Skip to main content

ලිනක්ස් ඉගෙන ගමු (Linux) - 4

 දැන් ඔබට ඉහත රූපයේ ඩෙස්ක්ටොප් එක මත පෙනේවි Install Linux Mint කියා අයිකන් එකක්. එය මත ඩබ්ල් ක්ලික් කරන්න. දැන් එය ඉන්ස්ටෝල් වීමට පටන් ගනීවි. මේ සඳහා විනාඩි පහලොවක් විස්සක් පමණ ගත වේවි. එය ඉන්ස්ටෝල් වන අතරතුර ඔබෙන් විවිධ ප්‍රශ්න අසනවා. එම ක්‍රියාවලිය මෙතැන් සිට බලමු.


සටහන
ඩෙස්ක්ටොප් (desktop) එක යනු පරිගණකයක් බූට් වූවාට පසුව ඔබට අවසාන වශයෙන් පෙනෙන ස්ක්‍රීන් එකයි. ඉහත රූපයෙන් දැක්වෙන්නේ එවැනි ඩෙස්ක්ටොප් එකක රූපයකි. සෑම ඔපරේටින් සිස්ටම් එකකම ඩෙස්ක්ටොප් එකක් ඇත. එහි ලස්සන කිරීමට තමන්ට කැමැති රූපයක් දැමිය හැකිය. එම රූපය වෝල්පේපර් (wallpaper) නම් වේ. ඩෙස්ක්ටොප් එකෙහි අයිකන්, මෙනු, ටාස්ක්බාර්/පැනල් වැනි තවත් විවිධ අංග ඇත.
ඔබෙන් පළමුව අසනවා ඔබ කැමති භාෂාව කුමක්ද කියා. මෙහි සිංහල භාෂාවද තිබෙන්නට පුළුවන් වුණත්, English ලෙස තෝරන්න. සිංහලෙන් පරිගණක වැඩ සිදු කළත්, සියල්ලම සිංහල භාෂාවෙන් ඇති විට අපහසුතාව ඇති වන්නේ ඔබටමයි. පරිගණකයට අදාලව පවතින බොහෝ සිංහල වචන ඇත්තටම ඉංග්‍රිසි වචනවලට වඩා තේරුම්ගැනීමට අපහසු විය හැකියි. මෙතැන ඉංග්‍රිසි තේරුවත් ඉන්ස්ටෝල් කළාට පසුව තමන්ට කැමති භාෂාවකට වෙනස් කරගත හැකියි. ඔබ මෙතැන කුමන භාෂාවක් තෝරා ගත්තත් ලිපිලේඛන සකස් කිරීමට හා වෙනත් පරිගණක වැඩසටහන් සමග වැඩ කිරීමට පුළුවන් ඔබ කැමති භාෂාවකින්. සියලු ලිනක්ස් පද්ධති පදනම්වී ඇත්තේ යුනිකෝඩ් (unicode) නමැති ක්‍රමවේදය මතයි. යුනිකෝඩ්වල විශේෂත්වය වන්නේ ලෝකයේ දැනට භාවිතාවන සියලුම භාෂාවන් සමග වැඩ කිරීමට ඉන් හැකියාව ලබා දීමයි. පැරණි ක්‍රමය වන ASCII (American Standard Code for Information Interchange) ක්‍රමවේදයද ඉබේම මෙම යුනිකෝඩ් ක්‍රමයෙහි අන්තර්ගතව පවතී. එහෙත් ඇස්කී (ASCII) ක්‍රමය පමණි පැරණි මෙහෙයුම් පද්ධතිවල පැවතියේ. ඉන් හැකිවූයේ ඉංග්‍රීසි (ලතින්) භාෂාවෙන් වැඩ කටයුතු කිරීමට පමණි.

කැමති භාෂාව තෝරාගෙන Continue බට්න් එක ක්ලික් කර ඉදිරියට යන්න. එවිට, ඔබට පෙන්වාවි ඔබේ හාඩ්ඩිස්ක් එකේ යම් විස්තරයක් හා ඔබ දැනටමත් අන්තර්ජාලය සමග කනෙක්ට් වෙලාද තිබෙන්නේ කියා. අන්තර්ජාලයට සම්බන්ධ වීමට ඉන් යෝජනා කළත්, මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටෝල් කිරීමට එසේ සම්බන්ධව සිටීම අත්‍යවශ්‍ය නොවේ. නැවත කන්ටින්‍යු කරන්න. එවිට ඔබට එන්නේ පහත ආකාරයක ස්ක්‍රීන් එකක්. මෙහිදී ඔබ Erase disk and install Linux Mint කියන එක තෝරාගෙන කන්ටින්‍යු කරන්න.

දැන් ඔබේ හාඩ්ඩිස්ක් එක සම්පූරණයෙන්ම මැකී ගොස් අලුතින් ලිනක්ස් එහි ඉන්ස්ටෝල් වේ. එහි ඇති Something else යන ඔප්ෂන් එක තේරුවොත් ඔබට පුළුවන් මුළු හාඩ්ඩිස්ක් එකම වෙනුවට ඔබට කැමති පාටිෂන්ද එකකට එය ඉන්ස්ටෝල් කරන්නට. ඒ විතරක් නොවෙයි, දැනටමත් යම් ඔපරේටින් සිස්ටම් එකක් ඇත්නම්, ඊට බාධාවක් නොකර මල්ටිබූට් ක්‍රමයට ලිනක්ස් ඉන්ස්ටෝල් කරන්නෙත් මේ හරහායි. ඇත්තටම, ලිනක්ස් ඉන්ස්ටෝල් වන විට, ඒ සඳහා අත්‍යවශ්‍යයෙන්ම පාටිෂන් දෙකක් වුවමනා කෙරෙනවා. එකක් නම් ඔපරේටින් සිස්ටම් එකට සාමාන්‍යයෙන් අවශ්‍ය කරන ප්‍රධාන පාටිෂන් එකයි. ලිනක්ස් සඳහා එහි අවම සයිස් එක ගිගාබයිට් 6ක් පමණ වේ. මීට අමතරව, SWAP යන නමින් හැඳින්වෙන තවත් පාටිෂන් එකක් අවශ්‍ය කරනවා. එහි සයිස් එක සාමාන්‍යයෙන් ඔබේ පරිගණකයේ ඇති රැම් එකේ සයිස් එක මෙන් එකයි භාගයක් (1.5) වීම ඉතාම සුදුසුයි. උදාහරණක් ලෙස, ඔබේ රැම් එක ගිගාබයිට් දෙකක් නම් ස්වොප් පාටිෂන් එක 2 x 1.5 = 3GB විය යුතුයි. මෙම ස්වොප් පාටිෂන් එක ඔබට ඍජුවම භාවිතා කරන්නට බැහැ. එය මෙහෙයුම් පද්ධතියේ අභ්‍යන්තර අවශ්‍යතා සඳහා පමණක් යොදා ගැනෙන්නක්. ඔබ මා යෝජනා කළ පරිදි පළමු ඔප්ෂන් එක තෝරාගත්තේ නම්, පහත ස්ක්‍රීන් එක ලැබේ.

මෙහිදී ඔබට කැමති හාඩ්ඩිස්ක් එකක් select drive කියන කොටසින් තෝරාගත හැකියි (හාඩ්ඩිස්ක් කිහිපයක් තිබේ නම්). එම ඩ්‍රයිඩ් එකේ සයිස් එකද ලොකුවට දැක්වේ. දැන් Install Now යන්න ක්ලික් කර ඉන්ස්ටෝල් කිරීම අරඹන්න. එවිට පහත ස්ක්‍රීන් එක මතු වේ. ඉන් අසන්නේ ඔබේ රට හා නගරය තෝරාගන්නා ලෙසයි. එය මැප් එකක් ආකාරයෙනුයි පෙන්වන්නේ. ඔබට පුළුවන් පුංචියට තිබෙන ශ්‍රී ලංකාව උඩ ක්ලික් කරන්න. එහෙමත් නැතිනම් රටේ/නගරයේ නම ඊට පහත ඇති බොක්ස් එක තුළ ටයිප් කරන්නත් පුළුවන්. නිවැරදිව තමන්ගේ රට/නගරය තෝරන්න. මෙම තේරීමත් සමග ඔබගේ රටේ/නගරයේ ටයිම් සෝන් එක (time zone) හා එවැනි තවත් කරුණුද ඉබේම සකසා ගන්නවා. උදාහරණක් ලෙස, ලංකාව තේරූ විට, GMT+5.30 යන ටයිම් සෝන් එක ඉබේම සෙට් වෙනවා.
සටහන
ලෝකයේ සෑම රටකටම අනිවාර්යෙන්ම මෙවැනි ටයිම් සෝන් එකක් තිබේ. (හෝ ඇමරිකාව රුසියාව වැනි විශාල රටකට ටයිම් සෝන් කිහිපයක් තිබිය හැකියි. එමනිසයි රටට අමතරව නගරයද මෙම මැප් එකෙන් තේරිය හැක්කේ.) එය එංගලන්තයේ ග්‍රිනිච් නගරයේ වෙලාවට සාපේක්ෂවයි දක්වන්නේ. GMT (Greenwich Mean Time) යනුවෙන් සංඛේතවත් වන්නේ එයයි. එංගලන්තයේ වේලාව හැමවිටම 0 ලෙස සම්මතය ලෙස ගනී. එයයි GMT දැක්වෙන්නේ. සිතියමේ එංගලන්තයෙන් දකුණු අත පැත්තට තිබෙන රටවලට + ටයිම් සෝන් ද, එංගලන්තයෙන් වම් පසට ඇති රටවලට - ටයිම් සෝන් ද පවතී. උදාහරණක් ලෙස, ලංකාව GMT+5.30 යන්නෙන් කියන්නේ අපේ රටේ වෙලාව එංගලන්තයේ වෙලාවට වඩා පැය පහයි භාගයක් ඉදිරියන් තිබෙන බවයි. එ් කියන්නේ දැං එංගලන්තයේ වෙලාව දවල් 1 නම්, ලංකාවේ වෙලාව 1+5.30 = 6.30 වේ. එනම් සවස හයයි තිහයයි.


ඉන්පසු එන්නේ පහත දැක්වෙන ස්ක්‍රීන් එකයි. එහිදී තෝරන්නට තිබෙන්නේ ඔබේ කීබෝඩ් එකෙන් ටයිප් කරන්නේ කුමන අකුරුද යන වග. ඔබට මා මුලිනුත් පැවසුවේ ඉංග්‍රිසි තෝරාගන්නා ලෙසයි. මෙහිදිත් ඉංග්‍රිසි තෝරන්න. ඇත්තටම ලෝකයේ ප්‍රධාන ඉංග්‍රිසි වර්ග කිහිපයක් ඇත. ඉන් UK හෝ US යන දෙකෙන් එකක් තෝරා ගන්න (මා නම් හැමවිටම US තෝරා ගන්නවා).


කැමති නම් ඉහත ස්ක්‍රීන් එකේ යට ඇති බොක්ස් එකේ ටයිප් කර බලන්න. ඔබ ටයිප් කරන විට ඔබ අපේක්ෂා කළ විධියටම අකුරු වැදිය යුතුයි. එසේ නොවන්නේ නම්, ඔබ තෝරාගෙන ඇති අක්ෂර ක්‍රමය වෙනස් කර ගන්න. උදාහරණක් ලෙස, ඔබ ඉහත දකුණු අත පැත්තේ ලිස්ට් එකෙන් Dvorak යනුවෙන් ඇති එකක් සිලෙක්ට් කර ඔබේ සාමාන්‍ය කීබෝඩ් එකෙන් ටයිප් කර බලන්න. ඔබ Q ඔබන විට දැන් වදින්නේ D අකුරයි. අනෙක් අකුරුද එලෙස වෙනස් වනු ඇත. ඒකෙන් පේනවා නේද අක්ෂර ටයිප් කිරීමට විවිධාකාරයේ කීබෝඩ් ලෝකයේ භාවිතා වන බව. මෙය keyboard layout කියායි හඳුන්වන්නේ. උදාහරණක් ලෙස, අප සාමාන්‍යයෙන් භාවිතා කරන කීබෝඩ් ලේඅවුට් එක ඉන්ග්ලිෂ් QWERTY ලේඅවුට් එකයි. ඊට එම නම ලැබී ඇත්තේ ඔබේ කීබෝඩ් එකේ එම අකුරු එක පෙළට වම් පැත්තේ දිස්වන නිසාය.
සාමාන්‍ය හෙවත් සම්මත සිංහල කීබෝඩ් ලේඅවුට් එකට "විජේසේකර" කීබෝඩ් (ලේඅවුට්) කියායි පවසන්නේ. සිංහල ටයිප් කිරීමට විජේසේකර ලේඅවුට් එකට අමතරව "සිංහල ෆොනෙටික්" නමින්ද ලේඅවුට් එකක් ඇත. එයට හුරුවන්නට එපා. එය සම්මත ලේඅවුට් එක නොවේ. විජේසේකර ලේඅවුට් එක පරිගණක ලෝකයට පැමිණීමට හේතුව පරිගණක එන්නටත් බොහෝ කලක සිටම ප්‍රචලිතිව තිබූ සිංහල ටයිප්රයිටර්වල කීබෝඩ් එකය. පරණ ටයිප්රයිටරයක කීබෝඩ් එක බලන්න. ෆොනෙටික් කීබෝඩ් එක සාදා ඇත්තේ QWERTY ඉංග්‍රිසි කීබෝඩ් එකේ අකුරුවලට හිමි සිංහල ශබ්දවලට අනුකූල වන ලෙස කීස් සැකසීමෙනි. උදාහරණක් ලෙස, ඉංග්‍රිසි B අකුර තිබෙන කී එකෙන් සිංහල "" අකුර ටයිප් වේ. පහත දැක්වෙන්නේ විජේසේකර හා ෆොනෙටික් යන දෙයාකාරයේම සිංහල කීබෝඩ් ලේඅවුට් දෙකයි.



ඉන්පසු ඉදිරියට යන විට පරිගණකය හා ඔබ පිළිබඳ විස්තර කිහිපයක් අසන ස්ක්‍රීන් එක හමුවේ. එහිදී ඔබේ පරිගණකයට යම් නමක් ලබා දෙන්න. (සෑම පරිගණකයකටම hostname ලෙස හෝ කොම්පියුටර් නේම් ලෙස හැඳින්වෙන නමක් ලබා දිය යුතුය.) ඕනෑම මෙහෙයුම් පද්ධතියක වෙනස්කම් සිදු කිරීමට සියලු බලතල සහිත යූසර් එකවුන්ට් එකක් අත්‍යවශ්‍ය වේ. මෙම ස්ක්‍රීන් එකෙන් අන්න එම එකවුන්ට් එකත් සාදනු ඇත. ඒ සඳහා ඔබේ නම (ඔබට කැමති නමක්), යූසර්නේම් එකක්, පාස්වර්ඩ් එකක් ලබා දිය යුතුය.
සටහන
ඕනෑම මෙහෙයුම් පද්ධතියක් සඳහා සියලු බලතල සහිත එකවුන්ට් එකක් තිබිය යුතු බව ඔබ දැන් දන්නවා. ලිනක්ස්/යුනික්ස් ප්ලැට්ෆෝම්වල මෙම එකවුන්ට් එක root යන පොදු නමින් හැඳින් වෙනවා. වින්ඩෝස් ප්ලැට්ෆෝම්වල මෙය හැඳින්වූයේ Administrator (admin) කියාය. මෙම එකවුන්ට් එකේ පාස්වර්ඩ් එක කිසිවිටක අමතක කරන්න එපා. ඒවගේමයි කෙනෙකුට පහසුවෙන් සිතාගත/අනුමාන කළ නොහැකි පාස්වර්ඩ් එකක් යොදන්නේ නම් මැනවි.

සටහන
හොඳ පාස්වර්ඩ් එකක් සාදා ගන්නේ කෙසේද? එය කිසිවිටක ඔබේ නම හෝ එහි කොටසක් නොවිය යුතුය. ඔබේ මව, පියා, භාර්යාව/ස්වාමියා, දරුවන්, හොඳම යහළුවා/සතුරා යන අයගේ නම් හෝ නමක කොටසක්ද නොවිය යුතුය. ඔබේ ගමේ, පාසලේ, ආයතනයේ හෝ ඔබට සම්බන්ධ ආයතනයක නමක්ද යොදන්නට එපා. ඔබේ දුරකථන අංකය, ඔබේ හෝ ඔබේ පවුලේ කෙනෙකුගේ උපන්දිනය හෝ එවැන්නක්ද යොදන්නට එපා. Dog, icecream වැනි සාමාන්‍ය ඉංග්‍රිසි වචන (dictionary words) පවා යොදන්න එපා. අකුරු තුන හතරක කුඩා පාස්වර්ඩ් යොදන්නත් එපා. මේ සියලුම පාස්වර්ඩ් දුර්වල පාස්වර්ඩ් (weak password) ලෙස හැඳින් වේ.
හොඳ පාස්වර්ඩ් (strong password) එකක් වීමට පහත සඳහන් ගතිගුණ ඊට තිබිය යුතුය. අඩුම ගානේ අකුරු 8කට වැඩි වීම සුදුසුය. කැපිටල් හා සිම්පල් යන දෙයාකාරයේම අකුරු තිබිය යුතුය. ඉලක්කමක් දෙකක්ද තිබීම සුදුසුය. ඊට අමතරව සාමාන්‍ය ඉංග්‍රිසි අකුරු නොවන @ # $ වැනි අකුරක් දෙකක්ද තිබීම සුදුසුය. මෙවැනි හොඳ පාස්වර්ඩ් යොදන්නේ නම් අනිවාර්යෙන්ම ඒවා මතක තබා ගැනීම හෝ කොහෝ හෝ රහසිගත තැනක ඒවා ලියා තබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා.
සාමාන්‍යයෙන් පාස්වර්ඩ් එකක් ඉල්ලන අවස්ථාවක එය දෙවරක් ටයිප් කිරීමට සිදු වේ. ඊට හේතුව, පාස්වර්ඩ් ටයිප් කරන විට පෙනෙන්නේ *** විධියටයි. එවිට ඔබට පෙනෙන්නේ නැහැ ඔබට වැරදි අකුරුද ටයිප් වන්නේ කියා. එය මඟ හැරීමටයි දෙපාරක් පාස්වර්ඩ් එක ඉල්ලන්නේ. එවිට ඔබ ටයිප් කරන එක වැරදිලා ටයිප් වූවා නම්, දෙවැනිවර ටයිප් කරන නිසා එය ඉබේම හසු වේ. පාස්වර්ඩ් එක පරිගණකය විසින් භාර ගැනීමට නම්, එම ටයිප් කරන අවස්ථා දෙකම සමාන විය යුතුයි.
ඉහත ස්ක්‍රීන් එකේ පාස්වර්ඩ් එකට යටින් තිබෙනවා යම් තෝරා ගැනීමක් සිදු කරන්නට. ඉන් Log in automatically යන්න තෝරා ගතහොත් ඉන් කියන්නේ පරිගණකය ස්ටාර්ට් කිරීමෙන් පසුව ඔබෙන් පාස්වර්ඩ් එකක් ඉල්ලන්නේ නැතිවම මෙම යූසර් එකවුන්ට් එකෙන් ඉබේම ලොග් වෙන බවයි. දෙවැනි Require my password to log in යන්න තෝරා ගතහොත් පරිගණකය ස්ටාර්ට් වී එක්තරා අවස්ථාවකදී නතර වී බලාගෙන සිටිනවා ඔබ එම පාස්වර්ඩ් එක අැතුලු කරන තුරු. ඇත්තටම මෙම දෙවැනි තෝරාගැනීම සිදු කරන්න. එය වඩා ආරක්ෂිතයි. ඊටත් යටින් Encrypt my home folder යනුවෙන් ඇති කොටස කැමැති නම් තේරිය හැකියි. ඉන් කරන්නේ ඔබේ යූසර් එකවුන්ට් එකටම සම්බන්ධ කර සාදනු ලබන ෆෝල්ඩර් එකේ (home folder) සියලු දත්ත ඔබට හැර අන් කිසිවෙකුට කියවිය නොහැකි ලෙස එම ෆයිල්ස් ආරක්ෂිත කිරීමයි.
සටහන
log in හෝ login හෝ sign in යන පද තුනෙහිම ඇත්තේ එකම තේරුමයි. ඉන් අදහස් කරන්නේ යම් සේවාවකට හෝ ස්ථානයකට ඔබ ඇතුළු වීමයි. නිකංම ඇතුළු වන්නට දෙන්නේ නැත. ඔබට අවසර ඇතිනම් පමණයි ඇතුළු කරගන්නේ. යම් යම් කාර්යාලවලටත් ඇතුළු වන්නට හැකි වන්නේ ඒ සඳහා අවසර තිබෙන අයට පමණයි නේද? ඒ සඳහා ඔවුන්ට යම් හැඳුන්ම්පතක් ලබා දී තිබෙනවා. මෙහිදීත් ඇතුළු වීමට ඔබට username හා password අවශ්‍ය කරනවා. යූසර්නේම් යනු ඔබ අහවලා කිය හඳුන්වා දීමයි. එම නම බොහෝවිට වෙන අයත් දන්නවා. පාස්වර්ඩ් එක තිබෙන්නේ වෙන අයත් එම නමින් හොරෙන් ඇතුළු වීම වැලැක්වීමටයි. පාස්වර්ඩ් එක දන්නේ ඔබ පමණයි.
මෙලෙසම ලොගින් වූ පසු තමන්ගේ වැඩේ අවසන් කර ඉන් ඉවත් වීමද සිදු කළ යුතුයි. එය හරියට ඔබ යතුරකින් කාමරයක දොරගුළු විවෘත කර කාමරයකට ගොස් එතුළ ඇති වැඩ කොටස නිම කර ආපසු ඉන් ඉවත් වන විට යතුර දමා නැවත දොර ලොක් කරනවා වගේ වැඩක්. එසේ ලොක් නොකළොත් එම කාමරයට වෙන අයට ඇතුළු වීමට පුළුවන්. එලෙසම තමන්ගේ එකවුන්ට එකට ඇතුළු වී ඉන් ඉවත් වන්නට අවශ්‍ය විට log out විය යුතුයි. එය logout, sign out, log off, logoff යන නම්වලින්ද හැඳින්වෙනවා.
ඉන්පසු ඔබට තවත් තොරතුරු දක්වන ස්ක්‍රීන් දිස්වේවි. ඔබට තිබෙන්නේ ඒවා සියල්ල නිමවෙන තුරු බලාගෙන සිටීමයි. වෙනත් බාධක මතු නොවූයේ නම්, ඒවා සියල්ල සාර්ථකව නිම වේවි. දැන් මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටෝල් වී හමාරය.

Comments

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

ඉලෙක්ට්‍රෝනික්ස් II (Electronics) - 6

විශේෂ ප්‍රතිරෝධක ඉහත සාකච්ඡා කළ නියත හා විචල්‍ය ප්‍රතිරෝධක හැරුණහම , තවත් සුවිශේෂී ජනප්‍රිය ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ද තිබෙනවා . මේවා ආලෝකය , උෂ්ණත්වය වැනි විවිධ භෞතික රාශින්ට සංවේදී ප්‍රතිරෝධකයි . මේ අතරින් සුලභම වර්ගය තමයි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක වර්ගය . මේවා ප්‍රකාශ - ප්‍රතිරෝධක (photoresistor) හෝ “ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක” (Light Dependent Resistor – LDR) ලෙස හැඳින් වෙනවා . එහි සාමාන්‍ය භාහිර හැඩය පහත දැක්වේ .   මෙම ප්‍රතිරෝධයේ හිස මත තිබෙන්නේ ආලෝකයට ඉතා සංවේදී කැඩ්මියම් සල්ෆයිඩ් (CdS), ලෙඩ් සල්ෆයිඩ් (PbS), කැඩ්මියම් සෙලිනයිඩ් (CdSe) ආදී යම් රසායනික ද්‍රව්‍යයකි . එම ද්‍රව්‍යයන්වල ඉතා ඉහල ( බොහෝවිට 500k ohm වැනි ) ප්‍රතිරෝධි අගයන් තිබේ . එහෙත් ඒ මතට ආලෝකය වැටෙන විට , ප්‍රතිරෝධි අගය සීඝ්‍රයෙන් පහළ යයි ( බොහෝවිට ඕම් 500 වැනි ). මෙහිදී කිව යුතු වැදගත් කරුණ නම් , ඉහත සඳහන් කළ ( හා නොකළ ) ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය එකම ආකාරයෙන් ආලෝකයට සංවේදී නොවේ . සමහර ඒවා “ආලෝකයේ රතු පැත්තට” ( ඒ කියන්නේ දිගු තරංග ආයාම සහිත ආලෝකයට ) සංවේදිතාව දක්වන අතර , තවත් සමහර ඒවා “ආලෝකයේ නිල් / ද...

පහසුවෙන් ඉංග්‍රිසි කඩිනමින් ඩවුන්ලෝඩ් කර ගැනීම

මෙම බ්ලොග් එකෙහි කොටස් වශයෙන් පළකළ ඉංග්‍රීසි පාඩම් මාලාව තනි පොතක් ලෙස ඊ-බුක් එකක් ලෙස පහත ලින්ක් එකෙන් ඔබට ඩවුන්ලෝඩ් කරගත හැකිය. පහසුවෙන් ඉංග්‍රිසි කඩිනමින් PDF