Skip to main content

Dark clouds and silver linings

Today I heard about a grand wedding of an Indian tycoon (Ambani's son) from a friend of mine, and he showed me some videos of it too. He said famous and powerful people from around the world have been invited to it, and the cost of the event was going to be several Billions (of Indian Rupees or USD, I don't know). If you think about it, India is a country with a higher population of substandard living conditions. There are innocent and miserable children who are forced to work for a mere subsistence, being deprived of education, health facilities, and food and water. I remember a movie based on a true story in which Akshey Kumar was playing the leading role where he makes sanitary towels (pads) for poor women who could not afford it. In such a country, a single wedding event spends billions of money. What a crappy world we are living! You could imagine how much wealth this family has amassed. On the other, this "mental disease" of exorbitant spending must be highly we

ඩාම් වෙන ඩූම් වෙන ඩොලර් හා රුපියල් අවසන් කොටස

මුල් කාලයේ රත්තරං, රිදී වැනි වටිනා ද්‍රව්‍ය මුදල් ලෙස භාවිතා කල බව ඔබ දන්නවනෙ. එහි ඇති විශේෂත්වය වූයේ ඒවා වටිනාකමක් හුවමාරු කිරීමේ මාධ්‍යයක් (එනිසයි මුදල්වලට “විනිමය“ (exchange) යන වචනයත් ඈඳී තිබෙන්නේ) ලෙස ක්‍රියාත්මක වූවා පමනක් නොව, එම රන් (හෝ රිදී) කාසියේ ද්‍රව්‍යමය වටිනාකමකුත් තිබුනා. එය අද පවතින නිකංම නිකං කඩදාසි නෝට්ටු දක්වා පැමිනීම රසවත් කතාවක්. එය කෙටියෙන් බලමු.

ඔන්න දැන්, සමාජයේ විවිධ මිනිසුන් අතර විවිධ ප්‍රමානවලින් රන් කාසි තිබෙනවා. පොහොසත් අය ලග වැඩියෙනුත් දුප්පත් අය ලග අඩුවෙනුත් රජුගේ භාන්ඩාගාරයේ උපරිමයෙනුත් ඒවා තිබෙනවා. වැඩිපුර තිබෙන අයට ගැටලුවක් තිබෙනවා මෙම රන් කාසි සොර සතුරන්ගෙන් ආරක්ෂා කර ගන්නේ කෙසේද කියා. ඒ සඳහා ඔවුන් වියදම් දරා මුරකරුවන් හා වෙනත් උපක්‍රම යොදන්නට ඇති. අනිවාර්යෙන්ම නින්ද නොයන්නත් ඇති. 

මෙය දුටු තවත් ධනවතකු ඉතා ආරක්ෂිත ඝන බිත්ති හා යකඩ දොරවල් ආදිය යෙදූ යෝධ බිල්ඩිමක් සාදා ධනවතුන්ට ආරාධනා කලා ඔබේ රත්තරං මෙහි ආරක්ෂිතව තබන්න තමන් ඊට වගකියන බව. ඒ සඳහා ඔහු යම් මුදලක්ද අය කලා. මෙය තමයි බැංකුවේ එක් ආරම්බයක්.

මෙය දුටු තවත් ධනවතුන් කිහිප දෙනෙකුද මෙය ඉතා ලාබදායි ව්‍යාපාරයක් ලෙස හැඳිනගෙන ඔවුනුත් බැංකු පිහිටෙව්වා. දැන් රටක් තුල මෙවැනි බැංකු රාශියක් තිබෙනවා. ධනවතුන් තමන්ගේ රත්තරං (සල්ලි) මෙවැනි බැංකුවක තැන්පත් කරනවා තමන්ට කැමති වෙලාවකට ගැනීමේ පොරොන්දුව පිට. 

බැංකුවත් එසේ ධනවතුන්ගෙන් රන් කැබැලි ගන්න වෙලාවට, ඒ ගැන සටහන් කරපු ලියවිල්ලක් ඔවුන්ට ලබා දෙනවා. මෙම ලියවිල්ල (රිසිට් එක වගේ) නැවත බැංකුවට ඉදිරිපත් කර තමන්ගේ රන් කොටස ලබා ගත හැකියි.

කලක් යන කොට මෙය තවත් දියුනු වුනා. ඒ කියන්නේ, බැංකු හිමියා දැන් කල්පනා කරනවා තමන් ගාව අනුන්ගේ රත්තරං ගොඩක් තිබෙනවා. ඔවුන් ඒවා නිතර නිතර රැගෙන යන්නෙත් නැහැ. ඔහේ නිකං සේප්පු තුල තිබෙනවා. ඉතිං ඔහු සිතනවා මින් කොටසක් ගෙන තව කාට හරි ලබා දෙන්න. නිකං දෙනව නෙමේ; ඒ වෙනුවෙන් යම් මුදලක් (පොලියක්) අය කරනවා. ඔන්න ඔහොම බැංකුවලින් ණය දෙන්නට පටන් ගන්නවා. ඉතිං, හොඳ නිර්මානාත්මක අදහස් තිබෙන  ව්‍යහසායකයන්ට නව ව්‍යාපාර පටන් ගැනීමට මෙය රුකුලක් වූවා. 

මෙවිට, අර රන් කාසි තැන්පත් කරපු අය කල්පනා කරනවා, බැංකුකරු තමන්ගේ රත්තරංවලින් අතිරේක ලාබයක් ලබන බව. එනිසා ඔවුනුත් එම ලාබයෙන් කොටසක් ඉල්ලා සිටින්නට ඇති. එවිට, රත්තරං තැන්පතුවලට මුදලක් අය කරනවා වෙනුවට බැංකුකරු විසින් මුදලක් (පොලියක්) දීමටත් පටන් ගත්තා. ඔන්න තැන්පතුවලට පොලී දීම ඇරඹුනා.

ඔහොම යන කොට තවත් අදහසක් ආවා. ඒ කියන්නේ මං කෙනෙකුට ගෙවීමක් කරන කොට රන් කැබැල්ලක්නෙ මින් පෙර දුන්නේ. එය තරමක් අනාරක්ෂිතයි මොකද රන් කැබැල්ල රැගෙන යාමේදී සොරා ගැනීමටත් හැකියි. දැන් හිතන්න මගේ රත්තරං කොටසක් බැංකුවේ තැන්පත් කර බැංකුවෙන් ලියවිල්ල අරං මං ගෙදර එනවා. පහුවදා මා ඔබට යම් ගෙවීමක් කරන්නට යන විට, මා නැවත බැංකුවට ගොස් අර ලියවිල්ල පෙන්වා ඉන් රන් කොටසක් අරගෙන ඔබට ගෙනත් දෙනවා. ඒ වෙනුවට මට බැරිද කෙලින්ම ලියවිල්ල ඔබට දෙන්නට. එවිට ඔබට පුලුවන් එය බැංකුවට ගෙන ගොස් රත්තරං ටික ලබා ගන්නට. ඒ කියන්නේ රත්තරං දෙනවා හා සමානයි එම බැංකු ලියවිල්ල දෙන එක. මෙය ප්‍රචලිත වුනා. මේ සමග බැංකුවේ රත්තරං සංචිත සෙල නොවී පැත්තකට වෙලා තිබෙන අතර, ඇත්තටම සිදු වන්නේ හුදු බැංකු ලියවිල්ලක් මිනිසුන්/ව්‍යාපාර අතර හුවමාරු වීමයි. මෙය තමයි නූතන මුදලේ ආරම්භය.

රට තුල තිබෙන විවිධ බැංකු විසින් තමන්ගේම බැංකු ලියවිලි නිකුත් කල අතර, එක් බැංකුවක ලියවිල්ලක් අනෙක් බැංකුවෙන් පිලි ගත්තේ නැත. මෙය ක්ෂේත්‍රයට යම් බාධාවක්. එනිසා, රටේ බැංකු එකතු වී සම්මුතිවලට එන්නට ඇති එකිනෙකාගේ ලියවිලි පිලිගන්නට. ඒ සමඟම තවත් ප්‍රායෝගික ප්‍රශ්න මතු වුනා. යම් බැංකුවක් තමන් සතු රන් සංචිත සියල්ල ණයට දුන්නොත් (ආයෝජනය කරනවා යැයි කියනවා), නිකමට හෝ අර ලියවිල්ලක් ඉදිරිපත් කර පාරිභෝගිකයකු තමන්ගේ රත්තරං කොටස නැවත ඔහුට දෙන ලෙස ඉල්ලා සිටියොත් බැංකුව සතුව දැන් රත්තරං නැත. එවිට පාරිභෝගිකයාට තැතිගැන්මක් ඇති වේ. එය අනෙක් පාරිභෝගිකයන්ද දැනගෙන ඔවුන්ගේ රත්තරංද ඉල්ලා සිටීමට පැමිනේ. මෙය වෛරසයක් මෙන් අනෙක් බැංකුවලට පැතිර ගොස් සමස්ථ බැංකු පද්ධතියම කඩා වැටෙනවා. එදා පමනක් නොව, අදටත් මෙවැනි තත්වයන් ඇති වී බැංකු වැසීම හෝ වැසීමට ආසන්න අවස්ථා පැමින තිබෙනවා. සෙලාන් බැංකුවට එසේ වූවා. 

එවැනි ගැටලු මග හැරීමට රජු/රජය සියලු බැංකු නියාමනය කිරීමට මහා බැංකුවක් ඇති කලා. දැඩි කොන්දේසි බැංකුවලට දැම්මා. එවැනි එක් කොන්දේසියක් තමයි, බැංකුවකට ලැබෙන මුලු රත්තරං ප්‍රමානයම ආයෝජනය කිරීමට තහනම් කලා. ඉන් (හිතමු) 10%ක් අනිවාර්යෙන්ම ආයෝජනය නොකර ආරක්ෂිතව මහා බැංකුවේ තැන්පත් කල යුතු බවට නියම කලා. දැන් නිකමට හරි යම් බැංකු පාරිභෝගිකයෙක් තමන්ගේ රන් කොටස ඉල්ලා සිටියොත් බැංකුවට හැකියි එය ඉටු කරන්න මොකද යම් රත්තරං කොටසක් බැංකුව ආයෝජනය නොකර තබා ගෙන ඉන්නවා. මෙම ක්‍රමය තමයි අද fractional reserve කියා කියන්නේ. අදටත් මෙම සංකල්පය ක්‍රියාත්මක වෙනවා. කලින් කලට රජයට හැකියි මෙම ප්‍රතිශතය අඩු හෝ වැඩි කරන්න රටේ ඇති වන ප්‍රශ්නට අනුරූපව. නන්දසේන ජනපති රටේ මුදල් ගැටලු නිසා මහා බැංකුවට නියෝග දුන්නා මෙම ප්‍රතිශතය අඩු කරන්න කියා. ඇමරිකාවේ සමහර කාලවලදී මෙය 0% දක්වා අඩු කරනවා. රටින් රට විවිධ ප්‍රතිශත පනවනවා.

ඉහත කතාව තුල මතක තබා ගන්න සත්‍ය ලෙසම මුදල් ඒකකය වූයේ රත්තරංය. එහෙත් එකිනෙකා අත හුවමාරු වූයේ බැංකු ලියවිල්ලයි (කඩදාසියක්). එහෙත් එම කඩදාසියට බලයක් තිබෙනවා මොකද එම කඩදාසිය බැංකුවට ඉදිරිපත් කල සැනින් ඔබට එහි වටිනාකමට සරිලන රන් ප්‍රමානයක් ලබෙනවා.

කාලයක් යද්දී එක් එක් බැංකුවෙන් තම තමන්ගේ ලියවිලි නිකුත් කරනවා වෙනුවට, අර මහා බැංකුව විසින් නිකුත් කරන තනි ලියවිල්ලක් නිකුත් කරන මට්ටමට මෙය දියුනු වූවා. එවිට, බැංකුව කරන්නේ තමන්ගේ ගබඩාවේ තිබෙන රන් කුට්ටි ටික රැගෙන ගොස් මහා බැංකුවේ ගබඩාවේ තැන්පත් කර, එම වටිනාකමට සරිලන මහා බැංකු ලියවිලි ප්‍රමානයක් රැගෙන ඒමයි. ඒ අනුව තනි තනි බැංකු සතුව විසිරී තිබූ රන් කුට්ටි දැන් මහා බැංකුවේ සංචිත වූවා. අන්න එහෙමයි ලෝකයේ රත්තරං සංචිත මහා බැංකු සතු වූයේ. මෙලෙස මහා බැංකුවෙන් නිකුත් කලේ අද අප භාවිතා කරන මුදල් නොට්ටු හා කාසියි.

රටක රන් සංචිතත් විදෙස් විනිමය තරම්ම වටිනවා මොකද ලෝකයේ ඕනම රටක් ඩොලර්, යුරෝ ආදී මුදල් ඒකක පිලිගන්නා සේම, රත්තරංද පිලිගන්නවා. කබ්රාල් ඇවිත් අපේ රන් සංචිතයටත් ඇරිය බව මාධ්‍යවල පල වුනා.

මෑතක් වන තුරු ඉහත ආකාරයට අප සතුව තිබූ මුදල් නොට්ටු හා කාසිවලට ඇත්තටම කිසියම් රත්තරං කැබැල්ලක බලය තිබ්බා. ඒ කියන්නේ ඔබ සතුව රුපියල් 1000ක් තිබේ නම්, ඒ 1000 වටිනාකමට සරිලන යම් රන් කැබැල්ලක් අනිවාර්යෙන්ම මහා බැංකුවේ තිබිය යුතුයි. එමගින් හිතුමතේ මුදල් අච්චු ගැසීමට නොහැකි වුනා මොකද යම් මුදල් ප්‍රමානයක් අච්චු ගානවා නම් ඊට සරිලන රත්තරං කොටසක් තිබිය යුතුයි. එහෙත් එම රීතිය/සම්ප්‍රදාය අත් හැරියා. අද වන විට, අපේ අතේ තිබෙන සල්ලි කොලේට කිසිදු රත්තරං කොටසක් බැංකුවක තැන්පත කරන්නේ නැත. 

ඒ කියන්නේ අතේ තියෙන සල්ලි කොලය නිකංම කොලයකි. fiat money ලෙස මෙම මුදල් හැඳින්වේ. කෙසේ වෙතත් රජය තමන් නිකුත් කරන මුදල් වෙනුවෙන් පෙනී සිටින නිසා එම කඩදාසියට වුනත් විශාල බලයක් තිබෙනවා. සමාජය දෙස බලන විට සල්ලි වෙනුවෙන් ඕන සක්කිලි වැඩක් කරන්නට සූදානම් එවුන් රටේ මුල් පුටුවේ සිට පහලම ස්ථරය දක්වා සිටින බව අපට හැමදාම පේනවනෙ.

රත්තරංවලින් රඳා නොපැවතියත් (NOT BACKED UP BY GOLD), ෆියාට් මුදලට මිල දී ගැනීමේ හැකියාව හෙවත් ක්‍රය ශක්තියක් තිබෙනව බව ඔබ දන්නවා. එහෙත් කාලයත් සමග මෙම හැකියාව අඩු වැඩි වෙනවා. ඓතිහාසිකව (එනම් පහුගිය වසර සිය ගනන) බලන විට, ඇත්තටම වෙලා තියෙන්නේ මෙම මුදලේ මිලදී ගැනීමේ හැකියාව ක්‍රමයෙන් අඩු වී තිබීමයි. මුදලේ අගය අඩු වීම ලෙස එය හැඳින්වෙනවා. ඒකනේ අපේ අම්මලා කියනවා අහවල් භාන්ඩය ඒගොල්ලෝ පොඩි කාලේ සත ගනනක් කියා. 

උදාහරණයක් ලෙස සිතන්න අද යම් අඹ ගෙඩියක් රුපියල් 30ක් කියා. එයම මීට අවුරුදු 20කට පෙර රුපියල් 10කි. එවැනිම අඹයක් ඊටත් අවුරුදු 20කට පෙර රුපියලක් වන්නට ඇති. කාලය කුමක් වුවත්, අඹය යනු අඹයමයි. එනම් එහි අති ද්‍රව්‍යමය හෝ පරිබෝජනමය වටිනාකම එකයි (වෙනස් වන්නේ නැහැ). එහෙත් රුපියලේ අගය නම් වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉස්සර රුපියල් 30කින් අඹ ගෙඩි 30ක් ගත හැකි වුවත්, දැන් ගත හැක්කේ එක් අඹයක් පමනයි. ඒ කියන්නේ රුපියලේ අගය අඩු වෙලා.

මීට මූලික හේතුව බඩු මිල කාලයත් සමඟ ඉහල යෑමයි. නූතන මානවයා සිතන විදියක් තිබෙනවානෙ. ඒ අනුව ඔවුනට දැනෙන්න ඕන කාලයත් සමග ඔවුන්ගේ පඩිය හෝ ආදායම වැඩි වෙන්න ඕන කියා. මීට අවුරුදු 10කට පෙර ලැබුන පඩියම දැනුත් ලැබෙනවා නම් ඔවුන්ට ඉබේම කලකිරීමක් ඇති වෙනවා කිසි දියුනුවක් නැහැ කියා. ඉතිං තමන්ට ලැබෙන ලැබෙන ආදායම කාලයත් සමග වැඩි වෙන්න ඕන කියා ගොවියත්, නිෂ්පාදකයත්, ව්‍යාපාරිකයත්, සාමාන්‍ය මිනිහත් සිතනවා. ගොවියා සිතනවා ගිය අවුරුද්දේ මගේ ගොවිපොලෙන් ලැබුනු ආදායම 100යි, එනිසා මේ අවුරුද්දේ 101ක් වත් කරන්න ඕන කියා. එලෙසම හැමෝම හිතලා තම තමන්ගේ බඩුවල හා ශ්‍රමයේ වටිනාකම ඉහල දමනවා. ඒ අනුව ඇත්තටම ගොවියා තම නිෂ්පාදන සඳහා යොදා ගත් පොහොර, උදලු මිල ආදියත් ගනන් යනවා. එවිට ගොවියාට ආයෙත් හිතෙනවා තමන්ගේ වැඩි වෙච්ච නිෂ්පාදන වියදමට අනුව තමන්ගේ නිෂ්පාදනයෙත් මිල වැඩි කරන්නට. මෙය විෂම චක්‍රයක්. මිනිසාට කිසිදා ඉන් ගැලවිය නොහැකි බව පේනවා. 

එනිසා මිනිස් ශිෂ්ටාචාරයක් පවතින තුරාවටම බඩු මිල ඉහල යාවි. එහෙත් ඉඳහිට විවිධ හේතු නිසා කෙටි කාලීනව බඩු මිල පහල යා හැකියි. එසේ වුවත්, දිගු කාලීනිව එය සිදු නොවේවි.

බඩු මිල ඉහල යෑම නොවේ ගැටලුව. එය කොතරම් වේගයකින් ඉහල යනවාද යන්නයි බලන්න ඕන. බඩු මිල අද බුදියල හෙට නැගිටිනකොට ඉහල යනවා නම් එය ගැටලුවක්. බඩු මිල ඉහල යෑමේ වේගයට තමයි උද්ධමනය කියා කියන්නේ (උද්ධමනය යනු බඩු මිල ඉහල යෑම නොවේ, එසේ ඉහල යෑමේ වේගයයි). ලංකාවේ බඩු මිල ඉහල යෑම උදාහරණයක් ලෙස බලන්න. රටක් වලපල්ලට යවන හැටි ඔන්න සජීවිව ලක් වැසියන්ට දැන් පෙන්වනවා රාජපක්කයන් විසින්.

මුදලේ වටිනාකම අඩු වීමට එකම හේතුව ඉහත විස්තර කල ස්වාභාවික (විෂම) චක්‍රයම නොවේ. රටක් තුල තිබෙන මුදල් ප්‍රමානයත් ඊට බලපානවා. අපි කියනවා ඕනවට වඩා රට තුල සල්ලි තිබේ නම් (එනම් සල්ලි අච්චු ගානවා වැඩි නම්), එම මුදලේ අගය අඩු වෙනවා කියා. එය කිහිප ආකාරයකින් මා දකිනවා. ඒ එක් ආකාරයක් ගැන කෙටියෙන් විමසමු.

සාමානය ඉල්ලුම් සැපයුම් න්‍යාය අනුවත් මුදල් වැඩි වුවොත් මුදලේ වටිනාකම අඩු වෙනවනෙ. එය මා ප්‍රබන්දයකින් පෙන්වන්නම්. දැන් අප කා අතෙත් ඕනෑ තරම් සල්ලි තිබේ. සල්ලි තිබෙන කොට වියදම් කරන්නට හිතෙනවනෙ (සල්ලි තිබුනත් වියදම් කරන්නේ නැති කුනු ලෝභයන් සිටියත් මීට පෙරත් මා කියූ ලෙසට අපි සලකන්නේ සාමාන්‍ය තත්වයන් යටතේ සාමාන්‍ය මිනිසාගේ හැසිරීමයි). එතකොට වෙලඳපොලේ තිබෙන යම් භාන්ඩයක් වැඩි වැඩියෙන් විකිනෙනවා. එතකොට කඩකරු හෝ එම භාන්ඩයේ නිෂ්පාදකයාට හිතෙනවා ටිකක් මිල වැඩි කරන්න. එවිටත් එම භාන්ඩය විකිනෙනවා. නැවත ඔහු මිල වැඩි කරනවා. ඒ ආකාරයට එම විෂම චක්‍රය ක්‍රියාත්මක වී බඩු මිල ඉහල යනවා. එවිට ඉස්සර රුපියලට ගත් දේ ගැනීමට දැන් රුපියල් 2ක් වැය වෙනවා. බලන්න; ඔබෙ අතේ සල්ලි ප්‍රමානය වැඩි වුනාට වැඩක් නැහැ මොකද රුපියලේ අගය ආයෙත් අඩු වෙලා.

ඉහත ක්‍රියාවලියම බැංකු පද්ධතියේ ක්‍රියාකාරිත්වය ඔස්සේද විග්‍රහ කල හැකියි (අන්තර්-බැංකු පොලී අනුපාතයට සිදු වන බලපෑම හරහා).

ඉහත විස්තර අනුව පැහැදිලියි රටක් තුල ඕනවට වඩා වැඩියෙන් හෝ අඩුවෙන් මුදල් තිබුනොත් ඒ රටේ ආර්ථිකයට එය හොඳ නැත. එනිසා එය ප්‍රශස්ත මට්ටමක පැවතිය යුතුයි. රටක් තුල යම් මුදල් ප්‍රමානයක් පැවතීම ආර්ථික විද්‍යාවේදි හැඳින්වෙන්නේ මුදල් සැපයුම (MONEY SUPPLY) කියාය. ඇත්තටම ඉහත විස්තර තුල අපි කතා කලේ එක් මුදලක් වර්ගයක් ගැන පමනි. 

මුදල යන්නට විවිද අර්ථකථන තිබෙනවා. ඒ අනුව මුදල් සැපයුම M0, M1, M2, M4 ආදි ලෙස ආකාර කිහිපයකින් දක්වනවා. උදාහරනයක් ලෙස, M0 යනුවෙන් වර්ගීකරනය කරපු මුදල් සැපයුමට අයත් වන්නේ යම් කාල පරාසයක් තුල මහා බැංකුවෙන් අච්චු ගසා සමාජයේ පැතිර පවතින කාසි හා නෝට්ටු සහා  බැංකුවට ගොස් ඉල්ලා සිටි පමනින් කෙටි කලකින් නැවත මුදල් බවට පත් කර ගත හැකි තැන්පතු වේ. මෙවැනි තැන්පතු demand deposits ලෙස හැඳින්වෙන අතර සාමාන්‍ය ඉතිරි කිරීම්, ජංගම ගිනුම්වල පවතින ශේෂයන් ආදිය මීට ඇතුලත් වේ. මහා බැංකු වාර්තාවක් ගෙන කියෙව්වොත් ඔබට දැක ගත හැකියි මුදල් සැපයුම ලංකාවේ කොපමනද කියා.

කිව්වනෙ ඉහත කතා කලේ එක් මුදල් වර්ගයක් ගැන පමනක් කියා. එම මුදල් තමයි ඔබ හා මා එදිනෙදා අතපත ගාන රුපියල් කාසි හා නෝට්ටු. මීට අමතරව බැංකුවල ක්‍රියාකාරිත්වය නිසා “පැටව් ගාපු“ මුදලුත් තිබේ. ඔව්; බැංකුවලින් සල්ලි පැටව් ගානවා. එය උදාහරනයකින් මා දක්වන්නම්. 

මහා බැංකුවෙන් රුපියල් 100 නොට්ටුවක් අච්චු ගසා සමාජයට ඉදිරිපත් කලා කියන්නකො. අන්න ඒ රුපියල් 100 දැන් මා සතුව තිබෙනවා. මා එය රැගෙන ගොස් බැංකුවේ තැන්පත් කරනවා. බැංකුව මට සහතික වෙනවනෙ ඕන වෙලාවක ඒ රුපියල් 100 මට නැවත ගන්න පුලුවන් කියලා (ඇත්තනෙ බැංකුවට ගිහින් පොත ඉදිරිපත් කල විගස හෝ atm යන්ත්‍රෙයන් හෝ මට එය විනාඩියක් ඇතුලත ගත හැකියි). එමඟින් බැංකුව රුපියල් 100 මගෙන් අරගත්තට, ඇත්තටම මට රුපියල් 100 බලය මට ලබා දෙනවා බැංකු කාඩ් එක හෝ බැංකු පොත හරහා.

දැන් බැංකුව එම රුපියල් 100න් රුපියල් 10ක් අයින් කර මහා බැංකුවේ තැන්පත් කරනවා (පෙරත් කිව්වනේ බැංකුවට ලැබෙන තැන්පතුවලින් 10% ක් රිසර්ව් කරන්න ඕන කියල නියමයක් තිබෙනවා කියා). එවිට ඉතිරි වනවා රුපියල් 90ක්. දැන් බැංකුව කරන්නේ එම රුපියල් 90 තව කාට හරි ණයට දෙන එක (ආයෝජනය කරන එක). නිකමට හිතමු එම රුපියල් 90 ගත්තු කෙනත් කරන්නේ එය තව බැංකුවක තැන්පත් කරන එක කියලා. එවිට එම පුද්ගලයාට අත්වන්නෙත් මගේ ඉරනමම තමයි. එනම්, රුපියල් 90 බැංකුවෙන් ගත්තට ඔහුට එම වටිනාකමේ බලය ඔහු සතුව තිබෙනවා. ඕනම මොහොතක එම වටිනාකම යොදලා බඩුවක් මිලට ගෙන බැංකු කාඩ් එකෙන් ගෙවිය හැකියිනෙ. 

දැන් අර බැංකුව කරන්නෙත් රුපියල් 90න් 10%ක්, එනම් රුපියල් 9ක් රිසර්ව් කර, ඉතිරි 81 ආයෝජනය කරන එක. මේ ආදි ලෙස මෙය තව දුරක් ඉදිරියට සිතා බලන්න.

බලන්න මහා බැංකුවෙන් එලියට දාපු රුපියල් 100 යේ බලය දැන් වැඩි වී තිබෙනවා. මට 100ක බලයක් තිබෙනවා; තව කෙනෙකුට 90ක බලයක් ඉන් ලැබුනා; තව කෙනෙකුට 81ක බලයක් ලැබුනා. මේ ආදි ලෙස සලකා ගෙන ගියොත් තනි රුපියල් 100කින් රුපියල් හත් අටසියයක පමන බලයක් ලැබුනා. ඒක තමයි බැංකු විසින් සල්ලි පැටව් ගානවා කියන්නේ. 

එහෙත් අපට ඉතාම නිශ්චිතවම කියන්න බැහැ රුපියල් 100කින් හරියටම අච්චරක් පැටව් ගානවා කියා මොකද කෙනෙකු සිටින්න පුලුවන්නේ සල්ලි බැංකුවට නොදා ඉන්න. එහෙමත් නැතිනම් ඔහුට ලැබෙන මුදලින් කොටසක් පමනක් බැංකුවක තැන්පත් කල හැකියි. ඒ අනුව පේනවා කාසි හා නෝට්ටු වලට අමතරව බැංකු ගිනුම්ද මුදල් මෙන්ම හැසිරෙන බව. ඒකයි ඉහත කිව්වේ මුදල යනු සංකීර්න අර්ථකථනයක්. එනිසා ඇත්තටම මහා බැංකුවට විශාල අභියෝගයක් රටේ මුදල් සැපයුම ප්‍රශස්ත මට්ටමක පවත්වාගෙන යන්න මොකද අච්චු ගාල එලියට දාන සල්ලි විතරක් නෙමෙයි අවසානයේ මුදල් ලෙස පරිහරනය වෙන්නේ.

මහා බැංකුවක් ප්‍රශස්ත මුදල් සැපයුමක් රට තුල පවත්වාගෙන යෑම සඳහා සක්‍රියව මැදිහත් වෙනවා. ඒ සඳහා ඔවුන් භාන්ඩාගාර බැඳුම්කර (treasury bonds) හා භාන්ඩාගාර බිල්පත් (treasury bills) ප්‍රයෝජනයට ගන්නවා (වෙනත් රටවල්ද මෙවැනිම යාන්ත්‍රන භාවිතා කරනවා).

භාණ්ඩාගාර බැඳුම්කර හා බිල්පත් යනු මහා බැංකුව (රජය වෙනුවෙන්) ආයෝජකයන්ට නිකුත් කරන කූපන් විශේෂයක්. එහිදී සල්ලි තිබෙන අය (බැංකු) ඒවා මිලට ගන්නවා. ඒ වෙනුවෙන් විශාල පොලියක් ඔවුන්ට ලැබෙනවා. බැඳුම්කරයක් සාමාන්‍යෙයන් වසර එකකට වඩා කාලයකින් තමයි කල් පිරෙන්නේ (mature). බිල්පතක් මාස 12කට අඩු කාලයකින් කල් පිරෙනවා (එනිසා පොලී අනුපාතයත් බැඳුම්කරයට වඩා අඩුයි). 

මෙම භාන්ඩාගාර බැඳුම්කර හා බිල්පත් මසකට කිහිප වරක්ම වෙන්දේසි ක්‍රමයට මහා බැංකුව විසින් නිකුත් කරනවා. ඊට ලංසු තැබීමට ඔබට අපට බැරිය. ඒ සඳහාම ලියාපදිංචි වූ මූල්‍ය ආයතන තිබෙනවා. ඔවුන්ව ප්‍රාථමික ගැනුම්කරුවන් (primary dealers) ලෙස හැඳින්වෙනවා. ලංකාවේ තිබෙන බැංකු හා තවත් මූල්‍ය ආයතන තමයි ප්‍රාථමික ගැනුම්කරුවන් ලෙස ලියාපදංචි වී තිබෙන්නෙත්. 

ඇත්තටම බැංකුවලින් විශාල මුදල් ප්‍රමානයක් ආයෝජනය කරන්නේ බැඳුම්කර හා බිල්පත්වල තමයි මොකද මේවා නිකුත් කරන්නේ රජය විසින් නිසා රජයක් කිසිදා තම මුදල් ඒකකයෙන් බංකොලොත් නොවන නිසා අනිවාර්යෙන්ම තමන් යොදපු මුදල් හා පොලිය ලැබෙන බව ස්ථිරයි. ඔව්; රජයක් තම මුදල් ඒකකයකින් කිසිදා බංකොලොත් නොවේ මොකද සල්ලි මදි වුවොත් අවශ්‍ය තරම් සල්ලි අච්චු ගසා හෝ ලබා දීමට ඔවුන්ට හැකියි. ඔබට මටත් සල්ලි අච්ච ගසා හෝ වියදම් පියවීමට දුන්නා නම් මරු නේද?

හරි, කොහොමද මහා බැංකුව මුදල් සැපයුම නිසි ලෙස පවත්වාගෙන යන්නේ බැඳුම්කර හා බිල්පත් හරහා. මෙහෙමයි. ඕනම කාලයක් ගත්තත්, රට තුල අති විශාල වටිනාකමකින් යුතු බැඳුම්කර හා බිල්පත් දැනටමත් නිකුත් කර තිබෙනවා. නිකටම හිතන්න රටේ මුදල් සැපයුම අඩුයි කියා මහා බැංකුවට සිතුනා කියා. එවිට ඔවුන් කරන්නේ “සමාජයට මුදල් නිකුත් කිරීමයි“. හිතන්න මහා බැංකුව කල්පනා කරනවා මුදල් සැපයුම රුපියල් බිලියන් 10කින් වැඩි කරන්න ඕන කියලා. එතකොට ඔවුන් කරන්නේ ඔවුන් විසින් මින් පෙර විකුනා ඇති බැඳුම්කර හා බිල්පත් බිලියන 10ක වටිනාකමක් දක්වා නැවත මිල දී ගන්නවා. එවිට, බැංකු පද්ධතියට නැවත රුපියල් බිලියන 10ක් ලැබෙනවා. මුදල් සැපයුම වැඩි යැයි බැංකුව සිතුවොත් මේ ක්‍රියාවේ විරුද්ධ දේ කරනවා. එනම්, ඔවුන් අලුතින් බැඳුම්කර හා බිල්පත් නිකුත් කරනවා වැඩිපුර තිබෙන මුදල් බැංකුවලින් ඉවතට ගනිමින්. බැංකුවලින් සල්ලි ගත්තහම බැංකුවලට බැහැනෙ එම මුදල සමාජගත කරන්න. මහා බැංකුව එම මුදල මහා බැංකුවේ රඳවාගෙන සිටිනවා සමාජයට මුදා නොහැර. මෙලෙස මුදල් සැපයුම මහා බැංකුව විසින් පාලනය කිරීමට මැදිහත් වීම open market operation ලෙස හැඳින්වෙනවා.

ඉහත ක්‍රියාවලිය බැලුවහම හරිම සරල හෝ ලස්සනයි වගේ සිතුනත් මේ වැඩේ අවුල් කර දමන හිඟන්නෙක් සිටිනවා. ඒ තමයි භාන්ඩාගාරය. රටක භාන්ඩාගාරය (treasury) යනු රජයේ සියලු ආදායම් එකතු කරන හා එම ආදායම්වලින් රජයේ වියදම් දරන ආයතනයයි. එය පවතින්නේ මුදල් අමාත්‍යංශය තුලයි. ඉතිං, එය අතිශය දේශපාලනික ව්‍යුහයක්. ආන්ඩුවට කොච්චර සල්ලි තිබ්බත් මදිනෙ. එච්චරට වියදම් මුං හදා ගන්නවා (යටිමඩි ගැසීම නිසා මෙම වියදම් අතිශය ඉහල යනවා). 

එතකොට රජයේ වියදම් පියවීමට අවශ්‍ය තරම් සල්ලි නැති වුනාම භාන්ඩාගාරය ඊට පිලියම් සොයනවා. සමහර විට උන් රාජ්‍ය දේපලක් විකුනා සල්ලි සොයා ගන්නවා. එහෙත් බොහෝවිට කරන්නේ මහා බැංකුවෙන් සල්ලි ඉල්ලීමයි. 

මහා බැංකුව භාන්ඩාගාරයට නිකංම ඉල්ලූ පමනින් සල්ලි දෙන්නේ නැත. ඉතිං භාන්ඩාගාරය කරන්නේ යම් කූපන් වර්ගයක් නිකුත් කිරීම. ඒවා තමයි භාන්ඩාගාර බැඳුම්කර හෝ භාන්ඩාගාර බිල්පත් කියන්නේ. මේවා ඇත්තටම නිකුත් කරන්නේ භාන්ඩාගාරයෙන් නිසා තමයි එම නම් ලැබී තිබෙන්නේ. දැන් මහා බැංකුව මේවා අරං ඔවුන්ට අවශ්‍ය අරමුදල් සම්පාදනය කර දෙනවා. එහිදී මහා බැංකුවට සිදු වෙනවා මේ භාන්ඩාගාර ප්‍රාථමික වෙලඳුන්ට විකුනා එම සල්ලි අරං භාන්ඩාගාරයට දෙනවාද, නැතිනම් සල්ලි අච්චු ගාලා (තත්කාලයෙහිම හෝ පසු කාලෙක) දෙනවාද යන්න තීරනය කිරිමට.

ප්‍රාථමික වෙලඳුන්ගෙන් මුදල් ඇදල ගතහොත් එය ඍජුවම රටේ මුදල් සැපයුම අඩු කරනවා. එසේ කිරීමෙන් ලොකු බලපෑමක් නැතිනම් මහා බැංකුව එසේ කරනවා. නැතහොත් ඔවුන් සල්ලි අච්චු ගානවා. එහිදී සිදු වන්නේ මෙතෙක් කොහේවත් නොතිබූ මුදලක් මහා බැංකුවෙන් නිර්මානය කරනවා (අච්චු ගානවා). එම මුදල දැන් සමාජයට යවන්නේ කෙසේද? නිකං බෙදා දෙන්නේ නැත. එක්කෝ භාන්ඩාගාරයට දිය යුතුයි රජයේ වියදම් දැරීමට භාන්ඩාගාර බැඳුම්කර හා බිල්පත් අරං. නැතිනම් දැනට වෙලදපොලේ නිකුත් කර තිබෙන බැඳුම්කර හා බිල්පත් එම මුදලින් මිල දී ගත යුතුයි. මේ දෙකෙන් මොක කලත් රටේ මුදල් සැපයුම වැඩි වේ.

ලංකාවේ අද සිදු වන්නේ මුදල් අච්චු ගැසීමයි. රටට අහිතකර මට්ටමටම මුදල් අච්චු ගසනවා. එනිසා මුදල් සැපයම වැඩි වී රුපියලේ වටිනාකම අඩු වේ. ඇත්තටම අද ලංකාවේ මුදලේ වටිනාකම නහුතෙට අඩු වී තිබෙනවා. ඒකනේ දේශීයව නිපදවන දේවලත් හැම මඟුලෙම මිල වැඩි වී තිබෙන්නේ. ඩොලර් ප්‍රශ්නය වෙනම ලංකාවේ පවතිනවා. කපටි රජය මේ දෙකම එකට පටවා සියල්ල ඩොලරය පිටින් දමා, කොවිඩ් හා වෙනත් ගෝලීය ප්‍රශ්නවලට රටේ ප්‍රශ්න අමුනනවා. එහෙත් ඇත්තටම ලංකාවේ මේ මොහොතේ තිබෙන්නේ වැඩ බැරි ටාසන්ලාගේ කෙරුවාවල් නිසා ඇති වූ තත්වයකි.

සාමාන්‍යෙයන් යම් කාල සීමාවක් (වසරක් කියමු) සැලකූ විට, ජනගහනය මෙන්ම සමස්ථ නිෂ්පාදනයම වැඩි වෙනවා (විපත්වලින් රට පහලට ගියෙ නැතිනම්). ඒ කියන්නේ කාලයත් සමග රටේ ආර්ථිකය වැඩි වෙනවා. මෙම වැඩි වන ආර්ථික කටයුතුවලට ගැලපෙන්න මුදල් සැපයුමත් ඊට අනුරූපව සාමාන්‍යෙයන් වැඩි කරනවා. ඒ නිසා වර්ධනය වන රටක සෑම වසරකම යම් මුදල් ප්‍රමානයක් අච්චු ගානවා. එය ආර්ථිකයට යහපත්ය. එහෙත් වර්ධනයට ගැලපෙන්නෙ නැති විදියට වැඩිපුර අච්චු ගාන එකයි ප්‍රශ්නය.

මෙතෙක් කතා කලේ දේශීයව රුපියල හැසිරෙන ආකාරයයි. මීට අමතරව විදේස විනිමය නිසාද රුපියලට කරන බලපෑමක් තිබේ. හැමෝට කතා කරන්නේ මේ ගැනනේ. අන්න දැන් ඩොලරයක් රුපියල් 270 ක් වෙලා කියා කෑ ගහන්නේ ඒකයි. ඒ ගැන කෙටියෙන් දැන් බලමු.

ඔබට විවිධ අවශ්‍යතා හා උවමනා තිබෙනවානෙ. ඒවා සන්තර්පනය කර ගන්නට බොහෝවිට යම් වියදමක් දරන්නට සිදු වේ. පරිගනකයක් මිල දී ගන්න, තේ එකක් බොන්න, ටියුෂන් පංතියකට සල්ලි ගෙවන්න, කොන්ඩෙ කපන්න ආදි ලෙස විවිධ අවශ්‍යතා හා උවමනා ඒ අතර තිබෙනවා. 

මේ අතර සමහර අවශ්‍යතා හා උවමනා සපුරා ගන්නේ විදෙස් රටවලින් ගෙනෙන භාන්ඩ හා සේවා වලිනි. උදාහරණ ලෙස ලංකාවට වාහන ගෙන්වන්නේ, තෙල් ගේන්නේ පිටරටිනි. ඉතිං මේ වියදම්ද අප විසින් දැරිය යුතු අතර, ඒවාට ගෙවන්නේ විදේශ විනිමයෙනි. එතකොට පැන නඟිනවා අපිට මේ සඳහා ඩොලර් තිබේද යන්න. පිටරට බඩු අවශ්‍ය නම් අනිවාර්යෙන්ම විදෙස් විනිමය ඕන කරනවා. 

ඒ කියන්නේ විදෙස් විනිමයට රට තුල ඉල්ලුමක් තිබෙනවා. රට වැසියා කිරිපිටි, ගෑස් පෝලිම්වල ඉන්නේ එම බඩුවලට තිබෙන ඉල්ලුම නිසානෙ. අන්න එවැනිම ඉල්ලුමක් ඩොලර්වලට තිබෙනවා. මේ අනුව පේනවා මුදල් යනු නිකංම විනිමය මාධ්‍යයක් පමනක් නොව අඹ, කාර් වැනිම වෙලඳ භාන්ඩයකුත් වන බව. ඉතිං ඉල්ලුමට සාපේක්ෂව සැපයුම අඩු නම් එම බඩුවෙහි මිල ඉහල යනවා. එනිසයි විදේශ විනිමයේ මිල ඉහල යන්නේ. 

විදේශ විනිමයට තිබෙන මිලට අපි කියනවා විදේශ විනිමය අනුපාතය (foreign exchange rate) කියා.

දැන් ප්‍රශ්නය වන්නේ මෙම විදේශ විනිමයට අපි ඉල්ලුම් කරන්නේ කොහොමද? ඔබට කිරිපිටි අවශ්‍ය නම්, කඩේකින් ඉල්ලා ගත හැකියි. එලෙසම අපිට ඩොලර් ඉල්ලන්න යන්න කඩයක් තිබේද? තිබෙනවා. ඒ තමයි ඩොලර් තිබෙන අය. ඉතිං කාටද ඩොලර් තියෙන්නේ? බැංකුවලට. මතකද නොස්ට්‍රො ගිනුම් ගැන. බැංකුවල නොස්ට්‍රො ගිනුම්වල විදේශ විනිමය තිබෙනවා. මහා බැංකුව සතුවත් යම් විදේශ විනිමයක් තිබෙනවා. සමහර ලොකු කලුකඩ මුදලාලිලා ගාවත් ඩොලර් තියෙනවා. ඉතිං, ඩොලර් අවශ්‍ය අය ඩොලර් ඉල්ලන්න ඕන ඒගොල්ලන්ගෙන් තමයි.

මෙම අයගෙන් ඩොලර් ඉල්ලුවම අනෙක් වෙලෙදුන් සේම ගනන් උස්සනවා. සාමාන්‍ය වෙලඳපොල සේම ඉල්ලුමට හා සැපයුමට අවශ්‍ය විදියට මෙම වෙලදපොලටත් රට තුල හැසිරෙන්න දුන්නහම ස්වාභාවිකවම ඉල්ලුමට සරිලන සැපයුම සමපාත වන තෙක් ඩොලර් මිල ඉහල යනවා. එය සමහරවිට ඩොලරයට රුපියල් 340ක් විය හැකියි මේ මොහොතේ. මෙලෙස වෙලඳපොලට අවශ්‍ය විදියට ඉබේම එය සාමාන්‍ය ඉල්ලුම් සැපයුම් න්‍යායට අනුව විදෙස් විනිමය අනුපාත ඉහල පහල යෑමට අවසර දී ඇති විට අපි කියනවා “ඩොලරය පා වෙන්න හැරියා“ කියා. 

දියුනු රටවල නම් විදේශ විනිමය අනුපාත පාවෙනවා. එහෙත් ලංකාව වගේ රටවල සාමාන්‍යෙයන් රජයෙන් (රජය වෙනුවෙන් මහා බැංකුව) එසේ ඩොලරයට පාවෙන්නට ඉඩ හරින්නෙ නැහැ. ඔවුන් කියනවා අද ඩොලරයේ අගය මෙසේ විය යුතුයි; යෙන් අගය මෙසේ විය යුතුයි කියා. ඇත්තටම මෙහිදී රජයට එය නිකංම වචනයෙන් පවසා පැත්තකට වී සිටිය නොහැකියි. ඒ කියන්නේ රජය එසේ ඩොලරයේ අගය සීමා කරන්නේ චන්ඩිකමෙන්ම නොවේ. මහා බැංකුව එලෙස ඩොලරයේ අගය නියම කලාම ඔවුන්ට සිදු වෙනවා ඔවුන් නියම කල අගයෙහි ඩොලරය පවත්වාගෙන යන්නට ඩොලර් සැපයුම වෙලඳපොලෙහි වැඩි කරන්නට. 

සැපයුම වැඩි වුනාම මිල අඩු වන බව දන්නවනෙ ඉල්ලුම් සැපයුම් න්‍යාය අනුව. ඒ අනුව, මහා බැංකුව ඩොලරයේ අගය ඇත්තටම වෙලදපොලේ තිබිය යුතු අගයට වඩා පහල අගයක පවත්වාගෙන යන විට, ඔවුන් කරන්නේ තමන් සතු ඩොලර සංචිතවලින් අඩුපාඩුව වෙලදපොලට නිකුත් කිරීමටයි. එවිට මහා බැංකුව සතු ඩොලර් සංචිත අඩු වෙනවා. නන්දසේන ප්‍රමුක ආන්ඩුව පහුගිය කාලය පුරාවටම මෙලෙස කිරිම නිසා තමයි මේ මොහොතේ උග්‍ර ඩොලර් අර්බුදයකට ලංකාව මුහුන දුන්නේ. කොවිඩ් නිසා ඩොලර් අඩුවෙන් රටට එන අවස්ථාවක මහා බැංකුවේ සංචිතවලින් ඩොලර් ඔහේ වෙලදපොලට නිකුත් කිරීම කොතරම තක්කඩි වැඩක්ද? 

ඉතිං, විදේශ විනිමයත් සැලකිල්ලට ගත්තහම විනිමය අනුපාත අගයන් වෙනස් වන්නේ කෙසේද? 

විදෙස් විනිමය වැඩි වැඩියෙන් රට තුලට ගලා එනවා නම්, සැපයුම වැඩි වීම නිසා විනිමය අනුපාත අඩු අගයක් ගනී. එනම් උදාහරණයක් ලෙස ඩොලරයට ගෙවන රුපියල් ගනන අඩු වේ. ඒ කියන්නේ ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වේ (appreciation).

එලෙසම රට තුලට විදේශ විනිමය පැමිනීම අඩු වන විට, සැපයුම අඩුවීම නිසා ඩොලරයට ගෙවිය යුතු රුපියල් ගනන වැඩි වේ. එනම්, ඩොලරයට සාපේක්ෂව රුපියල දුර්වල/බාල්දු වේ (depreciation).

ඩොලරයට සාපේක්ෂව රුපියල දුර්වල හෝ ශක්තිමත් වීම රට තුලට ඩොලර් එන ප්‍රමානය අඩු වැඩි වීම මත පමනක් නොවේ රඳා පවතින්නේ. රට තුල මින් පෙර කතා කල පරිදි රුපියලේ අගය අඩු වීමෙන් වෙනත් බඩුවල මිලත් වැඩි වූවා සේම ඩොලරයේ මිලත් වැඩි වේ; එනම්, රට තුල ඕනවට වඩා රුපියල් තිබෙන විටත් ඩොලරයට සාපේක්ෂව රුපියල දුර්වල වේ.

ඩොලරයට ගෙවන රුපියල් ගනන වැඩි වන විට, ආනයනික භාන්ඩ මිල වැඩි වේ. මෙලෙස ආනයනය කරන භාන්ඩ අතර ඉන්දන ආදියත්, අපේ විවිධ නිෂ්පාදන සඳහා යොදා ගන්නා උපකරණත් අමුද්‍රව්‍යයත් (පොහොර වැනි) පවතින නිසා, එය නැවත වටයකින් රට තුල බඩු වැඩි වීමට හේතු වේ.

මේ ආදි ලෙස විවිධ කරුනු රාශියක් තිබේ තව කතා කරන්නට. සරලව ඉදිරිපත් කිරීමට උත්සහ දැරීම නිසා සමහර කරුනු ඉහත මා විසින් තරමක් එහා මෙහා කර තිබිය හැකියි. ක්‍රිප්ටොකරන්සි ගැනත් මෙම ලිපි පෙලෙහි කතා කිරීමට සිටියත්, මේ ගැන එක දිගට ලිවීම නිසා මට දැන් බෝරිං ගතියක් දැනෙනවා. එනිසා වෙනම ලිපියකින් මා ක්‍රිප්ටො ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා (එහි ඇති ගනිත/තාක්ෂනික පැතිකඩත් සමඟම).