Skip to main content

පට්ට ගවේසි

කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා.  ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක. 

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 92

මීට පෙරත් සඳහන් කර ඇති පරිදි, ISS නම් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට sstv ක්‍රමයට රූප එවනවා. එහිදී චන්ද්‍රිකාව 145.800MHz සංඛ්‍යාතය ඔස්සේ Robot Color 36 යන sstv mode එක යොදා ගන්නවා. R0ISS, NA1SS යන කෝල්සයින්වලින් එම විකාශය සිදු කරනවා.

ඩිජිටල්කරණයට පැවති අනෙක් තාක්ෂණයන් සේම sstv ද හසු විය. එහි ප්‍රතිපලය Digital SSTV (DSSTV) ලෙස අලුත් ඩිජිටල් sstv mode එකක් ඇති වීමයි. ඇනලොග් sstv ට වඩා ඉතා අගනා ලක්ෂණ මෙහි ඇත. කොලිටිය කිසිසේත්ම අඩු නොවී රූප යැවිය හැකිය. මීට හේතුව, යවන දත්තවල වැරදි නිවැරදි කිරීමේ ක්‍රම (error detection and correction) එහි අන්තර්ගත වීමයි. තවද, දත්ත හකුලුවා යැවිය හැකි නිසා, ඉතා කොලිටි රූප පවා අඩු කාලයකින් යැවිය හැකිය. ඇනලොග් sstv තරම් තවමත් ප්‍රචලිත නැති වුවත්, ITU ආයතනයද නිරන්තරයෙන්ම දිරිගන්වන්නේ ඩිජිටල් තාක්ෂණය හැකි තරම් භාවිතා කරන්න කියාය.

DSSTV හි ක්‍රමවේද කිහිපයක් මේ වන විට භාවිතා වේ. HamDRM නම් ඩිජිටල් ක්‍රමවේදය සමහරුන් භාවිතා කරනවා. HamDRM යනු ශබ්දය ඩිජිටල් ආකාරයෙන් සම්ප්‍රේෂණය කිරීමට (radio broadcasting) සාදා ගත් Digital Radio Mondiale නම් ජාත්‍යන්තර සම්මතය පදනම් කර ගෙන සාදා ගත්තකි. HamDRM විසින් OFDM මූර්ජන ක්‍රමය භාවිතා කරනවා. ඇත්තෙන්ම DSSTV ගැනද ආධුනික ගුවන් විදුලියේදී යොදා ගන්නා අනෙක් ඩිජිටල් සන්නිවේදන ආකාරයන් (digital modes) යටතේම කතා කළ හැකිය.

ෆැක්ස් ක්‍රමය එතරම් බහුලවම ආධුනික ගුවන් විදුලියේදී භාවිතා නොවේ. එහෙත් මෙම තාක්ෂණය තවමත් බෙහෙවින් භාවිතා වෙනවා කාලගුණය ගැන දත්ත සොයන චන්ද්‍රිකාවලින් කාලගුණයට සම්බන්ද රූප ඉතා හොඳ කොලිටියෙන් ලබා ගැනීමට.

Fast Scan TV

මීළඟ රූප/වීඩියෝ යවන ආධුනික ගුවන් විදුලි තාක්ෂණය Fast Scan TV (FSTV) ලෙස හඳුන්වමු. මෙයම Amateur TV (ATV) ලෙසද හැඳින්වේ. රූප මෙන්ම ශබ්දද යැවිය හැකිය. SSTV මෙන් නොව, සාමාන්‍ය රූපවාහිනි සේවාවල මෙන්ම හොඳ වේගවත් වීඩියෝ මින් යැවිය හැකිය.

ඇත්තටම මේ සඳහා යොදා ගන්නේද සාමාන්‍ය රූපවාහිනි තාක්ෂණයන්ම තමයි. ලොවපුරා භාවිතා වන ප්‍රචලිතම රූපවාහිනි තාක්ෂණයන් වන්නේ ඇමරිකාව වැනි රටවල භාවිතා වූ NTSC, ප්‍රංශය වැනි රටවල භාවිතා වන SECAM, ලංකාව වැනි රටවල් භාවිතා කරන PAL වේ. ඉතිං, මේ තාක්ෂණ 3න් ඕනෑම එකක් භාවිතා කළ හැකිය ඇමචර් ටීවී සඳහා. පහත දැක්වෙන්නේ ලෝකයේ විවිධ රටවල්/කලාප ඉහත මූලික රූපවාහිනි තාක්ෂණයන් භාවිතා කරන ආකාරයයි.

ඇත්තටම බොහෝ රටවල් දැන් මෙම ඇනලොග් ක්‍රම නවතා ඩිජිටල් ක්‍රමවලට ගොස් ඇති අතර, තවත් බොහෝ රටවල් ඩිජිටල් වෙමන් පවතී. මෙනිසා පහත රූපය තවත් කාලයකට පසුව අර්ථකථනය කිරීමට සිදු වන්නේ ඇනලොග් ටීවී තිබූ සමයෙහි භාවිතා කළ ඇනලොග් ටීවී සම්මතයන් භාවිතා කළ රටවල් ලෙසයි.


ඇනලොග් ටීවී මූලික තාක්ණයන් 3ක් ඇති අතර, මූලික ඩිජිටල් ටීවී තාක්ෂණද 3ක් පමණ ඇත. ඇමරිකාව වැනි රටවල් ATSC , ජපානය වැනි රටවල ISDB , ලොව බොහෝ රටවල් DVB තාක්ෂණයද භාවිතා කරනවා. මීට අමතරව, චීනය DTMB නම් වෙනත් ඩිජිටල් තාක්ෂණයක් යොදා ගන්නවා.

ලංකාවද ඩිජිටල් රූපවාහිනි තාක්ෂණයට යෑමට තීරණය කළේ දැන් වසර ගණනාවකට පෙරයි. එහිදී ලොව ජනප්‍රියතම ඩිජිටල් තාක්ෂණය වන DVB-T යොදා ගැනීමට මුලින් තීරණය වූ බව වාර්තා විය. ඉන්පසු නැවත DVB-T2 නම් ඊටත් වඩා දියුණු ක්‍රමය යොදා ගන්නට තීරණය විය. එහෙත් නැවත මෑතකදී ආරංචි වූයේ එයත් අත් හැර ISDB ක්‍රමය යොදා ගැනීමට තීරණය කළ බවයි (ජපානයෙන් ලැබුණු ආධාර කුට්ටියකට අපේ දේශපාලුවන් යට විය). අද වන තුරු නිශ්චිත දිනයක් නැත ඩිජිටල් ටීවී අරඹන්නේ කවදාද කියා.

සරලවම FSTV යනු ඇමචර් බෑන්ඩ්වල විසුරුවා හරින රූපවාහින සේවයක් ලෙස සිතිය හැකිය. එනිසාම HAM TV කියාද මේවා හැඳින්විය හැකිය. මේ සඳහා රූපවාහිනි චැනලයක් සඳහා අවශ්‍ය වන 6MHz ක් වැනි විශාල බෑන්ඩ්විත් එකක් අවශ්‍ය කරනවා. එනිසා හැම්ටීවී විසුරුවා හැරීමට අවසර තිබෙන්නේ UHF හා ඉහල ඇමචර් බෑන්ඩ්වලයි (ඇමචර් බෑන්ඩ්ප්ලෑන් එක බැලුවොත් පෙනේවේ 6MHzක සංඛ්‍යාත පරාසයක් 70cm බෑන්ඩ් එකට පහලින් කිසිදු ඇමචර් බෑන්ඩ් එකක හමු නොවේ). ATV repeater ද ඇත. ISS අභ්‍යවකාශ මධ්‍යස්ථානයේද ATV ට්‍රාන්ස්මීටරයක් තිබෙන බව මීට පෙර අප ඉගෙන ගත්තා.

සමහර රටවල හැකි වුවත්, ලංකාවේ රෙගුලාසි බලන විට 70cm බෑන්ඩ් එක තුල වීඩියෝ එමිෂන් ටයිම් එකට අවසර නැත. ලංකාවේදී 13cm, 9cm, 4mm, 2mm, 1.2mm යන බෑන්ඩ්වල ඇමචර් ටීවී විසුරුවා හැරිය හැකිය.

70cm බෑන්ඩ් එකේ විශේෂත්වය වන්නේ, බොහෝවිට සාමාන්‍ය ගෙදර රූපවාහිනි යන්ත්‍රයෙන්ම ඇමචර් ටීවී බැලීමට ඉන් හැකියාව තිබීමයි. උදාහරණයක් ලෙස මා ටීවී බලන LG RT29FP55 රූපවාහිනිය විසින් Cable Hyper S21 සිට S41 දක්වා චැනල් ග්‍රහනය කළ හැකි අතර, එම සංඛ්‍යාත පරාසය 302MHz සිට 470MHz දක්වා වේ. ඒ කියන්නේ 70cm ඇමචර් බෑන්ඩ් එකේ මෙගාහර්ට්ස් 430 – 440 පරාසයද ඉන් ආවරණය වේ. මෙවිට ඇන්ටනා වයරය කෙලින්ම ටීවී ඇන්ටනා ජැක් එකට සවි කර එම සංඛ්‍යාත පරාසය තුල ටියුන් කළ විට ඇමචර් චැනලය බැලීමට හැකි වනු ඇත (සංඥාව ප්‍රබල නම්).

කෙසේ වෙතත් ලංකාවේ අපට එම හැකියාව අහිමිය. එනිසා ඉහත සඳහන් කළ ඉහල සංඛ්‍යාතයන් යොදා ගැනීමට සිදු වේ. මෙවිට සාමාන්‍ය රූපවාහින් යන්ත්‍රයකින් ඇමචර් ටීවී නැරඹීමට නොහැකිය. එවැනි සංඛ්‍යාත සඳහාම සැකසූ ටෙලිවිෂනයක් අවශ්‍ය වේවි. එහෙත් ඒ වෙනුවට සරල උපක්‍රමයක් යෙදිය හැකියි. එනම්, සංඛ්‍යාත පරිවර්තක පරිපථයක් සවි කළ හැකියි ටීවී එකත් ඇන්ටනා වයරයත් අතරට. ඇත්තටම මෙම ක්‍රමය දැනටත් යොදා ගන්නවා satellite tv සඳහා. සැටලයිට් ඇන්ටනාවේ සවි කරනවා යම් පරිපථයක් සැටලයිට් සංඥා එන අධිසංඛ්‍යාතයන් ටීවී එක භාවිතා කරන අඩු සංඛ්‍යාතයක් දක්වා පරිවර්තනය කිරීමට. මෙවැනි උපකරණයක් downconverter ලෙස හැඳින්වෙනවා.


දැන් ඇන්ටනාවේ සිට එන අධිසංඛ්‍යාත සංඥාව ඩවුන්කන්වර්ටර් එකෙන් ටීවී එක සපෝට් කරන අවසංඛ්‍යාත සංඥාවක් බවට පත් කරනවා. එම සංඥාව දැන් සාමාන්‍ය රූපවාහිනි යන්ත්‍රයට ඇතුලු කරනවා. මෙමඟින් අපට හැකියි ඇමචර් ටීවී සංඥා ග්‍රහනය කර ගන්නට.

ඇමචර් ටීවී සංඥා විසුරුවා හැරීමට වෙනම ට්‍රාන්ස්මීටරයක් භාවිතා කිරීමට සිදු වෙනවා. ඒ සඳහා ඔබේ සාමාන්‍ය ඇමචර් ට්‍රාන්ස්මීටර් යොදා ගැනීමට බැරිය. ඊට හේතුව සාමාන්‍ය ට්‍රාන්ස්මීටර්වලට හැකියාව තිබෙන්නේ කුඩා බෑන්ඩ්විත් සහිත සංඥා සම්ප්‍රේෂනය කිරීමටයි. එහෙත් සාමාන්‍ය ටීවී සංඥා සඳහා 6MHz තරම් විශාල බෑන්ඩ්විත් එකක් අවශ්‍ය වේ. ඒ සඳහාම සැකසූ ට්‍රාන්ස්මීටරයක් අවශ්‍ය වේ. මෙවැනි ට්‍රාන්ස්මීටර්වල පරිපථ අන්තර්ජාලයේ තිබෙන අතර, කැමති නම් එකක් තමන්ටම සාදා ගත හැකියි. පහත දැක්වෙන්නේ ඇමචර් ටීවී සඳහා යොදා ගන්නා එබදු ටීවී ට්‍රාන්ස්මිටරයකි.


සාමාන්‍ය රූපවාහිනි තාක්ෂණයම භාවිතා කරන නිසා, රූප AM/VSB ක්‍රමයටද ශබ්දය FM ක්‍රමයටද සාමාන්‍යයෙන් මූර්ජනය කෙරේ. එහෙත් මේ හැර වෙනත් මූර්ජන ක්‍රමද තමන්ට භාවිතා කිරීමට හැකි අතර, එවිට එය සම්මත ක්‍රමයක් නොවූවොත් ඔබ විසුරුවා හරින වීඩියෝ අනෙක් අයට ග්‍රහනය කර ගැනීමේ අපහසුතා ඇති වෙනවා.

මෙහිදීද සුපුරුදු ලෙසම දෙදෙනෙකු (හෝ කිහිප දෙනෙකු) ATV ක්‍රමයට සංවාද කරනවා නම්, එකම සංඛ්‍යාතය ඔස්සේ එය සිදු කළ යුතු වෙනවා (දෙදෙනා හෝ කිහිප දෙනා මාරුවෙන් මාරුවට විකාශය සිදු කරනවා). තවද, තමන්ගේ කෝල්සයිනය දර්ශනය කළ යුතු වෙනවා. පරිගනකයකින් පෙර සංස්කරණය කරපු වීඩියෝ නම් යවන්නේ පහසුවෙන්ම තමන්ගේ කෝල්සයිනය ආදිය ඊට ඇතුලත් කළ හැකිය. එහෙත් යම් කැමරාවකින් සජීවීව නම් වීඩියෝ යවන්නේ, තමන්ගේ කෝල්සයිනය ආදි විස්තර වීඩියෝ දර්ශන මත ලිවීමට(overlay text) හැකි විය යුතුය. එක්කෝ තමන්ගේ කැමරාව තුල එම හැකියාව තිබිය යුතුය; නැතහොත් ඒ සඳහා වෙනම overlay circuit එකක් භාවිතා කිරීමට සිදු වේ. මෙවිට කැමරාවෙන් එන සංඥා ඕවර්ලේ සර්කිට් එක හරහා යවා (මෙවිට අක්ෂර එහි ලිවිය හැකිය), අක්ෂරද සහිත වීඩියෝව ට්‍රාන්ස්මීටරය මඟින් සම්ප්‍රේෂනය කෙරේ.


ඇත්තටම ඕවර්ලේ පරිපථයක් නැතිවත් තමන්ගේ කෝල්සයිනය දැක්වීමේ රීතිය අනුගමනය කළ හැකිය. ඒ සඳහා ඇමචර් ටීවී සංවාදය ආරම්භයේදී හා සෑම විනාඩි 5කට සැරයක් හා සංවාදය අවසානයේදීත් කටහඬින් කෝල්සහිනය කිව හැකියි.

අවශ්‍ය නම්, වීඩියෝ යවන ගමන්ම වෙනත් සංඛ්‍යාතයක් ඔස්සේ වොයිස් (හෝ මෝස්කෝඩ්) සංවාදයක්ද පැවැත්විය හැකියි. එහෙමත් නැතිනම්, රූපවාහිනි වීඩියෝවටම තමන්ගේ ශබ්දය ඇතුලත් කළ හැකියි (ඉහත ට්‍රාන්ස්මීටරයේ mic පෝට් එකට මයික් එකක් සම්බන්ද කරමින් එය සිදු කළ හැකිය).

ඇමචර් ටීවී විකාශය කරන කෙනා භාවිතා කරන ඇන්ටනා පොලරයිසේෂන් එක (vertical horizontal ද යන වග) කුමක්දැයි දැනගත යුතුය. සම්ප්‍රේෂක ඇන්ටනාවේ පොලරයිසේෂන් එකට සමානව රිසීවර් ඇන්ටනාවේ පොලරයිසේෂන් එක තැබිය යුතුය (පොලරයිසේෂන් ගැන ඇන්ටනා පාඩමේදී ඉගෙන ගමු). තවද, හැකි තරම් සම්ප්‍රේෂක හා ආදායක ඇන්ටනා උස්ව පිහිටුවන තරමට හොඳය. ඩිරෙක්ෂනල් ඇන්ටනා භාවිතා කිරීම සුදුසුය (මේ ගැනත් ඇන්ටනා පාඩමේදී බලමු).

තවද, සංඥා නැති විටදී හෝ සංඥා ප්‍රබලතාව යම් මට්ටමකට වඩා අඩු වන විටදී නිල්පාට තිරයක් දිස් වෙනවා බොහෝ ටීවීවල. මෙවැනි ටීවී එකක් ඇමචර් ටීවී සඳහා භාවිතා කරන විට, සෙටිංස්වලට ගොස් එසේ නොකරන්නැයි සෙට් කළ යුතුය. නැතිනම් ඇමචර් ටීවී සංඥා දුර්වල වන විට රූප වෙනුවට නිකංම නිල්පාට තිරයක් පැමිණේවි.

ඇමචර් ටීවී දර්ශන විවිධ විය හැකිය. තමන්ගේ සජීවී දර්ශන වීඩියෝ කැමරාවකින් ගෙන යැවිය හැකිය. නැතිනම්, තමන් කැමති දේවල් පිළිබඳ රෙකෝඩ් කරපු දර්ශන යැවිය හැකිය. Drone/Quadcopter මත තැන්පත් කළ වීඩියෝ කැමරාවකින් ගත් දර්ශන යැවිය හැකිය. ප්‍රදේශයේ විශේෂ අවස්ථා විකාශය කළ හැකිය.

ප්‍රායෝගිකව මෙවැනි උපකරණ භාවිතා කරන විට තාක්ෂණික ගැටලු ඇති විය හැකියි. විශේෂයෙන් සාමාන්‍ය කැමරාවක් ඇන්ටනාව අසල තිබෙන විට, ඇන්ටනාවේ සිට එන ප්‍රබල විකිරණ නිසා, කැමරාවේ දර්ශන විකෘති විය හැකිය. මෙවිට ඇන්ටනාව හා කැමරාව අතර පරතරය වැඩි කළ යුතුය (ඇන්ටනාව වහලෙටත් උඩින් සවි කිරීමෙන්). තවද, කැමරාවට විකිරණ එන්නේ නැති වෙන විදියට ෆැරඩේ කේජ් එකක් ඇති කළ හැකිය; සුදුසු ෆිල්ටර්ද (කැපෑසිටර් හෝ කොයිල්) සවි කළ හැකියි. SSTV මෙන්ම ATV ද ඩිජිටල් ක්‍රම ඔස්සේ සිදු කළ හැකියි දැන්.

සටහන

Online Channels හා Videocasting

අද වන විට අන්තර්ජාලය හරහා තමන්ගේම රේඩියෝ හා රූපවාහිනි සේවයක් නොමිලේම ඕනෑම කෙනෙකුට පහසුවෙන් සාදා ගත හැකියි. Youtube වැනි සේවා මේ අතර ප්‍රමුඛ වේ (Youtube channel). පටිගත කළ ශබ්ද/වීඩියෝ මෙන්ම සජීවි ශබ්ද/වීඩියෝද ඉන් යැවිය හැකියි. මෙම සේවා online radio channel හෝ online video/TV channel ලෙස හැඳින්වේ.

සාමාන්‍යයෙන් යූටියුබ් යනු වීඩියෝ සේවාවක් වුවත්, ඔබට සම්ප්‍රේෂණය කිරීමට අවශ්‍ය වන්නේ ඕඩියෝ එකක් නම්, නිකංම එක් පිංතුරයක් (poster) පමණක් ඇති විදියට ඕඩියෝ ෆයිල් එක වීඩියෝ ෆෝමැට් එකක් බවට පත් කර යූටියුබ් එකට අප්ලෝඩ් කළ හැකිය. එවිට යූටියුබ් චැනලය බලන කෙනාට රූපය ලෙස පෙනෙන්නේ අර තනි පෝස්ටර් එක වන අතර, ශබ්ද පටය දිගටම ඇසේවි.

තවද, මේ ඔන්ලයින් චැනල් සඳහා කාගෙන්වත් අවසර ලබා ගැනීමටද අවශ්‍ය නැත. චැනලය විසුරුවා හරින අතරේම, Skype, Viber, Hangout වැනි VOIP සන්නිවේදන ක්‍රම හරහා ලොව පුරා විසිරී සිටින “ප්‍රේක්ෂකයන්” හා සම්බන්ද විමේ හැකියාවද තිබේ (එයත් නොමිලේ).

තවද, වීඩියෝ සේවා සම්ප්‍රේෂණය කිරීමේ Videocasting වැනි වීඩියෝ සේවාද අන්තර්ජාලය තුලින්ම නොමිලේම සිදු කළ හැකියි. වීඩියෝකාස්ටිං යනු podcasting වැනි සේවාවකි. පොඩ්කාස්ටිං වලදී යම් ශබ්ද පටයක් (බොහෝවිට MP3 ෆෝමැට් එකෙන්) අන්තර්ජාලයේ සර්වර් පරිගනකයක සේව් කර, එම ෆයිල් එක සේව් කළ බව RSS නම් ක්‍රමයෙන් මුලු ලොවටම දැනුම් දෙනවා (ඒ කිරීම සඳහා තත්පර ගණනක කාලයකි ගත වෙන්නේ). එවිට, එම පොඩ්කාස්ටිං සේවාවට RSS හරහා සම්බන්ද වී සිටින (subscribe) අයට ස්වංක්‍රියව දැනුම් දීමක් අන්තර්ජාලය හරහා සිදු කරනවා අලුත් ඕඩියෝ එකක් තිබෙනවා කැමති නම් ඩවුන්ලෝඩ් කරගෙන අසන ලෙස (RSS reader නම් පරිගනකයේ/ෆෝන් එකේ තිබෙන ප්‍රේග්‍රෑම් එකකින් එය සිදු කරනවා). වීඩියෝකාස්ටිං වලදී සාමාන්‍ය ඕඩියෝ ෆයිල් එකක් වෙනුවට වීඩියෝ ෆයිල් එකක් තමයි තිබෙන්නේ. සම්මන්ත්‍රණ, සාකච්ඡා ආදිය ලොව පුරා විසුරුවා හැරීමට මෙම ක්‍රම ඉතා යෝග්‍ය වේ.

මාද පොඩ්කාස්ටිංවලට ප්‍රියතාවක් දක්වනවා. තමන් කැමති බොහෝ විෂයන් ගැන ඉතා වටිනා සාකච්ඡා ආදිය ලෝකයේ විවිධ රටවල අය මේ ක්‍රමයෙන් අනෙක් අයට නොමිලේම ලබා දෙනවා. අපේ රටෙත් විවිධ ක්ෂේත්‍රවලට ලැදියාවන් තිබෙන අය මෙම ක්‍රම භාවිතා කරමින් ලංකාවේද පොඩ්කාස්ටිං සංස්කෘතියක් ඇති වෙනවා නම් එය සමාජයේ ප්‍රගමනයට ඉහවල් වනු ඇති. ඇමරිකාව වැනි රටවල බොහෝ විශ්ව විද්‍යාල දේශන පවා දැන් මෙවැනි ක්‍රම ඔස්සේ අන්තර්ජාලයට එක් කරනවා බොහෝ දෙනෙකුගේ හිතසුව පිනිස.

එහෙත් අවාසනාවකට මෙන් එවැනි තත්වයක් ලංකාවේ තවම නැත. වරක් මා මහාචාර්ය කොටගම විසින් පවත්වපු කුරුල්ලන් පිළිබඳ සම්මන්ත්‍රණයකට සහභාගි වීමට ආශාවෙන් සිටියත්, එම වෙලාවෙහි ඊට සහභාගි වීමට නොහැකි තත්වයක් ඇති වූ හෙයින් යූටියුබ් එකට එම වටිනා සම්මන්ත්‍රණය දමන ලෙස සංවිධායකයන්ගෙන් ඉල්ලා සිටියත් (මා කතා කළේ සම්මන්ත්‍රණයට දින දෙකකට පෙරයි), උන්ට ඒ ගැන ඕනකමක් තිබුණේ නැත. සංරක්ෂණය කර තවත් බොහෝ පිරිසකට නැරඹීමට අවස්ථාවක් ලබා දීමේ වටිනාකම තේරුම් ගැනීමට බැරි ටිකිරි මොල තිබෙන ටිකිරාලා ලංකාවේ සෑම තැනම සිටින බව පෙනේ.

Comments

  1. "ටිකිරි මොල තිබෙන ටිකිරාලා ලංකාවේ සෑම තැනම සිටින බව පෙනේ. " :D
    වෙනදා වගේම බොහෝම අගෙයි..ගොඩාක් පිං..(මම පවුද්ගලිකව මේ තාක්ශනික දැනුමට අමතරව දේශපාලුවන්ට අමතන ආකරයටත් මනාප වෙලා..සිනහවක් එනවා..ඒකත් රසවත්.. ):D :D :)

    ReplyDelete
    Replies
    1. :) hahaha... මට හැකි නම් ලංකාවේ දේශපාලුවන් හා උන්ට වහල්කම් කරන නිලපනුවන් ඔක්කෝටම වෙඩි තියල මරනවා... not kidding...

      Delete
    2. එක ඇත්ත..උන් වග කියන්න ඕන මේ සමාජේ සිදුවන සියලුම කරදර වලට :D :D :)

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල භාෂාව තුළින් ඉගෙනීමට උත්සහ කළ යුතුය. 

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අකුරු 26 පහත දක්වා ඇත.  ඉංග්‍රීසියේදී සෑම අකුරක්ම “සිම්පල්” හා “කැපිටල්” ලෙස දෙයාකාර

කතාවක් කර පොරක් වන්න...

කෙනෙකුගේ ජීවිතය තුල අඩුම වශයෙන් එක් වතාවක් හෝ කතාවක් පිරිසක් ඉදිරියේ කර තිබෙනවාට කිසිදු සැකයක් නැත. පාසැලේදී බලෙන් හෝ යම් සංගම් සැසියක හෝ රැස්වීමක හෝ එම කතාව සමහරවිට සිදු කර ඇති. පාසලේදී කතා මඟ හැරීමට ටොයිලට් එකේ සැඟවුනු අවස්ථාද මට දැන් සිහිපත් වේ. එහෙත් එදා එසේ කතා මඟ හැරීම ගැන අපරාදේ එහෙම කළේ යැයි අද සිතේ. යහලුවන් ඉදිරියේ "පොර" වෙන්න තිබූ අවස්ථා මඟ හැරුණේ යැයි දුකක් සිතට නැඟේ. ඇත්තටම කතාවක් කිරීම "පොර" කමකි. දක්ෂ කතිකයන්ට සමාජයේ ඉහල වටිනාකමක් හිමි වේ. පාසැලේදී වේවා, මඟුලක් අවමඟුලක් හෝ වෙනත් ඕනෑම සමාජ අවස්ථාවකදී වේවා දේශපාලන වේදිකාව මත වේවා කතාවක් කිරීමේදී පිලිපැදිය යුත්තේ සරල පිලිවෙතකි. එහෙත් එම සරල පිලිවෙත තුල වුවද, තමන්ගේ අනන්‍යතාව රඳවන කතාවක් කිරීමට කාටත් හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වේ. එම වෙනස ප්‍රසිද්ධ කතා (public speaking) තුලද පවත්වාගත හැකිය. මේ ගැන මට ලිපියක් ලියන්නට සිතුනේ මාගේ මිතුරෙකුට ප්‍රසිද්ධ කතාවක් කිරීමට අවශ්‍ය වී, ඒ ගැන මේ ළඟ දවසක අප පැයක් පමණ සිදු කළ සංවාදයක් නිසාය. මා ප්‍රසිද්ධ දේශකයකු නොවුණත් මේ විෂය සම්බන්දයෙන් පාසැල් කාලයේ සිටම පත

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he    ඔහු    with    සමඟ    on    මත    do    කරනවා, "මෙව්ව කරනවා"    say    කියනවා    this    මේ, මේක    they    උන්, ඒවා, ඒගොල්ලෝ    at    දෙස, අසල    but    නමුත්    we    අපි    his    ඔහුගේ    from    සිට, ගෙන්    not    නැහැ    by    විසින්, මඟින්    she    ඇය    or    හෝ, හෙවත්    as    විට, නිසා, වශයෙන්    what    මොකක්ද,