තවත් අපූරු ඡන්දයක් නිම විය. එය කරුණු රැසක් නිසා අපූර්ව වේ. සමහරු කියන පරිදි රදලයන්ගේ දේශපාලනයේ අවසානයක් (තාවකාලිකව හෝ) ඉන් සිදු විය. වැඩ කරන ජනයාගේ, නිර්ධන පංතියේ නායකයෙකු හා පක්ෂයක් බලයට පත් වීමද සුවිශේෂී වේ. රටේ මෙතෙක් සිදු වූ සකල විධ අපරාධ, දූෂන, භීෂන සොයා දඩුවම් කරනවා යැයි සමස්ථ රටවැසියා විශ්වාස කරන පාලනයක් ඇති විය. තවද, බහුතර කැමැත්ත නැති (එනම් 43%ක කැමැත්ත ඇති) ජනපතිවරයකු පත් විය. ජවිපෙ නායකයෙක් "තෙරුවන් සරණයි" කියා පැවසීමත් පුදුමය. මේ සියල්ල ලංකා ඉතිහාසයේ පලමු වරට සිදු වූ අපූරු දේශපාලන සංසිද්ධි වේ. මාද විවිධ හේතුන් මත අනුරට විරුද්ධව මෙවර තර්ක විතර්ක, සංවාද විවාද, හා "මඩ" යහමින් ගැසූ තත්වයක් මත වුවද, ඔහු දැන් රටේ ජනපති බැවින් ඔහුට පලමුව සුබ පතමි. ඔහුට විරුද්ධව වැඩ කලත්, මා (කිසිදා) කිසිදු පක්ෂයකට හෝ පුද්ගලයකුට කඩේ ගියේද නැති අතර අඩුම ගණනේ මාගේ ඡන්දය ප්‍රකාශ කිරීමටවත් ඡන්ද පොලට ගියෙ නැත (ජීවිතයේ පලමු වරට ඡන්ද වර්ජනයක). උපතේ සිටම වාමාංශික දේශපාලනය සක්‍රියව යෙදුනු පවුලක හැදී වැඩී, විප්ලවවාදි අදහස්වලින් මෙතෙක් කල් දක්වා සිටි මා පලමු වරට සාම්ප්‍රදායික (කන්සර්වටිව්...
පෘථිවි චුම්භකගෝලය
සූර්යාට
මෙන්ම පෘථිවියටත් තමන්ගේම
පෘථිවි චුම්භක ක්ෂේත්‍රයක්
(geomagnetic field) තිබෙනවා.
එය පොලොව
කේන්ද්‍ර කරගෙන ගෝලීයව විහිදී
පවතිනවා. පොලොවේ
තැනින් තැනට චුම්භක ප්‍රබලතාව
වෙනස් වන අතර, එය
ගවුස් 0.25 සිට
0.65 දක්වා
අගය පරාසයක පවතිනවා.
දළ
වශයෙන් භූගෝලීය උතුර තිබෙන
පැත්තේ මේ වන විට චුම්භක
දකුණ තිබෙනවා (අංශක
11ක පමණ
කුඩා වෙනසක් එම ධ්‍රැව දෙක
අතර දැනට තිබෙනවා). එහෙත්
කාලයත් සමඟ මෙම චුම්භක ධ්‍රැව
ක්‍රමයෙන් විතැන් වෙනවා (ගමන්
කරනවා). අවුරුදු
දහස් ගණනක් යන විට එය ක්‍රමයෙන්
කරකැවී භූගෝලීය උතුර ඇති
පැත්තේම චුම්භක උතුර පිහිටාවි
(එනම්
අංශක 180ක
වෙනසක්). එය
දිගින් දිගටම කරකැවෙමින්
සිටීවි. තවද
සාමාන්‍ය දණ්ඩ චුම්භකයක නම්
උතුරු හා දකුණු ධ්‍රැව පිහිටන්නේ
එකිනෙකාට ප්‍රතිවිරුද්ධවයි.
එහෙත් පෘථිවි
චුම්භකයේ ධ්‍රැව දෙක එක කෙලින්
ප්‍රතිවිරුද්ධව නැත (එක
ඉරක දෙකෙළවර එම ධ්‍රැව පිහිටන්නේ
නැත). එම
ධ්‍රැව දෙක එකිනෙකට ස්වාධීනව
විචලනය වේ. එහෙත්
පහසුව තකා රූපවල පෙන්වන්නේ
පෘථිවි චුම්භක දෙක ඒකරේඛීයව
පිහිටන ලෙසයි.
එහෙත්
දැන් කාලයක සිට විවිධ අවිද්‍යාත්මක
අදහස් දරන “කුමන්ත්‍රණ
න්‍යායවාදින්” (conspiracy
theorist) පිරිසක්
එකවර පෘථිවි චුම්භක ධ්‍රැව
මාරු වන බවත් ඉන් ලෝකය විනාශ
වන බවත් ප්‍රචාරය කරනවා.
ඒ ගැන චිත්‍රපට
පවා සාදා තිබෙනවා.
අනිවාර්යෙන්ම
එවැනි ධ්‍රැව මාරු වීමක්
(geomagnetic reversal) සිදු
වීම අපට බලපාන අතර, එය
සත්වයන් පොලොවෙන් අතුගා දැමීමට
තරම් හේතුවක් නොවේ. තවද,
එම සංසිද්ධිය
ඉතා සෙමින් සිදු වන්නක් මිස
අර පිරිස් කියනා ලෙස එක්
ක්ෂණයෙන් සිදු වන්නක්ද නොවේ.
පොලොව
මතුපිට සමීපයෙහි චුම්භක
ප්‍රබලතාව වෙනස් වන හැටි
නිරන්තරයෙන්ම සොයා බලනවා.
එම අගය කාලයත්
සමඟ විවිධ හේතු නිසා විචලනය
වේ. චුම්භක
ප්‍රබලතාව සමාන ප්‍රදේශ රේඛා
(intensity contour) වශයෙන්
ඇන්ද විට ලැබෙන පහත රූපයේ
ආකාරයේ සිතියමක් isodynamic
chart ලෙස
හැඳින්වේ. චුම්භක
ක්ෂේත්‍ර ඝනත්වය/ප්‍රබලතාව
මනින SI ඒකකය
ටෙස්ලා වුවත්, ගවුස්
හා ගැමා යන ඒකකද භාවිතා කෙරෙනවා
(1 Tesla = 10,000 Gauss හා
10-9 Tesla = 1
nanoTesla = 1 gamma).
ඉහත
සිතියම අනුව ලතින් ඇමරිකානු
කලාපයේ යම් තැනකට ඉහලින්ද,
කැනඩාවේ
උතුරු ප්‍රදේශයකට ඉහලන්ද,
රුසියාවේ
ප්‍රදේශයක් ඉහලින්ද,
ඔස්ට්‍රේලියාවට
යටින් ඇති ප්‍රදේශයක් ඉහලින්ද
අඩුම චුම්භක ක්ෂේත්‍ර ප්‍රබලතා
පවතිනවා. මෙම
සිතියම අනුව ලංකාව ආශ්‍රිතව
චුම්භක ප්‍රබලතාව නැනෝටෙස්ලා
41,000ක්
පමණ වේ (මෙම
අගය විශාල අගයක් නොව;
ළමුන් සෙල්ලම්
කරන්නට ගන්නා සාමාන්‍ය කාන්දම්
කැබැල්ලක ප්‍රබලතාව පවා මීට
වඩා බොහෝ ප්‍රබලයි මොකද එවැනි
කාන්දම් කැබැල්ලක ප්‍රබලතාව
10,000,000nT තරම්
වේ).
පොලොවේ
චුම්භක ක්ෂේත්‍ර ප්‍රබලතාව
වගේම එහි අනෙක් වැදගත් සාධකය
තමයි පොලොවේ සලකා බලනු ලබන
තැනදී චුම්භක ක්ෂේත්‍රයේ
දිශාව කුමක්ද යන්නයි.
මෙම කෝණය
inclination හෙවත්
magnetic dip යනුවෙන්
හැඳින්වේ. මෙම
දිශාව චුම්භක ක්ෂේත්‍රයේ
උතුරු දිශාවට සාපේක්ෂව කෝණය
අංශක -90 (මෙවිට
දකුණු ධ්‍රැවය හැඟවේ)
සිට +90
(මෙවිට උතුරු
ධ්‍රැවය හැඟවේ) දක්වා
අගයක් විය හැකිය. පොලොවට
ආසන්නව පවතින චුම්භක ක්ෂේත්‍රයේ
ඉන්ක්ලිනේෂන් එක පොලොවේ විවිධ
ස්ථානවල පිහිටන විදිය ඉහත
ආකාරයට සිතියම් මත ලකුණු කළ
විට පහත ආකාරයේ isoclinic
chart එකක්
ලබා ගත හැකිය.
ඉහත
අයිසොක්ලිනික් සිතියම අනුව
ලංකාවට ඉහලින් ඉන්ක්ලිනේෂන්
එක මේ වන විට අංශක 0 වේ
(කොලපාට
රේඛාව).
ඇත්තෙන්ම
කාලයත් සමඟ ඉහත දෙවර්ගයේම
අගයන් වෙනස් වේ. පෘථිවිය
සූර්ය සුලංවලට ලක් නොවන්නේ
නම්, එහි
චුම්භක ක්ෂේත්‍රය තිබිය යුත්තේ
ඉහත රූපයේ ආකාරයට සමාකාරවයි.
එහෙත් සූර්යාගේ
සිට අඛණ්ඩව සූර්ය සුළං සූර්යා
වටේට විහිදී යයි. පොලොවද
ඊට හසු වේ. එනිසා
ප්‍රායෝගිකව පෘථිවි චුම්භක
ක්ෂේත්‍රය පිහිටන්නේ පහත
රූපයේ ආකාරයටයි. මීට
පෘථිවියේ චුම්භකගෝලය (Earth’s
magnetosphere) යැයි
කියනවා.
සූර්ය
සුළඟේ පීඩනය නිසා ඊට කෙලින්ම
මුහුන දෙන පැත්තේ චුම්භක
ක්ෂේත්‍රය ඇතුලට එබේ.
සූර්ය සුළං
හමන පැත්තට විරුද්ධ පැත්තේ
පෘථිවි චුම්භක ක්ෂේත්‍රය
තවදුරටත් ඈතට ඇදේ.
මැග්නෙටෝස්ෆියර්
හි ඈතට විහිදී ගිය magnetotail
යන කොටස
පෘථිවි අරය මෙන් 1000 ගුණයක්
ඈතට විහිදේ. එහෙත්
කෙලින්ම සූර්යාට මුහුන දෙන
පැත්ත පෘථිවි අරය මෙන් 10
ගුණයක් ඈතට
විහිදේ.
මැග්නෙටොස්ෆියර්
එක ඇත්තටම විට පිරී තිබෙන්නේ
අයනවලිනි. ඉන්
වැඩිම අයන ප්‍රමාණයට වගකියන්නේ
සූර්ය සුලං වේ මොකද සූර්ය සුලං
මේ හරහා ගමන් කරනවා. මීට
අමතරව ඈත තරුවල සිට එන අන්තරික්ෂ
කිරණ (cosmic rays; විශ්වයේ
ඇති අනෙක් තරුවලින් විහිදී
විශ්වය පුරා සැරිසරන අංශු)
යම් ප්‍රමාණයක්ද
පවතිනවා. එහෙත්
පොලොවට ආසන්න වන විට,
වායුගෝල
අයනගෝලයේ අයනද මෙහි ඇත.
යම්
පමණකට ප්‍රායෝගිකව ගත්
විට අයනගෝලයේ ඉහල කොටසෙත් හා
ඉන් පිටත අභ්‍යවකාශයෙත් ඇත්තටම
අංශු ඇත්තේ සිතාගත නොහැකි
තරම් අඩුවෙනි. එනිසා
ප්‍රායෝගිකව මැග්නෙටොස්ෆියර්
එක රික්තකයක් ලෙසත් සැලකිය
හැකියි.
පෘථිවිය
සතු චුම්භක ක්ෂේත්‍රයට පින්සිදු
වන්නටයි පොලොව මත ජීවින්
සිටින්නෙත්. එසේ
නොවුණා නම්, සූර්ය
සුලං විසින් වායුගෝලයේ අංශු
(විශේෂයෙන්
ඕසෝන් අණු) ඉවත්
කර දමා තිබේවි (බ්‍රෂ්
එකකින් අතුල්ලන විට කුනු යන්නා
සේ). පෘථිවි
චුම්භක ක්ෂේත්‍රය පලිහක්
මෙන් එය ආරක්ෂා කරනවා.
එමඟින්
පාරජම්බූල කිරණ හා එක්ස් කිරණ
හා ආරෝපිත අංශු පොලොව මතට
වැටීම නතර කර තිබෙනවා.
දැනට සොයාගෙන
තිබෙන විදියට කාලයකට ඉහතදී
අගහරු ග්‍රහයා මතද හොඳ වායුගෝලයක්
තිබුණත්, එම
ග්‍රහයාට පෘථිවියේ මෙන් හොඳ
චුම්භක ක්ෂේත්‍රයක් නොතිබීම
හේතුවෙන් සූර්ය සුළඟට එම
වායුගෝලය ඛාදනය වී තිබේ.
පහත රූපයෙන්
එය සිදුවන ආකාරය දිස් වේ.
සූර්යාගේ
සිට සූර්ය සුලං ඔස්සේ එන්නේ
ආරෝපිත අංශු නිසා, චුම්භක
ක්ෂේත්‍රයේ චුම්භක බල රේඛා
ඔස්සේ ඒවා දෙයාකාරයකින් ගමන්
කරනවා. සමහර
අංශු පෘථිවිගෝලයට ඇතුලුවීමට
අවසථාව නැතිව පෘථිවිගෝලයේ
පසුපසින් නැවත අභ්‍යවකාශයට
යනවා. තවත්
අංශු පෘථිවි ගෝලයේ උතුරු හා
දකුණු ධ්‍රැව ඔස්සේ හෙමින්
“බස්සනවා” වායුගෝලය තුලට.
මෙලෙස සූර්ය
සුළං අංශු පෘථිවි චුම්භක
ක්ෂේත්‍රයට හසු වී චුම්භක
උතුර හා චුම්භක දකුණට “ගානට
බැස්සවීම” magnetic
reconnection ලෙස
හැඳින්වෙනවා.
ඉහත
ආකාරයට උතුරු හා දකුණු ධ්‍රැව
ආසන්න ප්‍රදේශවලට ඉහල අයනගෝලය
තුලට සූර්යාගේ සිට එන ආරෝපිත
අංශු ඇතුලු වෙනවා. එවිට,
එම අංශු
වායුගෝලීය අංශු සමඟ අන්තර්ක්‍රියා
කර වර්ණවත් ආලෝක අහසේ ඇති
කරනවා. ඊට
Aurora යැයි
කියනවා. මෙය
දෛනිකව සියුම්ව සිදු වෙනවා.
උතුරු ධ්‍රැව
ප්‍රදේශවල සිදුවන විට ඊට
Aurora borealis හෙවත්
Nothern lights කියාද,
දකුණු ධ්‍රැව
ප්‍රදේශවල සිදු වන විට Aurora
australis හෙවත්
Southern lights කියාද
හැඳින්වෙනවා.
සූර්යා
සිට ආරෝපිත අංශු අධික ප්‍රමාණයක්
ඇතුලු වීම අවශ්‍ය වෙනවා අවුරෝරා
ඇති වීමට. ඒ
කියන්නේ සූර්යා මත ක්‍රියාකාරිත්වය
අධික නම්, එම
කාලයේ වැඩිපුර අවුරෝරා ප්‍රබලවත්
වැඩිපුරත් දිස් වේවි.
http://www.aurora-service.eu/
වැනි වෙබ්අඩවියකට
ගොස් අවුරෝරා පිළිබඳ තත්කාලීන
අනාවැකි බැලිය හැකිය.
එහෙත් අවුරෝරා
බැලීමට හැක්කේ ධ්‍රැව ආසන්න
රටවලට පමණි (කැනඩාව,
ඇලස්කාව,
නෝර්වේ,
ෆින්ලන්ත
වැනි).
මේවායේ
වර්ණය තීරණය වන්නේ සූර්ය අංශු
ඇවිත් හැප්පෙන පෘථිවි වායුගෝල
අණු වර්ගය අනුවයි. සැතපුම්
60ක්
පමණ ඉහල අහසේ ඇති ඔක්සිජන්
සමඟ හැප්පෙන විට කොල පැහැයක්ද,
සැතපුම්
200ක්
පමණ ඉහල අහසේ ඇති ඔක්සිජන්
සමඟ හැප්පෙන විට රතු පැහැයක්ද,
නයිට්‍රජන්,
හීලියම්,
හයිඩ්‍රජන්
අණු සමඟ හැප්පෙන විට නිල් හා
දම් පැහැයක්ද ඇති වේ.
පෙර
දැක්වූ පෘථිවි චුම්භකගෝලයේ
Van Allen radiation belts නම්
කොටසක්ද තිබෙනවා. ඒවා
පෘථිවිය මැදිකොට ගෙන උලුඳු
වඩයක් ආකාරයට පොලොවේ සිට
කිලෝමීටර් 1000ත්
60,000ත්
අතර පිහිටයි (පොලොව
වටේට රවුම් මුදු සේ). මෙම
පටි ආකාරයෙන් තිබෙන ස්ථරයේ
තිබෙන්නේ අයනයි. සූර්ය
සුළං ඔස්සේ එන හා කොස්මික්
කිරණවලින් එන අයනවලින් (වැඩිපුරම
ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝන)
කොටසක් මෙම
පටිවල රඳවා ගන්නවා. පොලොව
වටා ස්ථිරවම මෙවැනි විකිරණ
පටි දෙකක් තිබෙන බව පැවසූ
විද්‍යාඥයාගේ නමින්ම එම පටි
නම් කර ඇත. ස්ථිර
පටි දෙකට අමතරව තාවකාලිකවත්
එවැනි පටි ඇති වී නැති වී යා
හැකි බව සොයා ගෙන ඇත.
ඉනර්
රේඩියේෂන් පටිය කිලෝමීටර්
1000ත්
6000ත්
අතර අවකාශයක් පුරා ඉහත රූපයේ
රතුපාටින් පෙන්වා තිබෙන ආකාරයට
පටියක් සේ පවතිනවා. එහෙත්
සූර්යාගේ ක්‍රියාකාරිත්වය
වැඩි වන කාලයට මෙම පටිය පොලොවට
බොහෝ ආසන්නයටම විහිදෙනවා.
මීට අමතරව
පොලොවේ සමහර තැනකට මෙම පටියේ
යට සීමාව බොහෝම පහතට (එනම්
පොලොව මතුපිටට සමීපව)
පැමිණේ.
මෙම පටියේ
බහුතරය ප්‍රොටෝන වන අතර
ඉලෙක්ට්‍රෝනද ඇත.
අවුටර්
රේඩියේෂන් පටිය කිලෝමීටර්
13,000 සිට
60,000 දක්වා
අවකාශයක් පුරා ඉහත රූපයේ
කොලපාටින් පෙන්වා තිබෙන ආකාරයට
පවතිනවා. වැඩිපුරම
ඇත්තේ ඉලෙක්ට්‍රෝන වේ.
සූර්ය
ක්‍රියාකාරිත්වයට සංවේදි
වැඩිය.
මෙම
රේඩියේෂන් පටි දෙක කරදරයකි
චන්ද්‍රිකා හා අභ්‍යවකාශ
ගමන්වලදී. චන්ද්‍රිකා
මෙම කලාපවල ගමන් කරන නිසා,
එහි ඇති
විකිරණයෙන් පරිපථ කොටස්
පිලිස්සී යා හැකිය. තවද,
මිනිසුන්
අභ්‍යවකාශයානා තුල මෙම ප්‍රදේශ
හරහා ගමන් කරන විට වැඩි
විකිරණශීලීතාවකට මුහුන දීමටත්
සිදු වේ. තවද,
මෙම පටි දෙක
අතර ඇති safe zone ලෙස
හැඳින්වෙන අවකාශය තරමක්
ආරක්ෂිතය (විකිරණය
අවමය).
සූර්ය ක්‍රියාකාරිත්වය හා අභ්‍යවකාශ කාලගුණය
සූර්යා
හා පෘථිවිය ගැන විද්‍යාත්මක
කරුණු කිහිපයක් ගැන අප ඉහතදී
විමසා බැලුවා. දැන්
බලමු සූර්යාගේ තිබෙන විවිධ
සූර්ය ක්‍රියාකාරිත්වයන්
(solar activity) හා
ඒවා කෙසේ රේඩියෝ තරංග සම්ප්‍රේෂණයන්ට
බලපානවාද කියා.
සාමාන්‍ය
සූර්ය ක්‍රියාකාරිත්වය අනුව
සිදු වන්නේ, සූර්යාගේ
සිට විද්‍යුත්චුම්භක කිරණත්,
සූර්ය සුළං
මඟින් ආරෝපිත අංශුත් පෘථිවිය
කරා පැමිණීමයි. එහිදී
එක්ස් කිරණ හා ඉහල සංඛ්‍යාත
පාරජම්බූල කිරණ වායුගෝලය
විසින් ෆිල්ටර් කර දෘෂ්‍යාලෝකය,
තාප ශක්තිය
රැගෙන එන අධෝරක්ත තරංග,
හා යම් රේඩියෝ
තරංග පමණක් පොලොව මතුපිටට
පතිත වීමට සලස්වනවා.
තවද,
පෘථිවි
චුම්භකගෝලය විසින් සූර්ය
සුළං ඔස්සේ එන හා කොස්මික්
කිරණ වශයෙන් ඈත විශ්වයේ සිට
එන ආරෝපිත අංශු පොලොව මත පතිත
වීම වලක්වනවා. මෙලෙසම
දිගටම ස්ථාවරව තිබුණා නම්
තත්වය බොහෝම පහසු වන්නට තිබුණා.
එහෙත් සූර්ය
ක්‍රියාකාරිත්වය අතිශය අස්ථාවර
නිසා තත්වය වරින් වර විචලනය
වෙනවා.
ඉහත
ආකාරයට ආරෝපිත අංශු හා අධිශක්ති
විද්‍යුත්චුම්භක විකිරණය
නිසා ඉහල වායුගෝලයේ තිබෙන
අංශු අයනීකරණයට ලක් වීමෙන්
අයනගෝලය සෑදෙනවා. මෙම
අයනගෝලය (අයනගෝලයේ
විවිධ ස්ථර) රේඩියෝ
තරංගයන්ට බලපෑම් කරන හැටි අප
මීට පෙර අධ්‍යනය කළා.
එහිදි හමු
වූ වැදගත් කරුණු කිහිපයක්
නැවත මතක් කරගමු. ඉදිරියේදී
මෙම කරුණු දෙක බොහෝම ප්‍රයෝජනවත්ය.
1. යම් ස්ථරයක
ආරෝපණ වැඩි නම්, හා
ආරෝපණ සමඟම උදාසීන අණුත් බහුලව
ඇත් නම්, එවිට
අවසංඛ්‍යාත රේඩියෝ තරංග හායනයට
ලක් වේ (D ස්ථරයෙන්
සාමාන්‍යයෙන් සිදු වූයේ
මෙයයි). එහෙත්
සංඛ්‍යාතය වැඩි කරගෙන යන විට,
එක්තරා
සංඛ්‍යාතයකට වඩා වැඩි සංඛ්‍යාතයන්
එම ස්ථරය හරහා විනිවිද යෑමට
පටන් ගනී. තවද,
අයන ප්‍රමාණය
වැඩි වන්නට වන්නට (උදාසීන
අණුද අධිකව ඇතිව), එය
විසින් අවශෝෂණය කරන සංඛ්‍යාත
පරාසයද වැඩි වෙනවා (එනම්
වෙනදා විනිවිද ගිය අධිසංඛ්‍යාතයනුත්
අවශෝෂණය වේ).
2. යම් ස්ථරයක
ආරෝපණ වැඩි නම්, හා
ආරෝපණ අතර ඇති උදාසීන අණු
ප්‍රමාණය ඉතා අඩුයි නම්,
එවිට එම
ස්ථරය විසින් රේඩියෝ තරංග
වර්තනයට (පරාවර්තනයට)
ලක් කරනවා
(හායනය
අඩුවෙන්; උදාසීන
අණු අඩුවන තරමට හායනය අඩු වේ).
එහෙත්
සංඛ්‍යාතය වැඩි කරගෙන යන විට,
එක්තරා
සංඛ්‍යාතයකට පසුව ඉහල සංඛ්‍යාතයන්
එම ස්ථරයත් විනිවිද යනවා.
එසේ වුවද,
ආරෝපණ ඝනත්වය
වැඩි වන්නට වන්නට එසේ වර්තනයට
ලක් කරන සංඛ්‍යාත පරාසයද විශාල
වෙනවා (එනම්
වෙනදා විනිවිද ගිය අධිංසංඛ්‍යාතයනුතු
වර්තනය කරනවා); හායනයත්
තවදුරටත් අඩු වෙනවා.
සූර්යාගේ
චුම්භක ක්ෂේත්‍රය සංකීර්ණය
(එය
අපි සෙල්ලම් කරන්න ගන්න දණ්ඩ
චුම්භකයකින් වටේට ක්ෂේත්‍රයක්
සාදන ආකාරයේ සරල එකක් නොවේ).
සූර්යා තුල
තිබෙන බොහෝ අංශු ප්ලාස්මා
ස්වරූපයෙන් (එනම්
ආරෝපිත අංශු) තිබෙන
නිසා චුම්භක ක්ෂේත්‍රයට එම
අංශු අතිසංවේදී වේ. චුම්භක
බල රේඛා ඔස්සේ ඒවා කරකැවෙමින්
වේගයෙන් ගමන් කරයි.
සූර්ය
ලප යනු තවත් ප්‍රතිපල ගණනවාක්
ඇති කරන එවැනි ප්‍රබල සූර්ය
ක්‍රියාකාරිත්වයකි.
පැහැදිලිවම
සූර්යලප හා සූර්ය චුම්භකත්වය
අතර ඍජු සම්බන්දතාවක් තිබෙන
බැවින් සූර්යාගේ හැම “මඟුලකටම”
හේතු වන චුම්භකත්ව හැසිරීම
ගැන අධ්‍යනයට හොඳම කෙනා පහසුවෙන්
නිරීක්ෂණය කළ හැකි සූර්ය ලප
වේ. සාමාන්‍යයෙන්
සූර්යලප කිහිපයක් එකට ඇති වේ
(sunspot group). මේ
සෑම සූර්යලප ගෲප් එකක්ම අනන්‍ය
අංකයකින් හැඳින්වේ (එවිට
ඒවා ගැන කතා කිරීමට පහසු වේ).
සූර්යලප
(එමඟින්
සූර්යාගේ චුම්භක හැසිරීම)
පහත ආකාරයට
වර්ගීකරණයකට ලක් කොට ඇත.
ඇල්ෆා යනු
සූර්යලප ක්‍රියාකාරිත්වය
අවම අවස්ථාව වන අතර,
ක්‍රමයෙන්
පහලට යන විට ක්‍රියාකාරිත්වය
වැඩි වේ (ඩෙල්ටා
යනු උපරිම ක්‍රියාකාරිත්වය
වැඩි අවස්ථාවයි).
Classification |
Alpha (α) |
Beta (β) |
Gamma (γ) |
Delta (δ) |
අංකයක්
ලෙස ගත් විට SF අගයෙන්
කියන්නේද ඉහත දේමයි.
සූර්යලප
කිසිවක් නැති විට සූර්යා ඉතාම
ස්ථාවර තත්වයකට පත් වන අතර,
එවිට SF
අගය 70
ට අඩු වන
අතර, උපරිම
ක්‍රියාකාරිත්වයක් ඇති විට
එම අගය 200 වේ
(මෙවිට
සූර්යලප 100කට
වැඩිය පවතිනවා). මා
මෙම වාඛ්‍යය ලියන මොහොතේ SF
අගය 85.6කි.
තත්කාලීනව
මෙම අගය බැලීමට හැකියි
http://www.spaceweather.gc.ca/solarflux/sx-4-en.php
යන වෙබ්පිටුවෙන්.
සූර්යලප
ඉතා සක්‍රිය කාලවලදී සූර්යාගෙන්
අර ගිනිකඳු පුපුරා යන්නාක්
මෙන් විශාල පිපිරීම් ඇති වී
ගිනිදැල් සූර්ය පෘෂ්ටයේ සිට
ඉතා ඈතට විසි වෙනවා (ඊට
හේතුව ප්‍රබල චුම්භක බල රේඛා
ඔස්සේ සූර්යාගේ අභ්‍යන්තරයේ
පීඩනයට ලක්ව තිබෙන ආරෝපණවලට
එකවර එලියට ඒමට මාර්ගයක්
පෑදෙනවා). මේවා
solar flare (සූර්ය
ගිනිදැල්) ලෙස
හැඳින්වෙනවා. සූර්ය
කුනාටුවක් (solar storm)
ලෙසද කැමති
නම් එය හැඳින්විය හැකියි.
මෙම සූර්ය
ගිනිදැල් නිසා විශාල විකිරණයක්
ඇති වෙනවා. විශේෂයෙන්
එක්ස් කිරණ වැඩි වශයෙන් පිට
විය හැකියි. මෙම
ප්‍රබල විකිරණයෙන් (එක්ස්
කිරණවලින්) අපේ
අයනගෝලයේ D ස්ථරය
තවත් අයනීකරණයට ලක් කරනවා.
එවිට ඉහත
කියූ පළමු කරුණ මත, HF තරංග
පවා මෙම ස්ථරයෙන් අවශෝෂණය
කරාවි. එවිට,
සාමාන්‍යයෙන්
හොඳින් අයනගෝලයෙන් ප්‍රයෝජන
ලබා ගත් HF තරංග
පවා බ්ලොක් වේ. කිසිදු
රේඩියෝ සංඛ්‍යාතයන්ට අයනගෝලයේ
උපකාරය නැතිව යයි. මෙවැනි
තත්වයක් propagation blackout ලෙස
හැඳින්වේ.
මෙවැනි
අවස්ථාවක D ස්ථරය
තවත් නරක අතට හැරෙව්වත්,
F/E ස්ථරවලට
එය සුභදායි ලෙස බලපානවා මොකද
එම ස්ථරවලත් අයන ඝනත්වය තවත්
වැඩි වෙන නිසා (ඉහත
කාරණා දෙකෙන් දෙවැනි කාරණය
පවතිනවා). ඒ
විතරක් නොව, ඉහල
ස්ථරවල මෙලෙස වැඩි වන අයන
ඝනත්වය එකවර අඩු වෙන්නේ නැතිව
යම් කාලාන්තරයක් අල්ලාගෙන
සිටිනවා. එනිසා,
රාත්‍රී
කාලයේදී (D ස්ථරය
නැති නිසා), ඉහල
ස්ථර ඉතා හොඳ උදව්වක් ලබා
දෙනවා රේඩියෝ තරංගවල ප්‍රචාරණයට.
සූර්යා
ගිනිදැල්ද වර්ගීකරණයකට ලක්
කර තිබෙනවා පහත ආකාරයට.
ප්‍රබලතාව
අඩු අගයේ සිට වැඩි එක දක්වා
පිලිවෙලින් දකවා තිබේ.
එක් ක්ලාස්
එකක් මීට පෙර තිබෙන ක්ලාස්
එක මෙන් 10 ගුණයක්
ප්‍රබලය (එනම්
මෙම ක්ලාස් ලඝු පරිමාණයටයි
සාදා තිබෙන්නේ). මේ
සෑම ක්ලාස් එකක්ම නැවත උපකාණ්ඩ
9කට (1
සිට 9)
බෙදනවා (අගය
වැඩි වන විට ප්‍රබලතාව ක්‍රමයෙන්
වැඩිවීමක් හඟවයි).
Class
|
Significance |
A
|
ඉතාම දුබලය (සාමාන්‍ය පසුබිම් විකිරණයට ආසන්නය) |
B
|
A ට වඩා දස ගුණයකින් සැරය. එහෙත් මෙයද දුබලයි. |
C
|
B ට වඩා දස ගුණයකින් සැරය. තවමත් මෙය ප්‍රබල මට්ටමක් නොවෙයි. |
M
|
Cට වඩා දස ගුණයක් සැරය. බලපෑමක් ඇති කෙරේ. |
X
|
Mට වඩා දස ගුණයක් සැරය. ඉතා විශාල බලපෑම් ඇති කෙරේ. |
C හා
ඊට වඩා අඩු පංතියක සූර්ය
ගිනිදැල්වලින් අපේ වායුගෝලයට
එතරම් බලපෑමක් නැත. M
පංතියේ
ගිනිදැල්වලින් දුර්වල පෘථිවි
චුම්භක ප්‍රබලතාවක් තිබෙන
ධ්‍රැව ආසන්න ප්‍රදේශවලට
බලපෑම් කරයි (එනම්
එම ප්‍රදේශවල වායුගෝල අයන
මට්ටම ඉහල යවයි). මින්
වඩාත්ම බලපෑම් X පංතියේ
ගිනිදැල් විසින් සිදු කරයි.
ඇත්තටම X1
සිට X9
දක්වා සාමාන්‍ය
ප්‍රබලතාවන් ක්‍රමාංකනය කර
තිබුණත් මීටත් වඩා සැර ගිනිදැල්
ඉඳහිට ඇති වන අතර, එවිට
X20, X28 ආදි
ලෙස ඒවා ක්‍රමාංක කෙරේ.
A, B, C, M, X යන
සූර්ය දැල් පංතීන් හා ඇල්ෆා,
බීටා ආදී
චුම්භක වින්‍යාස අතර සම්බන්දයක්
තිබේ. එනම්
චුම්භක වින්‍යාසය සංකීර්ණ
වන විට (එනම්
චුම්භක ක්‍රියාකාරිත්වය වැඩි
විට) තමයි
සූර්ය දැල්වල ප්‍රබලතාවත්
වැඩි වන්නේ. ඒ
අනුව ඩෙල්ටා වින්‍යාසයකදී
X වැනි
ප්‍රබලතාවකින් යුතු සූර්ය
ගිනිදැල් ඇති වේවි.
සෑම
සූර්ය ගිනිදැල්ලක් සමඟම විශාල
ආරෝපිත අංශු (පදාර්ථ)
ප්‍රමාණයක්ද
පිට වෙනවා (විද්‍යුත්චුම්භක
විකිරණයට අමතරව) හරියට
ගිනිකන්දක් පුපුරන විට ඉන්
ලාවා පිටවන්නා සේ. මේවා
Coronal Mass Ejection (CME) ලෙස
හැඳින්වේ. විකිරණය
මිනිත්තු 8කින්
පමණ පොලොවට ළඟා වුවත්,
cme පොලොවට
ඒමට අඩුම ගානේ පැය 24ක්වත්
යනවා (තත්පරයට
කිලෝමීටර් 1000ක
පමණ වේගයෙන් එන නිසා).
වේගය අඩුයි
නම් දවස් 3ක්
දක්වා වුවද ඒවාට පැමිණීමට ගත
වේවි.
cme නම්
අපිට කරදරයක්මයි. විශේෂයෙන්
අහසේ රඳවා තිබෙන චන්ද්‍රිකාවල
පරිපථ පිලිස්සිය හැකියි.
එසේ නැති
වුවත්, එම
කාලය තුල චන්ද්‍රිකාවල ඇති
සූර්ය පැනල ආදි “අඬුපඬු”
හකුලාගෙන අක්‍රියව පවත්වාගෙන
යනවා හානිය හැකිතරම් අඩු කර
ගැනීම සඳහා.
මීට
අමතරව වායුගෝලයට එම අංශු ඇතුලු
වී අවුරෝරා ආදිය ඇති කරයි.
වායුගෝලයේ
ඉහල ස්ථරවල අයන ඝනත්වයද වැඩි
කරාවි.
තවද
cme නිසා
හා සාමාන්‍යයෙන් නිරන්තරයෙන්ම
පවතින සූර්ය සුළං නිසා අයනගෝලයට
ධ්‍රැව ඔස්සේ කැරකි කැරකි
ඇතුලුවන ආරෝපිත අංශු වේගයෙන්
පොලොව වටා ගමන් කරයි. ඔබ
දන්නවා ඕනෑම ආකාරයක ආරෝපණයක්
ගමන් කරන විට ඊට විදුලි ධාරාවක්
කියා කියනවා. ඒ
කියන්නේ අයනගෝලයේ නිරන්තරයෙන්ම
විදුලි ධාරා ගමන් කරනවා.
මේවා ring
currents ලෙස
හැඳින්වෙනවා. CME නිසා
අයනගෝලයේ අතිප්‍රබල විදුලි
ධාරා (ඇම්පියර්
මිලියනය ඉක්මවා යන) පවා
ඇති වේ.
මෙලෙස
ධාරා ගමන් කිරීමේදී අලුත්
ප්‍රබල චුම්භක ක්ෂේත්‍රද
හටගන්නවා (විද්‍යුත්චුම්භකත්වය).
මෙවැනි
ප්‍රබල චුම්භක ක්ෂේත්‍රවලට
හැකියි පොලොවේ හා ඒ ආසන්න
ප්‍රදේශවල ඇති ලෝහමය ද්‍රව්‍ය
මත විදුලියන් ප්‍රේරණය කරන්නට
(එනම්
ජෙනරේටර් ක්‍රියාව ඇති වේ).
සමහරවිට
සැතපුමට වෝල්ට් 10ක්
තරම් ප්‍රේරණයක් කිරීමට ඊට
හැකිය. එවිට
සැතපුම් 200ක්
දිග තෙල් හෝ ජලය ගෙන යන පයිප්ප
නලයක වෝල්ට් 2000ක
වෝල්ටියතාවක් පවතිනු ඇත
(කවුරුන්
හෝ එය ඇල්ලුවොත් සමහරවිට
විදුලි සැර වැදී මියැදෙන්නටත්
හැකියි). සන්නායකය/ලෝහය
විශාල/දිග
වැඩි වන්නට වන්නට ප්‍රේරණය
වන විදුලි ප්‍රමාණය වැඩි වේ.
එනිසා
කිලෝමීටර් සිය දහස් ගණන් ඈතට
විහිදෙන විදුලි කම්බි මත
අමුතුවෙන් ඇම්පියර් දහස්
ගණනක් ප්‍රේරණය වී විදුලි
පද්ධතිය බිඳ හෙලිය හැකිය.
තවමත් අප
හරිහැටි සොයා නොගත් බොහෝ දේවල්
සිදු වෙනවාත් ඇති (ඒ
ගැන විමර්ෂනශීලීව සොයා බලන්න
පර්යේෂකයන් සේ).
තවද,
මෙලෙස හටගත්
අස්ථාවර චුම්භක ක්ෂේත්‍ර
නිසා පොලොවේ සෑහෙන්න පමණකට
ස්ථාවර චුම්භක ක්ෂේත්‍රය යම්
යම් තැන්වලදී ප්‍රබල කිරීමටත්
යම් යම් ස්ථානවලදී දුබල කිරීමටත්
හේතු වෙනවා. ඒ
කියන්නේ දැන් සම්ප්‍රයුක්ත
පෘථිවි චුම්භක ක්ෂේත්‍රය
අස්ථාවර වෙනවා (විචලනය
වෙනවා). මෙවැනි
විචලනයක් අධිකව සිදුවන විට
geomagnetic storm (භූචුම්භක
කුනාටුවක්) ලෙස
හැඳින් වෙනවා.
චුම්භක
ක්ෂේත්‍රයක ප්‍රබලතාව (හා
එහි inclination/දිශාව
ආදිය) මැනීමට
භාවිතා කරන උපකරණ magnetometer
(චුම්භකමානය)
වේ (Gaussmeter
හෝ Teslameter
යන නම්වලින්ද
සමහරවිට ඒවා හැඳින්විය හැකිය).
පොලොව පුරා
ස්ථාන කිහිපයක සිට නිල දත්ත
වශයෙන් සැලකිය හැකි අගයන්
ලබා දෙන චුම්භකමාන සවි කර
තිබේ. මේ
එක් එක් මධ්‍යස්ථානය විසින්
අඛණ්ඩව පොලොවේ චුම්භක ක්ෂේත්‍රය
දැන් අවුරුදු ගණනාවක් තිස්සේ
මැන දත්ත එකතු කරමින් සිටිනවා.
ඉහත
දත්ත පැය 3න්
3ට
(දවසක්
තුල කාණ්ඩ 8කට)
කඩා,
ඒවා විශ්ලේෂණය
කරනවා. පළමු
“පැය තුනේ කාණ්ඩය” පටන් ගන්නේ
ග්‍රිනිච් වෙලාවෙන් 00:00
සිටයි (02:59
දක්වා).
දෙවැන්න
03:00ටත්
තෙවැන්න 06:00ටත්
ආදී ලෙස කාණ්ඩවලට කැඩේ.
එම පැය තුනේ
කාලයක් තුල එම උපකරණයට සෑම
නිමේෂයක් පාසාම විචලනය වන
භූචුම්භක ප්‍රබලතාව සංවේදනය
වේ (මැන
ගැනේ). එසේ
පැය 3ක
කාලය අවසන් වෙත්ම, එම
කාලය තුල සටහන් වූ අවම හා උපරිම
විචලන අගයන් දෙකෙහි වෙනස ලබා
ගැනේ. මෙලෙස
සෑම මධ්‍යස්ථානයකම සිදු කෙරේ.
අක්ෂාංශ
දිගේ (එනම්
පොලොවේ උඩට පහලට යන විට)
භූචුම්භක
ප්‍රබලතාව මෙන්ම එහි විචලනයද
වෙනස්ය. ධ්‍රැව
ආසන්නයට යන විට චුම්භක ක්ෂේත්‍ර
ප්‍රබලතාව දුර්වල වන අතර,
එහි විචලනය
ඉතා වැඩිය (මොකද
සූර්යාගේ බලපෑම තදින්ම සිදු
වන්නේ දුර්වල ධ්‍රැව ආසන්න
ප්‍රදේශවල බැවින්). එනිසා,
සමකය ආසන්නයේ
තිබෙන මධ්‍යස්ථානයකින් යම්
කාල සීමාවක් තුල ලබා ගත් අගයෙත්,
එම කාල සීමාව
සඳහාම ධ්‍රැව ආසන්න මධ්‍යස්ථානයකින්
ලබා ගත් අගයෙත් විශාල වෙනසක්
ඇත. අවුරුදු
ගණනක් පුරා ලබා ගත් දත්ත අනුව,
මෙම අගයන්
දෙක සාම්‍ය (equivalent) කළ
හැකියි (ඊට
“බර තැබීම” - weighting කියා
කියනවා).
උදාහරණයක්
ලෙස, යම්
අවස්ථාවක සමකය ආසන්නයේදී ලබා
ගත් අගය 12 නම්
හා ඒ අවස්ථාවේදීම ධ්‍රැව ආසන්න
මධ්‍යස්ථානයකදී ලබා ගත් අගය
23 නම්,
මේ අගයන්
දෙකම එකම දෙයක් තැන් දෙකකට
පෙනෙන/දැනෙන
විදිය කියා සාම්‍ය ලෙස සැලකිය
හැකිය (“සමකය
අසලදී 12 කියන්නෙත්
ධ්‍රැවය අසලදී 23 කියන්නෙත්
එකම දේටයි”). මෙලෙස
සාම්‍ය කළ පසු ලැබෙන අගයට අප
k-index කියා
කියනවා. එහි
k අකුර
ජර්මන් වචනයක් වන Kennziffer
(“ලාක්ෂණික
අංකය” යන තේරුම ඊට ඇත)
වචනයේ මුල්
අකුර වන අතර මෙම කේ-ඉන්ඩෙක්ස්
ක්‍රමය 1938දී
ආරම්භ වූවකි.
එහි
අගය 0 සිට
9 දක්වා
වේ. 0 යනු
භූචුම්භක ක්ෂේත්‍රය ස්ථාවරව
කැළඹිලි නැතිව තිබෙන බවයි.
අගය ඉහල යන
විට කැළඹිලි ගතිය වැඩි බව
කියැවේ. පහත
දැක්වෙන්නේ එක් ප්‍රදේශයක්
සඳහා මැග්නෙටෝමීටරයෙන් ලබා
ගත් අගයන්ට k-index අගයන්
ලබා දෙන ආකාරයයි.
චුම්භක ප්‍රබලතාව nT (නැනෝටෙස්ලා) ඒකකයෙන් | K-index අගය |
0-5 | 0 |
5-10 | 1 |
10-20 | 2 |
20-40 | 3 |
40-70 | 4 |
70-120 | 5 |
120-200 | 6 |
200-330 | 7 |
330-500 | 8 |
>500 | 9 |
දැන්
ලෝකයේ ඕනෑම මධ්‍යස්ථානයකින්
ලබා දෙන කේ-ඉන්ඩෙක්ස්
අගය දළ වශයෙන් සමානය. දළ
වශයෙන් සමාන යැයි කියූ දේ
තවදුරටත් පැහැදිලි කිරීමට
අවශ්‍යයි. පොලොවේ
භූචුම්භක ක්ෂේත්‍රය හැමතැනම
සමාන නැත. එය
අක්ෂාංශ ඔස්සේ යම් වෙනස්වීමක්
තිබෙනවා. සූර්යාගේ
බලපෑම ශූන්‍ය යැයි සිතුවොත්
මෙම වෙනස්වීම දිගුකාලීනව
ස්ථාවර එකකි (අපට
පුරෝකථනය කළ හැකි එකකි).
එවිට එහි
කෙටිකාලීන වෙනස්කම් නැත.
මෙවැනි
තත්වයකදී ධ්‍රැව ප්‍රදේශයක
10 අගයද
සමකාසන්න ප්‍රදේශයක 14
අගයද තිබේ
නම්, දිගු
කාලයක් එලෙසම තිබේවි.
ඉතිං,
ධ්‍රැව
ප්‍රදේශයට 10 පොදු
වන අතර, සමක
ප්‍රදේශයට 14 පොදු
යැයි සැලකිය හැකිය.
කෙනෙකුට
අර්ථ දැක්විය හැකියි “පොදු
අගය” යනුවෙන් දර්ශීය අගයක්.
ඒ ඒ අක්ෂාංශකවලට
පොදු අගය සංඛ්‍යාත්මකව වෙනස්
වුවත්, එය
“පොදු අගයයි”. එවිට,
අගයෙන් අසමාන
වුවත්, සංකල්පයෙන්
සමාන වේ. මෙන්න
මෙවැනි තත්වයක් තමයි ඉහතදී
දළ අගය ලෙස සලකන්නේ.
එහෙත්
ප්‍රායෝගිකව සූර්යාගේ බලපෑම
ශූන්‍ය නැහැ. පොලොවේ
තැනින් තැන අවිනිශ්චිත විචලනයන්
එය විසින් ඇති කරනවා.
එනිසා එක්
එක් මධ්‍යස්ථානවලදී මැනෙන්නේ
ඒ ඒ ප්‍රදේශවල තත්කාලීනව තිබෙන
තත්වයයි. එම
වෙනස්කම් ඉහත k-index තුල
මතු වෙනවා (ඒ
අනුව මෙහිදී සලකා බලන්නේ
විචලනය වේ; උදාහරණයක්
ලෙස, ඔබ
මට රුපියල් 100ක්
දෙනවා, මා
ඔබට 120ක්
දෙනවා, හුවමාරුවේ
වෙනස හෙවත් විචලනය 20යි).
ඒ නිසා,
එක් එක්
මධ්‍යස්ථානයකින් ලැබෙන අගයන්
සමාන නැති වීමට පුලුවන් (සමාන
නම් ඉතිං මධ්‍යස්ථාන කිහිපයක්
තබා ගන්න එකේ තේරුමකුත් නැහැනෙ).
ඉහත
එක් එක් මධ්‍යස්ථානයෙන් ලැබෙන
විවිධ k-index අගයන්
සියල්ල කැටි කොට සම්මත එක්
කේ-ඉන්ඩෙක්ස්
අගයක් මුලු පෘථිවියේ සෑම තැනම
සඳහා පොදුවේ ලබා දෙනවා සෑම
පැය 3කට
සැරයක්ම. ඊට
planetary k-index (Kp) ලෙස
කියනවා. මෙම
කේපී අගය වැඩි වන වෙනවා යනු
භූචුම්භක ක්ෂේත්‍රයේ කැළඹිලි
වැඩි බවයි. මෙම
අගය 5ට
වැඩි විට geomagnetic storm තත්වයක්
ඇති බව කියයි. මෙම
අගයන් තත්කාලීනව බලාගත හැකියි
http://www.swpc.noaa.gov/products/planetary-k-index
වැනි
වෙබ්අඩවියකින්.
තවත්
ඉන්ඩෙක්ස් එකක් සාදා ගන්නවා
k index එකෙන්
(එක්
එක් මධ්‍යස්ථානය සඳහා වෙන
වෙනම). ඒ
තමයි A-index කියන්නේ.
මෙම ඉන්ඩෙක්ස්
එකෙන් පැය 24ක්
තුල තත්වය කියනවා. කේ
ඉන්ඩෙක්ස් අගයන් දන්නවා නම්
අපටම ඒ-ඉන්ඩෙක්ස්
අගය සෙවිය හැකියි. පළමුවෙන්ම
පහත වගුවට අනුව, 0 සිට
9 දක්වා
වූ කේ අගයන් (සෑම
පැය 3ක්
සඳහා) a-index අගයන්
බවට පත් කරන්න (මෙහි
කැපිටල් A අකුර
නොව සිම්පල් a අකුර
ඇති බව මතක තබා ගන්න;
a-index හා A-index
දෙක සමාන
නැත).
K-index | a-index |
0 | 0 |
1 | 3 |
2 | 7 |
3 | 15 |
4 | 27 |
5 | 48 |
6 | 80 |
7 | 140 |
8 | 240 |
9 | 400 |
උදාහරණයක්
ලෙස, යම්
දිනයක් තුල යම් මධ්‍යස්ථානයකින්
ලබා ගත් කේ අගයන් වූයේ 3
4 6 5 3 2 2 1 නම්,
එහි A-index
එක සොයමු.
පළමුවෙන්ම
මේ එක් එක් කේ අගයන් a-index
අගයන් බවට
පත් කරගමු - 15 27 80 48 15 7 7
3. දැන් මෙම
අගයන් එකතු කර 8න්
බෙදන්න (ඇවරේජ්
කරන්න) – (15+27+80+15+7+7+3)/8 = 25.25 වේ.
මෙම 25.25
තමයි එදින
A-index අගය
එම මධ්‍යස්ථානය අවට ප්‍රදේශය
සඳහා.
මධ්‍යස්ථාන
කිහිපයකින් ලබා ගත් K
index අගයන්ගෙන්
පෘථිවියටම පොදු තනි Kp
index අගයක්
සාදා ගත්තා සේම, මධ්‍යස්ථාන
කිහිපයකින් ලබා ගත් A
index අගයන්ගෙන්
පෘථිවියටම පොදු තනි Planetary
A index (Ap) සාදා
ගත හැකියි. මෙහිදී
එකළඟ පැය තුනේ අගයන් 8ක්
ගෙන මේ අවසානයට ලබා ගත් අගයට
වැඩි බරක්ද (වැදගත්කමක්ද),
එතැන් සිට
ආපස්සට ඇති අගයන්වලට පිළිවෙලින්
ක්‍රමයෙන් අඩු බරක් ලැබෙන
සේයි මෙම මධ්‍යන්‍ය අගය ගණනය
කරන්නේ (ඊට
ගණිතයේදී moving average යන
නම ව්‍යවහාර කෙරේ). එක්
එක් ප්‍රයෝජන නිසා තවත් ජාතියේ
ඉන්ඩෙක්ස් වර්ග සාදා තිබෙනවා
කේ ඉන්ඩෙක්ස් එක පදනම් කර ගෙන.
මෙම කේ අගයන්,
හා වෙනත්
බොහෝ විස්තර https://www.spaceweatherlive.com/en/
වැනි
වෙබ්පිටුවලින් තත්කාලීනව
බැලිය හැකිය. K හෝ
A ඉන්ඩෙක්ස්
අගයන් වැඩි වන්නට වන්නට රේඩියෝ
තරංග ප්‍රචාරණය අස්ථාවර
(unstable propagation) වේ.
සූර්යාට
භ්‍රමණය වීමට දවස් 27ක්
අවශ්‍ය වෙනවා. ඒ
කියන්නේ පොලොවේ සිට යම් සූර්ය
ලපයක් මේ මොහොතේ දකී නම්,
දවසකින්
දෙකකින් එය නොපෙනී ගොස් නැවත
දවස් විසි ගාණකට පසුයි එය
දර්ශනය වන්නට පටන් ගන්නේ.
මෙම දවස්
විසි ගණන තුල බොහෝ දේවල් සිදු
වී තිබිය හැකියි. පොලොවට
මුලින් පෙනෙන අවස්ථාවේදී වඩා
එය වඩා සක්‍රිය වී තිබිය හැකියි.
නැතහොත්
දුබල වී තිබිය හැකියි.
නැතහොත්
එතරම් වෙනසක් නැතිවම තිබිය
හැකියි. මේ
ආකාරයට සූර්ය භ්‍රමණයද සූර්ය
ක්‍රියාකාරිත්වය අපට දැනෙන
විදිය වෙනස් කළ හැකියි.
UV කිරණවලට
වඩා ශක්තියක් soft x-ray වලට
ඇති නිසා uv කිරණවලට
වඩා විනිවිද යෑමේ හැකියාවක්
ඊට ඇත. මේ
දෙකටම වඩා ශක්තියක්ද එබැවින්
විනිවිද යෑමේ හැකියාවක්ද
hard x-ray වලට
ඇත. ඉතිං
සූර්යාගෙන් පිටවන මේ තුන්
ආකාරයේම විකිරණ අපේ අයනගෝලයට
බලපාන්නේ වෙනස් ආකාරවලටයි.
පාරජම්බූල
කිරණ ඊට පළමුවෙන්ම හමුවන F
ස්ථරයේ අයන
ඝනත්වය වැඩි කරන අතර,
මෘදු එක්ස්
කිරණ F ස්ථරයද
අයනීකරණය කරමින්ම එය විනිවිද
ගොස් දෙවැනියට තිබෙන E
ස්ථරයේ අයන
ඝනත්වය වැඩි කරන අතර,
දෘඪ එක්ස්
කිරණ ඉහත ස්ථර දෙකම අයනීකරණය
කරමින් මුල් ස්ථර දෙකම විනිවිද
ගොස් D ස්ථරයේ
අයන ඝනත්වය වැඩි කරයි.
සූර්යලපවලින්
වැඩිපුරම පාරජම්බූල කිරණ
නිකුත් වන නිසා, සූර්යලප
වැඩි කාලයන් F ස්ථරයට
සුභය. එම
ස්ථරයේ muf වැඩි
කරනවා (එනම්
එම ස්ථරයෙන් පරාවර්තනය කරන
සංඛ්‍යාතය තවත් වැඩි වෙනවා).
සූර්ය ගිනිදැල්
(විශේෂයෙන්
M හා X
ක්ලාස්)
නම් හැමවිටම
වාගේ අහිතකරයි මොකද ඉන් වැඩිපුර
එක්ස් කිරණ පිට වෙන නිසා,
ඉන් D
ස්ථරයේ අයන
ඝනත්වය වැඩි කර, අවශෝෂනය
වැඩි කරනවා.
ඉහත
විස්තර කල පරිදි සූර්යා හා
අභ්‍යවකාශයේ සිදුවන විවිධ
වෙනස්කම් හා සංසිද්ධි හරියට
පොලොවේ කාලගුණ වෙනස්වීම වගෙයි
(වෙලාවකට
වහිනවා; අකුණු
ගහනවා; හැම
වැස්සකදීමත් අකුණු ගහන්නේ
නැහැ; සුළං
හමනවා; සුලි
කුනාටු හමනවා; …). සූර්යාගේ
හා අභ්‍යවකාශයේ ඇති වන තත්වයන්ගෙන්
සමහර ඒවා කාලාවර්තව (periodically)
සිදු වෙනවා
(ඒවා
පුරෝකතනය කළ හැකියි);
සමහර ඒවා
අහඹු ලෙස සිදු වන්නේ.
එනිසා එම
සමස්ථ ක්‍රියාවලිය space
weather (අභ්‍යවකාශ
කාළගුණය) ලෙස
නම් කරනවා. අප
මෙතෙක් බොහෝ වේලාවක් ඉගෙන
ගනිමින් සිටියේ මෙම ස්පේස්
වෙදර් ගැන තමයි. තවද,
සමකය ආසන්නයේ
සිටින ලංකාව වැනි රටවලට ඇත්තටම
ඉහල අක්ෂාංශක (higher latitude)
ප්‍රදේශවල
මෙන් විශාල ස්පේස් වෙදර්
තත්වයන්ට මුහුන දෙන්නට සිදු
වන්නේ නැත.