Skip to main content

මෝහනය / mohanaya (Hypnosis) - 24

හිප්නොටික් කෝමා මට්ටමට පත්වීම

සොම්නැම්බ්‍යුලිස්ම් මට්මටම පසුව ඇති ගැඹුරු මට්ටම කෝමා වේ. ඇත්තටම මෙම මට්ටමේදී මෝහනලාභියා ප්‍රතිචාර දැක්වීම නොකරන තරම්ය. ඊට හේතුව නමින්ම කියවෙන පරිදි ඔහු සිටින්නේ ඉතාම සුවදායක සැහැල්ලුවකින් වීමයි. ශරීරයේ කිසිදු පීඩාවක් දැනෙන්නේ නැති තරම්. ඉතිං මෝහනවේදියා කියන දේට පවා ඔහු ඇහුම්කන් නොදේ. එමනිසා යම් යම් මානසික ගැටළුවලට හිප්නොතෙරපි කිරීමට මෙම මට්ටම යොදා ගත නොහැකියි. එසේනම් මින් ගත හැකි ප්‍රයෝජන මොනවාද?
සොම්න මට්ටමට වඩා කෝමා මට්ටම සැපදායකය. එනිසා එදිනෙදා ආතතිය ආදියෙන් මිදීමට මෙම කෝමා මට්ටමට (සොම්න මට්ටමට පත් වීමට වඩා) පත්වීම ඵලදායකයි. ඒ කියන්නේ කෝමා මට්ටම අැන්කර් කර ස්වයංමෝහනයට පත්වීමට හැකියි. මෙහි තවත් ප්‍රයෝජනයක් නම් බෙහෙත්වලින් පවා සහනයක් නොලැබෙන දැඩි වේදනාවෙන් (intractable pain) පෙළෙන අයට (පිළිකා රෝගින් ආදිය) සහනයක් දිය හැකි වීමයි. ඊට හේතුව කෝමාවේ සිටින විට ශාරීරික වේදනාවන් නොදැනීමයි. දත් ගලවන විට, දරුවන් ප්‍රසූත කරන විට, සැත්කම් සිදු කරන විට ආදී අවස්ථාවල බෙහෙත්වලින් නිර්වින්දනය (anesthesia) නොකර ඒවා සිදු කර ගැනීමටත් මෙය භාවිතා කළ හැකි බව පෙන්වාදී තිබෙනවා (යම් යම් කොන්දේසි මත).
දැන් බලමු කෝමාවට පත් වෙන්නේ කෙසේද කියා. පළමුව සොම්නැම්බ්‍යුලිස්ම්හි ගැඹුරු මට්ටමටම පත් විය යුතුය. ඉන්පසු පහත දැක්වෙන ස්ක්‍රිප්ට් එක කියන්න.
මං ඔබව ඔබ දැන් සිටින සැහැල්ලුවටත් වඩා වැඩි සැහැල්ලුවක් දැනෙන ගැඹුරුම තැනට රැගෙන යන්නයි හදන්නේ. එම ගැඹුරු තත්වයේදී ඔබේ සියලු වේදනා හා ප්‍රශ්න නොදැනේවි. ඔබ ඔය දැන් සිටින තත්වයේ සිට තවත් මට්ටම් තුනක් ගැඹුරට යන විට එම ස්ථානයට... එම තත්වයට... ඔබව පත් වේවි. අපි ඒ මට්ටම් තුන උඩ මට්ටම, මැද මට්ටම, යට මට්ටම ලෙස නම් කරමු. මේ මට්ටම් තුන හරියට තට්ටු හතරක ගොඩනැඟිල්ලක් වගෙයි. ඔබ ඔය දැන් ඉන්න මට්ටම... සැහැල්ලුව... එම ගොඩනැඟිල්ලේ ඉහළම තට්ටුව වන හතරවැනි තට්ටුවට සමාන කරන්න පුළුවන්. උඩ මට්ටම එම තට්ටු හතරේ ගොඩනැඟිල්ලේ තුන්වෙනි තට්ටුවයි; මැද මට්ටම එහි දෙවැනි තට්ටුවයි; යට මට්ටම යනු ගොඩනැඟිල්ලෙහි යටම තට්ටුවයි. ඔබට කරන්න තියෙන්නේ ඔබ දැන් ඔය සිටින උඩම තට්ටුවේ සිට යට තට්ටුවට ගමන් කිරීමටයි. එවිට ඔබ ක්‍රමක්‍රමයෙන් ගැඹුරුම සැහැල්ලුවට... ඔබ යන්නට සූදානම් වන මට්ටමට... යාවි. එහි උඩ මට්ටමට යෑමට ඔබට කරන්න තියෙන්නේ ඔබ ඔය දැන් සිටින මට්ටම දෙගුණයක් කරන්නයි... ඒ කියන්නේ ඔය සිටිනවාට වඩා දෙගුණයක සැහැල්ලුවක් ඇති කර ගන්නයි. මැද මට්ටමට යෑමට නම් උඩ මට්ටම මෙන් දෙගුණයක සැහැල්ලුවක් ඇති කරගන්න ඕන. ඒ විධියටම යට මට්ටම... ඒ කියන්නේ ඔබ යෑමට සූදානම් වන මට්ටමට... යෑමට ඔබ මැද මට්ටමේදී දැනෙන සැහැල්ලුව මෙන් දෙගුණයක සැහැල්ලුවක් ඇති කර ගන්නට ඕනා.”
හරි... දැන් පටන් ගමු. ඔබ සිතින් මවා ගන්න දැන් ඔබ ඉන්නේ පඩිපෙළක උඩම පඩියේ කියා. ඒ පඩිපෙළ ඔබ ආසම ආකාරයටයි සාදා තිබෙන්නේ... ඔබ කැමැති පාටින්... ඔබට පහසුවෙන් යා හැකි ආකාරයටයි තිබෙන්නේ. එම පඩිපෙළ දිගේ පහළට ගමන් කරන විට, ඔබව තව තවත් සැහැල්ලුවක් දැනෙනවා. එම පඩිපෙළ ඔබට කැමැති තරම් දිග හෝ කැමති තරම් කෙටි කර ගන්නට පුළුවන්. ඔබට කැමැති වේගයකින් ඒ පඩිපෙළ දිගේ ගමන් කරන්නට පුළුවන්. මං දැන් මොහොතකින් එකේ සිට තුනට ගණන් කරනවා. තුන කියන විටම ඔබ එම පඩිපෙළේ උඩම පඩියේ සිට පහළට සෙමින් බසින්නට පටන් ගන්න. ඔබ ඔය සිටින මට්ටමේ සිට ඔබට යෑමට තිබෙන මට්ටම් තුනෙන් පළමු මට්ටම වන උඩ මට්ටමට ළඟා වෙන්න. ඔබට කැමැති වේගයකින් ගමන් කරන්න පුළුවන්. ඔබ උඩ මට්ටමට පැමිණෙන විට, ඔබ සිටි සැහැල්ලුව මෙන් දෙගුණයක සැහැල්ලුවක් ඇති වෙන්නට ඉඩ දෙන්න. ඔබ උඩ මට්ටමට පැමිණි විට, මට “ආවා” කියලා දැනුම් දෙන්න. හරි... ඔන්න මං ගණන් කරන්න පටන් ගන්නවා. එක... දෙක... තුන. සැහැල්ලුව දෙගුණ කරමින් උඩ මට්ටමට පැමිණෙන්න.”
[එසේ කියා ඔබ නිහඬව සිටින්න ඔහු ආවා කියා කියන තෙක්.] බොහෝම හොඳයි. මං ආයෙත් එකේ සිට තුනට ගණන් කරනවා. මං තුන කියන විට, ඒ පඩිපෙළ දිගේම පහළට ඔබ දැන් සිටින උඩ මට්ටමේ සිට මැද මට්ටමට සෙමින් බසින්න ඕන. හදිසියක් නැහැ... ඔබ එසේ බසින විට සිටි මට්ටමට වඩා දෙගුණයක සැහැල්ලුවක් ඇති වේවි. ඔබ එම මැද මට්ටමට පැමිණි පසු, “ආවා” කියලා මට කියන්න. සමහරවිට ඔබට එය ශබ්ද නඟා කීමට බැරිවන තරමට සැහැල්ලුවකින් සිටීවි. කොඳුරනවා වගේ පවසාවි. එය සිදුවන්නේ ඔබේ මුළු ශරීරයම ගැඹුරු සැහැල්ලුවකින් පවතින නිසයි. ඇත්තටම එවැනි සැහැල්ලුවක් ඇති කර ගන්න තමයි අපිටත් අවශ්‍ය; එහෙත් කෙසේ හෝ ආවා කියල කියන්න. හරි... දැන් මං තුනට ගණන් කරනවා. එක... දෙක... තුන.”
[නැවත ඔහු ආවා කියා කියන තෙක් ඔහුගේ කට දිහා හොඳින් බලා සිටින්න. අහක බලන් ඉන්න එපා. බොහෝ විට, ඔහු ආවා කියා කියන එක නොඇසෙන තරම් සියුම් විය හැකියි. ඔබ එය ඔහුගේ කට දෙස බලා සිටීමෙන් බොහෝ විට දැනගත හැකියි.] නියමයි... හොඳටම කරනවා. තව බසින්න තියෙන්නේ එක මට්ටමක් පමණයි. යටම තට්ටුවට ගමන් කරන්න විතරයි තව තියෙන්නෙ. ඒ මට්ටමට ගිය විට ඔබේ සියලුම ශාරීරක හා මානසික ප්‍රශ්න ගැටළු තවදුරටත් නොදැනෙන ඉතා සැහැල්ලු සනීපදායක බවක් දැනේවි. ඒ මට්ටමට යෑමට ආශා කරන්න... එම මට්ටම දක්වා ගැඹුරට සැහැල්ලුවීමට ඉඩ දෙන්න. හරි... ඔබ ආයෙත් එම පඩිපෙළ දිගේ යටම තට්ටුවට... ඔබට යෑමට අවශ්‍ය කරන මට්ටමට... යන්නටයි හදන්නේ. ඒ සඳහා කරන්න තියෙන්නේ ඔය සිටින මට්ටම මෙන් දෙගුණයක සැහැල්ලුවක් ඇති කර ගන්නයි. ඔව්... ඔබ පඩිපෙළ දිගේ පහළට සෙමෙන් බසින විට ඔබ සිටින තත්වය මෙන් දෙගුණයක ගැඹුරක්... සැහැල්ලුවක්... ඇති වෙන්නට ඉඩ දෙන්න. මං දැන් එකේ සිට තුනට ගණන් කරනවා. තුන කියන විට පහළට පඩිපෙළ දිගේ පහළට බසිමින් සිටි මට්ටමට වඩා දෙගුණයක සැහැල්ලුවක් ඇති කර ගන්න. ඔබට අවශ්‍ය කාලයක් ඒ සඳහා ගත කරන්න. එක... දෙක... තුන. සැහැල්ලු වෙන්න... සැහැල්ලු වෙන්න ඉඩ දෙන්න... සැහැල්ලුවේ ගැඹුරුම තට්ටුවට සෙමින් ළඟා වෙන්න. ගැඹුරට යන්න... ගැඹුරට... ගැඹුරට... ගැඹුරට යන්න.”
දැන් බලාගෙන සිටින්න. විනාඩියක් හෝ විනාඩි කිහිපයක් ඒ සඳහා ඔහු ගනීවි. ඔහු කෝමාවට පත් වූ පසුව ඔබට ප්‍රතිචාර දක්වන්නේ නැති තරම්. හරියටම ඔහු කෝමාවේ සිටිනවාද කියා දැන ගැනීමට ඇති එක ක්‍රමයක් තමයි එය. ඔහුගේ නම මොකක්ද කියා අසන්න (හෝ එවැනි සරල ප්‍රශ්නයක් අසන්න). ඔහු ඊට ප්‍රතිචාර නොදක්වාවි. ඇත්තටම සාමාන්‍යයෙන් මෝහනයෙන් ඉවත් කිරීමට කියන ඉමර්ජින් යෝජනාවලටද ඔහු බොහෝ විට ප්‍රතිචාර නොදක්වයි. ඒ කියන්නේ ඔහුව මෝහනයෙන් ඉවත් කිරීමට ඔබට බැරි වෙයි (සාමාන්‍ය ක්‍රමවලින්). ඉතිං ඔහුට කෑ ගසා හෝ ඔහුව වැරෙන් සොලවා හෝ ඔහුට වතුර ගසා හෝ මෝහනයෙන් ඉවත් කරන්නට එපා. ඔහුට එසේ ඉන්නට දුන්නොත් ඔහුට අවශ්‍ය යම් කාලයක් එසේ සිට ඉබේම ඉන් ඉවත් වේවි. එහෙත් ඔබට කැමැති නම් ඔහුව ඉවත් කිරීමටද හැකියි. ඒ සඳහා පහත දැක්වෙන ලෙස ඔහුට පවසන්න.
හොඳයි {අදාල පුද්ගලයාගේ නම} මේ අහන්න. මං දන්නවා ඔයාට මං කියන දේ ඇසෙනවා කියලා. ඔයා මං එකේ සිට පහ දක්වා ගණන් කරන විට ක්‍රමයෙන් ඔය සිටින තත්වයෙන් ඉවත් වෙන්නට අවශ්‍යයි. ඔයා මං කියන විධියට ඔය සිටින මෝහනයෙන් ඉවත් නොවුණොත් ආයෙත් ඔබ ඔය සිටින ඉතා සැහැල්ලු සනීපදායක තත්වයට පත් වෙන්නට බැරි කරනවා. හරි... එක... ඔබගේ ශරීරය පුරාම ප්‍රබෝධයක් ශක්තියක් ගමන් කරන්න පටන් ගන්නවා. ඔබ මෝහනයෙන් ඉවත් වෙන්නයි හදන්නේ. දෙක... දැන් ඔබේ ශරීරය හා මනස ප්‍රබෝධමත්ව පිබිදෙනවා. ඔබේ ඇස් විවෘත කරන්නට සූදානම් වෙනවා. තුන... ඔබේ ශරීරය හා සිත හරිම ප්‍රබෝධමත්... ජවසම්පන්නයි... හරියට සුවදායක නින්දකින් පිබිදුනාම දැනෙන සුවයටත් වඩා සුවයක් දැනෙනවා. හතර... දැන් ඔබ මෝහනයෙන් ඉවත් වෙන්නට ඉතාම ආසන්නයි. ඇස් විවෘත වෙන්නට ඉතාම ආසන්නයි. ඇස් සීත වතුරින් තෙමෙනවා වගේ සුවයක් දැනෙනවා. පහ... ප්‍රබෝධයෙන් සතුටින් යුතුව ඇස් අරින්න.”
මෙසේ කියන විට ඔහු ඉන් ඉවත් වේවි. බැරිවෙලාවත් ඔහු එසේ ඉවත් නොවන්නේ නම්, නැවත එය කියන්න. නැවත කියන විට, දැඩි ස්වරයකින් “ඔබ දැන් මා කියන විධියට මෝහනයෙන් ඉවත් වී ඇස් විවෘත කරන්නේ නැතිනම්, නැවත මෙම මට්ටමට පත් වෙන්නට බැරි වෙන්න මං යෝජනා කරනවා” කියා “තර්ජනය” කරන්න. ඇත්තටම මෙම තර්ජනය තරහෙන් කියන එකක් නොවේ. ඔහු සමග තරහ ගන්නට හෝ බිය වෙන්නට කිසිම කාරණාවක් මෙහි නැත. එය ඔහුව ඉන් ඉවත් කිරීමේ උපක්‍රමයක් පමණි. ඔහු සිටින කෝමාව ඔහුට කොතරම් සුන්දර අත්දැකීමක්ද කියතොත් ඔහු ඉන් ඉක්මනින් ඉවත් වෙන්නට කැමැත්තක් නැත. එම තත්වයට නැවත පත්වීමට ඔහුට ආශාවක් ඇති වේ. ඔහුට එම තත්වයට නැවත පත්වීමට බැරි කරනවා යැයි තර්ජනය කරන විට, ඔහු එය සිදු වෙනවාට අකමැති නිසා වහාම ඔබ කියන දේට අනුකූල වෙනවා.
කෝමා මට්ටමේ සිටින විට ඔබගේ යෝජනා/ප්‍රශ්නවලට ප්‍රතිචාර නොදැක්වීම එහි එක් ප්‍රමුඛ ලක්ෂණයකි. කෝමා මට්ටම දැයි නිශ්චය කර ගත හැකි තවත් ලක්ෂණ පවතී. ඔබ ඔහුගේ අතක් පයක් ආදිය කොනිත්තුවත් ඔහුට එය දැනෙන්නේ නැත. මෙය ස්වයංක්‍රිය නිර්වින්දන (anasthesia) තත්වයකි. ඒ කියන්නේ කිසිම යෝජනා කිරීමකින් තොරවම එම ලක්ෂණය පවතී. වෙනත් මෝහන මට්ටමකදීත් අපට නිර්වින්දන තත්වයක් ඇති කළ හැකි වුවත් එය ස්වයංක්‍රිය නොවේ. එය කිරීමට යෝජනා කළ යුතුය. උදාහරණක් ලෙස, සොම්නා මට්ටමේ සිටින කෙනෙකුගේ දකුණු අතේ නිර්වින්දනයක් ඇති කළ යුතු නම්, මෙවැනි යෝජනාවක් ඔහුට කිව යුතුයි.
මා දැන් ඔබේ දකුණු අත අල්ලන්න යනවා. [එසේ කියමින් දකුණු අත ගන්න. එය ගෙන අත තරමක් අත ගාන්න. එසේ කරන ගමන් මෙලෙස කියන්න.] මා ඔබේ අත ස්පර්ශ කරනවා. මා මේ ස්පර්ශ කරන ප්‍රදේශය ඔබට දැනෙන්නේ මා ස්පර්ශ කරනවා කියා පමණයි. එම ප්‍රදේශයේ කිසිම අපහසුතාවක් නැතිව නිකංම ස්පර්ශ කරන බවක් පමණයි ඔබට දැනෙන්නේ.”
දැන් එම ප්‍රදේශයේ නිර්වින්දනයක් ඇති වී ඇත. ඔබ එම ප්‍රදේශය කෙනිත්තුවත්, රිද්දුවත් එය රිදීමක් ලෙස ඔහුට නොදැනේ. (කිසිම විටක විනෝදයට හෝ පරික්ෂා කිරීමටවත් කටුවකින් අනින්නට හෝ තියුණු තලයකින් තුවාල කරන්නට හෝ එවැනි වෙනත් තුවාල සිදු කරන්නට එපා. එය නීතිය ඉදිරියේ අපරාධ ගණයේ වරදක් විය හැකියි.) ඇත්තටම මෙහිදී ඇති වන්නේ anasthesia එකකට වැඩිය analgesia තත්වයකි. ඇනස්තීසියා යනු බෙහෙතක් (හෝ මෝහනය වැනි වෙනත් ක්‍රමයකින් හෝ) ලබා දී යම් කාලයක් දක්වා මුළු ශරීරයම හෝ ශරීරයෙන් කොටසක හෝ සම්පූර්ණයෙන්ම දැනීම් නැති කිරීමයි. දත් ගලවන විට හා සමහර සැත්කම් කරන විට මෙය සිදු කරයි. එහෙත් ඇනල්ජීසියා යනු බෙහෙතක් (හෝ මෝහනය වැනි වෙනත් ක්‍රමයකින් හෝ) මගින් යම් ශරීරාංගයක වේදනාව (pain) දැනීම අඩු කිරීමයි. ඉන් එම ප්‍රදේශයේ සියලුම දැනීම් නැති නොවේ. එමනිසයි ඉහතදී අත ස්පර්ශ කරන බවක් දැනුනත් වේදනාවක් නොදැනෙන්නේ.

මවිසින් ඉංග්‍රිසි බසින් ලියා ඇමසන් හි ප්‍රකාශයට පත් කළ මෝහනය මුල සිට ක්‍රමානුකූලව උගන්වන අත්පොත පහත ලින්ක් එක මත ක්ලික් කර දැන් නිවසටම ගෙන්වා ගත හැකිය.

https://www.amazon.com/dp/B0851MHRSM
මේ අනුව ඇනල්ජීසියා යනුද ඇනස්තීසියාහිම තවත් බාල අවස්ථාවක් ලෙස සැලකිය හැකියි. කෝමාහිදි ඇනස්තීසියා තත්වයක් පවතින අතර, ඊට මෙහා සොම්නැම්බ්‍යුලිස්ම් ආදී මට්ටම්වලින් ඇති වන්නේ ඇනල්ජීසියා තත්වයකි. සැහැල්ලු මෝහනයේ සිට මෙම ඇනල්ජීසියා තත්වය ඇති කළ හැකිය. දතේ කැක්කම් හා වෙනත් ශාරීරික කැක්කුම් ඔලුවෙ කැක්කුම් ආදිය මෙම ඇනල්ජීසියාවලින් නැති කළ හැකියි. එහෙත් ඔලුවෙ කැක්කුම් ගැන විශේෂිත දෙයක් කිව යුතුමයි. එනම්, ඔලුවෙ කැක්කුමක් යනු ඔබේ ශරීරයේ විවිධ දරුණු හා දරුණු නොවන දෙයාකාරයේම ලෙඩ රෝග ගණනාවකම රෝග ලක්ෂණයකි. එනිසා ඔබ මෝහනයෙන් නිසි සොයා බැලීමක් නැතිව එම ඔලුව කැක්කුම සුව කර ගැනීම නුසුදුසුය. එමගින් ඔබ කරන්නේ ජීවිතයට විශාල හානියකි. උදාහරණක් ලෙස ඩෙංගු රෝගයෙත් එක් ප්‍රබල ලක්ෂණයක් නම් ඔලුව කැක්කුමයි. එලෙස ඔලුවෙ කැක්කුමක් තිබෙන විට වෛද්‍යවරයකු හමු වීම වඩා සුදුසුයි. ඔබ මෝහනයෙන් එය සුවකළොත් භයානක රෝගය දරුණු වෙනකම් හෝ ජීවිතයට හානි කරන තුරු සැඟව දරුණු වෙමින් පවතීවි. එහෙත් ඉරුවාරදය (migraine) නම් දරුණු හිසේ රුදාවක් ගැන ඔබ අසා ඇති. එය හඳුනාගත් ශාරීරක රෝගයක් හා සම්බන්ධ නැත. වෛද්‍යවරයකු හමු වී පහසුවෙන් ඔබට ඇත්තේ ඉරුවාරදයද නැද්ද යන්න දැන ගත හැකියි. එය කිසිසේත් බෙහෙත්වලින් සුව කර ගත හැකි දෙයක් නොවේ (ඉදිරියේදී නව බෙහෙත් සොයා ගත හැකියි). එවැනි ඉරුවාරද වේදනාවක් මෝහනයෙන් සුව කර ගත හැකියි පහසුවෙන්ම. ඇත්තටම ඉරුවාරදය තිබෙන සෑම කෙනෙකුම එසේ මෝහනයෙන් සහනය ලබා ගත යුතු යැයි මා යෝජනා කරනවා.
තවද, පිළිකා හා වෙනත් රෝග නිසාද දරුණු වේදනාවන් ඇති වේ. මේ සඳහාද මෝහනයෙන් විශාල සහනයක් ලබා ගත හැකියි බොරුවට බෙහෙත් බොන්නේ නැතිව. තවද, විවිධ තුවාල හා අනතුරු නිසා ඇතිවන වේදනාවන් සඳහාද මෙය යෝග්‍යයි. දන්ත වෛද්‍ය සායනයකට යන තුරු දතේ කැක්කුම්වලින්ද සහනයක් ලබා ගත හැකියි (දතේ අමාරු සඳහා ෆාමසිවලින්ද වේදනා නාශක බෙහෙත්ද පවතී). ඒ විතරක්ද නොවේ, බොහෝ කාන්තාවන්ට ඍතුවීම (ඔසප්) (menses/menstruation/period) සිදුවන කාලවලදී විවිධ කැක්කුම් ඇති වේ (මෙය dysmenorrhea යන නමින් හැඳින් වේ). මෙම තත්වය බොහෝම වේදනාත්මක වනවා පමණක් නොව ජීවිතය අවුල් කරන තත්වයක්ද වේ. මේ සඳහාද මෝහනයෙන් පිහිටක් ලැබිය හැකියි. රූපලාවන්‍ය කටයුතුවලදී dermaroller (needling), microdermabrasion, waxing, chemical peeling වැනි දේවල් කරන විට ඉන් මුහුණට හෝ අදාල වෙනත් ශරීරාංගවලට යම් වේදනාවක් දැනේ. ඒ සඳහා දැනට විවිධ sedative ලෙස හැඳින්වෙන ආලේප කළ විට යම් ඇනල්ජීසියා තත්වයක් ඇති කරන රසායනික ක්‍රීම් ආදය පවතී. එහෙත් මේ සියලු අවස්ථා සඳහා හිප්නොටික් ඇනල්ජීසියා ක්‍රමය ආරක්ෂිත සෞඛ්‍ය සම්පන්න හා ලාභදායක වේ.
ඉහතදී කෝමා හඳුනා ගැනීමට ක්‍රම දෙකක් ගැන කතා කළා. තවත් ක්‍රමයක් ඇත. එනම්, කෝමා තත්වයේ සිටින කෙනෙකුගේ අත පය බෙල්ල (ඔලුව) ආදී අවයවයක් අල්ලාගෙන එය යම් ආකාරයකින් පවතින සේ සකස් කළ විට කිසිදු ප්‍රශ්නයකින් තොරව ඉතා දීර්ඝ කාලයක එම ඉරියව්වලින්ම එම අවයව පවතී. මෙයද එක්තරා විදියක catalepsy එකකි. එහෙත් අනෙක් මෝහන මට්ටම්වල මෙන් නොව මෙහි ඇති වෙනස්කම් නම්, විශාල අවයව පවා පහසුවෙන් කැටලෙප්සි කළ හැකි අතර, එය කිසිදු යෝජනා කිරීමකින් තොරවම සිදු කළ හැකියි. එනම්, ඔබ ඔහුගේ කකුලක් අල්ලා යම් ඉරියව්වකින් තියා කුඩාවට ගැස්සීමක් ඇති කළ විට (අපි ඇඳුමක් අඳින්නට යන විට ගසනවා වාගේ. එහෙත් කකුල හෝ වෙනත් අවයවය ගැස්සිය යුත්තේ “ලාවටයි”.) එම ඉරියව්වෙන්ම එය පවතිනවා. තවද, එවැනි අයගේ කැටලෙප්සි තත්වයේ පවතින අවයවයක් අතගා බලන විට පෙනේවි එම මාංශපේශීන් දැඩි වී නොමැතිව සාමාන්‍ය පරිදිම පවතින බව.
එහෙත් අනෙක් මෝහන මට්ටම්වලදී කැටලෙප්සි ඇති වන්නේ ඒ සඳහා සුදුසු යෝජනා කීමෙනි. උදාහරණක් ලෙස පහත යෝජනාව බලන්න (අතක් කැටලෙප්සි කරමු).
[ඔහුගේ එක අතක් ගෙන එය දික් කරන්න.] ඔබ දැන් මේ අත මෙන්න මේ වගේ දක් කරන්න. එය හොඳට තද කරන්න. යකඩ බටයක් මෙන් එය ශක්තිමත් කරන්න. තද කරන්න. ආයෙත් ඉතිං කාටවත් නවන්නවත් බැරි තරම් ශක්ති සම්පන්න වන තරමට තද කරන්න. දැන් ඒක යකඩ බටයක් වගේම ශක්තිමත්. [මෙසේ කියමින් ඔහුගේ එම දික් කරපු අත උඩට පහළට අත ගාන්න.]

දැන් එය ඉතා ශක්තිමත් බටයක් මෙන් වේවි. මෙලෙස කැටලෙප්සි කරපු අවයවයක මාංශපේශීන්වල යම් වෙනසක් තිබේ. මෙහිදී ඒවා ඉතා තදට (tense) පවතී. තවද, බොහෝ වෙලාවක් එසේ සිටීමටද අපහසු වෙනවා පමණක් නොව, සමහරවිට ඔහුව බොහෝ වේලාවක් එසේ පවත්වාගෙන යෑමද හොඳ නැත. බොහෝ මෝහන සංදර්ශනවල එහෙම කෙනෙකු මෝහනයට පත් කර, පුටු හෝ මේස දෙකක දාර මත ඔහුව නිදි කරවා (එවිට ඔහුගේ ඔළුවත් පාදවල විළුඹ දෙකත් පමණයි මේස දෙක මත ස්පර්ශව පවතින්නේ), ඔහු මත තවත් කෙනෙකුව හිඳ ගන්නට සලස්වන්නෙත් මෙම කැටලෙප්සි ක්‍රමයෙනි. එවිට කැටලෙප්සි කරන්නේ සම්පූර්ණ ශරීරයමයි. (එහෙත් මෙය ඔහුගේ ශරීර සෞඛ්‍යයට තර්ජනයක් ඇති කළ හැකියි. විශේෂයෙන් තවත් කෙනෙකුව ඔහුගේ බඩ උඩින් ඉඳ ගන්නට සැලැස්වීමෙන්. මෝහනය මගින් යමක් කිරීමට හැකියාව තිබූ පමණින් එය කිරීම හැමවිටම සුදුසු නැත. උදාහරණක් ලෙස ඔබේ දත්වලින් බීම බෝතල් මූඩි ගැලවීම සුදුසු නැත. එය දත්වලට හානිකරයි. එවැනිම තත්වයක් මෝහනයටද අදාල වේ.) සැහැල්ලු මෝහනයේ සිට කැටලෙප්සි හැකියාව ලැබේ. මෝහනය ගැඹුරු වන්නට ගැඹුරු වන්නට එහි ගුණාත්මකබව (ප්‍රබලබව) වැඩි වෙනවා පමණක් නොව, වඩා විශාල මාංශපේශීන්ටද එය කළ හැකි වේ.

Hypnosis (mohanaya) ...

Comments

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...

ඉලෙක්ට්‍රොනික්ස් III (Electronics) - 20

Tunnel Diode Esaki නම් ජපන් ජාතිකයා විසින් මෙය සොයා ගත් නිසා මෙම ඩයෝඩය එසාකි ඩයෝඩය ලෙසද හඳුන්වනවා . මෙම සොයා ගැනීමත් සමගම ඔහු විසින් ක්වන්ටම් ටනල් ආචරණයද සොයා ගත් නිසා නොබෙල් ත්‍යාගය පවා ඔහුට ලැබුණා . ක්වන්ටම් ටනල් ආචරණය සෙනර් ඩයෝඩයේදී දක්නට ලැබුණා මතකද ? මෙම ඩයෝඩයත් ක්වන්ටම් ටනල් ආචරණය මත පදනම්ව සාදා ඇති නිසාම ඊට ටනල් ඩයෝඩය ( උමං ඩයෝඩය ) යන නම ලැබී තිබෙනවා . එහි සංඛේතය පහත දැක්වේ .   සාමාන්‍ය ඩයෝඩයක මෙන්ම පී හා එන් කැබැලි දෙකකින් සෑදූ සන්ධියක් ඇත . එහෙත් සාමාන්‍ය ඩයෝඩයකට වඩා ඇති වෙනස නම් , එම අර්ධසන්නායක කොටස් ඉතා අධිකව මාත්‍රණය කර තිබෙනවා ( සාමාන්‍ය ඩයෝඩයකට වඩා ලක්ෂ ගුණයක් පමණ ). එවිට අර්ධසන්නායක කොටස් දෙකෙහිම යහමින් ආරෝපණ වාහක තිබෙනවා ( සාමාන්‍ය සන්නායකයක් වගේම ). එහි ප්‍රතිඵල දෙකක් තිබෙනවා . එකක් නම් , පෙර නැඹුරු කළ විට උමං ආචරණය සිදු වීම . දෙවැන්න නම් , පසු නැඹුරු කළ විට සාමාන්‍ය සන්නායකයක් ලෙස ක්‍රියා කිරීම . මේ දෙක දැන් සලකා බලමු . පෙර නැඹුරු කළ විට , උමං ආචරණය නිසා සුපුරුදු ඩයෝඩ ක්‍රියාකාරිත්වය නොදක්වයි . ඒ කියන්නේ 0 සිට වෝල්ටියතාව වැඩි කර ගෙන යන විට , ධාරාවද ක...