සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 1


ආධුනික ගුවන් විදුලි ශිල්පය යනු…


ආධුනික ගුවන් විදුලි ශිල්පය හෙවත් ආධුනික ගුවන් විදුලිය (Amateur Radio) යන්නට ඉතා හොද නිර්වචනයක් ජාත්‍යන්තර විදුලිසන්දේශ සම්මේලනය (International Telecommunications Union – ITU) විසින් පහතින් දැක්වෙන ආකාරයට ඔවුන්ගේ රේඩියෝ රෙගුලාසි මාලාවේ 1.56 වැනි ව්‍යවස්ථාවෙහි ඉදිරිපත් කර ඇත (Article 1.56 of RadioRegulations 2012).

“… for the purpose of self-training, intercommunication and technical investigations carried out by amateurs, that is, by duly authorized persons interested in radio technique solely with a personal aim and without pecuniary interest.”

මෙහි කියන පරිදි කිසිදු මූල්‍යමය අරමුණක් රහිතව හා පෞද්ගලිකව, රේඩියෝ තාක්ෂණය ගැන උනන්දුවක් දක්වන අය, නිසි අවසර ලබා ගෙන, රේඩියෝ තාක්ෂණය ගැන ස්වයං-අධ්‍යනය කිරීම, ඒ ගැන පර්යේෂන සිදු කිරීම, හා එවැනි තවත් අය සමග සන්නිවේදනය සිදු කිරීම ආධුනික ගුවන් විදුලි සේවාවයි. මෙම නිර්චචනය තුළ මෙම ශිල්පයෙහි මූලික අංග/කරුණු සියල්ල සැකෙවින් ගැබ් වී තිබෙන බව පේනවා.

මූලිකම කාරණය නම්, මෙය රේඩියෝ තරංග සමග වැඩ කරන බවයි. ගුවන් විදුලිය (radio) යන කොටසින් එය අදහස් කෙරේ. ඉතිං අපට රේඩියෝ තරංග සමග කළ හැකි දේවල් මොනවාදැයි සිතා බලන්න. (එෆ් එම්) රේඩියෝ; ටීවී; චන්ද්‍රිකා; ජංගම දුරකථන; වයිෆය, බ්ලූටූත් වැනි කෙටි දුර රේඩියෝ තරංග පණිවුඩ/දත්ත උවමාරු කිරීම්; 3G, HSPA වැනි බ්‍රෝඩ්බෑන්ඩ් ඉන්ටර්නෙට් සේවා; තාරකා විද්‍යාවේ භාවිතා වන රේඩියෝ දුරේක්ෂ; සිටිනා තැන සොයා බලන GPS සේවාව ආදී ලෙස දිගු ලැයිස්තුවක් ඔබට මතක් වේවි. ඉතිං ආධුනික ගුවන් විදුලියේදී රේඩියෝ තරංග යොදා ගන්නා ආකාරය පිළිබදව හැදෑරීමට හා ඒවා ප්‍රායෝගිකව සිදු කර අත්හදා බැලීමට හා පර්යේෂන සිදු කිරීමට අවස්ථාව ලැබේ. තවද, රේඩියෝ තරංග වායුගෝලය හරහා ප්‍රචාරණය වන ආකාර ගැන, පොලොවේ චුම්භක ක්ෂේත්‍රයේ ඇතිවන නිරන්තර විචලනය වීම, හා සූර්යාගේ සිදුවන නිරන්තර විචලනයන් ඊට බලපාන අයුරුදු ඉගෙන ගැනීමට හා පර්යේෂන කිරීමට අවස්ථාව ලැබේ.

ඉහත ආකාරයට ස්වයංඅධ්‍යනය කිරීමට හා පර්යේෂන කිරීමට ඔබටම උපකරණ සාදා ගැනීමට අවසර ලැබේ. සාදා ගන්නවාට අමතරව ඒවා මිල දී ගැනීමටද අවසර ලැබේ. විවිධාකාරයේ රේඩියෝ, ට්‍රාන්ස්මිටර්, ඇන්ටනා, හා වෙනත් විවිධාකාරයේ සරල හා සංකීර්ණ උපකරණ ඔබට මෙලෙස සාදා ගැනීමට හා මිලදී ගත හැකිය. එහෙත් රේඩියෝ උපකරණ (විශේෂයෙන් ට්‍රාන්ස්මිටර්) මිල දී ගැනීම, විකිනීම, පරිහරණය කිරීම යන සියල්ලටම රජයෙන් (නිසි බලධාරියාගෙන්) පූර්ව අවසර ලබා ගත යුතු වෙනවා. එසේ අවසර නොගෙන එවැනි උපකරණ භාවිතා කිරීම අපරාධ ගණයේ වරදක් වන අතර දඩයක් හෝ සිරදඩුවම් පවා විදීමට සිදු වේවි. අප අසන නරඹන රේඩියෝ චැනල් හා ටීවී චැනල් ආදිය විසුරුවා හරින්නේ එවැනි අවසර ලබා ගෙනයි. ඔවුන්ට ඒ සදහා රුපියල් මිලියන ගණනින් ගෙවීමටද සිදු වෙනවා. එලෙසම ආධුනික ගුවන් විදුලියේ නියැලී සිටින අයටත් අවසර පත්‍ර ලැබෙනවා එවැනි දේ කිරීමට. එහෙත් ඒ සදහා රුපියල් සිය ගණනක් වැනි සුලු මුදලක් පමණයි ගෙවන්නට සිදු වන්නේ. ඉහත නිර්වචනය තුළ "නිසි අවසර ලබා ගෙන" (duly authorized) යන කොටසින් කියන්නේ එයයි.

ඉහත කියූ පරිදි ඉතා සොච්චම් මුදලක් අය කරගෙන මෙම ශිල්පයෙහි නියැලී සිටීමට අවසර දී තිබෙන්නේ ඉතා වටිනා හේතුවක් නිසාය. එනම්, මෙම ශිල්පයෙහි නියැලෙන්නන් පඩි ලබන අය හෝ තමන් කරන කාර්ය වෙනුවෙන් මුදල් අය කරන අය නොවේ. තවද, මුදල් හම්බ කිරීමේ අරමුණින් කිසිදු දෙයක් ආධුනික ගුවන් විදුලිය තුල සිදු කළ නොහැකිය. එවැනි කටයුතු නීතියෙන්ම තහනම් කර ඇත. මුලින් සදහන් කරපු විදියටම, ස්වයංඅධ්‍යනය හා පර්යේෂන හා පෞද්ගලික මට්ටමින් අනෙක් ආධුනික ගුවන් විදුලි ශිල්පින් සමග සන්නිවේදනය කිරීමයි මෙම උපකරණ යොදා ගෙන සිදු කළ හැක්කේ.


එක්තරා විදියකට මෙය විනෝදාංශයක් ලෙසත් සැලකිය හැකියි (ඇත්තටම ලෝකයේ බොහෝ දෙනා මෙහි නියැලී සිටින්නේ විනෝදාංශයක් ලෙසයි). සමහරුන් පවසන පරිදි රජයෙන් අවසර ලබා ගෙන සිදු කරන ලෝකයේ එකම විනෝදාංශය ආධුනික ගුවන් විදුලියයි. තවද ඕනෑම "මෝඩයෙකුට" මෙහි නියැලීමට බැරිය. ඉලෙක්ට්‍රෝනික්ස් ගැන යම් දැනුමක්, රේඩියෝ තාක්ෂනය ගැන යම් දැනුමක්, සමහර නීති හා රෙගුලාසි පිළිබද යම් දැනුමක් අවශ්‍යම වෙනවා. ඊට හේතුව මෙම උපකරණ වැරදි විදියට භාවිතා කළොත් (එනම් නිසි විදියට පරිහරණය නොකළොත්) මූල්‍යමය වශයෙන් විශාල අනර්ථයන් සිදු විය හැකියි. උදාහරණයක් ලෙස, ඔබ වැරදිලාවත් ටීවී චැනලයක් දැනටමත් විකාශය වන සංඛ්‍යාතයක් ඔස්සේ තරංග විසුරුවා හැරියොත්, එම චැනලය නොපෙනී යනු ඇති (එවිට එය එම චැනලයට පාඩු සිදු කරනු ඇත; සිතා බලන්න තත්පර කිහිපයක ඇඩ් එකක් සදහා ඔවුන් දහස් ගණනික් මුදල් අය කරන හැටි; චැනලයක තත්පර ගණනක කාලයක වටිනාකම එයයි; ඔබ බාධා පමුණුවන්නේ එවැනි වටිනාකමක් සහිත දෙයකටයි). තවද, රටේ ජාතික ආරක්ෂාවටද ගැටලු ඇති විය හැකියි. ඉතිං මේවා පාලනය කිරීමට නීති හා රෙගුලාසි පනවා ඇත. මේ සියලු දේ ගැන හොදහැටි දැනුමක් ආධුනික ගුවන් විදුලියෙහි නියැලෙන අයට තිබිය යුතු නොවේද? එනිසයි, මීට පිවිසෙන අයගේ දැනුම පරික්ෂා කිරීමට විභාග පවත්වන්නේ. ඉන් සමත් වන අයට පමණයි මෙහි නියැලීමට අවසල ලැබෙන්නේ. ඒ අනුව විභාගයක් පාස් වී සිදු කිරීමට සිදුවන එකම විනෝදාංශයත් ආධුනික ගුවන් විදුලය නොවේද?

  
ආධුනික" (amateur) යන වචනයෙහි තේරුමත් "මුදලට වැඩ නොකරන මුදල් අරමුණු කර නොගත්" යන්නයි. බොහෝ දෙනෙක් ආධුනික යන වචනයෙහි ඇති මෙම තේරුම ගැන දන්නේ නැත; ඔවුන් දැන සිටින්නේ ආධුනික යන්නෙහි පවතින "දක්ෂ නැති තවම පුහුණු වන" යන අර්ථය පමණි (සිංහල හෝ ඉංග්‍රිසි ඩික්ෂනරියක් ගෙන බලන්න මෙම තේරුම් දෙකම එවිට ඔබට බලා ගත හැකි වේවි). ආධුනික ගුවන් විදුලියෙහි පමණක් නොව, ආධුනික තාරකා විද්‍යාව (amateur astronomy) වැනි තැන්වලද එහි තේරුම මුදල් අරමුණු කර නොගත් යන්නයි.

ආධුනික ගුවන් විදුලිය ඉංග්‍රිසියෙන් amateur radio ලෙසයි හැදින්වෙන්නේ. මෙහි amateur යන වචනය "ඇමචර්" හෝ "ඇමටර්" ලෙස ශබ්ද කළ හැකියි. මෙම ශිල්පයෙහි නියැලෙන අය "ආධුනික ගුවන් විදුලි ශිල්පින්" (amateur radio operators) ලෙස හැදින්වෙනවා. කෙටියෙන් ආධුනික යන කොටස නැතිව නිකංම ගුවන්විදුලි ශිල්පියා (radio operator) ලෙසද යොදනවා. මෙයම HAM (හැම්) යන සුරතල් නමින් හැදින්වෙනවා (මෙම නම ව්‍යවහාරයට ආ හැටි පසුවට ලියන්නම්).

පිටත සිට බලන කෙනෙකුට ඇමචර් රේඩියෝ ඔපරේටර් කෙනෙකු පෙනෙන්නේ විවිධාකාරයේ ඇන්ටනා තොගයක් ගෙවත්තේ සවි කරගෙන සිටින කෙනෙකු ලෙසයි. ඒවා ඔබ නිතර දකින ටීවි හෝ සැටලයිට් ඇන්ටනාවලට වඩා වෙනස් හා විශාල බව පෙනෙනු ඇත (මා කුඩා කාලෙයේ පළමු වරට එවැනි දර්ශනයක් දුටුවා තවමත් මතක අතර, එවිට සිතෙහි ඒ ගැන ඇති වූ අමුතු සුන්දර හැගීම තවමත් දැනේ). රේඩියෝ හා විශාල මොබයිල් ෆෝන් (අර ඉස්සර තිබූ මොබයිල් ෆෝන් වගේ) වැනි උපකරණ ඔවුන් භාවිතා කරන බව පෙනෙනු ඇත. මා සිතන්නේ තාක්ෂණය ගැන ආශාවක් ඇති කෙනෙකුට එම දර්ශනයම වුවත් ප්‍රමාණවත් ආධුනික ගුවන් විදුලි ශිල්පයට යොමු වීමට.







බැලූ බැල්මට හැම් යනු හැම් ඔපරේටර්ලා සමග "චැට්" කරන (එනම් කතා බහ කරන) තවත් ක්‍රමවේදයකි. ඒ සදහා ඔවුන් විවිධාරයේ උපකරණ (රේඩියෝ ට්‍රාන්ස්මිටර්, රේඩියෝ රිසීවර්, ඇන්ටනා, කොම්පියුටර්) ආදිය භාවිතා කරනවා. මෙහිදී එක් ඔපරේටර් කෙනෙකු (ඔබ) කතා කරන හෝ ලියන දත්තය/සංඥා ඔබගේ ට්‍රාන්ස්මිටරයේ සිට, ඊට සම්බන්ද කර ඇති ට්‍රාන්ස්මිටිං ඇන්ටනාවට ගොස් එම ඇන්ටනාව විසින් එම විදුලි සංඥා රේඩියෝ තරංග ලෙස විසුරුවා හැරේ. එය හරියට සිරස එෆ්එම් හෝ හිරු ටීවී වැනි රේඩියෝ හෝ ටීවි චැනලයක් විසුරුවා හරිනවා වැනිමයි. ඉන්පසු එම රේඩියෝ තරංග ලෝකය සිසාරා සැරිසරයි. ඔබේ නිවසේ සිට විසුරුවා හරින සමහර රේඩියෝ තරංග ලොකයේ අනෙක් කෙලවර දක්වාද ගමන් කරයි. අවශ්‍ය නම්, එම තරංග හද පායා ඇති දිනක හද වෙතට සම්ප්‍රේෂණය කළ හැකියි. එවිට, එම තරංග හදට ගමන් කර, ඒවා හදේ වැදී පරාවර්තනය වී ලෝකයේ තවත් කෙලවරක් දක්වා ගමන් කරයි. ඕව්, එච්චර දුරක් ඔබට අවශ්‍ය නම් (හා අවශ්‍ය දැනුම තිබේ නම්), ඔබේ රේඩියෝ සිග්නල් යැවිය හැකියි. පුදුමත් හිතෙනවා නේද? එවිට ලෝකය පුරා විසිරී පැතිරී සිටින හැම් ඔපරේටර්ලා ඔබේ එම රේඩියෝ තරංග අල්ලා ගනී. ඒ සදහා ඔවුන් නැවතත් යොදා ගන්නේ ඇන්ටනා (රිසීවින් ඇන්ටනා) වේ. එම ඇන්ටනා වලින් ඔබේ රේඩියෝ සිග්නල් විදුලි සංඥා බවට පත් කර ඔවුන්ගේ රේඩියෝ තුළින් යවා ඔබේ පණිවුඩය තේරුම් ගනී. මෙය තමයි අපි හැමදාම ටීවි බලනකොට කරන්නෙත් (කොහෙන් හෝ විසුරුවා හරින ලද රේඩියෝ සංඥා අපේ ඇන්ටනා මගින් ග්‍රහණය කරගෙන ටීවි එකෙන් හෝ රේඩියෝ එකෙන් නරඹන්නේ හා අසන්නේ). දැන් එසේ ග්‍රහණය කර ගත් රේඩියෝ සංඥා තේරුම් ගෙන ඔවුන්ටද හැකියි ඔවුන්ගේ පණිවුඩයත් විසුරුවා හරින්නට. බොහෝවිට එම රේඩියෝ සංඥාද විශාල දුරක් ගෙවා ගොස් ඔබ වෙත පැමිණේවි. මෙලෙස ලෝකයේ විවිධ ප්‍රදේශවල ජීවත්වන අයට එකිනෙකා හා අදහස් හුවමාරු කළ හැකියි.

ඉහත විස්තර කියවන සමහරෙකුට සිතේවි මෙය හරියට ඉන්ටර්නෙට් එකේ ෆේස්බුක් හෝ ස්කයිප් හෝ එවැනි සේවාවක් හරහා චැට් කරනවා වැනි දෙයක් නේද කියා. ඔව්. සන්නිවේදනය පැත්තෙන් බැලුවහම ඒ සියල්ලම සමානයි. එවිට නැවතත් කෙනෙකු අසන්නට ඉඩ තියෙනවා, ඉතිං එහෙනම් පහසුවෙන් ඉන්ටර්නෙට් එකෙන් චැට් කරන්නට හැකියාව තිබියදී වැඩි මුදලක් වැය කර, විභාග පාස් වෙවී, අවසර ලබාගෙන අධුනික ගුවන් විදුලිය හරහා එය සිදු කරන්නේ ඇයි කියා. එය ඇත්තටම හොද ප්‍රශ්නයක් මෙන්ම ඊට හොද පිළිතුරක්ද ඇත. වර්තමානයේ ඉන්ටර්නෙට් හරහා එකිනෙකා හා චැට් කිරීමට ඉතාම පහසු හා ලාභදායක වුවත්, අතීතයේදී ඉන්ටර්නෙට් ආදිය නොතිබුණි. එකල චැට් කිරීමට තිබූ එකම ක්‍රමය ආධුනික ගුවන් විදුලි ශිල්පය පමණයි (විවිධ රටවල සිටින අය එකිනෙකාට ලියුම් ලිවීම එකල ප්‍රචලිත විනෝදාංශයක් වූයේ ඉන්ටර්නෙට් ආදිය එකල නොතිබූ නිසාය). අනෙක් පසට, චැට් කිරීමම නොවේ ආධුනික ගුවන් විදුලියේ තිබෙන එකම භාවිතාව. රේඩියෝ තාක්ෂණය ගැන අධ්‍යනය හ පර්යේෂන සිදු කිරීමද ඉන් හැකි වේ. විවිධාකාරයේ දේවල් තැනීම හා භාවිතා කිරීම එහි පවතී. නිර්මාණ කිරීමේ කැමැත්ත යනු තවත් වටිනා මානසික තත්වයකි. ඉන් ලබන මානසික තෘප්තිය හුදු චැට් කිරීමට වඩා ඉහලය. තවද, රටේ හදිසි ආපදා තත්වයන් වැනි අවස්ථාවලදී ආධුනික ගුවන් විදුලියෙන් ප්‍රයෝජන ගත හැකිය (ඇමරිකාව වැනි රටවල මින් විපුල ප්‍රයෝජන ගත්තත් අපේ රටේ ඊට නිසි අවධානයක් තවමත් යොමු වී නැති බව පෙනේ). තවද, ආධුනික ගුවන් විදුලියේ නියැලීමම වෙනමම සංස්කෘතියකි. ක්‍රිකට් සෙල්ලම් කිරීම, දේශපාලන ක්‍රියාකාරකම්වල නියැලීම, වෙනත් පර්යේෂණ කටයුත්තක නියැලීම ආදිය විවිධ පුද්ගලයන්ට තමන්ගේ ජීවිතයට වටිනාකම් එකතු කරන්නා සේ, ආධුනික ගුවන් විදුලියෙහි නියැලීමත් යම් (විශාල) පුද්ගල පිරිසකගේ ජීවිතය සතුටින් තබන හෝ වටිනාකාමක් එකතු කරන දෙයකි.

Comments

  1. ගොඩක් පින්..හැම වචනයකම තේරුම තේරෙන්නම දෙන්නන් වාලේ නොදී ඇත්තටම ඉගෙන ගන්න කියන අරමුනින්ම දීලා තියනවා..ගොඩාක් පිං ඔබට..දිගටම කරගන යන්න..ගොඩක් අය ප්‍රයොජන ගන්නවා කොමෙන්ට් නොකලත්..

    ReplyDelete
  2. "මා සිතන්නේ තාක්ෂණය ගැන ආශාවක් ඇති කෙනෙකුට එම දර්ශනයම වුවත් ප්‍රමාණවත් ආධුනික ගුවන් විදුලි ශිල්පයට යොමු වීමට. " - ඔබ හරියටම හරි....

    ReplyDelete
  3. ඔබේ අනිත් ලිපි මෙන්ම කොටස් වශයෙන් පළවන මෙහි අවසානයට තනි පොතක් ලෙස ඉදිරිපත්කරන්නේ නම් ඉතාමත් වටිනවා. මම දෙවැනි කමන්‍ටුවේ ඇනෝමය. ගිණුමෙන් කමෙන්ට් කිරීමට යාමේදී ලොගින් වීම කරදරයක් නිසා ඇනෝ කමෙන්ට් දැමීම පහසුයි. පුදුමයට කරුණ මෙමෙ බ්ලොග් අඩවියේ සාරවත් අන්තර්ගතයක් තිබියදීත් ජනප්‍රියත්වයේ අඩුවක් පැවතීමයි. ඊට ඔබ යොදාගන්නා බ්ලොග් නාමයද ගැටළුවක් වී ඇති බව සිතමි. සිංහල නමක් යොදාගත්තා නම් මතක තබාගැනීමේ පහසුව නිසා එක ගූගල් සෙවුමකින් බ්ලොග් අඩවියට පිවිසීම පහසු වන නිසායි එසේ සිතිවේ. ඔබට ජය ! දිගටම ලියන්න ශක්තිය ලැබේවා !

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මං ආධුනික ගුවන් විදුලිය ගැන පාඩම් මාලාව තනි පොතක් සේ ඉදිරිපත් කරන්නයි හිතන් ඉන්නේ එම ක්ෂේත්‍රය ප්‍රචලිත කිරීමට උපකාරයක් ලෙස (එහෙත් බොහෝවිට ඉදිරියේදී ලියන්නට සිතා සිටින අනෙක් විෂයන් ගැන ඇති පාඩම් එසේ ඉදිරිපත් නොකරන්නට ඉඩ ඇත).

      මේ බ්ලොග් නම මා විසින්ම සාදා ගන්නා ලද සමාස (portmantau) පදයකි. මා අන්තර්ජාලය භාවිතා කරන්නට පටන් ගත් දින සිටම මාගේ සියලුම වාගේ කියුම් කෙරුම් එම නමිනුයි සිදු වූයේ. එම නමෙහි නුහුරු ගතියත් යම් ගැටලුවක් විය හැකියි. එහෙත් ඊට වඩා මා දකින ප්‍රශ්නය සිංහල පාඨකයා කියවන්නට මැලිකමක් දැක්වීමයි. මාද ඉදහිට විවිධ වයස් හා තරාතිරමේ අයට ඉගැන්වීම් සිදු කරන නිසා, මා ඒ හැමෝගෙන්ම දැකපු දෙයක් තමයි පොතක් පතක් කියවනවා කියන දෙය වහකඳුරු වගේය. ඉතිං නොමිලෙ දුන්නයි කියලවත් ඔවුන් කියවයි කියා සිතිය නොහැකියි. එය අපේ අධ්‍යාපන ක්‍රමයේ ඇති දෝෂයක් වන අතර, එම දෝෂය අපේ දෙමාපියන් විසින් තව දුරටත් ළමුන් තුල ස්ථාපනය කර ඇත. මා මේ දේවල් ඉංග්‍රිසි බසින් ලිව්ව නම්, ලක්ෂ ගණනින් පිරිස් ගෙන්වා ගත හැකිව තිබුණා පමණක් නොව, ආර්ථික ලාභයක්ද මට ඉන් ලබා ගත හැකිව තිබුණා. හාහාහා... එහෙත් මා කරන දෙය භාහිරින් ලැබෙන ප්‍රතිචාර මත නොව ප්‍රතිපත්ති මත සිදු කරන නිසා, පාඨකයන් කෙතරම් අඩු වුවත් මට තිබෙන නිදහස් කාලය අනුව තව දුරටත් මා සිංහලෙන්ම ලියමි.

      Delete
  4. ඔබට ගොඩක් ස්තුතියි ...දිගටම ලියන්න

    ReplyDelete
  5. �� ඔබගේ සංකල්ප හා ප්‍රතිපත්ති වලට ගරු කරමි. නමුදු මෙම වටිනා පොත් සහ ලිපි e පොත් ආකාරයෙන් පමනක් තිබීම නිසා ඒවා පරිශීලනය කිරීමේදී අස් වලට අපහසුතා ඇති වනවා. එම නිසා මෙම පොත් මුද්‍රණය කර බෙදා හරින්න. එම පොත් මිලදී ගැනීමට ඔබේ ගෝලයන් යුහුසුළු වනවා නිසැකය. හුදෙක් මුදල් පසුපස හඹා යන සමාජයක ඔබේ සේවය අගය කරමි. මම ඔබතුමාව sri Lankan of the year එකට නිර්දේශ කිරීමට කැමැත්තෙමි. ඒ පිළිබඳව ඔබේ අදහස කෙසේ දැයි දැන ගැනීමට කැමැත්තෙමි.

    ReplyDelete
  6. �� ඔබගේ සංකල්ප හා ප්‍රතිපත්ති වලට ගරු කරමි. නමුදු මෙම වටිනා පොත් සහ ලිපි e පොත් ආකාරයෙන් පමනක් තිබීම නිසා ඒවා පරිශීලනය කිරීමේදී අස් වලට අපහසුතා ඇති වනවා. එම නිසා මෙම පොත් මුද්‍රණය කර බෙදා හරින්න. එම පොත් මිලදී ගැනීමට ඔබේ ගෝලයන් යුහුසුළු වනවා නිසැකය. හුදෙක් මුදල් පසුපස හඹා යන සමාජයක ඔබේ සේවය අගය කරමි. මම ඔබතුමාව sri Lankan of the year එකට නිර්දේශ කිරීමට කැමැත්තෙමි. ඒ පිළිබඳව ඔබේ අදහස කෙසේ දැයි දැන ගැනීමට කැමැත්තෙමි.

    ReplyDelete
    Replies
    1. ඔව්... ඉදිරියේදී බලමු ඒවා ප්‍රින්ට් කරන්නත් :) ස්තූතියි ඔබේ යහපත් යෝජනාවට.

      sri lankan of the year හෝ වෙනත් එවැනි ඇගීයම්වලට මාව යෝජනා නොකරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මා කරන දෙයින් මා ලොකු ආශ්වාදයක් ලබන අතර, එම සතුට තවත් වැඩි වන්නේ ඉන් බොහෝ පිරිසක් ප්‍රයෝජන ලබනවා ඇතැයි යන සිතුවිල්ලෙනි.

      Delete
  7. mata gedara podiyata radio station ekak ptan ganna puluwanda??

    ReplyDelete
    Replies
    1. radio or tv station ekak karanna ona nam awasara ganna ona, godak sallith wiyadam karanna wenawa.

      eheth obata ona nam online radio channel ekak karanna puluwan. ekata kagenwath awasara ona na.

      Delete
  8. igana ganna ona nam liyanna ona exam eka mokakda?kiyak withara mudalak wiyadam wenawada?obata bohoma pin thnk you...

    ReplyDelete
    Replies
    1. me gena igena ganna eka rupiyalakwath weya nowe. eheth me sandaha amuthuwen igena ganna thanda natha. thaniyen igena ganna. e sandaha thamai math me lipi liyala thiyenne sinhalen. english walin nam ona tharam lipi ha poth internet eke atha. youtube eketh ona tharam video atha. exam ekata nam rupiyal dethunsiyayak wage thamai yanne. kiyawa balanna; obata awasya wisthara liya atha.

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

දෛශික (vectors) - 1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 7

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala) - 1

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 1