Skip to main content

ස්වයං කතාව (self talk) - 1

ස්වයං කතාව (self talk)

එක්තරා ආකාරයකින් ජීවිතය යනුද පරිගණක වැඩසටහනක් බදුය. ඊයේ මා මිතුරෙකුට මෙලෙස ප්‍රකාශ කළ විට, ඔහු ඊට විමතියෙන් එකවර ප්‍රතිචාර දැක්වූයේ ඒ කියන්නේ ජීවිතයේ සියල්ලම සිදු වන්නේ පෙර (කා විසින් හෝ) සකසන ලද උපදෙස්/නියෝග මාලාවකටද යනුවෙන් අසමින්. නැහැ, මා ඉන් අදහස් කළේ ඉරණම (fate/destiny) අනුව සියල්ල සිදු විය යුතු බව නොවේ. එහෙත් ඔබේ මේ මොහොතේ උරුමව ඇති ජීවිතයට සියයට සියයක් නොවූවත් වැඩි ප්‍රතිශතයකින් වගකිව යුතු වන්නේ ඔබේ ජීවිතයේ පවතින එක්තරා "ප්‍රෝග්‍රෑම් එකක්" වේ. ස්වයං කතාවට එන්නට පෙර මදක් අප එය විමසා බලමු.

ජීව විද්‍යාව අනුව, ගස්වැල් සතුන් මිනිසුන් සියල්ලෙහිම වැදගත් ලක්ෂණයක් වන්නේ ජාන (gene) පැවතීමයි. ඒ ඒ ජීවියා තුළ පවතින ජාන සැකැස්ම අනුව ඒ ඒ ජීවියාගේ බොහෝ ගති ලක්ෂණ තීරණය වේ. අඹ ගසකින් පැපොල් ගසක් වෙනස් වන්නේ කෙලෙසද, එලෙසම වඳුරෙකුගෙන් මිනිසා වෙනස් වන්නේද මෙම ජාන වෙනසක්කම් නිසාය. එලෙසම, එක් අඹ වර්ගයකින් තවත් අඹ වර්ගයක් (රසෙන්, පෙනුමෙන්, ගෙඩියේ ප්‍රමාණයෙන් ආදිය) වෙනස් වන්නේ කෙලෙසද, එලෙසම එක් මනුස්සයකුගෙන් තවත් මනුස්සයෙක් වෙනස් වන්නේද මෙම ජාන වෙනස්කම් නිසාය. (අප මූලිකව මනුස්සයන් ගැන පමණක් මෙම ලිපියෙන් කතා කරමු.) මේ අනුව පළමු වටයේදී අපගේ ගතිගුණ තීරණය වී හෙවත් ප්‍රෝග්‍රෑම් වී හමාරය. එය සිදු කළේ ජාන මගිනි. මෙම ප්‍රෝග්‍රෑම් එක වෙනස් කිරීමට (තවමත් පවතින විද්‍යා තාක්ෂණය අනුව) අපහසුය. එහෙත් ජානවල සුවිශේෂිතා නිසා ඉතා දක්ෂ මෙන්ම ඉතාම මෝඩ මිනිසුන් බිහි විය හැකියි. ජීවිතයේ යම් යම් ගුණ ඉතා කදිම ධණාත්මක ආකාරයට මෙන්ම ඉතා ඍණාත්මක ආකාරයට ජාන නිසා ඇති විය හැකිය. මෙම තත්වය ජානමය නැඹුරුතාව (genetic predisposition) ලෙස හැඳින්විය හැකි අතර ඊට ඔබට කරන්නට දෙයක්ද නැත. එය ඉබේ සිදු වෙන දෙයකි. එහෙත් මනුස්සයයන් මෙම ජානමය නැඹුරුතාව නිසා ඉතා හොඳ හෝ ඉතා නරක අන්ත දෙක තුළ උපත ලබන්නේ සාපේක්ෂව සුළු පිරිසකි. වැඩි හරියක්ම සිටින්නේ මෙම අන්ත දෙක මැදය. එනම් ජානමය නැඹුරුතාව අපට පහසුවෙන් නොසලක් හැරිය හැකියි. එය ක්‍රීඩා කිරීමට සම තරග බිමක් බදුය. තමන්ම ගොඩනඟා ගන්නා දක්ෂතා මත තරග කිරීමට ඔබට සිදු වනු ඇත. ඇත්තටම එය හොඳ දෙයකි. ස්වභාව ධර්මයා හැම කෙනාටම එකම අයුරින් සලකන්නට උත්සහ කරන බවක් ඉන් පෙනේ.

එමෙන්ම දෙවැනි වටයකින් නැවත මනුස්සයා ප්‍රෝග්‍රෑම් වේ. එය නම්, තමන් මීට පෙර කළ කී දේවල්, පුරුදු පුහුණු වෙච්ච දේවල්, සිතූ පැතූ හැටි, අත්දැකීම් හා අධ්‍යාපනය ආදී දේ මගිනි. ඔබ අද ඔය සිටින විදියට සිටින්නේ මෙන්න මෙම ප්‍රෝග්‍රෑම් එක නිසයි. උඳු වැපුරුවොත් උඳු ලැබේ; තල වැපුරුවොත් තල ලැබේ. එලෙසම ඔබේ අතීතයේ ක්‍රියාකාරිත්වයන්ගේ බලපෑම නිරතුරුවම ඔබට මත්තට ලැබේ. මනෝ හා් මෝහන විද්‍යාවන් අනුව ඔබේ අතීතයේ පෙර සඳහන් කළ ලෙසම, අධ්‍යාපනය, අත්දැකීම්, කළ කී දේවල් ආදිය නිසා ඒවායේ සියලු මතකයන් යටි සිතේ ගබඩා වේ. ඒවා නිකංම ගබඩා වී පවතින්නේ නැත. එම ගබඩා වී පවතින මතකයන් ඔබේ සිත කය වචනය යන සියලු ආකාරයේ ක්‍රියාවන්ට බලපෑම් එල්ල කරයි. එම බලපෑම යහපත් ධණාත්මක ආකාරයෙන් පවතී නම් එය සතුටට හා යහපතට හේතුවක් වුවත්, බොහෝ විට අපට ඇත්තේ අයහපත් ඍණාත්මක බලපෑමකි. ඇත්තටම ඔබේ ජීවිත තරගය ජයග්‍රහණය කළ යුත්තේ මෙන්න මෙම දෙවැනි වටයේ ප්‍රෝග්‍රෑම් එක වෙනස් කර ගැනීමෙනි. උදාහරණ කිහිපයක් බලමු. ඔබ යම් ක්‍රමයකින් සිගරට් බොන්නට පුරුදු වුවොත්, ඉන් ඔබේ ජීවිතයට බාධාවක් ඇති වේ. ඔබ පොත්පත් කියවීමේ පුරුද්දක් ඇති කර ගත්තොත් ඉන් ජීවිතයට ආලෝකයක් ලැබේ. කෙනෙකු සිගරට් බොන්නටත්, කෙනෙකු පොත් කියවන්නටත්, තවත් කෙනෙකු තවත් දේවල් කිරීමට පෙළඹවීම ගැන සිතා බලන්න. මේ සියල්ලටම හේතුව කවුරුන් හෝ (දෙවියන් විසින් හෝ) පෙර සකස් කළ වෙනස් කළ නොහැකි ඉරණම හෝ කර්මය නොවේ. ඒවා සියල්ලම ඔබ විසින්ම පෙර දවසක සකස් කර ගත් පුරුදු වේ. මිනිසුන් යම් යම් හොඳ හෝ නරක පුරුදු හා ජීවන රටාවන් ගත කිරීම පිළිබඳ පර්යේෂණ සිදු කර ඇත. සියලු ප්‍රශ්න සඳහා අතීත හේතුවක් සොයාගත හැකි බව තහවුරු වී ඇත. ඔබට එම අතීත සිදුවීම එදා සිදු නොවූවා නම් අද එම පුරුද්ද හෝ තත්වය ඇති වන්නේ නැත. එම සිදුවීම නිකංම සිදුවීමක් වූවා නම්, ඉන් ජීවිතයට මෙතරම් බලපෑමක් ඇත් වන්නට බැහැ නේද? ඒ කියන්නේ අතීත සිදුවීම් නිකංම සිදුවීම් නොවන බවයි. ඒවා යටි සිතේ ගබඩා වී ඔබේ අනාගත ක්‍රියාකාරකම්වලට බලපෑම් කරන අනාගත ජීවිතය සකස් කරන ප්‍රෝග්‍රෑම් එකේ කොටස් බවටයි පත්ව තිබෙන්නේ.

එහෙත් ජානමය බලපෑම මෙන් නොව, මෙම යටි සිතේ බලපෑම අපට පහසුවෙන් වෙනස් කළ හැකියි. ඉහත සරලව පැහැදිලි කළ මෙම පොදු තත්වය හොඳින් තේරුම් ගැනීම, තමන්ගේ සත්‍ය ප්‍රශ්න හොඳින් අවබෝධ කරගැනීම, හා ඒවා හරිගැස්සීමට ඵලදායි උපක්‍රම සොයා අනුගමනය කිරීම වැදගත් වේ. ඒ සඳහා විවිධ උපක්‍රම පවතී. මෝහනමය ප්‍රතිකර්ම ඒ අතර මුල් තැනක්ද ගනී. මීට අමතරම තමන්ටම ස්වයංව කර ගත හැකි උපක්‍රමයකි ස්වයං කතාව. එහෙත් ඔබ සිටින්නේ සමාජයකයි. ඒ කියන්නේ ඔබේ ක්‍රියාවන්ගේ ප්‍රතිඵලය තීරණය වන්නේ ඔබේ තනි දක්ෂකම හෝ අදක්ෂකම නිසාම නොවේ. අන්‍යයන්ගේ බලපෑමද වැදගත්. සමහරවිට අන්‍යයන්ගේ බලපෑම ඔබට පාලනය කිරීමට නොහැකියි. එය හරියට රිලේ දිවීමක් වැනියි. ඔබ කොතරම් හොඳින් දිව්වත් අනිත් තුන්දෙනාගේ දක්ෂතාවද, තරගයේ අනෙක් ටීම්වල සිටින අයගේ දක්ෂතාවද ඔබේ ජයග්‍රහණයට බලපානවා. එහෙත් ඔබේ ජීවිතයේ තනි අයිතිය ඔබට ඇත. එය සුදුසු ලෙස වෙනස් කරගැනීම ඔබ විසින් කළ හැකි හා කළ යුතුය. ඒ සඳහා ස්වයං කතාව නම් උපක්‍රමය යොදා ගන්නා අයුරු දැන් විමසා බලමු.

ස්වයං කතාව (self talk) යනු තමන් විසින් තමන්ටම කතා කිරීමයි. මෙම කතාව තමන්ට මෙන්ම අහල පහල අයටත් අසෙන තරමේ ශබ්ද නඟා කතා කිරීමේ සිට තමන්ගේ සිතින් තමන්ටම කතා කර ගැනීම දක්වා පරාසයක සිදු විය හැකියි. සමහරෙක් ශබ්ද නඟා ස්වයං කතා සිදු කරනවා. තමත් සමහරෙක් මුමුනනවා වැනි ස්වරයකින් එය සිදු කරනවා. තවත් කෙනෙක් සිතින් එය කියන අතර තමන්ගේ මුහුණේ ඉරියව් හා අත්පාද යම් යම් වෙනස්කම් සිදු කරනවා (උදාහරණයක් ලෙස යම් වීර්යකින් යමක් තමන්ට කියාගන්නා විට අතේ ඇඟිලි නවා ගැනීම; එහෙමත් නැතිනම් දත්මිටි කෑම). තවත් සමහරෙක් කිසිදු ඉරියව් වෙනස්වීමක් පවා නොපෙන්වා සිතින් එය කියා ගන්නවා. ස්වයං කතාව තුන් ආකාරයකට සිදු විය හැකියි. (ඇත්තටම සෑම තැනකම හා පොතකම පාහේ දක්වා තිබෙන්නේ ආකාර දෙකක් කියාය. මා යෝජනා කරන්නේ එය තුන් ආකාරයක් බවයි.) එනම්, ඍණාත්මක (negative), ධණාත්මක (positive), උපයෝගී (utilitarian) යන ආකාර තුනයි. ඍණාත්මක හා ධණාත්මක යන ආකාර දෙක තමයි ඇත්තටම මේ අතරින් අපට වැදගත් වන්නේ. එහෙත් වැඩි හරියක්ම අප තුළින් සිදු වන්නේ උපයෝගී ස්වයං කතා වේ. එහි හොඳ හෝ නරක ගතියක් නැත. ඔබ හොඳින් විමසා බැලුවොත් අප සිදුකරන ක්‍රියාවන් කතාවන් සිතීම් පවා බොහෝ විට හොඳ හෝ නරක නොවන උපයෝගී මට්ටමේ ඒවාය. උදාහරණයක් ලෙස, ඔබ අද රෑට පාන් වෙනුවට රොටි කනවා යැයි සිතීම/තීරණය කිරීම ගත හැකියි. ඔබ හෙට රතුපාට හෝ සුදු පාට කමිසයක් ඇඳිය හැකියි. මේවායේ හොඳ හෝ නරක බවක් නැත. හුදු ක්‍රියාවන් පමණි.

ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්වම ස්වයං කතාව නිතරම සිදු කරනවා. ඇත්තටම තමන්ගේ පෞරුෂය (personality) දිදුලන ආකාරයට සාදා ගැනීමට (මෝහනයට පසුව) ඇති ඉතා හොඳම අනර්ඝතම ක්‍රමය නම් ස්වයං කතාවයි. එය සිදු කිරීමත් ඉතා පහසුයි. ඉක්මනින් ඇබ්බැහි වෙන ගතියකුත් එහි තිබෙනවා. ස්වයං යෝජනා (self suggestion) යනුවෙන් හැඳින්වෙන උපක්‍රමයද මෙහි උපකොටසක් ලෙස මා දකිනවා. එහෙත් ස්වයං යෝජනා ක්‍රමයට වඩා මෙය ඉතා ඵලදායි. එමනිසා එය හොඳින් හඳුනාගෙන සිදු කරගන්නා ආකාරය මී ළඟ ලිපියෙන් සවිස්තරාත්මකව මා පෙන්වා දෙන්නම්. පෞද්ගලිකව මා එය සිදු කරන ආකාරයම උදාහරණ ලෙස දක්වා එය පැහැදිලි කර දීමට මා අදහස් කරනවා.

Comments

  1. මෙය ඉතා වැදගත් ලිපි කිහිපයක ආරම්භය බව පෙනේ. ඔබට ස්තුතියි.

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

ඉලෙක්ට්‍රොනික්ස් III (Electronics) - 20

Tunnel Diode Esaki නම් ජපන් ජාතිකයා විසින් මෙය සොයා ගත් නිසා මෙම ඩයෝඩය එසාකි ඩයෝඩය ලෙසද හඳුන්වනවා . මෙම සොයා ගැනීමත් සමගම ඔහු විසින් ක්වන්ටම් ටනල් ආචරණයද සොයා ගත් නිසා නොබෙල් ත්‍යාගය පවා ඔහුට ලැබුණා . ක්වන්ටම් ටනල් ආචරණය සෙනර් ඩයෝඩයේදී දක්නට ලැබුණා මතකද ? මෙම ඩයෝඩයත් ක්වන්ටම් ටනල් ආචරණය මත පදනම්ව සාදා ඇති නිසාම ඊට ටනල් ඩයෝඩය ( උමං ඩයෝඩය ) යන නම ලැබී තිබෙනවා . එහි සංඛේතය පහත දැක්වේ .   සාමාන්‍ය ඩයෝඩයක මෙන්ම පී හා එන් කැබැලි දෙකකින් සෑදූ සන්ධියක් ඇත . එහෙත් සාමාන්‍ය ඩයෝඩයකට වඩා ඇති වෙනස නම් , එම අර්ධසන්නායක කොටස් ඉතා අධිකව මාත්‍රණය කර තිබෙනවා ( සාමාන්‍ය ඩයෝඩයකට වඩා ලක්ෂ ගුණයක් පමණ ). එවිට අර්ධසන්නායක කොටස් දෙකෙහිම යහමින් ආරෝපණ වාහක තිබෙනවා ( සාමාන්‍ය සන්නායකයක් වගේම ). එහි ප්‍රතිඵල දෙකක් තිබෙනවා . එකක් නම් , පෙර නැඹුරු කළ විට උමං ආචරණය සිදු වීම . දෙවැන්න නම් , පසු නැඹුරු කළ විට සාමාන්‍ය සන්නායකයක් ලෙස ක්‍රියා කිරීම . මේ දෙක දැන් සලකා බලමු . පෙර නැඹුරු කළ විට , උමං ආචරණය නිසා සුපුරුදු ඩයෝඩ ක්‍රියාකාරිත්වය නොදක්වයි . ඒ කියන්නේ 0 සිට වෝල්ටියතාව වැඩි කර ගෙන යන විට , ධාරාවද ක...