Skip to main content

මානවචාරය (Humanity)

ලොවපුරා ආගමික හා වෙනත් දර්ශන මතවාද දහස් ගණනින් ඇත. මේ අතරින් මිනිස් ජීවිතයට ඉතාම තදින් හා ළඟින් බලපාන්නේ ආගමික දර්ශනයි. බොහෝ යුද්ධ හා නොසන්සුන්තාවන් මේ නිසා ඉතිහාසය පුරාම පැවති බව පෙනේ. ලෝකප්‍රකට ආගමික දර්ශන තුල යුද්ධ හෝ ගැටුම්වලින් තොරව සාමකාමිව සතුටින් වෙසෙන්නට උගන්වන නමුත් ඒ සියල්ල පසෙකලා ආගම්වල නාමයෙන් ගැටුම් උත්සන්න වීම අදහගත නොහැකිය. මේ අතර ඇසිය යුතු වැදගත්ම ප්‍රශ්නය මිනිසෙකුට ආගමක් ඇදහීම හෝ පිලිපැදීම හෝ අත්‍යවශ්‍යද යන්නයි. මිනිසුන් දැන් අනාගමික වුවොත් (කිසිදු ආගමක් විශ්වාස නොකර සිටියොත්) ලෝකය අපායක් වී සමාජය තිරිසන් වී යනු ඇතිද? සමහරෙකු එසේ තර්ක කරනු මා දැක ඇත.

ආගම්වල විවිධත්වය අපූර්ව වේ. මූලිකව මේ ආගම් බොහෝමයක්ම නිර්මාණවාදි (එනම් සර්වබලධාරියකු විසින් සියල්ල මවා ඇත යන මතය) වේ (ක්‍රිස්තියානි/කතෝලික, හින්දු, ඉස්ලාම් මෙවැනි ප්‍රමුඛතම ආගම් වේ). විශ්වය, ලෝකය, ජීවින්, හා සියල්ල ගැන අප දැන ගත් හා ගනිමින් සිටින තොරතුරු බලන විට එහි ඉතා පුදුමසහගත අයුරින් සංවිධානාත්මක බවක් පෙනේ. උදාහරණයක් ලෙස, ඩීඑන්ඒ අණුව ජීවී ගුණාංග මතු කරන අයුරු බලන්න. එනිසා කවුරුන් හෝ කරපු අතිවිශිෂ්ට නිර්මාණයක් ලෙස මුලු විශ්වයම කෙනෙකුට සැලකිය හැකිය. ඊට අනුගතව ඉහත පැවසූ ආගම්ද පවතී. විමසා බලන විට ඉතා පැහැදිලි වෙනවා සර්වබලධාරි දෙවියකු යොදා ගත් ලෝක විග්‍රහය තමයි කෙනෙකුට පහසුවෙන්ම අනෙකෙකුට වටහ දී ඔවුන්ගේ මනස කුතුහලය සන්සිඳවිය හැකි ක්‍රමය කියා.

මේ අතරම, නිර්මාණවාදය සහිත එම ආගම්වල මූලික දර්ශන හා මූලාශ්‍ර ලේඛන බලන විට ඒවායේ සදොස් තැන් එමටය. මේ අතර, නිර්මාණවාදය පිලිනොගන්නා දර්ශන මතවාද බිහිවී තිබේ. බුදු දහම ඉන් ප්‍රමුඛ වේ. මෙවැනි ආගමික දර්ශන තුල වුවද සදොස් තැන් ඕනෑ තරම් තිබේ. සර්වබලධාරියෙකුට හෝ සර්වඥයන් කෙනෙකුට එවැනි දෝෂ සහිත දර්ශන ඉදිරිපත් කිරීම තරම් නොවේ, ඇත්තටම ඔවුන් ඒ කියනා ලෙස සර්වබල වූවා නම්. බුදු දහම හෝ වෙනත් ආගම් විවේචනය කිරීමට හා උග්‍ර ආගමික අන්තවාදින් එක්ක කුරිස යුද්ධයක් මට අවශ්‍ය නොවේ (එහෙත් අවශ්‍ය නම් සංවාද කිරීමට මා සූදානම්ය). මාගේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ මානවචාරය ගැන යමක් ලිවීමටයි; පුද්ගලයකුට ආගමක් අත්‍යවශ්‍ය නොවන බව පෙන්වීමටයි.

මොන ස්වරූපයකින් හෝ තිබෙන සෑම ආගමික දර්ශනයකම සදොස් තැන් තිබෙන බව නැවත සඳහන් කරමි. ඒ සියල්ලම උසස් මනසක් තිබූ "මිනිසුන්" විසින්ම නිර්මාණය කරන ලද දර්ශන (දැනුම් පද්ධති) වේ; දෙවියෙකු හෝ දෙවියෙකුගේ පනිවුඩකරුවෙකු හෝ සර්වඥ ඥානයකින් කියන ලද්දේ නොවේ. එදත් අදත් මිනිසාට තේරුම් ගත නොහැකි බොහෝ ගූඪ දේවල් නිර්මාණශීලි (හා සමහරවිට තර්කානුකූල පදනමකින්) විග්‍රහයන් ඉදිරිපත් කර ඇත. ඒ සියලුම විග්‍රහයන් එම ශාස්තෘන්ගේ "ඒකාධිපති අධිකාරිවාදි" අදහස් වේ. සමහරවිට ඊට පෙර සිටි දර්ශන මතවාදවල බලපෑමද නැත්තේ නොවේ. පාරාදීසිය, අපාය, දිව්‍යලෝකය, නිර්වාණය ආදි කිසිවක් අපගේ ඇස් පනා පිට පෙන්වීමට හෝ සංජානනය කිරීමට හෝ අවබෝධ කර දීමට හෝ වාස්තවිකව පෙන්වා දීමට හැකි හෝ නොවේ. සියල්ලම ඉතිහාස කතා හා ජනශ්‍රැති හා ලේඛන වශයෙන් පවතින ප්‍රබන්ධ පමණි.

ඉතිං සියලු ආගමික දර්ශනවලින් පෙන්වන යථාර්ථය ඇත්තටම යථාර්ථය යැයි අපට ප්‍රත්‍යක්ෂ නොවේ (මොන හේතුව නිසා හෝ). තමන් අත් නොදැකපු හෝ නොදකින දෙයක් වචන මාත්‍රයකින් හෝ විශ්වාස මාත්‍රයකින් පමණක් අල්ලාගෙන සිටී. දවසක් මා මිතුරෙකු පැවසුවේ "කිරි රසය වචනයෙන් කියන්න බැහැ" වගේ ආගමකින් කියන යථාර්ථය වචනයෙන් පැවසීමට නොහැකි බවත් එනිසා ආගම් අසත්‍ය යැයි කිව නොහැකි බවකි. මාද කියන්නේ එයයි (නමුත් ආගම් අනවශ්‍ය යන පදනමින්). විශ්ව යථාර්ථය මා නොදන්නා අතර, මා දන්නා කිසිදු ආගමකින් එය මට පෙන්වා දීමට අසමත්ව ඇත (එම කලකිරීම බොහෝ ඇත). නැති දෙයක් හෝ තිබුණත් දැනගත නොහැකි දෙයක් මෙයයි කියා කිරි රසය වචනයෙන් කියන ආගම් එවිට කුමකටද?

එනිසා මානවචාරයේ මූලික පදනම වන්නේ, මෙවැනි මනඃකල්පිත විශ්වාසයන්/දර්ශන තහවුරු කළ නොහැකි මට්ටමක පවතින නිසා, නිශ්චිතව අහවල් දර්ශනය සත්‍ය යැයි කිව නොහැකි බැවින් ඒ කිසිවක විශේෂිත වැදගත්කමක් නැත යන්නයි. මෙතැනදී තේරුම්ගත යුතු දෙය වන්නේ කිසිම ආගමක් සත්‍ය හෝ බොරු ලෙස පිලිනොගත යුතුය යන්නයි.

මෙය සියුම් කාරණයකි. උදාහරණයක් ලෙස, කෙනෙකු රෝසපාට අලියකු අහවල් කැලෑවේ දුටු හෝ සිටින බව පැවසුවොත්, තවත් කෙනෙකු වාද කරනු ඇති රෝසපාටින් අලි නැතැයි කියා. මෙතැන ඇත්තේ අනෙකා කියන දේ සත්‍ය හෝ අසත්‍ය ලෙස කෙරෙන වාදයකි. එහෙත් තවත් කෙනෙකු සිටිය හැකියි මේ දෙදෙනාගෙන් කෙනෙකු එය සත්‍ය හෝ අසත්‍ය ලෙස ප්‍රත්‍යක්ෂ වශයෙන්ම පෙන්වාදුන් පසුව එම ප්‍රත්‍යක්ෂය පිලිගන්නට සූදානමින්. එතෙක් රෝස පාට අලියා සිටීද නොසිටීද යන්න ගැන ඔහුට තැකීමක් නැත. ඒ වෙනුවට වෙනත් රසවත් හා වටිනා රාජකාරි කිරීමට ඔහුට ඇත.

ඇත්තටම මෙම පදනම ඉතා ප්‍රඥාගෝචර වේ මොකද මේ ලෝකයේ ඕනෑම කෙනෙකුට ඕනෑම හේතුවක් නිසා සංකල්ප මැවිය හැකිය. ඉතිං ඉමක් කොනක් නැතිව එය සිදු විය හැකි විටකදී, ඒ හැම එකක් ගැනම සොය සොයා සිටීම ප්‍රායෝගික නොවේ. පිලිගන්නා පිරිස වැඩි වූ පමණින් යමක සත්‍යබව වැඩි නොවේ. එසේ වුවොත්, පෙර සඳහන් කළ ආගම් අතුරින් බුදුදහම පිලිගන්නා පිරිස තමයි අඩුවෙන්ම සිටින්නේ; ඒ කියන්නේ බුදු දහම තමයි අසත්‍යම ආගම කියා බෞද්ධයන් පිලිගනීවිද? එනිසා අනුගාමික පිරිසෙන් වැඩක් නැත.

එවිට ආගම්වලින් හික්මවා තිබෙනවා යැයි කියන මිනිසුන් නැවත අශීලාචාර වේවිද ආගම අවශ්‍ය නැතැයි කීමෙන්? ආගම් තිබියදීත් ඒවා අදහන හා නොඅදහන කොතරම් පිරිස් තිරස්චීනව හැසිරේද බලන්න ("අපේ හාමුදුරුවනේ" කියමින් පංසල් ගානේ හැමදාම බඩගාපු තිරිසන් වැඩ එමට කළ රාජ්‍ය නායකයකුද මතක් වේ). දිව්‍යලෝක, නිර්වාණය ආදි සංකල්ප හිතලු (මනඃකල්පිත සංකල්ප) පමණි. එවිට ඉබේම පව් පිං පුනර්භව ආදි සංකල්පවල වැදගත්කමද අහෝසි වේ. එකවරම ආගමිකයකුට දැන් දැනෙන්නේ මිනිසුන් යකා නටන්න පටන් ගනීවි කියාය. එහෙත් එසේ විය යුතු නැත. අප නොදන්නා පවක් පිනක් අපායක් දිව්‍යලෝකයක් අහලකටවත් වද්ද ගන්නේ නැතිව සාධාරණත්වය පිලිබඳ හැඟීමෙන් මිනිසා ශිෂ්ට කළ හැකියි. මා සිතන්නේ මානවචාරයේ තිබිය යුතු වැදගත්ම අදහස වන්නේ මෙම විග්‍රහයයි.

ඔබ සතකු (මිනිසකු) නොමැරිය යුත්තේ ඉන් පවක් සිදු වන නිසා හෝ දෙවියන් දඬුවම් කරන නිසා හෝ නොවේ. ඔබව හෝ ඔබේ ප්‍රියයකුව කවුරුන් විසින් මරනවාට ඔබ කැමතිද? නැහැනෙ. සමහරවිට ඒ ගැන සිතන විටත් බයක් හෝ කේන්තියක් එනු ඇති. ඉතිං, ඔබට සිතිය හැකියි එලෙසම අනෙක් අයද සිතන බව. එනිසා ඔවුන්ගේ ජීවිතවලට හානි නොකර ආරක්ෂා කිරීම වැදගත් බව තේරුම් ගත හැකියි. එලෙසම සොරකම් කිරීම, බොරු කීම, කේලම් කීම වැනි වැරදි යැයි අදටත් සමාජ සම්මතයන්ගෙන් වැලකී සිටිය හැකිය. මේ සඳහා කිසිදු ආගමික ඉගැන්වීමක් අවශ්‍ය වූයේ නැත.

යමෙක් ඔබ කරදරයක සිටින විට උදව් කරන විට ඔබට කොතරම් සහනයක් දැනේද? ඔබටත් අනෙක් අයට උදව් කිරීමට එය පෙළඹවීමකි. පිං යන සංකල්පය මෙහිදී අමුතුවෙන් අවශ්‍ය නැත. ඔබ බොහෝ වෙලාවක් සිටගෙන සිටි. දැන් කකුල් රිදීම නිසා බිම හිඳ ගනී. ඔබට කොතරම් සහනයක් දැනේද? එහෙත් සිටගෙන සිටීම හෝ කකුල් රිදීම හෝ බිම හිඳ ගැනීම හෝ පවක් හෝ පිනක් ඇති කළාද? නැත. ඒවා හුදෙක් ක්‍රියා හා සිද්ධි පමණි. මිනිසුන් අතර අන්තර්ක්‍රියාද එබඳුය. පව් පිං නොව, එකිනෙකාට සහනයක් සාමයක් ඇතිව ජීවත් වීමයි අවශ්‍ය වන්නේ.

තවද, පව් පිං ගැන හැඟීමක් නැතිව දැනටත් මිනිසුන් කොතරම් ශීලාචාර වටිනා දේවල් සිදු කරනවාද බලන්න. ගස් කපන්නට බුද්ධිමත් සමාජය කොතරම් මැලිකමක් දක්වනවාද බලන්න. හොරෙන් ගස් කපන එවුන්ව අන්තර්ජාලය තුල පට්ට ගසයි. එහෙත් ගහක් කපන එකේ පවක් නැත. එසේ නම්, පවක් නැහැනෙ එහෙනම් අපිත් කපමු යැයි මිනිසුන් රොතු පිටින් ගස් කපා රට කාන්තාරයක් බවට පත්ව ඇත්ද? නැත. ගසක හා පරිසර සමතුලිතතාව පිළිබඳ යම් හෝ අවබෝධයක් තිබෙන නිසා ඉන් වැලකී සිටී. එවැනිම තත්වයන් ඇති කළ හැකියි ආගම්වල පව්පිං ආදි සංකල්ප යොදා නොගෙනම. මානවාචරය තුල වැදගත්ම දේ විශ්වාසදායි දැනුම හා අවබෝධයයි.

මෙවිට හොඳ නරක යන සංකල්ප නිර්වචනය කරනු ඇත්තේද පොදු සමාජය විසින්මයි. එය කලින් කලට සමාජ ප්‍රවණතා හා දියුණුව සමඟ වෙනස්ද වේවි. එය ඉතා හොඳ තත්වයකි. මානවචාරය සංස්කෘතියේම අංගයක් බවට පත් විය හැකිය.

මෙවැනි චින්තන ධාරාවක ආගම්වල තිබෙන පරස්පරතා නැත. උදාහරණයක් ලෙස, කෙනෙකුට රිඳවීම ආගමක පවක් ලෙස සලකනු හැකිය. එහෙත් ගුරුවරයකු තම ශීෂ්‍යයකුට පහර දීමත් රිදවීමකි. එහෙත් කෙනෙකු එවිට කියනවා එය එසේ නොවේ මොකද ළමයාට යහපතක් කරනු රිසියෙන් එය කළ නිසා කියා (චේතනාව). එහෙත් ශීෂ්‍යන්ට එසේ එක්වරක් හෝ පහර දුන් ගුරුවරයකුගේ අභ්‍යන්තරයෙන් අවංකව තර්ක කර බැලුවොත් කියාවි ළමයාට පහර දුන් වෙලේ මෛත්‍රිය උතුරා ගොස් තිබුණාද කේන්තියෙන් රත් වී සිටියාද කියා. මෛත්‍රියෙන් පහර දිය හැකි මානසිකත්වයක් ඇති වන හැටි කාට හරි පැහැදිලි කළ හැකි නම් මා එය අසා දැනගැනීමට රිසිය. මෙවැනි තර්ක හුදු තර්කම පමණි. තමන් බෙහෙවින් ඇලුම් කරන යමක තිබෙන පරස්පරතා දැකීමට විවෘත මනසක් නැති බොළඳ තර්ක පමණී. එයද මිනිස් ගතියකි.

එහෙත් මානවචාරය තුල එවැනි පරස්පරතා තිබීමට අවශ්‍යතාවක් ස්වාභාවිකවම නැත. එය කාගේවත් බූදලයක් නොවේ. අහවල් ලෙසම පැවතිය යුතු යැයි නීති හෝ ප්‍රඥප්ති හෝ කොන්දේසිද නොවේ. එය බහුතරයකගේ හෘද සාක්ෂිය අනුව වෙනස් විය හැකි දියුණු විය හැකි දෙයකි. උදාහරණයක් ලෙස, ත්‍රස්ත්වාදියකුව ඝාතනය කිරීම ගමු. ඒ සඳහා රණවිරුවකු ඉදිරිපත් වී සිත් තැවුලක් නැතිවම සමාජයට යහපතක් කිරීමේ අරමුණින් ත්‍රස්තවාදියාව මරා දමාවි (මරණ මොහොතේ කේන්තියෙන් එය සිදු කරාවි; පවක් නැත; යහපතක් ඔහු සිදු කළේය කියා තමන්ටත් දැනෙන අතර සමාජයත් පසසාවි; එච්චරයි.)

තමන් වරදක් කළ විට, පළමුව තමන් සතුව සබුද්ධික මනසක් ඇත් නම් තම හෘද සාක්ෂිය විසින්ම තමන්ව ඉන් පෙලන අතර, ඊට අමතරව, එය සමාජ ක්‍රියාකාරිත්වය විසින්ම තමන්ගේ වරද ගැන පසුතැවෙන හෝ අපහසු තත්වයක් ඇති කරාවි. අමුතුවෙන් පවක් අවශ්‍ය නැත. වරදේ ස්වභාවය පීඩාකාරි වැඩි නම්, සිරගෙයක සිටීම දක්වා  එම අපහසුතාව වැඩි වේවි. දෙවියන් හෝ කර්මය හෝ තිබේ යැයි කියනා පිරිස සිටින අද සමාජයෙත් ප්‍රායෝගිකව සිදු වන තත්වය එය නොවේද බලන්න. කෙනෙකු ඔබට විශාල අනර්ථයක් සිදු කළ විට, ඔබ කියාවිද ඌ පවක් කර ගත්තා ඌට දඬුවම් කරන්න එපා පස්සේ කාලෙක කර්මය පල දේවි කියා (එවැනි බෝධිසත්වයකු මා අද තෙක් දැක නැත).

පොදු මානව දැනුම (විද්‍යාව) වැදගත් කොට මානවචාරය තුල සැලකේ. ඊට හේතුව ලෝක යථාර්ථය කවදා හෝ දැන ගන්නා තෙක් (එසේ දැනගත හැකි නම්), ප්‍රායෝගික විශ්වාසදායි දැනුම සමඟ වැඩ කිරීම හැම අතින්ම යහපත් නිසා. පිලිගත්තත් නොගත්තත් අදටත් ආගම් අදහන හා නොඅදහන අය කරන්නෙත් එය තමයි. එහෙත් එය පිලිගැනීමට මැලි වෙති.

මානවචාරයේ වැදගත්ම තවත් අංගයක් වන්නේ එය තවත් ආගමක් හෝ දර්ශනයක් නොවීමයි. අහවල් දේ පිලි ගන්න හෝ නොගන්න කියා ඉන් කියන්නේ නැත. එහෙත් ඔබ උපන්දා සිට ලබපු අත්දැකීම් හා බුද්ධිය අනුව දේවල් ගැන සිතා බලා සාධාරණ වන්න යැයි ඉන් කියයි (අනියමින් එය තමයි මානවචාරය තුල කියන්නේ). ඔබට යමක් තව මොහොතකින් කරන්නට ඇත්නම් හා එය කිරීමට ක්‍රම කිහිපයක් ඇත්නම්, පහසුම හොඳම ක්‍රමය නේද ඔබ භාවිතා කරන්නේ? එලෙසම ජීවිතය හෝ ලෝකය හෝ වෙනත් ඕනෑම දෙයක් ගැන ඔබට විවිධ දේවල් සිතෙන විට, තමන්ගේම ඥානයෙන් දැනෙන ප්‍රායෝගිකව විශ්වාසදායි ලෙස දන්නා දෙය ගැන විශ්වාසය තබන්න. පරමාදර්ශ ඉදිරියටත් පවතීවි. එ්වා හුදෙක් අපේ ජීවිත සඳහා එලිය ලබා දෙන පහන් ටැඹවල් වැනිය. අවස්ථාවේ හැටියට තමන්ගේ බුද්ධියේ හැටියට ගත හැකි හොඳම ක්‍රියාව සිදු කිරීමයි වැදගත් වන්නේ.

Comments

  1. Wadagat lipiyak..confuse wela inna dawaswalama meka kiyawanna labuna eka hodai..hari waradda tamange akalpa ekkama badila tye..hardashakshiyai balawat..

    ReplyDelete
    Replies
    1. hm... maanavachaaraya harima sahallui ha saadaaranai. hithala baluwoth therei... ape jeewitha wala parasparatha thibena bawa danenne wiwida agamika ha venath darshana osse sitha katayuthu kirimata yema nisai...

      Delete
  2. මේ බ්ලොග් අඩවියෙන් මා බලාපොරොත්තු වූ ආකාරයේ ලිපියක්. බොහොම ස්තුතියි ඔබතුමාට.

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

ඉලෙක්ට්‍රෝනික්ස් II (Electronics) - 6

විශේෂ ප්‍රතිරෝධක ඉහත සාකච්ඡා කළ නියත හා විචල්‍ය ප්‍රතිරෝධක හැරුණහම , තවත් සුවිශේෂී ජනප්‍රිය ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ද තිබෙනවා . මේවා ආලෝකය , උෂ්ණත්වය වැනි විවිධ භෞතික රාශින්ට සංවේදී ප්‍රතිරෝධකයි . මේ අතරින් සුලභම වර්ගය තමයි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක වර්ගය . මේවා ප්‍රකාශ - ප්‍රතිරෝධක (photoresistor) හෝ “ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක” (Light Dependent Resistor – LDR) ලෙස හැඳින් වෙනවා . එහි සාමාන්‍ය භාහිර හැඩය පහත දැක්වේ .   මෙම ප්‍රතිරෝධයේ හිස මත තිබෙන්නේ ආලෝකයට ඉතා සංවේදී කැඩ්මියම් සල්ෆයිඩ් (CdS), ලෙඩ් සල්ෆයිඩ් (PbS), කැඩ්මියම් සෙලිනයිඩ් (CdSe) ආදී යම් රසායනික ද්‍රව්‍යයකි . එම ද්‍රව්‍යයන්වල ඉතා ඉහල ( බොහෝවිට 500k ohm වැනි ) ප්‍රතිරෝධි අගයන් තිබේ . එහෙත් ඒ මතට ආලෝකය වැටෙන විට , ප්‍රතිරෝධි අගය සීඝ්‍රයෙන් පහළ යයි ( බොහෝවිට ඕම් 500 වැනි ). මෙහිදී කිව යුතු වැදගත් කරුණ නම් , ඉහත සඳහන් කළ ( හා නොකළ ) ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය එකම ආකාරයෙන් ආලෝකයට සංවේදී නොවේ . සමහර ඒවා “ආලෝකයේ රතු පැත්තට” ( ඒ කියන්නේ දිගු තරංග ආයාම සහිත ආලෝකයට ) සංවේදිතාව දක්වන අතර , තවත් සමහර ඒවා “ආලෝකයේ නිල් / ද...

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...