Skip to main content

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 103

ඉතා උසට ඇන්ටනා පිහිටුවන විට, නිකංම (සිහින්) ලෝහ පයිප්පයක් පමණක් සිටුවීමේ අපහසුතාවක් පවතිනවා. ඕනම ඇන්ටනාවක් උස වැඩි වන්නට වන්නට එහි පොලොවට සවි වන පාදම (base) ඉතා ශක්තිමත්ව සෑදිය යුතුය. පෙලොවේ ඇත්තේ බුරුල් පසක් නම් ඇන්ටනා බම්බුව වැඩිපුර පොලොව යටට යැවීම සුදුසුයි මෙන්ම, ඇන්ටනා පාදමේ ක්ෂේත්‍රඵලයද වැඩි වීම සුදුසුය (ලිහිල්/බුරුල් පසක ශක්තිමත්ව යමක් පිහිටුවන ඕනෑම විටක වැඩි ක්ෂේත්‍රපලයක් සහිතව හා ගැඹුරින් සවි කිරීම කළ යුතුය). කොන්ක්‍රිට්වලින් එය තවත් ශක්තිමත් කළ හැකියි.


තවද, ඇන්ටනාවේ උස වැඩි වන විට (හා එහි මුදුනේ රඳවන ඇන්ටනා බර වැඩි වන විට), සමහරවිට තනි බටයකින් වැඩේ සාර්ථක නොවන්නට හැකියි. විශේෂයෙන් ඇන්ටනා බටේ උස වැඩි විට සුලඟට එය පැද්දේ. මෙවිට තනි ඇන්ටනා බම්බුවක් වෙනුවට දුරකථන කුලුනු ආකාරයට (ඊට වඩා කුඩා හා සරල) antenna tower එකක් සෑදිය හැකිය. එය වියදම් අධිකය. වැඩිපුර බරක් ඉසිලීමට ටවර් එකට හැකි වීම තවත් වාසියකි.


තනි බම්බුවක් භාවිතා කරන්නේ නම් (හෝ ටවර් එක වුවද සිහින් නම්), එය සුලඟට පැද්දීම අවම කර ශක්තිමත් කිරීමට ඇන්ටනාවේ මුදුන් කොටස්වල සිට ඇලට ශක්තිමත් කම්බි (guy wires/lines හෝ නිකංම guy ලෙස මෙම කම්බි හැඳින්වේ) තුනක් (අංශක 120 බැඟින් කෝණ පරාස සහිතව) හෝ හතරක් (අංශක 90 බැඟින්) සමාන කෝණවලින් වටේට ඇදිය හැකිය. මේ සඳහා තරමක විශාල ඉඩකඩක් යනවා. ඔබ ඕනෑ තරම් ගයි දැක ඇති ලයිට් කනුවලට සවි කර තිබෙනවා.


ඇන්ටනා උස වැඩි වන්නට වන්නට සමහරවිට (ඇන්ටනාවේ වටේට ගයි 3ක් හෝ 4ක් සවිකරනවාට අමතරව), ඇන්ටනාවේ විවිධ උස මට්ටම්වලින්ද ගයි සවි කළ යුතු වෙනවා. උදාහරණයක් ලෙස පහත දැක්වෙන්නේ ටවර්/ගයි සවි කරන එක්තරා ආයතනයක ප්‍රමිතයකි (කාරණය පැහැදිලි කිරීම සඳහා මෙම ප්‍රමිතිය මෙහි දැක්වේ). අඩි 40, 60 ආදි ලෙස විවිධ උස ප්‍රමාණයන්ට අවශ්‍ය ගයි සම්බන්ද කරන ආකාරය එහි දැක්වේ. පහත රූපයේ දැක්වෙන්නේ වටේට සවි කරන ගයි 3 හෝ 4න් එකක් පමණි; මේ විදියටම අනෙක් වටේ ගයිද සවි කළ යුතුය. මෙයින් පැහැදිලි වන්නේ දළ වශයෙන් අඩි 40කට වඩා උස කනුවලටයි ගයි අවශ්‍ය වන්නේ.


මෙම ගයි කම්බි බොහෝවිට වානේ කේබලයක් විය හැකිය. එක් එක් ගයි එකට අවශ්‍ය දිග ගණනය කර ගත හැකියි පයිතගරස් ප්‍රමේයය යොදාගෙන (පයිතගරස් ප්‍රමේයයයෙන් ලැබෙන අගයට වඩා අඩි කිහිපයක් වැඩිපුර ගත යුතුයි මොකද දෙකෙළවරදී සම්බන්ද කරන්නටත් තිබෙන නිසා). උදාහරණයක් ලෙස ඉහත රූපයේ අඩි 40 අවස්ථාවට අදාලව ගයි වයරයේ ඇල දිග ගණනය කරමු. ඊට පයිතගරස් ප්‍රමේයය දැමූ විට ඇල දිග වන්නේ (302 + 352) = අඩි 46කි. ඊට වඩා අඩි 2ක් පමණ ගත් විට එය අඩි 48කි.

ලයිට් කනුවක ගයි කේබලය බලන්න. ගයි කේබල් ඉතා තදට (tension) බඳිනවා. එනිසා ඒවා එකවර ගැලවී ගියොත් ස්ප්‍රිං එකක් මෙන් එහෙට මෙහෙට විසි වේවි. එනිසා ගයිද සවි කළ යුත්තේ පාරේ කරන්ට් ලයින්වලට ගයි වයරය විසි වී වැදීමට නොහැකි තරම් දුරකින් විය යුතුය. තවද ඒවා සමඟ පරිස්සමින් වැඩ කළ යුතුද වෙනවා.

කෙසේ වෙතත්, බොහෝවිට ඔබේ ඇන්ටනාව සඳහා ගයි අවශ්‍ය නොවේවි (ඇන්ටනාව එතරම් උස නොවන නිසා). අවශ්‍ය නම්, ශක්තිමත් ප්ලාස්ටික්/නයිලෝන් කඹ භාවිතා කළ හැකියි ගයි ලෙස. එහි ප්‍රශ්නය වන්නේ ප්ලාස්ටික් කාලයත් සමඟ දිරා පත් වේ.

සටහන
ප්ලාස්ටික් කාබනික ද්‍රව්‍ය මෙන් ඉතා ඉක්මනින් දිරා පත් නොවූවත්, සූර්යාලෝකයේ තිබෙන පාරජම්බූල කිරණවලට ඕනෑම ප්ලාස්ටික් (පොලිමර්) වර්ගයක් දිරාපත් වේ (ඒකනෙ අව්වෙ තැබූ වර්ණවත් ප්ලාස්ටික් කාලයත් සමඟ වර්ණ ෆේඩ් වී අතින් ඇල්ලුවහම කුඩු බවට පත් වන්නේ; නයිලෝන් කඹ වුවද දිරාපත් වූ පසු කුඩු බවට පත් වේ).

මෙම දිරාපත් වීම නවත්වා ගත හැකියි ප්ලාස්ටික් මතුපිට පාරජම්බූලවලට ඔරොත්තු දෙන තීන්ත හෝ ආලේපනයක් ගැල්වීමෙන්.

ඉතිං, ගයි වයර් ලෙස යොදා ගන්නා ප්ලාස්ටික් කඹයෙත් එලෙස තීන්ත ආලේප කළොත් (තීන්ත එකක ඔබා ගත් විට), එය ඉතා ලාභ ගයි කේබලයක් ලෙස පාවිච්චි කළ හැකි වේවි. එහෙත් එක් දෙයක් හොඳින් සිහිතබා ගත යුතුය. එනම් කේබලය සවි කරන විට එහි ඕනෑම තැනක තීන්ත ආලේපය ඉවත් වුවොත් එතැනට සූර්යාලෝකය වැටී දුර්වල වෙනවා. එවිට එතැනින් කේබලය කැඩී යනවා. ඔබ දන්නවා කේබලයක/දම්වැලක ශක්තිය සම්පූර්ණයෙන්ම තීරණය වන්නේ එම දම්වැලේ තිබෙන දුර්වලම පුරුක මතයි (එය ඇත්තටම ඉංග්‍රිසි කියමනකි - a chain is as strong as its weakest link).

ගයි වයරය ඇන්ටනා මාස්ට් එකේ ඉහල කෙලවරේ සම්බන්ද කරනවානෙ. එවිට ගයි කේබලයේ කොටස් ඇන්ටනාවේ නියර්ෆීල්ඩ් එක තුල නම් තිබෙන්නේ එය සංඥා දුර්වල කිරීමකට හේතු වියද හැකියි (නියර්ෆීල්ඩ් එකේ තිබෙන ද්‍රව්‍ය විසින් සංඥා දුර්වල කරනවා). ගයි කේබලය ලෝහමය නම් සංඥා දුර්වල වීම වැඩි විය හැකියි. එනිසා නියර්ෆීල්ඩ් එකට හසු නොවන මායිමක හැකි නම් ගයි කේබලය සම්බන්ද කරන්න.

ඇන්ටනාවක් පිහිටුවන ස්ථානද වැදගත්ය. එය හැකිතරම් තමන්ගේ ආධුනික ගුවන් සේවා උපකරණ තිබෙන ස්ථානයට (shack) ළංව පිහිටීම සුදුසුය. එසේ වුවත්, ඇන්ටනාවෙන් විකිරණ හානි ඇති විය හැකි නිසා, මිනිසුන්ගෙන් ඈත් වීමද සුදුසුය. මෙතැන මිනිසුන් කිව්වේ ඔබ හෝ ඔබේ පවුලේ උදවිය පමණක් නොව, අසල්වැසියන්ද ඊට ඇතුලත්ය. අනෙක් එවුන්ට හෙන ගැහුවත් මොකෝ යැයි සිතන උන්ද නැත්තේ නොවේ. විශේෂයෙන්ම විකිරණ හානි ගැන මිනිසුන් දැනුවත්ද නැති නිසා ඔවුන් තමන්ගේ ගේ අසල අල්ලපු වත්තේ සිටුවා තිබෙන ප්‍රබල ඇන්ටනාව නිකිංම ටීවී ඇන්ටනාවකට සමාන යැයි සිතාවි; ඔවුන්ගේ එම අසරණකමින් හා නොදැනුවත්කමින් වැරදි ප්‍රයෝජන නොගත යුතුය.

හැකි නම් අහිංසක සතුන්ද (විශේෂයෙන් කුරුල්ලන්) ඉන් ආරක්ෂා කිරීමට හැකි සෑම පියවරක්ම ගැනීම ඉතා වටිනවා. මෙහිදී ප්‍රායෝගික ප්‍රශ්න තිබේ (උන්ට විකිරණ හානිය ගැන කියා දීමට බැරි නිසා). කුරුල්ලන් ආදිය බය කිරීමට විවිධ දිලිසෙන පටි වැනි දේවල් ඇන්ටනාවට ආසන්නයේ තිබීම සුදුසු නැත (සම්ප්‍රේෂක ඇන්ටනාවේ නියර්ෆීල්ඩ් එකේ විවිධ ද්‍රව්‍ය තිබීම ඇන්ටනා සංඥාව දුබල කිරීමට එය හේතුවක් වේවි). ඒ වෙනුවට ඇන්ටනාව අසල (ඇන්ටනා බම්බුවේ උඩ ස්ථානයක) PIR (passive Infrared) sensor පරිපථයක් සවි කර කුරුල්ලෙකු ඇන්ටනාව අසලට එන විට තරමක ශබ්දයක් නිකුත් කරන ඉතා සරල පරිපථයක් සවි කළ හැකියි. අතිධ්වනි තරංග (ultrasound) පරිපථද අත්හදා බැලිය හැකිය (කාලයක සිට මඳුරුවන්, කුරුල්ලන් ආදී සතුන් එලවා දැමීමට මෙම තාක්ෂණය අත්හදා බලමින් සිටිනවානෙ).

එනිසා ඇන්ටනාව නිවස්/කාමර/නිතර ගැවසෙන ස්ථාන වලින් මීටර් කිහිපයක්වත් ඈතින් සවි කරන්න. අවශ්‍ය පමණ අඩි ගණනක් එලෙස ඈත් කළ නොහැකි නම්, ඇන්ටනා බටය උස් කළ හැකියි (මෙවිටද ඇන්ටනාව හා පුද්ගලයන් අතර පරතරය වැඩි වෙනවානෙ). මීට පෙර පාඩමකදී ඉගෙන ගත් පරිදි සැලකිය යුතු විකිරණ හානියක් ඇති විය හැකි තත්වයක් තිබේ නම්, එම විකිරණ හානිය පැවතිය හැකි පෙදෙස සුදුසු අවවාදාත්මක බෝඩ් ගසා (හා/හෝ වැටක් ගසා) වෙන් කර, එම පාඩම්වල විස්තර කළ සේ අවශ්‍ය අයව දැනුවත් කරන්න.

ඇන්ටනා ස්ථාපනය කරන විට, එහි මුදුනට පහසුවෙන් ළඟා විය ක්‍රමයක්ද සකස් කළ යුතු වේ. මුදුනට නැඟීමට හැකි උපක්‍රමයක් සෑදිය හැකියි (ටවර් එකක් නම් එය දිගේ නැඟීමට හැකි පරිදි ඉනිමඟක් සෑදිය හැකිය); හෝ ඇන්ටනාව ආරක්ෂිතව බිමට බෑමට හැකියි (අඩුම වියදම හා වැඩිම කරදරය); හෝ ඇන්ටනාව මැදින් නවා හරහාට ඇන්ටනා මුදුන බිමට පහත් කිරීමට හැකි ක්‍රමයට ඇන්ටනා බම්බුවේ මැද කොටස සකස් කළ හැකියි (tilt over antenna mast); හෝ අර රේඩියෝවල තියෙන ආකාරයේ මැදින් කෑලි උස්සා ඇන්ටනාව ඉහලට පහල කිරීමේ ක්‍රමයක් (telescopic mast) හෝ තිබිය යුතුය. අලුත් ඇන්ටනා වර්ග මුදුනේ සවි කිරීමට, තිබෙන ඇන්ටනාවල වෙනස් කම් සිදු කිරීමට ඇන්ටනා මුදුනට ළඟා විය යුතුයිනෙ .


සාමාන්‍යයෙන් එකම ඇන්ටනා බටයට/ටවර් එකට ඇන්ටනා කිහිපයක් සවි කිරීමට සිදු වෙනවා. එක පැත්තකින් ඇන්ටනා බම්බුවට/ටවරයට අමතර බරකි එය (ශක්තිමත්ව ඒවා තිබීම වැදගත්ය). ඊට අමතරව, එක් ඇන්ටනාවක නියර්ෆීල්ඩ් එකේ අනෙක් ඇන්ටනා පැවතියොත් ඉන් සංඥා දුර්වල වීම සිදු වේ (මෙම නියර්ෆීල්ඩ් කතාව බොහෝ වාර ගණනක් නැවත නැවත හමුවන නිසා අප ඇන්ටනාව අවට කරන සෑම ක්‍රියාවකින්ම නියර්ෆීල්ඩ් එක තුල හැකිතරම් දේවල් පැවතීමේ අවම කිරීම වැදගත් බව සිහි තබා ගන්න).

ඇන්ටනා කිහිපයක් තිබෙන්නේ ඇමචර් බෑන්ඩ් කිහිපයක් තිබෙන නිසානෙ. මේ එක් එක් බෑන්ඩ් එකේ මධ්‍ය සංඛ්‍යාතය වෙනස් නිසා ඒ එක් එක් බෑන්ඩ් එකට වෙන වෙනම ඇන්ටනා තිබිය යුතුයිනෙ. එහෙත්, විවිධ උපක්‍රම යොදා ගෙන එකම ඇන්ටනාවක් බෑන්ඩ් කිහිපයක් සඳහා යොදා ගත හැකි පරිදි සකස් කළ හැකිය (එහෙත් මෙවැනි ඇන්ටනාවල කාර්යක්ෂමතාව නම් අඩුයි ඉන් ලැබෙන පහසුව/ලාභය වැඩි වුවත්). මෙවැනි ඇන්ටනා multi-band antenna ලෙස හැඳින්වෙනවා.

මල්ටිබෑන්ඩ් උපක්‍රම දෙකක් ගැන කෙටියෙන් බලමු. සමහර ඇමචර් බෑන්ඩ් තිබෙනවා සංඛ්‍යාත පරාසයන් එක ළඟ තිබෙන. මෙවිට එම බෑන්ඩ් කිහිපයම ආවරණය කළ හැකි පරිදි බ්‍රෝඩ්බෑන්ඩ් හෝ අල්ට්‍රාබ්‍රෝඩ්බෑන්ඩ්/අල්ට්‍රාබෑන්ඩ් ඇන්ටනාවක් භාවිතා කළ හැකියි. එය පළමු උපක්‍රමයයි. දෙවැනි උපක්‍රමයේදී ඇන්ටනා ඩයිපෝලයේ යම් කුඩා පරිපථ කොටසක් යොදාගෙන බෑන්ඩ් කිහිපයක් වැඩ කළ හැකි තත්වයට ඇන්ටනාව පත් කළ හැකියි (මොහොතකින් මෙම උපක්‍රමය විස්තරාත්මකව බලමු).

ඉතිං, ඇන්ටනා කිහිපයක් තිබුණත් සාමාන්‍යයෙන් ඉන් එක ඇන්ටනාවකි වරකට භාවිතා කරන්නේ (හරියට ඔබට සපත්තු කුට්ටම් ගොඩක් තිබුණත් වරකට දමන්නේ ඉන් එක කුට්ටමක් විතරයිනෙ). මෙවිට එක් එක් ඇන්ටනාවේ සිට එන ෆීඩ්ලයින් වයරය ට්‍රාන්සීවර්වලට ගලවා ගලවා කනෙක්ට් කිරීම කරදරයිනෙ. මේ සඳහා ඊට වඩා පහසු ක්‍රමයක් තිබෙනවා. සියලුම ෆීඩ්ලයින් antenna switch හෙවත් antenna switch box එකකට සවි කර, එම ස්විචයෙන් එන එක් වයරයක් පමණක් ට්‍රාන්සීවරයට සවි කරනවා. මෙවිට අපට අවශ්‍ය ඇන්ටනාවට කනෙක්ට් කළ හැකියි ස්විච ඔන් ඕෆ් කිරීමෙන්. ඇන්ටනා දෙකක්, තුනක්, හතරක් ආදී ලෙස විවිධ ඇන්ටනා ගණනක් සවි කළ හැකි ස්විච තිබෙනවා.


සමහර ස්විචවලට ඇන්ටනා කිහිපයක් පමණක් නොව, ට්‍රාන්සීවර් කිහිපයක්ද එකවර සම්බන්ද කළ හැකිය. සෑම ස්විචයක්ම ක්‍රියාකාරි සංඛ්‍යාත පරාසයක් ඇත. ඉතා කුඩා හර්ට්ස් ගණනක සිට ගිගාහර්ට්ස් ගණනක් දක්වා සපෝට් කරන ස්විච ඇත. තවද, සෑම ස්විචයක්ම සපෝට් කරන උපරිම ජව ප්‍රමාණයක්ද ඇත. සාමාන්‍යයෙන් එක් ස්විචයක් විසින් අතිදැවැන්ත සංඛ්‍යාත පරාසයක් සපෝට් කළත්, එහි විවිධ කුඩා සංඛ්‍යාත පරාස සඳහා අනුමත උපරිම වොට් ගණන් වෙනස්ය.

ස්විචයක් හෝ වෙනත් ඕනෑම උපාංගයක් හෝ කනෙක්ටරයක් ඇන්ටනාවේ සිට ට්‍රාන්සීවරය දක්වා ගමන් මාර්ගයේ කොතැන සවි කළත් එය සංඥා හායනයකට මඟ පාදනවා. එනිසා හැකි තරම් අත්‍යවශ්‍ය නොවන අමතර උපාංග හා කනෙක්ටර් ඉවත් කිරීම සුදුසුය. සමහරවිට ස්විචයක් භාවිතා නොකර සිටීම සුදුසු විය හැකිය. මේ කුමන අතරමැද උපාංගයක් ගත්තත් හැකි තරම් හායනය අඩු උපාංගයක් ගැනීම වැදගත්ය (මෙවිට ඒවායේ මිලද වැඩි වේ). ඉතා පිරිසිදු තඹවලින් ලොකුවට සෑදූ හා ඒවා මතුපිටවල් රිදීවලින් ලෝහාලේප කර ඇත්නම් හායනය ඉතා කුඩා වනු ඇත.

ඇන්ටනා ස්විචය කියන්නේ antenna splitter එකකට නොවේ. ස්ප්ලිටරයකින් කරන්නේ (ස්පිලිට් යනු “බෙදා වෙන් කරනවා” යන්නයි) ඊට ලැබෙන සංඥාවේ කොපි කිහිපයක් සාදා වෙන වෙනම යැවීමයි (හරියට ෆොටෝකොපි මැෂිමක් වගේ). එම වෙන වෙනම සංඥා කොපි දැන් වෙන වෙනම රිසීවර් කිහිපයකට යැවිය හැකියි.

මීට අමතරව තවත් වර්ගයක ස්පිලටර් ඇත; මේවායෙන් කරන්නේ යම් කේබලයක් ඔස්සේ එන විවිධ සංඛ්‍යාතයන් පරාස කිහිපයකට කඩා එම පරාසයන් වෙනස් පෝට් හරහා එලියට ලබා දීමයි (adsl splitter මීට හොඳම උදාහරණයකි). මෙම ස්පිලටර්වලින් එකම සංඥාවේ (සංඛ්‍යාත පරාසයේ) කොපි සාදන්නේ නැත.

මේ දෙවැනි වර්ගයේ ස්පිලටරයට විරුද්ධ දේ කරන උපාංගය diplexer ලෙස හැඳින්වේ. combiner ලෙසද එය හැඳින්විය හැකිය (ඇත්තෙන්ම කම්බයිනරයට වඩා වැඩි ගුණාත්මක ගතිලක්ෂන ඩිප්ලෙක්සර් එකකට තිබිය හැකිය). මෙහිදී කේබල් කිහිපයක් ඔස්සේ එන විවිධ සංඛ්‍යාත පරාසයේ සංඥා කිහිපයක් එකම කේබලයක් ඔස්සේ යවනවා තනි සංඥාවක් බවට පත් කරමින් (වෙන වෙනම එන සංඥාවල සංඛ්‍යාතයන් සමාන නොවන බවට වගබලා ගත යුතුය; නැතිනම් සංඥා එකිනෙකට කලවම් වී විකෘති වේවි).

ඇත්තටම විවිධාකාරයේ ස්පිල්ටර්, කම්බයිනර්, ඩිප්ලෙක්සර් උපකරණ මිල දී ගත හැකියි සේම සාදා ගතද හැකියි.

Comments

Popular posts from this blog

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

ඉලෙක්ට්‍රොනික්ස් III (Electronics) - 20

Tunnel Diode Esaki නම් ජපන් ජාතිකයා විසින් මෙය සොයා ගත් නිසා මෙම ඩයෝඩය එසාකි ඩයෝඩය ලෙසද හඳුන්වනවා . මෙම සොයා ගැනීමත් සමගම ඔහු විසින් ක්වන්ටම් ටනල් ආචරණයද සොයා ගත් නිසා නොබෙල් ත්‍යාගය පවා ඔහුට ලැබුණා . ක්වන්ටම් ටනල් ආචරණය සෙනර් ඩයෝඩයේදී දක්නට ලැබුණා මතකද ? මෙම ඩයෝඩයත් ක්වන්ටම් ටනල් ආචරණය මත පදනම්ව සාදා ඇති නිසාම ඊට ටනල් ඩයෝඩය ( උමං ඩයෝඩය ) යන නම ලැබී තිබෙනවා . එහි සංඛේතය පහත දැක්වේ .   සාමාන්‍ය ඩයෝඩයක මෙන්ම පී හා එන් කැබැලි දෙකකින් සෑදූ සන්ධියක් ඇත . එහෙත් සාමාන්‍ය ඩයෝඩයකට වඩා ඇති වෙනස නම් , එම අර්ධසන්නායක කොටස් ඉතා අධිකව මාත්‍රණය කර තිබෙනවා ( සාමාන්‍ය ඩයෝඩයකට වඩා ලක්ෂ ගුණයක් පමණ ). එවිට අර්ධසන්නායක කොටස් දෙකෙහිම යහමින් ආරෝපණ වාහක තිබෙනවා ( සාමාන්‍ය සන්නායකයක් වගේම ). එහි ප්‍රතිඵල දෙකක් තිබෙනවා . එකක් නම් , පෙර නැඹුරු කළ විට උමං ආචරණය සිදු වීම . දෙවැන්න නම් , පසු නැඹුරු කළ විට සාමාන්‍ය සන්නායකයක් ලෙස ක්‍රියා කිරීම . මේ දෙක දැන් සලකා බලමු . පෙර නැඹුරු කළ විට , උමං ආචරණය නිසා සුපුරුදු ඩයෝඩ ක්‍රියාකාරිත්වය නොදක්වයි . ඒ කියන්නේ 0 සිට වෝල්ටියතාව වැඩි කර ගෙන යන විට , ධාරාවද ක...