Skip to main content

මෝහනය / mohanaya (Hypnosis) - 15

කුඩා ළමුන් මෝහනය කිරීම

කුඩා ළමුන්ගේ ක්‍රිටිකල් ෆැක්ටර් එක වර්ධනය නොවී ඇති බැවිනුත් මෝහනය (හෝ වෙනත් ඕනෑම කරුණක්) ගැන එතරම් දැනීමක් නැති බැවිනුත් (එනිසා මෝහනය ගැන වැරදි වැටහීම් ඔවුන් තුළ නැත.) ඔවුන්ව පහසුවෙන්ම මෝහනයට පත් කළ කල හැකියි. පහසුවෙනුත් ඉක්මනිනුත් ඔවුන්ව මෝහනයට පත් කළ හැකි නිසාම එල්මන් ඉන්ඩක්ෂන් එක පවා අවශ්‍ය නොවේ (කැමති නම් එල්මන් ඉන්ඩක්ෂන් එක වුවත් භාවිතා කළ හැකියි).
කුඩා ළමුන් සමග කතාබහ කරන විටදී ඔබට දැනේවි ඔවුන් සිතින් මවා ගැනීම්වලට හා නිර්මාණශීලිව කතා සෑදීමට දක්ෂ බව. ඒ විතරක් නොවේ, ඔවුන්ට පවසන දේවල් බොහෝ විට සත්‍ය ලෙස පිළිගැනීමටත් ඔවුන් සූදානම්. ඒකනේ සුරංගනා කතා ආදිය ඒ අය විශ්වාස කරන්නෙත්. මෙම ලක්ෂණය අපට මෝහනය සඳහා පහසුවෙන් යොදා ගන්නට පුළුවන්. පහත දැක්වෙන්නේ එවැනි ඉතා හොඳ එක් ක්‍රමයක්.
හරි... දැන් අපි පොඩි සෙල්ලමක් කරමු. කැමතිද? [ළමයා බොහෝ විට තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරාවි. ඔහුගේ කැමැත්ත නැතිව කිසිවක් කළ නොහැකියි.] හම්ම්... මං කියනවා දැන් ඔයාගේ ඇස් දෙක හොඳට වසා ගන්න කියලා. [ළමයා තවමත් ඇස් වසා ගත්තේ නැතිනම් කියන්න ඇස් දෙක හොඳට තද කරලා වහගන්න කියලා.] ඔයා සිතින් මවාගන්න දැන් ඔයාගේ මල්ලී [හෝ නංගී හෝ හොඳම යාළුවා හෝ මම හෝ. තමන් ඉදිරියේ සිටින ළමයාට මින් ගැලපෙන එකක් යොදන්න. ඔහුට මල්ලියෙකු නැතිනම්, මල්ලි යන්න යොදන්න එපා.] ඇවිල්ලා දැන් ඔයා වහගෙන ඉන්න ඔයාගේ ඇස් දෙක උඩට ගම් (මැලියම්) ගොඩක් හළනවා කියලා. ඔයාගේ ඇස් දෙකම දැන් හොඳට ගම්වලින් ඇලවිලා තියෙන්නේ. සිතින් මවාගන්න දැන් ඔයාගේ ඇස් දෙක අරින්න බැරි වෙන්නම ගම්වලින් ඇලවිලා තියෙන්නේ... හම්ම්... හොඳටම ඇලවිලා... තදින් ඇලවිලා... ඔයාට දැන් ඇස් අරින්න බැහැ. ඇස් අරින්න උත්සහ කරනකොට තව තවත් හොඳට ඇස් දෙක ඇල වෙනවා... තව තවත් ඇස් අරින්නට බැරි වෙනවා. බොහොම හොඳයි. පුළුවන් නම් දැන් ඇස් අරින්න බලන්න. [ළමයා ඇස් අරින්න උත්සහ කළත් ඔහුට ඇර ගන්න බැරි වේ. කලාතුරකින් ළමයකු ඇස් අරිනු ඇත. එවිට, ඔබ එය කිසිම ගානකට නොගෙන කිසිම වැරැද්දක් නොවුණු ලෙසට නැවත ඔහුට ඇස් වසන්නට කියා පෙර කියූ ලෙසම නැවත යෝජනා කරන්න. කුඩා ළමයකු නිසා ඔබ යෝජනා කියන විට නාට්‍යයක ස්වරූපයකින් හඬ හොඳට උස් පහත් කර කියන්නේ නම් තවත් සාර්ථක වේ. තත්පර දෙකක් පමණ ඔහුට ඇස් අරින්නට උත්සහ කරන්න ඉඩ දෙන්න.]
හරි... දැන් ඇස් අරින්න උත්සහ කරන එක නතර කරන්න. ඔයාගේ ඇස් දෙක දැන් අරින්න බැරි වෙන්නම ඇලවිලා තියෙන්නේ. එනිසා දැන් මං කියන දේවල් හොඳින් අහගන්න. ඔයාගේ ඇස් අරින්න බැරි තරමටම දැන් ඔයාගේ ඇස් සැහැල්ලු වෙලා සංසුන් වෙලා තියෙන්නේ. ඇස්වල තියෙන එම සැහැල්ලුව... එම දැනීම... දැන් ඔයාගේ මුළු ඇඟටම පතුරුවන්න. අන්න හරි... මං දැන් ඇඟේ විවිධ කොටස්වල නම් කියනවා. මං නමක් කියන විටම ඔයාගේ ඇඟේ තිබෙන එම කොටස එකවරම පණ නැති වෙනවා වගේ සැහැල්ලුවට පත් වෙනවා. ඔන්න බලන්න... ඔළුව... මුහුණ... බෙල්ල... අත්... බඩ... කකුල්... [මේ එක එක නමක් කියූ පසු තත්පර දෙක තුනක් නිශ්ශබ්දව ඉන්න.] ඔක්කොම දැන් සැහැල්ලුයි. දැන් ඔයාගේ මුළු ශරීරයම සැහැල්ලු වෙනවා. අමුතු හැඟීමක් මුළු ශරීරය පුරාම පැතිරෙනවා. ගොඩක් හොඳයි.... ඇඟ නිකං පණ නැති වෙනවා වගේ ඔයාට දැනෙනවා. ඔව්... දැන් ඔයාගේ මුළු ඇඟම පණ නැති තරමටම සැහැල්ලුයි. ඔයා හුස්ම පිට කරන කොට තව තවත් සැහැල්ලුව දැනෙනවා. ඔයාගේ හිතත් දැන් සැහැල්ලුයි. හිත ගොඩක් සංසුන්. හරියට හීනයක් වගේ. මං කියන දේවල්වලින් තව තවත් ඔයාගේ ඇඟත් හිතත් සංසුන් වෙනවා... සැහැල්ලු වෙනවා...”

මවිසින් ඉංග්‍රිසි බසින් ලියා ඇමසන් හි ප්‍රකාශයට පත් කළ මෝහනය මුල සිට ක්‍රමානුකූලව උගන්වන අත්පොත පහත ලින්ක් එක මත ක්ලික් කර දැන් නිවසටම ගෙන්වා ගත හැකිය.

https://www.amazon.com/dp/B0851MHRSM
ඉහත යෝජනාවලිය කියූ පසු ඔහුට සුදුසු ස්ක්‍රිප්ට් එක කියන්න. ළමුන් කතන්දරවලට බොහෝ කැමැති බැවින්, එම යෝජනා නිර්මාණශීලී කතාවක් ආකාරයට කිව හැකියි. එම කතාන්දර තුළ ළමයා තුළ ඇති කළ යුතු චර්යා වෙනස්කම් සිදු කරන යෝජනා තිබිය යුතුය. එවැනි සරල උදාහරණක් මා දක්වන්නම්.
මං කියන දේ හොඳට ලස්සනට සිතේ මවා ගන්න. ඔයා දැන් සිටින්නේ දරුණු ඩයිනසොර්ලා ගොඩක් සිටින විශාල තැනිතලා බිමක. ඔයා දැකලා තිබෙන හැම ජාතියකම දරුණු සතුන් ඔයාව වට කරගෙන ඉන්නෙ දැන්. උන් දිහා හොඳට බලන්න. උන්ගේ ඇස් දිහා බලන්න. ඔයා උන් දිහා එඩිතර වීරයෙක් විදියට බලනවා. ඔයා දන්නවා උන්ගෙන් බේරිලා වීරයෙක් විදියට සටන් කරන්න. ඔයා වීරයෙක්. ඔයාට හොඳට මතක ශක්තියක් තිබෙනවා. ඔයාට දැන් තියෙනවා ඉතාම වැදගත් වැඩක් කරන්න. ඔයා ඇවිත් ඉන්නේ ඒ රාජකාරිය කරන්න. ගොඩාක් අය ඔයාට ඉස්සෙල්ලා මේ දේ කරන්න ඇවිත් අසමත් වෙලා තියෙන්නෙ. ඔයාට හොඳ මතක ශක්තියක් තිබෙන නිසායි විශේෂයෙන් ඔයාට මේ වැදගත් වැඩේ භාර දුන්නේ. මේ වැඩේ කරන්න හොඳ මතකයක් තියෙන්න ඕනෑ. හොඳට උනන්දුවෙන් ඉගෙන ගන්න අයට විතරයි මේ දේ කරන්න පුළුවන්. යා හොඳට ඉගෙන ගන්න නිසා ඔයාට මේ වැඩේ ගොඩාක් ලෙහෙසි වෙනවා. මොකක්ද වැඩේ? ඔයාට කරන්න තියෙන්නේ ඔයා වටේ ඉන්න විවිධ වර්ගයේ සතුන්ගේ විස්තර හොඳින් මතක තබා ගන්නයි. ඒ තොරතුරු අත්‍යවශ්‍යයි මේ සතුන් ඉවත් කිරීමට. ඒ සතුන්ගේ සියළු විස්තර දැන ගන්නට අවශ්‍යයි. සතුන් ගොඩාක් ඉන්නවා. ඒ නිසා ගොඩක් විස්තර මතක තබා ගන්න ඕන. ඔයාට පුළුවන් හොඳින් මතක තබා ගන්න. ඔයාට ටක්ගාලා ඕනම දෙයක් මතක හිටිනවා. ඒ විතරක් නෙමෙයි; ඔයා ඒ විස්තර හොඳින් මතක තබා ගෙන උන්ගෙන් බේරිලා එන්නත් ඕන. ඒකට ඔයාට හොඳ ශක්තියක් හා දක්ෂකමක් අවශ්‍ය කරනවා. නේද? ඔයා දක්ෂයෙක්. ඔයාට හොඳන් පාඩම් කරන්න පුළුවන් වගේම ඔයාට ප්‍රශ්නවලින් බේරෙන්නත් පුළුවන්. ඔන්න දැන් දරුණු විශාල ඩයිනසොරයෙක් ඔයාගෙ පස්සෙන් එලවනවා. ඔයා වීරයෙක් වගේ ප්‍රශ්නවලට මුහුණ දෙනවා. ඔයා ඉගෙන ගත් දේවල් ඉක්මනින් මතක් කර ගන්නවා. ඔයා මොකද කරන්නේ? දුවනවාද? නැතිනම් ඌට උඩින් පනිනවාද? නැතිනම්, ඌ සමග සටන් කරනවාද? ඔයා දන්නවා කරන්න ඕන දේ. ඔයා දක්ෂයෙක්. ...”
ඉහත කතාන්දර ස්වරූපයෙන් ඇති ස්ක්‍රිප්ට් එක මා සම්පූර්ණ කර නැත. කොටසක් පමණයි ලිව්වේ. මා සිතන්නේ දැන් ඔබට වැටහෙනවා මෙවැනි කතාවක් ගොඩ නගන්නේ කොහොමද කියා. ඉහත යටින් ඉරි ගසා ඇති කොටස් තමයි කතාව තුළ සඟවා ඇති යෝජනා. ළමයාගේ ප්‍රශ්නයට අදාලව එම යෝජනා සකසන්න. හැමවිටම ළමයා කතාවේ වීරයා බවට පත් කරන්න. ඔබ මුලදී උගත් ස්ක්‍රිප්ට් ලියන විට අනුගමනය කළ යුතු රීතින්ද පිළිපදින්න. කතාව තුළ ත්‍රාසය හා ක්‍රියාදාම (ඇක්ෂන්) දර්ශන හැකි පමණ ඇතුළත් කරන්න. එහෙත් වෛරය, කෲරත්වය හඟවන වචන හෝ යෝජනා ඇතුළත් කරන්න එපා. උදාහරණයක් ලෙස, ඉහත මා දරුණු සතුන් මරන බවක් කොහේවත් සඳහන් කර නැත. ඒ වෙනුවට මා කියා ඇත්තේ එම සතුන් “ඉවත් කරනවා” යනුවෙනුයි. ත්‍රාසය හා ක්‍රියාදාම මතුවන ආකාරයට ඔබේ හඬ පාලනය කරමින් කතාව කියන්න.
මෝහනය කරන්නට පෙර ළමයා සමග කතාබහ කරන විට දැනගන්න ඔහු වඩා උනන්දුවක් හෝ කැමැත්තක් දක්වන දේවල් ගැන. යම් ළමයෙක් දරුණු සතුන්ට බියක් දක්වන්නේ නම් හෝ ඒ ගැන කිසිම උනන්දුවක් දක්වන්නේ නැති නම්, ඉහත ආකාරයේ කතාවක් ඔහුට කියන්න එපා. ඔහු උනන්දු හෝ කැමැති මාතෘකාවක් ඔස්සේ පමණක් කතාව ගොඩනඟන්න. සමහරවිට ඔහු අභ්‍යවකාශය ගැන උනන්දුවක් දක්වන අයෙකු විය හැකියි. එවිට, ඔහුව ගගන යානයක ප්‍රධාන නියමුවා කර සතුරු පිටසක්වල ජීවින් සමග කෙරෙන සටනක කතාවක් ගොඩනැඟිය හැකියි. ඔහු මුහුදට ආසයි නම්, විශාල දරුණු මාළුවන් සමග සටන් වදින දක්ෂ කුඩා මාළුවෙකු බවට ඔහුව පත් කළ හැකියි. ඔහු රොබෝවරුන්ට කැමැති නම්, නරක රොබෝවරුන්ට එරෙහිව සටන් වදින හොඳ රොබෝවෙකු බවට පත් කළ හැකියි. මේ ආකාරයට ඔහුට ගැලපෙන සුදුසු කතාවක් ඔබට පහසුවෙන් ගොතන්න පුළුවන්. ඔබද චිත්‍රපටි හා ටෙලිනාට්‍ය ඔස්සේ මෙවැනි කතා නරඹා ඇතිනම් එම මතකයන්ද ඉතා ප්‍රයෝජනවත් වේවි. අවශ්‍ය නම් එවැනි චිත්‍රපට හා නාට්‍ය සොයාගෙන නැවත නරඹන්න.
කතාව අවසානය හැමවිටම ඔහු ජය ගන්නා ඔහුව වීරයා බවට පත්වන විදියට තැබිය යුතුයි. අනෙක් අය ඔහුට ප්‍රශංසා කරන අයුරු ඔහුගේ සිතේ මවන්න. ඔහු ආදරය කරන ඔහුට ළඟින් සිටින ඔහුද වීරයන් ලෙස සලකන අය පවා ඔහුට ප්‍රශංසා කරන අයුරු පෙන්වා දෙන්න. විශේෂයෙන් ඔහුගේ අම්ම තාත්තා ඔහුව වර්ණනා කරන අයුරු දනවන්න. ඔහුට ප්‍රශංසා හිමි වූ පසුව ඒ එක්කම ඍජු යෝජනා දෙන්න. මේ මොහොතේ සිට තමන් අහවල් විදියේ කෙනෙකු බව කියන්න. ඉන්පසු කැමති නම් කතාව තුළින්ම ඔහුව මෝහනයෙන් ඉවත් කළ හැකියි. එසේත් නැතිනම් සාමාන්‍ය ක්‍රමවේද ඔස්සේද ඉවත් කළ හැකියි.
මෙහිදී තවත් වැදගත් දෙයක් ඇත. ඇත්තටම කුඩා ළමුන්ට කිනම් හෝ ආකාරයක මානසික ගැටළුවක් (පාඩම් නොකිරීම, කියන දේ අහන්නේ නැති කම, වැනි) ඇති නම් බොහෝවිට ඊට හේතුව වන්නේ වැඩිහිටියන්මය. එම වැඩිහිටියන් දෙමාපියන්, ගුරුවරුන්, නෑයන්ය. වැඩිහිටියන්ගේ නොමනා හැසිරීම් හා ජීවන ශෛලයන් මීට හේතු වේ. එමනිසා කුඩා ළමුන් (ඒ ඒ වයස්වලදී) ඇතිදැඩි කළ යුත්තේ කෙසේද ඉගැන්විය යුත්තේ කෙසේදැයි අඩුම වශයෙන් දෙමාපියන් ඉගෙන ගත යුතුය; මොකද ළමයින් තමන්ගේ නිසා (අනෙක් අයට ඒවා ඉගෙන ගන්න කියා බල කිරීමට නොහැකි වුවත්, තමුන්ගේ ළමුන් වෙනුවෙන් එය තමන්ට කරන්න පුළුවන්).
ළමයකුගේ දෝෂයක් ඉවත් කිරීමට මෝහනය වෙත යොමු කර නැවත ඒ ළමුන් යන්නේ පැරණි පිරිස අතරටමයි. එවිට ළමයා නැවත තමන්ට ගැටළුව ඇති කරපු වටපිටාවට නිරාවරණය වේ. ඉන් මෝහනයෙන් ලබාගත් සහනය වැඩක් නැති වෙනවා. වැඩිහිටියන් මෙන් නොව, ළමුන්ට ස්වාධීනබව නැති නිසා ඇත්තටම ඔවුන් හරිම අසරණ වෙනවා. ඒ ගැන හොඳින් සිතන්න. මෝහනවේදියකු වශයෙන් මෙම කරුණු ළමයාගේ දෙමාපියන්ට තේරුම්කර දීමේ යුතුකමක් ඔබට තිබෙනවා.
මෝහනයක් කළ ක්ෂණයෙන්ම ළමයා මැජික් එකකින් මෙන් වෙනස් වන්නේ නැත. ඒ සඳහා කාලයක් ලබා දෙන්න. එම කාලය තුළ ළමයාව දිරිගන්වනසුළු විදියට වටපිටාව සකස් කරන ලෙස දෙමාපියන්ට හෝ වැඩිහිටියන්ට උපදෙස් දෙන්න. උදාහරණයක් ලෙස පාඩම් කිරීමට දිරිගන්වන ආකාරයට මෝහන සැසියක් කළ පසු, ළමයා ටිකෙන් ටික පාඩම් කරන්නට ගනීවි. එවිට, ඔහුට ප්‍රශංසා කළ යුතුයි. ඔහුට පාඩම්වල ගැටළු ඇතිවන විට ඒවා තමන් (දෙමාපියන්) හෝ සුදුසු අය ලවා විසඳාදීමට කටයුතු කළ යුතුයි. සුදුසු කියවීම් පොත් ඔහුට ලබා දිය යුතුයි. ඔහු සමග දෙමාපියන් හා වැඩිහිටියන්ද සක්‍රිය කියවීම් හා පාඩම් වැඩවල යෙදිය යුතුයි. අළුත් පුරුද්ද ඇත්තටම කවුරුත් හොඳ කියන විනෝදශීලි දෙයක් යැයි ඔහුට දැනිය යුතුයි. ප්‍රසිද්ධියේ (ඒ කියන්නේ නෑයන් ගුරුවරුන් අසල්වාසීන් ආදිය ඉදිරියේ) ළමයාගේ අළුත් පුරුද්ද හා හැකියාවන් ප්‍රශංසා කළ යුතුයි. මේ ආකාරයේ පරිසරයේ වෙනස්කම්ද කළ හැකි නම්, අති විශිෂ්ඨ ලෙස ළමුන් “නිර්මාණය” කළ හැකියි.

Hypnosis (mohanaya) ...

Comments

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

ඉලෙක්ට්‍රෝනික්ස් II (Electronics) - 6

විශේෂ ප්‍රතිරෝධක ඉහත සාකච්ඡා කළ නියත හා විචල්‍ය ප්‍රතිරෝධක හැරුණහම , තවත් සුවිශේෂී ජනප්‍රිය ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ද තිබෙනවා . මේවා ආලෝකය , උෂ්ණත්වය වැනි විවිධ භෞතික රාශින්ට සංවේදී ප්‍රතිරෝධකයි . මේ අතරින් සුලභම වර්ගය තමයි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක වර්ගය . මේවා ප්‍රකාශ - ප්‍රතිරෝධක (photoresistor) හෝ “ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක” (Light Dependent Resistor – LDR) ලෙස හැඳින් වෙනවා . එහි සාමාන්‍ය භාහිර හැඩය පහත දැක්වේ .   මෙම ප්‍රතිරෝධයේ හිස මත තිබෙන්නේ ආලෝකයට ඉතා සංවේදී කැඩ්මියම් සල්ෆයිඩ් (CdS), ලෙඩ් සල්ෆයිඩ් (PbS), කැඩ්මියම් සෙලිනයිඩ් (CdSe) ආදී යම් රසායනික ද්‍රව්‍යයකි . එම ද්‍රව්‍යයන්වල ඉතා ඉහල ( බොහෝවිට 500k ohm වැනි ) ප්‍රතිරෝධි අගයන් තිබේ . එහෙත් ඒ මතට ආලෝකය වැටෙන විට , ප්‍රතිරෝධි අගය සීඝ්‍රයෙන් පහළ යයි ( බොහෝවිට ඕම් 500 වැනි ). මෙහිදී කිව යුතු වැදගත් කරුණ නම් , ඉහත සඳහන් කළ ( හා නොකළ ) ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය එකම ආකාරයෙන් ආලෝකයට සංවේදී නොවේ . සමහර ඒවා “ආලෝකයේ රතු පැත්තට” ( ඒ කියන්නේ දිගු තරංග ආයාම සහිත ආලෝකයට ) සංවේදිතාව දක්වන අතර , තවත් සමහර ඒවා “ආලෝකයේ නිල් / ද...

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්...