Skip to main content

තෙරුවන් සරන ගිය මාලිමාව

තවත් අපූරු ඡන්දයක් නිම විය. එය කරුණු රැසක් නිසා අපූර්ව වේ. සමහරු කියන පරිදි රදලයන්ගේ දේශපාලනයේ අවසානයක් (තාවකාලිකව හෝ) ඉන් සිදු විය. වැඩ කරන ජනයාගේ, නිර්ධන පංතියේ නායකයෙකු හා පක්ෂයක් බලයට පත් වීමද සුවිශේෂී වේ. රටේ මෙතෙක් සිදු වූ සකල විධ අපරාධ, දූෂන, භීෂන සොයා දඩුවම් කරනවා යැයි සමස්ථ රටවැසියා විශ්වාස කරන පාලනයක් ඇති විය. තවද, බහුතර කැමැත්ත නැති (එනම් 43%ක කැමැත්ත ඇති) ජනපතිවරයකු පත් විය. ජවිපෙ නායකයෙක් "තෙරුවන් සරණයි" කියා පැවසීමත් පුදුමය. මේ සියල්ල ලංකා ඉතිහාසයේ පලමු වරට සිදු වූ අපූරු දේශපාලන සංසිද්ධි වේ. මාද විවිධ හේතුන් මත අනුරට විරුද්ධව මෙවර තර්ක විතර්ක, සංවාද විවාද, හා "මඩ" යහමින් ගැසූ තත්වයක් මත වුවද, ඔහු දැන් රටේ ජනපති බැවින් ඔහුට පලමුව සුබ පතමි.  ඔහුට විරුද්ධව වැඩ කලත්, මා (කිසිදා) කිසිදු පක්ෂයකට හෝ පුද්ගලයකුට කඩේ ගියේද නැති අතර අඩුම ගණනේ මාගේ ඡන්දය ප්‍රකාශ කිරීමටවත් ඡන්ද පොලට ගියෙ නැත (ජීවිතයේ පලමු වරට ඡන්ද වර්ජනයක). උපතේ සිටම වාමාංශික දේශපාලනය සක්‍රියව යෙදුනු පවුලක හැදී වැඩී, විප්ලවවාදි අදහස්වලින් මෙතෙක් කල් දක්වා සිටි මා පලමු වරට සාම්ප්‍රදායික (කන්සර්වටිව්

මෝහනය / mohanaya (Hypnosis) - 21

තමන්ට තමන්ම යෝජනා සිදු කිරීම “ස්වයං-යෝජනා(self-suggestion) ලෙස හැඳින් වේ. ස්වයං-යෝජනා සාර්ථක වන්නට නම්, එම යෝජනා පහත දැක්වෙන ගතිගුණ වලින් යුක්ත විය යුතුය.

මවිසින් ඉංග්‍රිසි බසින් ලියා ඇමසන් හි ප්‍රකාශයට පත් කළ මෝහනය මුල සිට ක්‍රමානුකූලව උගන්වන අත්පොත පහත ලින්ක් එක මත ක්ලික් කර දැන් නිවසටම ගෙන්වා ගත හැකිය.

https://www.amazon.com/dp/B0851MHRSM
  1. යෝජනාව කුඩා විය යුතුය. කුඩාම ළමයෙකුට වුවත් තේරුම්ගත හැකි පරිදි සරල වාඛ්‍යයක් විය යුතුයි.
  2. කිසිවිටක නිශේධාත්මක (negative) වාඛ්‍ය භාවිතා නොකරන්න. “එපා, නැහැ, නොහැකියි” වැනි වචන භාවිතා නෙකරන්න. එනම්, ධණාත්මක (positive or affirmative) වාඛ්‍ය රටා භාවිතා කරන්න.
  3. යෝජනාව ප්‍රායෝගික විය යුතුයි. හැකි පමණ “මැනිය හැකි” ආකාරයේ යෝජනාවක් වීම වඩා උචිතය. උදාහරණක් ලෙස, “ලෝකයේ සිටින හොඳම කෙටි දුර ධාවකයා වෙමි” යන යෝජනාව සරල හා ධණාත්මක හා ප්‍රායෝගිකය. එහෙත් එය මැනිය නොහැකිය. ඒ වෙනුවට “මං මාසයකින් මාගේ වේගය දැනට පවතින වේගයට වඩා සියයට දහයකින් වැඩි කර ගන්නවා” යන්න ඉතා හොඳ ස්වයං-යෝජනාවකි. ඊට හේතුව මෙය මැනිය හැකි වීමයි (තවද, මැනිය හැකි වනවා සේම ප්‍රායෝගිකද විය යුතුය. උදාහරණයක් ලෙස, මම ශබ්දයේ වේගය දක්වා වේගයක් ඇති කර ගනිමියි කිව්වට එය කිසිසේත් ප්‍රායෝගික නොවේ.)
  4. වර්තමාන කාලයේ වාඛ්‍ය රටාවක් භාවිතා කරන්න.
  5. මම” යන්න උක්තය ලෙස පවතින සේ වාඛ්‍ය ලියන්න. උදාහරණක් ලෙස, “ඔබ දිනෙන් දින සාර්ථක වෙනවා” වෙනුවට “මම දිනෙන් දින සාර්ථක වෙනවා” ලෙස වාඛ්‍ය සකස් කරන්න.
  6. යමක් ගැන කැමැත්තක් උද්‍යෝගයක් සේම යමක් ගැන අකමැත්තක් එපාවීමක්ද ඇති කරනු පිණිස ස්වයං-යෝජනා සකස් කළ හැකියි. උදාහරණ ලෙස, “අරක්කු හා සිගරට් මා පිළිකුල් කරනවා” යන වාඛ්‍ය බලන්න.
ඉහත සරල රීතින් අනුගමනය කර ඔබට අවශ්‍ය ඕනෑම යෝජනාවක් අති සාර්ථකව සාදාගත හැකියි. මෙලෙස සාදාගත් යෝජනා යොදා ගන්නේ කෙලෙසද? එය කළ හැකි ආකාර කිහිපයක් තිබේ.
මෝහනය හෝ ස්වයංමෝහනයට පත් නොවී මෙවැනි යෝජනා නිතරම කියවීම, බැලීම, මෙනෙහි කිරීම මගින්ද එම යෝජනා ක්‍රමක්‍රමයෙන් යටි සිතට කාවදී. සමහරුන් එවැනි ස්වයං-යෝජනා කුඩා කොලයක ලියා පර්ස් එකේ හෝ සාක්කුවක දාගෙන යනවා. විවේකයක් ලද මොහොතක එය රැගෙන කියවනවා. ඇස් දෙක වසාගෙන එය මෙනෙහි කරනවා. මෙයට ගත වෙන්නේ තත්පර කිහිපයක් පමණි. එකවර යෝජනා දුසිම් ගණනක් කියවන්න එපා. තමන්ට වටිනාම යෝජනා එකක් දෙකක් පමණක් වරකට භාවිතා කරන්න. සතියක් දෙකක් පමණ එලෙස එකම යෝජනාව භාවිතා කරන්න. ඉන්පසු තවත් යෝජනා තිබේ නම්, එලෙසම වෙනත් යෝජනාවක් ඊළඟ කාල සීමාවට යොදා ගන්න. මෙය ඉතාම ඵලදායි ක්‍රමය නොවුණත් යම් පමණකට ප්‍රතිඵල ලබා දේ.
වඩාත්ම ප්‍රතිඵලදායක ක්‍රමය නම් මෝහනයේ සිටින විට මෙවැනි යෝජනා ලබා දීමයි. මෙහිදී එකවර යෝජනා දුසිම් ගණනක් වුව දිය හැකියි. ස්වයංව එය කළ හැකි ආකාර දෙකක් මා පෙන්වා දෙන්නම්.
ඔබට අවශ්‍ය ස්වයංයෝජනා පළමුව ලියා ගන්න නිවැරදිව. ඉන්පසු ඔබ (හෝ වෙනත් කෙනෙකු ලවා හෝ) එම යෝජනා පටිගත (record) කර ගන්න. ඒ සඳහා ඔබේ පරිගණකය හෝ මොබයිල් ෆෝන් එක පහසුවෙන්ම භාවිතා කරන්නට පුළුවන් (ඔබට මේ දෙකම නැතිනම්, මිතුරෙකුගේ උදව් ලබා ගත හැකියි). ඇත්තටම රෙකෝඩිං එකක් භාවිතා කරනවා නම්, මෙලෙස සරල ස්වයංයෝජනා පමණක් නොව, සාමාන්‍ය මෝහනයේදී භාවිතා වෙන දිගු හා සංකීර්ණ යෝජනාවලියක් වුව යොදාගත හැකියි. ඔබ භාවිතා කරන්නේ සරල යෝජනා කිහිපයක් පමණක් නම්, විනාඩි දෙකකින් පමණ එම රෙකෝඩිං එක අවසන් විය හැකියි. එනිසා, නැවත නැවත ප්ලේ (repeat) වෙන ආකාරයට එය ධාවනය කළ හැකියි. එසේත් නැතිනම්, ඔබට අවශ්‍ය කාල සීමාව (උදාහරණක් ලෙස එය විනාඩි 20ක් ලෙස ගමු) පුරාම පවතින සේ ස්වයංයෝජනා ඔබට රෙකෝඩ් කළ හැකියි (ඇත්තටම ඊට වඩා හොඳයි සාමාන්‍ය ස්ක්‍රිප්ට් එකක් රෙකෝඩ් කරනවා නම්).
මෙහිදී පිළිපැදිය යුතු ක්‍රියාපටිපාටිය මෙයයි. කුමන හෝ රෙකෝඩිං එකක් පටිගත කරන විට, රෙකෝඩ් බට්න් එක ඔබා පළමු විනාඩි දෙක තුනක් පමණ කිසිත් නොකියා නිශ්ශබ්දව සිටින්න. ඉන්පසු හොඳ පැහැදිලි හඬකින් යෝජනා කියවා රෙකෝඩිං එක “ස්ටොප්” කරන්න. ඔබ දැන් එම රෙකෝඩිං එක ප්ලේ කරන විට, මුලින්ම පවතින්නේ අර නිශ්ශබ්දතාවයි. එය අත්‍යවශ්‍යයි. ඊට හේතුව මෙයයි. ඔබ සුදුසු අසුනක වාඩි වී, ප්ලේයර් එකේ ප්ලේ බට්න් එක ඔබා ස්වයංමෝහනයට පත් වේ. (මෙය ඔබේ මොබයිල් ෆෝන් එකේ ප්ලේයර් එක විය හැකියි. මොබයිල් ෆෝන් එකක් භාවිතා කරන්නේ නම්, අනිවාර්යෙන්ම එහි සිම් එක ගලවා දැමීම හෝ ඕෆ්ලයින් හෙවත් ෆ්ලයිට් මෝඩ් එකට පත් කළ යුතුය. නැතිනම්, ඔබ මෝහනයෙන් සිටින විට රෙකෝඩිං එක ප්ලේ වෙන අතර කෝල් එකක් ආවොත් සම්පූර්ණයෙන්ම ඔබේ මෝහන සැසිය කඩාකප්පල් වේ. කොහොමත්, ඕනෑම මෝහනයකදී මොබයිල් ෆෝන් ඕෆ් කිරීම හෝ ඕෆ්ලයින් කිරීම කළ යුතුය.) මෙලෙස ස්වයංමෝහනයට පත් වීමට යම් කාලයක් ගත වේ. මෙන්න මේ කාලය තුල නිශ්ශබ්දතාව පවත්වාගෙන යෑම සඳහායි රෙකෝඩිං එකේ මුල් විනාඩි කිහිපය තුල කිසිම යෝජනාවක් පටිගත නොකරන්නේ.
තමන්ට ස්වයංයෝජනා ලබා දිය හැකි තවත් ආකාරයක් තිබේ. මෙහිදී වරකට එක් යෝජනාවකට සීමිත වීම මෙහි ඇති දුර්වලතාවයි. එක් යෝජනාවක් කුඩා කොල කැබැල්ලක ලියා ගන්න. එයත් රැගෙන සුදුසු අසුනක වාඩි වී එය දෙස බලාගෙන හොඳ සිහියෙන් එය කිහිප සැරයක් කියවන්න. ඇස් දෙක වසාගෙනද එය කිහිප සැරයක් මෙනෙහි කරන්න. දැන් නැවත ඇස් විවෘත කර ඔබේ සුපුරුදු ස්වයංමෝහන ඇන්කර් එක යොදාගෙන මෝහනයට පත් වන්න. ඉන්පසු එම යෝජනාව මෙනෙහි කරන්න. මෙය සඳහා විනාඩි දෙක තුනක් ප්‍රමාණවත්. වැඩි වේලාවක් මේ සඳහා යොදා ගැනීමේ ප්‍රයෝජනයක් නැත. ඇත්තටම මෙම ක්‍රමය ඉහත රෙකෝඩිං ක්‍රමයට වඩා ඵලදායිතාව අඩුය. කිසිම කෙනෙකුගේ යෝජනා තුලින් මෙහෙයවීමකින් තොරව යමක් මෙනෙහි කරන විට, උඩු සිත යම් ප්‍රමාණයකට අවධි වේ. එනිසා මෙම ක්‍රමයේ ඵලදායිතාව අඩු වේ.
අද සෑම දෙනාටම පාහේ රෙකෝඩිං පහසුකම් තිබෙන මොබයිල් ෆෝන් පවතින බැවින්, ඉහත සඳහන් කළ රෙකෝඩිං ක්‍රමය ඉතා පහසුවෙන් යොදා ගත හැකි නිසා අනෙක් ක්‍රමවල වටිනාකම අඩු වෙමින් පවතී. තවද, අද රුපියල් දෙතුන් සීයට mp3 ප්ලේයර් පවා තිබේ. මෙමරි කාඩ් පවා දෙතුන් සීයකට ගත හැකියි. ඉතා කුඩා වියදමකින් “ස්වයංමෝහන කිට් එකක්” ඔබට සාදාගත හැකියි.
ස්වයංයෝජනා කිහිපයක්
  • මට මාගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය (පවුලේ සාමය හා ආදරය, බිරිඳගේ සතුට, පරිසරයේ පිරිසිදුකම, පයින් ගමන් බිමන් යෑම, …) ගොඩක් වැදගත්.
  • මා නිතිපතා සුදුසු ව්‍යායාම කරනවා (පාඩම් කරනවා, ගේදොර අස්පස් කරනවා, …)
  • ව්‍යායාම කිරීම (කාමරය පිරිසිදුව පිළිවෙලට තබා ගැනීම, මිනිසුන් සමග කතාබහ කිරීම, බිරිඳ සමග ආදරයෙන් සිටීම, ළමයින්ගේ වැඩකටයුතු සොයා බැලීම, පයින් ගමන් බිමන් යෑම, …) මට සතුටක් සැනසීමක් ලබා දෙනවා.
  • සීනි හෝ පැණි රස කෑම ගොඩාක් ලෙඩ රෝග ඇති කරන නිසා මා සීනි හා පැණි රස කෑම අඩු කරනවා. (අහවල් කරුණ නිසා අවහවල් දේ කරනවා යන වාඛ්‍ය රටාව ඉතා වැදගත්ය. මෙහිදී “අහවල් කරුණ” ඔබ සත්‍ය යැයි පිළිගන්නා හෝ පිළිගත හැකි දෙයක් විය යුතුය. උදාහරණක් ලෙස, මෙහි සීනි කෑම ලෙඩ සාදන බව අප කාටත් පිළිගත හැකි දෙයක්.)
  • වෙනත් අය සමග කටයුතු කරන විට, සමගිව ටීම් එකක් ලෙස සැහැල්ලුවෙන් කටයුතු කිරීමට මා තව තවත් උනන්දු වෙනවා. (මෙයද ඉහත නිසා වැනිම තවත් වටිනා බලවත් රටාවකි.)
  • ගුණාත්මක කෑම (ඉගෙනීම, මාගේ පවුලේ කටයුතු, …) ගැන මාගේ උනන්දුව දිනෙන් දින වැඩි වෙනවා.
  • මට මාගේ පවුලේ අයගේ සතුට වටිනවා.
  • මා අහවලාට (බිරිඳ, ස්වාමියා, ළමයින්, …) ගොඩක් ආදරේ කරනවා.
  • දිනෙන් දින මාගේ ඉවසීමේ හැකියාව (මතක ශක්තිය, පාඩම් වැඩ කිරීමේ උනන්දුව, …) වැඩි වෙනවා.
  • මම දක්ෂයෙක් (හොඳ ලේඛකයෙක්, දක්ෂ ගුරුවරයෙක්, අති දක්ෂ ශිෂ්‍යයෙක්, …)
  • අරක්කු සිගරට් (බැන්දට පසු වෙනත් ගැහැණුන් ආශ්‍රය කරන එක, අනවශ්‍ය දේට සල්ලි වියදම් කරන එක, පරිසරය දූෂනය කරන එක, …) කියන්නේ ජරාම ජරා දෙයක්.
  • ඕනෑම අභියෝගයක් මා සැහැල්ලුවෙන් භාර ගන්නවා.
ඉහත යෝජනාවල යටින් ඉරි ගසා ඇති කොටස්වලට සුදුසු වාඛ්‍ය ඛණ්ඩ හෝ වචන ආදේශ කර එම රටාවන්ටම වෙනත් යෝජනා සෑදිය හැකියි. මෙහි පැටර්න් කිහිපයක් මා විස්තර කරන්නම්.
මට අහවල් දේ ගොඩක් වැදගත්” යන පැටර්න් එක අපට භාවිතා කරන්න පුළුවන් ජීවිතයට වැදගත් කියා දැනුනත් අපට නිතර අතපසු වෙන දේවල් සඳහා. උදාහරණයක් ලෙස, අප කවුරුත් දන්නවා ව්‍යායාමවල ඇති වැදගත්කම. එහෙත් නිතරම එය අපෙන් මග හැරෙනවා නේද? ඊට හේතුව අපේ යටි සිතේ ව්‍යායාමවලට වැඩි වටිනාකමක් නොදී තිබීම හෝ ඊට වඩා වැඩි වටිනාකම් වෙනත් කාර්යන් සඳහා ලබා දීමයි. එනිසා යටි සිතට කිව යුතුයි ව්‍යායාම කිරීම අනෙක් දේවල් සේම හෝ ඊට වඩා හෝ වැදගත් බව.
මේ හා සමානම පැටර්න් එකක් තමයි “මං නිතිපතා අහවල් දේ කරනවා” යන්න. මෙහිදී යොදා ඇත්තේ නිතිපතා යන විශේෂන පදයයි. එය මා හිතාමත් කළ දෙයක්. සමහරෙක් මේ වෙනුවට හැමදාම හෝ සතියකට දෙපාරක් (හෝ තුන් පාරක් හෝ ආදී වශයෙන්) ආදී විශේෂණ පද යොදන්න පුළුවන්.

යම් යම් දේවල් අපට කිරීමට සිදු වෙනවා අප ඒ දේට අකමැති වුවත්. බොහෝ සේවා ස්ථානවල සේවකයන්ගේ මානසික ආතතිය හා අසහනය මේ නිසා ඇති වෙනවා. ඒ දෙය නීති විරෝධියි නම් හෝ සදාචාර සම්පන්න නොවේ නම්, එය කවුරු කිව්වත් නොකර සිටින්නට තමන්ට නීතිමය මෙන්ම සදාචාර අයිතියක් තිබේ. ඒ සඳහා නොබියව මුහුණ දෙන්න (අවශ්‍ය නම් මෝහනය තුළින්ම ඊට අවශ්‍ය ශක්තිය හා නිර්භීතකම වැඩි දියුණු කර ගත හැකියි). එහෙත් නීත්‍යානුකූල හා සදාචාර සම්පන්න දේවල්වලදී ඔබට අනිවාර්යෙන්ම ඒවා කළ යුතු වෙනවා. එනිසා ඒ ගැන ඔබ කලකිරී සිටීම ඔබ ඔබටම කරගන්නා හානියකි. එවැනි අවස්ථාවක “අහවල් දේ කිරීම මට සතුටක් හා සහනයක් ලබා දෙනවා” වැනි පැටර්න් එකක් භාවිතා කරන්නට පුළුවන්. දැනට ඒවා කරන විට ඔබට දැනෙන්නේ දුක හා අසහනය නම්, එය සතුට හා සැනසීමට හරවා ගත හැකියි. මෙමගින් සේවා ස්ථානයේ වැඩේ සිදු කෙරෙනවා පමණක් නොවේ, ඔබේ සතුට හා සැනසීමද දිනෙන් දින වැඩි වේ.

Hypnosis (mohanaya) ...