Skip to main content

තෙරුවන් සරන ගිය මාලිමාව

තවත් අපූරු ඡන්දයක් නිම විය. එය කරුණු රැසක් නිසා අපූර්ව වේ. සමහරු කියන පරිදි රදලයන්ගේ දේශපාලනයේ අවසානයක් (තාවකාලිකව හෝ) ඉන් සිදු විය. වැඩ කරන ජනයාගේ, නිර්ධන පංතියේ නායකයෙකු හා පක්ෂයක් බලයට පත් වීමද සුවිශේෂී වේ. රටේ මෙතෙක් සිදු වූ සකල විධ අපරාධ, දූෂන, භීෂන සොයා දඩුවම් කරනවා යැයි සමස්ථ රටවැසියා විශ්වාස කරන පාලනයක් ඇති විය. තවද, බහුතර කැමැත්ත නැති (එනම් 43%ක කැමැත්ත ඇති) ජනපතිවරයකු පත් විය. ජවිපෙ නායකයෙක් "තෙරුවන් සරණයි" කියා පැවසීමත් පුදුමය. මේ සියල්ල ලංකා ඉතිහාසයේ පලමු වරට සිදු වූ අපූරු දේශපාලන සංසිද්ධි වේ. මාද විවිධ හේතුන් මත අනුරට විරුද්ධව මෙවර තර්ක විතර්ක, සංවාද විවාද, හා "මඩ" යහමින් ගැසූ තත්වයක් මත වුවද, ඔහු දැන් රටේ ජනපති බැවින් ඔහුට පලමුව සුබ පතමි.  ඔහුට විරුද්ධව වැඩ කලත්, මා (කිසිදා) කිසිදු පක්ෂයකට හෝ පුද්ගලයකුට කඩේ ගියේද නැති අතර අඩුම ගණනේ මාගේ ඡන්දය ප්‍රකාශ කිරීමටවත් ඡන්ද පොලට ගියෙ නැත (ජීවිතයේ පලමු වරට ඡන්ද වර්ජනයක). උපතේ සිටම වාමාංශික දේශපාලනය සක්‍රියව යෙදුනු පවුලක හැදී වැඩී, විප්ලවවාදි අදහස්වලින් මෙතෙක් කල් දක්වා සිටි මා පලමු වරට සාම්ප්‍රදායික (කන්සර්වටිව්...

ඩාම් වෙන ඩූම් වෙන ඩොලර් හා රුපියල් 4 කොටස

දැන් බලමු කොහොමද මම ඇමරිකාවේ සිටින මගේ මිතුරෙකුට සල්ලි යවන්නේ කියා. මෙම සිද්ධියේදී පෙර මුහුන නොදුන් ගැටලු කිහිපයක් එකවරම මතු වෙනවා නේද?

1. මා යවන්නේ කුමන මුදල් ඒකකයකින්ද?

අනිවාර්යෙන්ම රුපියල් නම් බැහැනෙ මොකද ලංකාවේ හැර වෙන කොහේවත් රුපියල් පිලි නොගන්න නිසා. එයා ඉන්නේ ඇමරිකාවේ නිසා ඇමරිකානු ඩොලර් යැව්වොත් හොඳයි නේද? ඔව්. එහෙත් යුරෝ හෝ ජපන් යෙන් යවන්න බැරිද? පුලුවන් මොකද ඒවාද පිලිගත් ජාත්‍යන්තර මුදල් ඒකක නිසා. එහෙත් ඩොලර් තමයි මෙම උදාහරනයේදී හොඳම විකල්පය.

2. දැන් මා ඩොලර් සොයා ගන්නේ කෙසේද?

මා සිටින්නේ ලංකාවේ බැවින් මා අතේ ඩොලර් නැත. තිබෙන්නේ රුපියල් පමනි. ඇත්තටම ලංකාවේ නීතිය අනුව ලංකාව ඇතුලත සාමාන්‍ය පුද්ගලයන්ට රුපියල් හැර වෙනත් රටක මුදල් තබා ගැනීම තහනම් වේ. එවැනි විදෙස් මුදල් ඇත් නම් බැංකුවකට හෝ බැංකුවලින් අවසර ලබා දුන් බලයලත් විදෙස් මුදල් හුවමාරු කරන තැනකට (authorized money exchanger) ගොස් ඒවා රුපියල් කර ගැනීමට සිදු වේ.

එහෙත් විදෙස් රටක සේවය කරන අයකුට තමන්ගේ අවසාන පඩිය විදෙස් මුදල් ලෙසම ලංකාවට ගෙන ඒමට අවසරය ඇත. එසේ ගෙන ආ විට, ඉහත කී ලෙසටම කෙටි කාලයක් ඇතුලත එම මුදල් රුපියල් බවට පත් කිරීම නීතියෙන් බල කර සිටිනවා.

කෙසේ වෙතත්, දැන් මා සතුව ඇමරිකන් ඩොලර් නැති නිසා, කොහෙන් හෝ මා ඇමරිකන් ඩොලර් සොයා ගෙන මගේ බැංකුවට ලබා දී මාගේ මිතුරාට යැවීමට සිදු වේ. ඇත්තටම ඒ සඳහා වෙන කොහේවත් යාමට අවශ්‍ය නැත; මගේ බැංකුවෙන්ම මට අවශ්‍ය ඩොලර් ටික ගත හැකිය.

3. බැංකුව මා ඉල්ලූ විට මට ඩොලර් දෙනවාද?

නැත. ලංකාවේ විදේස විනිමය/මුදල් සම්බන්දයෙන් පවතින නීති රීති දැඩිය. ඒ අනුව ලංකාව තුල ඩොලර් මිල දී ගැනීමට ඔබට ඇති අවස්ථා ගනන සීමිත වේ. 

ඔබ ආනයන කරන ව්‍යාපාරිකයෙකු නම්, ඔබට ඩොලර් (හෝ වෙනත් විදේශ විනිමයක්) මිලට ගැනීමට අවසර තිබෙනවා ඔබේ ආනයන වටිනාකමට සමාන. 

තවද, ඔබේ පවුලේ කෙනෙකු විදෙස් රටක උසස් අධ්‍යාපනය ලබනවා නම්, එවිටත් ඔහුගේ අධ්‍යන වියදම් ගෙවීමට අවශ්‍ය විදෙස් විනිමය යැවීමට අවසර තිබෙනවා.

ඊටත් අමතරව විදෙස් රටක වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට හෝ සංචාරය කිරීමට හෝ ප්‍රමානවත් තරම් විදෙස් විනිමය ඔබට ලබා ගත හැකියි. 

ඔබ ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ් භාවිතා කරනවා නම්, ඒවාවලින් යම් භාන්ඩයක් හෝ සේවාවක් විදෙස් රටකින් ලබා ගැනීමටද හැකියි (හැබැයි ව්‍යාපාර කටයුතුවලට ගෙවීම් කරන්නට තහනම්). එවිටද, ඔබට නොපෙනී සිදු වන්නේ ඔබේ රුපියල් ඩොලර්වලට හැරී එම ගෙවීම සිදු වීමයි. මෙහිද සීමා පවතී.

මට ජොලියට මගේ ඇමරිකන් පෙම්වතියට ඩොලර් යැවිය නොහැකියි. ලංකාව සතුව විදෙස් මුදල් තිබෙන්නේ කුඩා ප්‍රමානයක් නිසායි මෙවැනි දැඩි සීමා පනවා තිබෙන්නේ.

4.  ඉහත ආකාරයට නීත්‍යානූකූලවම අවසර ලත් අවස්ථාවකදී ගෙවීම් සඳහා මට බැංකුවෙන් ඩොලර් දෙයි නේද?

ඔව් හා නැත.

සාමාන්‍යෙයන් ලබා දෙනවා. එහෙත් රට තුල ප්‍රමානවත් තරම් ඩොලර් නැති නම් බැංකුවලට එය කල නොහැකිය. බැංකුවලට ඩොලර් මවන්න බැහැනෙ. තිබ්බොත්නෙ දෙන්න පුලුවන්.

මේ මොහොත් නන්දසේන, බැසිිල්, කබ්රාල් කල්ලිය රටේ ඩොලර් කාබාසිනියා කර තිබෙන තත්වයක් තුල, අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් වන ඉන්දන, බෙහෙත් ආදිය ගෙන්වීමට පවා ඩොලර් නැත. එනිසා මේ මොහොතේ ඔබට බැංකුවෙන් ඩොලර් දෙන්නේ නැත. 

“අපි තමයි හොඳටම කොරේ“.

හරි කොහොම හරි මට ඩොලර් බැංකුවෙන් දෙනව කියමුකො. දැන් කොහොමද මං ඒ ඩොලර් ටික මගේ යාලුවට යවන්නේ? යාලුවාට රුපියල් යැවූ තාලෙටම එය කල හැකිද?

ලංකාව තුල නම් සියලු බැංකු අතර අන්තර්සම්බන්දතාවක් තිබෙන නිසා කිසි අවුලක් නැතිව එය කල හැකි බව අප මීට පෙර ලිපිවලින් දැන ගත්තනෙ. එහෙත් ලංකාවේ බැංකු හා ඇමරිකාවේ බැංකු අතර ඒ විදියේ සම්බන්දයක් නැහැනෙ. ඉතිං එය සිදු වීමට නම් ලංකාවේ අදාල බැංකුව හා ඇමරිකාවේ අදාල බැංකුව අතර සම්බන්දතාවක් තිබිය යුතුය. 

මෙහිදී ලෝකෙටම එක මහා බැංකුවක් නැති නිසා, රට රටවල තිබෙන තනි තනි බැංකු තම තමන් අතර එවැනි සම්බන්දතා ගොඩ නඟා ගත යුතුය. උදාහරනයක් ලෙස, ලංකාවේ මහජන බැංකුව හා ඇමරිකාවේ වෙල්ස් ෆාගෝ බැංකුව අතර එවැනි සම්බන්දතාවක් ගොඩ නඟා ගත හැකිය. මෙවැනි රටවල් දෙකක බැංකු දෙකක් අතර ඇති කර ගන්නා සම්බන්දතා (ඇත්තටම මේවා ගිවිසුම් වේ) corresponding banking agreement ලෙස හැඳින් වෙනවා. එලෙසම ලංකාවේ සම්පත් බැංකුව හා ඇමරිකාවේ සිටි බැංකුව අතරද කොරෙස්පොන්ඩිං බෑන්කිං ගිවිසුමක් ඇති කර ගත හැකියි.

කොරෙස්පොන්ඩිං බෑන්කිං ගිවිසුමක් යනු විශාල වගකීමක් තිබෙන කටයුත්තකි. එය විශාල කාලයක් හා මුදලක් වැය වන ගිවිසුම්ගත වීමකි. විශේෂයෙන් ඇමරිකාවේ නව ත්‍රස්ත විරෝධි හා මුදල් විශුද්ධිකරණයට විරෝදි නීති දැඩි වීමත් සමඟ ඇමරිකානු බැංකු සමග මෙවැනි ගිවිසුම්ගත වීම් ඉතා අපහසු වී ඇත.

කෙසේ වෙතත් ලංකාවේ සෑම ප්‍රධාන බැංකුවක්ම පාහේ ඇමරිකාවේ කුමන හෝ බැංකුවක් සමඟ මෙලෙස කොරොස්පොන්ඩිං බෑන්කිං සබඳතා ඇති කර ගෙන තිබේ. ග්‍රාමීය බැංකුව වැනි කුඩා බැංකුවලටට නම් එවැනි ගිවිසුම් නැහැ මං හිතන්නේ.

ඇමරිකානු ඩොලරය සමඟ ගනුදෙනු කරන විට, අනිවාර්යෙන්ම ඇමරිකානු බැංකුවක් සමඟ කොරෙස්පොන්ඩිං බෑන්කිං සබඳතාවක් තිබිය යුතුමයි. එලෙසම තමයි වෙනත් මුදල් ඒකක ගැනත් සිතන්න ඕන. ජපන් යෙන් සමඟ ලංකාවේ බැංකුවක් ඍජු ගනු දෙනු කරනවා නම්, අනිවාර්යෙන්ම ලංකාවේ බැංකුවට සිදු වෙනවා ජපානෙ තිබෙන බැංකුවක් සමඟ කොරෙස්පොන්ඩිං බෑන්කිං සබඳතාවක් ගොඩ නඟා ගන්න. එලෙසම යුරෝ මුදල්වලින් ගනුදෙනු කිරීමට අවශ්‍ය නම් ලංකාවේ බැංකුවට සිදු වෙනවා යුරෝ කලාපයේ තිබෙන බැංකුවක් සමඟ එලෙස සම්බන්ද වෙන්න.

ඒ කියන්නේ අන්තර්ජාතික ගනුදෙනු පදනම් වන්නේ කොරෙස්පොන්ඩිං බෑන්කිං ගිවිසුම් මතයි.

ඇත්තටම ලංකාවේ බැංකුවක් ගතහොත් එකම විදේශ රටේ බැංකු කිහිපයක් සමඟම මෙවැනි ගිවිසුම් කිහිපයක් ඇති කර ගන්නවා. උදාහරන ලෙස, ලංකාවේ මහජන බැංකුව ඇමරිකාවේ වෙල්ස්ෆාගෝ බැංකුවත් සමඟ ගිවිසුම්ගත වෙනවාට අමතරව ඇමරිකාවේ බෑන්ක් ඔෆ් ඇමරිකා බැංකුව සමඟම එවැනිම ගිවිසුමක් ඇති කර ගත හැකියි. මහජන බැංකුවට එක ගිවිසුමක් ප්‍රමානවත් වුවත්, ඇයි බැංකුව මෙවැනි ගිවිසුම් කිහිපයක් එම රට සමඟ ඇති කර ගන්නේ?

පිලිතුර සරලයි. එක් එක් බැංකුවල කොන්දේසී වෙනස්ය. හිතමු සිටි බැංකුවේ ගාස්තු අය කිරීම් විශාල මුදල් වටිනාකම් ගනුදෙනු වන විට ලාභදායක හා ඇමරිකාවේ hsbc බැංකුවේ ගාස්තු අය කිරීම් කුඩා මුදල් වටිනාකම් ගනුදෙනු වන විට ලාබයි කියා. එවිට, මහජන බැංකුවට දිගුකාලීනව වාසියි මෙම බැංකු දෙක සමඟම ගිවිසුම් ගත වන එක. මා වරක් පෞද්ගලිකව වැඩිපුර 7000ක පමන ගාස්තුවක් ගෙවන්නට සිදු වුනා ජපානෙට යෙන් යැවීමේදි මහජන බැංකුවේ නිලදාරියා විසින් වැරදීමෙන් මිට්ෂුයි බැංකුව වෙනුවට මිට්ෂුබිෂි බැංකුව තේරීමෙන් (ලංකාවේ එම බැංකුව ජපානයේ MISTSUI හා MITSUBISHI යන බැංකු දෙක සමගම එවැනි ගිවිසුම් ඇති කර ගෙන තිබෙනවා).

ඊටත් අමතරව, එක බැංකුවක මොකක් හරි අවුලක් ඇති වුවොත්, බැංකු කිහිපයක් සමග ගිවිසුම්ගත වීමෙන් අඛන්ඩව සේවා සැපයීමට හැකියි අනෙක් බැංකු හරහා විදෙස් විනිමය හුවමාරු කිරීමෙන් (වාහනයක ස්පෙයාර් වීල් එක වගේ). 

ඔබට හැකියි ලංකාවේ එක් එක් බැංකුවේ වෙබ් අඩවිවලට ගොස් ඔවුන් කොරෙස්පොන්ඩිං බෑන්කිං ගිවිසුම් ගසා තිබෙන ජාත්‍යන්තර බැංකු ලැයිස්තුව බලන්න.

හිතමු ලංකාවේ ග්‍රාමීය බැංකුවට මෙවැනි ගිවිසුම් නැතැයි කියා විදෙස් බැංකු සමඟ. ඉන් කියන්නේ ග්‍රාමීය බැංකුවට විදෙස් බැංකු සමඟ ගනුදෙනු කල නොහැකි බවද? එය මෙහෙමයි. ඍජුව ගනුදෙනු කල නොහැකියි කිසිසේත්ම. එහෙත් වක්‍රාකාරයෙන් ගනුදෙනු කල හැකියි. ඒ කොහොමද? ග්‍රාමීය බැංකුවට පුලුවන් ලංකාවේ තිබෙන වෙනත් එවැනි ගිවිසුම් තිබෙන බැංකුවක් හරහා විදෙස් බැංකුවක් සමඟ ගනුදෙනු කිරීමට. එවිට, ලංකාවේ තිබෙන (මීට පෙර විස්තර කළ මහා බැංකු පරිගනක පද්ධතිය හරහා) ග්‍රාමීය බැංකුව විසින් ලංකා බැංකුව (හෝ වෙනත් ලංකාවේ බැංකුවක්) වෙතට මුදල් යවනවා (ගාස්තුද සමග) අහවල් රටේ අහවලාට එම මුදල් යවන්න යැයි උපදේශයද සමග.

මේ ආකාරයට සිතුවොත් යම් රටක එක බැංකුවක්වත් ඇමරිකාවේ එක බැංකුවක් සමගවත් එක කොරෙස්පොන්ඩිං බෑන්කිං ගිවුසමක් තිබීම ප්‍රමානවත් වෙනවා ඩොලර් මුදල් ඒකකය සමඟ එම රටට ගනුදෙනු කිරීමට. ලංකාවේ කිසිදු බැංකුවක් ඇමරිකාවේ කිසිදු බැංකුවක් සමග එවැනි එක ගිවිසුමක්වත් නැතිනම් ඉන් කියන්නේ ලංකාවේ කිසිදු බැංකුවකට බැහැ ඇමරිකන් ඩොලර් ගනුදෙනු ලෝකයා සමග ඍජුව සිදු කිරීමට.

ලංකාව සැලකුවොත් ඇමරිකන් ඩොලර්, ස්ටර්ලිං පවුම්, යුරෝ, යෙන් යන මුදල් ඒකක සමඟ ඍජු ගනුදෙනු කල හැකියි මොකද ලංකාවේ බොහෝ බැංකු එම රටවල බොහෝ බැංකු සමග දුසිම් ගනන් කොරෙස්පොන්ඩිං ගිවිසුම් ගසා තිබෙනවා.

අපි දැන් සරල අවස්ථාවේ සිට ක්‍රමයෙන් සංකීර්න වන ලෙස ලංකාවේ සිට පිටරටට සල්ලි යවන හා එවන සිද්ධි කිහිපයක් එකින් එක බලමු.

1 සිද්ධිය
ලංකාවේ මහජන බැංකුවේ තිබෙන මගේ ගිනුමේ සිට ඇමරිකාවේ සිටි බෑන්ක් එකේ ගිනුමක් තිබෙන මගේ මිතුරාට ඩොලර් යැවීම. 

අපි උපකල්පනය කරමු මහජන බැංකුව හා ඇමරිකානු සිටි බැංකුව අතර කොරෙස්පොන්ඩිං ගිවිසුමක් තිබෙනවා කියා. එවිට, ඇමරිකානු සිටි බැංකුව තුල ලංකාවේ මහජන බැංකුව වෙනුවෙන් නොස්ට්‍රො ගිනුමක් පවතිනවා. ඒ විතරක් නොවෙයි, එම නොස්ට්‍රො ගිනුමට (කුමන හෝ ක්‍රමයකින්) මහජන බැංකුව විසින් යම් ඩොලර් ප්‍රමානයක්ද තැන්පත් කර තිබෙනවා. එම ප්‍රමානය ඩොලර් 100,000 යැයි සිතමු.

දැන් මා මහජන බැංකුවට ගොස් පවසනවා (නීත්‍යානුකූලව) මට ඩොලර් 100ක් යැවීමට අවශ්‍ය බව. එහෙත් මා අතේ ඩොලර් නැත. එවිට බැංකුව කියනවා ඔවුන්ගෙන් එම ඩොලර් 100 මා මිල දී ගත යුතු බව. මා ඉතිං ඊට කැමති වෙනවා මොකද මටත් ඕන ඩොලර් තමයි. එහෙත් ගැටලුවක් එනවා දැන්.

ඔබට කෙනෙකු පැවසුවොත් අහවල් බඩු විකුනනවා ගන්නවාද කියා ඔබ මුලින්ම අහන්නේ එහි මිල කීයද කියානෙ. අන්න එලෙසම මා දැන් බැංකුවෙන් අහනවා මට ඇමරිකාන් ඩොලරයක් රුපියල් කීයටද දෙන්නේ කියා. සිතමු බැංකුව එක් ඩොලරයක් රුපියල් 206 ට දෙනවා කියා. මට ඩොලර් 100ක් අවශ්‍ය බැවින් මා බැංකුවට 206 x 100 = 20,600 ක රුපියල් ගෙවා ඩොලර් 100 මිල දී ගන්නවා. මෙම රුපියල් 20,600 මුදල මට බැංකුවට එවෙලෙහි කාසි හා නෝට්ටු වශයෙන් ගෙවිය හැකියි; නැතිනම්, මගේ බැංකු ගිනුමෙන් එම ගනන අඩු කර ගන්නා ලෙස උපදෙස් දිය හැකියි. බැංකුවට ඔය දෙකෙම එකයි.

ඇත්තටම බැංකුව කලේ ඔබට ඩොලර් විකිනීමයි (හරියට කඩකරු අඹ, හාල්මැස්සො විකුනනව වගේ). ඔබට ඩොලරයක් විකුනුවේ 206 ගානේය. එම අගය ඩොලරයේ විකුනුම් මිල (selling rate/price) යැයි පවසනවා.

දැන් මා බැංකුවට 20,600 ත් (තව ගාස්තුත්) ගෙවා ඩොලර් 100 මගේ මිතුරාට යවන මෙන් උපදෙස් දී මා ගෙදර එනවා. බැංකුව දැන් කරන්නේ ඇමරිකාවේ ගිවිසුම්ගතව සිටින සිටි බැංකුවට උපදෙස් දීමයි සිටි බැංකුවේ අහවල් ගිනුමට ඩොලර් 100ක් තැනපත් කරන ලෙස. 

කොරෙස්පොන්ඩිං බෑන්කිං හිදි, විදේශ රටේ බැංකුව (එනම් නොස්ට්‍රො ගිනුම රඳවාගෙන සිටින බැංකුව) correspondent bank ලෙස හැඳින් වෙනවා. එවිට, නොස්ට්‍රො ගිනුම අයිති බැංකු respondent bank ලෙස හැඳින් වෙනවා.

මෙම උදාහරනයෙදී සිටි බැංකුව කොරෙස්පොන්ඩන්ට් බැංකුව වන අතර, මහජන බැංකුව රෙසිඩන්ට් බැංකුව වේ. මහජන බැංකුවේ උපදෙස් පිට, සිටි බැංකුව කරන්නේ මහජන බැංකු නොස්ට්‍රො ගිනුමෙන් ඩොලර් 100ක් අඩු කර, සිටි බැංකුවේම තිබෙන මගේ යාලුවාගේ ගිනුමට එම ඩොලර් 100 එකතු කිරීමයි. එච්චරයි.

2 සිද්ධිය‍
ඇමරිකාවේ සිටින මාගේ මිතුරා ලංකාවේ ඉන්න මට ඩොලර් එවීම

මෙය ලංකාව තුලට ඩොලර් එන අවස්ථාවයි. මාගේ ගිනුම මහජන බැංකුවේ යැයි සිතමු; යාලුවාගේ ගිනුම තිබෙන්නේ සිටි බැංකුවේ යැයිද මහජන බැංකුව හා සිටි බැංකුව අතර කොරෙස්පොන්ඩිං ගිවිසුමක් තිබෙන්නේ යැයිද සිතමු.

එවිට හරිම සරලයි. යාලුවා ඇමරිකාවේ සිටි බැංකු ශාකාවකට ගොස් ඔහුගේ ගිනුමෙන් ඩොලර් 100ක් ලංකාවේ මහජන බැංකුවේ මගේ ගිනුමට එවන මෙන් ඉල්ලා සිටිනවා. එවිට, සිටි බැංකුව දකිනවා මගේ ගිනුම තිබෙන්නේ මහජන බැංකුවේ බවත්, මහජන බැංකුවෙ නොස්ට්‍රො ගිනුමක් සිටි බැංකුවේ තිබෙන බවත්. එවිට, සිටි බැංකුව කරන්නේ යාලුවාගේ ගිනුමෙන් 100ක් අඩු කර, මහජන බැංකු නොස්ට්‍රො ගිනුමට එම 100 එකතු කිරීමයි. මහජන බැංකුවේ ඇති මිරර් ගිනුම ඒ අනුව අප්ඩේට් වෙන නිසා, මහජන බැංකුවට දර්ශනය වෙනවා ඩොලර් 100ක් තමන්ට ලැබී ඇති බව. ඒ සමග තිබෙන උපදෙස කියවන විට, මහජන බැංකුවේ අහවල් ගිනුමට එම ඩොලර් 100 තැන්පත් කරන මෙන්ද උපදෙස පවසනවා.

එහෙත් මාර වැඩක් වෙනවා මොකද මහජන බැංකුවට බලයක් නැහැ මගේ (සාමාන්‍ය) රුපියල් ගිනුමට ඩොලර් තැන්පත් කරන්නට. රටේ නීතියෙන් එය තහනම් වේ. ඉතිං, මහජන බැංකුව කරන්නේ එම ඩොලර් ටික (මගෙන් අහන්නෙ නැතිව) මිලට ගැනීමයි. හිතමු ඩොලරයක් රුපියල් 195 ගානේ ගන්නවා කියා. ඉතිං, බැංකුව මගේ ඩොලර් 100 අරං මට 100 x 195 = 19,500 ක රුපියල් මගේ ගිනුමේ තැන්පත් කරනවා. එච්චරයි.

ඉහතදී බැංකුව මගෙන් ඩොලර් මිලදී ගැනීමක් සිදු කලා. එවිට ඩොලරයක් මිල දී ගත් මිල ඩොලරයේ ගැනුම් මිල (buying price/rate) ලෙස හැඳින් වෙනවා.

ඒ අනුව යම් විදේශ මුදලකට විකුනුම් මිලක් මෙන්ම ගැනුම් මිලක්ද පවතිනවා. හැමවිටම, බැංකුවකින් අපෙන් ඩොලර් මිල දී ගන්න මිලට වඩා ඔවුන් අපට ඩොලර් විකුනන මිල වැඩිය. ඉහත උදාහරනවලදී බැංකුව මගෙන් ඩොලර් මිලදී ගන්නේ රුපියල් 195ට වන අතර, බැංකුව මට ඩොලර් වික්කේ රුපියල් 206ට වේ. විකුනුම් මිල හා ගැනුම් මිල අතර වෙනස (SPREAD) බැංකුවේ ලාභය වේ. ඒ අනුව, ඉහතදී බැංකුව එක් ඩොලරයකින් රුපියල් (206 - 195 ) 11ක ලාබයක් ඉපයීය. රට තුල කුමන අර්බුද තිබුනත් බැංකුවක් විදෙස් මුදල් හුවමාරුව නිසා ශුද්ධ ලාබයක් හැමවිටම ලබයි. බැංකුවක් දා ගත්ත නම් සැපයි නේද?

දැන් සැපද?

3 සිද්ධිය
ඇමරිකාවේ ඉන්න මිතුරා මගේ මහජන බැංකු ගිනුම වෙනුවට ග්‍රාමීය බැංකු ගිනුමට සල්ලි එවීම

යාලුවා සිටි බැංකුවට ගොස් පෙර සේම ඩොලර් එවන්නැයි උපදෙස් දෙනවා. සිටි බැංකුට පේනවා තමන් හා ලංකාවේ ග්‍රාමීය බැංකුව අතර කොරෙස්පොන්ඩිං ගිවිසුමක් නැති බව. එහෙත් තමන් හා ලංකාවේ මහජන බැංකුව අතර එවැනි ගිවිසුමක් තිබෙන බව ඔවුන් දන්නවා. ඉතිං, දැන් ඔවුන් කරන්නේ මහජන බැංකුවට එම ඩොලර් 100 එවන එක. හැබැයි ඒ සමගම උපදෙසක් එවනවා මෙම මුදල ග්‍රාමීය බැංකුවේ අහවල් ගිනුමට බැර කරන ලෙස. මහජන බැංකුවට මුදල් ආ විට, ඊට හැකියිනෙ ලංකාවේ ඕනෑම බැංකුවකට එම මුදල යවන්නට (ඒ ගැන පෙර ලිපිවල ඉගෙන ගත්තනෙ). එච්චරයි.

 

4 සිද්ධිය
මා ලංකාවේ මහජන බැංකුවෙන් ඇමරිකාවේ සිටින මිතුරාට ඩොලර් යැවීම. මෙහිදී මිතුරාගේ ගිනුම තිබෙන්නේ ඇමරිකාවේ ෆර්ස්ට් සෙන්චර් බෑන්ක් එක සමඟ යැයි සිතමු. තවද, මහජන බැංකුව හා ෆර්ස්ට් සෙන්චර් බැංකුව අතර කොරෙස්පොන්ඩිං ගිවිසුමක් නැතැයිද සිතමු. මෙය ඉහත 3 සිද්ධියේ අනෙක් පැත්තයි. විස්තරය එකම ආකාරයට වේ.

මෙහිදී පෙනෙන තරම් ලොකු ගැටලුවක් නැත. මහජන බැංකුව පෙර ලෙසම මට ඩොලර් විකුනා, ඉහත විස්තර කල ලෙසම ඇමරිකාවේ සිටි බැංකුවේ තිබෙන මහජන බැංකු නොස්ට්‍රො ගිනුමෙන් ඩොලර් 100ක් ෆර්ස්ට් සෙන්චරි බැංකුවේ ඇති මගේ මිතුරාට ගෙවන මෙන් උපදෙස සිටි බැංකුවට යවනවා.

මෙහිදී මිතුරාගේ ගිනුම තිබෙන්නේ වෙනත් බැංකුවක බැවින් සිටි බැංකුවට ඍජුවම එම මුදල මහජන බැංකු නොස්ට්‍රො ගිනුමෙන් අඩු කර මිතුරාගේ ගිනුමට එකතු කරන්නට බැරි බව පැහැදිලියිනෙ. එහෙත් ලංකාවේ බැංකු සියල්ල එකිනෙකට සම්බන්දයි වගේම ඇමරිකාවේ බැංකු සියල්ල එකිනෙකට සම්බන්දයි (fedwire, chips යන පද්ධති මඟින්). ඉතිං, ඇමරිකානු බැංකුවකින් වෙනත් ඕනෑම ඇමරිකානු බැංකුවකට මුදල් ක්ෂනයකින් යැවිය හැකියි අප මීට පෙර දැනගත් ක්‍රමයෙන්. ඉතිං, සිටි බැංකුව කරන්නේ ෆෙඩ්වයර් හරහා එම මුදල ෆර්ස්ට් සෙන්චරි බැංකුව වෙත යැවීමයි (උපදෙසද සමග). ෆර්ස්ට් සෙන්චරි බැංකුව එම උපදෙසට අනුව මගේ මිතුරාගේ ගිනුමට එම සල්ලි එකතු කරනවා.

5 සිද්ධිය
මාගේ මහජන බැංකු ගිනුමට ඇමරිකානු යාලුවා මුදල් එවීම

මෙම සිද්ධිය මීට පෙර කතා කල 2 සිද්ධියට වඩා වෙනස් වන්නේ දැන් මගේ යාලුවාගේ ගිනුම තිබෙන්නේ ඇමරිකාවේ JP MORGAN CHASE බැංකුවේ වන අතර, එම බැංකුව හා මගේ බැංකුව අතර ඍජු කොරෙස්පොන්ඩිං ගිවිසුමක් නැත.

මෝගන් චේස් බැංකුව විසින් මගේ යාලුවාගේ ගිනුමෙන් ඩොලර් 100ක් අඩු කර, එය ඇමරිකානු ෆෙඩ්වයර් (හෝ වෙනත් එවැනි) පරිගනක පද්ධතිය හරහා සිටි බැංකුවට යවනවා. මෝගන් චේස් බැංකුවට දැන ගත හැකියි මහජන බැංකුවට සල්ලි යවන්න ඕන නම් එය කුමන බැංකු හරහා යැවිය හැකිද කියා. ඒ කියන්නේ ලෝකයේ හැම බැංකුවක්ම දන්නවා අනෙක් බැංකු කා කා සමඟ කොරෙස්පොන්ඩිං ගිවිසුම් ඇති කරගෙන ඉන්නවාද කියා. එවිට, පෙර කතා කල ආකාරයටම සිටි බැංකුවේ සිට ලංකාවේ මහජන බැංකුවට මුදල් එවයි. එච්චරයි.

6 සිද්ධිය
මා මහජන බැංකුවේ සිට ඉන්දියාවේ සිටින මගේ මිතුරකුට ඩොලර් යැවීම.

මෙය ඉහත අවස්ථා සියල්ලටම වඩා සංකීර්න වේ. මෙහිදී මා යවන්නේ ලංකා රුපියල් හෝ ඉන්දියානු රුපියල් නොවේ. තවද, තවමත් ඉංදියානු රුපියල් ඍජුවම යවන ක්‍රමයක් ලංකාවේ නැත. ඊට හේතුව ඉන්දියානු රුපියල් ජාත්‍යන්තර මුදල් ඒකකයක් නොවීමයි. 

ජාත්‍යන්තර මුදල් ඒකකයක් නොවූවත් රටවල් දෙකක් කැමැති නම් එම රටවල් දෙකෙහි මුදල් ඒකක එකිනෙකා පිලිගන්න බවට ගිවිසුම්ගත වේ නම්, එවිටද සුපුරුදු කොරෙස්පොන්ඩිං ගිවිසුම් ක්‍රමය මගින් එම මුදල් ඒකක රටවල් දෙක අතර හුවමාරු කර ගත හැකියි. 

එහෙත් ප්‍රායෝගික තලයේ අදටත් ලංකාව හා ඉන්දියාව අතර එවැනි ගිවිසුම් නැති නිසා ඉන්දියානු රුපියල් ලංකාවේ සිට ඉන්දියාවට හෝ ඉන්දියාවේ සිට ලංකාවට යැවිය නොහැකියි.

එහෙත් මෙම උදාහරනයේදී මා ඉන්දියාවේ මිතුරාට යවන්නෙත් ඇමරිකානු ඩොලර් වන නිසා ඉහත ගැටලුව මතු නොවේ. ඉන්දියාවත් ඩොලර් හුවමාරු කරන්නේ මා ඉහත විස්තර කල කොරෙස්පොන්ඩිං ක්‍රමය මඟින්ය. ඉන්දියාව විතරක් නොව ලෝකයේ ඕනම රටක් විදේස මුදල හුවමාරු කරන්නේ නම් කොරෙස්පොන්ඩිං ක්‍රමය යොදා ගැනීමට සිදු වේ.

මෙම අවස්ථාවෙදි සිතමු මගේ මිතුරාගේ බැංකු ගිනුම තිබෙන්නේ ඉන්දියානු SBI බැංකුවේ කියා. මහජන බැංකුව හා ඉන්දියානු බැංකුව අතර ඩොලර් හුවමාරු කිරීමට කොරෙස්පොන්ඩිං ගිවිසුමකට එලඹිය නොහැකි මොකද ඩොලර් යනු රටවල් දෙකෙහිම නිල මුදල් ඒකකය නොවන නිසා. එනිසා, මහජන බැංකුවට ඍජුවම SBI බැංකුවට පෙර විස්තර කල ක්‍රමයට ඩොලර් යැවිය නොහැකියි. එහෙත් SBI බැංකුවත් ලංකාවේ බැංකු වගේම ඇමරිකාවේ බැංකු එකක් හෝ කිහිපයක් සමග කොරෙස්පොන්ඩිං ගිවිසුම් ගසා තිබෙනවා.

දැන් සිතන්න ඉන්දියාවෙ SBI බැංකුවත් මහජන බැංකුව මෙන්ම සිටි බැංකුවේ තම නොස්ට්‍රො ගිනුම පවත්වාගෙන යනවා කියා. දැන් මොකද වෙන්නේ?

මහජන බැංකුව මා යවන ඩොලර් ගනනට සරිලන රුපියල් ගනන මගෙන් අය කර, මහජන බැංකුවේ ඩොලර් නොස්ට්‍රො ගිනුම තිබෙන සිටි බැංකුවට කියනවා ඉන්දියාවේ SBI බැංකුවට ඩොලර් 100ක් යවන ලෙස (උපදෙසද සමගම). ඇත්තටම මහජන බැංකුව මෙහිදී ඉන්දියානු SBI බැංකුව තම නොස්ට්‍රො ගිනුම ඇමරිකාවේ අහවල් බැංකුව සමග පවත්වනවා, එනිසා එම ඇමරිකානු බැංකුවට ඩොලර් 100 එකතු කරන්න කියා උපදෙස් දෙන්නට අවශ්‍ය නැත. මහජන බැංකුව පවසන්නේ අහවල් ඉන්දයානු බැංකුවට ඩොලර් 100 යවන ලෙස පමනි. එම බැංකුවට එම ඩොලර් 100 යවන්නේ කෙසේද යන්න සොයා බලා එය සිදු කිරීම සිටි බැංකුවේ වගකීමයි.

එහෙත් මෙම උදාහරනයේදී සිටි බැංකුවට පහසුවක් ඇත මොකද SBI බැංකුවත් තම නොස්ට්‍රො ගිනුම පවත්වාගෙන යන්නේ සිටි බැංකුවේනෙ. ඉතිං, සිටි බැංකුව කරන්නේ මහජන බැංකු නොස්ට්‍රො ගිනුමෙන් ඩොලර් 100 අඩු කර, SBI බැංකුවේ නොස්ට්‍රො ගිනුමට එම 100 එකතු කිරීමයි. එච්චරයි.

ඉන්දියානු SBI බැංකුවේ නොස්ට්‍රො ගිනුම තිබෙන්නේ ඇමරිකාවේ PNC බැංකුව සමග යැයි සිතමු. එහෙත් ඔබට දැන් සිදු වන දේ සිතා ගත හැකි විය යුතුයි ඉහත විස්තර හොඳින් කියවා දැනගත්තේ නම්. මෙවිට, මා පෙර සේම මහජන බැංකුවට රුපියල් දී ඊට සරිලන ඩොලර් සිටි බැංකුවට යවනවා. සිටි බැංකුව බලනවා ඉන්දියානු SBI බැංකුව තමන් සමග නොස්ට්‍රො ගිවිසුමක සිටිනවාද කියා. එසේ නැති නිසා, එය කොරෙස්පොන්ඩිං ගිවිසුම් ගත වී සිටින වෙනත් ඇමරිකානු බැංකු මොනවද කියා සොයා බලනවා. එවිට පේනවා PNC බැංකුව. එවිට, සිටි බැංකුව ෆෙඩ්වයර් එක හරහා PNC එකට සල්ලි යවනවා. එච්චරයි.

ඉහත සියලු අවස්ථා හොඳින් සිතා බලන විට, එක දෙයක් පැහැදිලි විය යුතුයි. එනම්, ලෝකයේ ඕනම කෙලවරක ඩොලරයක් හෝ හුවමාරු වන්නේ නම් එය අනිවාර්යෙන්ම ඇමරිකානු භූමිය තුල තිබෙන බැංකුවක් හරහාම සිදු වේ. එය ඩොලරයට පමනක් නොව වෙනත් විදෙස් මුදල්වලටද පොදුය. ඒ අනුව ජපන් යෙන් එකක් ලෝකයේ මොන මුල්ලක හුවමාරු වුවත් අනිවාර්යෙන්ම එය ජපන් භූමිය තුල පිහිටි බැංකුවක් හරහාම විය යුතුය.

ඉහත කිසිදු අවස්ථාවක ඩොලර් යවනවා (හෝ යෙන් යවනවා) යැයි ලිව්වත්, ඇත්තටම ඩොලර් නෝට්ටු හෝ කාසි රටකින් රටකට එසේ යවන්නේ නැත. ඒ වෙනුවට සිදු වන්නේ බැංකුවක තිබෙන නොස්ට්‍රො ගිනුමක හර පැත්තේ හා බැර පැත්තේ සටහනක් තැබීම පමනි. එය ගිනුම්කරන භාෂාවෙන් කියන්නේ “ලෙජර් සටහන් තැබීමක්“ (LEDGER ENTRY) ලෙසයි. ලංකාවේ වරාය ඇමති (දුම්රිය ස්වර්නාභරන ඇමති) නම් සිතාගෙන සිටින්නේ ලංකාවට ඩොලර් ආධාර/ණය දෙන විට, ඒවා නැව්වලින් ගොඩ බාන බවයි.

ඇමරිකානු සිටි බැංකුවේ පවතින ලංකා බැංකු ගිනුමට ඩොලර් මුදල් එකතු වෙනවා (බැර වෙනවා) යනු ලංකාවට ඩොලර් ලැබෙනවා යන්නයි. මෙලෙස නොස්ට්‍රො ගිනුමක් බැර වන අවස්ථා කිහිපයක් ඇත.

1. ලංකාවට ඩොලර් ණය හෝ ආධාර ලැබීම.

මෙහිදී ණය හෝ ආධාරය ලබා දෙන ආයතනයේ ඩොලර් ගිනුමකින් එම ණය හෝ ආධාර මුදල ඉහත පැහැදිලි කල ආකාරයට ලංකා රජය විසින් සඳහන් කරන ලංකාවේ බැංකුවක ඩොලර් නොස්ට්‍රො ගිනුමකට බැර වේ. 

ආධාරයක් (grants) ලැබෙන විට, අපට එය නැවත ගෙවීමට සිදු නොවේ. 

එහෙත් ණයක් (loan) ලැබෙන විට, යම් කාලයක් තිස්සේ එය ගෙවීමට සිදු වේ පොලිත් සමගම. සමහර ණයවල පොලි අනුපාතය අඩුය (එනිසා ඒවා සහනදායි ණය (concessionary loan) ලෙස හැඳින්වෙනවා). සමහර ණයවල පොලී අනුපාත වැඩිය (ඒවා වානිජ ණය (commercial loan) ලෙස හැඳින්වෙනවා).

2. විදේශ ශ්‍රමිකයන් විසින් පිටරට සිට මුදල් එවීම.

3. විදේශ ඍජු ආයෝජන (Foreign Direct Investment - FDI) 

මෙහිදී අපේ රට තුල ව්‍යාපාර කිරීමට විදේශිකයන් පැමිනේ. ව්‍යාපාරයට අවශ්‍ය අමුද්‍රව්‍ය, යන්ත්‍ර ආදිය මිලට ගැනීමට හා වෙනත් වියදම් සඳහා අවශ්‍ය මුදල් (ප්‍රාග්ධනය) ඔවුන් විසින් ගෙන එනවානෙ. අන්න එම මුදල් විදෙස් මුදල්ය. ඉතිං, ලංකාව තුල සියලු වියදම් සිදු වන්නේ රුපියල්වලින් නිසා, ඔවුන්ට සිදු වෙනවා එම ඩොලර් ලංකාවෙ බැංකුවල තැන්පත් කර ඒවා රුපියල් බවට පත් කර ගන්නට. එය සිදු වන්නෙත් ඉහත විස්තර කල ආකාරවලටමයි. එනම්, විදෙස් ආයෝජකයාගේ පිටරට බැංකු ගිනුමේ ඇති විදෙස් මුදල් ලංකාවේ බැංකුවකට එවනවා. එවිට, එම විදෙස් මුදල් අදාල බැංකුවේ නොස්ට්‍රො ගිනුමට බැර වෙනවා. ඊට සරිලන රුපියල් ප්‍රමානයක් ලංකාව තුලදී නෝට්ටු හා කාසි වශයෙන් ආයෝජකයාට ලැබෙනවා.

4. සංචාරකයන්ගෙන්

රට තුලට විදෙස් සංචාරකයන් පැමිනෙන විට, ඔවුන් කරන්නෙත් ඔවුන්ගේ රටේ තිබෙන විදෙස් මුදල් ගිනුමකින් විදෙස් මුදලක් ලංකාවේ බැංකුවකට එවා ඊට සරිලන රුපියල් ප්‍රමානයක් ලංකාවෙන් ලබා ගැනීමයි.

5. අපනයනය

ලංකාවෙන් භාන්ඩ හා සේවා විදේශයන්ට සපයන විට ඔවුන් අපට ගෙවන්නේ විදෙස් මුදල්නෙ. ඉතිං, එම විදෙස් මුදල්ද අපට ඉහත ආකාරවලටම ලංකාවේ බැංකුවක යම් නොස්ට්‍රො ගිනුමක බැර වේ. අපනයනකරුට එම විදෙස් මුදලට සරිලන රුපියල් වටිනාකම ලංකාවේ බැංකුවකින් ලැබේ.

එහෙත් අපනයනකරුවන්ට දැන් අවස්ථාව සලසා දී තිබෙනවා ඔවුන්ට ලැබෙන විදෙස් මුදල් එම ඒකකවලින්ම තැන්පතු ගිනුම් (foreign currency account) පවත්වාගෙන යන්නට. එය වාසිවන අවස්ථා ඇත. උදාහරනයක් බලමු. යම් අමුද්‍රව්‍ය පිටරටින් ආනයනය කර එම අමුද්‍රව්‍යවලින් යම් භාන්ඩයක් තනා නැවත අපනයනය කරන ව්‍යාපාරයක් සලකන්න.

ඔහුට අමුද්‍රව්‍ය ආනයනයේදි බැංකුවට රුපියල් දී ඩොලර් මිලට ගෙන එම බඩු ආනයනය කර තම බඩු නිපදවයි. ඉන්පසු, ඔහු එම භාන්ඩ අපනයනය කර ඩොලර් උපයයි. එම ඩොලර් නැවත බැංකුවට විකුනා රුපියල් කර ගනී. ඔබ පෙර දුටුවා බැංකුවක් ඩොලර් මිල දී ගන්න මිලට වඩා විකුනුම් මිල වැඩි බව. එවිට මෙවන් අපනයනකරුවන්ට එය පාඩුවකි මොකද තමන්ගේම ඩොලර් බැංකුවෙන් අඩු මුදලට අරගෙන ඔවුන්ට නැවත් එම ඩොලර්ම වැඩි මිලට විකුනයි. එය බැංකු විසින් කරන මංකොල්ල කෑමකි. එහෙත් අපනයනකරුවන්ට තමන්ට ලැබෙන මුදල් ඩොලර්වලින්ම තබා ගත හැකි නම්, දැන් ඔවුන්ට හැකියි තමන් සතු ඩොලර්වලින් කෙලින්ම අමුද්‍රවය ආනයනය කරන්නට.

6. මුදල් විශුද්ධිකරණයෙන් (money laundering)

මේ ගැන කප්පරක් කතා කිරීමට ඇතත් මුකුත් නොලියා ඉන්නම්. රටට ඩොලර් ලැබිය හැකි ක්‍රමයක් වුවත් නීති විරෝධි මෙන්ම සදාචාර විරෝධි වේ. මුදල් විශුද්ධිකරණය අනෙක් පැත්තට සිදු වුවොත් රටෙන් ඩොලර් පිටරටට යැවියද හැකියි. කබ්රාල්ලා මේවට කප්පිත්තන්ය.

නොස්ට්‍රො ගිනුමකින් විදෙස් මුදල් අඩු වීම එම ගිනුම හර කිරීමකි. එලෙස නොස්ට්‍රො ගිනුමක් හර වන අවස්ථාද කිහිපයක් ඇත.

1. ආනයනය

2. විදේශ සංචාරය සඳහා යෑම‍

3. විදෙස් අධ්‍යාපනය සඳහා වියදම් කිරීම

4. ණය හා ණය වාරික ගෙවීම

විදෙස් ණයක් ගන්න කොට “ක්ෂනික ආතල් එකක්“ තියෙනවනෙ ඔන්න රටට ඩොලර් ආවා කියා. එම මෝඩ ආතල් එක ඊයෙ පෙරේදා ලංකාවේ මොලහතානෝගේ මුහුනෙන් හා කතාවෙන් පෙනුනා ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණයක් ලංකාවට අරං ආවහම. එහෙත් එම ණය පොලී සමඟ ගෙවන විට රටින් පිටතට විශාල විදේශ විනිමයක් ගලා යයි. ලංකාව මේ වන විට සිටින විදෙස් මුදල් අර්බුදයද පවතින්නේ මෙලෙස පහුගිය ආන්ඩු විසින් සීමාවක් නැතිව ලබා ගත් ණය ගෙවීමට විශාල ඩොලර් ප්‍රමානයක් අවශ්‍ය වීමනෙ.

පුද්ගලයකු හො රටක් සංවර්ධනය කරන විට, ණයක් ගෙන වේගවත් සංවර්ධනයක් ඇති කිරීම ලොව පිලිගත් ආර්ථික විද්‍යා ක්‍රමවේදයක් වේ. එහෙත් එය ඉතා හොඳින් විමසා යම් සැලැස්මකට අනුව සිදු කල යුතුය. ණය ලබා ගෙන කරනු ලබන සංවර්ධන ව්‍යාපෘතිවලින් එම ණය පියවා ඉන්පසුත් රටට ප්‍රතිලාබ ලැබෙන පරිදි ඒවා යෙදවිය යුතුය. එහෙත් ලංකාවේ මජර අවජාතක පාලකයක් කලේ එම මුදල්ද යටි මටි ගාපු එක හා මෝඩ ජනයාව චූන් කරන වැඩ කිරීමයි. ඉතිං, දැන් ණය ගෙවන්න වෙලා තියෙන්නේ එම ණයවලින් ජනනය වන ආදායමකින් නොව, එදිනෙදා දේවලට වියදම් කිරීමට තිබෙන විදෙස් මුදල්වලිනි.