය හැකි බවයි.  තවද, සාමාන්‍ය වාඛ්‍ය දෙකක් (phrases ලෙස හෝ වාඛ්‍ය ලෙස) බොහෝ විට කොමාවකින් වෙන් කර යොදා තිබෙන බවද පේනවා.  මෙහිදී, වාඛ්‍යයක පද පිළිවෙළ වෙනස් වී ඇත.  එනම්, “the <more …>” යන කොටසක් එම උපවගන්ති දෙකේම ආරම්භයේ ඇති අතර, සාමාන්‍යයෙන් වගන්තියේ ඇතුළේ තිබෙන විශේෂණ පද ඉදිරියට ගෙන ඇත.

You are cleverer → The cleverer you are (සම්පූර්ණ වගන්තියක් ලෙසම)
(it is) better for you → The better for you
(phrase එකක් ලෙස)
The cleverer you are, the better.
Kamal’s car goes faster → The faster Kamal’s car goes
The trip would be less expensive → The less expensive the trip would be
The faster Kamal’s car goes, the less expensive the trip would be.

can't help <ing-ක්‍රියාව> යන්නෙන් කියැවෙන්නේ “නොකර ඉන්න බැහැ” කියාය.

I can’t help thinking about it.  (මට ඒක නොසිතා ඉන්න බැහැ.)
He couldn’t help laughing.  (එයාට සිනහ නොවී ඉන්න බැරි වුණා/සිනහව නවත්වගන්න බැරි වුණා.)

feel like <ing-ක්‍රියාව/නාම විශේෂණය> යන්නෙන් “... වගේ යි/දැනෙනවා” යන තේරුම ලැබේ.

I feel like fainting.  (මම කලන්තේ දාන්න වගෙයි/ මම කලන්තෙ වගේ දැනෙනවා.)
We felt like thirsty.  (අපට තිබහයි වගේ/ තිබහක් වගේ දැනෙනවා.)

ඉහතකදී ඔබ විධාන ගැන ඉගෙන ගත්තා.  එහිදී you පදය සහිතව අහවල් දේ කරන්න එපා යනුවෙන් පහත ආකාරයට ලිවිය හැකි බව ඔබ දන්නවා.

You don’t go there.  (ඔබ එහි යන්න එපා.)

ඉහත ආකාරයට කරන්න එපා යනුවෙන් you ද සහිතව ඇති විට, අවශ්‍ය නම් don’t කියන කොටස you ට ඉදිරියෙන්ද දැමිය හැකිය (එවිට, බැලූ බැල්මට එය නැත ප්‍රශ්න රූපයෙන් තිබුණත්, ඇත්තටම එතැන ඇත්තේ විධානයකි.)

You don’t go there. → Don’t you go there.

ස්ථානය හඟවන ක්‍රියා විශේෂණ අවශ්‍ය නම් වගන්තියේ මුලින්ම තැබිය හැකිය.  එවිට, වාඛ්‍යයේ ඇති ප්‍රධාන ක්‍රියාවද ඉදිරියට (විශේෂණයට පසුව) දැමේ.  Here/There යන පද දෙක සමඟ මෙය බහුලවම සිදු වේ.  එහෙත් here/there සමඟ යෙදෙන උක්තය සර්වනාමයක් නම්, ක්‍රියාව පෙර කියූ ලෙස ඉදිරියට දමන්නේ නැත.

At the end of the garden stood a very tall tree.  (= A very tall tree stood at the end of the garden.)
Here comes your bus.
There it comes.  (there comes it
නොවේ.)

ඉහත වැනිම, එහෙත් ස්ථානයක් ගැන නොකියැවෙන වෙනත් ක්‍රියා විශේෂණ සමහරක් සමඟද ඉහත ආකාරයෙන් ක්‍රියාපදය ඉදිරියට දමන සිරිතක් ඇත.

Thus said he.  (= he said thus)

ago යන නිපාතය අනෙක් නිපාත මෙන් නොව, එය යෙදෙන්නේ නාමයට පසුවය.

ago 10 years → 10 years ago.

නාමපදයක් “1ට වැඩි අගයක්/ඉලක්කමක්” සහිතව යෙදෙන විට සාමාන්‍යයෙන් එය බහුවචනයෙන් තැබේ.  (five pages, 21 seats ආදි ලෙස).  එහෙත්, එම “ඉලක්කම/අගය සහිත නාම පදය” නාම විශේෂණයක් ලෙසද යෙදිය හැකිය.  එවිට, බහුවචන නාමය ඒකවචන වේ.

the five page book (පිටු පහක පොත) (මෙය five pages book නොවේ.)
a 21 seat bus (ආසන විසි ‍එකේ බසයක්)

කැමති නම්, wh-ප්‍රශ්න ප්‍රකාශන ආකාරයෙන්ද ඇසිය හැකිය.  එනම්, එම wh-පද ප්‍රකාශයේ අගට යෙදිය හැකිය.  මෙය ඉතා නිවැරදි ක්‍රමයක් නොවන බවද මතක තබා ගන්න.

You are going where?  (= Where are you going?)
She is doing what?  (= What is she doing?)

 “අහවලාට නම් (ඉතිං)” යන තේරුම සඳහා as for <නාමපදය>යන්න යෙදිය හැකිය.

As for me, she looks great.  (මට නම්, ඇය යසට පේනවා.)
As for Kamal, maths is hard.  (කමල්ට නම්, ගණිතය අමාරුයි.)

අහවලා නොසිටින්න” යන තේරුම සඳහා if not for <නාමපදය>යන්න යෙදිය හැකිය.

If not for him, I won’t pass it.  (ඔහු නොසිටින්න, මම සමත් නොවේවි.)

අවසාන වශයෙන් කිව යුත්තේ ඉතා කුඩා කුඩා විවිධ රටාවන් තවත් ඇති බවයි.  භාෂාවක් ජීවිත කාලයක් තුළ ඉගෙන ගත්තත් ඉවර කළ නොහැකි දෙයක්.  ඉතිං, එවැනි නොදන්නා රටාවන් හමු වූ විට, ඒ ගැන ඔබට යම් අවබෝධයක් ඇති වේවි මෙම පොතෙන් උගත් කරුණු මතකයේ තිබේ නම්.

Comments

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

දෛශික (vectors) - 1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 7

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala) - 1

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 1