Skip to main content

ත්‍රිකෝණමිතිය (trigonometry) - 2



කොසෙක්, සෙක්, කොට්

ඍජුකෝණී ත්‍රිකෝණයක සම්මුඛ පාදය කර්ණයෙන් බෙදූ විට සයින්ද, බද්ධ පාදය කර්ණයෙන් බෙදූ විට කොස්ද, සම්මුඛ පාදය බද්ධ පාදයෙන් බෙදූ විට ටෑන්ද ලැබුණු හැටි ඔබ ඉගෙන ගත්තා. මීට අමතරව කර්ණය සම්මුඛ පාදයෙන් බෙදිය හැකියි; කර්ණය බද්ධ පාදයෙන් බෙදිය හැකියි; බද්ධ පාදය සම්මුඛ පාදයෙන් බෙදිය හැකියි. ඒ කියන්නේ තවත් ත්‍රිකෝණමිතික අනුපාත තුනක් සෑදිය හැකි බව නේද? ඔව්. මෙම අලුත් අනුපාත තුනටම නම් තුනක් දී තිබෙනවා කොසීකන්ට් (cosecant), සීකන්ට් (secant), හා කෝටැන්ජන්ට් (cotangent) ලෙස. එහෙත් මෙම දිගු නම් වෙනුවට ඒවා ප්‍රසිද්ධ වී ඇත්තේ ඒවායේ කෙටි නම්වලින්ය. එම කෙටි නම් පිළිවෙලින් කොසෙක් (cosec), සෙක් (sec), හා කොට් (cot) වේ.

කොසෙක්(θ) = කර්ණය / සම්මුඛ පාදය
සෙක්(θ) = කර්ණය / බද්ධ පාදය
කොට්(θ) = බද්ධ පාදය / සම්මුඛ පාදය

ඒ කියන්නේ දැන් නැවතත් තවත් විශාල වගු 3ක් අමුතුවෙන්ම සෑදිය යුතුද? නැත. මෙම අලුත් අනුපාත 3 ඇත්තටම ඔබ මීට පෙර උගත් මූලික අනුපාත තුන මඟින් ව්‍යුත්පන්න කර ගත හැකිය. උදාහරණයක් ලෙස, කොසෙක් යනු කර්ණය / සම්මුඛ පාදය නම්, 1/කොසෙක් යනු සම්මුඛ පාදය / කර්ණය බවට පත් වෙනවා නේද? තවද, සම්මුඛ පාදය / කර්ණය යනු සයින් අනුපාතයයි. ඒ කියන්නේ 1/කොසෙක් යනු සයින් අනුපාතයමයි. එලෙසම 1/සයින් යනු කොසෙක්ය.




මේ ලෙසම සෙක් හා කොට් යනුද කොස් හා ටෑන්වලින් ව්‍යුත්පන්න කර ගන්නා අනුපාත දෙකකි.

කොසෙක්(θ) = 1/සයින්(θ) (හා 1/කොසෙක්(θ) = සයින්(θ) වේ)
සෙක්(θ) = 1/කොස්(θ) (හා 1/සෙක්(θ) = කොස්(θ) වේ)
කොට්(θ) = 1/ටෑන්(θ) (හා 1/කොට්(θ) = ටෑන්(θ) වේ)

මෙම අනුපාත 3 මූලික අනුපාත 3 ආශ්‍රයෙන් ගොඩනඟා ගත හැකි බැවින් සාමාන්‍යයෙන් වැඩි අවධානයක් මේ 3 කෙරෙහි දක්වන්නේ නැත. මේවායේ වගු පවා සාදාගෙන තිබෙන්නේ මූලික අනුපාතයන්ගේ අගයන්ගෙනි. එහෙත් අවශ්‍ය වුණොත් මෙම අනුපාත සමග වුවද ගණනය කිරීම කිරීමට හැකි විය යුතුයි. දැන් ත්‍රිකෝණමිතික අනුපාත සියල්ලම හැඳිනගෙන අවසන්ය.

මතකයට
ටෑන් යනු සම්මුඛ පාදය බද්ධ පාදයෙන් බෙදූ විට ලැබෙන අනුපාතය බව ඉහතදී පෙන්වා දුන්නා. ඊට අමතරව ටෑන් අනුපාතය තවත් විදියකින් පෙන්වාදිය හැකිය. එනම්,



ඉහත ප්‍රකාශය ඉතාම පහසුවෙන් සාධනය කළ හැකියි පහත ආකාරයට.



එලෙසම කොට්(θ) යන්නද පහත ආකාරයට නිර්වචනය කළ හැකියි.

කොට්(θ) = කොස්(θ)/සයින්(θ)


වෘත්තයක් ආශ්‍රයෙන් ත්‍රිකෝණමිතික අනුපාත නිර්වචනය කිරීම

මෙතෙක් අප අනුපාත සියල්ලම නිර්වචනය කළේ හෙවත් නිර්මාණය කළේ ඍජුකෝණී ත්‍රිකෝණයක් ආශ්‍රයෙනි. එලෙස නිර්වචනය කිරීම පහසු වුවත්, එහි යම් දෝෂයක් ඇත. එනම්, ඍජුකෝණි ත්‍රිකෝණයක කෝණයක් තිබිය හැකි උපරිම අගය අංශක 90කි. අවම අගය අංශක 0කි. එ් කියන්නේ ත්‍රිකෝණමිතික අනුපාතත් පැවතිය හැක්කේ මෙම කෝණ පරාසය තුළ පමණයි නේද? ඔව්, ත්‍රිකෝණයක් ආශ්‍රයෙන් නම් ත්‍රිකෝණමිතික අනුපාත සාදා ගන්නේ, එම දෝෂය පවතීවි. එහෙත් වෘත්තයක් ආශ්‍රයෙන් එම අනුපාත සාදාගන්නා විට, එම දෝෂය ඉවත්ව යයි.

මතකයට
ඇත්තටම ඍජුකෝණී ත්‍රිකෝණයක යම් කෝණයක් අංශක 90 හෝ 0 හෝ විය නොහැකියි. 90ට ඉතාම ඉතාම ආසන්න විය හැකියි; 0ට ඉතාම ඉතාම ආසන්න විය හැකියි. ඒ කියන්නේ 90 හා 0 යනු සීමාකාරී (limiting) අගයන්ය. ඍජුකෝණි ත්‍රිකෝණයක දැනටමත් ඍජුකෝණයක් තිබේ. එමනිසා තවත් කෝණයක් අංශක 90ක් වුවොත් එම කෝණ දෙක පමණක් එකතුව ත්‍රිකෝණයක තිබිය හැකි අභ්‍යන්තර කෝණවල එකතුව වන අංශක 180 සාදයි. ඒ කියන්නේ අනෙක් කෝණය සෑදීමට බැරි බවයි. රූපමය වශයෙන් එය පහත ආකාරයට පෙන්විය හැකියි. ඒ කියන්නේ ත්‍රිකෝණය අහෝසි වී යම් චතුරස්‍රයක ස්වරූපයක් ලැබේ.


එලෙසම ඍජුකෝණී ත්‍රිකෝණයක කෝණයක් ක්‍රමයෙන් අඩු කරගෙන ගොස් අංශක 0 කළ විට, එක පාදයක් මතට අනෙක් පාදය සමපාත වේ (පතිත වේ). එවිටද ත්‍රිකෝණය අහෝසි වී නිකංම සරල රේඛාවක් බවට පරිවර්තනය වේ.


එහෙත් අංශක 89.99999999... ආදී 90ට ඉතාම ආසන්න අගයක් සහිත කෝණ තිබිය හැකියි; තිබිය නොහැක්කේ හරියටම අංශක 90 කෝණය පමණි. එලෙසම 0.0000000000000000...1 ආදී 0ට ඉතාම ආසන්න අගයක් සහිත කෝණ තිබිය හැකියි; තිබිය නොහැක්කේ හරියටම අංශක 0 කෝණය පමණි. ඒ කියන්නේ 0 හා 90 යනු ඍජුකෝණී ත්‍රිකෝණයක කෝණ සඳහා සීමා දෙකකි.

ඔබ දන්නවා වෘත්තයක් (circle) කියන්නේ යම් මධ්‍ය ලක්ෂ්‍යක් වටා නියත දුරකින් යම් අංශුවක් ගමන් කරන විට සෑදෙන පථයයි. එම අංශුව එසේ ගමන් කරන විට යම් දුරක් ගියාට පසුව නැවත තමන් ගමන ආරම්භ කරපු තැනටම පැමිණේ. එය එක වටයක් (revolution හෝ round) සැලකෙනවා. එම වටය වෘත්තියේ පරිධිය (circumference) ලෙසද, වෘත්තයේ මධ්‍ය ලක්ෂ්‍යය කේන්ද්‍රය (center හෝ origin) ලෙසද, කේන්ද්‍රයේ සිට පරිධියේ ඕනෑම තැනකට තිබෙන නියත දුර අරය (radius) ලෙසද හැඳින්වෙනවා. තවද, පරිධියේ යම් තැනක සිට කේන්ද්‍රය හරහා ගොස් නැවත එක එල්ලේම පරිධියේ තවත් තැනකට ස්පර්ශ වන සේ අඳින ඍජු රේඛා ඛණ්ඩය විශ්කම්භය (diameter) ලෙස හැඳින්වෙනවා. හැමවිටම විශ්කම්භය අරය මෙන් දෙගුණයකි.




වෘත්ත පරිධිය ඔස්සේ යම් අංශුවක් යම් දුරක් ගමන් කළ විට එම අංශුවේ ආරම්භය හා අවසානය විසින් එම වෘත්තයේ කේන්ද්‍රයේ යම් කෝණයක් ආපාතනය කරයි.





දැන් එම අංශුව හරියටම එක් වටයක් පරිධිය ඔස්සේ ගමන් කළේ නම් (එනම්, අංශුව ගමන් කළ ස්ථානයටම වටය ගමන් කොට නැවත පැමිණියේ නම්), කේන්ද්‍රය මත අංශක 360ක කෝණයක් ආපාතනය වේ.

එම අංශුව නවතින්නේ නැතිව පරිධිය දිගේ වට 2ක් ගමන් කළේ නම්, දැන් කේන්ද්‍රය මත අංශක 360x2 හෙවත් අංශක 720ක කෝණයක් ආපාතනය කරනු ඇතැයි සැලකේ. එලෙස වට 10ක් ගමන් කළේ නම්, අංශක 3600ක් ගමන් කර ඇතැයි පැවසිය හැකියි. මේ ආකාරයට ඕනෑම ප්‍රමාණයක අංශක ගණනක් ගැන අපට කතා කළ හැකියි නේද? එකම ගමන් මාර්ගය ඔස්සේ නැවත නැවත අංශුව ගමන් කරන බව සැබෑවකි; එහෙත් අංශක ගණන ඉහත ආකාරයට වැඩිවීමට ඉන් බාධාවක් ඇති කරන්නේ නැත.

හරි... දැන් බලමු මෙවැනි වෘත්තයක් මඟින් ත්‍රිකෝණමිතික අනුපාත නිර්වචනය කරගන්නා අයුරු. පහත රූපයට අවධානය යොමු කරන්න. එහි වෘත්තයට අමතරව, xy-ඛණ්ඩාංක තලයක් (coordinates system) ඇත. වෘත්තයේ කේන්ද්‍රය හා ඛණ්ඩාංක තලයේ මූලය/කේන්ද්‍රය එකිනෙකට සමපාත කර ඇත. මෙවිට සුපුරුදු ලෙසම x අක්ෂයේ දිගේ මූලයේ සිට දකුණු පැත්තට ධන අගයන්ද, මූලයේ සිට වම් පැත්තට ඍණ අගයන්ද පවතිනවා යැයි සිතිය හැකියි. එලෙසම y අක්ෂය දිගේ මූලයේ සිට උඩට ධන අගයන්ද, මූලයේ සිට යටට ඍණ අගයන්ද පවතිනවා යැයි සිතිය හැකියි. පහත රූපයේ වෘත්තයේ වැදගත් ස්ථාන 4හි අංශක ගණන (0, 90, 180, 270) ලකුණු කරද ඇත.
 


දැන් අප අවධානය යොමු කරන්නට යන්නේ යම් අංශුවක් වෘත්ත පරිධිය ඔස්සේ ගමන් කරන විට වෘත්ත කේන්ද්‍රය මත ආපාතනය කරන්නට යන θ කෝණයටයි. සම්මතයක් ලෙස, කෝණය හැමවිටම අප වාමාවර්තව හෙවත් ඔරලෝසුවේ කටු කරකැවෙන පැත්තට විරුද්ධ දිශාවට (anti-clockwise) මනිමු. තවද, හැමවිටම අංශුව ගමන් අරඹන්නේ x අක්ෂයේ (ධන පැත්තේ) සිට යැයිද සිතමු.


දැන් මෙම θ කෝණය ඇතුලත් වන පරිදි ඍජුකෝණි ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න. මෙලෙස නිර්මාණය කරපු ඍජුකෝණි ත්‍රිකෝණයේ කර්ණය බවට හැමවිටම පත්වන්නේ වෘත්ත අරයයි (ඉහත රූපය බලන්න).

දැන් මෙම ඍජුකෝණි ත්‍රිකෝණය ආශ්‍රයෙන් සුපුරුදු ලෙසම ත්‍රිකෝණමිතික අනුපාත ලබා ගත හැකියි නේද? ඔව්. වෘත්තය ආශ්‍රයෙන් ත්‍රිකෝණමිතික අනුපාත නිර්වචනය කරනවා යැයි කිව්වත් ඇත්ත වශයෙන්ම මෙහිදීත් වක්‍රව ඍජුකෝණි ත්‍රිකෝණයක් ආශ්‍රයෙන්මයි එම අනුපාත නිර්වචනය කරගන්නේ. ඒ කියන්නේ ත්‍රිකෝණමිතිය යන නමට කැලලක් ඇති වන්නේ නැහැ. එහෙත් මෙහි ඇති අපූර්වත්වය පෙනෙන්නේ ඕනෑම කෝණයක් සඳහා එම අනුපාත ලබා ගත හැකි වීමයි. ඒ කෙසේද?

ඉහත රූපයේ පරිධිය ඔස්සේ ගමන් කරන අංශුව ඔබ කැමති පරිදි වෘත්ත පරිධියේ ඕනෑම තැනකින් තබන්න. උදාහරණයක් ලෙස පහත රූපයේ ආකාරයට එය තබමු. එවිට එය විසින් ආපාතනය කර ඇති කෝණයද රූපයේ පෙන්වා ඇත. දැන් ත්‍රිකෝණමිතික අනුපාත ලබා ගැනීමට ඍජුකෝණි ත්‍රිකෝණයක් නිර්මාණය කරගන්න. මේ සියල්ල පහත රූපයේ දැක්වේ.
 


එම ත්‍රිකෝණය ආශ්‍රයෙන් දැන් අනුපාත ලබාගත හැකියි නේද? උදාහරණයක් ලෙස සයින් θ = y/r ලෙසද, කොස් θ = x/r ලෙසද, ටෑන් θ = y/x ලෙසද ලිවිය හැකියි නේද? මෙහිදී ත්‍රිකෝණයේ පාද සකස් කරගන්නා අන්දම බලන්න. අරය හැමවිටම කර්ණය ලෙස පවතී. ඉතිරි පාද දෙකෙන් එකක් හැමවිටම x අක්ෂය මත පවතී. අනෙක් පාදය හැමවිටම y අක්ෂය මත හෝ ඊට සමාන්තරව පවතී.

Comments

Popular posts from this blog

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala)

ඔන්න මෙතෙක් කාලයක් මා මඟ හරිමින් සිටි මාතෘකාවක් ගැන තරමක් කතා කරන්නයි සූදානම් වන්නේ; ඒ කියන්නේ ක්වන්ටම් භෞතිකය තමයි මාතෘකාව. සැරින් සැරේ කමෙන්ට් හරහාත්, ඊමේල් ආදියෙනුත් මේ ගැන කතා කරමු යැයි කිහිප දෙනෙකුම යෝජනා කර තිබුණත්, මෙම විෂයේ නිසඟයෙන්ම තිබෙන අවුල් ස්වභාවය නිසාත්, විශේෂඥයෝ යැයි කියා ගන්නා අයත් මේ ගැන කතා කිරීමේදී "කොරවන නිසාත්", මේ ගැන ලියමින් යන විට අනිවාර්යෙන්ම මාව හිට් විකට් කිරීමට එවන පන්දු හමුවේ නොදැවී සිටීමට හැකිදැයි සැකයක් මා තුල තිබුණි.   එනිසා මා විසින්ම මට පනවා ගත් කොන්දේසියක් සමඟ මා ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමි. එම කොන්දේසිය වන්නේ මේ විෂය ගැන අසන කිසිදු පැනයකට මා පිලිතුරු නොදී සිටීමයි. එහෙත් ඕනෑම අයෙකුට ප්‍රශ්නය ඇසීමට මෙන්ම ඒවාට පක්ෂව හෝ විරුද්ධව කරුනු දැක්වීමට හා පිලිතුරු සැපයීමට ඇති අයිතිය මා අවහිර නොකරමි. විෂයට බහින්නට පෙර මේ විෂය සම්බන්දයෙන් මගේ ජීවිතයේ පැතිකඩක් පලමුව දිග හරින්නට කැමතියි. මට ක්වන්ටම් විද්‍යාව ගැන උනන්දුවක් ඇති වූයේ සාපෙල කරන සමයේය (අද මෙන් අන්තර්ජාලයක් අපට එදා තිබුනේ නැත). මා පාසලේ 6 වසරේ සිට උසස් පෙල දක්වා අඛන්ඩව විදුසර පාඨකයෙකු වන අ...

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල...

සිංහල භාෂාව සරල කරමු

සිංහල භාෂාව ඉතා දීර්ඝ ඉතිහාසයක් සහිත ඉතා පොහොසත් බසකි . එහෙත් එම භා‍ෂාවේ බොහෝ රීතින්ට මෙන්ම වචනවලට පිට දේශයන්හි භාෂාවන්වල ( පාලි , සංස්කෘත , ඉංග්‍රිසි වැනි ) ආභාෂය ලැබී පවතී . මේ වගට හොඳ ඓතිහාසික ශාස්ත්‍රිය යොමුවක් සිඳත් සඟරාවේ මෙලෙස ඇත . “ සකුසත් අනුසරින් ඇතද සදනට ලිඟු බේ - නොපැනේ වහර වෙසෙසක් පුමිතිරි ලිඟු දෙක විනා” මින් කියවෙන්නේ සංස්කෘත භාෂාවේ අභාෂායෙන් සිංහල භාෂාවට ලිංග භේදයක් ඇතත්, ස්ත්‍රි ලිංග හා පුරුෂ ලිංග යන දෙක පමණක් සහිත ලිංග භේදයක් සිංහලේ පවතින බවයි . තවද , පසුකාලීනව කුමාරතුංග මුනිදාස පඬිතුමන් පොදු ලිංගය යනුවෙන් වෙනමම ලිංග භේදයක්ද ඉංග්‍රිසි බස අනුසාරයෙන් හඳුන්වා දී ඇත . මෙම එකිනෙකා අතර භාෂාවන්ගේ බලපෑම හා ආභාෂය ඒ ආකාරයෙන්ම හෝ වෙනස් ආකාරයෙන් හෝ ( එනම් , සිංහලයද අනෙක් භාෂා මෙන්ම ස්වාධීනව ඇති වූ හෝ සමහරයෙකුට අනුව අනෙක් භාෂා අභාෂාය ලබා ඇත්තේ සිංහලයෙන් ) පැවැතීම වෙනමම කාරණයක් වන අතර , එය මා යෝජනා කරන භාෂා ප්‍රතිසංස්කරණයට කිසිදු ගැටළුවක් ඇති නොකරයි . තවද , සිංහලය තරමක අමාරු හෝ සංකීර්ණ බසක් ලෙස සැලකේ . ලිඛිත මෙන්ම කථන යන දෙයාකාරයකින් සිංහලය භාවිතා වේ . කථන ස්වරූපය ගැන විමසා බ...