Skip to main content

ලිනක්ස් ඉගෙන ගමු (Linux) - 18

WiFi කනෙක්ෂන් එකක් සාදා ගැනීම

WiFi යන්නටම WLAN (Wireless LAN) යන නමද භාවිතා කෙරෙනවා. වයිෆයි ස්විච් එකක් (මෙය WiFi Access Point (AP) එකක් කියාද හැඳින් වෙනවා) හා වයිෆයි පහසුකම සහිත නෙට්වර්ක් කාඩ් එකක් පරිගණකයේ ඉන්ස්ටෝල් කර තිබිය යුතුයි මේ සඳහා. මෙවැනි වයිෆයි නික් wlan0, wlan1 ආදී ලෙස හැඳින්වෙනවා. බොහෝ ලැප්ටොප්වලද දැන් වයිෆයි තිබෙනවා (එනිසා ඩෙස්ක්ටොප් පරිගණක සඳහා තමයි නික් කාඩ් එකක් සවි කිරීමට අවශ්‍ය වන්නේ). සාමාන්‍යයෙන් ලැප්ටොප්වල වයිෆයි ඔන්/ඕෆ් කිරීමට කුඩා ස්විචයක්ද තිබෙනවා (කීබොඩ් එකේ උඩම තීරුවේ හෝ යූඑස්බී පෝට් එහෙම තිබෙන පැත්තක). මෙය hardware switch කියා හැඳන්වෙනවා. එවැනි ස්විචයක් තිබේ නම්, පළමුව එය ඕන් කරන්න. ඉන්පසුව සිස්ටම් ට්‍රේ එකේ නෙට්වර්ක් අයිකනය මත රයිට් ක්ලික් කර, ඉන් Enable WiFi යන්න තෝරන්න. මෙය software switch කියායි හැඳින්වෙන්නේ. ෆෝන් එකක් offline mode (flight mode) කරනවා බදු දෙයක් තමයි මෙම ස්විච දෙකෙන් කරන්නේ (කුමක් ඕෆ් කළත් වයිෆයි ඕෆ් වේ). දැන් පෙරදී ඊතර්නෙට් සඳහා කනෙක්ෂන් එකක් සෑදුවා මෙන් වයිෆයි කනෙක්ෂන් එකක් සෑදිය යුතුයි. පෙර සේම, නෙට්වර්ක් අයිකනය මත රයිට් ක්ලික් කර ඉන් Edit Connections යන්න තෝරා Network Connections යන ඩයලොග් බොක්ස් එක ගන්න. එහි Add බට්න් එක ක්ලික් කර, ඉන් මතු වන වින්ඩෝ එකෙන් WiFi යන්න තෝරා, Create… බට්න් එක ක්ලික් කරන්න. එවිට පහත රූපයේ ආකාරයට වින්ඩෝ එකක් ඒවි. මෙහි General ටැබ් එකේ තිබෙන දේවල් පෙර අප කතා කළ විස්තරමයි නේද? එවිතරක්ද නොවේ, එහි IPv4 Settings හා IPv6 Settings යන ටැබ් දෙකද පෙර විස්තර කළ පරිධිමයි තිබෙන්නේ.

දැන් Wi-Fi යන ටැබ් එකට යන්න (පහත රූපය). මෙහි Device MAC…, Cloned MAC…, MTU යන සෙටිංස් තුන ගැනත් අප මීට පෙර කතා කර තිබෙනවා. මෙහි වැදගත්ම සෙටිං එක SSID (Service Set IDentifier) වේ. මෙහි යොදන නම ඔබේ වයිෆයි ඇක්සෙස් පොයින්ට් එකේ සෙට් කර තිබෙන නම විය යුතුයි. ඔබ ඇක්සෙස් පොයින්ට් එක සෙට් කරන විට, එහි ඇති සෙටිංස්වල SSID සඳහා යම් නමක් යෙදිය යුතුයි. අන්න එම නම තමයි ඔබ මෙහි ඇතුලත් කරන්නේ. ඔබේ පරිගණකය මෙම නම සහිත ඇක්සෙස් පොයින්ට් එකට තමයි කනෙක්ට් වන්නේ (එමනිසා මෙම නම වැරදියට ලියන්න එපා).

ඊට යටින් තිබෙනවා Mode යනුවෙන් සෙටිං එකක්. සාමාන්‍යයෙන් වයිෆයිවල දෙයාකාරයකින් උපකරණ එකිනෙකට සම්බන්ධ කරන්නට පුලුවන්. එකක් තමයි Infrastructure ක්‍රමය. මෙහිදී වයිෆයි උපකරණ කිහිපයක් යම් වයිෆයි ඇක්සෙස් පොයින්ට් එකකට හෙවත් වයිෆයි ස්විච් එකකට කනෙක්ට් වෙනවා (හරියට ඊතර්නෙට් ස්විචයට වයර් මගින් සියලු පරිගණක සම්බන්ධ වනවා වාගේ). බොහෝවිට ඔබ තෝරාගන්නේ මෙම ක්‍රමයයි (මොකද ඔබ වයිෆයි කනෙක්ට් වෙන්නේ වයිෆයි ස්විච් එකකට නිසා). දෙවැනි ක්‍රමය තමයි Ad-hoc ක්‍රමය. මෙහිදී උපකරණ යම් වයිෆයි ස්විචයකට කනෙක්ට් කරන්නේ නැත; ඇත්තටම මෙහිදී වයිෆයි ස්විචයක අවශ්‍යතාවක් නැත. ඔබේ උපකරණයේ හා තවත් උපකරණයක වයිෆයි පහසුකම තිබේ නම්, කෙලින්ම එම උපකරණ දෙක එකිනෙකට කනෙක්ට් කරන්නට හැකියි අතරමැදි උපාංගයක් නොමැතිව. ඔබ බ්ලූටූත් සමග වැඩකරන විට, උපාංග දෙකක් එකිනෙකට කනෙක්ට් කරන්නේත් මේ විධියට නේද? ඔබ දන්නවා අද බොහෝ ස්මාට් ෆෝන්වල වයිෆයි පහසුකම් තිබෙනවා. එවැනි උපකරණ බොහෝවිට සපෝට් කරන්නේ infrastructure ක්‍රමය පමණි.

ඊළඟට වැදගත් සෙටිංස් තිබෙන්නේ WiFi Security ටැබ් එකේය (පහත රූපය). මෙයින් සකස් කරන්නේ ඔබේ පරිගණකය හා ස්විචය (හෝ අනෙක් පරිගණකය) අතර සාදන කනෙක්ෂන් එක කොතරම් ආරක්ෂාකාරී විය යුතුද යන්නයි. එහි Security යන තැන None යන්න තේරුවොත්, කිසිම අමතර ආරක්ෂාවක් එපා (දත්ත එන්ක්‍රිප්ට් කරන්න එපා) යැයි කියනවා. එවිට, අහල පහල හොරෙන් පරිගණකවලට ඇතුලු වන කෙනෙකුට (hacker) ඉතාම පහසුවෙන් ඔබේ පරිගණකය හා ඇක්සෙස් පොයින්ට් එක අතර සිදුවන දත්ත හොරෙන් කියවිය හැකියි තවත් වයිෆයි පහසුකම් සහිත පරිගණකයකින්. එලෙස පිටස්තරයෙකුට එම දත්ත කියවිය නොහැකි ලෙස සකසන්න. ඒ සඳහා කළ හැකි එකම උපක්‍රමය නම්, එම දත්ත එන්ක්‍රිප්ට් කිරීමයි. එන්ක්‍රිප්ට් කරන ක්‍රම කිහිපයක්ම Security සෙටිං එකේ තිබෙනවා. සමහර ඒවා පැරණි (යල්පැන ගිය) ක්‍රමය. එම ක්‍රම මඟින් එන්ක්‍රිප්ට් වුවත්, අද තිබෙන පරිගණක තාක්ෂණයේ දියුණුව නිසාම ඒ ක්‍රම පහසුවෙන් බිඳිය හැකියි (එය හරියට නූල් කැබැල්ලකින් ඔබේ වත්තේ ගේට්ටුව වසා දමනවා වැනිය). වර්තමාන පවතින දියුණු පරිගණක තාක්ෂණයට ගැලපෙන පරිදි සකසා තිබෙන එන්ක්‍රිප්ට් ක්‍රමයක් යොදන්න (එවිට ඔබේ ගේට්ටුව හොඳ යකඩ දම්වැලක් දමා වසා දැමුවා වැනිය).


සටහන
වයිෆයි සඳහා වන සික්‍යුරිටි (එන්ක්‍රිප්ට්) ක්‍රම කිහිපයක්ම තිබේ. එන්ක්‍රිප්ට් කරන හැමවිටම key එක නමින් හැඳින්වෙන විශේෂ ආකාරයේ "පාස්වර්ඩ් එකක්" භාවිතා කෙරේ. ඇත්තටම එය පාස්වර්ඩ් එකකි. පාස්වර්ඩ් එකක ශක්තිය එම පාස්වර්ඩ් එකේ තිබෙන අකුරු ගණන, සහා අකුරු සමග ඉලක්කම් හා විශේෂ අක්ෂර යෙදීම අනුව රඳාපවතිනවා. එලෙසම වයිෆයි එන්ක්‍රිප්ට් ක්‍රමවල ප්‍රබලකම මනින්නේ කී එකේ බිට් ගණනින්ය. කී සයිස් එක (බිට් ගණන) වැඩිවන තරමට එහි ශක්තිය (එනම් පහසුවෙන් බිඳිය නොහැකිබව) වැඩිය. කී එකේ බිට් 10111001010010101010 වැනි බයිනරි ස්වරූපයෙන් දක්වන්නේ නැත. එය එක්කෝ mYpssWrd123 වැනි ඇස්කී ෆෝමැට් එකෙන් (ඒ කියන්නේ බිට් අටේ ගෲප්වලින්) එහෙමත් නැතිනම් 2f89ac231d වැනි හෙක්සඩෙසිමල් (hexadecimal) හෙවත් හෙක්ස් (hex) අංක (ඒ කියන්නේ බිට් හතරේ ගෲප්වලින්) ස්වරූපයෙන් තමයි දක්වන්නේ. ඇස්කී ස්වරූපයෙන් දෙන විට, කී එක passphrase යන නමින්ද හැඳන්වෙනවා. ඔබ තෝරාගත් එන්ක්‍රිප්ට් සම්මතයට නිශ්චිත බිට් සයිස් එකක් ඇත. ඔබ ලබාදෙන කී එක එම බිට් ගණනට සමාන විය යුතුය. උදාහරණයක් ලෙස, ඔබේ කී එක බිට් 40ක් නම්, එම කී එක ඇස්කී ක්‍රමයට ලියන්නේ නම්, ඇස්කී අක්ෂර 5( = 40/8) කී එකක්ද; එයම හෙක්ස් ක්‍රමයට ලියන්නේ නම්, හෙක්ස් ඉලක්කම් 10( = 40/4) කී එකක්ද වශයෙනුයි දිය යුත්තේ. ඊට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් අක්ෂර/ඉලක්කම් දිය නොහැකියි. සමහර උපාංගවලට කී එක දිය හැක්කේ පාස්ෆ්‍රේස් එකක් (ඇස්කී) ලෙස පමණි. සමහර ඒවාට හෙක්ස් ඉලක්කම් ලෙස පමණයි දිය හැක්කේ. සමහර ඒවා ක්‍රම දෙකෙන් ඕනෑම එකක් භාර ගන්නවා. (මෙවැනි අවස්ථාවක, ඔබ සාමාන්‍යයෙන් ලියන කී එක පාස්ෆ්‍රේස් එකක් ලෙසයි භාර ගැනෙන්නේ. එය හෙක්ස් අංක ලෙස භාර ගන්නා ලෙසට බලකිරීමට එම හෙක්ස් අංක ඉදිරියෙන් 0x (බිංදුවයි එක්ස් අකුරයි) ලියන්න, 0x2a442b වැනි ආකාරයට.) එමනිසා, ඔබ භාවිතා කරන උපාංගය බලාපොරොත්තු වන ක්‍රමයට එය ලබා දෙන්න.
වයිෆයි එන්ක්‍රිප්ට් ක්‍රම අතරින් ප්‍රචලිත ක්‍රමයක් වන්නේ WEP (Wired Equivalent Privacy) යන සම්මතයයි. මෙහි කලින් කලට වැඩිදියුණු කිරීම් පැමිණේ. මුල් කාලයේ බිට් 64ක විශාල කී එකක් සහිත WEP ක්‍රමය භාවිතා වූවා (අදටත් එය භාවිතා කෙරේ, එය අද තරමක් පහසුවෙන් බිඳිය හැකි වුවත්). මෙය WEP 64 ලෙසයි හැඳින් වූයේ. මෙයම WEP 40 ලෙසත් හැඳින් වෙනවා (ඊට හේතුව නම්, සමහර අවස්ථාවල බිට් 64න් 24ක් අදාල උපාංගය විසින් සෙට් කිරීමයි; එවිට ඔබට සෙට් කිරීමට තිබෙන්නේ බිට් 40ක් පමණි). ඒ අනුව මෙය යොදාගන්නා විට, ඇස්කී ක්‍රමයට, අක්ෂර 5ක් ( = 40/8) හෝ අක්ෂර 8ක් (64/8) සහිත "පාස්වර්ඩ් එකක්" (කී එකක්) දිය යුතුයි (බිට් 40 හෝ 64ද ඔබේ උපාංගය යොදන්නේ යන වග අනුව); හෙක්ස් ක්‍රමයට, හෙක්ස් ඉලක්කම් 10ක් ( = 40/4) හෝ 16ක් ( = 64/4) සහිත කී එකක් දිය යුතුයි. මෙහිම දියුණු ක්‍රමයක් තමයි බිට් 128ක් විශාල ක්‍රමය. මෙය WEP 128 හෝ WEP 104 ලෙස දැක්වෙනවා. බිට් 64 බිට් 40 වූ හේතුවම බිට් 128 බිට් 104 වීමටද වලංගු වේ. ඉහත විස්තර කළ ලෙසටම පාස්වර්ඩ් (කී) එකේ අක්ෂර/ඉලක්කම් ගණන ගණනය කළ හැකියි නේද?
තවත් දියුණු එන්ක්‍රිප්ට් ක්‍රමයක් තමයි WPA (Wireless/WiFi Protected Access) කියන්නේ. ඉහත WEP ට වඩා මෙය දියුණු ආකාරයකි. මෙහිම තවත් දියුණු කරපු අවස්ථාව තමයි WPA2 කියන්නේ (WPA හා WPA2 යන දෙකම පොදුවේ WPA ලෙස හැඳින්වෙනවා). WPA හා WPA2 යන ආකාර දෙකම නැවතත් ආකාර දෙකකින් පවතිනවා Personal හෙවත් pre-shared key (WPA-PSK) හා Enterprise ලෙසින්. බහුල ලෙසම භාවිතා වන්නේ personal ආකාරය වන අතර, විශාල ආයතනවල (ආරක්ෂාව ගැන ඉතා තදින් සිතන) enterprise ආකාරය භාවිතා වෙනවා. WPA හි කී සයිස් එක බිට් 256කි.
ඔබ ඉහත Security සෙටිං එකෙන් සුදුසු එන්ක්‍රිප්ට් ක්‍රමය සිලෙක්ට් කරන්න. Key සෙටිං එකේ අදාල කී (පාස්වර්ඩ්) එක ලියන්න. එය ඔබට තරු (*) වලින් පෙන්වාවි. ඔබ ලියන පාස්වර්ඩ් එක දැක ගැනීමට අවශ්‍ය නම් ඊට යටින් ඇති Show key යන්න එනේබල් කරන්න. WEP ක්‍රමය භාවිතා කිරීම හැකි තරම් නතර කරන්න. එහෙත් ඔබට අයත් නොවන යම් ඇක්සෙස් පොයින්ට් එකක් ක්‍රියාත්මක කරන්නේ එය නම්, ඔබට එය යොදාගැනීම හැර කරන්න වෙන දේකුත් නැහැ.

ඇත්තටම මෙම සෙටිං සියල්ලම ඔබේ පරිගණකයේ සැකසිය යුත්තේ අැක්සෙස් පොයින්ට් එකේ දැනට සකසා ඇති සෙටිංවලට අනුකූල වන විධියටයි. (ඇක්සෙස් පොයින්ට් එක සකසන විධිය ගැන පසුව විස්තර කෙරේ.) ඇක්සෙස් පොයින්ට් එක හා පරිගණකය අතර සෙටිංස් නිවැරදිව සකසාගෙන, සිග්නල් මට්මටත් හොඳින් තිබේ නම්, කිසිදු ප්‍රශ්නයකින් තොරව එකිනෙකට කනෙක්ට් වෙනු ඇත. වයිෆයි ඇක්සෙස් පොයින්ට් කිහිපයක් ඇති විටක, එකවරම ඒ කිහිපයටම වුවද කනෙක්ට් වන්නට පුලුවන්, ඒ එක් එක් AP එකට වෙන වෙනම කනෙක්ෂන් සෑදීමෙන්.


ඔබ සාදන සියලුම කනෙක්ෂන් (වයිෆයි පමණක් නොව, අනෙක් වර්ගයේ කනෙක්ෂන් පවා) සියල්ල ඔබට පහසුවෙන්ම සිස්ටම් ට්‍රේ එකේ තිබෙන නෙට්වර්ක් අයිකන් එක මත ක්ලික් කර බලාගත හැකියි. එම අයිකන් එක මත ක්ලික් කර, ඉන් තමන් කැමති කනෙක්ෂන් එක ක්ලික් කරන්න. එවිට, එය කනෙක්ට් වනු ඇත. එලෙස ක්ලික් කර කනෙක්ට් වූ පසු, අවශ්‍ය නම් ඉන් ඩිස්කනෙක්ට් වීමටද හැකියි. ඒ සඳහා නැවත එම අයිකනය මත ක්ලික් කර, අදාල කනෙක්ෂන් එකට අයත් Disconnect යන්න ක්ලික් කරන්න. සම්පූරණයෙන්ම (සියලු) කනෙක්ෂන් ඩිස්කනෙක්ට් කිරීමට (එනම්, නෙට්වර්කිං පහසුකම නතර කිරීමට), එම අයිකනය මත රයිට් ක්ලික් කර Enable Networking යන්නෙහි ඉදිරියෙන් තිබෙන හරි සලකුණ නැති කරන්න එය මත ක්ලික් කිරීමෙන්. තමන් කනෙක්ට් වී තිබෙන කනෙක්ෂන්වල විස්තර බලාගැනීමට අවශ්‍ය නම්, සිස්ටම් ට්‍රේ එකේ ඇති එම අයිකනය මත රයිට් ක්ලික් කර Connection Information යන්න තෝරන්න. එවිට පහත රූපය වැනි වින්ඩෝ එකක් ඒවි.


Comments

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

ඉලෙක්ට්‍රෝනික්ස් II (Electronics) - 6

විශේෂ ප්‍රතිරෝධක ඉහත සාකච්ඡා කළ නියත හා විචල්‍ය ප්‍රතිරෝධක හැරුණහම , තවත් සුවිශේෂී ජනප්‍රිය ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ද තිබෙනවා . මේවා ආලෝකය , උෂ්ණත්වය වැනි විවිධ භෞතික රාශින්ට සංවේදී ප්‍රතිරෝධකයි . මේ අතරින් සුලභම වර්ගය තමයි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක වර්ගය . මේවා ප්‍රකාශ - ප්‍රතිරෝධක (photoresistor) හෝ “ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක” (Light Dependent Resistor – LDR) ලෙස හැඳින් වෙනවා . එහි සාමාන්‍ය භාහිර හැඩය පහත දැක්වේ .   මෙම ප්‍රතිරෝධයේ හිස මත තිබෙන්නේ ආලෝකයට ඉතා සංවේදී කැඩ්මියම් සල්ෆයිඩ් (CdS), ලෙඩ් සල්ෆයිඩ් (PbS), කැඩ්මියම් සෙලිනයිඩ් (CdSe) ආදී යම් රසායනික ද්‍රව්‍යයකි . එම ද්‍රව්‍යයන්වල ඉතා ඉහල ( බොහෝවිට 500k ohm වැනි ) ප්‍රතිරෝධි අගයන් තිබේ . එහෙත් ඒ මතට ආලෝකය වැටෙන විට , ප්‍රතිරෝධි අගය සීඝ්‍රයෙන් පහළ යයි ( බොහෝවිට ඕම් 500 වැනි ). මෙහිදී කිව යුතු වැදගත් කරුණ නම් , ඉහත සඳහන් කළ ( හා නොකළ ) ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය එකම ආකාරයෙන් ආලෝකයට සංවේදී නොවේ . සමහර ඒවා “ආලෝකයේ රතු පැත්තට” ( ඒ කියන්නේ දිගු තරංග ආයාම සහිත ආලෝකයට ) සංවේදිතාව දක්වන අතර , තවත් සමහර ඒවා “ආලෝකයේ නිල් / ද...

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්...