Skip to main content

අනුකලනය (integration) - 4


කොටස් වශයෙන් අනුකලනය කිරීම

සංකීර්ණ ස්වභාවයේ පවතින සමහර අනුකල ප්‍රකාශන විසඳීමේ තවත් උපක්‍රමයක් තමයි කොටස් වශයෙන් අනුකලනය කිරීම (integration by parts). ඒ සඳහා යොද ගන්නා පොදු සූත්‍රය පහත දැක්වේ.

∫ u dv = uv - ∫ v du

ඇත්තටම ඉහත සරල අනුකල සමීකරණය සාදා ගෙන තිබෙන්නේ ගුණිතයක අවකලනය සොයන අවකලන සාම්‍යය ආශ්‍රයෙනි. 




















ශ්‍රිත දෙකක ගුණිතයක් අනුකලනය කරන විට හා පෙර උගත් ආදේශන රීතියද යෙදිය නොහැකි අවස්ථාවකදී මෙම රීතිය යෙදිය හැකිදැයි බැලිය යුතුය. මෙම රීතිය යෙදෙන අයුරු උදාහරණ ආශ්‍රයෙන්ම බලමු.

∫ 4xe5x dx යන්න සුලු කරන්න. මෙය ඍජුවම විසඳීමට සරල අනුකල සාම්‍යයක් නැති බව පේනවා මොකද ශ්‍රිතවල ගුණිතයක් අනුකලනය කිරීමට සාම්‍යයක් නැති නිසා. මීට ආදේශන රීතියද යෙදිය නොහැකියි. ඊට හේතුව 5x = u ලෙස සැලකූ විට, එහි අවකලනය 5 වේ. එහෙත් ගුණිතයේ තිබෙන්නේ 4x වේ. එනම් වැඩිපුර x විචල්‍ය පදයක් ඇත. වෙනස පවතින්නේ නියත පද ගුණිතයක් නම් (එනම් x වෙනුවට තිබෙන්නේ 4x ආදී ලෙස නම්) එවිටද ආදේශන රීතිය යෙදිය හැකි වුවත්, මෙහි වෙනස පවතින්නේ විචල්‍ය පද ගුණිතයකිනි. ඉතිං දැන් බලමු මීට කොටස් වශයෙන් අනුකලනය කිරීමේ උපක්‍රමය යෙදිය හැකිද කියා.

ප්‍රකාශනයේ ඉදිරියෙන්ම තිබෙන 4 අනුකලය ඉදිරියට ගෙන ආ හැකි නිසා, එම නියත ගුණිත පදය සලකන්න එපා. මෙම රීතිය යෙදීමේදී කල්පනා කළ යුතු ක්‍රමය මෙයයි. ∫ u dv ලෙස දී ඇති ගුණිත ප්‍රකාශය සකස් කළ හැකිදැයි බැලිය යුතුය. ඒ සඳහා පළමුවෙන්ම කරන්නට තිබෙන්නේ ගුණිතයේ යම් කොටසක් සඳහා u ආදේශ කිරීමයි. එවිට ප්‍රකාශයේ ඉතිරි කොටස ඉබේම dv බවට පත් වේ.

දැන් මෙම උදාහරණයට පහත දැක්වෙන ආදේශ කිරීම් කරමු.

x = u
 
එවිට ඉබේම, e5x dx = dv වේ.

ඉහත ආදේශනය සිදු කළ පසු, හැමවිටම u හි අවකලනයත් dv හි අනුකලනයත් සෙවිය යුතුය (සෑමවිටම මෙම ගණනය කිරීම් දෙක කිරීමට සිදු වේ. මෙම සුලු කිරීම් දෙක ගැටලුවක් නැතිව සිදු කළ හැකි නම්, බොහෝවිට කොටස් වශයෙන් අනුකලනය කිරීමේ උපක්‍රමය සාර්ථකව යෙදිය හැකි බව නිගමනය කළ හැකියි). u අවකලනය කිරීමෙන් u හා මුල් ("ඔරිජිනල්") ගුණිත ප්‍රකාශයේ ඇති ස්වායත්ත විචල්‍යය වන x අතර සම්බන්ධතාවක් ලබා ගැනේ (එනම් du හා dx අතර සම්බන්ධතාවක්). dv අනුකලනය කිරීමෙන් ලැබෙන්නේ v ය. ඒ අනුව,

du/dx = dx/dx = 1 → du = 1.dx = dx
v = ∫ dv = ∫ e5x dx = e5x/5

ඉහත අනුකලයේදී ලැබෙන නියත පදය (c) දැනට අමතක කරමු. ඉදිරියටත් අනුකලනය සිදු කිරීමට තිබෙන බැවින්, ඒවායෙන්ද නියත පද බිහිවෙන බැවින්, අපට අවසානයේ ලැබෙන පිළිතුරට එක් නියත පදයක් එකතු කළ හැකියි.

දැන් ∫ u dv = uv - ∫ v du යන සූත්‍රයට ඉහත සොයා ගත් කොටස් ආදේශ කරමු. 4 යන නියත ගුණිතයද තිබෙන බව වටහ ගන්න.










 
තවත් උදාහරණයක් බලමු. ∫ (2s + 5)sin(s) ds සුලු කරන්න. 2s + 5 යන්න u ලෙස සලකමු. එවිට,

u = 2s + 5
du/ds = 2 → du = 2 ds

dv = sin(s) ds
∫ dv = ∫ sin(s) ds → v = -cos(s)

දැන් සූත්‍රයට ඉහත අගයන් ආදේශ කරමු. එවිට,

∫ (2s + 5)sin(s) ds = (2s+5)(-cos(s)) - ∫ -cos(s)(2ds)
= -(2s+5)cos(s) + 2[sin(s)] = -(2s + 5)cos(s) + 2sin(s) + c

තවත් උදාහරණයක් ලෙස ∫ n2cos(5n) dn සුලු කරන්න. u = n2 ලෙස ගමු. එවිට dv = cos(5n) dn බවට පත් වේ. එවිට,

du/dn = 2n → du = 2n dn
v = ∫ dv = ∫ cos(5n) dn = sin(5n)/5

∫ n2cos(5n) dn = (n2)(sin(5n)/5) - ∫ (sin(5n)/5)(2n dn)
= (1/5)n2sin(5n) – (2/5) ∫ nsin(5n) dn - (1)

ඉහත ආකාරයට නිවැරදිව පියවරෙන් පියවර සුලු කරගෙන යන විට, අපට එකවර අවසන් පිළිතුරක් මෙහිදී ලැබුණේ නැහැ නේද? ∫ nsin(5n) dn ලෙස තවත් අනුකල ප්‍රකාශයක් එහි තිබේ. එම කොටසත් සුලු කරන තුරු අවසන් පිළිතුර ලැබුණා සේ සලකන්නට බැහැ. එනිසා මෙම නව අනුකල ප්‍රකාශය විසඳීමට සිදු වෙනවා එය වෙනමම ප්‍රකාශයක් සේ සලකා. එම නව අනුකල ප්‍රකාශය දෙස බැලූ විට පෙනී යන්නේ එයද ශ්‍රිත දෙකක ගුණිතයක් සේ පවතින බවයි. ඊට අමතරව, එය විසඳීමට හැකි වන්නේ නැවතත් කොටස් වශයෙන් අනුකලනය කිරීමෙන් බව පෙනේ. ඒ අනුව එම කොටස වෙනමම දැන් සුලු කරමු.

u = n → du/dn = 1 → du = dn
dv = sin(5n) dn → v = ∫ sin(5n) dn = -cos(5n)/5

∫ nsin(5n) dn = (n)(-cos(5n)/5) - ∫ (-cos(5n)/5)(dn)
= (-1/5)ncos(5n) + (1/25)sin(5n) + c'

දැන් මෙම විසඳුම ඉහත (1) ප්‍රකාශයට ආදේශ කරන්න.

∫ n2cos(5n) dn = (1/5)n2sin(5n) – (2/5) ∫ nsin(5n) dn
= (1/5)n2sin(5n) – (2/5) [(-1/5)ncos(5n) + (1/25)sin(5n) + c']
(1/5)n2sin(5n) + ( 2/25)ncos(5n) - ( 2/125)sin(5n) + c

ඉහත උදාහරණය අනුව පෙනී යන්නේ සමහර ප්‍රකාශන විසඳීමට කිහිප පාරක්ම අනුකලන සෙවීමට සිදු වන බවයි. එනම් මුල් ප්‍රකාශය විසඳාගෙන යන විට එම ප්‍රතිපලය තුළ තවත් අනුකල ප්‍රකාශයක් නිර්මාණය වේ. එහෙත් මෙම නව අනුකල ප්‍රකාශය හැමවිටම ඊට පෙර අනුකල ප්‍රකාශයට වඩා සරලයි. අවසානයේදී කිසිදු අනුකල ප්‍රකාශයක් හමු නොවන තුරු සුලු කිරීම දිගටම කරගෙන යා යුතුය.

තවත් උදාහරණයක් ලෙස ∫ ln(x) dx විසඳමු. මෙය විසඳීමට ඇත්තටම අනුකල සාම්‍යයක් ඇත. මීට අමතරව කොටස් වශයෙන් අනුකලනය කිරීමේ උපක්‍රමයෙන්ද මෙය විසඳිය හැකිය (ඇත්තටම අනුකල සාම්‍යය සාධනය කරන්නේද මෙමඟිනි). ln(x) = u ලෙස සලකමු. ඒ අනුව,

u = ln(x) → du/dx = (1/x) → du = (1/x) dx
dv = dx → v = ∫ dv = ∫ dx = x

∫ ln(x) dx = (ln(x))(x) - ∫ x ((1/x)dx)
= xln(x) - ∫ 1 dx = xln(x) – x + c

මේ ආකාරයට තවත් උදාහරණ රාශියක් සුලු කර මෙම ක්‍රමයද හුරු විය යුතුයි.
 

Comments

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala)

ඔන්න මෙතෙක් කාලයක් මා මඟ හරිමින් සිටි මාතෘකාවක් ගැන තරමක් කතා කරන්නයි සූදානම් වන්නේ; ඒ කියන්නේ ක්වන්ටම් භෞතිකය තමයි මාතෘකාව. සැරින් සැරේ කමෙන්ට් හරහාත්, ඊමේල් ආදියෙනුත් මේ ගැන කතා කරමු යැයි කිහිප දෙනෙකුම යෝජනා කර තිබුණත්, මෙම විෂයේ නිසඟයෙන්ම තිබෙන අවුල් ස්වභාවය නිසාත්, විශේෂඥයෝ යැයි කියා ගන්නා අයත් මේ ගැන කතා කිරීමේදී "කොරවන නිසාත්", මේ ගැන ලියමින් යන විට අනිවාර්යෙන්ම මාව හිට් විකට් කිරීමට එවන පන්දු හමුවේ නොදැවී සිටීමට හැකිදැයි සැකයක් මා තුල තිබුණි.   එනිසා මා විසින්ම මට පනවා ගත් කොන්දේසියක් සමඟ මා ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමි. එම කොන්දේසිය වන්නේ මේ විෂය ගැන අසන කිසිදු පැනයකට මා පිලිතුරු නොදී සිටීමයි. එහෙත් ඕනෑම අයෙකුට ප්‍රශ්නය ඇසීමට මෙන්ම ඒවාට පක්ෂව හෝ විරුද්ධව කරුනු දැක්වීමට හා පිලිතුරු සැපයීමට ඇති අයිතිය මා අවහිර නොකරමි. විෂයට බහින්නට පෙර මේ විෂය සම්බන්දයෙන් මගේ ජීවිතයේ පැතිකඩක් පලමුව දිග හරින්නට කැමතියි. මට ක්වන්ටම් විද්‍යාව ගැන උනන්දුවක් ඇති වූයේ සාපෙල කරන සමයේය (අද මෙන් අන්තර්ජාලයක් අපට එදා තිබුනේ නැත). මා පාසලේ 6 වසරේ සිට උසස් පෙල දක්වා අඛන්ඩව විදුසර පාඨකයෙකු වන අ...

මෝහනය / mohanaya (hypnosis) - 1

මෝහනය (mohanaya - Hypnosis) ගැන සිංහල බසින් ලියවී නොමැති අතර, එය ගැන උනන්දුවක් දක්වන අයට පහසුවෙනුත් නිවැරදිවත් ඉගෙන එය වගකීම් සහගතව භාවිතා කිරීමට හැකිවන පරිදි එම විෂය පිළිබඳ ඉතා සවිස්තරාත්මකව මෙම පොතෙන් ඉදිරිපත් කිරීම අරමුණ වේ. එම පොතේ කරුණු කුඩා කොටස් වශයෙන් මෙම බ්ලොග් එකෙහි පළ කිරීම සිදු වේ. හැඳින්වීම දියුණු යැයි සම්මත බටහිර සමාජයෙත් “ මෝහනය ” ගැන තවමත් උගත් නූගත් බොහෝ දෙනා අතර පවතින්නේද වැරදි අවබෝධයක් වන අතර, එම තත්වය ශ්‍රී ලංකාව තුළ ඊටත් වඩා බරපතල ලෙස දක්නට ලැබෙනවා. මේ සෑම සමාජයකම මෝහනය ගැන යම් හෝ දැනුමක් ඔවුන් බොහෝ විට ලබා ගෙන ඇත්තේ සමහර චිත්‍රපට හා ටෙලිනාට්‍යවල ඇති මෝහනය ඇතුළත් දර්ශනවලිනි. අවාසනාවකට චිත්‍රපට හා ටෙලිනාට්‍යවලින් පෙන්වන්නේ කිසිසේත් මෝහනයෙන් කළ නොහැකි එහෙත් එම කලාත්මක නිර්මාණයේ රස උත්පාදනය සඳහාම ඇති තවත් ප්‍රබන්ධයන් පමණි. ඔබම සිතා බලන්න මෝහනය පිළිබඳ ඔබ යම් දැනුමක් ලබා ඇතිනම්, ඊට කොතරම් චිත්‍රපට දර්ශන ආදිය බලපා ඇතිද කියා. සෑම ක්ෂේත්‍රයකම මෙන්ම මෝහනයද නිවැරදිව අවබෝධ කර හා නොකර එහි නියැළෙන අය සිටී. කෙනෙකු මෝහනය කිරීමට පැයක් වැනි කුඩා කාලයකින් වුවද අවශ්‍ය නම්...

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්...