Skip to main content

මෝහනය / mohanaya (Hypnosis) - 14

මෝහනය ක්‍රියාත්මක වන ආකාර දෙක

බොහෝ දෙනෙකුට ඇතිවන ප්‍රශ්නයක් නම් කෙනෙකුව මෝහනයට පත් කළ පසු කොපමණ කාලයකට එය බලපවත්වනවාද යන්නයි. සමහර මෝහන ප්‍රතිකාර ජීවිත කාලයටම බලපවත්වන අතර, සමහරක් මෝහන ප්‍රතිකාර ටික කාලයක් සඳහා පමණක් ක්‍රියාත්මක වී, එම තැනැත්තා නැවත පරණ පුරුදු තත්වයට ක්‍රමයෙන් පත් විය හැකියි. එම ටික කාලය දවස් කිහිපයක්, සති හෝ මාස කිහිපයක් විය හැකියි. කුමන ජාතියේ ප්‍රතිකර්ම ජීවිත කාලය සඳහාම පවතීද, කුමන ජාතියේ ප්‍රතිකර්ම කෙටිකාලීනව පවතිනවාද යන්න හඳුනාගැනීමද පහසුවෙන් කළ හැකියි.
සමහර ප්‍රශ්න අර්බුද තිබෙනවා යම් දෝෂයක් නිසා හටගන්නා. එම දෝෂය තිබෙන තාක්කල් ප්‍රශ්නයද එලෙසම දිගටම පවතින අතර, දෝෂය ඉවත් කළ වහම ප්‍රශ්නයද ඉවත් වේ. උපමාවකින් එය දක්වන්නේ නම්, ජලය ගලා ගෙන යන කානුවක එක් තැනකින් බාධාවක් යොදා ජලය ගලා යෑම නතර කළ හැකියි. මෙහි ප්‍රශ්නය තමයි ජලය ගලා නොගොස් වතුර පිටාර ගැලීම (හෝ වතුර එක තැන පල් වීම). එම ප්‍රශ්නයට අදාල දෝෂය තමයි කානුවේ යම් තැනැක ඇති වූ ජලය ගලාගෙන යෑමට ඇති වූ බාධාව. දැන් මෙම බාධාව ඉවත් කළ විගස, ජලය සාමාන්‍ය පරිදි ගලාගෙන යෑමට හැකි වීම නිසා, ප්‍රශ්නය ඒ ක්ෂණයෙන්ම විසඳෙනු ඇත.
මෝහන ප්‍රතිකර්ම සඳහා එන අයගේ සමහර ප්‍රශ්නද එබදුය. එම ප්‍රශ්නයට අදාලව පවතින බාධාව ඉවත් කළ විගස, එම ප්‍රශ්නය විසඳෙනු ඇත. එම විසඳීම ජීවිත කාලයටම වලංගු වේ.
එහෙත් එම තැනැත්තා අනාගතයේ වෙනත් හෝ එවැනිම බාධාවක් නැවත ඇති කර ගෙන නැවත ජීවිතයේ ප්‍රශ්න ඇති කර ගැනීමට ඇති ඉඩකඩ එලෙසම පවතින බවද මතක තබා ගන්න. ජීවිතයේ ස්වභාවය එබඳුයි. ඔබව පය ලිස්සා වැටී තුවාලයක් සිදු වූ විට, ප්‍රතිකාර කරගෙන එය සුවපත් වූ පසුව, නැවත දවසක පය ලිස්සා වැටීමට ඇති ඉඩකඩ ඉවත් වන්නේ නැහැ නේද? මානසික ගැටළුද එලෙසම නැවත නැවත ඇති විය හැකියි. මා කියන්නට උත්සහ කළේ එවැනි ගැටළුවකට ප්‍රතිකර්ම කළ පසු එම ප්‍රශ්නය විසඳෙන අතර, ඒ විසඳුණු ප්‍රශ්නය නැවත දළුලා වැඩෙන්නේ නැති බවයි. එනම්, ප්‍රතිකර්මය ජීවිත කාලයටම පවතින බවයි. පසු දවසක ඔහුට නැවත එවැනිම හෝ වෙනස් ලෙඩක් සෑදීමටද හැකි නමුත් එය පැරණි ලෙඩේ මතු වීමක් නොව එය අලුතින් ඇති වූ ලෙඩකි. එවිට එයටද ප්‍රතිකර්ම කර සුව කළ හැකියි. මෙය තමයි ඉහත සඳහන් කළ ආකාරයට පළමු වර්ගයේ මෝහන ප්‍රතිකර්මය. විශේෂයෙන්ම සෑම වර්ගයකම භීතිකාවලට කරන ප්‍රතිකර්ම මේ ගණයට වැටේ. භීතිකාවක් යනු, අනියත භයක් වන අතර, එම භයට හේතුව (එනම්, යටි සිතේ ගබඩා වී ඇති එම අනවශ්‍ය සිතුවිලි රටාව) ඉවත් කළ පසු එම භීතිකාව ඉවත් වේ.
දෙවැනි වර්ගයේ ප්‍රතිකර්ම - එනම් යම් කාල සීමාවක් දක්වා පමණක් බලපවත්වන ප්‍රතිකර්ම - තමයි බහුල වශයෙන්ම පවතින්නේ. මෙම කාල සීමාව නොයෙක් සාධක මත තීරණය වෙනවා. මෝහනලාභියා සිටි මෝහන මට්ටමේ ගැඹුර, ඔහුට කියන ලද යෝජනාවලියේ ගුණාත්මකබව, ඔහුට ප්‍රශ්නයෙන් මිදීමට සත්‍ය ලෙසම පවතින කැමැත්තේ ප්‍රමාණය හා ඒ සඳහා ඔහු විසින් යොදන කැපකිරීමේ ප්‍රමාණය, ඔහු සිටින පරිසරයේ ස්වභාවය (උදාහරණ ලෙස, ඔහුගේ මිතුරන්, පවුලේ උදවිය ආදියගෙන් ලැබෙන සහයෝගය, ඔහුට එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන්නට තිබෙන සිදුවීම්) ආදිය මේ සාධක අතර වේ.
මෝහන මට්ටම හොඳවන තරමටද, යෝජනාවලිය ගුණාත්මක වන තරමට මෝහන ප්‍රතිකර්මයේ බලපෑම දීර්ඝ වේ. එහෙත් ජීවිතය කියන්නේ ස්වභාවයෙන්ම ඍණාත්මක පැත්තට යොමුවන්නට වැඩි ඉඩකට තිබෙන දෙයක්. ඒකනේ ලෝකයේ මෙච්චර ප්‍රශ්නකාරී වී තිබෙන්නෙත්. අපේ දෙමාපියන්, බිරිඳ, ස්වාමියා, ගුරුවරුන්, මිතුරන් ආදී අප වටා සිටින අපට ආදරය කරන අය පවා හැමවිටම අපට ධණාත්මකව ජීවිතය දකින්නට පොළඹවන දේවල්ම කරන්නේ නැහැ. ඔබේ ජීවිතයේ පැරණි සිදුවීම් ගැන මතක් කර බලන්න. ඔබේ දෙමාපියන් නිසා ඔබ නොසන්සුන් වුණු ඔබේ සිතට ඍණාත්මක හැඟීම් මතු වූ අවස්ථා පවා තිබෙන්නට පුළුවන් (විශේෂයෙන් ආදර සම්බන්ධතා ගැන කාරණාවලදී). ඉතාම හොඳ දෙයක් කරන විට තමන්ට ලැබෙන ප්‍රශංසාවලට වඩා ඉතාම කුඩා නරක දෙයක් කළ විට ලැබෙන ගැරහීම වැඩිය. එනිසා, ජීවිතයේ එදිනෙදා වැඩකටයුතුවලින් අපට ඇති වන යම් ප්‍රශ්නවලට මෝහනයෙන් ප්‍රතිකර්මයක් ලබා ගත් විට, එම ප්‍රතිකර්මය ජීවිත කාලය පුරාම පවතින්නේ නැත්තේ මෙන්න මෙම සමාජ වටපිටාව නිසාය. උදාහරණයක් ලෙස, ඔබ ජීවිතය සැහැල්ලුවෙන් සතුටින් ගත කරන්නට ඕනැකමක් ඇති කර ගෙන ඒ සඳහා මෝහන යෝජනාවලියකින් යටිසිතද සකසාගෙන නැවත යන්නේ පැරණි ඍණාත්මක බව බහුල සමාජයටමයි. ඔබ එලෙස ධණාත්මක බව ඇති කර ගෙන එම සමාජයට ගිය මොහොතේ සිටම, ඔබට දුක, කේන්තිය, කළකිරීම, නොසන්සුන්බව ඇතිකරවන සිද්ධිවලට මුහුණ දීමට සිදු වේ. මෙලෙස කෙටි කාලයක් සිටින විට, ඔබට නොදැනුවත්වම ඍණාත්මක ස්වභාවයන් නැවත ජීවිතයට එකතු වේ. එය සහමුලින්ම නතර කිරීමට ඔබට නොහැකියි. එයද ජීවිතයේ තවත් එක් ස්වාභාවක්. එය තිත්ත ඇත්තක්.
පාඩම් කිරීමට උද්‍යෝගයක් ඇතිකර ගැනීමට මෝහන ප්‍රතිකර්මයක් කළ පසු, පාඩම්වලට භාහිරව අනේකවිධ කටයුතුවලට සමාජය ඔබව කොතරම් පොළඹවනවාද කියා සිතා බලන්න. සැහැල්ලුවෙන් සියලු දේ ගැන සිතීමට හා වැඩ කිරීමට මෝහන ප්‍රතිකර්මයක් කරගත් පසුද, ඔබේ වැඩපොලෙන් හෝ පාසලින් හෝ ඔබට කරගත නොහැකි ප්‍රමාණයට වැඩපවරන අවස්ථාවකදී එලෙස සැහැල්ලුවෙන් සිටීම අපහසු වේ. සැහැල්ලුවෙන්ම කොහොම හරි ඉන්නවා කියා සිතමින් වැඩ කළ විට, සමහරවිට බැනුම් අසන්නට සිදුවේ. එලෙස බැනුම් අසන්නට කවුරුත් කැමති නැති නිසා, ඉබේම ඔබ නැවත සුපුරුදු ලෙස ඉතා කාර්යබහුල ආකාරයට වැඩ කරන්නට සිදු වේ. මෙලෙස සිතා බැලුවොත් පෙනේවි මෙවැනි කාරණාවලට මෝහන ප්‍රතිකාරයක් කර ගත් පසුවත් ඒවා පවතින්නේ යම් කාල සීමාවක් දක්වා පමණක් බව.
ඇත්තටම, ඉහත පෙන්වා දුන් ආකාරයට ප්‍රතිකර්මය බලපවත්වන කාලය සීමාසහිත වීම මෝහනයේ වරදක් නොවේ. එය ඔබේ ජීවන ශෛලයේ වරදක්ම පමණි. බොහෝ විට, ඊට ඔබද ඍජුවම වගකිව යුතු නැත. බොහෝ කාලයක් මුලුල්ලේම සමාජය ගොඩ නැඟී ඇත්තේ එලෙසයි. ඒකෙන් කියන්නේ නැහැ මෙවැනි ප්‍රශ්න සඳහා මෝහනයෙන් සහනයක් ලැබීමට උත්සහ කිරීම අනවශ්‍ය හෝ නිශ්ඵල බවත්. ඔබට යම් කාලයකට සැරයක් නැවත නැවත මෝහන ප්‍රතිකර්ම සඳහා යොමු විය හැකියි. සිතා බලන්න (විශේෂයෙන් දියුණු රටවල) මිනිසුන් වසරකට දෙවරක් පමණ තමන්ගේ දත්, ඇස් ආදිය පරික්ෂාවකට භාජනය කරනවා නේද? එලෙස වසරකට දෙතුන් සැරයක් මානසික සුවතාව පවත්වාගෙන යෑම සඳහා මෝහන ප්‍රතිකර්මයන් වෙත යොමුවීමද කළ හැකියි.
මේ සමාජය නරකයි නම්, එහි පවත්වාගෙන යනු ලබන සාම්ප්‍රදායික පිළිවෙත් හා ජීවන රටාවන් හිතකර නොවන්නේ නම්, ඒවා වෙනස් කිරීමට ඔබ යම් උත්සහක් දැරීම සුදුසුය. ඒවා ඔබ අප විසින් වෙනස් කර ගන්නේ නැතිනම්, පිටසක්වලින් පැමිණ වෙනස් කරන්නේ නැත. කවුරුත් කරන දේවල් අප කළ යුතු නැත. කවුරුත් කියන දේවල් අපත් කිව යුතු නැත. සතුට හා නිදහස අනෙක් සියල්ලටම උඩින් වැදගත් කොට සලකන්නට පුරුදු වීම මෙම වෙනස ඇති කර ගැනීමට ඇති හොඳම ක්‍රමයයි. (කායික හෝ මානසික හෝ) ලෙඩ සාදාගෙන, කාලයත් ධනයත් නාස්තිකර ගෙන ඒවාට ප්‍රතිකර්ම ගන්නට (මෝහන හෝ වෛද්‍ය හෝ වෙනත් ආකාරවලින්) සිතන එකත් ඇත්තටම මෝඩ කමකි. තරගයක් සේ නොසන්සුන්ව ජීවිතය ගත කරන විට සතුට නිදහස නැත්තාක් සේම, ප්‍රතිකර්මවලට යොමු වීම හා ඒ අනුව කැපවීමෙන් කටයුතු කිරීමත් සතුට නිදහස නැති වීමකි. එනිසා, මේ දෙයාකාරයෙන්ම පවතින ප්‍රශ්න විසඳීමට ඇති හොඳම ක්‍රමය ජීවන ශෛලයේම අවශ්‍ය වෙනස් කම් සිදු කර ගැනීම නොවේද?
අපට අවශ්‍ය ආකාරයට සමාජයත් පෞද්ගලිකවම තමනුත් යහපත් ආකාරයට ගැටළු අවම ජීවන රටාවන්ට හුරුවන තෙක්, මෝහනයෙන් බොහෝ ප්‍රයෝජන ගත හැකියි. ඉතා පහසුවෙන් විසඳාගැනීමට හැකියාව තිබියදීත් ප්‍රශ්නවලින් ජීවිතය නාස්ති කර ගැනීම අපට මින් වළක්වාගත හැකියි. විවිධ වයස් මට්ටම්වල අයටත්, විවිධ සමාජ ස්ථරවල සිටින අයටත් එක සේ ඒ ඒ අයට ඇති නොයෙක් ආකාරයේ ප්‍රශ්නවලට මෙහි ප්‍රතිකර්ම ඇත. සාර්ථකත්වයට, සතුටට, සැනසීමට හේතුව මනස වන අතරම, බොහෝ ප්‍රශ්නවලට මුලත් මනසම වේ. කෙනෙකුගේ මනසේ ඇතිවන එක් සිතුවිල්ලකින් තමන්ට පමණක් නොව මුළු ලෝකයටම බලපෑමක් එල්ල කළ හැකියි. යම් සිතුවිල්ලක් නිසා නොවේද යුද්ධ හටගන්නේ. යම් සිතුවිලි නිසා නොවේද ලෝකයටම වටිනා නව නිර්මාණ නිපදවන්නේ. එනිසා පුද්ගලයකුගේ සිතුවිලි තමයි ඔහුගේ සියලු දේවල් විනිශ්චය කරන්නේ. තමන්ගේ දෛවය නිර්මාණය කරන සර්වබලධාරි දෙවියන් තමන්ගේ සිතයි. එය යහපත් ආකාරයට මෙහෙයවන්නට පුරුදු කිරීමේ හැකියාවක් මෝහනයට තිබේ.

Hypnosis (mohanaya) ...

Comments

Popular posts from this blog

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

ඉලෙක්ට්‍රොනික්ස් III (Electronics) - 20

Tunnel Diode Esaki නම් ජපන් ජාතිකයා විසින් මෙය සොයා ගත් නිසා මෙම ඩයෝඩය එසාකි ඩයෝඩය ලෙසද හඳුන්වනවා . මෙම සොයා ගැනීමත් සමගම ඔහු විසින් ක්වන්ටම් ටනල් ආචරණයද සොයා ගත් නිසා නොබෙල් ත්‍යාගය පවා ඔහුට ලැබුණා . ක්වන්ටම් ටනල් ආචරණය සෙනර් ඩයෝඩයේදී දක්නට ලැබුණා මතකද ? මෙම ඩයෝඩයත් ක්වන්ටම් ටනල් ආචරණය මත පදනම්ව සාදා ඇති නිසාම ඊට ටනල් ඩයෝඩය ( උමං ඩයෝඩය ) යන නම ලැබී තිබෙනවා . එහි සංඛේතය පහත දැක්වේ .   සාමාන්‍ය ඩයෝඩයක මෙන්ම පී හා එන් කැබැලි දෙකකින් සෑදූ සන්ධියක් ඇත . එහෙත් සාමාන්‍ය ඩයෝඩයකට වඩා ඇති වෙනස නම් , එම අර්ධසන්නායක කොටස් ඉතා අධිකව මාත්‍රණය කර තිබෙනවා ( සාමාන්‍ය ඩයෝඩයකට වඩා ලක්ෂ ගුණයක් පමණ ). එවිට අර්ධසන්නායක කොටස් දෙකෙහිම යහමින් ආරෝපණ වාහක තිබෙනවා ( සාමාන්‍ය සන්නායකයක් වගේම ). එහි ප්‍රතිඵල දෙකක් තිබෙනවා . එකක් නම් , පෙර නැඹුරු කළ විට උමං ආචරණය සිදු වීම . දෙවැන්න නම් , පසු නැඹුරු කළ විට සාමාන්‍ය සන්නායකයක් ලෙස ක්‍රියා කිරීම . මේ දෙක දැන් සලකා බලමු . පෙර නැඹුරු කළ විට , උමං ආචරණය නිසා සුපුරුදු ඩයෝඩ ක්‍රියාකාරිත්වය නොදක්වයි . ඒ කියන්නේ 0 සිට වෝල්ටියතාව වැඩි කර ගෙන යන විට , ධාරාවද ක...