Skip to main content

Dark clouds and silver linings

Today I heard about a grand wedding of an Indian tycoon (Ambani's son) from a friend of mine, and he showed me some videos of it too. He said famous and powerful people from around the world have been invited to it, and the cost of the event was going to be several Billions (of Indian Rupees or USD, I don't know). If you think about it, India is a country with a higher population of substandard living conditions. There are innocent and miserable children who are forced to work for a mere subsistence, being deprived of education, health facilities, and food and water. I remember a movie based on a true story in which Akshey Kumar was playing the leading role where he makes sanitary towels (pads) for poor women who could not afford it. In such a country, a single wedding event spends billions of money. What a crappy world we are living! You could imagine how much wealth this family has amassed. On the other, this "mental disease" of exorbitant spending must be highly we

මෝහනය / mohanaya (Hypnosis) - 13

කෙනෙකුව මෝහනය කර ගැටළුවට සරිලන යෝජනාවලියක් කීමෙන් පසුව බොහෝ විට, ඔහුට පොදුවේ දිය හැකි යෝජනාද දිය හැකි නම් එය තවත් වටිනවා. ජීවත් වන අප කවුරුත් කැමැතියි අප කරන දෙය කුමක් වුවත් එය කම්මැලිකමක් නැතිව සතුටින් උද්‍යෝගයෙන් කරන්න පුළුවන් නම්. ජීවිතයේ සාමාන්‍ය ගැටලු ප්‍රශ්න හමුවේ නොසැලී සිටීමට අපට අවශ්‍යයි. හොඳ නින්දක් ලැබීමට අවශ්‍යයි. මේ ආදී ලෙස එදිනෙදා ජීවිතයට ධනාත්මකව බලපාන හොඳ පුරුදු වැඩි දියුණු කරමින්, ඍණාත්මකව පවතින නරක පුරුදු අවම කරමින් සාර්ථක ජීවිතයක් සඳහා පොදුවේ කාටත් දිය හැකි යෝජනා තිබෙනවා.

මෙවැනි පොදු යෝජනාවල තවත් වැදගත් කමක් තිබෙනවා. හැමවිටම ඔබ කාවහරි මෝහනයට පත් කරන්නේ ඔහුගේ ගැටළුවකට සහනයක් ලබා දීමටම නොවේ. විනෝදෙට මෝහනය වන්නට කැමති අය ඉන්නවා. ඔබ මෝහනය කරන්න දන්න අයකු බව ආරංචි වුණාම තමන්වත් මෝහනය කරන්න කියා බොහෝ හිතවතුන් ඉල්ලා සිටිනවා. මෙන්න මෙවැනි අවස්ථාවලත්, ඔවුන්ව මෝහනයට පත් කර නිකංම ඉන් ඉවත් කරනවාට වඩා මෙවැනි පොදු කාටත් පිළිගත හැකි කවුරුත් කැමැති යෝජනා කිහිපයක් ඔවුන්ට දිය හැකියි. එවිට, ඔවුන් මෝහනයට පත්වීමෙන් යම් ප්‍රයෝජනයක්ද ලැබෙනවා.

එවැනි පොදු යෝජනාවලියක් මා පහත දක්වනවා. මෙම යෝජනා ඇත්තටම කටපාඩම් කිරීම අවශ්‍ය නැහැ. කිහිප සැරයක් මෙය කී විට ඉබේම මතක සිටිනවා. ඒ විතරක් නොවේ, ‍‍ඒ ඒ කෙනා අනුව පොඩි පොඩි වෙනස්කම් සහිතවද මෙම යෝජනා දිය හැකියි. උදාහරණයක් ලෙස, පාඩම් කරන ළමයෙකු නම්, ඔහුට හොඳින් මතක සිටින්න, පාඩම් කරන විට විනෝදයක් සැහැල්ලුවක් දැනෙන්න ආදී යෝජනා කළ හැකියි. කසාද බැඳපු කෙනෙකු නම්, එම ජීවිතයේ දෙදෙනා එකට තීරණ ගැනීම, එකිනෙකා ගැන සොයා බැලීම සතුට දනවන දෙයක් ආදී ලෙස යෝජනා කළ හැකියි. මෙම යෝජනා සඳහාද යෝජනා සකස් කිරීමේදි අනුගමනය කළ යුතු රීති පිළිපදින්න.

“ජීවිතය සැහැල්ලුවෙන් හා සතුටින් ගත කිරීමට ඔබ මෙතැන් සිට උනන්දු වෙනවා. ඔබට දැනෙන සියළුම සතුටුදායක හා අමාරු අත්දැකීම් ඔබ සැහැල්ලුවෙන් භාර ගන්නවා. අමාරු කාලයන් ජීවිතය ගැන වටිනා පාඩම් කියා දෙන වෙස්වලාගත් ආශිර්වාදයක් බව ඔබ මෙතැන් සිට සිතනවා. ඔබේ ජීවිතය ගැන තීරණ ඔබම ගන්නවා. ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය දැනුම ඔබ දිනපතා ලබා ගන්නවා. ඔබේ මුදල් නාස්ති කරන, ඔබේ සෞඛ්‍ය දුර්වල කරන දේවලින් ඔබ ඈත් වෙනවා. වෙනත් අය එවැනි නාස්තිකාර දේවලට ඔබව පොළඹවන්න උත්සහ කරන විට, ඔබ තව තවත් ඒවයෙන් ඈත් වෙනවා. ඔබට දිනපතා එකතු කර ගන්නා වටිනා දැනුම එදිනෙදා ජීවිතය සාර්ථක කර ගන්නට යොදා ගන්නවා. ඔබ දන්නවා ජීවිතයේ යම් ප්‍රශ්නයක්... අමාරු කාලයක්... පැමිණි විට ඒ ගැන දුක් වෙවී ඉන්න එක මහා කාලකන්නි අප්‍රියජනක එපාම කරපු දෙයක් බව. ඒ වෙනුවට ජීවිතයේ ප්‍රශ්න හා අමාරු කාලයන් පැමිණි විට, ඒවා ගැන හොඳින් සොයා බලා ඒවා සාර්ථකව විසදීමට ඔබ අධිෂ්ඨානයක් ආශාවක් ඇති කර ගන්නවා. මට කළ නොහැක්කක් නැහැ කියා ඔබ නිතර සිතනවා. ජීවිතයේ සතුට වැඩි වන්නේ වරින් වර එවැනි ප්‍රශ්න හා අමාරු කාලයන්ට සාර්ථකව මුහුණ දුන් විටයි. රත් වූ විට යකඩ වුවත් තලා අවශ්‍ය හැඩයන්ට සකස් කරන්න පුළුවන් වාගේම අමාරු කාලයන්හි ඔබගේ ජීවිතය සාර්ථකත්වය දිශාවට සකස් කර ගන්න පුළුවන්. ඔව් ඔබට එය කරන්න පුළුවන්. ලෝකයේ සාර්ථක මිනිසුන් එහෙම කරලා තිබෙනවා. ඔබටත් එසේ කරන්න පුළුවන්. ඔබේ සාර්ථකත්වය තිබෙන්නේ ඔබ ගන්නා හොඳ තීරණ තුලයි. කුමන තත්වයක් යටතේ වුවත් ජීවිතය ඉතාම සුන්දරයි කියා ඔබ නිතරම සිහි කරනවා. ඔව්... මෙතැන් සිට ඔබේ ජීවිතය සාර්ථකව සියලු අභියෝගයන්ට මුහුණ දී ජය ගන්න ඔබට පුලුවන්.”

ඉහත ආකාරයට සරල යෝජනා ගණනාවක් දිය හැකියි. එලෙස කියාගෙන යන අතරේ එකම යෝජනාව සැරින් සැරේට කිහිප වතාවක්ම වුවත් කියන්නට පුලුවන්. සමහර විට, ඔබට අලුත් යෝජනාවක් සාදා ගැනීමට හෝ මතකෙට එන්නේ නැති වෙන්න පුළුවන්. එවැනි විටකද උපක්‍රමයක් ලෙස (අලුත් යෝජනාවක් සිතට එන තුරු) පරණ යෝජනාවක් කිව හැකියි. ඔබේ හඬ ලස්සනට උස් පහත් කරමින් ‍ඔහුට දැනෙන විදියට කිව හැකි නම් බොහෝ සාර්ථකව එය කළ හැකියි.

කෙනෙකුව මෝහනයෙන් ඉවත් කර ඇස් ඇරපු ගමන් තත්පර 30ක් විනාඩියක් පමණ යන තෙක් ඔහු තවමත් සිටින්නේ තවත් ආකාරයක මෝහන තත්වයකයි. එයද ඔබට ප්‍රයෝජනයට ගත හැකියි. ඔහු ඇස් ඇරපු ගමන්, කියන්න ඔබේ ඇස් දෙක දිහා බලාගෙන ඔබ කියන දේ හොඳින් අහගෙන ඉන්න කියලා. ඔබත් ඔහුගේ ඇස් දෙක දෙස එක එල්ලේ බලා සිටින්න. හැකි පමණ ඇසිපිල්ලන් නොගසා සිටින්නට උත්සහ කරන්න. එසේ ඔහු ඔබ දෙස බලාගෙන සිටින විට සුදුසු යෝජනා තුන හතරක් පමණ ගම්භීරව ඔහුට කියන්න. බොහෝ විට, මෙම යෝජනා ඔබ විනාඩි ගණනක් තුළ කියපු යෝජනාවල සාරාංශයක් හා එම යෝජනා මෙතැන් සිට ඔහු තුළ ක්‍රියාත්මක වන බව හඟවන යෝජනා වේ. උදාහරණයක් ලෙස එවැනි යෝජනාවලියක් මා පහත දක්වනවා.

“හරි... දැන් ඔබ මගේ ඇස් දෙක දිහා විතරක් බලාගෙන මං කියන දේ හොඳින් අහගන්න. ඔබ මෙතැන් සිට අලුත් ජවයක් අලුත් ජීවිතයක් ලැබුණා. ඔබ ඉතා ශක්තිසම්පන්නව සාර්ථකව ජීවිතයට මුහුණ දෙනවා. ඒක තදින් විශ්වාස කරන්න. ඔබට කරන්න බැරි දෙයක් නැහැ. ඔබ ඔබටම දැන් සිතින් කියාගන්න “මට කරන්න බැරි දෙයක් නැහැ” කියලා. දැන් ඒක කරන්න [තත්පර දෙකක් පමණ දෙන්න එය ඔහුට සිතින් කීමට]. ඔබ නිදා සිටින විටත්, ‍තව අයත් එක්ක කතා කරන කොටත්, කන කොට, නාන කොට මේ හැම අවස්ථාවකදීම ඔබට නොදැනුවත්වම ඔබව ශක්තිමත් කරන ඔබව සාර්ථක කරන ශක්තියක් දැන් ඔබ තුළ ක්‍රියාත්මක වෙනවා. එය විශ්වාස කරන්න. ඊට ඔබ සහය වන්න. ඔබට පුළුවන්. ඔබ බොහොම හොඳින් මෝහනය සාර්ථකව නිමා කළා. නියමයි... [ඔහුට සුහදශීලිව සිනහ සී අවශ්‍ය නම් අතට අත දෙන්න. කොහොමද... හොඳයි නේද කියල අසන්න. ඔහු අනිවාර්යෙන්ම ඔව් හොඳයි කියා වචනයෙන් හරි ‍ඔලුව වනා හෝ ප්‍රතිචාර දක්වනවාමයි. ඔබටත් ලබා ගත යුත්තේ එම ධනාත්මක ප්‍රතිචාරයයි. එය ඔහුගේ යටි සිතට දෙන සංඥාවක් තමන් සාර්ථකව මෝහනය ලබා ගත්තා; දැන් තමන්ගේ ගැටළුවට විසදුම ලැබුණා කියා. ඇත්තටම මෙවැනි ට්‍රික්ස් කරන්නට ඕනෑ ඔබට සාර්ථකව මෝහන සැසියක් නිමා කිරීමට නම්. ඒ විතරක් නෙමේ, විශේෂයෙන් මෙම යෝජනා කියන විට අනිවාර්යෙන්ම නාට්‍යානුසාරයෙන් ඔහුගේ “බොක්කටම” දැනෙන ලෙස උස් හඬකින් පවසන්න.]

ඔබට දැන් පුළුවන් කෙනෙකුව මෝහනයට පත් කර, අවශ්‍ය සුදුසු යෝජනා දී (හෝ නොදී) මෝහනයෙන් ඉවත් කරන්නට. මෝහනයේදී ඉතාම කලාතුරකින් හෝ සිදුවිය හැකි අපසර්ජන අවස්ථාවන්ද කළමනාකරණය කරන සැටිත් ඔබ දැන් දන්නවා. ඇත්තටම මෝහනයේදී සිදුවිය හැකි යම් බරපතල තත්වය නම් අපසර්ජනයයි. එනිසා, එයට මුහුණ දීමට ඔබ දැන සිටිය යුතුයි.

ඔබ දැනට දන්නේ එල්මන් ඉන්ඩක්ෂන් එක පමණි. තවත් ඉන්ඩක්ෂන් ක්‍රම දෙක තුනක් හෝ දැන සිටීම වැදගත්. ඒ වගේමයි, ඔබ දැනටත් හොඳ ඩීප්නින් ‍ක්‍රම ගණනාවක් හා මෝහනයෙන් ඉවත් කරන ක්‍රම සියල්ලම දන්නවා.

තවද, මෝහනය ගැන මිථ්‍යා සමග ගැට නොගැසුණු (“විද්‍යාත්මක”) හොඳ දැනුමක් ඔබට තිබෙනවා. ඔබ අන්තර්ජාලය හෝ වෙනත් ජනමාධ්‍ය ඔස්සේ මෝහනය ගැන ඇති දේවල් අධ්‍යනය කළොත් පෙනේවි බොහෝ අය මෝහනය සමග ජ්‍යොතිෂය, “චක්‍ර ශක්ති (කුණ්ඩලීනි)”, රෙයිකි ආදී බොහෝ විද්‍යාවෙන් තොර (මා ඒවා පෞද්ගලිකවම ප්‍රතික්ෂේප කරනවා) දේවල් සමග භාවිතා කරනවා. ඉන්ම පෙනෙනවා මේ අය තුළ විද්‍යාත්මක පසුබිමක් නොමැති “සාස්තරකාරයන්” “දේවාල කපුවන්” මෙන් සිතන හා ක්‍රියාත්මක වන තත්වයක් පවතින බව. එබැවින් එවැනි අය ගැන සැක ඇති කර ගන්න. විද්‍යාත්මක චින්තනයක් ඔස්සේ පිහිටා ක්‍රියා කරන අයට ළං වන්න. මෙවැනි විද්‍යාවෙන් තොර (මිථ්‍යා) ක්ෂේත්‍රයන් සමග මෝහනය සම්බන්ද කරගෙන කටයුතු කිරීමෙන් මෝහනයද මිථ්‍යා දෙයක් බවට ඉබේම හංවඩු ගැහෙනවා. එමනිසා එවැනි “ඔල්මාදකාරයන්ගෙන්” වටිනා මෝහනය බේරා ගැනීමට තිබෙන එකම විදිය නම් ඔවුන්ගෙන් සේවාවන් ලබා නොගැනීමත් ඔවුන්ගේ ව්‍යාජත්වය පුළුවන් තරම් ඔබේ මිතුරුන්‍ට හා අවශ්‍ය තැන්වලදී පෙන්වා දීමත්ය.

මෝහනය හා කිතුනු දහම අතරද යම් ගැටුමක් ප්‍රශ්නයක් ඇත. සමහර ක්‍රිස්තියානි නිකායන් මෝහනයට විරුද්ධයි. ඊට හේතුවද මෝහනය විද්‍යාත්මක දෙයක් ලෙස නොසලකා අද්භූත (සාතන්ට අයත්) කටයුත්තක් ලෙස සැලකීමයි. බයිබලයේ සඳහන් වෙන “හූනියන් කරන්නන් [...] ඔබ අතර නොසිටිය යුතුය” වැනි වාඛ්‍ය ඔවුන් මේ සඳහා උපුටා දක්වනවා. ඒ කියන්නේ මෝහනවේදින් හූනියම්කරන්නන් (necromancer) ලෙස හා මෝහනවේදය හදිහූනියම් ලෙසයි ඔවුන් දකින්නේ. ඇත්තටම මෙය ඉතාම කනගාටුදායක තත්වයක්. උදාහරණයක් ලෙස, මා දන්නා ඇමරිකාවේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවකට ඇගේ ප්‍රශ්න ගණනාවකටම ඉතා සාර්ථක මෝහන ප්‍රතිකාර පවතින නිසා, ලෝකයේ දැනට සිටින හොඳම මෝහනවේදියා යැයි මා විශ්වාස කරන ජෙරල්ඩ් කේන් මහතා වෙතට මා ඇයට යන්නට උපදෙස් දුන් අතර, ඔහුගෙන් “ඇපොයින්ට්මන්ට්” එකක් දාගත්තටත් පසුව ඈ සම්බන්ධව සිටින පල්ලියෙන් ඈට එය නොකරන ලෙස තරයේ අවවාද කර තිබීමෙන් ඈ විශාල දෙගෙඩියාවෙන් පසු වෙනවා.

ඇත්තෙන්ම මෝහනයේදී ශුද්ධාත්මයක් හෝ භූතාත්මයක් හෝ “සාතන්” හෝ සමග ඍජුව හෝ වක්‍රව කටයුතු කරන දෙයක් නොවේ. මා මෙතෙක් කියූ කිසිම මෝහන යෝජනාවක එවැනි ආගමික වචනයක් පවා හමු නොවේ. එය කිසියම් සරල උපදෙස් ටිකකට සවන් දීම පමණි. මෝහනවේදියාට මෝහනලාභියා අකමැති දේවල්ද කළ නොහැකියි. මිනිසුන් තවදුරටත් තවකෙකුගේ අදහස් කොන්දේසි විරහිතව පිළිගෙන වහලුන් ලෙස සිටීම කනගාටුදායකය.

මෝහනය හා බුදු දහම අතරද ගැටළුවක් පෙනේ. ඊට හේතුව දහම තුළ තිබෙන ප්‍රකාශන නොව, අපේ ඔලමොට්ටලයන් හා ඔල්මාදකාරයන්ගේ විවරණයි. මෝහනවේදය (හා මනෝවිද්‍යාව) තුළ ඉගැන්වෙන මනස/සිත හා බුදු දහම තුළ ඉගැන්වෙන සිත පටලවා ගැනීම ඉන් ප්‍රමුඛතම අවස්ථාවයි. පැහැදිලිවම බුදු දහම තුළ සිත ඉගැන්වෙන පරිදි නොවේ විද්‍යාව තුළ සිත ගැන පැහැදිලි කෙරෙන්නේ. එනිසා ඒ දෙක වෙන වෙනම දෙකක් ලෙස අධ්‍යනය කළ යුතු තත්වයකයි පවතින්නේ. විද්‍යාව තුළ මනස යනු කුමක්දැයි පොත ආරම්භයේදී කෙටියෙන් නමුත් පැහැදිලිව විස්තර කර ඇත.

බුදු දහම තුළ සිත යනු භෞතික ශරීරයෙන් පරිභාහිර මොලයට වඩා හදවත ආශ්‍රය කරගෙන පවතින යම් ශක්තියක් වැනි තත්වයක්. සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින ශක්තිය යන සංකල්පයද බුදු දහමේ මෙම සිත සඳහා සැබැවින්ම යොදා ගැනීමේ අපහසුතාවක් තිබේ. “අරමුණු දැනගැනීමම සිත” යැයි බුදු දහම තුළ ඉගැන්වේ. විද්‍යාවේදී මෙන්ම සිතද යම් ක්‍රියාකාරි ස්වභාවයකි. එය ද්‍රව්‍යාත්මක නොවේ. කර්මය, පව් පිං, පුනර්භවය, නිවන ආදී සියලුම වැදගත් සංකල්ප කේන්ද්‍රව පවතින්නේ සිත වටාය. බුදු දහම අනුව සිත ගැන යම් හෝ ප්‍රමාණයක විස්තරයක් කිරීමට වාඛ්‍ය කිහිපයකින් කිරීම ඉතා අපහසුය. බුදු දහම වෛද්‍ය විද්‍යාවක් නොවේ. ඊට සුවිශේෂි ස්ථානයක් පවතී. ඉතිං මෙවැනි එදිනෙදා ලෝකය ගැන සාපේක්ෂ වශයෙන් සලකා බලන විද්‍යා සංකල්ප බුදු දහම හෝ එහි සංකල්ප ඔස්සේ විග්‍රහ කරන්නට යෑමම මෝඩ කමකි. අපට බුදු දහමින් කෝච්චි හදන්නට කියා දෙන්නේ නැත; ඒ වගේමයි විද්‍යාවෙන් නිවන් යන හැටි උගන්වන්නේද නැත.

ඊට අමතරව, මෝහන තත්වය හෙවත් මෝහන නිද්‍රාව භාවනාවක් ලෙස උපකල්පනය කර, සමහරෙක් බුදු දහම තුළ භාවනාව (විශේෂයෙන් සමථ භාවනාව) ගැන ඉගැන්වෙන කාරණා මෝහනය පැහැදිලි කිරීමට යොදා ගන්නවා. එයද කිසිම තේරුමක් නැති දෙයකි. භාවනාව (meditation) යනු බුදු දහම තුළත් ඉන් පිටතින් ඇති දර්ශන මතවාද තුළත් පවතින දෙයකි. නූතන සරල (බටහිර) දැක්ම අනුව නම්, භාවනාවෙන් සිදු වන්නේ සිතේ සන්සුන්බව ඇති කර ගැනීමයි. සිත එලෙස දීර්ඝ කාලීනව සන්සුන්ව තබා ගැනීමෙන් කෝටිසෝල් මට්ටම අඩු වීම ආදී අතුරු ප්‍රයෝජනද පැවතිය හැකියි. ඒ සඳහා විවිධ වර්ගයේ භාවනා වර්ග විවිධ ලස්සන නම් යොදා ගෙන, විවිධ ඉරියව් වලින් කළ හැකි පරිදි නිර්මාණය කර ගෙන තිබෙනවා. ඊට අමතරව, භාවනාවෙන් ධ්‍යාන ආදී විවිධ අද්භූත ඥාන හා හැකියාවන් ඇති කර ගත හැකි යැයි බුදු දහම හා එවැනි ධර්මයන්වල ඉගැන්වේ. භාවනා මගින් එවැනි අද්භූත හැකියාවන් ලබා ගත් මිනිසෙකු ඔබ මෙතෙක් ජීවිතයේ දැක තිබේද? රසවත් කතා නම් එමට ඇත. එහෙත් ඒවා බොහෝ විට කතාම පමණි. (මට මතකයි වසර ගණනාවකට පෙර මෙවැනි සුවිශේෂි බලයක් සහිත හිමි නමක් ගැන ජාතික පුවත්පතක පළ වූ ලිපි පෙලක්. අප එවැනි කතා පහසුවෙන් විශ්වාස නොකරන නිසා, එම ලිපි ලිවූ පුවත්පත් කතුවරයාට කතා කළ විට, ඔහු අපට බැණ වැදෙමින් කියා සිටියේ ලියන විට පාඨකයන් බැඳ ගැනීමට එලෙස ලිවීමට සිදුවන බවත්, ඔහුට පත්තරවලට ලියන ආකාරය ඉගැන්වීමට කොළු ගැටයන්ගෙන් උපදෙසේ නුවමනා බවයි. අප එකල අධ්‍යාපනය ලබමින් සිටින ලාබාළ වියේ සිටි නිසා එසේ ඔහු කියන්නට ඇති.)

මේ හැරෙන්නට බුදු දහම හා මෝහනය අතර කිසිදු පටලැවිල්ලක් ඇති විය යුතු නැත. බුදු දහම හා වෛද්‍ය විද්‍යාව අතර කිසිදු පටලැවිල්ලක් නැතිව පවතින්නාක් සේ බුදු දහම හා මෝහනය අතරද අනවශ්‍ය පෑහීමක් අවශ්‍ය නැත. මෝහනයෙන් ඔබට නිවන් යා නොහැකියි. මෝහනයෙන් ඔබට අභිඥා හෝ වෙනත් ඥාණ ලබා ගත නොහැකියි.

එහෙත්, සමහර මෝහනවේදින් කල්පනා කරනවා භාවනාවත් එක්තරා විදියක මෝහනයක් කියා. ඊට හේතුව දෙකෙන්ම යම් දුරකට සිත සන්සුන් වන නිසා විය හැකියි. එහෙත් මෝහනය කියන්නේ සිත සැහැල්ලු කර ගැනීමම නොවේ; සන්සුන්බව එහි අතුරු ප්‍රතිපලයක් පමණි. මෝහනයේදී ඔබේ යම් යම් චර්යා වෙනස් කිරීමට උපදෙස් ‍දෙනු ලැබේ. එහෙත් භාවනාවකදී එවැන්නක් සිදු නොවේ. ඒ අනුව භාවනාවත් එක්තරා විදියක මෝහනයක් නම්, ඉතා පැහැදිලිවම එම “භාවනා” ස්වරූපයෙන් පවතින මෝහනය කිසි වැදගම්මකට නැති දෙයක් ලෙස සැලකීමට සිදු වෙනවා. මින් උත්සහ කරන්නේ භාවනාව වැඩක් නැති දෙයක් ලෙස කීමට නොව, භාවනාව හා මෝහනය දෙකක් ලෙස සලකන ලෙස පමණි. එවිට මෝහනය හා භාවනාව ගැන වෙන වෙනම අධ්‍යනය කිරීම හා යොදා ගැනීම කළ හැකියි.

මෝහනය හා “මොලේ තරංග” (brainwaves) අතරද සම්බන්ධයක් ගොඩ නැංවීමට සමහරෙක් උත්සහ කරනවා. ආගමික මතවාද හා භාවනාව ‍වැනි සංකල්පවලට වඩා බ්‍රේන්වේව්ස් බොහෝ විට තවමත් සිංහල පාඨක සමාජයට නුහුරු වන්නට පුළුවන්. එමනිසා එය මා කෙටියෙන් විස්තර කරන්නම්. මොලය ක්‍රියාත්මක වන විට, මොලයේ විවිධ රසායනික ක්‍රියාවලියන් සිදු වේ. එම සමස්ථ ක්‍රියාවලිය අදටත් විද්‍යාවට සම්පූර්ණයෙන් පැහැදිලි කළ නොහැකියි. එහෙත් මෙම සමස්ථ ක්‍රියාවලිය, මොලයේ විවිධ ප්‍රදේශවලට ඉලෙක්ට්‍රෝඩ (electrodes) ලෙස හැඳින්වෙන සංවේදක කූරු හෝ තැටි ගණනාවක් සම්බන්ධ කර ඇති EEG (ElectroEncephaloGraph) හෝ එවැනි උපකරණයක් සවි කිරීමෙන් මොලයෙන් පිටවන සංඥාවන් ලෙස සටහන් කර ගනී. එය හරියට හදවත් ක්‍රියාකාරිත්වය සොයා බැලීමට පපුවට සවි කරන ECG නම් උපකරණයෙන්, එම තිරය මත හදවතේ ක්‍රියාකාරිත්වය යම් තරංග ස්වරූපයේ සංඥාවක් බවට පත් කර පෙන්වන්නාක් බදුය.

මෙලෙස ඊඊජී උපකරණයෙන් මොලයෙන් ලබා ගන්නා එම විද්‍යුත් සංඥාවල සංඛ්‍යාතය (frequency) අනුව ඒවා තීටා, ඩෙල්ටා, ඇල්ෆා, බීටා ආදි ලෙස වර්ග කර තියෙනවා. උදාහරණයක් ලෙස ඇල්ෆා ලෙස සැලකෙන්නේ සංඛ්‍යාතය හර්ට්ස් 8 සිට 12 දක්වා පරාසයයි. මෙලෙස අනෙක් ඒවාටද ඊටම සුවිශේෂි වූ සංඛ්‍යාත පරාසයන් ලබා දී තිබෙනවා. ඊඊජී උපකරණයේ මේ වෙලාවේ ප්‍රධාන වශයෙන් සටහන් වෙන්නේ හර්ට්ස් 10ක තරංගයක් නම් ඉන් කියන්නේ ඔබේ මොලය මේ වෙලාවේ ඇල්ෆා අවස්ථාවේ පවතින බවයි. ඒ විතරක් නොවේ, එක් එක් මොලේ අවස්ථාවලට විවිධ විශේෂතා/ලක්ෂණද ආරෝපණය කරගෙන තිබෙනවා. උදාහරණයක් ලෙස, මොලය ඇල්ෆා අවස්ථාවේ තිබේ නම්, ඔබට හොඳ රිලැක්සේෂන් එකක් මනසේ පවතිනවා යැයි උපකල්පනය කෙරෙනවා. තවද, ඉගෙන ගන්නා දේවල් ඇල්ෆා අවස්ථාවේදී හොඳින් මතක සිටිනවා යැයි පවසනවා. එලෙසම අනෙක් මොලේ අවස්ථා සඳහාද ලක්ෂණ හඳුන්වා දී තිබෙනවා.

මෙම මොලේ තරංග දැනට මොලේ තිබෙන්නේ අහවල් තත්වයේ කියා පෙන්වා දීමට පමණක් නොවේ කරන්නේ, එම තරංග (එනම් මොලයේ තත්වය) විවිධ ක්‍රමවලින් වෙනස් කිරීමට හැකියාවක් පවතින බවත් පැවසෙනවා. එයට brainwave entrainment ලෙස පැවසෙනවා. නම ලොකු වුණාට, බැලූ බැල්මට විශාල කටයුත්තක් වගේ පෙනුනාට එම ක්‍රම ඉතාම සරලයි. පැයක් දෙකක් වැනි සුළු කාලයකින් එම ක්‍රම ඉගෙන ගත හැකියි. තත්පර ගණනක් තුළ ඒවා කළ හැකි පරිදි තැනූ පරිගණක වැඩසටහන් පවා අද තිබෙනවා. එමගින් ඔබට පාඩම් කිරීමට අවශ්‍යයි නම්, මෙවැනි ක්‍රමයකින් මොලය ඇල්ෆා අවස්ථාවට පත් කර පාඩම් කළ විට ඒවා හොඳින් මතක සිටිනවා යැයි පවසනවා. (මා සහ මාගේ මිතුරන් මේවා වසර ගණනාවක් සිදු කර අත්හදා බලා ඇත.) මා ඉතා වගකීමෙන් කියනවා මේ කියූ ඒවා සිදු නොවන බව. ඒවා හුදෙක්ම විද්‍යාත්මක වචන හා මෙවලම් උපයෝගී කරගෙන කරනු ලබන ‍මිථ්‍යා වේ. නූතන විද්‍යා දැනුම අනුව ඇල්ෆා, තීටා ආදී තත්වයන් ඒ කියන තරම් සරල නැති අතර, ඒවාට නියමිත ලක්ෂණ ඇත්තටම එලෙස තීරණය කිරීමටද පහසු නැත. මා ඒ ගැන තවත් විස්තර කරන්නට යන්නේ නැත්තේ එය මෝහන විෂයට පරිභාහිර බැවින්. මේ කුඩා විස්තරය ප්‍රමාණවත් මෝහනය හා බ්‍රේන්වේව් ගැන කතා කිරීමට.

සමහරවිට මෝහනයටත් වඩා අන්තර්ජාලය පුරා මෙම බ්‍රේන්වේව් විෂය ප්‍රචලිතව පවතින්නට පුළුවන්. විශාල මුදල් අය කරමින් එම සේවාවන් ලබා දෙන ආයතන පවා තිබෙනවා (මාත් එවැනි කුඩා සේවාවක් පවත්වාගෙන ගිය කාලයක් තිබුණා). අද ‍සමහරෙක් ඉදිරිපත්ව තිබෙනවා ඔවුන් මේ විෂයන් දෙකම මුසු කොට මිනිසුන් රැවටීමට. මේ දෙක එකක් නොවේ; දෙකකි. මින් සත්‍ය වන්නේ මෝහනය පමණි; අනෙක විද්‍යාත්මක යැයි පෙන්වමින් කරනු ලබන මිථ්‍යාවකි.

Hypnosis (mohanaya) ...

මවිසින් ඉංග්‍රිසි බසින් ලියා ඇමසන් හි ප්‍රකාශයට පත් කළ මෝහනය මුල සිට ක්‍රමානුකූලව උගන්වන අත්පොත පහත ලින්ක් එක මත ක්ලික් කර දැන් නිවසටම ගෙන්වා ගත හැකිය.

https://www.amazon.com/dp/B0851MHRSM