Skip to main content

ඩාම් වෙන ඩූම් වෙන ඩොලර් හා රුපියල් 1

 ලංකාවේ මේ දිනවල ඩොලර් හිඟය නිසා බොහෝ අර්බුද ගනනක් නිර්මානය වී ඇත. විදෙස් විනිමය ගැන දැනුමක් ඔබට තිබේ නම්, නූතන සමාජයේ තවත් ගැඹුරු පැතිකඩක් මැනවින් තේරුම් ගැනීමට එය රුකුලක් වනු ඇත. පාලකයන්ගේ නූගත්කම නිසා හෝ හොර මජරකම නිසා හෝ ඒ සම්බන්දනයෙන් පවසන පට්ටපල් බොරු තේරුම් ගැනීමටත් මෙම දැනුම ඉවහල් වේ. එනිසා මා කල්පනා කලා ඒ ගැන තරමක් විස්තරාත්මකව ලියන්නට. 

මේ ගැන ඉතා සංකීර්නව කතා කිරීමට හැකි වුවත් සුපුරුදු පිරිදිම මාගේ බලාපොරොත්තුව පාසල් ලමයකුට වුවද ඕනෑම සංකීර්න දෙයක් තේරුම් ගැනීමට හැකි ලෙසට පියවරින් පියවර ඒ ගැන පැහැදිලි කිරීමටයි. එනිසා බැලූබැල්මට සංකීර්න වුවත්, සම්පූර්නයෙන්ම ඔබට මේ ගැන වැටහීමටක් ඇති කර ගැනීමට හැකියි ඔබේ විෂය ක්ෂේත්‍රය කුමක් වුවත්.

මිනිසුන්ගේ විවිධ අවශ්‍යතා හා වුවමනා (needs and wants) සපුරා ගැනීමට මිනිසුන් විවිධ භාණ්ඩ (goods) හා සේවා (services) පරිභෝජනය කරනවානෙ. ඉතිං මෙම භාණ්ඩා හා සේවා නිපදවා, ඒවා මිනිසුන් වෙතට ගෙන ගොස් විකුනා දමන විට එම නිෂ්පාදකයන්ට හා වෙළඳුන්ට මුදල් (money) ලැබෙනවා. සමහරවිට කෙනෙකු භාණ්ඩයක් හෝ සේවාවක් තවත් භාණ්ඩයක් හා සේවාවක් සඳහා හුවමාරු කළද හැකියි අවශ්‍ය නම්. මෙලෙස, භාන්ඩ හා සේවා තවත් භාන්ඩ හා සේවා සඳහා හුවමාරු කිරීම bartar system ලෙස හැඳින්වෙනවා. ආදි කාලයේ වෙලඳාම සිදු වූ එකම ආකාරය එය වුවත්, අද වන විට බාටා සිස්ටම් වෙනුවට මුදල් තමයි බහුලව භාවිතා වන්නේ. ඇත්තටම අදටත් භාන්ඩයක් තවත් භාන්ඩයකට හුවමාරු වන ක්‍රමය සාර්ථකව භාවිතා වන අවස්ථා ඕන තරම් තිබෙනවා. ආර්ථික සම්බාදක පවතින අවස්ථාවල රටවල් එම සම්බාදක අභිබවා යන එක් ක්‍රමයක් වන්නේද මෙයයි (මේ ගැනත් පසුව කෙටියෙන් බලමු).

ඉතිං, මුදල් ක්‍රමයත් අද දක්වා ක්‍රමයෙන් විකාශනය වෙමින් දියුනු වෙමින් ආපු එකක්. මුල් කාලයේ මුදල් ලෙස දුර්ලභ වස්තුන් භාවිතා වූවා. ඔබ දන්නවා යම් දෙයක් දුර්ලභ නම්, එහි වටිනාකම ඉහල යනවා. කලුගල්වලට වඩා දියමන්ති වටින්නේ එනිසානෙ. කලුගල් තරමටම දියමන්තිත් පොලොව මත තිබුනා නම්, අද අපේ වතු සරසන්නේ තිරවාන ගල් සමඟ දියමන්ති ගල්වලින් වෙන්න පුලුවන්. ඉතිං, රත්තරං, රිදී වැනි දුර්ලභ (එනම් වටිනා) ලෝහවලින් සෑදූ කාසි (coins) මෙලෙස මුදල් ලෙස භාවිතා වූවා. රිදී කාසි, රන් කාසි ගැන ඔබ අසා ඇතිනෙ.

කාලයත් සමඟ රජු (එනම් රාජ ආණ්ඩුව) මෙම මුදල් ගනුදෙනුවලට බලපෑම් කරන්නට වූවා. එය සාධාරණය. සමාජයේ එක් එක් වෙලෙන්දාට හෝ පුද්ගලයාට ඕන ඕන විදියට මුදල් වර්ග හඳුන්වා දීමට හෝ පිලි ගැනීමට හෝ නොපිලිගැනීමට අවස්ථාවක් දුන් විට එතැන ඉබේම ඇති වන්නේ වියවුලක්නෙ. එනිසා, රජුගේ යම් මුද්‍රා සහිතව මුදල් කාසි හඳුන්වා දුන්නා. මෙම මුදල්වල රජුගේ මුද්‍රාව තිබුනත් නැතත් ඒවා ඇත්තටම වටිනවා මොකද ඒවා හදල තිබෙන්නේ රන් රිදී වැනි ද්‍රව්‍යයකින් නිසා.

මෙලෙස කාලය යද්දී යම් දෙයක් තේරුම් ගියා. එනම්, ආන්ඩුව කියන දේ රටේ නීතිය බැවින්, මිනිසුන් එය පිලිගැනීමට සූදානම් බැවින්, රන් රිදී වැනි වටිනා ලෝහ (noble metals) වෙනුවට තඹ වැනි එතරම් නොවටිනා ලෝහ (base metals) වලින් මෙම මුදල් කාසි නිපදවීමයි. ඒ කියන්නේ ඉස්සර යම් රන් කැබැල්ලක් ගෙන එය “300ක් වටිනවා“ යැයි වටිනාකමක් ඊට පිලිගත් විදියටම දැන් යම් තඹ ලෝහ කැබැල්ලක් ගෙන එයත් “300ක් වටිනවා“ යැයි රජු නියම කලා. ඇත්තටම එතැන ලෝහ වටිනාකම “1ක්“ විය. එහෙත් රජුගේ නියෝගය නිසා එය “300ක්“ වටිනවා යැයි සම්මතයට මිනිසුන් පැමිනියා. මෙම මුදල් fiat money ලෙස හැඳින්වෙනවා.

මෙහිදී තවත් ගැටලුවක් මතු වෙනවා නේද? රාජපක්ෂ, කබ්රාල් පරම්පරාවේ ආදි මුතුන් මිත්තන් කල්පනා කරන්නට ඇති තමන් අවට තිබෙන නොවටිනා තඹ කැබැලිත් මෙලෙස වටිනා කාසි බවට හොරෙන් ඉදිරිපත් කරන්නට. ඒ කියන්නේ හොර සල්ලි අච්චු ගහන්න උත්සහ කලා. එය මඟ හැරීමට තිබෙන එක ක්‍රමයක් වූයේ සාමාන්‍ය අයෙකුට පහසුවෙන් එය කළ නොහැකි පරිදි විවිධ සංඛේත/මුද්‍රා සහිතව එය සිදු කිරීමයි. එවිට රජුට අයත් “මුදල් හදන කම්හලේ“ පමනයි එම කාසි එකම ප්‍රමිතියෙන් සෑදිය හැකි වූයේ (එසේ වූයේ යැයි සිතමු). ඔබ අතේ තිබෙන කාසියක් ගෙන බලන්න එය කොතරම් සියුම්ව නිපදවා තිබෙනවාද කියා.

මේත් සමඟම ලෝහ වෙනුවට කඩදාසිවලින්ද මුදල් (notes) ඉදිරිපත් කිරීමට පටන් ගත්තා. ඊට ප්‍රධාන හේතුවක් වූයේ නිෂ්පාදන වියදම අඩු වීම හා භාවිතය පහසු වීමයි. මේ අනුව අද වන විට කාසි හා නෝට්ටු වශයෙන් ලෝකයේ මොන රටෙත් මුදල් භාවිතා වෙනවා.

ඉතිං, ඉහත මා කෙටියෙන් ඉදිරිපත් කල ආකාරයට ලෝකයේ සෑම රටකම පාහේ එම රට තුල භාවිතාව සඳහා තම තමන්ගේ කාසි හා නෝට්ටු නිපදවා භාවිතා කලා. එහෙත් රටක් තව රටවල් සමඟ ගනුදෙනු කරන විට විශාල ගැටලුවක් මතු වෙනවා දැන් මොකද එක් රටක මුදල් ඒකකයක් තවත් රටක් එලෙසම පිලිගැනීමට සූදානම් නැත. ඊට ප්‍රධාන හේතුව කුමක් යැයි ඔබ සිතන්නේද?

හිතන්න ලංකාව තමන්ගේම මුදල් නිපදවනවා තමන්ට අවශ්‍ය පරිදි. ඉතිං චීනෙන් යම් භාන්ඩ තොගයක් ගැනීමට අපි කියනවා චීනෙට අපේ රුපියල් ගනිං කියා. ලංකාවේ අය වන අපට රුපියල් පිලිගැනීමට හැකි නම් චීනෙටත් පිලිගත හැකියිනෙ. නේද? මොහොතකට සිතමු චීනෙ කැමති වූවා කියා. එවිට, චීනෙන් විශාල බඩු තොගය අපට එවයි. ලංකා රජයට මේ මොහොතේ ඊට ගෙවීමට රුපියල් කොල අතේ නැති නම්, අජිත් නිවාඩ් කරන්නේ ටක්ගාලා කොලයි තීන්ත බාල්දියි අරං ගිහිං අර බඩුවලට අවශ්‍ය කරන රුපියල් ටික අච්චු ගැසීමයි (මිනිහ දක්ෂ මුදල් අච්චු ගැසීමට නිසා). එම සල්ලි චීනෙට ලබා දෙයි. ඉතිං, මේ ආකාරයට ඕනෑම රටකින් හෝ අවශ්‍ය නම් දිව්‍ය ලෝකෙන් පවා අනන්ත ගණනක බඩු ලංකාවට ගෙන්වා ගෙන අපට සල්ලි අච්චු ගගා ගෙවිය හැකියිනෙ. සමහරවිට මෙලෙස පිටරටින් ගෙනන බඩු අතර අර සල්ලි අචුචු ගාන්න ගන්න තීන්ත, කොල, ප්‍රින්ටර් පවා තිබිය හැකියි. එය මාර කෙලියක් වනු ඇත. එය කිසිසේත් ප්‍රායෝගික නොවන බව දැන් පැහැදිලියිනෙ.

ඒ අනුව එක රටක් තවත් රටක මුදල් ඒකකය එලෙසම පිලිගැනීමට සූදානම් නැත. ඒ සඳහා ජාත්‍යන්තර මට්ටමේ සම්මුතිවල අවශ්‍යතාව මතු වේ. කෙසේ වෙතත්, මේ සඳහා තවමත් පැරනිම මුදල් ක්‍රම නම් යොදා ගත හැකිය. එනම්, ලංකාවෙන් යවන යම් භාන්ඩ හා සේවා තොගයකට චීනෙන් ඊට සරිලන තවත් භාන්ඩ හා සේවා තොගයක් එවිය හැකියි. උදාහරන ලෙස, ලංකාවෙන් රබර් යවන විට චීනෙන් එම වටිනාකමට සරිලන සහල් එවිය හැකියි. ඊටත් අමතරව, රත්තරං ලෝහය මුදල් ලෙස භාවිතා කල හැකියි මොකද රත්තරං යනු ලෝකයේ හැම තැනටම එක ලෙස (දල වශයෙන්) පොදු හා විරල වටිනාකමක් සහිත ලෝහයක් නිසා.

ඉහත කෙටි සටහන් ඔලුවේ තබා ගෙන දැන් අපි විමසමු විදෙස් මුදල් හුවමාරුව ගැන. අද වන විට සෑම රටකටම තමන්ගේම මුදල් ඒකකයක් ඇත. ලංකාවේ එය ලංකා රුපියල්ය. ඉන්දියාවේ ඉංදියානු රුපියල්ද, ජපානයේ යෙන්ද, ඇමරිකාවේ ඩොලර්ද, ආදි වශයෙන් වේ. රටවල් කිහිපයක් එකම නමින් මුදල් ඒකකයක් භාවිතා කල හැකි නිසා, ඒවා වෙනස් බව පෙන්වීමට රටේ නමද මුදල් ඒකකය සමඟ පැවසීමට සිදු වේ. ඒකනේ ලංකාවේ රුපියල්, ඉංදියාවේ රුපියල් කියා පැවසුවෙ. එලෙසම ඩොලරයද, ඇමරිකානු ඩොලරය, සිංගපූරු ඩොලරය, ඔස්ට්‍රෙලියානු ඩොලරය, කැනේඩියානු ඩොලරය ආදි ලෙස හැඳින්වීමට සිදු වේ.

සෑම රටක්ම ඉංග්‍රිසි අක්ෂර දෙකක කෙටි කේතයකින් හැඳින් වේ (එය ජාත්‍යන්තර සම්මතයක්). ඒ අනුව ලංකාව LK ද, ඇමරිකාව US ද, ඉංදියාව IN ද, ජපානය JP ද, බ්‍රිතාන්‍ය GB ද, චීනය CNද ලෙස සංකේතවත් කෙරේ. මෙම කෙටි සංකේත ඇසුරින් දැන් එම රටේ මුදල් ඒකකයද සංකේතවත් කල හැකිය. ඒ අනුව ලංකාවේ රුපියල් LKR ද, ඇමරිකානු ඩොලරය USD ද, ඉංදියානු රුපියල INR ද, ජපන් යෙන් JPY ද, බ්‍රිතාන්‍ය පවුම් GBP ද, චීන යුආන් CNY ආදි ලෙස පවතී.

ඉස්සර යුරෝපයේ එක් එක් රටවලටද තමන්ගේම තනි තනි මුදල් ඒකක පැවතිනි. ඒ අනුව ප්‍රංශයට ෆ්‍රෑන්ක්, ජර්මනියේ ඩොයිෂ්මාක්, ඉතාලියේ ලීරා ආදිය පැවතිනි. එහෙත් එම රටවල් සමූහයක් (යුරෝපා සංගමය) එකතු වී සාකච්ඡා කොට තම රටවල් සමූහය වෙනුවෙන් තනි මුදල් ඒකකයක් මෑතකදී හඳුන්වා දුනි. එය යුරෝ (EURO) වේ. එහි කෙටි සංකේතය EUR වේ. ඒ අනුව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ග්‍රීසිය ආදි රටවල් ගනනාවක්ම දැන් භාවිතා වන්නේ එකම යුරෝ මුදල් ඒකකයි.

සෑම රටකම තමන්ගේ මුදල් ඒකකය පාලනය කිරීමට සුවිශේෂි බලය සහිත රාජ්‍ය ආයතනයක් ඇත. එය බොහෝ රටවල “මහා බැංකුව“ (central bank) ලෙස හැඳින් වේ. තම රටේ මුදල් ඒකකය යහපත් අයුරින් පවත්වාගෙන යෑමට, අවශ්‍ය නම් මුදල් අච්චු ගැසීමට ආදී පුලුල් බලතල ඊට ඇත. ඊටත් අමතරව, රට තුල ආර්ථිකයට වැදගත් වගකීම් රාශියක් මහා බැංකුව විසින් සිදු කරයි. ලංකාවේ එය ශ්‍රී ලංකා මහා බැංකුව (central bank of sri lanka) ලෙස හැඳින් වෙන අතර, ඇමරිකාවේදී එය Federal Reserve ලෙස හැඳින් වේ. යුරෝ මුදල් ඒකකය එලෙස පාලනය කිරීමට යුරෝපීය මහා බැංකුවක් පිහිටා ඇත.

එක කරුනක් පලමුවෙන්ම මතක තබා ගත යුතුව ඇත. එනම්, යම් රටක් තුල භාවිතා කරන මුදල් ඒකකය හසුරුවන්නේ කොහොමද කියා තීරනය කරන්නේ එම රටේ ආන්ඩුව හා මහා බැංකුව පමනි. ඕනෑ තරම් මුදල් අච්චු ගැසීමට ඔවුනට හැකිය. එය වැලැක්වීමට ඇති එකම ක්‍රමය අමු පිස්සන් ජනපති, අගමැති, මුදල් ඇමති, මහා බැංකු ප්‍රධානි/අධිපත් ආදි තනතුරුවලට පත් නොකර සිටීමයි. සිම්බාබ්වේ රටේ එවැනි අමු පිස්සන් පත්ව උන් කප්පරක් සල්ලි අච්චු ගැසීය. මිනිසුන්ට සල්ලි අතේ ගැවසුනේ සල්ලි ගෝනිවලිනි. එච්චරට සල්ලි! මරු නේද? ලංකාවට ලගදීම ගෝටා හා කබ්රාල් එවැනි තත්වයක් උරුම කර දීමට කටයුතු කරමින් සිටී. හැටනවලක්ෂියන්ලාට එය සුභාරංචියක් වනු ඇත. බැලූබැල්මට මරු යැයි සිතුනත් ඇත්තටම එය “මරු පහරකි“. එනිසයි ඒ ඒ රටවල් හිතුමතේ සල්ලි අච්චු ගාන්නේ නැත්තේ. ඒ ගැනත් කෙටියෙන් ඉදිරියේදී විමසමු. 

අපේ කතාවට වේදිකාව දැන් සකසා ඇත. ඉදිරි ලිපිවලින් මුලින්ම රටක් තුල බැංකු ක්‍රමය හරහා මුදල් හුවමාරු වන විදියත්, ඉන්පසු රටකින් රටකට එය සිදු වන විදිහත් විමසමු. අවසානයේ ක්‍රිප්ටො කරන්සි ගැනත් විමසා බලමු.



Comments

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...

ඉලෙක්ට්‍රෝනික්ස් II (Electronics) - 6

විශේෂ ප්‍රතිරෝධක ඉහත සාකච්ඡා කළ නියත හා විචල්‍ය ප්‍රතිරෝධක හැරුණහම , තවත් සුවිශේෂී ජනප්‍රිය ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ද තිබෙනවා . මේවා ආලෝකය , උෂ්ණත්වය වැනි විවිධ භෞතික රාශින්ට සංවේදී ප්‍රතිරෝධකයි . මේ අතරින් සුලභම වර්ගය තමයි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක වර්ගය . මේවා ප්‍රකාශ - ප්‍රතිරෝධක (photoresistor) හෝ “ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක” (Light Dependent Resistor – LDR) ලෙස හැඳින් වෙනවා . එහි සාමාන්‍ය භාහිර හැඩය පහත දැක්වේ .   මෙම ප්‍රතිරෝධයේ හිස මත තිබෙන්නේ ආලෝකයට ඉතා සංවේදී කැඩ්මියම් සල්ෆයිඩ් (CdS), ලෙඩ් සල්ෆයිඩ් (PbS), කැඩ්මියම් සෙලිනයිඩ් (CdSe) ආදී යම් රසායනික ද්‍රව්‍යයකි . එම ද්‍රව්‍යයන්වල ඉතා ඉහල ( බොහෝවිට 500k ohm වැනි ) ප්‍රතිරෝධි අගයන් තිබේ . එහෙත් ඒ මතට ආලෝකය වැටෙන විට , ප්‍රතිරෝධි අගය සීඝ්‍රයෙන් පහළ යයි ( බොහෝවිට ඕම් 500 වැනි ). මෙහිදී කිව යුතු වැදගත් කරුණ නම් , ඉහත සඳහන් කළ ( හා නොකළ ) ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය එකම ආකාරයෙන් ආලෝකයට සංවේදී නොවේ . සමහර ඒවා “ආලෝකයේ රතු පැත්තට” ( ඒ කියන්නේ දිගු තරංග ආයාම සහිත ආලෝකයට ) සංවේදිතාව දක්වන අතර , තවත් සමහර ඒවා “ආලෝකයේ නිල් / ද...