මෝහනය / mohanaya (Hypnosis) - 19

ස්වයංමෝහනය හා හැමදාම සිදුවන මෝහනය

මවිසින් ඉංග්‍රිසි බසින් ලියා ඇමසන් හි ප්‍රකාශයට පත් කළ මෝහනය මුල සිට ක්‍රමානුකූලව උගන්වන අත්පොත පහත ලින්ක් එක මත ක්ලික් කර දැන් නිවසටම ගෙන්වා ගත හැකිය.

https://www.amazon.com/dp/B0851MHRSM


ස්වයංමෝහනය (self-hypnosis) යනු මෝහනවේදියකුගේ මෙහෙය වීමෙන් තොරව තමන් විසින්ම තමන්ව මෝහනයට පත් කර ගැනීමයි. සාමාන්‍ය මෝහනය තරම්ම ප්‍රබල දෙයක් වුවත්, සාමාන්‍ය මෝහනයෙන් කරන සමහර දේවල් ස්වයංමෝහනයකින් කරගත නොහැකිද වේ. එනම්, තමන්ගේ යටි සිත සමග සංවාද කිරීමට හා එහි සැඟව ඇති කරුණු සොයා ගැනීම හා විශ්ලේෂණය කිරීමට තවත් කෙනෙකු (මෝහනවේදියා) අවශ්‍ය වන අවස්ථාවන්ට ස්වයංමෝහනය සුදුසු නොවේ. ඍජු යෝජනා පමණක් තමන්ටම ලබා දීමට මින් හැකියි. ඊට අමතරව, යෝජනා කිසිවක් නොදී සිටියත්, ගැඹුරු මෝහනයකදී මනසටත් ශරීරයටත් සුවදායි (healing) හා සැහැල්ලු ගතියක් ලැබෙන බැවින්, කාර්ය බහුල ජීවිත සඳහාද ස්වයංමෝහනය වැදගත් වේ. සුව නින්දකින් ඔබට ශක්තියක් සැහැල්ලුවක් ලැබෙන්නාක් සේම මෙයින්ද ශක්තියක් සැහැල්ලුවක් ලැබෙන අතර ඒ සඳහා අවශ්‍ය වන්නේ විනාඩි කිහිපයක මෝහන නිද්‍රාවක් පමණි (විනාඩි දෙකක පමණ සුළු කාලයක සිට පැය භාගයක් පැයක් පමණ කාලයක් දක්වා).
එහෙත්, කෙනෙකු එකවරම ස්වයංමෝහනයට පත්වීමට ඇති හැකියාව අඩුය. පළමුව මෝහනවේදියකු ලවා සාමාන්‍ය මෝහනයකට පත් විය යුතුය. ඉන්පසු මෝහනවේදියා ලවා ස්වයංමෝහනයකට පත්වීමට හැකිවන පරිදි සුදුසු යෝජනාවලියක් ලබා දිය යුතුය. ඇත්තටම මෙන්න මෙම යෝජනාවලිය නිසා තමයි මෝහනවේදියකුගේ මැදිහත් වීමක් නොමැතිව පසු අවස්ථාවල ස්වයංමෝහනයට පත් වීමට හැකියාව ලැබෙන්නේ. දැන් බලමු ස්වයංමෝහනය සිදු කිරීමට ලබා දෙන යෝජනාවලිය කුමක්ද කියා. පළමුව සොම්නැම්බ්‍යුලිස්ම් මට්ටම දක්වා මෝහනය කරන්න. මෙම යෝජනාවලියේ මූලිකම හරය වන්නේ මෝහනලාභියාට ස්වයංමෝහනයට පත්වීමට අවශ්‍ය යැයි හැඟෙන විට, ඉක්මනින් වෙනෙකෙකුගේ සහයක් හෝ යෝජනා කිරීමක් නොමැතිව ගැඹුරු මෝහන නිද්‍රාවට පත් වීමට හැකිවන පරිදි මෝහනලාභියාගේ යටි සිත සූදානම් කර තැබීමයි. මෙය කළ හැකි අපූරු උපක්‍රමයක් තිබේ. එය ඇන්කරිං (anchoring) ලෙස ඔබ මුල්ම පාඩමකත් දැනගත් දෙයයි.
ඔබ දන්නවා ඇන්කර් එකක් කියන්නේ ඔබේ ශාරීරික හා මානසික මට්ටමක්/ස්වාභාවයක් වෙනත් හෝ පරිභාහිර සිද්ධියක් සමග “සහසම්බන්ධයක්” (association) බව. එම පරිභාහිර දේ ඇස, කන, නාසය, දිව, ශරීරය යන පසිඳුරන්ගෙන් ඕනෑම එකකින් සංජානනය කරනු ලබන දෙයකි. (යම් රූපයක්, යම් ශබ්දයක්, යම් සුවඳක්, යම් රසක්, ශරීරයේ යම් තැනක ස්පර්ශයක් යන ඒවායෙන් ඕනෑම එකක්.) ඔබ දැන් යම් මානසික හා කායික මට්ටමකින් සිටිනවා කියා සිතන්න. එම මට්ටම ඔබ විභාගයකින් ඉහළින් සමත් වුණා යැයි ඔබ දැන ගත් පසු ඔබේ සිත සතුටින් ප්‍රබෝධයෙන් හා උද්‍යෝගයෙන් ඉපිලී යන තත්වයක් විය හැකියි. නැතිනම්, ඔබේ ආදරවන්තිය ඔබව හැරගිය විට ඔබේ සිත වියෝ දුකින් හා කාලකන්නි හැඟීම්වලින් පිරුණු අවස්ථාවක් විය හැකියි. එසේත් නැතිනම්, ඔබේ සිත කරුණාවෙන් ආදරයෙන් මනුෂ්‍යකමින් පිරී ඉතිරී යන අවස්ථාවක් විය හැකියි. මේ ආදී ලෙස දහසකුත් එකක් මානසික අවස්ථාවන් අපේ ජීවිතවල නිරන්තරයෙන් මතු වෙමින් වෙනස් වෙමින් පවතිනවා නේද? මේ කුමන හෝ අවස්ථාවක් ඇන්කරිං කිරීම හෝ වීම සිදු විය හැකිය. එනම්, ඇන්කරිං වීම අපගේ උවමනාවට හෝ අපගේ දැනුවත්බවක් නැතිවත් සිදුවිය හැකියි.
ඇන්කරිං වීම යටි සිතෙහි සිදුවන දෙයක් නිසා එය සිදුවීමට යම් මෝහන තත්වයක ඔහු පසුවිය යුතු බවද මතක තබා ගන්න. එසේ සඳහන් කළ විට එකවරම කෙනෙකුට සිතෙන්නට පුළුවන් එහෙනම් ඉතිං බොහෝ දෙනෙකුට ඇන්කරිං වීම අදාල නොවන බව මක්නිසාද මෝහනවේදියකු ලවා මෝහනයට පත්වන්නේ ජනතාවගෙන් ඉතාම ටික දෙනෙකු නිසා. එසේ සිතුණා නම් ඔබ සම්පූර්ණයෙන්ම වැරදියි. ඔබ දිනපතා ක්ෂණිකව මෝහනයට පත් වන (බොහෝ විට තත්පර කිහිපයක කාලයන් සඳහා) අවස්ථාවන් පවතී. මේවා ස්වයංමෝහන අවස්ථා වේ. අප සාමාන්‍යයෙන් කතා කරන ස්වයංමෝහනයට වඩා මෙම ඉබේම සුළු කාල සීමාවන් සඳහා සිදුවන ස්වයංමෝහන අවස්ථා තරමක් වෙනස්ය. අප විසින් වුවමනාවෙන් පත් වන ස්වයංමෝහනය මගින් අපට අවශ්‍ය දේවල් පමණක් සිදු කර ගන්නවා. එහෙත් ඉබේ සිදුවන එකෙන් එවැනි අපට අවශ්‍ය දේවල් කර ගැනීමට බැරි වෙනවා. අඩුම ගානේ තමන් ස්වයංමෝහනයට පත් වූවා යැයි දැනීමක්වත් තමන්ට දැනෙන්නේ නැති වීම මෙහි විශේෂත්වයයි. එහි ඇති භයානකකම එයයි. මේ අනුව ඉබේ ඇති වන ස්වයංමෝහනය සැඟවුණු මෝහනයක් (covert hypnosis) ලෙසද සැලකිය හැකියි.
(සාමාන්‍ය ස්වයංමෝහනය හා ඉබේ ඇතිවන ස්වයංමෝහනයේ අවසන් ප්‍රතිඵලය එකම මෝහනයට පත්වීම වුවත්, එය සිදුවන ආකාරය වෙනස් බැවින් ඒ දෙක සඳහා වෙනස් වචන දෙකක් හඳුන්වා දිය හැකි නම් වැදගත් යැයි මා කල්පනා කරනවා. සාමාන්‍ය ස්වයංමෝහනය සඳහා “ස්වයංමෝහනය” (self-hypnosis) යන වචනයද, ඉබේ ඇතිවන ස්වයංමෝහනයට “අනිච්ඡානුග මෝහනය” (auto-hypnosis) යන වචනයද භාවිතා කළ හැකියි. මෙය මාගේ යෝජනාවක් පමණි. සාමාන්‍ය ව්‍යවහාරයේදී self-hypnosis හා auto-hypnosis යන වචන දෙකම සමාන වචන ලෙස සැලකෙන අතර, ඉනුත් auto-hypnosis යන වචනය භාවිතා නොවන තරම්ය. එනිසා එම වචනයට නව මුහුණුවරක් ලබා දීම මින් සිදු වේ. ඊටත් අමතරව, auto-hypnosis යන්නෙහි සත්‍ය වශයෙන්ම ඉබේ සිදුවන මෝහනය යන තේරුමම තිබේ.)
මා මෙතෙක් සඳහන් නොකළ යම් රහසක් හෙළි කිරීමටයි සූදානම් වන්නේ. මා පුන පුනා පැවසුවා (සාමාන්‍ය) මෝහනයකදී මෝහනලාභියා අකමැති කිසිම යෝජනා කිරීම කිසිම වැඩක් නැති බව මොකද මෝහනලාභියා ඒවා පිළි නොගන්නා නිසා. එය සත්‍යයක්. එහෙත් සැඟවුණු මෝහනයකදී එය වලංගු නැහැ. සැඟවුණු මෝහනයකින් මෝහනලාභියා අකමැති දේවල් පවා යෝජනා කරන්නට හැකි සේම ඔහුගේ යටි සිත ඒවා පිළිගනී. මෙය ඇත්ත වශයෙන්ම භයානක තත්වයක්. ඔබ අසා ඇති “මොල සේදීම” (brainwashing) ගැන. එහිදී සිදු කරන්නේ යම් යම් උපක්‍රම මගින් යම් තැනැත්තකුගේ මූලික විශ්වාස පද්ධතිය කෘත්‍රිමව වෙනස් කිරීමයි. උදාහරණයක් ලෙස ත්‍රස්තවාදීන් මරාගෙන මැරෙන භටයන් පුහුණු කරන්නේ එම ක්‍රම යොදාගෙනයි (මොකද සිහිකල්පනාවක් තිබෙන ඕනෑම කෙනෙකු ජීවත් වීමට තිබෙන ආශාව අත් හරින්නට සූදානම් නැත.) මේ අනුව සැඟවුණු මෝහනය බ්‍රේන්වොෂ් කිරීමටත් යොදා ගන්න පුළුවන් නේද? ඔබ දන්නවා සැඟවුණු මෝහනය යනු මෝහනලාභියා තමන් මෝහනය කෙරෙන බවක් නොදැන සිදුවන මෝහනයක්. එය යම් කුමන්ත්‍රණකාරී පුද්ගලයකු විසින් සූක්ෂ්මව සිදු කළ හැකි සේම එදිනෙදා ජීවිතයේ නිරන්තරයෙන්ම ඉබේම සිදු වන්නක්ද වේ (ඉහත කතා කළ ඉබේ සිදුවන ස්වයංමෝහනය විසින්). එහෙත් මෙලෙස ඉබේ සිදුවන ස්වයංමෝහනය කුමන්ත්‍රණකාරයකු විසින් සිදු කරන එකට වඩා භයානක කම බොහෝ විට අඩුය.
කෙනෙකුගේ අනුදැනුම කැමැත්ත නොමැතිව සැඟවුණු මෝහනය සිදු කිරීමට මෝහනවේදියා සූක්ෂම කෙනෙකු විය යුතුය. තවද, මා කිසිවිටක එසේ සිදු කර නොමැති අතර, එය කරන ආකාරයන් උගන්වන්නේද නැත. එනිසා, ඉබේ සිදුවන ස්වයංමෝහනය ප්‍රායෝගිකව සිදුවන ආකාරය තේරුම් ගැනීමට උදාහරණ කිහිපයක් සලකා බලමු.
ඔබ වියෝ දුකින් සිටින විටක ඔබට ඈතින් යම් සිංදුවක් ඇසී එය කෙරෙහි ඔබේ මනස යොමු වුණේ යැයි සිතමු. එම මොහොතේම ඔබව අනිච්ඡානුග මෝහනයට පත් වූවා යැයිද සිතන්න. දැන් එම සිංදුව ඔබේ එම සිතේ ස්වභාවයට ඇන්කර් වී ඇත. කාලයත් සමග ඔබේ වියෝ දුක අඩු වෙනු ඇත. සිත සාමාන්‍ය ස්වභාවයට පත් වේ. එහෙත් ඔබට අර සිංදුව නැවත කොතැනකදී හෝ ඇසෙන විටක ක්ෂණිකවම ඔබේ සිත දුකින් පිරී යනු ඇත. කාලකන්නි ස්වභාවයක් දැනෙනු ඇත. සිංදුවක් පමණක් නොවේ, යම් පුද්ගලයකු දැකීම, යම් ස්ථානයක්, යම් දර්ශනයක් ආදී දේවල්ද ඇන්කර් විය හැකියි.
තවත් උදාහරණක් ගමු. ඔබ ගමේ ගිය විටක සුන්දර හැඟීම්වලින් සිත පිරී යනු ඇත (අප බොහෝ දෙනාට එසේ සිදු වේ. කුඩා කළ අවුරුදු කාලයට එහෙම ගමේ ගිය විටක කරපු දේවල් සුන්දරයි). එසේ වන්නේ ඔබට සොඳුරු මතකයන් මතක් වීම නිසා යැයි සිතෙන්නට පුළුවන්. එහෙත් බොහෝ විට එය සිදුවන්නේ එම කුඩා කළ සුන්දර සිදුවීම් එම ස්ථානය (ගම හා ගමේ මහගෙදර) සමග ඇන්කර් වීමයි. එම ස්ථානය දකින විට සුන්දර හැඟීම් මතු වේ. සමහරවිට ඡායා රූපයක් දකින විටත්, සමහරවිටක ඒ ගැන කතා කරන (ඒ ගැන සිතේ රූප මැවෙන) විටත් එය සිදු විය හැකියි. මේ ආදී ලෙස ඔබම කල්පනා කර බලන්න ඉබේ ඇතිවන ස්වයංමෝහන අවස්ථා අපේ ජීවිතයේ කෙතෙක් ප්‍රමාණයක බලපෑම් ඇති කරනවාද කියා.
මෙය කියවාගෙන යන විට, ඔබට සිතෙන්නට පුළුවන් අපට අතීත සිදුවීම් සමග ඕනෑම මොහොතක ඇති වන හැඟීම් හා භාවයන් යනුම ඔටෝහිප්නොසිස් හි ප්‍රතිඵලයන් බව. ඇත්තටම එසේ තර්ක කරන්නට පුළුවන්. මෙය පර්යේෂණ සිදුකර අැත්ත නැත්ත සොයා බැලීමට අවශ්‍ය දෙයක් නොවේ. ස්වයංමෝහනය යන නිර්වචනයට ගැලපෙන බැවින් එවැනි අවස්ථා සඳහා ස්වයංමෝහනය යන නම භාවිතා කිරීම උචිතද නැද්ද යන තීරණය ගැනීම පමණි සැලකිය යුත්තේ.
ඔටෝහිප්නොසිස් ඉබේ සිදුවන්නේ කුමන අවස්ථාවන්හිද යන්න දැන් විමසා බලමු. ඔබ දන්නවා ඕනෑම මෝහන තත්වයක් යනු උඩු සිත නිද්‍රාවට පත් වූ හෙවත් තුනී වූ හෙවත් උඩු සිත මග හැර ගොස් යටි සිතට කෙලින්ම කරුණු ගමන් කරන තත්වයක් බව. (මෙම කොටසෙහි මා වැඩිපුර බර තබන්නේ සැඟවුණු මෝහන තත්වයක් කෙරෙහි බැවින් සාමාන්‍ය මෝහනයේදී අවශ්‍ය කරන දෙවැනි කොටස වන “තමන්ට අවශ්‍ය යෝජනා පමණක් පිළිගැනීම” යන්න නොසලකා හරින ලදි.) මේ අනුව අපට දැන් හොඩුවාවක් තිබෙනවා ඔටෝහිප්නොසිස් සිදුවිය හැකි අවස්ථා ගැන. උදාහරණ කිහිපයක් බලමු.
ඔබ ආසාවෙන් චිත්‍රපටියක් හෝ ටෙලිනාට්‍යයක් බලන අවස්ථාවක් ගන්න. එම දර්ශන තුළ ඔබ “ගිලී” සිටිනු ඇත. හරියට ඔබද එම දර්ශනයේ කොටසක් ලෙස දැනේ. සමහරවිට දැන් එහි ප්‍රධාන නළුවා හෝ නිළිය ඔබයි. නළුවාට පහරක් වදින විට, ඔබේ ශරීරය ගැස්සෙයි. එච්චරටම ඔබ එම දර්ශනය හා සම්බන්ධව පවතී. මෙහිදී ඔබේ උඩු සිත මග හැර ගොස් ඇත. ඔබ චිත්‍රපටිය සමග සම්බන්ධව පැවතියේ උඩු සිතෙන් නම්, එය චිත්‍රපටියක් නිසා එය බොරුවක් නිසා ඔබ හා චිත්‍රපටියේ දර්ශන අතර දුරස්ථ බව රඳවා ගනී. එහෙත් යටි සිතෙන් සම්බන්ධ වූ නිසා එහි කොටසක් බවට ඔබව පත් විය. තවද, සමහර සිංදු හෝ සංගීතය අසන විටකත් මෙවැන්නක්ම සිදු වේ. ඔබ නොදැනුවත්වම ඔබේ ශරීරාංග පැද්දෙන්නේ මේ නිසාය. අහල පහල සිදුවන දේවල් නොදැනේ. මෙය තමන් ඔටෝහිප්නොසිස්වල සිටි බවට ඔප්පු කිරීමට ඇති හොඳම ලක්ෂණයක්. ඉතා ලස්සන ගැහැණු ළමයෙක් දකින විටත් කෙනෙකු එවැනි මෝහනයකට පත් විය හැකියි. (එදිනෙදා ව්‍යවහාරයේදී “එයා ඒ කෙල්ලට මෝහනය වෙලා” යැයි කියන්නේද මෙය නේද?) තවත් කෙනෙකු තමන් ආස පොතක් කියවන විටත් මෙවැනි මෝහන තත්වයකට පත් විය හැකියි. ඉහත උදාහරණයට ගත් අවස්ථා කිහිපයක් සැලකූ විට පොදු ලක්ෂණයක් ඇත. එනම්, තමන්ගේ හැඟීම් හා භාවයන් ඉස් මතු වන ආකාරයේ ඒවායි (ඉහත උදාහරණ දෙක තුන සතුට වැනි හොඳ හැඟීම් ගැන වුවත්, දුක වැනි නරක හැඟීම් සඳහාත් එය වලංගු බව මතක තබා ගන්න). ඔබ දන්නවා හැඟීම් හා භාවයන් යනු යටි සිත සමග එකට පවතින තත්වයන් බව. එනම්, හැඟීම් ඇවිස්සීම යනු උඩු සිත මග හැර කෙලින්ම යටි සිත ප්‍රකට වන අවස්ථාවන්. මෝහනය සිදු වීමට විශාල හැකියාවක් මෙහිදී පවතිනවා.
තවත් ආකාරයකින් ඔටෝහිප්නොසිස් තත්වයට පත්වීමට හැකියාවක් ඇත. එනම්, තමන් නොහිතපු දෙයක් ක්ෂණිකව සිදු වන විට, තමන්ට කම්පනයක් (shock) දැනෙන මොහොතකද මෙය සිදු විය හැකියි. කල්පනා කර බලන්න ඔබ (බිමක) වාඩි වී සිටින විට එකවරම තිගැස්සී නැගිටපු අවස්ථාවන් තිබෙනවා නේද සර්පයකු ඔබේ වැලමිටේ ගෑවුණා යැයි සිතා. නැගිටලා බලන කොට එය නිකංම තණ කොළයක් පමණයි. මුලදිත් කතා කළා fight or flight ස්වභාවය ගැන (එනම් යම් අර්බුදයක් හමුවේ ඊට සටන්කාමීව මුහුණ දීමට හෝ ඉන් පළා යෑමට ක්ෂණිකව ශරීරය හා මනස හැඩ ගැසීම මින් කියැවේ). මෙවැනි නොහිතපු දෙයක් සිදු වූ අවස්ථාවන්හිදී මෙන්න මෙම fight or flight ස්වභාවය ඉස්මතු වේ. එය යටි සිතේ ස්වභාවයක්. ඒ කියන්නේ උඩු සිත මග හැර ගොස් කෙලින්ම යටි සිත ප්‍රකට කරපු අවස්ථාවක්. එනිසයි මෙය මෝහන තත්වයක් වන්නේ.
ඉහත මූලික ක්‍රම දෙකට අමතරව මෝහන තත්වයකට පත්වීමට හැකි තවත් ප්‍රබල අවස්ථා පෙන්වා දෙන්නම්. එය නම්, ස්වභාවයෙන්ම උඩු සිත තැන්පත් වන හෙවත් තුනී වන අවස්ථාවන්. අපට නිදිමත හැදෙන විට මෙවැනි තත්වයක් ඇති වේ. එවිතරක් නොවේ සුවබර නින්දකින් පිබිදෙන විටත් සිත පවතින්නේ උඩු සිත නිද්‍රාවෙන් පසුවන ලෙසටයි. හොඳ භාවනාවකින් පසුවන විට හා ඉන් ඉවත්ව සුළු කාලයක් යන තෙක්ද උඩු සිත එවැනි නිද්‍රා ස්වභාවයකින් පසුවිය හැකියි.
ඉහත කරුණු කාරණා උගත් අය මිනිසුන්ගේ එම සිතේ ස්වභාවයන් තමන්ගේ වාසි ප්‍රයෝජන සඳහාද යොදා ගන්නවා. අද විද්‍යුත් ජනමාධ්‍ය ඔස්සේ යන බොහෝ වෙළඳ දැන්වීම් ඒ සඳහා උදාහරණ ලෙස දක්වන්නට පුළුවන්. ලස්සන කාන්තාවන් ඒ සඳහා යොදා ගන්නේ පිරිමින්ව මෝහනයට පත් කිරීමටයි (සැඟවුණු මෝහනයට). එවිට, ඔවුන්ගේ වෙළඳ භාණ්ඩය ගැන කියන ඕනම බොරු ප්‍රචාරයක් සත්‍ය ලෙස යටි සිතට කා වැදේ (උඩු සිත එම කරුණුවල සත්‍ය අසත්‍ය බව විශ්ලේෂණය නොකරන නිසා). ඔවුන්ට කර ගන්නට අවශ්‍ය අන්න එයයි. ඒ විතරක් නොවේ, ලස්සන කුඩා දරුවන් යොදා ගන්නේද එනිසයි. ඉන් ගැහැණු පිරිමි දෙපාර්ශවයම එක ලෙස මෝහනයට පත් කළ හැකියි. එසේත් නැතිනම්, හැඟීම් ඇති වෙන සේ වෙළඳ දැන්වීම්ද සාදන අවස්ථා ඇත. මෙවැනි කට්ට කෛරාටික වැඩ කර කෙසේ හෝ තමන්ගේ භාණ්ඩ හා සේවා විකුණා ගැනීමට මෙවුන් උත්සහ කරයි. එහෙත් එවුන් නොදන්නා හෝ නොසිතන දෙයක්ද ඇත. එනම්, එකම භාණ්ඩය (උදාහරණයක් ලෙස සබන් ගමු) ගැන විවිධ වෙළඳ ආයතන සාදන සියළු වෙළඳ දැන්වීම් එබදුයි නම්, එවිට මෝහනයට පත්වූවත් එහි ඵලදායිතාව අඩු වේ (අපි ඔක්කොම රජවරු වූ විට, අප ඔක්කොම සාමාන්‍ය වැසියෝය යන තත්වයට වඩා වෙනස් තත්වයක් එහි නැත).
මෙවැනි ඉබේ සිදුවන මෝහනය ඇත්ත වශයෙන්ම අපේ ජීවිතවලට දැඩි බලපෑමක් සිදු කරනවා. ඔබ ඔබ වීමට මා මා වීමට තවෙකෙකු එලෙස වීමටත් හේතුව (එනම්, එකිනෙකාගේ පෞරෂයන් ගොඩ නැඟීමට හේතුව) මෙම ඔටෝහිප්නොසිස් බව මාගේ තක්සේරුවයි. උපන්දා සිට අපගේ යටි සිතේ දේවල් තැන්පත් කළේ දෙමාපියන් හෝ ගුරුවරුන් හෝ අපට “මෝහනයට පත් කර” නොවේ. එහෙත් අප වැඩෙත්ම ලක්ෂ සංඛ්‍යාත දේවල් අපේ යටි සිතේ තැන්පත් වේ. ඒවා සියල්ලම තැන්පත් වී ඇත්තේ ඉබේ සිදුවන මෝහන තත්වයන් තුළයි. (මා පෙරත් සඳහන් කළා මෝහනයට දී ඇති නිර්වචනය අනුව මේ සියලු අවස්ථාවන් ඉබේ ඇතිවන ස්වයංමෝහනය යන සංකල්පයට ඇතුළත් කළ හැකි බව.) මින් ගත හැකි වැදගත් කරුණ නම්, එලෙස අපේ යටි සිතේ තැන්පත්ව ඇති අයපහත් හෝ බාධාකාරී දේවල් මෝහනය තුළින්ම ඉවත් කිරීමට හෝ වෙනස් කිරීමට හැකි බව. එනම්, ඉබේ ඇති වන ස්වයංමෝහනයෙන් ඇති වූ අර්බුද සාමාන්‍ය (සායනික) මෝහනයෙන් ඉවත් කළ හැකියි.
ලෝකය ස්වභාවයෙන්ම අයහපත් තැනක්. ඊට හේතුව ආගමික සංකල්පවල කියැවෙන සාතන්ගේ හෝ දෙවියන්ට විරුද්ධව වැඩ කරන අයෙකුගේ මෙහෙයවීම් නොවේ. ජීවින්ගේ විකාශය (පරිනාමය) ඔස්සේ එය පැහැදිලි කළ හැකියි. අද අප බොහෝ සුචරිතවාදී දේවල්, සාරධර්ම ආදිය නිර්මාණය කර ගෙන තිබුණත් ආදි මානව සමාජය එසේ නොවේ. ඔවුන් එකිනෙකාව මරාගෙන මිනී මස් පවා කා තිබේ. විවිධ දුෂ්ට වැඩ යුද්ද සිදු කළා. අද පවා තිරිසන් සතුන්ගෙන් දැක ගත හැකි සත්ව ලක්ෂණවලින් හෙබි මිනිසුනුයි ආදි කාලේ සිටියේ. අද පවතින ශාස්ත්‍ර හා දර්ශනවල ඇසින් බලන විට ඒ ආදි මිනිසා බොහෝම තිරස්චීන සත්වයෙක්. එහෙත් ඔහුගේ බුද්ධියේ මහිමයෙන් ඔහු ටික ටික වෙනස් වූවා. අද පවතින තත්වයට ඔවුන් වෙනස් වූවා. එහෙත් පරිනාමය යනු ඉක්මනින් සිදු වන්නක් නොවේ. අදටත් තිරිසන් ගති ලක්ෂණ මිනිසා තුළත් තිබෙනවා. ඒවා බොහෝ අවස්ථාවල ඉස්මතු වෙනවා. නරක අදටත් පවතින්නේ එනිසයි. එය ඉදිරියටත් පවතීවි. නරක කිරීමට පහසු බවකුත් හොඳ කිරීමට අපහසු බවකුත් දැනෙන්නේද මෙම පරිනාම ලක්ෂණයක් ලෙසයි (උදාහරණයක් ලෙස සීනි පැණි රස වීමට හේතුවත් පරිණාම ලක්ෂණයක්). හොඳ කිරීමට පහසුවකුත් නරක කිරීමට අපහසුවකුත් දැනෙන ලෙස මිනිසා ස්වාභාවිකව පරිණාමය වීමට තව විශාල කාලයක් ගත වෙනු ඇත. ඉතිං මෙවැනි සමාජයක අප වැරදි යැයි සම්මත කර ගත් දේවල් සිදු කිරීමට ජානමය පෙළඹවීමක් (genetic predisposition) තිබෙන පසුබිමක එවැනි දේවල් කුඩා කළ සිට සිදු කිරීමට ඉබේම පුරුදු පුහුණු වීම අප අපේක්ෂා කළ යුතු දෙයක්. එවැනි දේවල් මෙවැනි ඉබේ සිදුවන ස්වයංමෝහනය නිසා තව තවත් අප තුළ පැලපදියම් වෙනවා. මෙමගින් මා කියන්නට උත්සහ කරන්නේ මෝහනය මගින් කෙනෙකුව “ශාන්තුවරයකු” හෝ “භාග්‍යවත් ශුද්ධවන්තයකු” බවට පත් කළ නොහැකි බවයි. ඉන් අප ප්‍රායෝගිකව කර ගත හැකි සාධාරණ දේවල් පමණක් කර ගන්නට උත්සහ කළ යුතුයි.

මේ සියල්ලම සලකා බලා අප දැන් තමන්ට ප්‍රායෝගිව වටිනා දේවල් කර ගත හැකි ලෙස සාමාන්‍ය ස්වයංමෝහනයට පත් වීමට කළ යුතු දේවල් ඉගෙන ගනිමු. මුලිනුත් සඳහන් කළ ආකාරයට පළමුව සුදුසු යෝජනාවලියක් මගින් කෙනෙකු ලවා ස්වයංමෝහනයට යටි සිත සකස් කර ගත යුතුය. ඒ සඳහා කිව යුතු යෝජනාවලිය පහත දැක්වේ.

Hypnosis (mohanaya) ...

Comments

  1. මෝහනයකට හෝ ස්වයං මෝහනයට පත්වන කෙනෙකුට මෝහන තත්වයේදී සිදුවූ සිදුවීම් කල කී දෑ සාමාන්‍ය තත්වයට පත්වීමෙන් පසුව මතකයට නැගිය හැකිද?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම මතක තිබෙනවා. එහෙත් මෝහනයේදී අමුතු සුන්දර සැහැල්ලු බවක් ලබන්න පුලුවන්. එවැනි අවස්ථාවලදී මෝහනයේදී සිදු වූ දේවල් නිකං හීනයක් මතක් කරනවා වාගේ අවිනිශ්චිත බවකින් මතක තියෙන්නත් පුලුවන්. බොහෝ අවස්ථාවලදී මාත් පෞද්ගලිකව එවැනි තත්වයට පත්ව තිබෙනවා.

      Delete
  2. මිට කලින් දවසක මා කියවන ලද ස්වං මොහනය ලපි පෙළකින් මා ගේ සිත තුළ මොහන විද්‍යාව ගැන දැඩි ආසවක් ඇති විය.මම පොත් ලිපි කියවා සාමන්‍ය අවබෝධයක් ලබා ගතිමි.එය තුලින් ස්වං මොහනය වි මා ජලාශයක ස්නානය කරන ලෙස විදානය කල මා එසේ එම ජාලාශයට බැස පිහිනිම් කරන ලදි එහිදි මගේ ශරිරයේ එහි සිසිල් බව දැනි හිරිගඩු පිපිමක් ⁣වන බව මා හට දැනුනා.මට දැනගන්න අවශ්‍ය එය විමට හැකිද යන්නයි

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. @malith
      ඔබේ කමෙන්ටුව සම්පූර්ණයෙන්ම මට ඊමේල් හරහා ලැබුණුත් බ්ලොගයේ පළ වී තිබෙන්නේ ඉන් කොටසක් පමණි. ඊට හේතුව මා දන්නේ නැති වුවත්, පළ නොවූ ඉතිරි කොටස ඊමේලයෙන් කොපි පේස්ට් කර ඊට පිලිතුරක් දෙන්නම්.

      "මිට කලින් දවසක මා කියවන ලද ස්වං මොහනය ලපි පෙළකින් මා ගේ සිත තුළ මොහන විද්‍යාව ගැන දැඩි ආසවක් ඇති විය.මම පොත් ලිපි කියවා සාමන්‍ය අවබෝධයක් ලබා ගතිමි.එය තුලින් ස්වං මොහනය වි මා ජලාශයක ස්නානය කරන ලෙස විදානය කල මා එසේ එම ජාලාශයට බැස පිහිනිම් කරන ලදි එහිදි මගේ ශරිරයේ එහි සිසිල් බව දැනි හිරිගඩු පිපිමක් ⁣වන බව මා හට දැනුනා.මට දැනගන්න අවශ්‍ය එය විමට හැකිද යන්නයි "


      කෙටිම පිලිතුර එය විය හැකියි. එහෙත් මොහොතකටවත් සිතන්න එපා එය සැබෑ අත්දැකීමක් කියා. එය හුදු මනඃකල්පිත අත්දැකීමකි. හරියටම ඔබ සිහිනෙන් දකින දෙයක් වැනිය. සිහිනයෙන් දකින විට හා එවෙලෙහිම අවදි වූ විට ඔබට එම සිහිනයෙන් ලත් අත්දැකීම මොහොතකට හෝ සත්‍ය සේ දැනෙනවානෙ. එහෙත් එය සිහිනයක් බව වටහ ගත් විට එම අත්දැකීම උවමනාවෙන්ම සත්‍ය නොවන බව පසක් කර ගන්නවා. සමහරෙකු නම් එම සිහිනවල යම් (අනාගතයේ සිදුවන දෙයක් පිලිබඳ) අනාවැකි ඇතැයි විස්වාස කරමින් මිත්‍යා පස්සේද යනවා. ඔබට ස්වයං මෝහනයට පත් විය හැකි නම්, ඉන් විනෝදයක් හා ප්‍රයෝජන ලබන්න. එච්චරයි...

      ඔව් එය මෝහන තත්වයකි (ඔබට අවශ්‍ය වෙලාවට එය කළ හැකි නම්)... සැබෑ අත්දැකීමක් නොවන බව ඔබම දන්නවනෙ... ඉතිං එය එක්කෝ මනෝව්‍යාධියක් විය යුතුය නැතිනම් මෝහන තත්වයක් විය යුතුය. එහෙත්, එවන් තත්වයන් ඉබේම පහල වන්නේ නම් පමණක් මනෝරෝග විශේෂඥයකු කරා යෑම සුදුසු විය හැකියි.

      Delete
    2. reply kalaata passe, e gamana comment ekath makalaa...

      Delete
    3. ස්තුතියි මහත්තයාණෙනි.එම අත්දැකීම ඉබේ සිදු වුවක් නොවේ.ම විසින් හුදකලා ස්ථානයක සිටියදි මා පළමුව සිත එක් තැනකට ගෙන ශරිරයේ සැහැල්ලු කිරිමට උත්සහා කලා පැය 1 කට වැඩි කාලයක් එසේ කිරිමෙන් පසුව ඉහත සිදු දෙය විය.මා මිට පෙර මෙවැනි.දේ සිදු කල නොමැත උත්සහ කරද නොමැත.එ හෙතුව නිසායි මා ඔබතුමාගෙන් මෙ පිලිබඳව විමසුවේ.

      Delete
    4. මා සිතන්නේ එය ඔබට යම් ආස්වාදයක් ලබා දෙන්නට ඇති... උත්සහවන්තයා ජයගනී...

      Delete
    5. බොහොම ස්තුතියි

      Delete
  4. Khmd a ehm mohone wenne bawana krnn oneda

    ReplyDelete
    Replies
    1. මෝහනය හා භාවනාව අතර ඍජු සම්බන්දයක් නැත.

      Delete
  5. මෝහනය මගින් අමිහිරි මතක අමතක කල හැකි ද

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

දෛශික (vectors) - 1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 7

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala) - 1

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 1