Skip to main content

මෝහනය / mohanaya (Hypnosis) - 16


කුඩා ළමුන් සදහා ඉහත කතන්දර ස්වරූපයේ යෝජනා නොකියා, සාමාන්‍ය ඍජු යෝජනා වුවද ඔබට දිය හැකියි. ළමයෙකුට තේරුම්ගත හැකි සරල වචන පමණක් යොදා ගැනීමට වගබලා ගත යුතුය. “සැහැල්ලු වෙනවා” (රිලැක්ස්) යන වචනය වෙනුවට “නින්ද යනවා” යන වචනයද කුඩා ළමුන් සඳහා භාවිතා කළ හැකියි.

ප්‍රතිගමනය

ප්‍රතිගමනය (regression) යනු මෝහනයේ සිටින විට ඔහුව අතීතයට ගෙන යෑමයි. එනම් යම් අතීත සිද්ධියක් නැවත සිහිගැන්වීමයි. බොහෝ අය මෝහනයෙන් පෙර ආත්මයට යනවා යැයි (වැරදියට) තේරුම් ගෙන තිබෙන්නේද මෙයයි.
ඔබ ඊයේ දවල් කෑවේ මොනවාදැයි බොහෝ විට ඔබට මතක තිබේ. එලෙසම ගිය වසරේ අද වගේ දවසක දවල්ට කෑවේ මොනවාදැයි ඔබට මතකයක් තිබේද? නැහැ නේද? අපගේ මතකයේ තිබෙන්නේ නිතර භාවිතා කෙරෙන දේවල් බව සාමාන්‍ය පිළිගැනීමයි. භාවිතා නොකරන දේවල් ක්‍රමයෙන් මතකයෙන් දුරස් වේ. යම් කාලයකට පෙර ඔබ බොහොම මහන්සියෙන් පාඩම් කළ බොහෝ දේවල් මතක නැහැ නේද? වෛද්‍ය හා මනෝ විද්‍යාත්මකව මතකය ගැන බොහෝ න්‍යායන් ගොඩනඟා ඇත.
එහෙත් මෝහනවේදයට එම න්‍යායන් එතරම්ම වැදගත් නැත. මෝහනවේදය අනුව නම්, (දිගු කාලීන) මතකය යටි සිතේ පවතින ලක්ෂණයක් වේ. අප උපන්දා සිට මේ වන තුරු කරපු කියපු ඒවා එහි තැන්පත්ව ඇත. බොහෝ අය විශ්වාස කරන්නේ මෙලෙස තැන්පත් වන සියලු දේම සදහටම යටි සිතේ පවතින බවයි.
(මා හට පෞද්ගලිකවම එය විශ්වාස කළ නොහැකියි. බොහෝ දේවල් මතකයේ පැවතියත් සෑම දේම එසේ පැවතිය නොහැකි බව විද්‍යාත්මකව තර්ක කළ හැකියි. මෙය තව දුරටත් විද්‍යාවෙන් පර්යේෂණ කර සොයා බැලිය යුත්තකි. මා තර්ක කරන්නේ මෙවැන්නකි. ඔබ යමක් කළ විට එහි බලපෑම නිසා තවත් දෙයක් සිදු වේ; ඒකෙන් තවත් දෙයක්ද; ඒකෙන් තවත් දෙයක්ද ආදී වශයෙන් දම්වැලක පුරුක් ස්වරූපයෙන් සිදුවීම් දාමයක් හටගනී. ඇත්තටම මෙය රේඛීයව සරල ආකාරයට නැතිව ජාලයක් සේ (ගසක සංකීර්ණ ආකාරයට අතු බෙදී ඇති ආකාරයකට) අති සංකීර්ණ ස්වරූපයක් ගනී. එහෙත් මේ සිදුවීම් ජාලය අතරම එවැනි ජාලගත නොවන හුදකලා සිදුවීම්ද ඕනෑ තරම් සිදු කරයි. ඒවා පසු හා පෙර සිදුවීම්වලට තීරණාත්මකව සම්බන්ධ නොවේ. මෙවැනි හුදකලා සිදුවීම් මතක තබා ගැනීමට අවශ්‍යතාවක් හෝ වටිනාකමක් ජීවියෙකුට නොමැත. එහෙත් එම සිදුවීම් පවා ටික කාලයක් මනසේ/මොලයේ රැඳී පවතී. ඊට හේතුව ඕනෑම මතකයක් යනු මොලයේ ශෛල අතර සිදුවන යම් රසායනික ක්‍රියාවකි. එම රසායනික ක්‍රියාව වියැකී යෑමට යම් කාලයක් ගත වේ. (එය හරියට ඔබේ නිවසේ බිත්තියක තීන්ත ගානවා බදුයි. තීන්ත ගා යම් කාලයකට පසුව එම තීන්ත අවපැහැ ගැන්වේ. එවිට නැවත ඔබ තීන්ත ගානවා නේද?) එතෙක් එම මතකය තිබේ. අපට මතක තබා ගත යුතු දේවලදී මෙම රසායනික ක්‍රියාව නැවත නැවත සිදු වේ. එය හරියට බැටරියක් නැවත චාජ් කරනවා බදුයි. එමනිසා එවැනි මතකයන්ට අදාල රසායනික තත්වය දිගින් දිගටම පවතී. උදාහරණයක් ලෙස ඔබ සාමාන්‍යයෙන් දවල්ට කන එක මතක තබා ගැනීමේ වටිනාකමක් නැත. එහෙත් ඔබ ඔබේ පෙම්වතිය සමග පළමු වරට කෑම ගත් අවස්ථාව එසේ පහසුවෙන් අමතක නොවේ. ඔබ යම් කෑමක් කෑ පසු දැඩිව රෝග වූ විටකත් එම කෑම වේල අමතක නොවේ. තවද, කාලයත් සමග එවැනි මතකයන් පවා යම් යම් වෙනස්වීම්වලට භාජනය වේ. ඊට හේතුව සිදුවීමක් නිසා ඇති වන මුල් මතකයේ රසායනික ක්‍රියාව ඒ ලෙසම නැවත “චාජ් වීමේදී” ඇති නොවේ. එය ඔබට පහසුවෙන් තේරුම්ගත හැකි දෙයක් නේද? චිත්‍රයක් වුවත් බලාගෙන තව චිත්‍රයක් අඳින විට මුල් චිත්‍රය එලෙසම අඳින්න බැහැ. කාලයක් මුලුල්ලේ මෙවැනි කුඩා කුඩා වෙනස්කම් නිසා අවසානයේ අපට මතක තිබෙන්නේ සියුම් කාරණා මැකී ඇති, වැදගත් කාරණා පමණක් රැඳී තිබෙන මතකයකි.)
මතකය (memory) සමගම එකට බැඳී පවතින තවත් මානසික තත්වයක් තමයි ස්මරණය (remembering, recalling) කියන්නේ. මතකයේ පවතින දෙයක් සිහි කිරීම හෙවත් උඩු සිතට මතු කර ගැනීම මින් සිදු වේ. ඇත්තටම ඔබ සිතනවාට වඩා අති විශාල ප්‍රමාණයක තොරතුරු ඔබේ යටි සිතේ දිගු කාලීන මතකයේ පවතී. එහෙත් ඉන් ඉතාම ස්වල්ප ප්‍රමාණයක් විතරයි ඔබට මතක් කර ගන්නට හැක්කේ. සමහරක් ඉතා පහසුවෙන් හා ක්ෂණයෙන් මතක් වේ. උදාහරණයක් ලෙස ඔබේ නම, ඔබේ මවගේ රූපය, ප්‍රියතම සිංදුව ආදිය ඔබට ක්ෂණයෙන් පහසුවෙන් මතක් වන අතර, ඔබ කුඩා කාලයේ ඉගෙන ගත් කවි එලෙස පහසුවෙන් මතක් නොවේ. සමහර දේවල් ගැන කිසිම හැඟීමක් නැතිවත් (ඒ කියන්නේ මතකයන් නැහැ වගේ) යටි සිතේ තිබිය හැකියි.
විවිධ දේවල් විවිධ මට්ටම්වලින් මතක් කිරීමට ඇති හැකියාව පිටුපස හේතු කිහිපයක් තිබේ. එකක් නම්, ඔබ ඒ ඒ කාරණා එදිනෙදා භාවිතයට ගැනෙන වාර ගණන (frequency) වේ. නිතර භාවිතයට ගැනෙන දේවල් ඉක්මනින් මතක් කර ගත හැකියි. කුස්සියක වුණත් නිතර භාවිතා කරන අමුද්‍රව්‍ය පේනතෙක් මානයේ තබා ගන්නවා නේද? තවත් හේතුවක් නම්, සමහර මතක නිතර මතකේ තිබීම ජීවියාට අහිතකර අන්දමින් බලපාන්නට පුළුවන්. එවිට යටි සිතේ ආරක්ෂක උපක්‍රමය විසින් එවැනි මතක උඩු සිතට මතුවීම වලක්වනවා. (ඉහතදී අපසර්ජනය ගැන කතා කරන විට මේ ගැන ඉගෙන ගත්තා මතකද?) මෙවැනි විටක එම මතකයන් ගැන උඩු සිතට වගේ වගක් නැත. සමහර අය දරුණු අනතුරුවලට ආදිය මුහුණ දුන් පසු ඒ ගැන මතකයක් ඔවුන්ට නැති වෙන අවස්ථා ඔබ අසා තිබෙනවා නේද? එහෙත් යටි සිතේ මෙම මතකය හොඳින් ගබඩා වී පවතිනවා. උඩු සිතට ස්මරණය කිරීමට නොහැකියාවක් පමණයි තිබෙන්නේ.
ඉහත කරුණු සිහියේ තබාගෙන ප්‍රතිගමනය ගැන ඉගෙන ගත යුතුයි. ප්‍රතිගමනය සිදු වෙන්නේ මෝහනයේදී බැවින් ඉහත ස්මරණ ගැටලුවක් ඊට නැත. යටි සිතේ යම් මතකයක් තිබෙයි නම් පහසුවෙන්ම ඒ මතකයන් ඔස්සේ යා හැකියි. එහෙත් යටි සිතේ පවතින මතකයන් කාලයත් සමග සිදු වූ වෙනස්කම් එලෙසම පවතී. ඒ කියන්නේ මෝහනයේදී පවා අපට මුල්ම (ඔරිජිනල්) මතකයම හමු නොවේ. එහෙත් අනිවාර්යෙන්ම සාමාන්‍ය තත්වයට වඩා අති විශාල මතකයන් ප්‍රමාණයක් සමග මෝහනයේ සිටින විටදී ගනුදෙනු කෙරේ.
තවද, ප්‍රතිගමනයේදී බොහෝ විට මෝහනලාභියා එම “බොහෝ දුරට සත්‍ය” මතකයන් සමග තමන් විසින් නිර්මාණය කරන ලද කරුණුද කිව හැකියි (ඒ කියන්නේ බොරුද කිව හැකියි). මෙලෙස බොරු කීම වුවමනාවෙන් හෝ වුවමනාවක් නැතිවම සිදු විය හැකියි. ඔබ දන්නවා මෝහනයේදී වුවත් තමන්ට කැමති දේවල් සිදු කරන්න පුළුවන් කියා. එනිසා ඔහුට අවශ්‍ය නම් යම් තොරතුරු නොකියා සිටීමටත්, සමහරක් තොරතුරු විකෘති කිරීමත් කළ හැකියි. එය තීරණය වන්නේ පුද්ගලයාගේ අවංකභාවය මතයි. එනිසයි, උසාවි කටයුතුවලදී අපරාධ සිදුවීම්වල සාක්කි ලෙස මෝහනය යොදාගන්නේ නැත්තේ. එහෙත් අපරාධ චූදිතයින් ගැන විමර්ශන නිළධාරින්ට යම් යම් හෝඩුවාවල් සොයා ගැනීමට මෝහනය යොදා ගත හැකියි. උදාහරණයක් ලෙස, යම් මිනීමරුවෙකු දැක්කත් ඔහුගේ විස්තර හොඳ හැටි සාමාන්‍ය මතකයෙන් කිව නොහැකි අවස්ථාවක, එසේ ඇසින් දුටු සාක්කිකරුවාව මෝහනයට පත් කර, අපරාධකරුවාගේ හැඩරුව හා වෙනත් අවශ්‍ය විස්තර සොයා ගැනීමට පුළුවන් විය හැකියි (මොකද අපරාධකරුවාව ඇත්තටම දැක්කා නම්, ඔහුගේ විස්තර යටි සිතේ තිබිය යුතුයි).
ප්‍රතිගමනය ඇත්තටම අපට අවශ්‍ය කාලයක් දක්වා අතීතයට ගෙන යා හැකියි. සමහර විට, මෝහනලාභියා මෙලොවට බිහි වෙන්නට පෙර මවු කුස තුළ සිටින අවධියට වුවත් එය කිරීමේ හැකියාවක් තිබෙනවා. මෙය තවදුරටත් අතීතයට ගෙන යා හැකියි. එවිට, මවු කුසට එන්නට පෙර අවස්ථාවටත් යා හැකියි. ඒ කියන්නේ “පෙර භවය/ආත්මය” (previous life) යි. මෙය ඇත්තටම සිත්ගන්නාසුළු කාරණයක්. සමහර අය මෙලෙස පුද්ගලයන්ව පෙර ආත්මයන් දක්වා මෝහනය කර එමගින් පුනර්භවය (reincarnation) ගැන පර්යේෂණ කරනවා. තව දුරටත් අතීතතයට ප්‍රතිගමනය සිදු කර ආත්මයන් ගණනාවකට පසුපසටත් ගමන් කළ හැකියි.
මින් කියන්නේ මෝහනය පුනර්භවය ඔප්පු කරන බවක්ද? (පෙර භවයන් තිබෙන බවක්ද?) ඊට පිළිතුරක් සිතීමට පෙර මේ ගැනත් බලන්න. මෝහනයෙන් කෙනෙකුව අතීතයට පමණක් නොව ඉදිරියටත් (අනාගතය දෙසට) ගෙන යා හැකියි. එවිට ඇත්තටම “ප්‍රතිගමනය” යන වචනයද සුදුසු නොවේ මක්නිසාදයත් එහි තේරුම “ආපස්සට යෑම” වැන්නක්. (මේ අවස්ථා දෙකමට, එනම් අතීතයටත් අනාගතයටත් මෝහනය තුළින් ගමන් කිරීමට සුදුසු වචනයක් යෝජනා කරන්න.) එතකොට මෝහනය මගින් අනාගතය දැකීමේ හැකියාවකුත් පවතීද? තවද, මා මොහොතකට පෙරත් පැවසුවා ප්‍රතිගමනයේදී මෝහනලාභියා ප්‍රබන්ධ (එනම් බොරු) සාදන බවත්. මේ කරුණු කිහිපයම සලකා බලන විට, ඔබ විවෘත මනසකින් බලන විට පිළිතුරක් ලැබේ. අවශ්‍ය නම්, ඔබටම මෙවැනි පර්යේෂණ සිදු කර බැලිය හැකියි. විද්‍යා උපකරණ හෝ විද්‍යාගාර හෝ මුදල් වැය වීමක් මෝහනය සඳහා අවශ්‍ය නොවන නිසා පහසුවෙන් එවැනි පර්යේෂණ සිදු කළ හැකියි.
එක එක්නෙකාගේ විශ්වාසය කුමක් වුවත්, එක් කාරණයක් ගැන නම් සෑම කෙනාටම එකඟ වන්නට පුළුවන්. එය නම්, ප්‍රතිගමනය ඉතා හොඳ මෝහන ප්‍රතිකර්ම ක්‍රමයක් බව. සිය ගණනක් වූ භිතිකා (phobia) වර්ග සුව කිරීමට ප්‍රතිගමනය යොදාගන්නා ඉතාම සුලභ අවස්ථාවක්.
ඇත්තටම, ප්‍රතිගමනය හොඳ මෝහන ප්‍රතිකර්මයකට අමතරව විනෝදාස්වාදය (recreation) සඳහාද බහුලව යොදා ගන්නවා. ඒ කියන්නේ තමන් ගිය ආත්මයේ කවුරු වගේ සිටියාද ඉදිරියේදී කවුරු වගේ වේවිද කියා දැන ගැනීමට කුතුහලයක් බොහෝ දෙනාට පවතින නිසා, සාස්තරකාරයන්, ජ්‍යෝතිෂකාරයන් ගාවට ගොස් එවැනි අද්භූත දේවල් ගැන දැනගන්නාක් මෙන් මෝහනයේ ප්‍රතිගමනයද එලෙසම යොදාගන්නවා. මෙය විනෝදාත්මක ප්‍රතිගමනය (recreational regression) කියා හැඳින්වෙනවා. මෙය විනෝදයට පමණක් සිදු කරනවා නම් කිසිදු අහිතකර දෙයක් නොමැති අතර, එවැනි පෙර ආත්ම හෝ ඉදිරියට වෙන දේවල ගැන කියන තොරතුරු සත්‍ය යැයි පිළිගන්න සූදානම් වන අය ඇත්තටම පරිස්සම් විය යුතුයි. ඒවා විශ්වාස කරමින් පසු තැවෙමින් භය වෙමින් ජීවිතය කාලකන්නි කර ගැනීමටත් එය හේතුවක් විය හැකියි.
ප්‍රතිගමනය මගින් සහනයක් ලබා ගන්නේ කෙලෙසද? ඊට හේතු මොනවාද? මීට ඇත්තේ සරල පිළිතුරකි. (යටි සිතේ පවතින) යම් යම් හේතු නිසා මානසිකවත් ශාරීරිකවත් අප රෝගින් හෝ දුබලයන් බවට පත් වේ. උදාහරණයක් ලෙස කරුවලට භීතිකාවක් පවතින කෙනෙකු සලකමු. ඇත්තටම කරුවලට භය වීමට හේතු නැතිවා නොවේ. කරුවලේදී සර්පයන්ගෙන් සොර සතුරන්ගෙන් කරදර ඇති විය හැකියි. එවැනි බියක් ඇතිවීම නම් සාධාරණයි. එහෙත් කරුවලට ඇති භීතිකාව එවැන්නක් නොවේ. කරුවල වැටුණු පසු තමන්ගේම කාමරයේ ලයිට් එකක් නැතිව නිදා ගන්නට ඔහු බියක් දක්වනවා. අවශ්‍යතාවකටවත් රෑට ගෙදරින් එලියට බහින්නට බියයි. රෑට වටපිට බලන්නට බියයි. මෙය නම් අසාමාන්‍ය තත්වයක්. මෙවැනි භීතිකාවක් ඔහුට ඇති වූයේ කෙලෙසද? බොහෝ විට, මෙය ඔහුට අතීතයේදී සිදු වූ යම් සිදුවීමක් නිසා ඇති වූවක්. සමහරවිට එම සිද්ධිය වූයේ ඔහු ඉතා කුඩා කාලයෙ වන්නට පුළුවන්. උදාහරණයක් ලෙස, කුඩා කාලයේ ඔහු බලපු “හොල්මන් කතාවක්” වෙන්නට පුළුවන්. සමහරවිට වචනයක්වත් කතාකරන්නට බැරි වයසේ අත දරුවෙකුව සිටි කාලයේ සිදුවීමක් වන්නටත් පුළුවන්. උදාහරණයක් ලෙස කුඩා දරුවා රෑ සිටින විට, ඉතා විශාල ශබ්දයක් එකවර ඇති වී ළඳරුවා දැඩි පීඩාවකට ලක් වීමක් විය හැකියි. තවත් සමහර සිදුවීම් මව්කුස තුළ සිටින විට සිදු වූවක් විය හැකියි. තවත් සිද්ධීන් “ගිය ආත්මයක” සිදුවීමක් දක්වා යයි (ඇත්තටම ගිය ආත්මයක් තිබේද නැද්ද යන්න අපට මෙහිදී වැදගත් නැත. මෝහනවේදියා වශයෙන් ඔබ එවැන්නක් විශ්වාස කළත් නැතත් වැඩක් නැත. පූසා මැටියෙන් හැදුවත් මීයන් අල්ලනවා නම් එච්චරයි නේද ඔබටත් අවශ්‍යය? ප්‍රතිගමනය අපට තවත් එක් මෙවලමක් විතරයි.) මේ කුමන ආකාරයක සිද්ධියක් ඔහුගේ දැන් පවතින ගැටළුවට හේතුවක්. අනිවාර්යෙන්ම මෙවැනි අතීත සිදුවීමක් තිබෙනවා සෑම භීතිකාවක් පිටුපස.
දැන් ඔබ කළ යුත්තේ ඔහුට එම භීතිකාව (හෝ වෙනත් ගැටළුවක්) ඇති කළ අතීත සිදුවීමට ප්‍රතිගමනය කර, එම සිදුවීම මගින් ඔහුට ඇතිකරන අයහපත් බලපෑම ඉවත් කිරීමයි. එම ඍණාත්මක සිදුවීම ඉවත් කළ පසු, ඒ මොහොතේ සිටම එම පීඩාව ඔහුගෙන් ඉවත් වේ. මෝහන ප්‍රතිකර්මය එයයි. මෙහදී ප්‍රතිගමනය අපට ඒ සඳහා එක් මෙවලමක් පමණයි. අප දැන් ඉගෙන ගත යුතුයි ප්‍රතිගමනය සිදු කරන අයුරුත් ඉන් ප්‍රයෝජනය ගන්නා අයුරුත්.

Hypnosis (mohanaya) ... 

මවිසින් ඉංග්‍රිසි බසින් ලියා ඇමසන් හි ප්‍රකාශයට පත් කළ මෝහනය මුල සිට ක්‍රමානුකූලව උගන්වන අත්පොත පහත ලින්ක් එක මත ක්ලික් කර දැන් නිවසටම ගෙන්වා ගත හැකිය.

https://www.amazon.com/dp/B0851MHRSM

Comments

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

ඉලෙක්ට්‍රෝනික්ස් II (Electronics) - 6

විශේෂ ප්‍රතිරෝධක ඉහත සාකච්ඡා කළ නියත හා විචල්‍ය ප්‍රතිරෝධක හැරුණහම , තවත් සුවිශේෂී ජනප්‍රිය ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ද තිබෙනවා . මේවා ආලෝකය , උෂ්ණත්වය වැනි විවිධ භෞතික රාශින්ට සංවේදී ප්‍රතිරෝධකයි . මේ අතරින් සුලභම වර්ගය තමයි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක වර්ගය . මේවා ප්‍රකාශ - ප්‍රතිරෝධක (photoresistor) හෝ “ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක” (Light Dependent Resistor – LDR) ලෙස හැඳින් වෙනවා . එහි සාමාන්‍ය භාහිර හැඩය පහත දැක්වේ .   මෙම ප්‍රතිරෝධයේ හිස මත තිබෙන්නේ ආලෝකයට ඉතා සංවේදී කැඩ්මියම් සල්ෆයිඩ් (CdS), ලෙඩ් සල්ෆයිඩ් (PbS), කැඩ්මියම් සෙලිනයිඩ් (CdSe) ආදී යම් රසායනික ද්‍රව්‍යයකි . එම ද්‍රව්‍යයන්වල ඉතා ඉහල ( බොහෝවිට 500k ohm වැනි ) ප්‍රතිරෝධි අගයන් තිබේ . එහෙත් ඒ මතට ආලෝකය වැටෙන විට , ප්‍රතිරෝධි අගය සීඝ්‍රයෙන් පහළ යයි ( බොහෝවිට ඕම් 500 වැනි ). මෙහිදී කිව යුතු වැදගත් කරුණ නම් , ඉහත සඳහන් කළ ( හා නොකළ ) ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය එකම ආකාරයෙන් ආලෝකයට සංවේදී නොවේ . සමහර ඒවා “ආලෝකයේ රතු පැත්තට” ( ඒ කියන්නේ දිගු තරංග ආයාම සහිත ආලෝකයට ) සංවේදිතාව දක්වන අතර , තවත් සමහර ඒවා “ආලෝකයේ නිල් / ද...

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...