Delivery Terms (Incoterms)
ආනයනය හා අපනයනයේදී අපනයනකරු විසින් ආනයනකරුට බඩු ලබා දිය යුතුයිනෙ. කාටත් තේරෙන විදියට කිව්වොත් බඩු ටික ඩිලිවර් (freight delivery) කරන්න ඕන. එහිදී සලකා බැලිය යුතු කරුනු රාශියක් තිබෙන අතර, ලෝකය පුරා පොදු සම්මුතියක්ද ඒ සම්බන්දයෙන් ඇත. ලෝකයේ එක් එක් කෙනාට ඕන ඕන විදියට එය සිදු කරන්නට ගියොත් වැඩේ ගොඩක් සංකීර්ණ විය හැකි නිසා, බඩු යවනවා නම් මෙන්න මේ විදියට තමයි කල යුත්තේ කියා සම්මුති ඇති කර ගෙන තිබෙනවා. Delivery Terms කියන්නේ පොදුවේ එම සම්මුතිය තමයි.
බඩු ඩිලිවර් කරන ප්‍රධාන ක්‍රම (modes) කිහිපයයි ලෝකයේ තියෙන්නේ. ඒවා නම්,
1. ගුවන් මඟින් (Air freight)
2. මුහුද මඟින් (Sea freight)
3. දුම්රිය මඟින් (Rail freight)
4. ට්‍රක් රථ මඟින් හෙවත් පාරවල් ඔස්සේ (Road freight)
5. අභ්‍යන්තර ජල ප්‍රවාහනය මඟින් (Inland waterway transport)
6. තැපැල්/කුරියර් මඟින් (Postal delivery / Courier delivery)
මේ එක් එක් ක්‍රමයේ වාසි හා අවාසි ඇති අතර ඔබට පහසුවෙන් ඒවා සිතාගතද හැකියි. තවද, ඉහත ක්‍රම සියල්ලම තනි රටක් තුල බඩු ප්‍රවහනය (inland transport) සඳහා මෙන්ම රටවල් අතර බඩු ප්‍රවහනය (cross-border transport) සඳහාද යොදා ගන්නවා. අපේ අරමුන අන්තර්ජාතික වෙලඳාම බැවින් අපට අදාල වන්නේ ක්‍රොස්බෝඩර් ට්‍රාන්ස්පෝට් වේ.
අප මෙම පාඩම් තුලින් කතා කරන්නේ සාම්ප්‍රදායික අන්තර්ජාතික වෙලඳාම ගැනයි. එහිදී තැපැල්/කුරියර් ක්‍රමය එතරම් වැදගත් නැත. බැලූබැල්මට තැපැල්/ලියුම් රටින් රටට ගෙන යන්නේ ගුවන් මඟින් නිසා තැපැල් ක්‍රමය අමුතුවෙන් සඳහන් කිරීමට අවශ්‍ය නැහැ වගේ පේනවා. එහෙත් තැපැල් ක්‍රමයෙන් බඩු යවන ක්‍රමවේදය ඉතා සරලය. එය ඇත්තටම ආනයන අපනයන වෙලඳාමක් ලෙස දැනෙන්නේද නැත.
ඔබ තැපැල් ක්‍රමයෙන් බඩුවක් යවන විට, අදාල තැපැල් කන්තෝරුවකට හෝ කුරියර් සේවාවක් සපයන අයකු ලඟට බඩු ටික රැගෙන යා යුතුයි. ඉන්පසු ඔවුන් එම බඩු පරික්ෂා කර එම පෙට්ටිය භාර ගන්නවා. ඔවුන් චෙක් කලාට පසුවයි ඔබ හොඳින් එය පැක් කරන්න ඕන. පෙට්ටිය පහසුවෙන් විවෘත කල නොහැකි ලෙසත්, පෙට්ටයේ මුලු/කොන් අබලන් වී බඩු එලියට ඒම වැලැක්වීමටත් හොඳ මාස්කිං ටේප්වලින් පෙට්ටිය සුදුසු පරිදි ඇලවිය යුතුය. ඔබට ගාස්තු ගෙවීමට සිදු වෙනවා. එච්චරයි. සාමාන්‍ය ආනයන/අපනයන ක්‍රියාවලියේ හමු වූ බැරෑරුම් සංකල්ප හා ක්‍රියාවලි කිසිවක් නැත. ඇලිඑක්ස්ප්‍රෙස්, ඊබේ, ඇමසන් වැනි සේවාවලදී ඇත්තටම භාවිතා වෙන්නේ මෙම තැපැල් ක්‍රමයයි. එය එවැනි සිල්ලර ක්‍රමයට බඩු විකිනීමට යෝග්‍ය වේ.
සමහරවිට බඩු ප්‍රවහනය ඉහත එක් ක්‍රමයකින් පමනක් සිදු විය හැකිය. උදාහරන ලෙස, අපනයනකරුගේ ගබඩාවේ සිට ආනයනකරුගේ ගබඩාව දක්වා එකම ට්‍රක් රථයෙන් බඩු ප්‍රවහනය කල හැකිය. තවත් අවස්ථාවකදී බඩු ප්‍රවහනය ඉහත මෝඩ් දෙක තුනක උපකාරයෙන් කල යුතු වේ. උදාහරනයක් ලෙස, ලංකාවේ සිට චීනයට ගුවනින් බඩු යවා, චීනයේ සිට උතුරු කොරියාවට (ඇත්තටම ලංකාවේ සිට උතුරු කොරියාවට බඩු යැවීම තහනම්ය; උදාහරනයට පමනයි මෙය කියන්නේ) දුම්රිය සේවාවෙන් එම බඩු ප්‍රවහනය කල හැකියි. මෝඩ් කිහිපයක් යොදා ගෙන කරන බඩු ප්‍රවහනයත් ක්‍රම දෙකකින් පවතී.
1.
අපනයනකරුගේ පරිශ්‍රයේ (premises) හෝ ගබඩාවේ (warehouse) සිට
ආනයනකරුගේ පරිශ්‍රයට/ගබඩාවට යන තෙක් සමස්ථ ප්‍රවහනයම එක් ආයතනයක් හෝ එක්
ගිවිසුමකින් සිදු කිරීම. බඩු ප්‍රවාහනය කරන ආයතනය carrier ලෙස හැඳින්වෙනවා. මෙවිට මෝඩ් කීයකින් එය සිදු
කලත්, අර ගිවිසුම් ගත ප්‍රවාහන සේවය හෙවත් “කැරියර්“ විසින් ආනයනකරු හා අපනයනකරු
වෙනුවෙන් එය සිදු කරනවා. මෙම ක්‍රමය multimodal transportation ලෙස හැඳින්වෙනවා.
2. පෙර අවස්ථාවේ ලෙසම මෝඩ් කිහිපයකින් ප්‍රවහනය සිදු කරන අතර, ඒ එක් එක් මෝඩ් එකට වෙන වෙන කැරියර්ලා යොදා ගන්නවා. ඒ කියන්නේ ප්‍රවහන ගිවිසුම් කිහිපයක් තිබෙනවා. උදාහරන ලෙස, අපනයනකරුගේ ෆැක්ටරියේ සිට ආනයනකරුගෙ රටේ අහවල් ගුවන් තොටුපොල දක්වා ගුවනින් බඩු ප්‍රවහනය කිරීමට ABC කියන කැරියර් යොදා ගන්න අතර, එම එයාර්පෝට් එකේ සිට ආනයකරුගේ ගබඩාම දක්වා ට්‍රක්රථවලින් ප්‍රවාහනයට XYZ කියන කැරියර්ව යොදා ගන්නවා. මෙම ක්‍රමය intermodal transportation යැයි කියනවා.
මෝඩ් එක කුමක් වුවත්, තනි මෝඩ් එකකින් හෝ මෝඩ් කිහිපයක මිශ්‍රනයකින් වුවත්, ඒ සියල්ලම අර යම් ජාත්‍යන්තරව පිලිගත් ක්‍රමවේදයක් අනුවයි සිදු වන්නේ. 1936දී පමන International Chamber of Commerce (ICC) විසින් මෙම ක්‍රමවේදය හඳුන්වා දුන්නා International Commercial Terms ලෙස. කෙටියෙන් එය Incoterms ලෙස හඳුන්වනවා. ලෝකයට ගැලපෙන පරිදි මෙම සම්මුතියද යාවත්කාලීන වන අතර, දැනට පවතින්නේ 2020 වසරේදී යාවත්කාලීන කරපු සම්මුතියයි. එය Incoterms® 2020 ලෙස ලියා දක්වනවා. ඇත්තටම මෙහි එච්චර දෙයක් නැත. පහසුවෙන් මතක තබා ගත හැකියි.
මෙම සම්මතය තුල ඩිලිවර් ටර්ම්ස් දුසිමක් විතර හඳුන්වා දී තිබෙනවා (අකුරු 3ක කෙටි යෙදුම්ද සමඟ). මෙම එක් එක් පදය ඉන්කොටර්ම් රිතියක් (Incoterms rule) යැයි කියනවා. ලෝකය පුරාත්, ලංකාවේත් ආනයන අපනයන ක්ෂේත්‍රයේ යෙදී සිටින අය අතර මින් FOB හා CIF යන ඉන්කොටර්ම් රීතින් දෙක ඉතාම ජනප්‍රිය වේ.
ගැනුම්කරු හා විකුනුම්කරු ගනුදෙනුව ගැන සාකච්ඡා කරන මොහොතේදී ඔවුන්ට අදාල වන්නේ කුමන ඉන්කොටර්ම් රීතියද යන්න තීරණය කල යුතු වෙනවා. එම තෝරාගන්නා ක්‍රමය අනුව දෙදෙනා හට දැරීමට වන වගකීමද අනිවාර්යෙන්ම විශාල ලෙස වෙනස් වෙනවා. එනිසා, හරියට නිවැරදි ක්‍රමය තෝරා ගත යුතුයි.
උදාහරන ලෙස දෙදෙනා තෝරා ගන්නේ DDP යන ඉන්කොටර්ම්ස් රීතිය නම්, සියලු වියදම් හා වගකීම් විකුනුම්කරු විසින් දරන අතර, ගැනුම්කරුගේ ගබඩාවට බඩු ගෙනත් බානවා (හරියට තැපෑලෙන් ගෙදරටම බඩු එනව වගේ). එලෙසම දෙදෙනා තෝරා ගන්නේ EXW යන රීතිය නම්, සියලු වියදම් ගැනුම්කරු විසිනුයි දරන්නේ. ගැනුම්කරු විකුනුම්කරුගේ ගබඩාවටම ඇවිත් බඩු ටික පටවා ගෙන තම රටට ගෙන යයි; විකුනුම්කරුට බලං ඉන්න තමයි තියෙන්නේ.
පහත දැක්වෙන්නේ ඉන්කොටර්ම්ස් 2020 ට අදාල සියලු ඉන්කොටර්ම්ස් පද/රීතින් වේ. මෙම රූපයේ එක් එක් පදයට/රීතියට අදාලව විකුනුම්කරුට හා ගැනුම්කරුට පවතින වගකීම් සාරාංශගතව දක්වා තිබේ. මේ එක් එක් වගකීම (කාර්ය) ගැන අපි පසුව සාකච්ඡා කරනවා. බඩු පිටරට යවන විට කල යුතු කාර්යන් (වගකීම්) රාශියක් තිබෙනවා.
භාන්ඩයක් අපනයනකරුගේ ගබඩාවේ සිට ආනයනකරුගේ ගබඩාව දක්වා ගෙන යෑමේදී කල යුතු කාර්යන් ගනනාවක් තිබේ. ඒ සෑම අවස්ථාවකදීම යම් වියදමක් දැරිය යුතුයි වගේම වගකීමක්ද දැරිය යුතු වෙනවා. මෙම ඉන්කොටර්ම්ස් පදවලින් ඇති එක් ප්‍රයෝනයක් නම්, එක් එක් රීතියෙන් වගකීම පැවරෙන්නේ ආනයනකරුටද (buyer) අපනයනකරුටද (seller) යන්න නිශ්චිතව දක්වා තිබීමයි.
සමහර ඉන්කොටර්ම් රීතින්/පද ඕනෑම ප්‍රවාහන ක්‍රමයකට අදාල වේ; ඉහත රූපයේ Mode of Transport යන හෙඩිම ඉදිරියෙන් Any Mode කියා ඇත්තේ එම පදයි. තවත් පද ටිකක් අදාල වන්නේ මුහුදු ප්‍රවාහනයට පමනි; ඉහත රූපයේ Ocean Only ලෙස සටහන් කර තිබෙන්නේ ඒවාය.
ඇත්තටම ඉහත රූපයේ දක්වා තිබෙන වියදම්වලට අමතරව තවත් වියදම් වර්ග තිබිය හැකිය. එහෙත් දල අදහසක් ගැනීමට මූලික වියදම් එහි වර්ගීකරණය කර ඇත. වියදමත් සමඟම වගකීමකුත් ඉබේම තිබෙනවා. දල වශයෙන් ආනයන අපනයන වෙලඳාමෙහි පවතින වියදම් මා පහත දක්වනවා.
1. අපනයනට අදාල බඩු සපයා ගැනීම
2. භාන්ඩ ඇසුරුම්ගත කිරීම
3. අපනයනට අදාල භාන්ඩවල විවිධ තක්සේරු හෝ ප්‍රමිති හෝ වෙනත් නීතිමය අවශ්‍යතා ඉටු කිරීම
4. අපනයනකරුගේ ගබඩාවේ සිට රථවලට බඩු පැටවීම (loading at the exporter’s warehouse)
5. එම රථවලින් අපනයනකරුගේ වරාය දක්වා බඩු ප්‍රවාහනය කිරීම (local transport at exporter’s country)
6. අපනයනකරුගේ රටේ වරාය ගාස්තු ගෙවීම (port charges at the exporter’s country)
7. අපනයනකරු වෙනුවෙන් නැව් හෝ ගුවන් යානා පහසුකම් වෙන්කර දෙන හා ඒ ගැන කටයුතු කරන ෆෝවර්ඩිං සමාගම්වලට ගෙවීම (freight forwarder’s charges)
8. අපනයනකරුගේ රටේ රේගු කටයුතු කිරීම හා ගාස්තු ගෙවීම (customs duties at the exporter’s country)
9. නැව් හෝ ගුවන්යානාවල ප්‍රවාහන ගාස්තු ගෙවීම (freight charge)
10. බඩුවල රක්ෂණය සිදු කිරීම හා ඒ සඳහා ගෙවීම (insurance cost)
11. ආනයනකරුගේ රටේ වරාය ගාස්තු ගෙවීම (port charges at the importer’s country)
12. ආනයනකරුගේ රටේ රේගු කටයුතු කිරීම හා ගාස්තු ගෙවීම (customs duties at the importer’s country)
13. ආනයනකරුගේ රටේ වරායේ සිට ආනයනකරුගේ ගබඩාව දක්වා බඩු ප්‍රවහනය (local transport at importer’s country)
14. ආනයනකරුගේ ගබඩාවට බඩු ගොඩබෑම (unloading at the importer’s warehouse)
මීට අමතරව, තවත් වියදම් තිබිය හැකියි. ඒ අතර රේගුව ඇතුලු විවිධ ආයතනවලට පගාව දීමද ඇතුලත් වේ.
දැන් බලමු ඉහත වැදගත් ඉන්කොටර්ම් රීති ගැන එකින් එක. සෑම රීතියක්ම අකුරු තුනක කෙටි නමකින්ද හඳුන්වා දෙන අතර, ලිපිලේකන තුල භාවිතා වන්නේ මෙම අකුරු තුනේ කේත තමයි.
සෑම විටම ආනයනකරු හෙවත් ගැනුම්කරු අතර හා අපනයනකරු හෙවත් විකුනුම්කරු අතර භාන්ඩ මිල දී ගැනීම සම්බන්දයෙන් වෙලඳ ගිවිසුමක් ඇති කර ගන්නවා. මෙම වෙලඳ ගිවිසුම තුල දෙපාර්ශවය කරන්නට යන ගනුදෙනුවේ වැදගත් කරුනු සියල්ල පවතිනවා. ඒ කරුනු අතර බඩු යවන්නේ කුමන ඉන්කොටර්ම්ස් රීතියට අනුවද යන්නත් සඳහන් වෙනවා.
සාමාන්‍යයෙන් ලංකාවේදී අපනයන සඳහා FOB ක්‍රමයත් ආනයනය සඳහා CIF ක්‍රමයත් බහුලවම භාවිතා වෙනවා.
EXW (Ex Works)
මෙම පදයෙන් කියන්නේ අපනයනකරු අපනයනය කරන භාන්ඩ සපයාගෙන ඒවා ආනයනකරු සමඟ කලින් ඇති කර ගත් වෙලඳ ගිවිසුම (sale contract) අනුව සකසා ඇසුරුම් කර අපනයනකරුගේ ගබඩාවේ පිලිවෙලට තබා තිබිය යුතු බවයි. එතැනින් එහාට අපනයනකරුට කරන්නට වගකීමක් හෝ වියදමක් නැත. ඉහත විස්තර කල අනෙක් සියලු වියදම් හා වගකීම් දරන්නේ ආනයනකරු හෝ ආනයනකරුගේ නියෝජිතයාය (agent). අඩුම ගානේ බඩු ටික ගබඩාවේ සිට ලොරි/ට්‍රක්වලට පැටවීමේ වගකීමවත් අපනයනකරුට නැත.
ඇත්තටම අපනයනකරු මෙතැනදී නිකංම තොග වෙලෙන්දෙක් මට්ටමට වැටී තිබේ. කෙසේ වෙතත්, ආනයනකරු එම බඩු තොගය තම රටට ගෙන යෑමේදී ඉහත විවිධ වගකීම් ඉටු කරන විට අපනයනකරුද ඔහුට උදව් කරනවා. උඹ බඩු ගත්ත නම් මට කරදර නොකර කරගනිං කියා සිතුවොත් නැවත අර අපනයනකරු සමඟ ගනුදෙනු කිරීමටත් බැරි වෙනවා.
තවද, සුපුරුදු ලෙසම ඉන්වොයිස් ආදිය නිසි ලෙස සකසා ආනයනකරුට යැවීමේ වගකීම තවමත් අපනයනකරුට තිබෙනවා. නිකංම තොග වෙලඳාමක් ලෙස පෙනුනත් එය තවමත් අපනයන වෙලඳාමක්. එනිසා මුදල් ලබා ගැනීම ආදි කටයුතු මීට පෙර කතා කල ආකාරවලින් සිදු වෙනවා.
සාමාන්‍යයෙන් මෙම ක්‍රමයට ආනයනකරු කැමති වෙන්නේ ඔහුගේ හැකියාව හා කීර්ති නාමය මත අඩු වියදමින් ඉතිරි වැඩ කර ගැනීමට හැකි විටයි. මෙහිදී අපනයනකරු එම භාන්ඩවල මිල දක්වන්නේ එම වියදම් නැතිවනෙ. එමඟින් ආනයනකරුට මුලු වියදම අඩුවෙන් බඩු ටික තම රටට ගෙන්වා ගැනීමට හැකි වෙනවා.
ලංකාවේ මෙම ක්‍රමය එතරම් ප්‍රචලිත නැත. මෙම ක්‍රමය අපනයනකරුට රිස්ක් එක මෙන්ම කරදරය ඉතාම අඩු අතර, ආනයනකරුට රිස්ක් එක හා කරදර වැඩිය.
මෙම ක්‍රමයේදී ගිවිසුමට අනුව අපනයනකරු බඩු ටික සකස් කර තම ගබඩාවේ තැන්පත් කර ආනයනකරුට දන්වා සිටිනවා බඩු ටික රෙඩි කියලා. එම දැනුම් දුන් මොහොතේ අපනයනකරුට එම බඩුවල වගකීම පැටවෙනවා. රීතිය අනුව, බඩු ටික දැන් අපනයනකරු විසින් ආනයනකරුට පවරා අවසන්ය. ඒ කියන්නේ බඩුවලට අදාල මුදල ගෙවීමට ආනයනකරුට දැන් සිදු වෙනවා බඩු ටික තවම අපනයනකරුගේ ගබඩාවේ තිබුනත්.
ඇත්තටම ඉහත ඡේදය කියවන විට ආනයනකරුට විශාල අවදානමක් තිබෙන බව පේනවා මොකද අර දැන්වීම දුන් මොහොතේ සිට එම බඩුවල වගකීම ආනයනකරු සතුයි. එවිට, අපනයනකරුගේ පාර්ශවයෙන් වුවත් එම බඩුවලට යම් හානියක් සිදු වුවත්, වගකීම ආනයනකරු සතුයි. එනිසා, මෙලෙස බඩු මිල දී ගන්නා විට, ආනයනකරු විසින් එම බඩුවලට රක්ෂන ආවරනයක් ගන්න විට, Institute Cargo Clause A යන රක්ෂන වගන්තිය යටතේ රක්ෂන ආවරනය ලබා ගැනීම සුදුසුය. මේ වගන්තියට තරමක් වැඩි රක්ෂන මුදලක් (premium) ආනයනකරුට ගෙවීමට සිදු වුවත්, එමඟින් අර අපනයනකරුගේ ගබඩාවේ බඩු තිබෙන කාලය තුලත්, එම බඩුවලට රක්ෂනය හිමි වෙනවා.
ඇත්තටම අපනයන බඩු රක්ෂනයේදී වැඩිම රක්ෂන ආවරණය ලැබෙන්නේ cargo clause A යටතේය. මෙයට අමතරව cargo clause B, cargo clause C ලෙස තවත් ආකාර දෙකක රක්ෂන තිබෙනවා. රක්ෂනය ගැන ඉදිරියේදි කතා කරන විට, තවත් මේ ගැන කතා කරමු.
ඇත්තෙන්ම මෙම ක්‍රමය පොතේ හැටියටම ක්‍රියාත්මක කරන්නට ගියොත් මෙම ක්‍රමය ඉතාම අසාර්ථක ක්‍රමයක්. උදාහරනයක් ලෙස, විශාල බඩු තොග අපනයනකරුගේ ගබඩාවෙ සිට ට්‍රක්වලට පැටවීමට ක්‍රේන් ආදිය භාවිතා කිරීමට සිදු වෙනවා. ඉතිං, පැටවීමේ වගකීමත් ආනයනකරු සතු නිසා ආනයනකරුට එම බර යන්ත්‍රෝපකරනත් අපනයනකරුගේ ගබඩාව තුලට ගෙන ඒමට සිදු වෙනවා. ඒකට අපනයනකරු කැමති වෙයිද? ක්‍රේන් හසුරුවන්නා ගබඩාවේ ඇති වෙනත් බඩුවලටත් හානි කලොත් (හැප්පුවොත්) ඒ වගකීම කා විසින් ගත යුතුද? මේ ආදි ලෙස ප්‍රායෝගික ගැටලු පවතී.
එහෙත් ආනයනකරු හා අපනයනකරු සහයෝගයෙන් එම කටයුතු කල හැකියි. ඒ කියන්නේ, පොතේ රීති කුමක් කීවත්, අපනයකරුට හැකියි බඩු පැටවීම ආනයනකරු වෙනුවෙන් සිදු කරන්නට; ඒ සඳහා ගාස්තු අය කරගන්න පුලුවන් ආනයනකරුගෙන්. අපනයනකරු බඩු පැටවීමටත් කැමති වෙනවා නම්, අර විකුනුම් ගිවිසුමේ එයත් සඳහන් කරන්න. ඒ විතරක් නෙමේ, එසේ අපනයනකරු පැටවීම සිදු කරනවා නම්, ඒ සඳහා ආනයනකරු විසින් ගෙවිය යුතු ගාස්තුවත් එම ගිවිසුමේ ඇතුලු කරන්න. එසේ ඇතුලත් නොකලොත් වැරදි වැටහීමක් ඇතිවිය හැකියි එම වියදම අපනයනකරු විසින් දරනවා කියා.
මෙලෙස සහයෝගයෙන් එම ගැටලු විසඳාගත නොහැකි වුවොත්, වෙනත් ඉන්කොටර්ම්ස් රීතියක් දෙදෙනාම කතිකා කර යොදා ගන්න.
FCA (Free Carrier)
මෙය ඉහත එක්ස්වර්ක්ස් එකට වඩා තරමක වැඩ කොටසක් අපනයනකරු වෙත පැවරෙන රීතියකි. එහිදී, බඩු ටික නියම කොලිටියට සපයා, ගිවිසුම් ප්‍රකාරව පැකිං සිදු කර, අපනයනකරුගේ රට තුලම ආනයනකරු ඉල්ලා සිටින තැනකට ගෙන ඒම අපනයනකරු විසින් සිදු කල යුතුය. එවිට, බඩු ට්‍රක් රථවලට පැටවීම හා අදාල ස්ථානය දක්වා ප්‍රවාහන ගාස්තු අපනයනකරු විසින් දැරිය යුතුය. එහෙත් එලෙස අදාල තැනට බඩු ගෙන ආවාට පසුව එම බඩු බිමට බෑම ආනයනකරුගේ වියදමින් සිදු කල යුතුයි. මීට අමතරව, අපනයනකරු විසින් අපනයනට අදාලව විවිධ ලිපිලේකන සකස් කිරීමද, අපනයනකරුගේ රටේ රේගු ගාස්තු ආදිය (export formalities) සිදු කල යුතු වෙනවා. ආනයනකරු විසින් නැව් ගාස්තු, රක්ෂනය, වරාය ගාස්තු ආදි අනෙක් සියලු වියදම් දැරිය යුතුයි.
ෆ්‍රී කැරියර් ක්‍රම දෙකක් ඇත. එකකදී, අපනයනකරු විසින් එම භාන්ඩ තම ගබඩාවේ තබා ගනී; ඒ විතරක් නොවේ, ආනයනකරු විසින් බඩ පටවාගෙන ඒමට එවන ට්‍රක් රථවලට එම බඩු පටවා දීමද සිදු කරයි අපනයනකරුගේ වියදමින්. දෙවැනි ක්‍රමයේදී වරාය වෙත එම බඩු ගෙන යෑම අපනයනකරු විසින් කල යුතු වේ. එවිට, අදාල වරාය ගාස්තු, ඒ දක්වා ප්‍රවහන ගාස්තුත් අපනයනකරුට දැරීමට සිදු වේ.
මෙම ක්‍රමයත් ලංකාවේ බහුලව භාවිතා නොවෙන නිසා මේ ගැන වැඩි විස්තර අවශ්‍ය නැත.
FAS (Free Alongside Ship)
මෙම ක්‍රමය එතරම් භාවිතා නොවේ. එහෙත් මෙහිදී, අපනයනකරු විසින් බඩු සපයා ගෙන, සුදුසු පරිදි පැකිං සිදු කර, අපනයනය සිදු කරන වරායේ නැව අසලටම බඩු ගෙනත් ගොඩ බෑ යුතුය. එතෙක් සියලු වියදම් හා වගකීම් අපනයනකරු විසින් දැරිය යුතුය. එනම්, බඩු ගබඩාවෙන් වාහනවලට පැටවීම, එම වාහනවලින් වරාය තෙක් බඩු ප්‍රවහනය, ඉන්පසු නැව නවතා තබන ජැටියට බඩු ගොඩ බෑම, එහිදී වරායට හා රේගුවට ගෙවිය යුතු වියදම් දැරීම් යන සියල්ලම අපනයනකරු විසින් දැරිය යුතුය. ඇත්තටම මෙම බඩුවල වගකීම ආනයනකරු වෙත පැවරෙන්නේ එලෙස බඩු ජැටියට ගොඩ බා තිබී අදාල නැව එම ජැටියට සේන්දු වූ විටයි. බඩු ගොඩ බා තිබුනත්, නැව තවමත් ජැටියට සේන්දු කර නැතිනම්, තවමත් බඩුවල වගකීම අපනයනකරු සතුයි. නැව් ගාස්තු ගෙවීම, රක්ෂනය සිදු කිරීම, ආනයනකරුගේ රටේ සිදු කරන සියලු ක්‍රියා ආනයනකරුගේ වගකීම් වේ.
FOB (Free OnBoard)
ලංකාවේ ප්‍රචලිතම ක්‍රමයකි. සමහරු Freight Onboard ලෙසද මෙය හඳුන්වනවා. අපනයනය සාමාන්‍යයෙන් මේ ක්‍රමය යටතේ සිදු වේ. මෙහිදී බඩු නැවට පටවන තෙක් සියලු වගකීම් හා වියදම් අපනයනකරු විසින් දැරිය යුතුය. ඒ කියන්නේ ඉහත FAS යටතේ ඇති සියලු වියදම් හා වගකීම්වලට අමතරව, නැවට බඩු පැටවීමේ ගාස්තුද ගෙවිය යුතුය. ඒ විතරක් නොව, එසේ පටවා අවසන් වන තුරු වගකීම අපනයනකරු විසින් දැරිය යුතුය. ඒ අනුව බඩු නැව මත තැබූ පසු අපනයනකරුගේ වගකීම ආනයනකරු වෙත යනවා.
එහෙත් නැව් ගාස්තු ගෙවන්නේ ආනයනකරුයි. නැව් ගාස්තු ගෙවන්නේ ආනයනකරු නිසා සුදුසු නැවක් “බුක් කරන්නේද” ආනයනකරු විසින්ය. ඉතිං, ආනයනකරු සඳහන් කරන නැවට අදාල කාල වේලාව තුලදී බඩු ගෙන ගොස් පැටවීම අපනයනකරු විසින් කල යුතු වෙනවා.
එහෙත් ගිවිස ගත් දිනට හා වෙලාවට නැව නොපැමිනියොත් හෝ අපනයනකරුගේ වරදක් සිදු නොවී ආනයනකරුගේ හෝ ඔහු විසින් තෝරාගත් නැව් සමාගමේ වරදින් එම බඩු අදාල වෙලාවට නැවට පැටවීමට බැරි වුවොත්, මෙවිට අදාල වෙලාව පහු වූ විටත් ඉබේම වගකීම අපනයනකරුගෙන් ආනයනකරු වෙත පැවරේ. අවශ්‍ය නම්, ආනයනකරුගේ උපදෙස් හා වියදම් මත අපනයනකරුට හැකියි නැව් සමාගමක් සමග අල්ලාගෙන බඩු ටික නැව්ගත කරන්නටත්.
ඉහත විස්තර කල ආකාරයට FOB ක්‍රියාත්මක වේ නම් ඊට “freight collect” යන යෙදුමද ලිපි ලේකන තුල සමහරවිට දක්නට ලැබෙනවා. මින් කියන්නේද මුහුදු ගමන් ගාස්තුව ආනයනකරු විසින් ගෙවිය යුතු බවයි (ආනයනකරුගෙන් ගාස්තුව කලෙක්ට් කර ගන්න).
CFR (Cost and Freight)
ඉහත එෆ්ඕබී ක්‍රමයට වඩා මෙහි ඇති වෙනස වන්නේ නාවුක ගමන් ගාස්තුවද අපනයනකරු විසින් දැරීමයි. එනිසා CFR ක්‍රියාත්මක වන විට, “freight prepaid” යන යෙදුමද සමහරවිට දක්නට ලැබෙනවා. ඉස්සර මෙය C&F ලෙසිනුත් හැඳින් වූවා.
මෙහිදිත් අපනයනකරුගේ බඩු කෙරෙහි ඇති වගකීම අවසන් වනවා බඩු ටික නැවට පැටවූ පසුව (එෆ්ඕබී වගේමයි); ආනයනකරුගේ වරායට බඩු එන තෙක් නොවෙයි.
CIF (Cost, Insurance, and Freight)
මෙහිදී ඉහත සීඑෆ්ආර් ක්‍රමයට වඩා වෙනස් වන්නේ අපනයනකරු විසින් බඩු රක්ෂනය කිරීමයි. ඉහත හැම ක්‍රමයකදීම රක්ෂනය සිදු කලේ ආනයනකරු විසින්ය. එහෙත් මෙම ක්‍රමයේ සිට ඉදිරි ක්‍රමවලදී අපනයනකරු එම රාජකාරියත් ඉටු කරයි. මෙයත් ලංකාවේ ඉතා ප්‍රචලිත ක්‍රමයකි.
රක්ෂනය කිරීමේදී බඩුවල සත්‍ය මිලට (ඉන්වොයිස් මිල) වඩා අඩුම ගානේ 10%කවත් මිල වැඩි කර (surcharge), එනම් සත්‍ය මිලෙහි 110%ක වටිනාකමටයි එය සිදු කරන්නේ. මෙය මුහුදු රක්ෂනයක් නිසා, සාමාන්‍යයෙන් පටවන වරායෙ සිට ගොඩබාන වරාය දක්වා බඩුවලට ආවරණයක් ලැබේ.
සාමාන්‍යයෙන් වාහන රක්ෂනයක් හෝ දේපල රක්ෂනයක් කරන්න ගියත් මූලික රක්ෂනයට අමතර ආරක්ෂන වගන්ති ඇතුලත් කරන්නත් හැකියිනෙ. එවිට විවිධ හේතු නිසා ඇති වන උවදුරුවලින් රක්ෂන ආවරනය ලැබෙනවා. එහෙත් ගෙවිය යුතු ප්‍රීමියම් එකද වැඩි වෙනවා. මුහුදු රක්ෂනයත් එබදුයි. සාමාන්‍යයෙන් අපනයනකරු ලබා ගන්නේ මූලික රක්ෂනයක්. එහෙත් ආනයනකරුට කිව හැකියි ඊට තවත් ආරක්සන වගන්ති ඇතුලත් කරන්න කියා. මෙවිට ආනයනකරුට වැඩිපුර යන ප්‍රීමියම් ගාස්තු ගෙවන්නට සිදු වෙනවා.
DDP (Delivery Duty Paid)
අපි සියලුම ඉන්කොටර්ම්ස් ක්‍රම ගැන එකින් එක නොබලා අවසාන ක්‍රමයට යමු. මෙම DDP රූල් එක යටතේ සියලුම වියදම් හා වගකීම් අපනයනකරු වෙත පැවරේ. ඒ කියන්නේ ආනයනකරු මෙම ක්‍රමයෙන් බඩු ආනයනය කලොත්, ඔහුට කිසිවක් කිරීමට නැත. අවශ්‍ය මුදල් ටික ගෙවූ විට, තමන් කියනා ස්ථානය දක්වා බඩු ටික අපනයනකරු විසින් ගෙනත් දේවි.
අපනයනකරුට අති විශාල වගකීමක් හා රිස්ක් එකක් මෙහි තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැහැනෙ. සාමාන්‍ය අපනයනකරුවන්ට මෙම ක්‍රමය සුදුසු නැත. ලංකාව වැනි සමහර රටවල, අනතර්ජාතික වෙලදාම සිදු කිරීමට එම රට තුල ව්‍යාපාරයක් ලියාපදිංචි කර තවත් ලියාපදිංචි වීම් කිහිපයක් කල යුතු වෙනවා. ඉතිං, එය වියදම්කාරියි මෙන්ම කරදරකාරියි.
අනෙක් ක්‍රම වන CPT (Carriage Paid To), CIP (Carriage and Insurance Paid), DPU (Delivered at Place Unloaded), DAP (Delivered At Place) ගැනත් අවශ්‍ය අයෙකුට විස්තර පහසුවෙන් දැනගත හැකියි අන්තර්ජාලයෙන්.
යම් වගකීමක් හෝ කාර්යක් කරන විට ඊට මුදල් වැය කිරීමක්, කාලය ගත කිරීමක්, ශ්‍රමය යෙදවීමක් ආදිය සිදු කරන්නට වෙනවා. එනිසා අපනයනකරු විසින් වැඩි වැඩියෙන් මුදල්, කාලය, ශ්‍රමය, බුද්ධිය ආදිය වැය කරනවා නම් අනිවාර්යෙන්ම ඔහු ඒ සඳහා යම් මුදලක් (ලාභයක්) ලබා ගන්නවා. එම වියදම හා ලාභයත් අපනයනකරු විසින් තමන්ගේ බඩුවල මිලට එකතු කරනවා. එනිසා අපනයනකරු විසින් වැඩි වැඩියෙන් කාර්යන් කරන්නට ගියොත් අවසානයේ බඩු ලොට් එකේ මිලද වැඩි වේ.
මේ අනුව අපනයන බඩුවල මිල වෙනස් වෙනවා ආනයනකරුට එම බඩු යවන ඉන්කොටර්ම් රීතිය අනුව. උදාහරනයක් ලෙස, යම් බඩු ලොට් එකක් එෆ්ඕබී ක්‍රමයෙදි ඩොලර් ලක්ෂයක් නම්, සීඅයිඑෆ් ක්‍රමයේදි එය ඩොලර් 130,000 විය හැකියි. FOB ක්‍රමයට මිලට ගත්තත්, ආනයනකරුට සිදු වෙනවා නැව් ගාස්තු හා ඉන්ෂුවරන්ස් ගාස්තු ගෙවන්නට. සමහරවිට එම වියදම් දෙකම ඩොලර් 26000ක් විය හැකියි. මෙහිදී ඇති වන ඩොලර් 4000 වෙනස තමයි අපනයනකරු විසින් තවත් ලාභයක් ලෙස තබා ගන්නේ තමන් කරන අමතර රාජකාරිවල ගාස්තු වශයෙන්.
ඊළඟ ලිපියෙන් නැවත හමු වෙමු...