Skip to main content

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 35

Multiplexing

මල්ටිප්ලෙක්සිං යනු සන්නිවේදනයේ නැතිවම බැරි තාක්ෂණික උපක්‍රමයකි. එකිනෙකට වෙනස්/ස්වාධීන සංඥා කිහිපයක් එකම සන්නිවේදන මාධ්‍යයක් ඔස්සේ සම්ප්‍රේෂනය කිරීම මින් සිදු වේ. උපමාවකින් එය වඩා හොඳින් පැහැදිලි කළ හැකිය. මහා මාර්ගයක් සලකන්න. එහි එකවර විවිධ අයගේ වාහන ගමන් කරනවා නේද? එය තනි පාරකි; එහෙත් විවිධ අය එකවර ඒ හරහා ගමන් කරනවා. මල්ටිප්ලෙක්සිං වලද තත්වය එසේමය. එකම මාධ්‍යයක විවිධ සංඥා කිහිපයක් එකවර ගමන් කරනවා.

මෙහි ඇති වාසිය වන්නේ සම්පත් ඉතාම කාර්යක්ෂමව භාවිතා කිරීමයි. පාරේ උපමාව නැවත සැලකුවොත්, තනි තනි කෙනාට වෙන වෙනම පාරවල් සාදන්නට ගියොත් එය කොතරම් නාස්තියක්ද? එලෙසම, විදුලිසන්දේශවලදී රේඩියෝ සංඥා යනු ඉතාම සීමිත සම්පතකි. එනිසා බොහෝ දෙනෙකුට එම සීමිත සම්පත සාධාරණව භාවිතා කිරීමට හැකි සෑම උත්සහයක්ම ගත යුතුය. ඉතිං, මල්ටිප්ලෙක්සිං යනු ඒ සඳහා යොදා ගන්නා අනර්ඝතම උපක්‍රමයකි. මෙමඟින් වැඩි දෙනෙකුට අඩු වියදමකින් උපරිම සේවාවක් (ඉක්මන් හා විශාල දත්ත සම්ප්‍රේෂණ වේගයක්) සපයා දේ.


multiplexer (MUX යනු එහි කෙටි නමයි) උපකරණයට ඇතුලු කරන තනි තනි සංඥා baseband signals ලෙස හඳුන්වනවා. එන්පසු ඉන් පිට කරන මිශ්‍ර සංඥාව multiplexed signal ලෙස හැඳින්වේ. එය සාමාන්‍යයෙන් broadband signal එකක් ලෙසද හැඳින්විය හැකියි. ඉන්පසු රේඩියෝ තරංග (හෝ වෙනත් මාර්ගයකින්) සම්ප්‍රේෂනය කරන්නේ එම මල්ටිප්ලෙක්ස්ඩ් සංඥාවයි.


ඉතිං, සම්ප්‍රේෂකය පැත්තේදී මල්ටිප්ලෙක්ස් කරපු සංඥාවක් එකවර ආදායකයට තේරුම් ගන්න බැහැනෙ. ඊට හේතුව මල්ටිප්ලෙක්සිං කරන විට, විවිධ ආදායකයන් සඳහා වූ වෙනස් වෙනස් සංඥා කන්දරාවක් එක ගොන්නට තිබෙනවා (එය නිකං තැපැල් කන්තෝරුවේ ලියුම් මල්ල වගේ; විවිධ අය සඳහා වූ ලියුම් එහි තිබෙනවා). එනිසා, ආදායකයට සිදු වෙනවා එම සංඥා ගොන්නෙන් තමන් සඳහා වූ සංඥාව/චැනලය පමණක් තෝරා බේරා ගන්නට. මෙම ක්‍රියාව demultiplexing ලෙස හැඳින්වෙනවා. එය මල්ටිප්ලෙක්සිං ක්‍රියාවේ විලෝම ක්‍රියාවයි.


මල්ටිප්ලෙක්ස් සිදු කළ හැකි ප්‍රධාන ආකාර 3ක් තිබේ. ඒවා,

1. Frequency Division Multiplexing (FDM)
2. Time Division Multiplexing (TDM)
3. Code Division Multiplexing (CDM)

Frequency Division Multiplexing

පැරණිතම මෙන්ම පහසුතම ක්‍රමය මෙයයි. ඊට හේතුව මූර්ජනය කරන විට ඉබේම මෙය සිදු වෙන බව ඔබට මොහොතකින් දැක ගන්නට ලැබේවි. දී තිබෙන මාධ්‍යයේ යම් (පුලුල්) සංඛ්‍යාත පරාසයක් පටු සංඛ්‍යාත පරාස කිහිපයකට වෙන් කර, ඒ එක් එක් පටු සංඛ්‍යාත පරාසයේ වෙනස් වෙනස් සංඥා/චැනල් යවනවා. පහත රූපයේ ලොකුවට තැඹිලි පැහැයෙන් පෙන්වන්නේ පුලුල් සංඛ්‍යාත පරාසය වන අතර, ඒ තුල වෙන වෙනම සංඥා 4ක් ඇති බව පෙනේ.


මේ නම භාවිතා නොකළත්, රේඩියෝ සංඛ්‍යාත ඔස්සේ අතීතයේ සිට අදටත් විවිධ සන්නිවේදනයන් එකවර සිදු කළේ මේ ක්‍රමයෙනි. උදාහරණයක් ලෙස, ටීවි හෝ එෆ්එම් රේඩියෝ සේවා සලකන්න. එක් චැනලයක් අනෙක් චැනලයෙන් වෙන් වන්නේ සංඛ්‍යාතයෙන් නේද?

එසේ වුවත්, FDM යන නම ඍජුවම භාවිතා වෙන්නේ යම් කෙනෙකුට/ආයතනයකට (නීත්‍යානුකූලව) භාවිතා කළ හැකි යම් රේඩියෝ සංඛ්‍යාත පරාසයක්, පටු සංඛ්‍යාත පරාස කිහිපයකට කඩා එකවර සන්නිවේදන කිහිපයක් සිදු කිරීම කරන විටයි.

ඇත්තටම රේඩියෝ තරංගවල මෙන්ම, වයර් හරහා යන සංඥා සඳහාද මෙය වලංගු වේ (වයර් හරහා යන සංඥා සඳහා භාවිතා වන විට, කාගෙන්වත් විශේෂ අවසර ගැනීම් අවශ්‍ය නැති බව ඔබ දන්නවා). වයර් හරහා යන සංඥා සඳහා FDM භාවිතා වන ඉතා කදිම අවස්ථාවක් තමයි රැහැන් දුරකතන පහසුකම හරහා ලබා දෙන බ්‍රෝඩ්බෑන්ඩ් ඉන්ටර්නෙට් පහසුකමක් වන ADSL (Asymmetric Digital Subscriber Line/Loop). මෙහිදී ටෙලිකොම් සමාගමක් විසින් සපයන තඹ වයර් ඔස්සේ ඔබේ කටහඬට අදාල සංඥාවත් (voice signal), අන්තර්ජාල දත්ත සඳහා වූ දත්ත සංඥාවත් (data signal) යන සංඥා දෙකම එකවර යැවෙනවා.


මෙහිදී හර්ට්ස් 300 – 4000 යන සංඛ්‍යාත පරාසය වෙන් වන්නේ කටහඬ යැවීම සඳහා වන අතර, අධිවේගි දත්ත සම්ප්‍රේෂණය සඳහා කිලෝහර්ට්ස් 26 – 1100 යන සංඛ්‍යාත පරාසය වෙන් කෙරේ. ඇත්තටම දත්ත සංඥාව නැවත කොටස් දෙකක් ලෙසයි පවතින්නේ - upstream හා downstream (එනම් එතනත් FDM යෙදේ). ඔබේ උපකරණයේ සිට වෙනත් උපකරණයකට ගලා යන දත්ත චැනල් එක upstream ලෙස හැඳින්වෙන අතර, පිටස්තර උපකරණයක සිට ඔබේ උපකරණයට ගලා එන දත්ත චැනලය downstream ලෙස සන්නිවේදනයේදී හැඳින්වේ. සමහර අවස්ථාවලදී (විශේෂයෙන් සැටලයිට් හා රේඩියෝ තරංග භාවිතා කරන අවස්ථා) upstream යන්න uplink ලෙසද, downstream යන්න downlink ලෙසද හැඳින්වේ. මෙවිට, අප්ස්ට්‍රීම්/අප්ලින්ක් හරහා දත්ත යැවීම upload කිරීම ලෙසද, ඩවුන්ස්ට්‍රීම්/ඩවුන්ලින්ක් හරහා දත්ත ලබාගැනීම download ලෙසද හැඳින්වේ.

මෙලෙස වෙනස් චැනල් දෙකක් වුවත්, ඒවා ගමන් කරන්නේ වෙනස් සංඛ්‍යාත කලාපවල බැවින් එකිනෙකට සංඥා මිශ්‍ර නොවී ගමන් කරනවා. ඒ නිසයි ADSL පහසුකම සහිත ටෙලිෆෝන් කනෙක්ෂන් එකකදී එකවර අන්තර්ජාලයත් ටෙලිෆෝනයත් දෙකම භාවිතා කළ හැක්කේ. පහසුකම් දෙකම එකවර භාවිතා කිරීමට අවශ්‍ය විට, splitter නම් සරල උපාංගයක් භාවිතා කිරීමටත් සිදු වෙනවා. එය ඇත්තටම ඩිමල්ටිප්ලෙක්සර් උපකරණයකි. ඉන් කරන්නේ එකට මිශ්‍රව එන සංඥාවෙන් ශබ්ද සංඥාව හා දත්ත සංඥාව වෙන් කර, එම සංඥා දෙක වෙන වෙනම port (connector) දෙකකින් පිට කිරීමයි. එවිට, පහත රූපයේ පෙනෙන පරිදි ටෙලිෆෝනය එක පෝට් එකකටත්, පරිගනකය (ADSL router/modem ක් හරහා) අනෙක් (දත්ත) පෝට් එකටත් කනෙක්ට් කළ යුතුයි.


ADSL වලදී ස්ප්ලිටරය නැතත් ලොකු ගැටලුවක් නැත. කෙලින්ම ටෙලිෆෝනය හෝ රවුටරය/මොඩෙමය ටෙලිෆෝන් ලයින් එකට සවි කළ හැකිය. එවිට ටෙලිෆෝනය සංවේදී වන්නේ තමන්ට අදාල සංඛ්‍යාත පරාසයට පමණි; එමඟින් සාමාන්‍ය පරිදි කෝල් ලබා ගත හැකිය. එලෙසම මොඩෙමය/රවුටරය සංවේදි වන්නේ දත්ත එන සංඛ්‍යාතයට පමණි. එහෙත් ටෙලිෆෝනය හා පරිගනකය (රවුටරය) යන දෙකම එකවර භාවිතා කිරීමට අවස්ථාව නොලැබේ; කෝල් එකක් ගන්නා විට, අන්තර්ජාල සම්බන්දතාව ඉබේම විසන්ධි වේවි.

ලංකාවේ කවුරුත් දන්නේ ADSL යන වචනය පමණි. එහෙත් එය DSL නම් තාක්ෂණයේ එක් ප්‍රභේදයක් පමණි. VDSL, ADSL2+ ආදි ලෙස තවත් ප්‍රභේද ගණනාවක් එහි තිබේ. පහත දැක්වෙන්නේ එවන් DSL ප්‍රභේද කිහිපයක් සඳහා සංඛ්‍යාත පරාසයන් බෙදා ගන්නා ආකාරයයි. බලන්න එහි සංඛ්‍යාත පලල හෙවත් බෑන්ඩ්විත් එක ක්‍රමයෙන් වැඩි වෙනවා අනෙක් DSL ක්‍රමවලට යන විට. ඒ කියන්නේ ඩවුන්ලෝඩ් බෑන්ඩ්විත් එක ඒ ක්‍රමවල ක්‍රමයෙන් වැඩි වෙනවා. අන්තර්ජාලයෙන් අපි සාමාන්‍යයෙන් අප්ලෝඩ් කරනවාට වඩා ඩවුන්ලෝඩ් කරන නිසයි ඒ විදියට නිර්මාණය කර තිබෙන්නේ. මීට පෙරත් සඳහන් කර තිබෙන ආකාරයට, ඉහල බෑන්ඩ්විත් සපෝට් කිරීමට වයරයේ කොලිටියත් බලපානවා. ඊට අමතරව, DSL තාක්ෂණයේ තිබෙන තවත් තාක්ෂණික අවශ්‍යතා නිසා, ඉතා දිගු දුරවල් සහිත ටෙලිෆෝන් වයර් හරහා DSL පහසුකම දීමට අපහසුය.


පැරණි ඩයල්අප් ක්‍රමයේදී අන්තර්ජාලය භාවිතා කිරීම හා ටෙලිෆෝන් එකෙන් කතා කිරීම එකවර කළ නොහැකි විය. ටෙලිෆෝනයෙන් කතා කරන විට, අන්තර්ජාල පහසුකම භාවිතා කළ නොහැකිය; අන්තර්ජාලයට සම්බන්දව සිටින විට ටෙලිෆෝනය භාවිතා කළ නොහැකි විය. ඊට හේතුව වූයේ එම දත්ත වර්ග දෙකම යැව්වේ එකම සංඛ්‍යාත කලාපයේ වීමයි. එය හරියට වැසිකිලියක් භාවිතා කරන අවස්ථාවක් වැනිය (එකවරකට එය භාවිතා කළ හැක්කේ එක්කෙනෙකුට පමණයිනෙ).

තවද, රූපවාහිනි චැනලයක් විසුරුවා හරින විට, රූප වෙනමත් ශබ්ද වෙනමත් පවතිනවා විශාල තනි සංඥාව තුල. එයත් FDM තමයි. සාමාන්‍යයෙන් රූප තොරතුරු ඇති සංඥා කොටසේ කැරියර් සංඛ්‍යාතයට වඩා මෙගාහර්ට්ස් 4.5ක් පමණ ඈතින් ශබ්ද සංඥාවේ කැරියර් සංඛ්‍යාතය පිහිටුවනවා (පහත රූපය බලන්න). ඒ නිසා ටීවී සංඥා සාදා තිබෙන්නෙත් FDM යොදා ගෙනයි. ඇත්තටම ටීවී සංඥාවක් තුල මීටත් වඩා අමතර දත්ත යැවීමේ ක්‍රම දැන් තිබෙනවා. එවිටත් ඒ ඒ දත්ත වෙන වෙනම කලවම් නොවී පවත්වාගෙන යන්නේ ඒවා වෙනස් වෙනස් සංඛ්‍යාතවල පිහිටුවන නිසාය (එනම් FDM භාවිතා කරන නිසාය).


එලෙසමයි, එෆ්එම් ස්ටීරියෝ සංඥාත්. එහි ස්ටීරියෝ හැකියාව ලබා දෙන්නට තවත් ශබ්ද සංඥාවක් වෙනත් සංඛ්‍යාතයකින් (38kHz වාහකය) යවන බව මීට පෙර ඉගෙන ගත්තා. මීටත් අමතරව සමහර අවස්ථාවලදී RDS දත්තද යවනවා. මේ සියල්ලම සිදු කරන්නේ FDM ක්‍රමයෙන් තමයි. එනම්, එක් එක් සංඥා කොටස් වෙනස් වෙනස් සංඛ්‍යාත කලාපවල රැඳවීමයි FDM වල රාජකාරිය වන්නේ.


යම් ප්‍රධාන සංඥාවක් තුල ඉහත පෙන්වා දුන් ටීවී හා ස්ටීරියෝ උදාහරණ දෙකෙහිදී මෙන් උපසංඥා කොටස් යවන විට, ඒ ඒ උපසංඥා තනි තනිව මූර්ජනය කිරීමට වෙනම කැරියර් (මෙම අප්‍රධාන වාහක උපවාහක හෙවත් subcarriers ලෙස හඳුන්වන බව ඔබ දන්නවා) යොදාගන්නා විට, එය FDM යොදා ගැනීමකි (එම වචනය ඍජුවම භාවිතා නොකළත්). ඒ කියන්නේ සබ්කැරියර් භාවිතා වන සියලුම සන්නිවේදන අවස්ථාවල/භාවිතාවන්හි FDM භාවිතා වේ. පහත රූපයේ දැක්වෙන්නේ එලෙස සබ්කැරියර් කිහිපයක් භාවිතා කොට, ට්‍රාන්ස්මිටරයේ FDM සිදු කරන ආකාරයයි. එහි linear mixer හෙවත් summer යනුවෙන් කියන්නේද MUX ම තමයි. ඔබ දන්නවා මූර්ජනයේ එක් වැදගත් රාජකාරියක් තමයි අපට අවශ්‍ය සංඛ්‍යාත පරාසයකට අදාල සංඥාව ඔසවා තැබීම. ඉතිං එමඟින් අපට ඉබේම ලැබෙන්නේ FDM ක්‍රියාකාරිත්වයේ අත්‍යවශ්‍යම කොටස නොවේද?


ඉහත රූපය ආධාරයෙන් වැදගත් දෙයක් කියා දෙන්නට කැමතියි. මල්ටිප්ලෙක්සිං කරන්නේ ස්වාධීන සංඥානෙ. ඉතිං FDM ආකාරයට ඒවා මල්ටිප්ලෙක්ස් කරන විට, පළමුව එලෙස මල්ටිප්ලෙක්ස් කරන සංඥා ටික “ගානට” සංවිධානය කර ගත යුතුය. එය හරියට ඔබේ ලියන මේසය සංවිධානය කරනවා වැනිය. විදුලි සංඥා අපට අතින් ඇල්ලිය නොහැකි නිසා අල්ලලා එක එක තැන තැබිය නොහැකියිනෙ. එම පිලිවෙලට තැබීම කරන්න වෙන්නෙත් විදුලිමය ක්‍රමයකින්. ඉතිං ඒ සඳහා අපට මූර්ජනය භාවිතා කළ හැකියි. ඔබ දන්නවා මූර්ජනයක ප්‍රධාන කාර්යක් තමයි සංඥා ඔසවා අපට කැමති සංඛ්‍යාත පරාසයක තබන එක. එයම තමයි FDM කියන්නෙත්. අන්න එම රාජකාරිය සඳහා තමයි ඉහත රූපයේ පෙන්වා දී තිබෙන ලෙසට එක් එක් සංඥාව සඳහා වෙන වෙනම මූර්ජක තිබෙන්නේ. එලෙස පිලිවෙලට සැකසූ සංඥාව තමයි multiplexed signal කියන්නේ. දැන් එය තනි සංඥාවක් ලෙස සලකා කටයුතු කරන්න. එමනිසා, එම (අවසාන තනි) සංඥාව නැවතත් සුදුසු මූර්ජන ක්‍රමයක් භාවිතා කරමින් (එනම් නැවතත් මූර්ජකයක් යොදා ගැනීමට සිදු වෙනවා), අවශ්‍ය සංඛ්‍යාතයක් ඔස්සේ සම්ප්‍රේෂණය කළ හැකියි (රේඩියෝ තරංග ලෙස හෝ වයරයක් හරහා යන විදුලි සංඥාවක් ලෙස හෝ ෆයිබර් ඔප්ටික් එකක් හරහා යන ලේසර් ආලෝකයක් ලෙස).

ඉහත රූපයේ ආකාරයට මූර්ජක කිහිපයක් මඟින් සබ්කැරියර් කිහිපයක් සාදා ගෙන, එම සබ්කැරියර්වලට අප මුලදී ඉගෙන ගත් කිසියම් හෝ ඇනලොග් හෝ ඩිජිටල් හෝ මූර්ජන ක්‍රමයකින් බුද්ධි තොරතුරු කවා, ඉන්පසු මල්ටිප්ලෙක්සරයක් හරහා යවා තනි පුලුල් සංඛ්‍යාත පරාසයක සංඥාවක් බවට පත් කර ගනී. එලෙස අවශ්‍ය පිලිවෙලට සකසා ගත් සංඥාව දැන් නැවත ප්‍රධාන මූර්ජකයකට (ඉහත රූපයේ Transmitter යන කොටස තුල මෙම මූර්ජකය ඇත) යවා සම්ප්‍රේෂනය කළ යුතු සංඛ්‍යාත පරාසයේ පිහිටුවනවා. ඉන්පසුව, එය සුපුරුදු ලෙස රේඩියෝ තරංග ලෙස (හෝ වෙනත් ක්‍රමයකින්) සම්ප්‍රේෂණය කෙරේ. එම මල්ටිප්ලෙක්ස්ඩ් සංඥාව දැන් රිසීවරයකින් ග්‍රහනය කර ගෙන සිදු කරන සමස්ථ ක්‍රියාවලිය පහත රූපයේ දැක්වේ.


පළමුවෙන්ම සාමාන්‍ය පරිදි මල්ටිප්ලෙක්ස්ඩ් සංඥාව ග්‍රහනය කර ගෙන විමූර්ජනය කෙරේ (මල්ටිප්ලෙක්සිං භාවිතා කළත් නොකළත් එම පියවර කිරීම අනිවාර්යයිනෙ). එවිට, අපට ලැබෙන සංඥාවේ අර පෙරදී පෙළ ගැස්වූ තනි තනි සංඥා කිහිපයම එලෙසම පිලිවෙලට දක්නට ලැබේවි. ඉතිං, එම සංඥා ගොඩ Band Pass Filter (BPF) ක් හරහා යවා අදාල තනි සංඥාවක් වෙන් කර ගැනේ. බෑන්ඩ්පාස් ෆිල්ටරයක් යනු යම් පුලුල් සංඛ්‍යාත පරාසයකින් කුඩා නිශ්චිත සංඛ්‍යාත පරාසයක් පමණක් වෙන් කර ගත හැකි ඉතා සරල ඉලෙක්ට්‍රොනික් පරිපථයකි (ඉන් වෙන් කර ගත යුතු සංඛ්‍යාත කලාපය සෙට් කළ හැකිය). තනි තනි සංඥා කිහිපයම උකහා ගැනීමට අවශ්‍ය විට, ඉහත රූපයේ ආකාරයට බෑන්ඩ්පාස් ෆිල්ටර් කිහිපයක්ම යෙදිය හැකිය. ඉන්පසු නැවත එක් එක් විමූර්ජකයකින් මුලදී තනි තනිව මූර්ජනයට ලක් කළ එක් එක් සංඥා විමූර්ජනය කර ඔරිජිනල් බුද්ධි සංඥා ලබා ගත හැකියි.

ඉහත ආකාරයට FDM යොදාගෙන ප්‍රායෝගිකවම සන්නිවේදන පද්ධතියක් සාදා ගන්නා හැටි පහත රූපයේ ඇත. මෙය RDS පහසුකමද සහිත FM stereo රේඩියෝ සංඥාවක් සාදා ගන්නා අයුරුය. ස්ටීරියෝ මයික් එකකින් එන ශබ්ද සංඥා දෙකෙහි එකතුව හා වෙනස පළමුව සාදා ගැනේ combining circuit මඟින්. එම එකතුව සහිත සංඥාවට 19kHz ට පසුව නිකංම පයිලට් සංඥාව ස්ථානගත කෙරේ. “එකතුව සංඥාවට” 38kHz කට පසුව වෙනස සහිත සංඥාව ස්ථාන ගත කෙරේ. එහිදී DSB ක්‍රමයට එම “වෙනස සංඥාව” මූර්ජනය කරනවා (balanced modulator මඟින්). ඉන්පසුව “එකතුව සංඥාවට” 57kHz කට පසුව RDS සංඥාව ස්ථානගත කෙරේ. මෙම RDS සංඥාව QPSK යන ඩිජිටල් මූර්ජනය ක්‍රමයටයි සකස් කර තිබෙන්නේ. ඉන්පසුව එලෙස පිලිවෙලට ස්ථානගත කරපු හෙවත් මල්ටිප්ලෙක්ස් කරපු සංඥා පෙල අවසාන එෆ්එම් මූර්ජක පරිපථය හරහා යවා සුදුසු සංඛ්‍යාත පරාසයකින් සම්ප්‍රේෂනය කෙරේ.


අවසාන මූර්ජකය තුලට ඇතුලු වන ඉහත ආකාරයට සාදා ගත් සංඥාව FM Stereo multiplex signal ලෙස හැඳින්විය හැකිය. එහි එක් එක් සංඥා කොටස් පිහිටන්නේ පහත ආකාරටයි. ඉහත රූපයේ විස්තර සමඟ පහත රූපයේ විස්තර සසඳා බලන්න.


ඉහත එෆ්එම් මල්ටිප්ලෙක්ස් සංඥාව රිසීවරයකින් ලබා ගෙන කරන දේ පහත රූපයේ දැක්වේ. පළමුවෙන්ම ග්‍රහනය කරගත් එෆ්එම් සංඥාව විමූර්ජනය කරනවා. එන්පසුව එහි ඇති තනි තනි සංඥා කොටස් ෆිල්ටර් හරහා වෙන් කර ගන්නවා. එසේ වෙන් කර ගත් සංඥා කොටස් ඒවා මූර්ජනය කර තිබෙන මූර්ජන ක්‍රමයට ගැලපෙන විමූර්ජක පරිපථ විසින් විමූර්ජනය කෙරෙනවා. උදාහරණයක් ලෙස, RDS සංඥාව මූර්ජනය කළේ QPSK ක්‍රමයෙන් නිසා, එම සංඥාව විමූර්ජනය කරන්නේ QPSK විමූර්ජකයකිනි.

Comments

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...

ඉලෙක්ට්‍රෝනික්ස් II (Electronics) - 6

විශේෂ ප්‍රතිරෝධක ඉහත සාකච්ඡා කළ නියත හා විචල්‍ය ප්‍රතිරෝධක හැරුණහම , තවත් සුවිශේෂී ජනප්‍රිය ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ද තිබෙනවා . මේවා ආලෝකය , උෂ්ණත්වය වැනි විවිධ භෞතික රාශින්ට සංවේදී ප්‍රතිරෝධකයි . මේ අතරින් සුලභම වර්ගය තමයි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක වර්ගය . මේවා ප්‍රකාශ - ප්‍රතිරෝධක (photoresistor) හෝ “ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක” (Light Dependent Resistor – LDR) ලෙස හැඳින් වෙනවා . එහි සාමාන්‍ය භාහිර හැඩය පහත දැක්වේ .   මෙම ප්‍රතිරෝධයේ හිස මත තිබෙන්නේ ආලෝකයට ඉතා සංවේදී කැඩ්මියම් සල්ෆයිඩ් (CdS), ලෙඩ් සල්ෆයිඩ් (PbS), කැඩ්මියම් සෙලිනයිඩ් (CdSe) ආදී යම් රසායනික ද්‍රව්‍යයකි . එම ද්‍රව්‍යයන්වල ඉතා ඉහල ( බොහෝවිට 500k ohm වැනි ) ප්‍රතිරෝධි අගයන් තිබේ . එහෙත් ඒ මතට ආලෝකය වැටෙන විට , ප්‍රතිරෝධි අගය සීඝ්‍රයෙන් පහළ යයි ( බොහෝවිට ඕම් 500 වැනි ). මෙහිදී කිව යුතු වැදගත් කරුණ නම් , ඉහත සඳහන් කළ ( හා නොකළ ) ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය එකම ආකාරයෙන් ආලෝකයට සංවේදී නොවේ . සමහර ඒවා “ආලෝකයේ රතු පැත්තට” ( ඒ කියන්නේ දිගු තරංග ආයාම සහිත ආලෝකයට ) සංවේදිතාව දක්වන අතර , තවත් සමහර ඒවා “ආලෝකයේ නිල් / ද...