Skip to main content

ලිනක්ස් ඉගෙන ගමු (Linux) - 27

Mobile phone පරිගණකයට සම්බන්ධ කිරීම

අද තිබෙන ඕනෑම මොබයිල් ෆෝන් එකක් ලින්කස්වලට සම්බන්ධ කළ හැකියි. ඉහත දැක්වූ ලෙස බ්ලූටූත් ඊට භාවිතා කළ හැකියි. USB කේබල් එකක් භාවිතා කිරීමටද හැකියි. කෙසේ වෙතත්, බ්ලූටූත්වලට වඩා කේබල් එකක් භාවිතා කිරීම යෝග්‍ය විය හැකියි. ඊට හේතුව කේබල් එකකින් කනෙක්ට් කර තිබෙන විට, එය වඩා වේගවත් වන අතර, කනෙක්ෂන් එක වඩා විශ්වාසනීය (ශක්තිමත්) වේ. සාමාන්‍යයෙන් USB සොකට් වර්ග තුනක් ඇත. පරිගණකයට ප්ලග් කරන විශාල වර්ගය normal USB වේ. ඊට වඩා කුඩා එක mini USB , ඊටත් වඩා කුඩාම එක micro USB ද වේ (පහත රූපය). ෆෝන්වල තිබෙන යූඑස්බී පෝට් එක බොහෝ විට මයික්‍රො යූඑස්බී වේ (මිනි යූඑස්බී තිබෙන ඒවාද ඇත). මා මෙම වචන තුන ඔබට හඳුන්වා දුන්නේ බොහෝ අය මෙම නම් නොදන්නා නිසාය.


ෆෝන් එකක් සම්බන්ධ කළ පමණින් බොහෝවිට වෙනත් කිසිදු අමතර සෙටිං සැකසීමකින් තොරවම එම ෆෝන් එකේ storage (ෆෝන් එකේ අභ්‍යන්තර ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක හා එහි සවිකර තිබෙන භාහිර මෙමරි කාඩ්) පරිගණකයේ පෙන්වයි (සාමාන්‍යයෙන් ෆයිල් හා ෆෝල්ඩර් බලන ආකාරයට caja වලින් බැලිය හැකියි). ඒවා සාමාන්‍යයෙන් ඔටෝ මවුන්ට් වේවි. ඔටෝ මවුන්ට් නොවේ නම්, ඒවා මැනුවලි මවුන්ට් කරන ආකරයත් ඔබ ඉගෙන තිබෙනවා. තවද, බොහෝවිට ෆෝන් එකේ යම් සෙටිං එකක් මේ සඳහා සැකසීමටත් සිදු වේවි (උදාහරණයක් ලෙස, ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්වල USB Mass Storage ලෙස කනෙක්ෂන් මෝඩ් එක සෙට් කිරීමට සිදු වේවි). මෙම ක්‍රමයට ෆෝන් එකක් පරිගණකයකට කනෙක්ට් කළ විට, ෆෝන් එකේ වෙනත් (sms, phonebook, calendar වැනි) ක්‍රියාකාරිත්වයන් සමග වැඩ කළ නොහැකි වේ. කළ හැකි එකම දේ නම්, ෆෝන් එකේ මෙමරිවල තිබෙන ෆයිල් හා ෆෝල්ඩර් සමග වැඩ කිරීම පමණි.

තවත් ආකාරයකින් ෆෝන් එකක් පරිගණකයට සම්බන්ධ කරන විධියක් ඇත. එහිදී ෆෝන් එකේ විවිධ ක්‍රියාකාරිත්වයන් ප්‍රයෝජනයට ගත හැකියි. ෆෝන් එකේ sms කියවීම හා sms යැවීම, ෆෝන්බුක් එක පරිගණකයට කොපි කිරීම හා වෙනස් කිරීම ආදිය කළ හැක්කේ මේ ආකාරයෙන් කනෙ
ක්ට් වූ විටයි. එහෙත් මේ සඳහා ෆෝන් එකත් සමග එම වැඩ සිදුකළ හැකි සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කිරීමට සිදු වේවි (උදාහරණයක් ලෙස, Nokia ෆෝන්වලට PC Suite නම් සොෆ්ට්වෙයාර් එකක් තිබෙනවා වින්ඩොස්වලට). ලිනක්ස් සඳහා මෙවැනි සොෆ්ට්වෙයාර්වල අඩුවක් තවමත් පවතී. ඔබේ ෆෝන් එක සමග එවැනි ලිනක්ස් සොෆ්ට්වෙයාර් එකක් තිබේ නම්, එය ඉන්ස්ටෝල් කරගෙන මෙම ක්‍රමයෙන් ෆෝන් එක සමග ගනුදෙනු කළ හැකියි.

අවසාන වශයෙන්…

ලිනක්ස් යනු අති විශාල පරාසයක අවශ්‍යතා වෙනුවෙන් යොදාගත හැකි මෙහෙයුම් පද්ධතියක් නිසා, ඒ ගැන ඉගෙනීමට බොහෝ දේවල් ඇත. එහෙත් ගෙදරදොරේ හා කාර්යාලවල සාමාන්‍ය භාවිතය සඳහා එතරම් ගැඹුරට ඉගෙනීම අවශ්‍ය නැත. සිතා බලන්න ඔබ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය භාවිතා කළත් ඒ ගැන ගැඹුරු දැනුමක් ඔබට තිබේද? විෂයක් හැටියට පරිගණක විද්‍යාව/ඉංජිනේරුවේදය ඉගෙන ගන්නා හා යොදාගන්නා අයට නම් පරිගණක සම්බන්ධ කොහි දේකත් ගැඹුරට දැන සිටීමට සිදුවිය හැකියි. මා අවසාන වශයෙන් යම් යම් කරුණු කිහිපයක් මෙහි දක්වන්නටයි හදන්නේ. මා මෙම කොටසෙහි කෙටියෙන් කියා දෙන්නේ වැඩිපුර භාවිතා නොකරන දේවල් හා මා පෞද්ගලිකව අනුමත නොකරන සමහර දේවල්ය. එනිසා වැඩි විස්තර සහිතව ඒවා පැහැදිලි කරන්නේ නැත.

WINE හා emulators

වින්ඩෝස් ප්ලැට්ෆෝම් එකක රන් කරන සොෆ්ට්වෙයාර් ලිනක්ස්වල රන් කළ නොහැකි බව ඔබ දන්නවා. එහෙත් එය වුවද කිරීමට හැකි ක්‍රමයක් ලිනක්ස්වල තිබෙනවා. මා පෞද්ගලිකව මෙම ක්‍රමය යොදා නොගන්නේ අප ලිනක්ස් භාවිතා කරන්නට පටන් ගත්තේම ආයෙත් වින්ඩෝස් පෞද්ගලික භාවිතය සඳහා යොදාගන්නේ නැත යන අධිෂ්ඨානයෙන් (එහෙත් කන්තෝරුවල හෝ වෙනත් අවස්ථාවල බොහෝවිට වින්ඩෝස් භාවිතා කිරීමට සිදු වේවි). කුමක් හෝ හේතුවක් නිසා වින්ඩෝස් ප්‍රෝග්‍රැම් ලිනක්ස් මත රන් කිරීමට අවශ්‍ය නම්, WINE යනුවෙන් හැඳින්වෙන සොෆ්ට්වෙයාර් එකක් තිබෙනවා ඒ සඳහා. එය සිනැප්ටික් එකෙන් ඉන්ස්ටෝල් කරගත හැකියි. ඉන්පසු වින්ඩොස්වල රන්වල ප්‍රෝග්‍රැම් ලිනක්ස් මතද රන් වේවි. එහෙත් සෑම වින්ඩෝස් ප්‍රෝග්‍රැම් එකක්ම මෙලෙස රන් වෙන්නේද නැත. විවිධ ප්‍රශ්නද මතුවිය හැකියි.
ඇත්තටම මෙහිදි සිදු වන්නේ වයින් මඟින් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය "බොරුවට තිබෙනවා වගේ පෙන්වීම" (emulation) වේ. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය පමණක් නොව, වෙනත් ඕනෑම මෙහෙයුම් පද්ධතියක් (ප්ලැට්ෆෝම් එකක්) වුවද මෙලෙස එම්‍යුලේට් කළ හැකියි. උදාහරණයක් ලෙස, ඇන්ඩ්‍රොයිඩ් ප්ලැට්ෆෝම් එකද ලිනක්ස්වල එම්‍යුලේට් කිරීමට Android emulators තිබෙනවා. එලෙසම Playstation emulators ද තිබෙනවා. එමඟින් ප්ලේස්ටේෂන්වල ප්ලේ කරන ගේම්ස් පරිගණකය මත ප්ලේ කළ හැකි වෙනවා. ඇත්තටම එවැනි විවිධ emulators ගණනාවක්ම ලිනක්ස්වල තිබෙනවා.

Virtual Machine

පරිගණකයක සොෆ්ට්වෙයාර් මඟින් විවිධ වර්චුවල් උපකරණ (virtual devices) සෑදිය හැකි බව ඔබ දැන් දන්නවා. ඒ විතරක් නොවේ, සොෆ්ට්වෙයාර් මඟින් සම්පූර්ණයෙන්ම පරිගණක පවා සාදා ගත හැකියි. මේවා වර්චුවල් කොම්පියුටර්/මැෂින් ලෙස හැඳින් වෙනවා. එමඟින් ඔබට පුලුවන් ඔබේ ඔය පරිගණකයේ තවත් පරිගණක ගණනාවක් සාදාගන්න. මෙහි ඇති වාසි මොනවාද?
ඔබගේ තනි පරිගණකයේ සාමාන්‍යයෙන් තිබෙන්නේ එක් මෙහෙයුම් පද්ධතියක් විතරයි. ඊට අමතරව තවත් මෙහෙයුම් පද්ධති දමා ගැනීමට අවශ්‍යතාවක් තිබිය හැකියි (ඒවා ගැන ඉගෙන ගැනීමට හෝ යම් යම් වැඩ එම මෙහෙයුම් පද්ධතිවල සිදු කිරීමට). එවැනි අවශ්‍යතාවකට, මෙවැනි වර්චුවල් මැෂින් එකක් යොදාගත හැකියි. උදාහරණයක් ලෙස, ඔබ දැනට මූලිකව පාවිච්චි කරන්නේ ලිනක්ස් මින්ට් නම්, ඔබට වින්ඩෝස් එක්ස්පී ද තිබීම අවශ්‍ය නම්, වර්චුවල් මැෂින් එකක් සාදාගෙන ඊට එක්ස්පී ඉන්ස්ටෝල් කරගත හැකියි. ඉන්පසු එම වර්චුවල් මැෂින් එක සාමාන්‍ය පරිගණකය සමග වැඩ කරන ආකාරයටම මෙහෙයවිය හැකියි. මෙලෙස වර්චුවල් මැෂින් ගණනාවක්ම සාදාගෙන ඒවාවල විවිධ මෙහෙයුම් පද්ධති ඉන්ස්ටෝල් කරගත හැකියි. ඉහතදී විස්තර කළ වින්ඩෝස් එම්‍යුලේටර් භාවිතා කරනවාට වඩා මෙම ක්‍රමය ඉතාම විශ්වාසනීය වේ. එහෙත් මෙහිදී වර්චුවල් මැෂින් එකක් වුවත්, මෙහෙයුම් පද්ධතිය නීත්‍යානුකූලව ලබාගත් එකක් (සල්ලි දී) විය යුතුයි. මෙහි ඇති අවාසිය එයයි. එහෙත් එම්‍යුලේටර්වලදී අමුතුවෙන් මෙහෙයුම් පද්ධතියක් ඉන්ස්ටෝල් කරන්නේ නැති නිසා, එවැනි ගැටලුවක් නැත. ඒ කෙසේ වෙතත්, එම්‍යුලේටර් එකක් මත වේවා වර්චුවල් මැෂින් එකක් මත වේවා, ඔබ රන් කරන ප්‍රෝගෑම්ද නීත්‍යානුකූලව ලබා ගත ඒවා විය යුතුයි.
තවත් වැදගත් කාරණාවක් නම්, සමහර දේවල් "ප්‍රැක්ටිස්" කිරීමට පරිගණක කිහිපයක් අවශ්‍ය විය හැකියි (නෙට්වර්ක් එකක්). එවන් විටක මෙවැනි වර්චුවල් පරිගණක කිහිපයක් සාදාගෙන ඒවා "වර්චුවල් විදියටම" නෙට්වර්ක් කළ හැකියි. මීටත් අමතරව, වර්චුවල් මැෂින් සංකල්පය අද ඉතා දියුණු තත්වයකට පත්ව විවිධ වටිනා කටයුතු සඳහා (cloud computing, virutalization) යොදා ගැනේ.
ලිනක්ස්වල පහසුවෙන්ම වර්චුවල් මැෂින් සාදා ගැනීමට Oracle VM VirtualBox යන සොෆ්ට්වෙයාර් එක භාවිතා කළ හැකියි (පහත රූපය). පහත දැක්වෙන්නේ එය මඟින් මා වින්ඩෝස් එක්ස්පී මෙහෙයුම් පද්ධතිය සහිත වර්චුවල් මැෂින් එකක් සාදා තිබෙන ආකාරයයි. VM VirtualBox ඉන්ස්ටෝල් කරන පරිගණකය host computer (හෝ host operating system) ලෙස හැඳින්වේ. එම හෝස්ට් පරිගණකය මත තමයි මෙවැනි සොෆ්ට්වෙයාර් එකක් ආධාරයෙන් අනෙක් පරිගණක (වර්චුවල් පරිගණක) සාදාගන්නේ. මෙම වර්චුවල් පරිගණකවලට guest computer (guest operating system) යන නම භාවිතා වෙනවා. මෙහිදී ගෙස්ට් පරිගණකය හෝස්ට් පරිගණකය මත තිබෙන තවත් ප්‍රෝසෙස් එකක් පමණි (එනිසා එය වින්ඩෝ එකක් තුල දර්ශනය වේ).

Multiboot (Dual boot)

එකම පරිගණකයේ මෙහෙයුම් පද්ධති කිහිපයක්ම එක්නෙකට ස්වාධීනව ඉන්ස්ටෝල් කර තිබෙන විට, ඊට මල්ට්/ඩුවල් බූට් යන නම ව්‍යවහාර කෙරේ. මෙය එම්‍යුලේට් කිරීමක් හෝ වර්චුවල් මැෂින් හෝ නොවේ. සාමාන්‍ය ලෙසම මෙහෙයුම් පද්ධති දෙකක් හෝ කිහිපයක් එකම පරිගණකයේ ඉන්ස්ටෝල් කර තිබීමයි. මෙය සිදු කිරීම එතරම් අපහසු නැත. පළමුව සාමාන්‍ය පරිදි යම් මෙහෙයුම් පද්ධතියක් ඉන්ස්ටෝල් කළ යුතුයි. ඊළඟට දෙවන මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටෝල් කෙරේ. මෙහිදී දෙවැනි එක ඉන්ස්ටෝල් කරන්නේ පළමු මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටෝල් කර තිබෙන හාඩ්ඩිස්ක් පාටිෂන් එකට නොව, වෙනත් පාටිෂන් එකකටයි. එවිට, පද්ධති දෙකම වෙන වෙනම පාටිෂන් දෙකක පවතී (හරියට ගෙවල් දෙකක පවුල් දෙකක් ජීවත් වෙනවා වාගේ). ඔබට කැමැති ඕනෑම මෙහෙයුම් පද්ධති දෙකක් (හෝ කිහිපයක්) මෙලෙස ඉන්ස්ටෝල් කරගත හැකියි.
මෙහිදී මෙම උපදෙස් හොඳින් පිළිපඳින්න. ඕනෑම වින්ඩෝස් පද්ධතියක් හා ඕනෑම ලිනක්ස් පද්ධතියක් මෙලෙස ඉන්ස්ටෝල් කරන විට, පළමුව වින්ඩෝස් පද්ධතිය ඉන්ස්ටෝල් කර, දෙවනුව ලින්ක්ස් ඉන්ස්ටෝල් කරන්න. ඊට අමතරව, වින්ඩෝස් ඉන්ස්ටෝල් කරපු පාටිෂන් එක ntfs වලින්ද, ලිනක්ස් ඉන්ස්ටෝල් කරපු පාටිෂන් එක ext4 වලින්ද ෆෝමැට් කර තිබිය යුතුයි. ඒ විතරක්ද නොවේ, වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටෝල් කර තිබෙන පාටිෂන් එක ලිනක්ස්වල මවුන්ට් කරන්නට එපා; ලින්ක්ස් පාටිෂන් එක වින්ඩෝස්වල පෙන්වන්නත් එපා (සාමාන්‍යයෙන් වින්ඩොස්වල කොහොමත් ext4 පාටිෂන් හඳුනාගන්නේ නැත). මෙමඟින් බැරිවෙලාවත් අනෙක් පද්ධතියට අවශ්‍ය ෆයිල් මැකී යෑම වැලකී යයි (නැතිනම් සිදුවන්නේ එම පද්ධතිය බූට් කරන්නට බැරි වෙන එකයි). මෙහෙයුම් පද්ධති කිහිපයටම කියවිය/ලිවිය/ෂෙයාර් කළ හැකි පරිදි ෆයිල් සේව් කිරීමට FAT32 ෆයිල් සිස්ටම් එකෙන් ෆෝමැට් කරපු පාටිෂන් එකක් සාදාගෙන එම පාටිෂන් එක සෑම පද්ධතියකම මවුන්ට් කරගන්න. මෙලෙස මල්ටිබූට් සිස්ටම් එකක් ලෙස සාදා ගත් පසු, පරිගණකය ඔන්වන විට ඔබෙන් අසාවි කුමන මෙහෙයුම් පද්ධතිය බූට් කරන්නද කියා.

SAMBA

යම් නෙට්වර්ක් එකක තිබෙන සියලුම පරිගණකවල ඇත්තේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය නම්, සම්බාවලින් වැඩක් නැත (එලෙසම, සියලුම මෙහෙයුම් පද්ධති වින්ඩෝස් නම්, එවිටද සම්බා වැඩක් නැත). එහෙත්, ලිනක්ස් හා වින්ඩෝස් දෙකම සහිත පරිගණක ඇතිවිට, මෙය අවශ්‍ය වේ. ඊට හේතුව මෙම පද්ධති දෙක භාවිතා කරන ප්‍රෝටොකෝල් හා ක්‍රමවේද වෙනස් වීමයි.
සාමාන්‍යයෙන් වින්ඩෝස් පද්ධති සහිත පරිගණක නෙට්වර්ක් එකක් දෙයාකාරයකින් පැවතිය හැකියි. එකක් නම්, domain ආකාරය වේ. එහිදී එක් පරිගණකයක් (හෝ කිහිපයක වුවද) domain controller එකක් ලෙස ක්‍රියාකරන අතර, අනෙක් පරිගණක නෙට්වර්ක් එකට සම්බන්ධ වන්නේ මෙම ඩොමේන් කන්ට්‍රෝලර් එකකට කනෙක්ට් වෙලා සුදුසු යූසර්නේම්/පාස්වර්ඩ් ලබා දීමෙන් පසුය. ඩොමේන් කන්ට්‍රෝලර් එකක් වීමට මිල තවත් අධික Windows Server වර්ගයේ පද්ධතියක් ඉන්ස්ටෝල් කරගත යුතුද වෙනවා. එවිට නෙට්වර්ක් එකේ තිබෙන සෑම පරිගණකයක් ගැනම තීරණ හා නෙට්වර්ක් එකේ සෑම සෙටිං එකක්ම මෙම ඩොමේන් කන්ට්‍රෝලර් එකේ සිට සැකසිය හැකිවීම මෙහි ඇති වාසියයි (එක් එක් පරිගණකයට ගොස් සෙටිංස් සෑදීමට අවශ්‍ය නැත). වඩා ආරක්ෂිත ආකාරයකට නෙට්වර්ක් පවත්වාගෙන යන ආයතන නෙට්වර්ක් සාදන්නේ මේ ආකාරයටයි. වැඩිපුර වියදමක්ද දැරිය යුතු වෙනවා. අනෙක් ලාභදායක ක්‍රමය නම් Workgroup ආකාරයයි. එහිදී සෑම පරිගණකයකටම අයිතියක් තිබෙනවා පරිගණකයට තමන් කැමති නමක් දෙනවා වාගේ, තමන් කැමති වර්ක්ගෲප් එකක් සාදා ගන්නත්. නෙට්වර්ක් එකේ පරිගණක කිහිපයක් එකම වර්ක්ගෲප් නමින් ඇතිවිට, එම පරිගණක එකිනෙකට සමීපව කනෙක්ට් වේ. සියලුම පරිගණක එකම වර්ක්ගෲප් නම සහිත නම්, සියලුම පරිගණක එකිනෙකට සමීපව කනෙක්ට් වේ. එ් කියන්නේ, මෙම ක්‍රමයේදී එක් එක් පරිගණකයේ සෙටිං සැකසීමට සිදු වේ. අමුතුවෙන් සර්වර් මෙහෙයුම් පද්ධති අවශ්‍ය නැත.
ලිනක්ස්වල ඉහත වර්ක්ගෲප් හෝ ඩොමේන් යන සංකල්පය නැත. එනිසා වින්ඩෝස් පරිගණක සමග වැඩ කිරීමට කෘත්‍රිම ක්‍රමයකින් ඩොමේන් හෝ වර්ක්ගෲප් සංකල්පය ලින්ක්ස්වලට ආරෝපණය කළ යුතු වෙනවා. ඒ සඳහා තමයි සම්බා තිබෙන්නේ. උදාහරණයක් ලෙස, ඔබේ වින්ඩෝස් පරිගණක නෙට්වර්ක් එකේ තිබෙන්නේ වර්ක්ගෲප් ආකාරයට නම්, සම්බා මඟින් ඔබේ ලිනක්ස් පරිගණකද වර්ක්ගෲප් ලෙස සැකසිය යුතුයි. දැන් සියල්ලම එකම වර්ක්ගෲප් එකේ සාමාන්‍ය පරිදි වැඩ කළ හැකියි. ලිනක්ස් මින්ට් හි සිනැප්ටික් එකෙන් samba යන පැකේජය ඉන්ස්ටෝල් කරගෙන සුදුසු ලෙස සෙටිංස් සකසා ගැනීමට සිදු වේ.
**********************
මෙතෙක් පාඩම් මාලාවේ උගත් සියලු දේම ඒ ලෙසම සමහරවිට සිදු නොවේ; ප්‍රශ්න (errors) අැතිවේවි. ඊට හේතුව විවිධ ලිනක්ස් ඩිස්ටෝ තිබීම හා ලිනක්ස් නිරන්තරයෙන්ම අප්ඩේට් වීමයි. තවද, ලිනක්ස් සොෆ්ට්වෙයාර් සාදන්නේ එකම ආයතනයකින් නොව විසුරුණු විශාල පිරිසක්ය. කලින් කලට යම් දෙයක් සිදු කිරීමට තිබෙන (ඩිෆෝල්ට්) ප්‍රෝග්‍රැම් අලුත් අප්ඩේට්වල වෙනස්කර තිබියද හැකියි. ප්‍රශ්නය කුමක් වුවද, මේ ඕනෑම ප්‍රශ්නයකට විසඳුම පහසුවෙන්ම ඉන්ටර්නෙට් එකෙන් සොයා ගත හැකියි (ඔබේ ප්‍රශ්නය ගූගල් කරන්න). ලිනක්ස්වලට තරම් ප්‍රශ්න විසඳිමට පිරිසක් වෙන කිසිම මෙහෙයුම් පද්ධතියකට නැත. හොඳම දේ නම් ලිනක්ස් සංස්කෘතියට (Linux culture) හුරුවීමයි. ලිනක්ස් සමග ටික කලක් සිටින විට ඉබේම වාගේ එය පුරුදු වෙනවා. තමන්ට අවශ්‍ය දේවල්වලට පමණක් සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරගෙන, කරන දේ දැනගෙන සිදු කරනවා නම්, ප්‍රශ්න ඉතාම අවම කරගෙන ලින්ක්ස් පාවිච්චි කළ හැකියි.
ලිනක්ස්වලට එතරම් වයිරස් නැත (මා හට අද වන තුරු මාගේ ලිනක්ස් පද්ධතියේ වෛරස් හමුවී නැත). සමහරුන් තර්ක කරන්නේ ලිනක්ස් තවමත් වින්ඩෝස් තරම් ප්‍රචලිත නැති නිසා, වෛරස් සාදන අය ලින්ක්ස් ගැන එච්චර අවධානය යොමු කර නොමැති බවයි. එහි යම් සත්‍යතාවක් තිබිය හැකියි. එහෙත් ඊට වඩා වෙනත් හේතුවක්ද මා දකිනවා. ලිනක්ස්වල සොෆ්ට්වෙයාර් ඔබ/අප හැමවිටම වාගේ ලබාගන්නේ සිනැප්ටික් එකෙන් (හෝ එවැනි වෙනත් ක්‍රමවත් නිල ආකාරයකින්). ඉතිං ඒවා හරහා කිසිවිටක වෛරස් එන්නේ නැහැ. ඊට අමතරව, සෑම ලිනක්ස් සොෆ්ට්වෙයාර් එකකම (පාහේ) සෝස්කෝඩ්ද ලබාගත හැකි නිසා, ඒවායේද සැඟවුණු වෛරස් තිබිය නොහැකියි. තවද, ලිනක්ස් පද්ධතිය ක්‍රියාත්මක වන ස්වරූපය අනුවද වෛරස්වලට ක්‍රියාකාරී වීමට ඇති හැකියාව ඉතාම අල්පයි. වෛරස් පමණක් නොවේ, තවත් ආකාරයේ හානිදායක ඒවාද ඇත (worms, trojans). ඉහත හේතු නිසා මේ සියලුම ආකාරවල හානිදායක දේවල් ලිනක්ස්වල නැති තරම්ය. අවශ්‍ය නම් ලිනක්ස්වලට සෑදූ virus guard (antivirus) එකක් වුවද ඉන්ස්ටෝල් කරගත හැකියි. එහෙත් ලිනක්ස්වලට සාදපු වෛරස්ගාඩ්ද විරලයි (COMODO යනු හොඳ වෛරස්ගාඩ් එකක්). මාගේ තක්සේරුව නම්, ලිනක්ස්වලට වෛරස් ගාඩ් අවශ්‍ය නැත යන්නයි (නිවැරදිය ක්‍රමවේදයට එය භාවිතා කරනවා නම්).
නෙට්වර්ක් එකකට හෝ ඉන්ටර්නෙට් එකට ලිනක්ස් පරිගණකය කනෙක්ට් වී තිබෙන විට ඇති විය හැකි අවදානමක් තිබේ (මෙහෙයුම් පද්ධතිය කුමක් වුවද මෙම අවදානම එක ලෙස පවතී). එය නම්, පරිගණකයට පිටතින් අය හොරෙන් අැතුලු වීමයි (hacking). මෙය වැලැක්වීමට Firewall නම් ක්‍රමයක් ඇත. ෆයර්වෝල් සොෆ්ට්වෙයාර් ගණනාවක්ම පවතී. මේ සෑම එකකින්ම කරන්නේ, පරිගණකයෙන් එලියට යන හා ඇතුලට එන ඩේටා ගැන සොයා බැලීමයි. අනපේක්ෂිතව (එනම්, පරිගණකයෙන් request එකක් නැතිව) එන ඩේටා (ඩේටා පැකට්) ෆයර්වෝල් එක විසින් කපා හරියි. එය හරියට ආයතනයක ගේට්ටුව ළඟ සිටින මුරකරුවෙකු බඳුයි. ඔහු ආයතනයට ඇතුලු වීමට ඉඩ දෙන්නේ ආයතනයේ වැඩකරන අයට (අපේක්ෂිත අය) හා ආයතනය සමග නීත්‍යානුකූලව ගනුදෙනු කරන අයට (චෙක් කර) පමණි. ඔබ ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වන්නේ NAT ක්‍රමයට නම්, ඇත්තටම ඔබ දැනටමත් සෑහෙන්න ආරක්ෂාවක් ලබනවා (බ්‍රිජ් ක්‍රමයේදී මෙම ආරක්ෂාව නැති වේ). ඊට අමතරව, රවුටරයේ Firewall එක එනේබල් කර තිබීමද තවත් ඉතා හොඳ ආරක්ෂාවකට හිමිකම් කියනවා.
සමහරවිට ලිනක්ස් විසින් ඔබේ පරිගණකයේ හඳුනාගෙන තිබෙන ඩිවයිසස් මොනවාදැයි දැන ගැනීමට අවශ්‍ය නම්, lspci හා lsusb යන කමාන්ඩ් ටර්මිනල් එකේ රන් කරන්න. lspci මඟින් ඔබේ පරිගණකයේ PCI බස් හා ඊට සම්බන්ධිත උපකරණද, lsusb මඟන් USB බස් හා ඊට සම්බන්ධිත උපකරණ ගැනද විස්තර දැක ගත හැකියි. සමහර ප්‍රශ්න විසඳාගැනීමට මෙම දත්ත අවශ්‍ය වේ. විශේෂයෙන් ඔබ යම් යූඑස්බී උපකරණයක් සවි කළ පසු, එය ලින්ක්ස් විසින් හඳුනාගෙන ඇත්දැයි බැලීමට lsusb යන්න රන් කර බලන්න. හඳුනාගෙන ඇත්නම්, එහි විස්තර දැක්වේ. විශේෂයෙන් Vendor ID (VID) හා Product ID (PID) විස්තරය වැදගත් වේ. සෑම යූඑස්බී උපකරණයක්ම අනන්‍ය ලෙස VID:PID යන යුගලයෙන් දැක්විය හැකියි. ඉහත කමාන්ඩ් දෙක සමගම -v (-vv, -vvv) යන ස්විච යොදා බලන්න; ඒ ඒ උපකරණය ගැන විස්තර වැඩි වැඩියෙන් පෙන්වාවි (v අකුරු ගණන වැඩිවන තරමට විස්තරය වැඩි වේ). උදාහරණයක් ලෙස පහත රූපයේ දැක්වෙන පරිදි මාගේ Kingston 4GB flash drive එකේ VID:PID එක 13fe:1d00 වේ. ඔබට පුලුවන් එම යුගලය ගූගල් එකේ සර්ච් කරන්න. එවිට, මෙම උපකරණයට අදාල සෑම විස්තරයක්ම සොයාගත හැකියි.
 

ලිනක්ස්වල කමාන්ඩ් හා ෆයිල්/ෆෝල්ඩර් නම් දෙන විට, කැපිටල් සිම්පල් භේදය පවතී. මෙය case-sensitive ලෙස හැඳින්වේ. වින්ඩොස්වල නම්, සිම්පල් කැපිටල් භේදයක් නැත. එනිසා, ඔබ හරියටම සිම්පල් කැපිටල් අකුරු යොදාගත යුතුයි. උදාහරණයක් ලෙස, ඉහත lsusb යන්න lsUSB ලෙස ටයිප් කළොත් එය වැඩ කරන්නේ නැත.
ලිනක්ස්වල තවත් අපූරු දෙයක් තිබේ. එනම්, ලිනක්ස්වල පෙන්වන දිනය හා වේලාව ඔබේ පරිගණකයේ තිබෙන hardware clock එකෙන් ස්වාධීනය. ඔබ දන්නවා, ඔබේ පරිගණකයේ ඔරලෝසුවක් තිබෙනවා. ඔබ පරිගණකය ඕෆ් කර තිබෙන විට පවා එම ඔරලෝසුව වැඩ කරනවා පරිගණකයේ ඇතුලේ ඇති කුඩා CMOS battery එකෙන්. මෙම වෙලාවට අමතරව ලිනක්ස් පද්ධතිය විසින්ද වෙලාවක් සකසා ගන්නවා. එම ඔරලෝසුව system clock ලෙස හැඳින්වෙනවා. ලිනක්ස් බූට් වන විට, එම ඔරලෝසුවේ වෙලාව ඉන්ටර්නෙට් එකෙන් (NTP හරහා) ලබා සකසා ගන්නවා. ඉන්ටර්නෙට් එකට සම්බන්ධ නැතිනම්, හාඩ්වෙයාර් ක්ලොක් එකෙන් එම වේලාව ලබා ගන්නවා. හැමවිටම ඉන්ටර්නෙට් එකෙන් ලබා ගන්නා වේලාව හාඩ්වෙයාර් ඔරලෝසුවේ වේලාවට වඩා ඉතාම නිවැරදියි. හාඩ්වෙයාර් ඔරලෝසුවේ වෙලාව බැලීමට hwclock යන්න ටර්මිනල් එකේ රන් කරන්න (එය sudo සමග රන් කරන්නට සිදුවෙනවා). සිස්ටම් ඔරලෝසුවේ වෙලාව බැලීමට date යන්න රන් කරන්න (ඊට අමතරව සිස්ටම් ට්‍රේ එකේද එය දර්ශනය වේ). සිස්ටම් ඔරලෝසුවේ වෙලාව හාඩ්වෙයාර් ඔරලෝසුවට කොපි කිරීමට sudo hwclock -w යන්න රන් කරන්න. කිසියම් හේතුවක් නිසා, ඉන්ටර්නෙට් එකෙන් වෙලාව ලබාගෙන සිස්ටම් ක්ලොක් එක නිවැරදි කිරීමට (synchronize) අවශ්‍ය නම්, ටර්මිනල් එකේ sudo ntpdate-debian යන කමාන්ඩ් එක රන් කරන්න.

යම් උපකරණයක ඩිවයිස් ඩ්‍රයිවර් ලිනක්ස්වලට දාගන්නේ වින්ඩොස්වල කරන ආකාරයට නොවේ. ලිනක්ස්වල ඒවා පවතින්නේ සාමාන්‍ය ප්‍රෝග්‍රැම් පරිදිමයි. එනිසා ලිනක්ස්වලදී ඔබට කරන්නට තිබෙන්නේ එම ප්‍රෝග්‍රැම් සාමාන්‍ය ලෙස ඉන්ස්ටෝල් කිරීම පමණි.

Comments

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

ඉලෙක්ට්‍රෝනික්ස් II (Electronics) - 6

විශේෂ ප්‍රතිරෝධක ඉහත සාකච්ඡා කළ නියත හා විචල්‍ය ප්‍රතිරෝධක හැරුණහම , තවත් සුවිශේෂී ජනප්‍රිය ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ද තිබෙනවා . මේවා ආලෝකය , උෂ්ණත්වය වැනි විවිධ භෞතික රාශින්ට සංවේදී ප්‍රතිරෝධකයි . මේ අතරින් සුලභම වර්ගය තමයි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක වර්ගය . මේවා ප්‍රකාශ - ප්‍රතිරෝධක (photoresistor) හෝ “ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක” (Light Dependent Resistor – LDR) ලෙස හැඳින් වෙනවා . එහි සාමාන්‍ය භාහිර හැඩය පහත දැක්වේ .   මෙම ප්‍රතිරෝධයේ හිස මත තිබෙන්නේ ආලෝකයට ඉතා සංවේදී කැඩ්මියම් සල්ෆයිඩ් (CdS), ලෙඩ් සල්ෆයිඩ් (PbS), කැඩ්මියම් සෙලිනයිඩ් (CdSe) ආදී යම් රසායනික ද්‍රව්‍යයකි . එම ද්‍රව්‍යයන්වල ඉතා ඉහල ( බොහෝවිට 500k ohm වැනි ) ප්‍රතිරෝධි අගයන් තිබේ . එහෙත් ඒ මතට ආලෝකය වැටෙන විට , ප්‍රතිරෝධි අගය සීඝ්‍රයෙන් පහළ යයි ( බොහෝවිට ඕම් 500 වැනි ). මෙහිදී කිව යුතු වැදගත් කරුණ නම් , ඉහත සඳහන් කළ ( හා නොකළ ) ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය එකම ආකාරයෙන් ආලෝකයට සංවේදී නොවේ . සමහර ඒවා “ආලෝකයේ රතු පැත්තට” ( ඒ කියන්නේ දිගු තරංග ආයාම සහිත ආලෝකයට ) සංවේදිතාව දක්වන අතර , තවත් සමහර ඒවා “ආලෝකයේ නිල් / ද...

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්...