Skip to main content

තෙරුවන් සරන ගිය මාලිමාව

තවත් අපූරු ඡන්දයක් නිම විය. එය කරුණු රැසක් නිසා අපූර්ව වේ. සමහරු කියන පරිදි රදලයන්ගේ දේශපාලනයේ අවසානයක් (තාවකාලිකව හෝ) ඉන් සිදු විය. වැඩ කරන ජනයාගේ, නිර්ධන පංතියේ නායකයෙකු හා පක්ෂයක් බලයට පත් වීමද සුවිශේෂී වේ. රටේ මෙතෙක් සිදු වූ සකල විධ අපරාධ, දූෂන, භීෂන සොයා දඩුවම් කරනවා යැයි සමස්ථ රටවැසියා විශ්වාස කරන පාලනයක් ඇති විය. තවද, බහුතර කැමැත්ත නැති (එනම් 43%ක කැමැත්ත ඇති) ජනපතිවරයකු පත් විය. ජවිපෙ නායකයෙක් "තෙරුවන් සරණයි" කියා පැවසීමත් පුදුමය. මේ සියල්ල ලංකා ඉතිහාසයේ පලමු වරට සිදු වූ අපූරු දේශපාලන සංසිද්ධි වේ. මාද විවිධ හේතුන් මත අනුරට විරුද්ධව මෙවර තර්ක විතර්ක, සංවාද විවාද, හා "මඩ" යහමින් ගැසූ තත්වයක් මත වුවද, ඔහු දැන් රටේ ජනපති බැවින් ඔහුට පලමුව සුබ පතමි.  ඔහුට විරුද්ධව වැඩ කලත්, මා (කිසිදා) කිසිදු පක්ෂයකට හෝ පුද්ගලයකුට කඩේ ගියේද නැති අතර අඩුම ගණනේ මාගේ ඡන්දය ප්‍රකාශ කිරීමටවත් ඡන්ද පොලට ගියෙ නැත (ජීවිතයේ පලමු වරට ඡන්ද වර්ජනයක). උපතේ සිටම වාමාංශික දේශපාලනය සක්‍රියව යෙදුනු පවුලක හැදී වැඩී, විප්ලවවාදි අදහස්වලින් මෙතෙක් කල් දක්වා සිටි මා පලමු වරට සාම්ප්‍රදායික (කන්සර්වටිව්

ආදර ෆැන්ටසියක මැද පිටුවක්...

ලොකු කන්නාඩිය ඉස්සරහා ගීෂා ගෙනාපු ඇඳුම් එකින් එක මාරු කරමින් හැඩ බලමින් සිටී. ඇගේ උඩුකය සෑහෙන්න දුරකට නිරුවත්ය. එහෙත් ඇයට එය එතරම් වගක් නැත. මාත් තරමක් ඈතින් හිඳ ඇයගේ ලස්සන බල බලා සිටිමි. ඉඳහිට බොරුවට කට කැඩෙන වචනද කිව්වේ එහිදි වරෙක ලැජ්ජාවෙන්ද වරෙක ආදරයෙන්ද ඊට ලබා දෙන ඇගේ පිලිතුරුවලට මා කැමැති නිසාය. ඇත්තමයි ඇඳුම ලස්සන වෙන්නෙත් ඇය නිසා බව මගේ හිත කියයි. එකවරම ඇයට කෝල් එකක්. ඈ දුරකතනය දෙස බලා නැවත මා දෙස බැලූ බැල්මෙන් තේරුම් ගියා ඒ ඇමතුම කාගෙන් වෙන්න ඇතිද කියා. මා කිසිදු වෙනසක් නොපෙන්වා මඳ සිනහවකින් කාමරයෙන් පිට වුනා.

විනාඩි විස්සකට විතර පසුව මා නැවත කාමරය වෙත ගියා. මොහොතකට පෙර සතුටින් හා දඟකාරකමින් පිරී ගිය ඇගේ ඇස්වල කඳුලු බිඳු රැඳී තිබෙන මා දුටුවා. පෙර දිනය තෙක් මාගේ දඟකාර මිතුරිය පමනක් වූ ඇය අද මා සමඟ ආදරයෙන් සිටී. ගෙවී ගිය පැය විසි හතර මා ජීවිතයේ සතුටින්ම සිටි පැය ගනන විය හැකිය. මා සමඟ දිවි තිබෙන තුරු එකට සිටීමට ඈ සිටින බව කෙලින්ම නොකීවත්, ඇගේ විවිධ ආදර කතාබස් තුල එය මට දැනුනි. එහෙත් දැන් එකවරම තත්වය වෙනස් වී ඇත. ඇගේ ජීවිතයට එකවර හිරුත් සඳුත් නැඟ ඇති බවක් මට පෙනුනි. මා කුමක් කල යුතුදැයි නොදනිමි. එහෙත් ඇය අපහසුවෙන් සිටිනු දැකීම මට ඉවසිය නොහැකිය. එනිසා මට කිසිදු දුකක් හැඟීමක් නැති කෙනෙකු ලෙස හඟවමින් ඇයට ළං වුනෙමි.

"එයා නේද ගීෂා? ... මට එයාගෙ ෆොටෝ එකක් පෙන්වන්නකො. මට ආසයි එයාව දකින්න".

ඇගේ දුරකතනය අතට ගෙන මුහුනු පොතෙන් යම් කඩවසම් පිරිමියකුගේ පිංතුරයක් ඈ මට පෙන්නුවාය. ඇත්තටම ඔහු ලස්සනයි මා හිතපු විදියටම. සෙමින් මා ඇයට ස්පර්ශවන සේ ඇගේ පිටුපසින් ළං වූවා. ඇයට ඇසෙන නොඇසෙන ස්වරයකින් මා ඇහුවා...

"ඔයා එයාට ආදරෙයි නේද ගීෂා?"

ඈ කිසිදු වදනක් පිට නොකලත්, ඇගේ මුහුනේ පුරා ඔව් යන පිලිතුර රැඳී තිබුනා.

"එයාට ගොඩක් සල්ලි තියෙනවාද?"

ඇත්තටම ඔහු ගැන මීට කාලයකට පෙර ඈ මට විස්තර කියා තිබෙනවා. ඔහු ගැන මා තරමක් දුරට දන්නවා. එහෙත් ඔහු ගැන නොදන්නා කෙනෙකු වගේ ඇගෙන් විමසා සිටියා.

"හ්ම්ම්"

"එයා අරක්කු සිගරට් එහෙම බොනවද?"

"නැහැ..."

"කොල්ලා ඉතිං හැන්ඩියනෙ... කෙල්ලො එහෙමත් තව ඉන්නවද දන්නෙ නැහැ නේද?" මා විහිලුවෙන් මෙන් ඇසුවා.

"නැහැ... එයා එහෙම කෙනෙක් නෙමේ."

"හා... ඒ කියන්නේ එයා ගොඩක් හොඳ කෙනෙක්. ඒකනෙ ඉතිං ගීෂත් එයාට මෙච්චර ආදරේ" කියමින් මා දුක හංගාගෙන තරමක් ඉහල හඬින් සිනාසුනා. ඒ සිනහව තුල මගේ දුක දන්නේ මා පමනය.

ඇගේ එම පිලිතුරු කෙටි වුවත් ඉතා විශ්වාසයෙන් කී හැටියෙන් ඔහු ඉතා හොඳ පුද්ගලයකු බවත් ගීෂා ඔහුට තදින් ආදරේ කල බවත් මට වටහ ගත හැකිය. මා ඈ පිටුපසින් සිටිමින්ම තවත් තුරුලු වෙමින්ම ඇගේ වම් අත අල්ලා ගතිමි. 

ඇගේ කුඩා ඇඟිල්ල සෙමින් නවමින්, "ගීෂා... එයා ඇත්තටම ලස්සනයි".

ඇගේ මුදු ඇඟිල්ල නවමින්, "එයාට ගොඩක් සල්ලි තියෙනවා".

මැදගිල්ලත් සෙමින් නවමින් "එයාට ලස්සන චරිතයක් තිබෙනවා... එහෙත් ගීෂා මෙතැන තව දෙකක් මදි නේද?"

ඇයට එකවරම මා කුමක් කියන්න හෝ කරන්න යන්නේ කියා චකිතයක් ඇති බව පෙනුනි. "ඒ මොනාද?" ඇය ඇසීය.

ඇගේ දබරගිල්ලත් නවමින් "එකක් තමයි... ගීෂාගේ ආදරය".

මඳ වෙලාවක් නිහඩව සිටමින්, "එයාගෙ ආදරය" කියමින් ඇගේ මහාපොටගිල්ලත් සෙමින් නැව්වා. දැන් ඔක්කොම සම්පූර්නයි. එසේ ඇඟිලි සියල්ල නවා ඈ තවමත් මිට මොලවගෙන සිටිනවා. මා මගේ දෑතින්ම ඇගේ මිට මොලවා ගත් අත උනුසුම්ව පොරවා ගත්තා. එය ඇයට දරා ගත නොහැකිව භාවාත්මකව හඬන්නට වුනාය. මගේ දෑතින් හා ශරීරයේ රූටමින් ඈ බිමට කඩා හැලුනත් වැටෙන්නට නොදී ඇයව ඇඳ මතින් හින්දෙව්වා.

"මට තේරෙනවා ගීෂා ඔයාගේ දුක... ඔයාට දැනෙන දේ මට තේරෙනවා. හොඳ ළමය වගේ අඬන්නේ නැතිව ඉන්න ඉතිං". මා ඈ සැනසුවේ මගේ සිත ගිනි ජාලාවක දැවෙමිනි.

"මට ගොඩක් දුකයි අයියෙ... ඔයා ඇයි අයියෙ මගේ ආදරය වෙනුවෙන් සටන් කරන්නෙ නැත්තෙ? මං දන්නවා ඔයා මට ගොඩක් ආදරෙයි කියලා. එයා මාව අරං යන එකට ඔයාට දුකක් නැද්ද?" ඇය එසේ කියන විට මා කෙරෙහි ආදරයක් ඇගේ ඇස්වලත් ස්වරයෙත් තිබෙනු දැනුනා.

මා ඊට පිලිතුරක් නොදී නිහඬ වීමි. ටික වෙලාවක් අප දෙදෙනාම නිහඬව සිටියා. ඈ ඇඳ මත හිඳගෙන ඇගේ අත දෙස බලමින් සිටී. මෙතෙක් මිටමොලවා සිටි අතෙහි ඇඟිලි දිග හැර සිට ගෙන සිටි මා දෙස මුවැත්තියක සේ බැලුවාය. මට ඒ මුහුන අමතක කල නොහැකිය. එතරම්ම අහිංසක පෙනුමක් මා මින් පෙර කිසිදු ගැහැනියකගෙන් දැක නැත. මට දැඩි ලෝබකමක්ද ඇති විය. ඈ අසලින් මාද ඇඳ මත වාඩි වුනෙමි.

නැවතත් ඇගේ වමත අල්ලා ඇඟිලි සෙමින් එකින් එක නවමින් මෙසේ කියමින් ඇයට තීරනයක් ගැනීමට පහසු කරන්නට උත්සහ දැරීමි.

 "එයා මට වඩා ලස්සනයි".

"එයාට මට වඩා සල්ලිත් තියෙනවා".

"එයා ගොඩක් හොඳ කෙනෙක්. මම ඉතිං දන්නෙ නැහැ එයා මට වඩා හොඳද නැද්ද කියලා. එහෙත් එයා ඉතා හොඳ කෙනෙක් ගීෂා. ඔයා හොඳයි කියල කියනවා නම් මට එයා ගැන සැකයක් නැහැ. එයා හොඳයි."

"අනික... ගිෂාත් එයාට ගොඩක් ආදරෙයිනෙ... ඒක මට තේරෙනවා. ඔයාට එයාව හමු වුනේ මාව හමු වෙන්නත් අවුරුදු ගානකට උඩදී. එහෙත් මොනයම් හෝ හේතුවක් නිසා, එයා තමයි ඔයාව ලං කර ගත්තෙ නැත්තෙ. දැන් ඒකත් හරිනෙ ගීෂා... එයාට දැන් ඔයාව ඕන වෙලා. ඔයා අවුරුදු ගානක් හිත හිත හිටපු කෙනා ඔයාට ලැබෙන්න යන්නෙ."

එසේ කියමින් ඇගේ ඇඟිලි හතරක්ම නවාගෙන සිටිමින්, "එයා දැනටමත් පහෙන් හතරක් දිනුම්. මං පරාදයි... එහෙත් මේ පස්වැනි ඇඟිල්ලේ දිනුම මගේ... මට වඩා එයා විතරක් නෙමේ මේ ලෝකෙ කවුරුවත් ඔයාට ආදරේ නැතිව ඇති ගිෂා... ඉතිං, මේ පහෙන් එකක දිනුම විතරක් මට දෙන්න..."


මේ කතාවේ මුල පිටු හා අග පිටු කොහේ හරි ඇති...