Skip to main content

Dark clouds and silver linings

Today I heard about a grand wedding of an Indian tycoon (Ambani's son) from a friend of mine, and he showed me some videos of it too. He said famous and powerful people from around the world have been invited to it, and the cost of the event was going to be several Billions (of Indian Rupees or USD, I don't know). If you think about it, India is a country with a higher population of substandard living conditions. There are innocent and miserable children who are forced to work for a mere subsistence, being deprived of education, health facilities, and food and water. I remember a movie based on a true story in which Akshey Kumar was playing the leading role where he makes sanitary towels (pads) for poor women who could not afford it. In such a country, a single wedding event spends billions of money. What a crappy world we are living! You could imagine how much wealth this family has amassed. On the other, this "mental disease" of exorbitant spending must be highly we

ඩාම් වෙන ඩූම් වෙන ඩොලර් හා රුපියල් 2 කොටස

ලියන්නට සිතා නොසිටි කරුනකින් අද ලිපිය පටන් ගන්නට සිතුනි. ඒ ඉල්ලුම් (demand) සැපයුම් (supply) ක්‍රියාවලිය ගැනයි. කවුරුත් ඉල්ලුම් සැපයුම් න්‍යාය ගැන කතා කරනවනෙ. ඇත්තටම ඉල්ලුම් සැපයුම් ක්‍රියාවලිය න්‍යායක් (theory) බවට පත්ව ඇත්තේ එහි ඇති වාස්තවික සත්‍යතාව (පොලොව මත සැබැවින් දක්නට ලැබෙන සත්‍යයක්) නිසාය. එය ඇත්තටම ජීවී හැසිරීමකි. එනයින් බලන විට, ඉල්ලුම් සැපයුම් ක්‍රියාවලිය ජීව විද්‍යාත්මක වේ ආර්ථික විද්‍යාත්මක වනවාට වඩා.

සිතන්න ඔබ කඩේට අඹ මිලදී ගන්නට යනවා කියා. කඩකරු කිව්වොත් අඹ ගෙඩියක් රුපියල් 100යි කියා, ඔබ එය මිල දී ගන්නවාද? සාමාන්‍ය කෙනෙකු නම් ඔහුගෙන් සාමාන්‍ය තත්ව යටතේ එම අඹ මිල දී නොගනීවි ගනන් වැඩියි කියා. එහෙත් අසාමානය පුද්ගලයකු හෝ අසාමාන්‍ය තත්ව යටතේ එය මිල දී ගැනීමටත් පුලුවන. උදාහරණ ලෙස, සිරිපාද කන්ද නඟින විට, සියලු භාන්ඩවල මිල අසාමාන්‍ය ලෙස මිල ඉහල බව ඔබ අත්දැකීමෙන් දන්නවා. එය අසාමාන්‍ය තත්වයක් නිසා හටගත් එකකි. එලෙසම, ඔබ සුපිරි ධනවතකු වූවා නම්, එවිටත් ඔබ එම අඹ රුපියල් 100ට හෝ ඊටත් අධික මිලට මිල දී ගනීවි. ඒ අසාමාන්‍ය පුද්ගලයකු නිසා හටගත් එකකි.

සමාජ ක්‍රියාවලින්වලදී (ආර්ථික විද්‍යාව වැනි) අසාමාන්‍ය තත්ව ගැනත් සැලකිලිමත් වුවත් පොදු න්‍යායන් සාදන්නේ සාධාරන අවස්ථාවල සාධාරන මිනිසුන් හැසිරෙන හැටි පදනම් කරගෙනයි.

සාමාන්‍ය ඔබ සාමාන්‍ය පරිසරය/තත්වය යටතේ ඉහත රුපියල් 100ට අඹ විකුනන අවස්ථාවේදී හැසිරෙන්නේ කෙසේද? එකවරම ඔබට සිතෙන්නේ එය ගනන් වැඩි බවයි. ඔබ එය ගනන් වැඩි බව දන්නේ කෙසේද? 

ඔබට ඉවෙන් මෙන් බොහෝ දේවල වටිනාකම ගැන තක්සේරුවක් ඇත. ඇත්තටම එය ඉවකට වඩා අතීත අත්දැකීම් (හා දැනුම) පදනම් කරගෙන ඇති වූවකි. මීට පෙර ඔබ හෝ සමීපයකු අඹ ගත් මිල දල වශයෙන් හෝ ඔබට මතකයක් තිබිය හැකියි. එම හැඟීමට අනුවත් ඉහත අඹයේ මිල තවමත් අධිකයි නේද? 

බඩු මිල ඉහල යෑමේ වේගය හෙවත් උද්ධමනය (inflation) නිසා කාලයත් සමඟ සාමාන්‍යෙයන් බඩු මිල ඉහල යා හැකි බවත් ඔබ දන්නවා. එහෙත් කෙටි කාල පරාසයක් තුල විශාල ලෙස බඩු මිල සාමාන්‍යෙයන් ඉහල යන්නේ නැත නන්දසේන වැනි වැඩ බැරි ජනපතිවරු පත් නොවන්නේ නම්.

ඊටත් අමතරව මිල තීරණය කරන තවත් පිලිවෙලක් ඇත. එනම්, ඔබ තවත් කඩයකින් අඹ මිල විමසා බලනවා. එහෙත් එම කඩයත් අර පුද්ගලයාගේම හෝ ඔහු සමඟ මිල සාකච්ඡා කර පොදු මිල කලින් නියම කර ගත් කෙනෙකු නම්, එවිටද ඔබට නියම මිල සොයා ගත නොහැකි වනු ඇත. සමහර විට එම ටවුමේ සිටින සියලු වෙලඳුන් මෙලෙස තනි ඉහල මිලක් තීරනය කර තිබිය හැකිය. එවිට, ඔබට තරමක ඈත තැන්වලින් අඹ මිල සෙවීමට සිදු වේ. විධිමත්වත් අවිධිමත්වත් සිදුවන මෙම ක්‍රියාවලිය නිසා අඹවල ඇත්තටම එම කාලයේ වටිනාකම ඔබට සොයා ගත හැකි වෙනවා. ඔබ බඩු ගන්නා හැටි විමසා බලන්න.

ඉහත විස්තරය අනුව යම් භාන්ඩයක් හෝ සේවාවක් සඳහා ඒකාධිකාරයක් (monopoly) තිබීම යෝග්‍ය නොවන්නේ ඇයිදැයි සිතා ගත හැකි විය යුතුය. ඒකාධිකාරයකදී තමන් විසින් තමන්ගේම ශාකා හා පුදගලයන්/ඒජන්තයන් හරහා මිලදී ගැනීම හෝ විකිනීම සිදු වේ. එවිට, මිල තීරණය කරන්නට තමන්ටම හැකිය. සාමාන්‍යෙයන් භාන්ඩයක/සේවාවක මිල එහි නිෂ්පාදන වියදමට තමන්ගේ යම් ලාභ තීරුවක් එකතු කරලනෙ පවතින්නේ. එම භාන්ඩය/සේවාව විකුනන තවත් පිරිස් සිටින විට, එක් ව්‍යාපාරිකයෙක් ඉතා අධික ලාබ තීරුවක් ඊට එකතු කර ඉහල මිලකට භාන්ඩු විකුනන විට, ඉබේම ඔහුගේ බඩු මිල දී ගැනීම අඩු වී ගොස් ඉබේම ඔහුව ව්‍යාපාරවලින් ඉවත් වේ. එහෙත් ඒකාධිකාරයකදී තරගකරුවන් නැති නිසා, ඔහු නියම කරන ඕනෑම මිලකට බඩු ගැනීමට පාරිභෝගිකයාට සිදු වේ. අද වන විට නන්දසේන ආන්ඩුව ටයිල්වලට අනියමින් ඒකාධිකාරයක් තමන්ගේ ගජමිතුරාට සකසා දී තිබේ. අද ටයිල් මිල එනිසා ඉතා අධික වී තිබේ.

ඒකාධිකාරයක් විවිධාකාරයෙන් බිහි කර ගත හැකිය. පහසුම හා ත්‍රාඩම ක්‍රමය වන්නේ එය දූෂිත පාලකයන් ලවා නීතියෙන්ම ඇති කර ගැනීමයි. එනම්, ආන්ඩුව නීති රෙගුලාසිවලින්ම එක් පුද්ගලයකුට පමනක් ඒ දේ කිරීමට අවසර ලබා දෙනවා. ඒ කෙනා පෞද්ගලික වූ විට වංචා සිදු වීමට අවස්ථාව වැඩිය. සමහර රාජ්‍ය සේවා රජය විසින් පමනක් සිදු කරනවා. එයත් ඒකාධිකාරයක් වුවත් ලාභ අරමුනු නොකර සිදු කරන දේවල් නිසා අවාසියක් සිදු නොවේ.

තවත් ක්‍රමයක් නම්, මුදල් විසි කළ හැකි තරමේ ධනවතකු විසින් යම් භාන්ඩයක් හෝ සේවාවක් එහි නිෂ්පාදන වියදමටද වඩා අඩු මිලට වෙළඳපොලට නිකුත් කිරීමයි. මෙලෙස කාලයක් කරගෙන යන විට, අනෙක් තරගකරුවන්ගේ බඩු වෙනුවට මෙම ලාබ බඩු ගැනීම නිසා අනෙක් ව්‍යාපාර බංකොලොත් වී යනවා. එවිට කාලයකට පසුව ඉතිරි වන එකම ව්‍යාපාරිකයා තමන් වෙනවා. එවිට, පරන පාඩුත් එක්කම මිල විශාල ලෙස ඉහල නංවා අධික ලාබ ලැබිය හැකි තත්වයකට පත් වෙනවා. එහෙත් මෙය සාධාරන වෙලඳ නීතී යටත් බොහෝ රටවල නීති විරෝධි වේ. එනිසා අනෙක් ව්‍යාපාරිකයන්ට අවස්ථාව තිබෙනවා උසාවි ගොස් අර බලු වැඩේ කරන ව්‍යාපාරිකයාව නවතන්නට. 

තවත් ඒකාධිකාරයක් ඇති කර ගත හැකි ක්‍රමය නම්, උපක්‍රමිකව එම බඩුව විකුනන සියලු ව්‍යාපාර එක ව්‍යාපාරිකයකු විසින් මිලදී ගැනීමයි. ලංකාවේ ටයිල්වලට සිදු වූයේ මෙයයි (ඊට අමතරව නන්දසේන නීතියෙන්ද ඔහුට සහන ලබා දී තිබෙනවා).

ඒ අනුව ඉල්ලුම වැඩි වන විට මිල ඉහල යෑමත් සැපයුම අඩුවන විට මිල ඉහල යෑමත් යනු ඉල්ලුම් සැපයුම් න්‍යාය ලෙස කෙටියෙන් හඳුනා ගත්තත්, ඒ සංකල්පය ඊට වඩා පුලුල් පරාසයකට දිගහෙලි කල හැකි බව පැහැදිලියි. ඇත්තටම විදෙස් විනිමයද මෙම ඉල්ලුම් සැපයුම් න්‍යායට නිරන්තරයෙන් මුහුන දෙනවා වෙනත් භාන්ඩ හා සේවාවලටත් වඩා. සාමාන්‍යයනේ අඹ හෝ සිමෙන්ති මිල දවසක් තුල ලොකු වෙනසක් නොවුවත්, විදෙස් විනිමය විනාඩි හෝ තත්පර ගනන් වැනි සුලු කාල සීමා තුල පවා විචලනයට ලක් වේ.

දැන් බලමු ඔබ කොහොමද මුදල් මඟින් භාන්ඩ හා සේවා පරිභෝජනය සඳහා වටිනාකම ගෙවන්නේ කියා. ඔබට පඩි මඟින් හෝ තම පවුලෙන් හෝ වෙනත් අයගෙන් ලැබෙන දීමනා මඟින් හෝ හොරකම් කිරීමෙන් හෝ බිම තිබී ඇහිදීමෙන් හෝ ආදි ලෙස නොයෙක් ක්‍රමවලින් අතට මුදල් (රුපියල්) ලැබේ. රාජපක්ෂ පවුලේ ඩේසි ආච්චිට නම් කවුදෝ පිරිසක් ඇවිත් ආච්චිගේ අතට මැනික් මල්ලක් ලබා දී, නැවත වෙලාවක තවත් පිරිසක් ඇවිත් එම මැනික් මල්ල අරගෙන ඒ වෙනුවට සල්ලි මල්ලක් අතට දී ගොස් තිබේ. එම සල්ලිවලින්ලු රාජපක්ෂ පුතෙකුට සුවිසල් මන්දිරයක් අරං දී තිබෙන්නේ. අපේ කරුමෙට ඩේසි ආච්චිලා අපට සිටියේ නැත.

එලෙස ලැබෙන මුදලට භාන්ඩ හා සේවා මිල දී ගැනීමට හැකියාවක් හෙවත් ක්‍රය ශක්තිය (buying power) ඇත. ඔබට හැකියි වෙලෙන්දකුට මුදල් ගෙවා භාන්ඩය හෝ සේවාව ලබා ගන්නට. එය හරි සරලයිනෙ. හරි.

දැන් සිතන්න ඔබ කොහොමද කෙනෙකුට මුදලක් දෙන්නේ කියා. එයට ක්‍රම ගනනාවක් පවතී. සරතම ක්‍රමය වන්නේ ඉහත කියූ ලෙසට කාසි හා නෝට්ටුවලින් එම මුදල ඔහුගේ අතට ලබා දීමයි. ඊට අමතරව, ඔබට මුදල් යම් පිලිගත් ක්‍රමවේදයකින්ද යැවිය හැකිය. ඒ කියන්නේ ඔහුගේ බැංකු ගිනුමකට මුදල් දැමීම, ඊසී කෑෂ් වැනි ක්‍රමයකින් මුදල් යැවීම, තැපැල් ඇනවුමකින් (money order) මුුදල් යැවීම මේ අතර වේ. අද වන විට, Visa හා Mastercard යන ජාත්‍යන්තර ආයතන තමන්ගේ වීසා හා මාස්ටර් කාඩ් හරහාද එකිනෙකාට මුදල් යැවීමට හා ගැනීමට අවස්ථාව ලබා දී ඇත (තවම ලංකාවේ මෙය ක්‍රියාත්මක නොවේ).

හරි, අපි බලමු ඔබ විසින් මිතුරකුට කොහොමද බැංකු ගිනුමක් හරහා සල්ලි යවන්නේ හෙවත් ප්‍රේෂනය (remit) කරන්නේ කියා. බැංකු හරහා මුදල් හුවමාරු වීම ගැන තමයි මෙම ලිපි පෙලෙහි ප්‍රමුක අරමුනත්. ලංකාව උදාහරනයට ගෙන මා මෙය පැහැදිලි කරන්නම්. මෙහිදී අවස්ථා (cases) කිහිපයක් මා සලකන්නම් (සරල සිට සංකීර්න අවස්ථාව දක්වා).

1. ඔබ හා මිතුරා දෙදෙනාම එකම බැංකුවේ ගිනුම් හිමියන් නම්. 

මෙවිට, ඔබ කරන්නේ ලඟම ඇති අදාල බැංකු ශාකාවට ගොස් ඔබේ බැංකු පොතේ දැනට තිබෙන මුදලින් අච්චර මුදලක් මිතුරාගේ ගිනුමට යවන ලෙස උපදෙස් දීමයි. එවිට, ගිනුම් දෙකම එකම බැංකුවේ පරිගනක ජාලය තුල පවතින බැවින්, ක්ෂනිකවම ඔබේ ගිනුමෙන් එම සංඛ්‍යාව අඩු කර මිතුරාගේ ගිනුමට එම සංඛ්‍යාව එකතු කරයි. බැංකුවට එය සිම්පල් වැඩක්. තත්පරයකින් එම මුදල් යැවීම සම්පූර්න වේ.

ඇත්තටම අද වන විට, ඔබට මේ සඳහා බැංකු ශාකාවකට යෑමටද අවශ්‍ය නැත. සන්නිවේදන තාක්ෂනයේ දියුනුව නිසා පරිගනකයේ හෝ ස්මාට් ෆෝන් එකේ තිබෙන යම් සොෆ්ට්වෙයාර්/ඇප් එකකින් එය ඕනෑම තැනක සිට සිදු කර ගත හැකියි. එහෙත් සිදු වන්නේ ඉහත දේමයි. එනම් ඔබේ ගිනුමෙන් සංඛ්‍යාවක් අඩු කර අනෙකාගේ ගනුමේ එම සංඛ්‍යාව එකතු කිරීමයි. online banking, sms banking, telephone banking, internet banking ආදි නම්වලින් මෙම දුරස්ථ බැංකු සේවා හැඳින්වේ.

2. ඔබ හා මිතුරා දෙදෙනා සිටින්නේ බැංකු දෙකක නම්.

බැලූබැල්මට මෙහිදිත් ඔබ කරනනේ ඔබේ බැංකුවට ගොස් හෝ ඔන්ලයින් ක්‍රමයකින් අර විදියටම මිතුරාගේ ගිනුමට සල්ලි යැවීමයි. ඔබට එය එක වගේ දැනුනත්, ඉහත අවස්ථාවට වඩා මේ අවස්ථාව සංකීර්න වේ. ඊට හේතුව මිතුරාගේ ගිනුම තිබෙන්නේ වෙනත් බැංකුවක පරිගනක ජාලයක් තුලය. එම ජාලයට ඇතුලු වීමට ඔබේ බැංකුවට බැරිය (හරියට ඔබේ ගෙදර ටීවී එකේ චැනල් වෙනස් කරන්නට අල්ලපු ගෙදර එකාට ඉඩ දෙන්නෙ නැහැ වගේ). මෙම ගැටලුව නිරාකරනය කරගන්නේ කෙසේද?

ඉස්සරම කාලේ මේ සඳහා බැංකු සියල්ලම එකතු වී යම් ගිවිසුම්වලට එලඹුනා. එම ක්‍රියාවලිය බැලූ බැල්මට සරලයි ලස්සනයි. එහෙත් වියදම් අධිකයි. එම ක්‍රියාවලිය කුමක්දැයි කෙටියෙන් විමසමු.

හිතන්න A, B, C යැයි බැංකු තුනක් ලංකාව තුල තිබුනා කියා. මෙවිට, එක් එක් බැංකුව අනෙක් බැංකුවල ගිනුම බැඟින් විවෘත කරනවා හරියට ඔබ අපි ගිහින් බැංකුවක ගිනුම් විවෘත කරන්නා සේ. මෙම ගිනුම් NOSTRO ගිනුම් ලෙස හැඳින්වෙනවා. එවිට, A බැංකුව විසින් B බැංකුවට ගොස් B බැංකුව තුල නොස්ට්‍රො ගිනුමක්ද C බැංකුව වෙතට ගොස් C බැංකුව තුල නොස්ට්‍රො ගිනුමක්ද විවෘත කරනවා. එලෙසම, B බැංකුවත් A හා C බැංකු දෙකට ගොස් ඒ දෙකෙහි නොස්ට්‍රො ගිනුම බැඟින් විවෘත කරනවා. එලෙසම C බැංකුවත් අනෙක් බැංකු දෙකෙහි වෙන වෙනම නොස්ට්‍රො ගිනුම බැඟින් විවෘත කරනවා. 

තවද, සෑම බැංකුවක්ම තමන් වෙනත් බැංකුවල පවත්වාගෙන යනු ලබන නොස්ට්‍රො ගිනුම්වල කාබන් කොපි ගිනුමක් වෙන වෙනම තමන් විසින්ද පවත්වාගෙන යනවා. ඒ අනුව, A බැංකුව තුල පවතින B බැංකු නොස්ට්‍රො ගිනුමේම 100%ක් සමාන ගිනුමක් B බැංකුවද තමන්ගේ බැංකු ජාලය තුල පවත්වාගෙන යනවා. කන්නාඩියක් (mirror) ඉදිරියට ගියහම 100% සමාන රූපයක් එහි දිස් වෙනවානෙ. එම අර්තයෙන්ම මෙම ගිනුම් කොපිය mirror account ලෙස හැඳින් වෙනවා. මෙලෙස සෑම බැංකුවක්ම වෙනත් බැංකුවල පවතින තම නොස්ට්‍රො ගිනුම්වල මිරර් ගිනුම් තම බැංකුව තුලද පවත්වනවා. ඔරිජිනල් (එනම් නොස්ට්‍රො) ගිනුම වෙනස් වන සෑම වාරයකදීම ඊට අදාල මිරර් ගිනුම තුලද එම වෙනස් කම එලෙසම සිදු කරනවා.

දැන් වැඩේ ගොඩ. නිකංම ගිනුම් විවෘත කලාට මදිය. මේ සෑම නොස්ට්‍රො ගිනුමකම යම් මුදලක් තැන්පත් කර පවත්වාගෙන යා යුතුය. නැතිනම් ගිනුමෙන් කරන්නට යන වැඩේ ඉටු නොවේ. මොකක්ද කරන්නට යන මේ ජිල්මාට් එක?

මා ඉන්නේ A බැංකුවේය. මිතුරාගේ ගිනුම තිබෙන්නේ B බැංකුවේය. දැන් මා කරන්නේ මෙයයි. මගේ බැංකුවට ගොස් පෙර පරිදිම මා උපදෙස් දෙනවා මගේ ගිනුමෙන් අච්චර මුදලක් B බැංකුවේ මගේ මිතුරාගෙ අහවල් ගිනුමට යවන ලෙස. 

එවිට මගේ බැංකුව කරන්නේ මගේ ගිනුමෙන් එම මුදල අඩු කර මගේ A බැංකුව විසින් පවත්වාගෙන යන B බැංකු නොස්ට්‍රො ගිනුමට එම මුදල එකතු කිරීමයි. 

 

මෙය එවෙලෙහිම B බැංකුව දකිනවා මොකද B බැංකුව තුල තිබෙන අදාල මිරර් ගිනුම තුල එම වෙනස සිදු වන නිසා. නිකමට සිතන්න ඔබේ ගිනුමට විශාල මුදලක් ඔබ නොදන්න විදියකින් ආවොත් කුමක් සිතේවිද? සතුටක් වගේම කුතුහලයක් එනවනෙ මේ සල්ලි කොහෙන්ද ආවේ කියා. අන්න ඒ දේ B බැංකුවට සිදු වන්නේ නැත. ඊට හේතුව B බැංකුව දන්නවා මේ එන්නේ තම බැංකුවේ සිටින කාට හරි ආ මුදලක් බව. ඉතිං A බැංකුව අරම ගිනුම් අගයන් වෙනස් කරනවා හෙවත් UPDATE කරනවාට අමතරව B බැංකුවට පොඩි උපදෙසක්ද එවනවා. එම උපදෙසින් කියන්නේ මෙම මුදල් ප්‍රමානය ඔබේ බැංකුවේ අහවල් ගිනුම් අංකයට එකතු කල යුතු බවයි.

 

ඔබ ගිනුම්කරනය ගැන සුලුවෙන් හෝ දැනුවත් නම් ඔබ දන්නවා යම් ගනුදෙනුවකදී හර කිරීමක් හා බැර කිරීමක් යන දෙකක් එකවර සිදු වෙනවා. ඉහත A බැංකුව සැලකූ විට, මගේ ගිනුමෙන් මුදල් ඉවත් කර හෙවත් බැර කර, B බැංකු ගිනුමට එම මුදල එකතු කර හෙවත් හර කරනවා. 

මෙහිදී මා හර (debit) - බැර (credit) යන වචන යොදා ගත්තේ බැංකු පාරිභෝගිකයාගේ (එනම් මගේ) කෝනයෙන් බව වටහ ගන්න. එහෙත් බැංකුව පැත්තෙන් එය ප්‍රතිවිරුද්ධ වේ. එනම්, මගේ මුදල් බැංකුවේ තැන්පත් කරන විට, එම බැංකු ගිනුම මගේ වත්කමක් (asset) වුවද, බැංකුවට එය වගකීමක් (liability) වේ. මෙය සාමාන්‍ය උදාහරනයකින් කියතොත් මගේ ළඟ තිබෙන මුදල මට වත්කමක් වුවත්, එය මා එන තුරු ඔබ ළඟ තබා ගන්න යැයි ඔබට දුන් විට එම මුදල ඔබට වගකීමක්  බවට පත් වේ (යාලුවා එන තුරු එය ආරක්ෂා කර ගැනීමේ වගකීම දැන් ඔබට ඇත). එනිසා, මගේ පැත්තෙන් සලකන විට මගේ වත්කම අඩු වීම බැර වීමක් වුවත්, බැංකුව පැත්තෙන් එය වගකීමක් අඩු වීමක් නිසා එය හර වීමක් ලෙස සැලකේ.

බැංකු ගිනුම් පමනක් නොව, දුරකතන සේවා සපයන ආයතන, විදුලි බල මන්ඩලය ආදි නොයෙක් සේවා සපයන ආයතනවලත් පාරිභෝගිකයා වෙනුවෙන් ගිනුමක් පවත්වාගෙන යනවානෙ. එහිදිත් අප ඔවුන්ට මුදල් (බිල) ගෙවනවා යනු ඔවුන් පවත්වාගෙන යන අපේ ගිනුමට සල්ලි දමනවා හා සමානය. එවිට, එය ඒ ආයතනයේ කෝනයෙන් බලන විට, අප විසින් මුදල් ගෙවීම බැර කිරීමක් ලෙස සැලකේ. එනිසායි ප්‍රී පේඩ් සෙල්‍යුලර් කනෙක්ෂන්වලදී “ක්‍රෙඩිට්“ දානවා හෝ ක්‍රෙඩිට් නැහැ ආදි ලෙස ක්‍රෙඩිට් යන වචනය යොදා ගන්නේ. ඒ කියන්නේ අපි මුදල් දී රීලෝඩ් එකකින් හෝ කාඩ් එකකින් සල්ලි දාන විට, අපේ එම මුදල එම ආයතනයේ වගකීමක් ලෙස වැඩි වේ හෙවත් බැර වේ හෙවත් ක්‍රෙඩිට් වේ. 

මෙලෙස පාරිභෝගිකයා හා බැංකුව යන කෝනය අනුව හර හා බැර යන වචන දෙක මාරු වන නිසා තමයි හර හා බැර යන ශාස්ත්‍රිය වචන දෙක වෙනුවට මා උවමනාවෙන් “එකතු වෙනවා“, “අඩු කරනවා“ වැනි සාමාන්‍ය වචන භාවිතා කරන්නේ මෙම විස්තර තුල. සාමාන්‍යයෙන් අදාල ආයතනයේ කෝනයෙන් තමයි මෙම වචන දෙක ව්‍යවහාර වන්නේ (පාරිභෝගිකයාගේ කෝනයෙන් නොවෙයි). එයත් මතක තබා ගැනීම බිල්පත් ආදිය කියවීමේදී තේරුම් ගැනීමට පහසුවක් ලැබේවි. එනිසා, මමත් බැරි වෙලාවත් අඩු කරනවා එකතු කරනවා යන වචන වෙනුවට හර කරනවා බැර කරනවා යන වචන යොදා ගතහොත් මෙම සම්මත ක්‍රමයටයි එම වචන දෙක මාද යොදනු ඇත්තේ.

හරි, දැන් B බැංකුව තුල සිදුවන හර-බැර ගිනුම් දෙක මොනාද? A බැංකුව විසින් එහි ඇති B බැංකු නොස්ට්‍රො ගිනුමට මුදල් එකතු කරන විට මා ඉහත පැවසුවා B බැංකුව ඉක්මනින්ම එය දකිනවා කියා එම නොස්ට්‍රො ගිනුමට අදාල මිරර් ගිනුම මඟින්. ඉතිං, B බැංකුව තම මිරර් ගිනුමෙහි සිදු වූ එම වෙනස්කමට අනුව, B බැංකුව විසින් පවත්වාගෙන යනු ලබන A බැංකු නොස්ට්‍රො ගිනුමෙන් මුදල් අඩු කර, මිතුරාගේ ගිනුමට එම මුදල එකතු කරනවා. අන්න එලෙසයි හර-බැර ක්‍රියාව B බැංකුව තුල සිදු වන්නේ.

 

ඒ අනුව, A බැංකුවේ ඇති යම් පාරිභෝගික ගිනුමකින් B බැංකුවේ ඇති යම් පාරිභෝගික ගිනුමකට සල්ලි යවන විට, ඉහත සමස්ථ ක්‍රියාවලියේ අවසන් ප්‍රතිපලය වූයේ A බැංකුවේ ඇති B බැංකු නොස්ට්‍රො ගිනුමට සල්ලි එකතු වීමත්, B බැංකුවේ ඇති A බැංකු නොස්ට්‍රො ගිනුමින් එම මුදල අඩු වීමත්ය. බැලූ බැල්මට A බැංකුවෙන් සල්ලි B බැංකුවට ගොස් ඇත. එහෙත් ඇත්තටම බැංකු දෙකට එලෙස සල්ලි යැවීමට ඕන කමක් තිබුනේ නැත. ඕන කම තිබුනේ මටයි මගේ මිතුරාටයි. ඒ අනුව, බැංකුව සත්‍ය ලෙසම කර තිබෙන්නේ අප දෙදෙනාගේ ගිනුම්වල සල්ලි එහා මෙහා යැවීමයි. එහිදී බැංකු දෙක අතරමැදියන් සේ ක්‍රියා කර තිබේ. එච්චරයි. මෙම අතරමැදි සේවාව වෙනුවෙන් බැංකු දෙකම යම් ගාස්තු අය කරයි. ඒ ඔවුන්ගේ ලාභ තීරුවයි. එම ගාස්තු අය කරන්නේද මගෙන් හා මිතුරාගෙන්ය (බොහෝවිට මුදල් යවන්නාගෙන් පමනයි, එනම් මගෙන්ය).

මෙලෙස හැකියි නේද දැන් රට තුල සිටින ඕනම බැංකුවක ගිනුමකින් වෙනත් ඕනෑම බැංකු ගිනුමකට සල්ලි යවන්න? ඔව්. එහෙත් මෙය මිල අධික ක්‍රමයක්. ඒ කොහොමද? මෙය ප්‍රායෝගිකව සිදු වීමට නම්, බැංකු එකිනෙකාගේ නොස්ට්‍රො ගිනුම්වලට විශාල මුදල් තැන්පතු තැබිය යුතුය. 

බැංකුවක් යනු පාරිභෝගිකයන් දහස් ගනනක් සිටින තැනක්නෙ. ඉතිං විවිධ මුදල් ප්‍රමානයන් විශාල පිරිසක් විසින් එලෙස බැංකු අතර ප්‍රේෂන සිදු කළ හැකියි. නිකමට සිතන්න ඉහත උදාහරනය තුල මගේ මුදල මිතුරාට යවන්නට හදන විට B බැංකුව තුල තිබෙන A බැංකු නොස්ට්‍රො ගිනුම තුල ප්‍රමානවත් තරම් මුදල් නොතිබුනා කියා. දෙන්නම් කාසිවලට බැංකු මුදල් යවන්නේ නැත. එවිට, අදාල බැංකු ගනුදෙනුව නතර වේ. එය බැංකුකරණයට හොඳ දෙයක් නෙමේ. එවැන්නක් වැලැක්වීමට පරන දත්තද පරදනම් කර ගෙන යම් විශාල මුදල් ප්‍රමානයක් ඒ ඒ නොස්ට්‍රො ගිනුම්වල පවත්වාගෙන යෑමට බැංකු වග බලා ගත්තා. ඉහත උදාහරනයේදී තිබුනේ බැංකු 3ක් පමනි. බැංකු දුසිම් ගනනක් තිබෙන විට එකිනෙකා අතර නොස්ට්‍රො ගිනුම්ද දුසිම් ගනනක් පවත්වාගෙන යෑමට සිදු වෙනවනෙ. එවිට මේ සියල්ලටම විශාල මුදල් කන්දරාවක් තැන්පතු වශයෙන් තැබීමට සිදු වෙනවා. එය මෙම ක්‍රමයේ ඇති විශාල දෝසයක් වූවා. මීට විසඳුම කුමක්ද?

විසඳුම කියන්නට පෙර තවත් රසවත් දෙයක් කීමට ඇත. ඉහත ආකාරයට බැංකු අතර නොස්ට්‍රො ගිනුම් පවත්වාගෙන යන විට, කාලයත් සමඟ එම ගිනුම්වල සල්ලි හිඟ වීම හෝ අතිරික්ත පැවතීම අනිවාර්යෙන්ම සිදු වේ. එය වැලැක්වීමට සතියකට සැරයක් පමන බැංකු විසින් මදි පාඩු සල්ලි නැවත තැන්පත් කරනවා වාගේම අතිරික්ත සල්ලි බැංකු ගිනුමෙන් අරගෙන යයි. මෙය ඇත්තටම ඔබ අපි බැංකුවට සල්ලි දාන්න හෝ ගන්න යනවා සේම ඒ ඒ බැංකු නියෝජිතයන් ඒ ඒ බැංකුවලට ගොස් සිදු කරයි. මා දන්නා පරිදි, සමහර රටවල සෑම බැංකුවකම ප්‍රධාන මූලස්ථානය අගනුවර තිබිය යුතු යැයි නීති තිබිලා තිබේ. ඊට හේතුව විශාල මුදල් මෙලෙස එහා මෙහා යන නිසා, කෙටි දුරකින් එම ප්‍රවහනය සිදු කර ගත හැකි වීමෙන් මුදල් මංකොල්ල කෑම් සිදු වීම පාලනය කිරීමට ඉන් පහසුවක් සැලසීමයි.

ඊළඟ ලිපියෙන් අපි බලමු ඉහත ගැටලුවට විසඳුම.