Skip to main content

ශබ්ද ශාස්ත්‍රය හා අපේ නම් විගඩම්

ශබ්ද ශාස්ත්‍රය කියා ලොකුවට කතා කරන විෂයක් හෙවත් දැනුම් පද්ධතියක් ලංකාවේ ඇත. දන්නා තරමින් වෙනත් සමහර රටවල මීට සමාන තත්වයන් ඇත. යන්ත්‍ර මන්ත්‍ර, ඇස්වහ කටවහ, වස්කවි සෙත්කවිවල සිට යමෙකුට හෝ යමකට නමක් තැබීම දක්වා එහි බලපෑම තිබේ. මින් මා අක්ෂරවල ගුණාගුණ හා ගන පිහිටුවීම ගැන පමණක් කෙටි සටහනක් ලියන්නටයි සැරසෙන්නේ.

මා මෙවැනි ලිපි පෙලක් සමහරවිට ඉදිරියටත් ලිවීමට බලාපොරොත්තු වන අතර, එහි අරමුණ වන්නේ මෙම දැනුම සමාජගත කර, ඒ ගැන ඇති කර ගන්නා දැනුමින් මෙම විෂයෙහි තිබෙන අසත්‍ය නිරර්ථක මිථ්‍යා ස්වභාවය පෙන්වා දීමටයි. මෙම ශාස්ත්‍රයන්ගෙන් හම්බ කරන සමාජය පල්ලම් බස්සන අය වැජඹෙන්නේ පොදු ජනයා අතර මේ ගැන තිබෙන අවබෝධය ඉතාම අල්ප බැවිනි.

ඔබ අසා ඇති බබෙකුට නමක් දැමීමේදී, එම නමේ ගනය හොඳයිද කියා සොයා බලන සම්ප්‍රදායක් සමහර මෝඩ දෙමාපියන්ට ඇත. දෙමාපියන්ට එම අවශ්‍යතාව නැතත් සමහරවිට ඔවුන්ගේ මව්පියන්ට එම රුදාව ඇත. මොකක්ද ගනයක් කියන්නේ? එය ඉතාම සරල දෙයකි.

එහෙත් ඊට පෙර මාත්‍රා යනු කුමක්දැයි දැනගත යුතුය. ඔබ දන්නවා අප කටින් විවිධ ශබ්ද නිකුත් කරනවානේ (කතා කිරීමේදී). එම ශබ්ද දෙයාකාරයකට බෙදිය හැකියි - කෙටි ශබ්ද හා දිගු ශබ්ද ලෙස. උදාහරණයක් ලෙස, ක, කැ, කි, කු, කෙ, කො ආදි ශබ්ද කෙටි හෙවත් හ්‍රස්ව හෙවත් ලඝු ශබ්ද වේ. කා, කෑ, කී, කූ, කේ, කෝ ආදි ඇදෙන ශබ්ද දිගු හෙවත් දීර්ඝ හෙවත් ගුරු ශබ්ද වේ.

ඒ කියන්නේ යම් හල් අකුරකට අ, ඇ, ඉ, උ, එ, ඔ යන කෙටි ස්වරවලින් එකක් ආරූඪ වී ඇති විට එම ශබ්දය කෙටි ශබ්දයකි. එලෙසම, යම් හල් අකුරකට ආ, ඈ, ඊ, උෟ, ඒ, ඕ යන දීර්ඝ ස්වයරක් ආරූඪ වී ඇති විට එම ශබ්දය දිගු ශබ්දයකි. මෙම කෙටි හෝ දිගු ශබ්දවලට කියන තවත් නමක් තමයි මාත්‍රා කියන්නේ. ඒ අනුව කෙටි/ලඝු ශබ්ද හෙවත් ලඝු මාත්‍රා හා දිගු/ගුරු ශබ්ද හෙවත් ගුරු මාත්‍රා ලෙස මාත්‍රා වර්ග දෙකකි. ලඝු මාත්‍රා ඩොට් එකකින්ද (.) ගුරු මාත්‍රා ඩෑෂ් එකකින්ද (-) නිරූපණය කරමු.

ඇත්තටම ඉහත ආකාරයට ලැබුණු ගුරු මාත්‍රාවලට අමතරව ගුරු මාත්‍රා ලැබෙන තවත් ආකාර ඇත.

එනම්, ලඝු හෝ ගුරු අකුරකට පසුව හල් අකුරක් ඇති විටත්, එම කොටසම තනි ගුරු මාත්‍රාවක් ලෙස සැලකේ. උදාහරණ ලෙස, මල්, හාල්, ගල්, පර්, පාර්, පට්, කාට් ආදී ලෙස සෑදෙන සියලු ශබ්ද තනි තනි ගුරු මාත්‍රා වේ.

තවද යම් වචනයක් (ශබ්ද පෙලක්) ආරම්භයේදී හල් අකුරක්ද ඉන්පසුව ගුරු හෝ ලඝු අක්ෂරයක් ඇති විටත්, එම කොටස ගුරු මාත්‍රාවකි. උදාහරණ ලෙස, ස්ව, ස්වා, ක්ලි, ක්ලී ආදිය තනි තනි ගුරු මාත්‍රා වේ. මේ අනුව රකාරාංශ හෝ ඇලපිලි ගැටය සහිත අක්ෂරත් ගුරු වේ. උදාහරණ ලෙස, ක්‍ර (ක්ර), කෲ (ක්රූ), කෘ (ක්රු) ආදිය තනි තනි ගුරු මාත්‍රා වේ.

භ, ඛ, ඨ, ඡ ආදි මහාප්‍රාණ අක්ෂරවල යම් ගැටලුවක් ඇත. කෙනෙකුට එය ගුරක් ලෙසද තවෙකෙක් එය ලඝුවක් ලෙස තර්ක කළ හැකිය. එහෙත් මහාප්‍රාණ ශබ්දත් කෙටි ස්වර ආරූඪ කරගෙන ඇති විට සාමාන්‍ය අල්පප්‍රාණ මෙන් ලඝු මාත්‍රා ලෙසද, දීර්ඝ ස්වර ආරූඪ කරගෙන ඇති විට සාමාන්‍ය අල්ප්‍රාණ මෙන්ම ගුරු මාත්‍රා ලෙසද සලකමු.

දැන් ගනයක් යනු කුමක්ද? ගනය යනු මාත්‍රා 3ක ශබ්දයකි.

මාත්‍රා 3කට අඩුවෙන් නම් යම් ශබ්දයක් පවතින්නේ එතැන ගනයක් නැත. උදාහරණයක් ලෙස, ලංකා යන වචනයේ "ලං" යන ගුරු මාත්‍රාවත් "කා" යන ගුරු මාත්‍රාවත් ලෙස මාත්‍රා ඇත්තේ 2කි. එනිසා එතැන ගනයක් පිහිටන්නේ නැත. සනත් යන්නේද ගනයක් නැත මොකද "ස" යන ලඝුවත් "නත්" යන ගුරත් යන මාත්‍රා 2ක් පමණි එහිත් පවතින්නේ.

මාත්‍රා 3ක් හෝ ඊට වැඩියෙන් තිබෙන විට ගණයක් පිහිටයි. උදාහරණ ලෙස, සුමනා යන වචනයේ "සු" හා "ම" යන ලඝු මාත්‍රා 2කුත්, "නා" යන ගුරු මාත්‍රාවකුත් පිහිටනවා. එ් කියන්නේ එහි මාත්‍රා 3ක් තිබෙනවා. එනම් ගනයක් එහි තිබෙනවා. සුමනපාල යන්නෙහිද ගනයක් පිහිටනවා මොකද "සු", "ම", "න" යන ලඝු 3කුත්, "පා" යන ගුරත්, "ල" යන ලඝුවත් ලෙස මාත්‍රා 5ක් එහි තිබෙනවා. ඒ අනුව මාත්‍රා 3ට වඩා වැඩි වූවාට අවුලක් නැත මොකද අප හැමවිටම සලක්නේ මුල් මාත්‍රා 3 පමණි (අනෙක් ඒවා නොසලකා හැරේ). එනිසා සුමනපාල යන්නෙහි ගනය පිහිටන්නේ "සුමන" යන කොටස තුල පමණි ("පාල" යන කොටස නොසලකා හැරේ).

ගුරු ලඝු වශයෙන් දෙයාකාර මාත්‍රා 3ක් විවිධ ආකාරයෙන් සංයෝග කළ විට, එවැනි විවිධ මාත්‍රා සංයෝග 8ක් ලැබේ. එනම්, ලෝකයේ තිබෙන්නේ ගන 8ක් පමණි. එම ගන 8හිම මාත්‍රා සංයෝග පහත ආකාරයට වේ.

මාත්‍රා සංයෝජනය
ගනයේ අක්ෂර නාමය
ගනයේ අන්‍ය නාමය
ගනයේ විපාකය
අයිති ග්‍රහයා
. . .

දේව
ආයුෂ
බුද
. . -

වාත
උමතුබව
ශනි
. - .

ගිනි
ශෝකය
රවි
. - -

ජල
යසස
සිකුරු
- . .

සෝම
ධෛර්ය
සඳු
- . -

ගිනි
මරණය
කුජ
- - .

අහස
දුප්පත්කම


- - -

භූමි
සැප
බ්‍රහස්පති

සෑම ගනයකටම එක් අක්ෂරයකින් දක්වන නාමයක්ද යම් නමකින් යුතු නාමයක්ද ඇත. සෑම ගනයකටම අයිති ග්‍රහයෙකුද ඇත. සෑම ගනයකටම යම් හොඳ හෝ නරක විපාකයක්ද ඇත. ඉහත වගුව බලන විට හොඳ ගන 4ක්ද නරක ගන 4ක්ද පවතින බව පෙනේ.

සුබස්මාලය නම් පොතේ ශබ්ද ශාස්ත්‍රය ගැන කවියෙන් (පහසුවෙන් මතක තබා ගත හැකි ලෙස) මෙම සියලු කාරණා දක්වා තිබෙනවා. මාද පෞද්ගලිකව මෙම කරුණු මතක තබා ගෙන තිබෙන්නේ එහි කවි වලිනි. එහි එක් කවියක් පහත ආකාරයට වේ. එමඟින් හොඳ ගන හතරේ මාත්‍රා මොනවාද කියා පෙන්වා දෙනවා.

"
දික්වූමේ ගෙන
බලව කෙටිවන මෙ ගෙන
මේවිල සයි ගෙන
යෙදීලා අග දෙගුරු මෙ ගෙන
"

මෙම කවියේ මුල් අක්ෂරවලින් දක්වන්නේ මාත්‍රා වේ. උදාහරණයක් ලෙස, "දික් වූ මේ" යන මාත්‍රා 3ම ගුරු වේ (එනම් ගුරු මාත්‍රා 3ක්). එහි ගනය වේ. එලෙසම "බලව" යනු ලඝු මාත්‍රා 3කි. එම ගනය වේ. ඒ ආදි ලෙස පහසුවෙන්ම එම කවිය තුල හොඳ ගන හතරේ අක්ෂර නාමයන් හා මාත්‍රා වින්‍යාසය දක්වනවා.

ඇත්තටම යම් නාමයක ගන බැලීමට (හොඳද නරකද කියා) ඉහත කවිය පමණක් වුවද ප්‍රමාණවත්ය. උදාහරණයක් ලෙස, කවිඳු යන නම ගන්න. එහි ඇත්තේ ලඝු 3කි. ඒ කියන්නේ න ගනය වේ. එය ඉහත කවිය තුල තිබේ. එනිසා එය හොඳ ගනයකි. අවශ්‍ය නම් ඉහත වගුවෙන් බලා එය ආයුෂ වැඩි කරන බලයක් ඇතැයිද සොයා ගත හැකියි. කමලා යනු ලඝු-ලඝු-ගුරු යන මාත්‍රා සංයෝජනය සහිතය. ඉහත කවිය තුල එම ගනය ගැන සඳහන් කර නැත. ඒ කියන්නේ එම ගනය අසුභයි. ඉහත වගුව බැලූ විට ස ගනය බවත් එම නම ලැබූ තැනැත්තා උමතු ගතිගුණ ඇති විය හැකි බවත් කියති.

අන්න එලෙසයි නාමයක ගන සුභද අසුභද කියා බලන්නේ. දැන් සමන් යන නම ගමු. එහි ගනයක් නැත (මාත්‍රා 3ක්වත් නැති නිසා). එවන් ගනයක් නොමැති නාමයන්වල සුභ හෝ අසුභ බවක් නැතැයි සැලකේ. එනිසාම එවන් ගන නැති නාමයන් සුභ ලෙස සැලකේ (කිසිදු අසුභයක් නැති වීමත් සුභයක්නෙ). එය හරියට no news is good news යන ඉංග්‍රිසි කියමන බදුය (යමක් ගැන කිසිදු ආරංචියක් නැහැයි කියන්නෙත් හොඳ ආරංචියකි මොකද නරක යමක් සිදු වී ඇත්නම් දැනටමත් එය ආරංචි විය යුතුයිනේ).

ඇත්තටම දෙන ලද නාමයක ගන බැලීමට ගත වන්නේ තත්පර තුන හතරක් වැනි කාලයකි. එහෙත් එය මහා ලොකු රාජකාරියක් ලෙස හඟවා මුදල් ගැරීම කොතරම් සිදු වෙනවාද? සමහරෙක් (විශේෂයෙන් විජ්ජවිජ්ජාලයකින් සිංහල හදාරපු අය) තම මිතුරන්ගේ දුවාදරුවන්ගේ නාමයන් එහෙම ගන පිහිටුවන "භාරදූර" රාජකාරිය මිතුරන් විසින් පවරා දෙන ලදුව, තමනුත් ඒ සඳහා දවසම ගත කර අනෙක් අයටත් එය ලොකු දෙයක් ලෙස හඟවන අවස්ථා මා දැක ඇත. ගිය නොවැම්බර් මාසයේ මාගේ පියාගේ මල ගේ දවසේ රෑක මාගේ එවන් මිතුරෙකු රෑ ඉන්න විදියක් නැහැ මොකද යාලුවෙකුගේ ළමයෙකුගේ නමකට ගන පිහිටුවන්නට තිබෙනවා කියා ගිය සැටි මතක් වේ.

ගනයට අමතරව අක්ෂරවලද බලයක් පවතිනවා යැයි කියති. ඒ අනුව සිංහල අක්ෂර මනුෂ්‍ය (නර), සුර (දිව්‍ය), හා අපාය ලෙස තුන් වර්ගයකට බෙදේ. පහත දැක්වෙන්නේ එක් එක් වර්ගයට අයත් අක්ෂර වේ.

නර - උ, ඌ, ප, බ, ග, හ
සුර - ඉ, ඊ, ඔ, ඕ, ට, ඩ, ත, ද, ල, ව, ස
අපාය - එ, ඒ, ක, ම, ර, ජ, ඇ, ය, න, අ, ආ, ණ, ළ, ං

ඉහත අක්ෂර ටිකත් සුබස්මාලයේ පහත කවියෙන් සංක්ෂිප්ත කර ඇත. මෙහිදී දීර්ඝ හා කෙටි යන ස්වර දෙකම එකම ගොඩට වැටේ. උදාහරණයක් ලෙස, උ යන කෙටි ස්වරය මෙන්ම එහි දීර්ඝ ස්වරයත් අයත් වන්නේ නර අක්ෂරවලයි. අපායක්ෂර 15ක් ඇති බවත් ඒවා කවියේ අවසන් පේලියේ දක්වා ඇත (සෑම කෙටි ස්වරයකම දීර්ඝ ස්වරයත් ඊට ඇතුලු කරන්න). මෙවිට අපායක්ෂර 15ත්, නර අක්ෂර 6ත් හැරුණහම ශුද්ධ සිංහල හෝඩියේ අක්ෂර 32ක් ඇති නිසා, ඉතිරි 32 - 21 = 11 අකුරු සියල්ල අපාය අකුරු වේ.

"
උපබගහ නර ලෙස
සුරකුරු වේය එකොලස
අපාකුරු පසලොස
එකමරජඇයනඅණළං රැස
"

ඉතිං, යම් හොඳ/යහපත් ප්‍රතිපලයක් ලබා ගැනීමට අවශ්‍යයි නම් නමේ (හෝ වදන් පෙලේ) ආරම්භය සුර අකුරකින් පටන් ගත යුතුය. සුර අකුරක් බැරි නම් අඩුම ගානේ නර අකුරකින්වත් පටන් ගත යුතුය. සුර හා නර යනු හොඳ ප්‍රතිපල ලබා දෙන අක්ෂර යැයි කියති. එහෙත් නරක ප්‍රතිපලයක් අවශ්‍යයි නම් අපායක්ෂරයකින් එය පටන් ගත යුතුය.

මේ ආදි ලෙස අක්ෂර යොදන අයුරුත් ශබ්ද ශාස්ත්‍රය තුල ඉගැන්වේ. සෙත්කවි හා වස්කවි ලියන්නේ මේ රීතින්ට අනුවයි. උදාහරණයක් ලෙස, සෙත්කවි ලියන විට, පළමු මාත්‍රා 3න් ඇතිවන ගනය මෙන්ම ඊට පසුව ඇති ගනයත් අනිවාර්යෙන්ම සුභ ගනයක් විය යුතු බව කියති. පළමු ගනය හොඳ වී ඊට පසුව ඇති ගනය නරක වුවොත් බලාපොරොත්තු වන සුභ ප්‍රතිපල නොලැබෙන බව කියති හරියට සුභ ගමනක් යන විට සතුරෙකු හමු වුණා වැනියි.

සෙත්කවි හා වස්කවි ආදිය කියන විට එහි බලපෑමට ලක්වන තැනැත්තාගේ නැකත් බලා කළ හැකි නම් බලපෑම ත්‍රීව්‍ර කළ හැකි බව කියති. උදාහරණයක් ලෙස, යම් තැනැත්තෙකුට යම් සුභ දෙයක් පතා සෙත් කවියක් කියන්නේ නම්, එම තැනැත්තා උපන් නැකැතට සීහෙන හොඳ නැකතක් සොයා එය සිදු කරන අතර, වස්කවියක් කියන විට ඔහුගේ උපන් නැකතට අසුභ මුහුර්තයක් (නැකතක්) බලා වස්කවිය කිය යුතු යැයි කියති.

මේ ආදි ලෙස ගන හා අක්ෂරවල බලය ගැන ශබ්ද ශාස්ත්‍රයේ සඳහන් කර තිබෙන අයුරුයි අප කෙටියෙන් සලකා බැලුවේ. එහෙත් මේ සියල්ල හුදු ප්‍රලාප වේ. මනස්ගාතය. අමුතුවෙන් මා මෙහි ඇති මිථ්‍යාව පෙන්වා දීමට අවශ්‍ය නැත. ලෝකයේ දියුණු ආයතන නම්වලින් බොහෝමයක්ම අසුභ ගනවලින් යුක්ත වේ. ලෝකයේ ධනවත් හෝ සාර්ථක පුද්ගලයන් විශාල ගණනක් අසුභ ගන සහිත නම් දරන්නන් වේ. ඔබටම දැන් ඒ නම් පරික්ෂා කර බැලිය හැකියි.

මේ අතර සුභ ගනවලින් යුතු පුද්ගල නාම හා ආයතන නාමද පවතී. කපටි ශබ්ද ශාස්ත්‍රකාරයන් එවන් උදාහරණ පමණක් පෙන්වා දේවි. ඒ උන්ගේ හැටිය. උන්ගේ කපටිකම්වලට රැවටීමට තරම් විචාර බුද්ධියක් නැති හරක් ඕනෑ තරම් ලංකාවේ සිටී. අවාසනාවකට මෙන් මේවා ගැන පැය ගණන් පැහැදිලි කර දුන් පසුවත් තවමත් ඒවා පිලිගන්නා හරක් ටිකක් මාද ආශ්‍රය කරනවා.

පුද්ගලයකුට වේවා වෙනත් දේකට වේවා නමක් යොදන විට එය ප්‍රෞඪත්වයක් තිබෙන ශබ්දයක් වීම ප්‍රමාණවත්ය. එහි අනියමින් හෝ අශිෂ්ඨ තේරුමක් නොතිබිය යුතුය. උදාහරණයක් ලෙස, කවුරුත් කැමති නැහැනෙ "පිස්සා" යන තේරුම තිබෙන නමුත් ඉතා ලස්සනට ශබ්ද වන වචනයක් තමන්ගේ නම ලෙස භාවිතා කරන්නට.

එහෙත් නමකට තේරුමක්ද අවශ්‍ය නොවේ. නමක් යනු සංඥාවකි. ඒයි ඕයි කියා ආමන්ත්‍රණය කිරීම වැලැක්වීමටයි අපට නමක් අවශ්‍ය වන්නේ.

එහි ගන හා උපන් නැකතට අනුව අක්ෂර පිහිටුවන්නට ගොස් ඉතා ලස්සන ගම්භීර නමක් යෙදීමට තිබෙන ඉඩකඩ ඇහිරී යයි. උදාහරණයක් ලෙස, මාගේ සහෝදරයෙකුගේ බාල පුත්‍රයාට නමක් යෙදීමට මට භාර දුන්නත් එය කළ නොහැකි වූයේ අයියා එම නම "ඩි" යන අකුරෙන්ම පටන් ගත යුතු යැයි බල කළ නිසාය. ඊට හේතුව උපන් නැකතට හිමි අක්ෂරය එය වීමයි.

අභාග්‍යයක් ලංකාවේ තිබේ. ළමුන්ට ඉතා සුන්දර නම් ඇත. එහෙත් සමහර නම් දරන පිරිමි ළමුනට ලොකු වී උඩු රැවුලක් නම් වැවීමට බැරි වේවි මොකද එම නම් එතරම් සියුමැලිය. අපේ දෙමාපියන් ළමුන්ට (විශේෂයෙන් පිරිමි ළමුන්ට) නම් දමන්නේ උන් කවදාවත් ලොකු වන්නේ නැහැ කියා සිතාගෙනය. මීට වගකිව යුතු ප්‍රධානතම පුද්ගලයා අරිසෙන් අහුබුදු වේ. ඔහු බස මල විකාරයක් කර ඇත. අක්ෂරවලටත් විවිධ "නැති තේරුම්" දී ඇත. ඔහුගේ සමහර නම් BMICH, CTB, NASA වැනිය (abbreviations and acronyms). උදාහරණයක් ලෙස, මනුමි ආදි නම් පෙන්වා දිය හැකිය. එය හරියට "බ්‍රිතාන්‍ය රටේ ඉන්න සුද්දන්ගේ ටිකක් ඔලුව ලොකුයි" (Britanya Ratey Inna Suddange Tikak Oluwa Lokui) යන වචනයෙන් BRISTOL යන වචනය සෑදී ඇතැයි අප කුඩා කාලයේ අසා තිබෙන (විහිලු හා සාවද්‍ය) විග්‍රහය බදුය.

ශබ්දයෙන් වචනයෙන් බොහෝ දේවල් කළ හැකිය. ඇත්තටම ශබ්දය බලසම්පන්න වේ. කේලාම්, බොරු, පරුෂ වචන ආදියෙන් ඉතා භයානක තත්වයන්ද, ආදරනීය, බුද්ධිමත් වචනවලින් ඉතා සුන්දර තත්වයන්ද ඇති කර ගත හැකියි. අන්න එයයි වචනයේ හා ශබ්දයේ තිබෙන බලය. එය සන්නිවේදනයට අයත් කාරණයක් පමණි. එහෙම නැතිව කොහේවත් නැති ගුප්ත බලයක් සහිත දෙයක් නොවේ.

Comments

  1. //තවද යම් වචනයක් (ශබ්ද පෙලක්) ආරම්භයේදී හල් අකුරක්ද ඉන්පසුව ගුරු හෝ ලඝු අක්ෂරයක් ඇති විටත්, එම කොටස ගුරු මාත්‍රාවකි. උදාහරණ ලෙස, ස්ව, ස්වා, ක්ලි, ක්ලී ආදිය තනි තනි ගුරු මාත්‍රා වේ. මේ අනුව රකාරාංශ හෝ ඇලපිලි ගැටය සහිත අක්ෂරත් ගුරු වේ. උදාහරණ ලෙස, ක්‍ර (ක්ර), කෲ (ක්රූ), කෘ (ක්රු) ආදිය තනි තනි ගුරු මාත්‍රා වේ.

    "වික්‍රම" වචනයේ මාත්‍රා සොයන්නේ
    වික්,ර,ම ලෙසද වි, ක්ර,ම ලෙසද?

    හල් අකුරු කිහිපයක් එකට ඇතිවිට මාත්‍රා ගන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. වික්‍රම --> වික් ර ම ලෙස ගත යුතුයි. වචනයේ තේරුම් අනුව නොව ශබ්දය අනුවයි ගන සොයන්නේ.

      "යම් වචනයක ආරම්භයේදී" කියා මා විශේෂයෙන් සඳහන් කර තිබෙනවා නේද? වික්‍රම යන්නෙහි ක්‍ර ඇත්තේ වචනයේ ආරම්භයේ නොව, මැදයි. හැබැයි ක්‍රමය යන වචනය ගත් විට ක්‍ර යන්න තනි ඛණ්ඩයක් සේ ගත යුතුයි මොකද ක්‍ර යනු ආරම්භයේ තිබෙන නිසා. ස්ලෝක යන්නෙහිද ස්ලෝ යන්න ගුරකි. එහෙත් පස්ලෝ යන්නෙහි ස්ලෝ යන කොටස තනි ඛණ්ඩයක් ලෙස නෙැගැනේ. එය පස් ලෝ ලෙස කැඩිය යුතුය.

      හල් අකුරු කිහිපයක් එකට ඇති විටත් ඉහත විස්තර අනුවම ගත හැකියි. උදාහරණයක් ලෙස, පෙස්ට්ල් යන්න තනි ගුරු අකුරකි. එහෙත් අවශ්‍ය නම් කෙනෙකුට වෙනත් තර්කද ගෙන ආ හැකිය.

      නැවතත් මතක් කරන්නේ ශබ්ද ශාස්ත්‍රය යනු අමු මුසාවකි. එය තාර්කික නැත. තවද, ඉහත අවස්ථාව වැනි ලඝු ගුරු වෙන් කොට හඳුනාගැනීමට නොහැකි තරමේ ගැටලුද ඇත. සඤ්ඤක අක්ෂර ගැනද ගැටලු ඇති කළ හැකියි. සොයා බැලුවොත් පෙනේවි ලඝු හා ගුරු ලෙද කොටස් 2කට පමණක් ශබ්ද බෙදිය නොහැකි බව. ඉතිං එතැනම ශබ්ද ශාස්ත්‍රයේ සාවද්‍ය ස්වරූපය පැහැදිලි වේ.

      Delete
    2. සිංහල බාසාවේ වැඩිය පාවිච්චි නොවුනට ඔය සිද්ධියට සංස්කෘත පාලි භාෂාවන් වල දී තවත් නමක් තියෙනවා. ඒ වගේ ඒව ප්ලුත මාත්‍රා විදිහට හඳුන්වනව. අලුත කියන්න මාත්‍රාවට සාමාන්‍යයෙන් දෙන අගය ලඝු මාත්‍රා තුනක අගය

      Delete
    3. එවට කියන්නෙ ප්ලුත මාත්‍රා කියල

      Delete
  2. සමන් යන නමේ ඝණ නැත්තේ කෙසේද? පැහැදිලි කරන්න.

    ReplyDelete
    Replies
    1. ස මන් මෙහි ලඝු හා එක් ගුරෙක් පමණක් තිබෙන නිසා මෙයට ගණයක් නැත

      Delete
  3. Can u give me a contact number plz

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...

ඉලෙක්ට්‍රොනික්ස් III (Electronics) - 20

Tunnel Diode Esaki නම් ජපන් ජාතිකයා විසින් මෙය සොයා ගත් නිසා මෙම ඩයෝඩය එසාකි ඩයෝඩය ලෙසද හඳුන්වනවා . මෙම සොයා ගැනීමත් සමගම ඔහු විසින් ක්වන්ටම් ටනල් ආචරණයද සොයා ගත් නිසා නොබෙල් ත්‍යාගය පවා ඔහුට ලැබුණා . ක්වන්ටම් ටනල් ආචරණය සෙනර් ඩයෝඩයේදී දක්නට ලැබුණා මතකද ? මෙම ඩයෝඩයත් ක්වන්ටම් ටනල් ආචරණය මත පදනම්ව සාදා ඇති නිසාම ඊට ටනල් ඩයෝඩය ( උමං ඩයෝඩය ) යන නම ලැබී තිබෙනවා . එහි සංඛේතය පහත දැක්වේ .   සාමාන්‍ය ඩයෝඩයක මෙන්ම පී හා එන් කැබැලි දෙකකින් සෑදූ සන්ධියක් ඇත . එහෙත් සාමාන්‍ය ඩයෝඩයකට වඩා ඇති වෙනස නම් , එම අර්ධසන්නායක කොටස් ඉතා අධිකව මාත්‍රණය කර තිබෙනවා ( සාමාන්‍ය ඩයෝඩයකට වඩා ලක්ෂ ගුණයක් පමණ ). එවිට අර්ධසන්නායක කොටස් දෙකෙහිම යහමින් ආරෝපණ වාහක තිබෙනවා ( සාමාන්‍ය සන්නායකයක් වගේම ). එහි ප්‍රතිඵල දෙකක් තිබෙනවා . එකක් නම් , පෙර නැඹුරු කළ විට උමං ආචරණය සිදු වීම . දෙවැන්න නම් , පසු නැඹුරු කළ විට සාමාන්‍ය සන්නායකයක් ලෙස ක්‍රියා කිරීම . මේ දෙක දැන් සලකා බලමු . පෙර නැඹුරු කළ විට , උමං ආචරණය නිසා සුපුරුදු ඩයෝඩ ක්‍රියාකාරිත්වය නොදක්වයි . ඒ කියන්නේ 0 සිට වෝල්ටියතාව වැඩි කර ගෙන යන විට , ධාරාවද ක...