Skip to main content

මෝහනය / mohanaya (Hypnosis) - 25

මවිසින් ඉංග්‍රිසි බසින් ලියා ඇමසන් හි ප්‍රකාශයට පත් කළ මෝහනය මුල සිට ක්‍රමානුකූලව උගන්වන අත්පොත පහත ලින්ක් එක මත ක්ලික් කර දැන් නිවසටම ගෙන්වා ගත හැකිය.

https://www.amazon.com/dp/B0851MHRSM

 

මනෝව්‍යාධින් හා විකෘති මානසික තත්ව කිහිපයක්

පහත දැක්වෙන්නේ නිතර අසන්නට කතා කරන්නට සිදුවන මානසික ආබාධ කිහිපයකි. තනි තනි මානසික රෝගවලට තනි තනි නම් (disorder ලෙස ඒවා බොහෝ විට අවසන් වේ) තිබෙන අතර, පොදු ලක්ෂණ ඇති රෝග එකට ගොනුගත කර (group) ඒ ඒ රෝග ගොනුවලටද නම් (disorders යන බහුවචන ස්වරූපයෙන් එම නම් අවසන් වේ) ලබා දී ඇත. උදාහරණක් ලෙස, ස්කිසොෆ්‍රීනියා, ඩිලූෂනල් ඩිසෝර්ඩර් යනු මානසික රෝග දෙකක් වන අතර, එම රෝග දෙකම සයිකොටික් ඩිසෝර්ඩර්ස් යන රෝග ගොනුව යටතේ පවතී. මුළු ලෝකයේම පිළිගැනීම ඇතිව, මානසික රෝග නිශ්චය කිරීමේ (ඒවා වර්ගීකරණයට ලක් කිරීම, ඒවායේ ගති ලක්ෂණ නිර්ණය කිරීම ආදිය) බලය ඇත්තේ ඇමෙරිකානු මනෝවිද්‍යා සංගමයටයි (American Psychiatric Association - APA). ඔවුන් විසින් කලින් කලට ලොවපුරා සිටින මේ විෂය ගැන විශේෂඥයින්ගේ සහය ඇතිව මානසික රෝග ගැන පුළුල් අධ්‍යයනයක් සිදුකොට නවීනතම දත්ත අනුව මානසික රෝග වර්ගීකරණය කරයි. සමහරවිට යම් කාලයක මානසික රෝගයක් යැයි සිතා සිටි දෙයක් මානසික රෝගයක් නොවේ යැයිද, එසෙත් නැතිනම් රෝගයක පැරණි නමක් වෙනුවට අලුත් නමක් ලබා දීම, යම් යම් රෝග අලුතින් හඳුන්වාදීම, රෝගයක් පැවැති ගොනුවෙන් ඉවත් කර වෙනත් ගොනුවක් තුළට ඇතුළු කිරීම, කලින් තනි රෝගයක් ලෙස තිබූ එක රෝග කිහිපයක් ලෙස වෙන් කිරීම ආදී වෙනස්කම් මෙම ක්‍රියාවලියේදී සිදු වේ. මෝහනයද මානසික තත්වයන් සමග ක්‍රියා කරන ක්ෂේත්‍රයක් නිසා, මෙවා ගැන කෙටියෙන් හෝ දැන සිටීම වටිනවා යැයි මා විශ්වාස කරනවා. මෙම වචන හා සංකල්ප දැනහැඳින ගන්න.
  • hysteria - මෙම නම වර්තමානයේ නිල වශයෙන් නොයෙදීමට සුදුසු යැයි කීවත් තවමත් බොහෝ දෙනා භාවිතා කරන ප්‍රසිද්ධ වචනයකි. අතීතයේ මෙම හිස්ටීරියා යන තනි වචනයෙන් හඳුනාගත් මානසික රෝගය වර්තමානයේ මානසික රෝග වර්ග දෙකකට කඩා ඇත.

    ඉන් එකක් somataform (හෝ psychosomatic) disordersලෙස හැඳන්වෙන රෝගි තත්වයයි (මෙය රෝග ගොනුවකි. මේ යටතේ තවත් එක එක නම්වලින් හැඳින් වෙන රෝග ගණනාවක් තිබිය හැකියි). හුදෙක්ම මානසික හේතු නිසා ශාරීරිකව යම් යම් රෝග ලක්ෂණ මතුවීම මෙමගින් සිදු වේ. උදාහරණ ලෙස, සමහර කුඩා ළමුන්ට පාසල අප්‍රසන්න වූ විට, ඔවුන්ට උදේට බඩ කොරවීම හෝ ඔලුව කැක්කුම් ඇති විය හැකියි. යම් යම් මානසික පීඩා ඇති විටක ඇඟේ පළු දැමීම විය හැකියි. මෙම රෝගවල විශේෂත්වය වනුයේ බැලූ බැල්මට මානසික රෝග ලෙස ඒවා නොපෙනීමයි. සමහර අවස්ථාවල හිටි හැටියේ කෙනෙකුගේ ඇස් නොපෙනී යෑම, කන් නොඇසීම ආදීයද සිදුවිය හැකිය. එවිට බැලූ බැල්මට සිතෙන්නේ මෙය ස්නායු රෝගයක් විය හැකි බවයි. වෛද්‍ය පරීක්ෂණ කර කිසිදු භෞතික රෝගකාරකයක් සොයා ගැනීමටද බැරි වේ. සමහර කාන්තාවන්ට දරුඵලද නැති වීමට සොමැටෆෝම් තත්වය බලපායි. ස්වාමියාගේ හා බිරිඳගේ වෛද්‍ය වාර්ථාවල කිසිම ප්‍රශ්නයක් නොපෙන්නුවත් දරුවන් හටගන්නේ නැති වෙන්නට පුළුවන් (එල්මන් එවැනි කාන්තාවන්ට හිප්නොතෙරපි කළ ආකාරය ඔහුගේ පොතේ සඳහන් කරයි). ඇත්තට අපට හීනෙන්වත් සිතා ගැනීමටවත් අපහසු ආකාරවලින් සොමැටෆෝම් රෝග පැවතීමට හැකිය.දෙවැනි රෝග වර්ගය dissociative disorders ලෙස හැඳින් වේ (මෙයද තනි රෝගයක නමක් නොව රෝග ගණනාවක් ඇතුළත් රෝග ගොන්නකි). මෙය නමින්ම කියන පරිදි “නියම තමන්ගෙන්” වෙනස් වූ කෙනෙකු බවට පත්වීමකි. එනම්, තමන්ගේ සාමාන්‍ය මතකය, තමන්ගේ නියම අනන්‍යතාව (identity), තමන්ගේ සත්‍ය සවිඥානකත්වය (conscience) යන ඒවායෙන් වෙනස් වූ (dissociate) තත්වයක් ඇති වීමයි. යක්ෂයන් දෙවියන් භූතයන් ආරූඪ වීම් ආදිය මීට ඇතුළත් වේ. තමන් දෙවි කෙනෙකු ලෙස හෝ තමන් දැනට වසර ගණනවාකට පෙර සිටි අහවල් රජ්ජුරුවන්ය තමන් බුදු හෝ රහත් වූවා කියා කියන අයත් බොහෝ විට මෙම රෝගයෙන් පෙළෙන අයයි. තමන් කතරගම දෙවියන් හෝ හොල්මනක් හෝ රාවණාව හෝ දැක්කා, අහවල් දෙවියන් මට කතා කළා ආදී ලෙස කියන අයත් මීට ඇතුළත් විය හැකියි.

    හිස්ටීරියා ළඟින්ම යන තවත් මානසික රෝගි තත්වයක් තමයි mass hysteria කියන්නේ. මෙහිදී සුළු හිස්ටීරියා තත්වයක් විශාල පිරිසකට එකවර ඇති වෙනවා. මෙහිදී යම් රෝග ලක්ෂණයක් එකවරම පිරිසක් තුළින් මතු වීම මෙහි ඇති විශේෂත්වයයි. එම පිරිස පාසලේ පංතියක් හෝ මුළු පාසලකම පිරිස හෝ සම්පූර්ණ ගමක් වුවද විය හැකියි. මෑත භාගයේ රූපවාහිනිවල මෙවැනි අවස්ථා කිහිපයක් වාර්තා වූවා. එක් පාසලක ළමුන් බොහෝ දෙනෙකුට කසන රෝගයක් ඇති වූවා. යම් ගමක බොහෝ දෙනෙක් යම් හොල්මන් කාන්තාවක් දැක්කා. මේ අවස්ථා දෙකම මෑස් හිස්ටීරියා තත්වයන්ය.
  • OCD (Obesession and Compulsion Disorder) - මෙයත් අපූරු මානසික රෝගයක්. යම් දෙයක් සිතන එක හෝ කරන එක නොනවත්වාම දිගින් දිගටම කරන්නට පෙළඹවීම මින් සිදු වේ. යම් නිශ්චිත දෙයක් කිරීමට (හෝ එය නොකර සිටීමට) ඔහුට දැඩි ඕනකමක් ඇති වී එය කරයි (හෝ නොකරයි). එමගින් ඔහුගේ කාංසා තත්වය අඩු වේ. එහෙත් ටික වෙලාවකින් නැවත කාංසාව ඇති වේ. එවිට නැවත එම දෙයම කරයි. මෙය ඉවරයක් නැතිව නැවත නැවත සිදු වේ. බොහෝම ප්‍රසිද්ධ උදාහරණය නම් කෙනෙකුගේ අත් දවසට සිය වාරයක් පමණ සෝදන තත්වයයි. කොච්චර හේදුවත් මදි යැයි හෝ පිරිසිදු වූවා මදි යැයි සිතේ. මෙය සුළු මට්ටමේ සිට ජීවිතය පවත්වාගෙන යෑමට බාධාවෙන තරමටම දරුණු අවස්ථාව දක්වා පරාසයක විහිදේ. විෂබීජවලට, මිනිසුන්ට, අපිළිවෙළට ඇති නිරන්තර බිය, අනර්ථයක් ඇති වේවි, තමන්ට වරදීවි යැයි නිරන්තර බිය ආදී යම් අනිසි බියක් මේ අයට ඇති වේ. එසේත් නැතිනම් යමක් ඉස්තරම්ම විධියට පරිපූර්ණ විධියට හෝ සමමිතික ආකාරයකට පවත්වාගෙන යෑමට ඇති අත්‍යන්ත ආශාවක් ඇත. එවිට ගෙදරින් එලියට බහින්නේ නැති වන්නට පුළුවන්. මිනිසුන්ව මග හරින්නට මිනිසුන්ගේ මුහුණු දිහා නෙැබැලීමට වැලිකැටයක් පෑගුනත් කකුල් වහම සේදීමට, දිනකට විසි තිස් වතාවක් ඇග සේදීමට ආදී දේවල් මේ අය සිදු කරයි. සමහරවිට, නිරන්තර සැකයද (බිරිඳ, ස්වාමියා, තමන්ගේ මිතුරා ආදි අය කෙරෙහි) මීට ඇතුළත් වේ. අවශ්‍ය හා අනවශ්‍ය (ගෙදරට ගේන සැමන් ටින් එකක හිස් ටින් පවා) දේවල් විසි නොකර එකතු කිරීම, යම් දෙයක් කරන විට එක් නිශ්චිත විධියකට පමණක් එය සිදු කිරීම (උදාහරණයක් ලෙස, පළමුව වම් කකුලට සපත්තුව දමා දකුණු කකුලට සපත්තුව දැමීම; වෙනස් විධියට එය කිරීම තමන් අපරාධයක් කරනවා වැනි හැඟීමක් ඇති වේ.), යම් වචනයක් හෝ වචන ඛණ්ඩයක් නිතර නිතර කිසි තේරුමක් නැතිවම කියවීම, යමක් සිදු කළ පසු කිහිප සැරයක්ම නැවත නැවත එය සොයා බැලීම (උදාහරණක් ලෙස දොරේ අගුල දැමූ පසු නැවත නැවත එය දැම්මාදැයි සොයා බැලීම), යමක් කරන විට එය ගණිමින් යම් නිශ්චිත ගණනක් දක්වා ගණන් කරන තෙක් එය සිදු කිරීම (උදාහරණක් ලෙස පනිට්ටුවෙන් නාන විට, අච්චර බාල්දි ගාණක් පමණක් නෑම), කාමරය හෝ මේසය මත දේවල් එක්තරා පිළිවෙළකට පමණක් පවත්වාගෙන යෑම (එහි කුඩා හෝ වෙනසක් ඇති වූ විට විශාල අපහසුතාවක් ඇති වේ) ආදී තත්වයන්ද මීට අදාල වේ. මේ ලෙස විමසා බලන විට, බොහෝ මෙවැනි තත්වයන් දැන් ඔබට සිතා ගත හැකියි නේද?
  • Depression (විසාදිය) - තමන්ට සිදුවන දුකක් කරදරයක් පීඩාවක් නිසා ඇති වන සිත් තැවුල් ස්වාභාවකය. බොහෝ විට ටික වේලාවකින් ඒවා පහව යනවා. එහෙත් සමහර අවස්ථාවල මෙම තත්වය දිගින් දිගටම පැවතිය හැකියි. මෙය විසාදිය ලෙස සරලව හඳුනාගත හැකියි. සිතේ සතුටක් නැති වීම, තෙහෙට්ටු ගතියක් නිතරම පැවතීම, වීර්ය හා තමන් ගැන තිබෙන ආත්ම විශ්වාසය අඩු වීම, අවට සිදුවන දේවල් ගැන එතරම් හැඟීමක් නොපැවතීම, ගොඩක් අඩුවෙන් හෝ ගොඩක් වැඩියෙන් නිදා ගැනීම, ගොඩක් අඩුවෙන් කෑම (එවිට බලන් ඉදිද්දීම බර අඩු වී කෙට්ටු වේ) හෝ ගොඩක් වැඩියෙන් කෑම (මහත් වේ), විනෝදශීලි නොවීම, මතක තබා ගැනීමේ හැකියාව අඩු වීම, හා කෙටියෙන්ම කියතොත් ඔහේ ඉන්නවාට ඉන්න සිතෙන තත්වයක් මින් ඇති වේ. ඒ විතරක් නොවෙයි, මෙහි ඇති භයානක කම නම් සියදිවි හානි කර ගැනීමටද සිතීමට හැකිය.
  • Stress (ආතතිය) - මෙය රෝගි තත්වයක් නොවේ. එහෙත් ඕනවට වඩා ආතතිය දිගින් දිගටම පැවතියොත් එය ජීවිතය බෙලහීන කරන වෙනත් මානසික හා කායික රෝග ඇති කරන රෝගී තත්වයකි. එය adjustment disorders හෝ stress response disorders ලෙස හැඳින් වේ. කුඩු හෝ වෙනත් දේකට ඇති ඇබ්බැහිවීම්ද (addiction) මේ යටතට ගත හැකියි. ආතතිය යනු තමන්ට කළ නොහැකි පමණට අධිකව වැඩ කිරීමට සිදු වීමයි. මින් මිදීමට ඇති හොඳම ක්‍රමය නම් විද්‍යාත්මකව (ප්‍රායෝගිකව) විශ්ලේෂණය කොට තමන්ට කළ හැකි වැඩ කොටසක් පමණක් සිදු කිරීමයි. බොරුවට කරන්නට බැරි තරම් වැඩ බදාගත්තට (පැවරුවාට) ඒවා නිසි ලෙස කළ නොහැකි නම් කාටත් ඉන් ප්‍රයෝජනයක් නැත; ලෙඩුන් බවට පත් වෙනවා හැරෙන්නට. තවද, කාලය කළමනාකරණය කරගැනීමත් වැදගත්. ඇත්තටම අපේ ජීවිතයේ යම් පමණකට ආතතියක් අවශ්‍ය වේ. ඔබ කඩිසරව යමක් කරන්නට පෙළඹෙන්නේ ආතතිය නිසාය.
  • Anxiety (කාංසාව) - මෙයද රෝගි තත්වයක් නොවේ. ආතතිය මෙන්ම මෙය ජීවිතයට අත්‍යවශ්‍යයි උද්‍යෝගයෙන් සමහර දේවල් සිදු කිරීමට. උදාහරණක් ලෙස ඔබට මෙය පොඩ්ඩක් හෝ නොතිබුණොත් විභාගයකට පාඩම් නොකරනු ඇත. එවිට විභාගයෙන් අසමත් වේවි. එහෙත් මෙය අනවශ්‍ය ප්‍රමාණයට පැවතියොත් එය මානසික රෝගයකි. යමක් ගැන ඇතිවන සාධාරණ බිය, යමක් මීට පෙර කර නොමැති විට සිතේ ඇතිවන අපහසුතාව, යම් තීරණයක් ගැනීමේදී ඇතිවන දෙගිඩියාව ආදී අවස්ථා සාංකා (සාංකාව හා කාංසාව යනු එකම තේරුම ඇත) තත්වයන් වේ. මෙවැනි අවස්ථාවකදී අපට සිතෙන්නේ එම තත්වයන් මග හැර සිටීමටමයි නේද? ජීවිතයේ සෑම ලොකු කුඩා තීරණයක් හමුවේම ඔබට මොහුව හමු වේ. ඔහුට බිය වූ විට ඔබේ ජීවිතය එක තැන පල් වේ. එහෙත් නොබියව මුහුණ දුන් විට ජීවිතය ඉදිරියට ගමන් කරයි. ඉහතකදී කතා කළ භීතිකාද බොහෝ විට anxiety disorders යටතට වැටේ. සාංකා රෝග දරුණු මට්ටමට එන විට පපුවේ අමාරුව පවා ඇති විය හැකියි. අධික ලෙස දහඩිය දමයි. මෙවැනි දරුණුවට ඇති සාංකා අවස්ථාවන් panic attack ලෙස හැඳින් වෙන අතර, රෝගයක් ලෙස එය panic disorder ලෙසද හැඳින් වේ.
  • ADHD (Attention Deficiency Hyperactivity Disorder) - මෙය බොහෝ විට කුඩා ළමුන් අතර පවතී. යමක් කෙරෙහි යම් කාලයක් අවධානය යොමු කරගෙන සිටීමට ඇති අපහසුතාව හා/හෝ අධික ලෙස “දඟකාර” වීම මින් අදහස් කෙරේ. “නළියනවා” යැයි කටවහරේ කියන්නේ මෙවැනි තත්වයක්. ඇත්තටම මෙම අර්ථ දැක්වීම ගැටළු නැතිවා නොවේ. බොහෝ අය කුඩා කාලයේ දඟකාරයි. එය මිනිසාට පමණක් නොව සතුන්ටද එලෙසයි. මෙයම හෝ මීටම ආසන්න මානසික රෝගි තත්වය ADD (Attention Deficiency Disorder) ලෙසද හැඳින් වේ.
  • PTSD (Post Traumatic Stress Disorder) - කෙනෙකු ඉතා බිහිසුනු අත්දැකීමකට (ලිංගික දූෂනයකට, දැඩි පහරකෑමකට, යුධමය අත්දැකීමකට, අනතුරකට පත්වීම, සමීප කෙනෙකුගේ මිය යෑම ආදිය) මුහුන දුන් පසු, එය ජීවිතයේ පසුකාලීනව බලපෑම් ඇති කරනවා. නින්දෙන් බය වී කෑ ගැසීම, නිරත බිය මුසු හැඟීම් පැවතීම, එම සිදුවීම නැවත නැවත හිටිහැටියේ සිදුවෙනවා සේ දැනීම ආදිය ඇති විය හැකිය. යුධ කාලවලදී දරුණු යුද්ධ වලට සහභාගී වූ සෙබළුන්ට මෙම රෝගය වැළඳීමේ හැකියාව ඉහළයි. බිය, වරදකාරි හැඟීම (guilt), ආදී තත්වයන් එවැනි අයට ඇති වේ.
  • psychotic disorders - මෙය තරමක් භයානක තත්වයකි. (සාමාන්‍ය ව්‍යවාරයේ “පිස්සු” යැයි පවසන අය බොහෝ විට වැටෙන්නේ මෙම ගණයටයි. ඇත්තටම මානසික රෝග හාර පන්සිය ගණනක් හඳුනාගෙන ඇතත් ඉන් කිහිපයක් පමණි මෙලස “පිස්සු” යැයි පවසන මට්ටමේ පවතින්නේ. ඇත්තටම ආතතිය වැනි සමහර මානසික රෝග “ඉහළ පැලැන්තියට හැදෙන වැදගත්” රෝග ලෙසද යම් (වැරදි) හැඟීමක් පවතී.) මෙහි ඇති ප්‍රධාන ලක්ෂණ කිහිපයක් ඇත. එනම්, සාමාන්‍ය අයට නොඇසෙන නොපෙනෙන නොදැනෙන දේවල් මේ අයට ඇසෙනවා පෙනෙනවා දැනෙනවා යැයි පවසනවා. මෙය hallucination ලෙස හැඳින් වෙනවා. සමහර මත්කුඩු භාවිතා කරන විටත් මෙවැනි හලුසිනේෂන් ඇති විය හැකියි. දෙවියන් හා සමග කතා කිරීම, සුරංගනාවියක සමග ආදර සම්බන්ධතා ඇති කර ගැනීම ආදිය ඒ සඳහා උදාහරණ වේ. තවත් ලක්ෂණයක් නම් delusions ලෙස හැඳින් වෙන තත්වයයි. එනම්, අප කාටත් වැරදියි යැයි තේරෙන බොහෝ දේවල් හරි යැයි ඔවුන් පිළිගන්නවා. උදාහරණක් ලෙස, පොලොව සූර්යා වටේ ගමන් කරනවා යැයි අප කවුරුත් දන්නා කරුණක් වුවත්, එවැනි රෝගියෙක් සමහරවිට එය පිළි නොගෙන නැහැ සූර්යා පොලොව වටා ගමන් කරනවා යැයි දැඩිව විශ්වාස කරන්නට පුළුවන්. Schizophrenia (භින්නොන්මාදය) යනු මෙම රෝගි කාණ්ඩයට වැටෙන එවැනි එක් දරුණු රෝගයක්. මීට අමතරව ඉහත ඩිලූෂන්ස් පමණක් සහිත (බොහෝ විට කෙටි කාලීන) රෝගි තත්වය delusional disorder ලෙස හැඳින් වේ (එයද සයිකොමැටික් රෝග කාණ්ඩයටම වැටේ).
  • mania - මෙය සාමාන්‍ය ව්‍යවහාරයේ “යම් දේකට පිස්සුවක් මෙන් ඇති දැඩි කැමැත්ත” සේ බොහෝ දෙනෙකු විසින් භාවිතා වේ. මෙය ඇත්තටම රෝගයකට වඩා යම් යම් රෝගයන් සමග ඇති වන රෝග ලක්ෂණ සමූහයකි. මනෝභාවය (mood) සාමාන්‍ය කෙනෙකුට වඩා උච්ඡ ස්වභාවයක් ගනී. ශාරීරිකව මෙන්ම මානසිකව යම් කටයුත්තක (සිතුවිල්ලක) නොනැනවතී යෙදී සිටී. තමන් ගැන ඉතා දැඩි අධි තක්සේරුවක සිටී. ඉතා සතුටින් සිනහසෙමින් නිතරම සිටියත් කුඩා දේකින් වුවත් එකවරම දැඩි කෝපයකට එදිරිවාදිකමකට පත් වේ. කතාව ඉක්මන් වේ. බොහෝවිට ලිංගික ආශාව වැඩිය (නිතරම ලිංගික තෘප්තිය ලැබීමට පෙළඹේ ස්වයං වින්දනය සිදු කර හෝ). දවසේ විවිධ වේලාවන්හි මූඩ් එක කැපී පෙනෙන ලෙස වෙනස් වේ. ජීවිතයේ වෙනත් වැදගත් කටයුතු අතපසු කරමින් ඒවා ගැන තැකීමක් නොකරම තමන් කැමති දේවල්ම සිදු කිරීමට පෙළඹේ. මෙය බැලූ බැල්මට ඩිප්‍රෙෂන් එකේ ප්‍රතිවිරුද්ධ ස්වභාවයක්.
  • Bipolar disorder - මෙහි නමින්ම කියවෙන පරිදි කෙනෙකු මානසික අවස්ථා දෙකක් අතර දෝලනය වීමකි. මේ අවස්ථා දෙක වන්නේ මේනියා හා ඩිප්‍රෙෂන් එකයි. බොහෝ විට ඔහු සාමාන්‍ය මානසික ස්වභාවයෙන් සිටී. මේනියා තත්වයේ සිටින කාලයේදී ඔහු විනෝදශීලි, අපරික්ෂාකාරී කෙනෙකු වන අතර, ඩිප්‍රෙෂන් තත්වයේ සිටින විට සම්පූරණයෙන් ඊට ප්‍රතිවිරුද්ධ ගති පැවතුම් ඇති මුල්ලකට වී දුක්මුසුව සිටින කෙනෙකු බවට පත් වේ.
  • psychopathy - මෙම රෝගය ඇති අය psychopath ලෙස හැඳින්වේ. නූතන විග්‍රහය අනුන මෙය දරුණු තත්වයකි. ඊට හේතුව (දැනට බෙහෙත්වලින් පවා හරිගැස්විය නොහැකි) මොලයේ පවතින යම් භෞතික දුර්වලතාවක් ලෙස එය සැලකීමයි. මෙම රෝගයේ ඇති ප්‍රධානතම ලක්ෂණය නම් අන් අය ගැන හෝ හොඳ නරක ගැන අවංක හැඟීමක් ඔවුන්ට ඇති නොවීමයි. එහෙත් ඔවුන් තමන්ගේ එම ගතිය පිටතට නොපෙන්වා සිටීමට දක්ෂයි. එමනිසා ස්වභාවයෙන්ම මෙවැනි අය පහසුවෙන් හඳුනාගත නොහැකි කපටියන් විය හැකියි. තමන්ට අවශ්‍ය තැනට කෙසේ හෝ ගමන් කරයි. කාන්තාවක සමග ලිංගිකව සිටීම මිස ආදරය කිරීම ගැන එතරම් නොසිතයි. එහෙත් ඔවුන් සාමාන්‍ය කෙනෙකුටත් වඩා කාන්තාවක් පහසුවෙන්ම රැවටීමට හැකි ආදරණීය බවක් (බොරු ආදරයක්) පෙන්වීමට සමත් වේ. තමන්ගේ ළඟම අය පවා රැවටීමට හෝ පාවා දීමට හෝ ඔවුන් පෙළඹිය හැකි අතර, එවැනි අවස්ථාවක් හෙළි වූ විට, තමන් එය නොදැනුවත්ව සිදු කළ බව හැඟවීමට හෝ හඬා දොඩා අවංකවම නැවත එවැනි දෙයක් නොකරන බවට සපත කරන්නට ඔවුන් අති සමත් වන අතර, එහෙත් නැවතත් ඒ දේම සිදු කරයි. මේ සියල්ලටම හේතුව පෙරත් සඳහන් කළ ආකාරයට ඔවුන්ට හොඳ නරක ගැන හෘදසාක්කියක් නොමැති කමයි.

මේ ආදී මානසික රෝගවලට හේතුව මොලයේ හා ස්නායු පද්ධතියේ ඇති වන දෝෂ ලෙස මනෝරෝග විශේෂඥයන් (psychiatrist) දකී. මොලය හා ස්නායු පද්ධතිය සෑදී ඇති සෛලවලට ස්නායු සෛල හෝ නියුරෝන ලෙස පවසනවා. මේ එක් එක් නියුරෝන ඊට යාබද නියුරෝන සමග සම්බන්ධ වෙනවා. ඒවා සම්බන්ධ වෙන්නේ තරමක් අමුතු ආකාරයකටයි. එනම්, එකිෙනකට සම්බන්ධ වෙන නියුරෝන දෙකක් අතර ඉතාම කුඩා හිඩැසක් පවතිනවා (හරියට පාරක් හරහා දිය පාරක්/ගඟක් වැටී පවතින්නාක් සේ). මේ නියුරෝන දෙක අතර හිඩැස හරහා සංඥා ගමන් කිරීමට නම් යම් “පාලමක්” අවශ්‍යයි නේද? මෙම පාලමේ රාජකාරිය සිදු කරන්නේ neurotransmitter නමින් හැඳින් වෙන යම් රසායනික ද්‍රව්‍යයන් මගිනි. dopamine, serotonin ආදී නම්වලින් හැඳින්වෙන එබදු නියුරොට්‍රාන්ස්මිටර් බොහෝ ගණනක් ඇත. විවිධ කාර්යන් සඳහා විවිධ නියුරොට්‍රාන්ස්මිටර් ක්‍රියා කරන අතර, ඒවා නිසි ලෙස ක්‍රියාකාරී නොවන විටදී මානසික රෝගද සෑදෙන බව සාමාන්‍ය පිළිගැනීමයි. එවිට ඔවුන් උත්සහ දරන්නේ මානසික රෝගයක් සුවකිරීමට බෙහෙත් (රසායනිකයන්) මගින් රසායනික සමබරතාව නැවත ඇති කිරීමයි. මේ අතර මනෝවිද්‍යාඥයන් හා මනෝඋපදේශකයන් එලෙස බෙහෙත් නොදී ඒවා යම් යම් මානසික ක්‍රමවේදයන් තුළින් සුවකිරීමටත් උත්සහ කරනවා.

මෝහනවේදියාද මේ අතර යම් වැදගත් තැනක් ගන්නවා මොකද ඔහු ලෙඩ සුවකරන වෛද්‍යවරයකු හෝ මනෝවිද්‍යාඥයකු නොවුණත්, මෝහනය තුළින්ද බොහෝ මානසික ව්‍යාධි තත්තයන්ට සහනයන් ලබා දිය හැකියි. ඉහත මානසික ලෙඩ ගැන මනෝවිද්‍යාව හා වෛද්‍ය විද්‍යාව තුළ කුමක් සඳහන් කළත්, ඒවා බොහෝමයක් (හෝ සියල්ලම හෝ) සඳහා මෝහනය තුළ යම් යම් ප්‍රතිකර්ම පවතින බව බොහෝ මෝහනවේදින් ප්‍රායෝගිකව ඈත ඉතිහාසයේ සිටම මේ අද දක්වාත් පෙන්වා දී තිබෙනවා. මේ කිසිවක් විද්‍යාත්මක පර්යේෂණ තුළින් තවමත් මතු කර නැත. ඊටද බොහෝ හේතු පවතී. මෝහනය මගින් ඖෂධ සමාගම් මාෆියාවට ඉන් මරු පහරක් වදිනු ඇත (මොකද කිසිදු රසායනික බෙහෙතක් මෝහන ප්‍රතිකර්ම සඳහා අවශ්‍ය නොවන බැවින්). සමහරවිට, සමහර “උගතුන්” (වෛද්‍යවරුන්) පවා තමන්ගේ පැවැත්ම හා සමාජ තත්වය (elite status) ආරක්ෂා කර ගැනීමටද මෝහනය හෙළා දැක එහි සත්‍ය වටිනාකමට ඉස්මතු වෙන්නට ඉඩ නොදෙන තත්වයක් ඇත. මෝහනයෙන් ගත හැකි විශිෂ්ඨ සේවාවන් නොගෙන පැත්තකට කර තබන්නේ මෙවැනි අදෘෂ්‍යමානව ක්‍රියාත්මක වෙන බලවේග නිසාත් ඒ ගැන සමාජය තුළ පවතින අනවබෝධය නිසා බවයි මාගේ හැඟීමත්.

Hypnosis (mohanaya) ...

Comments

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

ඉලෙක්ට්‍රෝනික්ස් II (Electronics) - 6

විශේෂ ප්‍රතිරෝධක ඉහත සාකච්ඡා කළ නියත හා විචල්‍ය ප්‍රතිරෝධක හැරුණහම , තවත් සුවිශේෂී ජනප්‍රිය ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ද තිබෙනවා . මේවා ආලෝකය , උෂ්ණත්වය වැනි විවිධ භෞතික රාශින්ට සංවේදී ප්‍රතිරෝධකයි . මේ අතරින් සුලභම වර්ගය තමයි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක වර්ගය . මේවා ප්‍රකාශ - ප්‍රතිරෝධක (photoresistor) හෝ “ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක” (Light Dependent Resistor – LDR) ලෙස හැඳින් වෙනවා . එහි සාමාන්‍ය භාහිර හැඩය පහත දැක්වේ .   මෙම ප්‍රතිරෝධයේ හිස මත තිබෙන්නේ ආලෝකයට ඉතා සංවේදී කැඩ්මියම් සල්ෆයිඩ් (CdS), ලෙඩ් සල්ෆයිඩ් (PbS), කැඩ්මියම් සෙලිනයිඩ් (CdSe) ආදී යම් රසායනික ද්‍රව්‍යයකි . එම ද්‍රව්‍යයන්වල ඉතා ඉහල ( බොහෝවිට 500k ohm වැනි ) ප්‍රතිරෝධි අගයන් තිබේ . එහෙත් ඒ මතට ආලෝකය වැටෙන විට , ප්‍රතිරෝධි අගය සීඝ්‍රයෙන් පහළ යයි ( බොහෝවිට ඕම් 500 වැනි ). මෙහිදී කිව යුතු වැදගත් කරුණ නම් , ඉහත සඳහන් කළ ( හා නොකළ ) ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය එකම ආකාරයෙන් ආලෝකයට සංවේදී නොවේ . සමහර ඒවා “ආලෝකයේ රතු පැත්තට” ( ඒ කියන්නේ දිගු තරංග ආයාම සහිත ආලෝකයට ) සංවේදිතාව දක්වන අතර , තවත් සමහර ඒවා “ආලෝකයේ නිල් / ද...

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්...