Skip to main content

Dark clouds and silver linings

Today I heard about a grand wedding of an Indian tycoon (Ambani's son) from a friend of mine, and he showed me some videos of it too. He said famous and powerful people from around the world have been invited to it, and the cost of the event was going to be several Billions (of Indian Rupees or USD, I don't know). If you think about it, India is a country with a higher population of substandard living conditions. There are innocent and miserable children who are forced to work for a mere subsistence, being deprived of education, health facilities, and food and water. I remember a movie based on a true story in which Akshey Kumar was playing the leading role where he makes sanitary towels (pads) for poor women who could not afford it. In such a country, a single wedding event spends billions of money. What a crappy world we are living! You could imagine how much wealth this family has amassed. On the other, this "mental disease" of exorbitant spending must be highly we

මෝහනය / mohanaya (Hypnosis) - 12

සභාවක් ඉදිරියට ගොස් කතාවක් කිරීමට බියෙන් පෙළෙන කෙනෙකුගේ එම බිය නැති කර, ඊට ශක්තියක් ඇති කිරීමට යෝජනාවලියක් (ස්ක්‍රිප්ට් එකක්) ලියන ආකාරය පියවරෙන් පියවර බලමු.

ප්‍රථමයෙන්ම මතක තබා ගන්න සාමාන්‍ය තත්වය යටතේදී ගැටළුවක් නැතිව කතා කළ හැකි, එහෙත් කුමන හෝ මානසික බියක් නිසා සභාවක් ඉදිරියට යෑමට හෝ පිරිසක් ඉදිරියේදී කතා කිරීමට ‍නොහැකි කෙනෙකුටයි මෝහනයෙන් සහනයක් ලබා දිය හැක්කේ. ඒ කියන්නේ සාමාන්‍ය තත්වය යටතේ යම් දක්ෂතාවක් නැතිනම්, මෝහනයෙන් පමණක් එය ඔප නැංවිය නොහැකියි.

එවැනි කෙනෙකු සමග මෙම බිය/ගැටළුව ගැන සාකච්ඡා කරන විට, ‍ඔවුන් එසේ බිය වන්නට හේතු කියනු ඇත. විවිධ අය විවිධ හේතු කියනු ඇත. ‍මේ අනුව, එම හේතු හඳුනාගෙන සිටීම වැදගත් වේ. සමහරවිට හේතුවක් පෙන්වීමට අපොහොසත් වීමටද පුළුවන්. “අනේ මං දන්නෙ නැහැ... එහෙත් ගොඩක් අය ඉන්න කොට මට කතා කරගන්න බැහැ” ආදී ලෙස පවසන අයද බහුලය. හේතු සොයාගත නොහැකි වුවද බොහෝ විට, ඔබගේ සාමාන්‍ය බුද්ධිය යොදා ගෙන හේතු අඩමානෙට තීරණය කිරීමටද පුළුවන්.

හේතු දැන ගත්තත් නැතත්, එවැනි අවස්ථාවකට මුහුණ දෙන විට, ඔවුන්ට දැනෙන දේ ගැන සැලකිල්ල දක්වන්න. සමහරෙකුට අසුනින් නැගිට ගන්නට අපහසුවක් දැනේ; සිටින තැන සිට වේදිකාවට යෑමට අපහසුවක් දැනේ; කකුල පැටලෙන ස්වභාවයක් දැනේ; අත පය වෙව්ලයි; කට වියලි ස්වභාවයක් ගනී; වචන ගලා නොඑයි; කියන වචන පවා පැටලිලි සහගත වෙව්ලන ස්වභාවයක් ගනී; සභාව දෙස බැලීමට බයක් දක්වයි; තමන් සාමාන්‍යයෙන් දන්නා දේ පවා අමතක වී යයි; කතාවට පාඩම් කළ කරුණු ක්ෂණිකව මනසින් “වාෂ්ප වී යයි”; තමන් සිටින ඉරියව්ව ගැන හැඟීමක් නැතිව යයි;... මේ ආදී ලෙස තමන් පෙළනෙ ගැටළුවට අදාලව විවිධ අසහනයන් දැනෙන්ට ගන්නවා. මෙන්න මෙම අපහසුතා හොඳින් සටහන් කර ගන්න.

ඔබ ලියන යෝජනාවලිය මේ සියළු සටහන් කර ගත් අපහසුතා මග හැරීමට සමත් විය යුතුයි. ඉහත ගත් උදාහරණ අවස්ථාවෙන්ම පේනවා කුඩා තනි වාඛ්‍යයකින් කිව හැකි ප්‍රශ්නයකට වුවද පැතිකඩ ගණනාවක් පවතිනවා. ඇත්තටම මෙලෙස පැතිකඩ ගණනාවක් සොයාගත් විට, වැඩිපුර යෝජනා සකස් කර ගැනීමටද ඉන් පහසුවක් ලැබෙනවා. එලෙස අපහසුතා දැනගත් පසු ඉහතදී ඉගෙන ගත් රීතින් සමූහය පුළුවන් තරම් අනුගමනය කරමින් අවශ්‍ය යෝජනා ලිවීමට පටන් ගත යුතුයි. පළමුව දළ යෝජනා කිහිපයක් ලියන්න (රීතින් ගැන එතරම් නොතකා). දෙවනුව ඒවා රීතින්ට අනුකූල කරන්න.

දළ යෝජනාවලිය
ඔබ දක්ෂ ලෙස කතා කරනවා. කාටත් තේරෙන විදියට කතා කරන්න ඔබ දන්නවා. කතා කරන විට ඔබට බියක් දැනෙන්නේ නැහැ. ඔබගේ අත පය වෙව්ලන්නේ නැහැ. ඔබට හොඳට වචන ගලා ගෙන එනවා. ඔබ සභාව දිහා ‍කෙළින් බලනවා. සභාවේ සිටින අයගේ ඇස් දෙස ඍජුවම බලනවා. ඔවුන් සිනහ වුණත් ඔවුන් ඔබට ඔරවගෙන සිටියත් ඉන් කිසි බියක් අසහනයක් ඔබට දැනෙන්නේ නැහැ. ඔබට කතාවට ආරාධනාව ලැබෙන තුරු නොඉවසිල්ලෙන් බලාගෙන සිටිනවා. කතාවට ආරාධනා කළහම කඩිසරව ආසාවෙන් වේදිකාව වෙතට උජාරුවෙන් ගමන් කරනවා. ඔබ දන්නවා ඔබ කතාවට හොඳින් සූදානම්වයි සිටින්නේ කියා. ඇත්තටම ඔබ කතාවට පෙර ලැබෙන කාලය තුළ ඔබට සොයාගත හැකි හොඳම කරුණු කතාව සඳහා සොයා ගන්නවා. අන්තර්ජාලය, පොත්, පත්‍ර කියවා තමන්ට අදාල තොරතුරු සෙවීමට වෙහස මහන්සි වෙනවා. මිතුරන්ගෙන් විස්තර අසා දැන ගන්නවා. විශේෂඥයන්ගෙන් උපදෙස් ගන්නවා. ඔබට තොරතුරු සොයාගත හැකි හැම ක්‍රමයකින්ම අවශ්‍ය පමණ තොරතුරු සොයා ගෙන හොඳ කතාවක් ඔබ සකස් කර ගන්නවා. එම කතාව කඩ පාඩම් කරනවා වෙනුවට ඒවා හොඳින් විමසා බලා තර්ක කර තමන්ගේම දැනුමේ කොටසක් බවට පත් කර ගන්නවා. එතකොටම ඔබ සභාවට ඉදිරිපත් කරන්නේ තමන් නොදන්නා දෙයක් නො‍ව, තමන්ට තේරෙන තමන්ට ඒ ගැන හැඟීමක් තිබෙන දෙයක්. ඉතා දක්ෂ ලෙස අනිත් අයට තේරෙන ලෙස ඔබ කතාව ඉදිරිපත් කරනවා. සභාවේ අය ඔබ දෙස බලා සිටිනවා දැක්කහම ඔබට පුදුම සතුටක් ශක්තියක් සිතට දැනෙනවා. ඔබට වෙලාව යනවා තේරෙන්නෙ නැහැ. ඔබට කිසිදු බියක් නැහැ මොකද ඔබ කතාව හොඳින් සකස් කරලා තියෙන්නේ. වරදින්න කිසි හේතුවක් නැහැ කියා ඔබ දන්නවා. ඔබ දක්ෂ කථිකයෙක්.

ඉහත මා ලීවේ එකවර මාගේ සිතට ගලා ආ යෝජනාවලියකි. එය මා පුහුණු වී ලියපු එකක් නොවේ. ඉහත අපහසුතා ලැයිස්තුව මාගේ මනසේ තබා ගෙන ඒ සඳහා ඔහේ සිතට අදහස් ගලා ආ විට ලියූ වාඛ්‍යය වේ. ඔබද එලෙස කරන්න. ඔබේම දළ යෝජනාවලි සකස් කරන්න විවිධ ප්‍රශ්න ගණනාවක් සඳහාම. බැලූ බැල්මටත් එම යෝජනා ප්‍රශ්නයට අදාළ අපහසුතා සියල්ලම පාහේ ආවරණය කර ඇත. එහෙත් ඒවා මා දැක්වූ රීතින්ට අනුකූල නොවිය හැකියි. දැන් ඔබ එය නිසි පරිදි සකස් කළ යුතුයි. එය කිරීමට එම රීතින් සමූහයම සිහියේ තිබිය යුතුය. ඔව්, ඔබට එම රීතින් සියල්ලම ඔලුවේ තිබෙන්නට ඕනෑ මෙය කිරීමට. (ඇත්තටම, දළ යෝජනාවලිය සකස් කරන කොටම බොහෝ රීතින්ට අනුකූල වන ලෙස එකවරම ලිවිය හැකියි. ඉහත උදාහරණයේදී යෝජනා ලියන විට මා වුවමනාවෙන්ම රීතිවලින් බැහැර වූයේ ඔබට මෙම ක්‍රියාවලිය ඉගෙන ගැනීම පහසු කිරීමටයි.)

මෙහි ඇති පළමු ප්‍රශ්නය නම්, යෝජනාවලිය සියලුම අපහසුතා ආවරණය කළද යෝජනාවලිය එතරම් දීර්ඝ නොවේ. ඒ අනුව එකම යෝජනාව කිහිප සැරයක් විවිධ ආකාරයට කීමට සිදු වේ. අනෙක් කාරණය නම්, යෝජනාවල පිළිවෙලක් නැති එහෙන් මෙහන් ලියා තිබෙන ස්වරූපයක් තිබෙනවා. ඒ අනුව ඒවා නිසි ආකාරයකින් පෙල ගස්වන්නට අවශ්‍යයි. තවද, නිශේධාත්මක වාඛ්‍ය ගණනාවක් තිබෙනවා. ඒවා සියල්ල එම යෝජනාවලින් අපේක්ෂිත ප්‍රතිඵලයම ලබා ගත හැකි නිශේධාත්මක වචන නොමැති වෙනත් වාඛ්‍ය රටාවන්ට පෙරලිය යුතුයි. මෙම වාඛ්‍ය “අමු ගතිය” වැඩියි. ඒ කියන්නේ එම යෝජනාවලින් කිසිම හැඟීමක් මෝහනලාභියාට දැනෙන්නේ නැත. එම යෝජනාවලට ජවයක් ලබා දීමට අවශ්‍යයි. මේ ලෙස ඉහත දළ යෝජනාවලිය ගැන ඔබ තවදුරටත් සිතා බලන්න ඔබ උගත් රීතින් සමග. මෙය අභ්‍යාසයක් විදියට දළ යෝජනා කිහිපයක් සමගම කරන්න. ඉබේම ඔබට රීතීන් මතක සිටිනු ඇත. දැන් බලමු දුර්වලතා ඉවත් කළ පසු ලැබෙන නියම ස්ක්‍රිප්ට් එක.

මවිසින් ඉංග්‍රිසි බසින් ලියා ඇමසන් හි ප්‍රකාශයට පත් කළ මෝහනය මුල සිට ක්‍රමානුකූලව උගන්වන අත්පොත පහත ලින්ක් එක මත ක්ලික් කර දැන් නිවසටම ගෙන්වා ගත හැකිය.

https://www.amazon.com/dp/B0851MHRSM

නිවැරදි යෝජනාවලිය

පළමු පෙළ:
ඔබ පිටකරන සෑම හුස්මක් පාසාම ඔබ සිටි මට්ටමට වඩා ගැඹුරට හා සැහැල්ලු බවකට ඔබව පත් වෙනවා.
ඔබ ඉතා දක්ෂ ලෙස... අනිත් අයට තේරෙන විදියට... කතා කරනවා.
පිරිසක් ඉදිරියේ කතා කරන සෑම වාරයක් පාසාම නැවත නැවතත් එලෙස පිරිසක් ඉදිරියේ කතා කිරීමට ඉතා දැඩි ආශාවක් හා උනන්දුවක් ඔබට දැනෙනවා.
සභාවක් ඉදිරියේ කතා කිරීමම ඔබේ ශරීරයත් සිතත් ඉතා සැහැල්ලුවට පත් වෙනවා.
පිරිසක් ඉදිරියේ ඔබට කතා කිරීමට අවස්ථාවක් ලැබෙන සෑම විටම, ඔබ ඉතාම ඕනෑකමින් එය කිරීමට භාර ගන්නවා.
ඔබ දන්නවා සභාවක් ඉදිරියේ යම් කතාවක් කිරීම ලොකු සතුටක් විනෝදයක් ලබා දෙන දෙයක් බව.
ඔබ දක්ෂ ලෙස කතා කරන්න දන්නවා.
අනෙක් අයට තේරෙන විදියට කතා කරන්න ඔබ දන්නවා.
ඔබ ඉදිරියේ සිටින අයගේ මුහුණ දිහා කෙලින් බලා ගෙන ඔබ කතා කරනවා.
අනෙක් අයගේ ඇස් දිහා බලාගෙන කතා කිරීම ඔබට සැහැල්ලුවක් හා අමුතු ශක්තියක් ඇති වෙනවා.
අනෙක් අය ඔබ දෙස බලාගෙන සිටින විට ඔබ බලසම්පන්න බව ඔබට දැනෙනවා.
ඔව් ඔබ බලසම්පන්න දක්ෂ කථිකයෙක්.
දක්ෂ ලෙස කතා කරන්නේ කොහොමදැයි ඔබ ඉතා ඕනෑකමින් නිතරම සොයා බලනවා.
සමාජයේ සිටින වෙනත් දක්ෂ කථිකයන්ව අධ්‍යනය කර ඔවුන්ගෙන් උගත හැකි දේවල් ඔබ සොයා බලනවා.
පොත පත කියවා නිරන්තරයෙන්ම ඔබේ දැනුම ඔබ වැඩි කර ගන්නවා.
පොත පත කියවන්නට දිනෙන් දිනම ඔබේ ආශාව වැඩි වෙනවා.
ඔබ දන්නවා දැනුම ඉතාම අත්‍යවශ්‍ය හා වටිනා දෙයක් බව.
ඔබේ වචන දැනුමද දිනෙන් දින වැඩි කර ගනිමින් ‍දැනට නොදන්නා වචන ආශාවෙන් ඉගෙන ගන්නවා.
ඔබ කතා කරන විට, නිවැරදි හා උචිත වචන ඉතා පහසුවෙන් ඔබට මතක් වෙනවා.
ඔබ කතා කරගෙන යන විට, එම සභාවෙහි ඇති විය හැකි ඕනෑම අවස්ථාවක් ඉතා සාර්ථකවත් ශක්තිසම්පන්න ලෙසත් දක්ෂ ලෙසත් නොබියව හැසිරවීමට ඔබට හැකියාව තිබෙනවා.
අවස්ථාවට ගැලපෙන විදියට පුද්ගලයාට ගැලපෙන විදියට දක්ෂ ලෙස කතා කිරීමට හැකියාවක් ඔබට දැන් තිබෙනවා. එම හැකියාව දිනෙන් දින දියුණු වෙනවා.
තමන් දක්ෂ කථිකයෙක් බව ඔබට නිතරම සිහිපත් වෙනවා.
අනෙක් අයට පුදුම වෙන විදියට ඉතා ලස්සනට ගම්භීර විදියට ඔබ කතා කරනවා.
තමන්ට කතා කිරීමට තිබෙන මාතෘකාව ගැන පොත්, පත්තර, සඟරා ආදිය කියවා කතාවට අවශ්‍ය කරුණු සොයා බැලීමට ඔබ ඉතා උනන්දු‍ වෙනවා.
දක්ෂ කථිකයකු සතු ගුණාංග සොයා බලා ඒවා ඔබේ ජීවිතයට ඉතා ඕනෑකමින් එකතු කර ගන්නට දැන් සිට ඔබ ආශාවෙන් සිටිනවා.
සභාවක් ඉදිරියේ කතා කිරීමම ඔබට ලොකු සතුටක් සැහැල්ලුවක් ඇති කරනවා.
පිරිසක් ඉදිරියේ කතාවක් කිරීමට අවස්ථාවක් ලැබෙන තුරු ඔබ ඉතා ආශාවෙන් මගබලා සිටිනවා.
ඔබ ඉතා ආසයි පිරිසක් ඉදිරියේ කතා කරන්න.
සභාවක් ඉදිරියේ කතා කරන විට, ඔබේ කට හඩ බලවත් බව ඔබට දැනෙනවා. ඔව් ඔබ සභාව ඉදිරියේ කියන පළමු වචනයේ සිටම ඔබේ හඬ සභාව පුරාම බලසම්පන්න උද්‍යෝගිමත් විදියට පවතිනවා.
සභාවේ සිටින ප්‍රේක්ෂකාගාරයේ සිටින සෑම කෙනෙකුගේම ඇස් දිහා බලා කතා කිරීම ඔබට සැහැල්ලුවක් හා ශක්තිසම්බන්න බවක් ඇති කරනවා.
ඔබේ කතාව ඇසීමට පිරිස වැඩිවන තරමට ඔබ කැමැතියි. ඔව්, මිනිසුන් ගොඩාක් දකින විට, ඔබගේ සිතට පුදුම සහනයක් දැනෙනවා.
ඔබට සිතෙන්නේ එම පිරිසට අවශ්‍යම කතාව තමයි ඔබ දැන් සිදු කරන්නේ කියා.
ඔවුන් ඇවිත් තිබෙන්නේ... රැස්ව සිටින්නේ ඔබගේ කතාව අසන්නයි. ඔබ ඔවුන්ගේ ජීවිත වෙනස් කරන ඔවුන්ගේ ජීවිතයට සතුටක් වටිනාකමක් එකතු කරන විදියට ඉතා දක්ෂ ලෙස ඔබේ කතාව ඉදිරිපත් කරන්න ‍දන්නවා.
දක්ෂ චතුර කථිකයකු ලෙස ප්‍රසිද්ධ වෙනවාට ඔබ ඉතා ආසයි.
අනෙක් අය ඔබ දක්ෂ කථිකයකු කියා පවසනවාට ඔබ හරිම ආසයි.
තමන් දක්ෂ ලෙස කතා කරන්න දන්නා අයකු බව ඒ අයට ඔප්පු කර පෙන්වන්න ඔබ නිතරම උත්සහ කරනවා.
ඔබ දක්ෂ චතුර කථිකයෙක්.
ඔබ අනෙක් අයටත් ආදර්ශයට ගත හැකි තරමේ හොඳ දක්ෂ කථිකයකු ලෙස දිනෙන් දිනම වර්ධනය වෙනවා.
ඔබට ලැබෙන සතුටුදායක මෙන්ම දුක්මුසු ප්‍රතිචාරවලින් ඔබ පන්නරයක් අත්දැකීම් හා පාඩම් ඉගෙන ගන්නවා.
ඔබ කරන සෑම කතාවකටම පසු ඒ ගැන ඔබට විමසා බලා එහි තිබෙන ගුණ දොස් සොයා ඉන් වටිනා පාඩම් ඉගෙන ගන්නවා.
දිනෙන් දින එලෙස පාඩම් ඉගෙන ගනිමින්, චතුර කථිකයකු බවට පත්වීමට නොනවතින ආශාවක් උනන්දුවක් ඔබට දැන් තිබෙනවා.
සාර්ථක ප්‍රතිඵල මෙන්ම අසාර්ථක අවස්ථා පවා ජීවිතය සාර්ථක කරන්නට උදව් වෙන බව ඔබ ඉතා හොඳින් විශ්වාස කරනවා.
ඔබ ඉතා දක්ෂ කථිකයකු සතු සියලු ගුණාංග ඉතා ඉක්මනින් හා ඕනකමින් ඉගෙන ගන්නවා.

දෙවැනි පෙළ
දැන් සිතෙන් මවා ගන්න හෝ සිතින් සිතන්න ඔබ ඉන්නේ යම් සභාවක කියා. ඔව්, ඔබ දැන් සිටින්නේ එම සභාවේ කතාවක් කරන්න. ඔබ ඉතා උනන්දුවෙන් හා ආශාවෙන් බලාගෙන සිටිනවා කොහි මොහෝතේද තමන්ගේ කතාව කිරීමට ආරාධනා කරන්නේ කියා. ඔබ කැමැතිම ඇඳුම ඇඳන්, එම ස්ථානයට ගැලපෙන ලෙස ලස්සනට ඔබ පැමිණ සිටිනවා. ඔබට කතා කිරීමට ලබා දී තිබෙන මාතෘකාව ගැන බොහෝ තොරතුරු සොයාගෙන ඒවා සැලසුම් කර සභාව ඉදිරියේ සිදු කරන්නට නියමිත කතාව හොඳින් පුහුණු වී තමයි ඔබ පැමිණ සිටින්නේ. ඔබ ඔබේ ජීවිතයේ සිදු කරන හොඳම ලස්සනම කතාව මෙයයි. ඒ ගැන ඔබට හොඳටම විශ්වාසයි. ඒවගේමයි, ඔබට හොඳටම විශ්වාසයි සභාවේ සිටින අයත් දැනගනීවි ඒගොල්ලන්ගේ ජීවිත කාලයේ අසන හොඳම කතාව තමයි ඔබ තව සුලු මොහොතකින් කරන්නට යන්නේ කියලා. ඔබ දන්නවා ඔබ ඉතා දක්ෂ කථිකයෙක්. සභාවේ සිටින අයත් දන්නවා ඔබ හොඳම සුපිරිම ගණයේ කථිකයෙකු කියලා. ඒකයි මෙච්චර සෙනඟක් පොර කකා ශාලාව පිරෙන්නම අතුරු සිදුරු නැතිව මිනිසුන් රැස් වෙලා සිටින්නේ. විශාල දැවැන්ත ශාලාවක්. හම්... ඔබ දැන් මනසින් දකින්න එම ශාලාව. වටපිට බලන්න. ඒක ඉතා ලස්සනට සරසපු අති දැවැන්ත ශාලාවක්. බලන්න එහි ලස්සන. හොඳට ආලෝකය තිබෙනවා. සියලු දෙනාටම ඔබ කියන සෑම වචනයක් පාසාම හොඳින් ඇසීමට අනර්ඝතම ශබ්ද විකාශන යන්ත්‍ර එහි තිබෙනවා. ඔබව හොඳින් දර්ශනය වෙන්න හැකි වන පරිදි සාදා ඇති විශාල වේදිකාවක් එහි කෙළවර තිබෙනවා. ඔබට කතා කරන්නට තිබෙන්නේ එම වේදිකාව මත සිටයි. ඔබට දැන් ඉතා දැඩි සතුටක් හා සැහැල්ලුවක් දැනෙනවා. ඔව්, ඔබ තමයි අද දවසේ ඔවුන්ගේ තරුව. ඔවුන් සියලු දෙනාම ඔබ දෙස ඕනෑකමින් බලනවා. ඔබව බලන්නත් ඔවුන් පොරකනවා. ඔබට පුදුම ආඩම්බරයක් සැහැල්ලුවක් දැනෙන්නේ. ඔබ ඔවුන් දෙස බලන විට, ඔවුන් ඔබට සිනහසෙනවා. ඔබත් ඔවුන්ට සිනහවෙන් ආචාර කරනවා. ඔබ ඉතා ආසාවෙන් බලා සිටින්නේ මේ පිරිසට කතාව කිරීමටයි. සිතින් බලන්න. එය කොච්චර ලස්සන උද්‍යෝගිමත් සභාවක්ද කියා. ඔන්න දැන් ඔබේ නම කියනවා. ඔබට ආරාධනා කරනවා කතාව සිදු කිරීමට. ඔබේ සතුට කියා ගන්න බැරි තරම් විශාල බව ඔබට දැනෙනවා. ඔබ වීරයකු සේ සභාව මැදින් වේදිකාව දෙසට ගමන් කරනවා. ඔව්... ඔබ ගමන් කරන විට මිනිසුන් නොනවත්වාම අත් පොලොසන් ගසනවා. ඔබව ගෞරවයෙන් පිළිගත්තේ එහෙමයි. ඔබට විශාල පිරිස ඉදිරියේ කතා කරන්නට ලැබීම ගැන ඔබ සතුටට පත් වෙනවා. ඔබ දැන් වේදිකාව මතට පැමිණ අති විශාල ජනකාය දැක්කහම කියා ගන්න බැරි සතුටක් හා සැහැල්ලුවක් හා ශක්තියක් ඔබට දැනෙනවා. සිතින් බලන්න ඒ සභාව දිහා. ඔවුන්ගේ ඇස් දිහා බලන්න. ඔවුන් ඔබ දෙස ආදරයෙන් ගෞරවයෙන් බලා සිටිනවා. ඔබට කොච්චර ආඩම්බරයක් සතුටක් සැහැල්ලුවක් දැනෙනවාද කියා බලන්න. ඔබ දැන් ඔබේ ජීවිතයේ සිදු කරන රසවත්ම වටිනාම කතාව කරනවා. මිනිසුන් දැඩි ඕනකමින් ඒගොල්ලන්ගේ ජීවිත කාලය තුළ අසන ලස්සනම කතාව අසාගෙන සිටිනවා. ඔබේ හඬ මුළු සභාව පුරාම දෝංකාර දෙමින් මුලු සභාවම වශී කර ගනිමින් තේජාන්විතව ගමන් කරනවා. ඔබේ ඇස් ඔවුන්ගේ ඇස් මුණ ගැසෙනවා. ඔබට දැනෙන්නේ සැහැල්ලුවක්. ඔබේ සිතත් ශරීරයත් දෙකම ඉතාම සැහැල්ලුවෙන් හා සනීපයෙන් තිබෙන බව ඔබට හොඳටම දැනෙනවා. ඔබ සොයාගත් කරුණු ඉතා හොඳින් මතක් වෙනවා. සුදුසු වචන ගලාගෙන එනවා. දිය ඇල්ලකින් පහළට සිත වශිවන විදියට ලස්සන දිය පහර ගලාගෙන වැටෙන්නාක් සේ, ඔබේ මුවින් ලස්සනට වචන ගලා ගෙන එනවා. ඔබ ඉතා දක්ෂ කථිකයෙක්. ඔබ කතාව දැන් අවසන් කරන්නට සූදානම්. එහෙත් ප්‍රෙක්ෂකයන්ට ඕනෑ ඔබ තව දුරටත් කතා කරමින් ඉන්න. එතරම්ම ඔබේ කතාව අනර්ඝයි. එහෙත් කතාවට නියමිත කාලය අවසන් වුණාම ඔබට කතාව නතර කරන්න වෙනවානේ. ඔබ ඉතා අලංකාර විදියටත් දක්ෂ විදියටත් කතාව අවසන් කරනවා. සිතින් බලන්න... මිනිසුන් ඔබට ඔල්වරසන් හඬින් සුභ පතනවා. ඔබ ඉතා ලස්සනට කතාව සිදු කළ බවට ඔවුන්ගේ හැසිරීමෙන් පෙනෙනවා. ඔබත් එය දන්නවා. ඔබ දක්ෂ කථිකයෙක් බව නැවත ඔබටම තහවුරු වෙනවා. ඔබ එවැනිම තවත් කථාවක් ලැබෙන තෙක් නොඉවසිල්ලෙන් සිටින්නේ. ඔබ විශාල පිරිසක් ඉදිරියේ කතා කරන්න ආශාවෙන් උනන්දුවෙන් සිටින්නේ.


දැන් නැවත පළමු පෙළ සම්පූර්ණයෙන් කියවන්න. මින්පසු (පසුවට ඉගැන්වෙන විදියට) මෝහනලාභියාට සාමාන්‍ය කාටත් පොදුවේ කියන යෝජනා කිහිපය කියන්න. ඉන්පසු ඔහුව මෝහනයෙන් ඉවත් කරන්න. මෝහනයෙන් ඉවත් කරන විටත්, ඉවත් කළ විගස එතැන් සිට ඉදිරියට තත්පර 30ක පමණ කාලය තුළත් ඔබට ‍යම් යම් වටිනා යෝජනා කිහිපයක් කිව හැකිය (මේ ගැනත් පසුවට ඉගැන්වේ).

ඉහත උදාහරණයේදී පළමු පෙළ හා දෙවැනි පෙළ ලෙස කොටස් දෙකකින් ස්ක්‍රිප්ට් එක සකස් කර ඇත. එය කියවා බලන විට, පළමු පෙළෙහි ඇත්තේ ඍජු යෝජනා සමූහයක් පමණි. දෙවැනි පෙළෙහි ඇත්තේ නිර්මාණාත්මක සිද්ධියකි. එය අත්‍යවශ්‍යම නැත. එහෙත් එලෙස නිර්මාණාත්මක කතාවක්ද ස්ක්‍රිප්ට් තුළ ඇතුළත් කළ හැකි බව පෙන්වීමටයි මා උත්සහ කළේ. යටි සිතට සත්‍ය සිද්ධියක හා සිතින් මවා ගන්නා සිද්ධියක වෙනසක් නැත. එය යටි සිතේ තවත් වැදගත් ස්වභාවයකි. මෙහිදී නිර්මාණාත්මක සිද්ධිය කියන විට, එය ආරම්භයේදී හා වරින් වර ඔහුට කියන්න “සිතින් මවා ගන්න...” කියා.

තවද, පළමු පෙළ මා එක් එක් වැදගත් කාරණාව වෙන වෙනම (‍පොයින්ට්ස් විදියට) එකක් යට එකක් ලෙසයි ලියා ඇත්තේ. ඊට හේතුව කොලය බලාගෙන කියවීමට පහසුවක් ඉන් ඇති වීමයි. එම කාරණා එක් ඡේදයක් ලෙස එක ගොන්නට ලියුවා නම්, අතරමග කියවගෙන යන විට තමන් කියවමින් සිටි තැන සොයා ගැනීමට යම් අපහසුවක් දැනේ. ඔබ ‍මෝහනලාභියාගේ මුහුණ හා ඉරියව් දෙසද බැලිය යුතුයි ස්ක්‍රිප්ට් කියවගෙන යන අතරේ. එවිට, ඔහු දෙස බලා නැවත කොලය දෙස බලන විට, කියවමින් සිටින තැන එකවර සොයා ගැනීමට එකක් යට එකක් යන ආකාරයට ලිවීමෙන් පහසුවක් ඇති වේ. අවශ්‍ය නම්, එක් එක් කාරණය ඉලක්කම් හෝ වෙනත් සලකුණු යොදාද ලිවිය හැකියි.

පුළුවන් තරම්, මෝහනලාභියාට තමන් කොලයක් බලාගෙනයි මේ කියවන්නේ කියා නොදැනෙන්නට එය කළ යුතුය. ඇත්තටම ස්ක්‍රිප්ට් ලිඛිතව තිබීම අවශ්‍යයි. ඔබ නිදහසේ සිටින විට ඒවා කියවා මූලික කරුණු මතකේ තබා ගන්නට උත්සහ කරන්න. මෝහනලාභියාට සුදුසු ස්ක්‍රිප්ට් එක ඔහුව මෝහනය කිරීමට පෙර සාදා (හෝ සොයාගෙන) එය කිහිප සැරයක් කියවන්න. ප්‍රැක්ටිස් කරන්න. මෝහනවේදියාගේ අතේ හෝ ඔහු අසල ‍මෝහනය ගැන පොත් හා කොල තිබීම ගැටලුවක් නොවේ. ඇත්තටම එසේ තිබීම හොඳය. එවිට, මෝහනලාභියාට මෝහනවේදියා හොඳ උගත් කෙනෙකු යැයි හැඟීමක් ඇති වේ. එය මෝහනය සිදු වීමටද පහසුවකි. (මේ නිසානේ බොහෝ උගත් අය පවා ජනමාධ්‍යවල පිළිසඳරවල යෙදෙන විට, බොහෝ පොත් පත් පසුබිමින් පෙනෙන විදියට එය සිදු කරන්නේ.) ඒ පොත්පත් හා ලියකියවිලි අතර ඔබ ඔහු වෙනුවෙන් කියවන්නට යන ස්ක්‍රිප්ට් එකද තබා ගන්න. එය ඔහුට තේරෙන්නේ නැහැනේ. ඉතිං, ඔහු මෝහනයට පත් වූවාට පසු කොහොමත් ඔහුගේ ඇස් වසන නිසා, හෙමින් සීරුවේ එම කොලය බලාගෙන එය කළ හැකියි. හැබැයි එය කියවන විට පොතක් කියවන විදියට කියවන්න එපා. සාමාන්‍යයෙන් මතකෙන් කතා කරන විදියට හඬ සුදුසු පරිදි උස් පහත් කරමින් ජවය අවශ්‍ය තැනට ජවයද, කොඳුරා කිව යුතු යැයි හැ‍ඟෙන තැන්වල එලෙසද ආදී ලෙස සුදුසු ලෙස එය කියවන්න. කිසිම කොලයක් නැතිව බොහෝ කාලයක පෙර සූදානමක් නැතිවද සිතින්ම ස්ක්‍රිප්ට් සාදා කීමටද හැකියාව කාලයත් සමග ඔබට ලැබෙනු ඇත. එසේ වුවත්, ලිඛිත ස්ක්‍රිප්ට් ඔබ විසින් ලියා තබන්න.


Hypnosis (mohanaya) ...