Skip to main content

සය පුද්ගල ඕමි කාඩ් සෙල්ලම (Six-Player Omi Card Game)

මල ගෙවල්වල රාත්‍රිය ගෙවා දමන්නට හා නෑදෑයන් එකතු වූ මොහොතක අප කවුරුත් සෙල්ලම් කරන්නට පුරුදුව සිටින ඉතා ලස්සන කාඩ් සෙල්ලමක් තමයි ඕමි කියන්නේ. එහෙත් එය එකවර පුද්ගලයන් සතර දෙනෙකුට පමනයි සෙල්ලම් කල හැක්කේ.

අද මට මිතුරියක් පැවසූ දෙයක් නිසා, මට සිතුනා එය සය දෙනෙකුට සෙල්ලම් කරන්න බැරිද කියා. ඒ අනුව සුලු වෙනස්කම් කිහිපයක් සිදු කළ විට, අපූරුවට සය දෙනෙකුට එය සෙල්ලම් කල හැකි බව පෙනුනා. ඒ ගැන පිටු තුනක කුඩා ටියුට් එකක්ද සාදා මා ඇයටත් අන් මිතුරන්ටත් බෙදා හැරියා. ඒ අතරේ සිතුනා බ්ලොග් එකෙත් දමන්නට. බලන්න ඔබත් මෙය සෙල්ලම් කර.


සාමාන්‍ය ඕමි සෙල්ලම කරන්නේ පුද්ගලයන් 4 දෙනෙකු කන්ඩායම් දෙකකට බෙදීය. එම සෙල්ලම පුද්ගලයන් 6 දෙනෙකු විසින් කන්ඩායම් 3කට බෙදී කල හැකි ලෙස සකස් කර ඇති අතර, එහිදී එම වෙනස්කම්වලට අදාලව සිදු කල සරල රීති සංශෝධන හා අලුත් රීති පහත විස්තර කෙරේ.

 

මේ සඳහා 52 ක කොල කුට්ටම හා ජෝකර් කාඩ් 2ද අත්‍යවශ්‍ය වේ.

 

එක කන්ඩායමකට පුද්ගලයන් දෙදෙනකු සිටින අතර, එවැනි කන්ඩායම් 3ක් සිටී. ඒ අනුව පුද්ගලයන් 6 දෙනෙකුට මෙම සෙල්ලම කල හැකිය.

 

6 ඉලක්කමේ සිට (6ද ඇතුලුව) ඉහලට ඇති කොල 36ක් සෙල්ලම් කිරීම (බෙදීම) සඳහා ගත යුතු අතර, ඉතිරි කොල 18 කැට කොල ලෙස ගත හැකියි (ජෝකර් කොල 2ද ඇතුලුව).

 

කැට කොල සාම්ප්‍රදායික ඕමි සෙල්ලමේදි මෙන් එක් කන්ඩායමක් රතු කැට, අනෙක් කන්ඩායම කලු කැට ලෙස මෙහිදී වෙන් කල නොහැකි නිසා, කැට කොල 18 එක කන්ඩායමකට කැට 6 බැගින් කොලයේ වර්නය හෝ ඉලක්කම ගැන නොසිතා බෙදා දිය යුතුය. 

 

එවිට, ලැබෙන කැට දෙන කැට ලෙස වර්ග දෙකක් නැති අතර, තමන් සතු කැට සියල්ල එක ගොඩක් සේ සලකා පැරදුනු විට ඉන් කැට දීමද, දින්න විට ඊට කැට එකතු වීමද සිදු වේ.

 

සාම්ප්‍රදායික ඕමි සෙල්ලමේදි මෙන්ම මෙහිදිත් පුද්ගලයන් 6 දෙනා තම කන්ඩායමේ දෙදෙනා එකිනෙකට මුහුන බලා සිටින ලෙස වටේට වාඩි විය යුතුය.

 

දැන්, එක පුද්ගලයකු කුට්ටම පරන පුරුදු විදියටම අනා, තමාට වම් අත පැත්තේ සිටින පුද්ගලයා ලවා අනපු කුට්ටම කපා, පරන පුරුදු විදියටම තමාගේ දකුනු අත පැත්තේ සිටින පුද්ගලයාට කොල 3ක් බෙදිය යුතුය. එම කොල 3 බලා, ඔහු තුරුම්පු කිව යුතුය. ඉන්පසු, පරන පුරුදු ලෙසම, පිලිවෙලින් සියලු දෙනාටම වරකට කොල 3 බැගින් කොල සියල්ල බෙදා දිය යුතුය. එක පුද්ගලයකුගේ කොල අතේ කොල 6ක් තිබේ.

 

සාම්ප්‍රදායික ඕමි සෙල්ලමේ ආකාරයටම කොල සෙල්ලම කල යුතුය.

 

එලෙස අතේ ඇති කොල සියල්ල ඉවර වන තුරු වට 6ක් යයි. එම වට 6දී වැඩිපුර කොල අතවල් ගත් කන්ඩායම එම අත දිනයි. එවිට, එම අතේ අඩුම කොල අතවල් ගනනක් ගත් කන්ඩායම දිනපු අයට කැටයක් දිය යුතුය. පැරදුනු කන්ඩායම් දෙකම සමානව පැරදි නම්, එවිට කන්ඩායම් දෙකම කැටය බැගින් දිනපු අයට දිය යුතුය. බැරි වෙලාවත්, දිනපු කන්ඩායම අතවල් 6ම තමන් සතු කර ගත්තේ නම්, පැරදුනු කන්ඩායම් දෙකම කැට එක බැගින් දිනපු අයට දිය යුතුය.

 

එහෙත් හැම කන්ඩායමම අතවල් 2 බැගින් අරන් තිබුනොත් එම අත සෙපෝරු වේ. සෙපෝරුව නොසලකා ​හැරිය යුතු අතර, වැඩිපුර කැට දීමට අ​ව​ශ්‍ය නැත ඊළග වටයේදී.

 

මෙලෙස සෙල්ලම් කර ගෙන යෑමේදී එකවර කන්ඩායම් දෙකම අනෙක් කන්ඩායමට පැරදුනි නම්, එම දිනපු කන්ඩායම සමස්ථ තරගයේම ජයග්‍රාහකයා වේ.

 

එ​හෙත් බොහෝ විට සිදු වනු ඇත්තේ, කන්ඩායම් 3න් එක කන්ඩායමක් මුලින් පැරදීමයි. එවිට, එම කන්ඩායම සෙල්ලමෙන් ඉවත් වේ. ඉතිරි කන්ඩායම් දෙක ඉදිරියට සෙල්ලම් කරගෙන යයි. මෙවිට කොල බෙදන විට, කොල සියල්ල සම සේ 4 දෙනා අතරේ බෙදිය යුතුය; එක් කෙනෙකුට කොල 9 බැගින් ලැබේ. කොල බෙදන විට, පලමු වටේදී කොල 5 බැගින්ද, දෙවැනි වටේදි කොල 4 බැගින්ද බෙදිය යුතුය.

 

කොල 9ක් (ඔත්තේ ගනනක්) තිබෙන බැවින් කන්ඩායම් දෙකෙන් එකක් අනිවාර්යෙන් දිනනු ඇත (සෙපෝරු නැත). මෙලෙස එම කන්ඩායම් දෙකෙන් එකක් අවසානයේ දිනනු ඇත. 

 

කන්ඩායම් දෙක පමනක් සෙල්ලම් කරන අවස්ථාවෙදිත්, එක කන්ඩායම් කොල අතවල් 9ම තමන් සතු කර ගත්තොත් කැට 2ක් අනෙකා විසින් ගෙවිය යුතුය.

 

කන්ඩායම් 3ම හෝ 2ක් සෙල්ලම් කරන අවස්ථා දෙ​කෙහිදිම, යම් ක්‍රිඩකයෙකුට තනිවම කොල සියල්ල ගත හැකි යැයි ප්‍රකශ කල හැකිය  (ඉල්ලලා තනියෙන් ගහනවා). එවිට, ඔහු තම සගයාගේ කොල අත වසා, තමා විසින් අලුත් තුරුම්පු කියා, තමා විසින් පලමු කොලය ඉදිරිපත් කර සෙල්ලම කර ගෙන යා යුතුය. එලෙස, කොල අත් 6ම (හෝ 9ම) තමන් සතු කර ගත් විට, පැරදුනු කන්ඩායම් විසින් කොල 2 බැගින් දිය යුතුය. එහෙත් තමන්ට කොල අත් 6ම (හෝ 9ම) ගත නොහැකි වූ විට, තම කන්ඩායම තරගෙන් ඉවත් වී, අනිත් කන්ඩායම් දෙකට තරගය ඉදිරියට සෙල්ලම් කර ගෙන යෑමට සැලැස්විය යුතුය. මෙලෙස තරගයෙන් ඉවත් වන විට, තමන් සතු කැට ටික තරගයෙන් ඉවත් වේ (අනෙක් කන්ඩායමට ගෙවන්නෙ නැත).

 

තරගයේ ඕනෑම අවස්ථාවදී, යම් පුද්ගලයකු කොල හංගන් සෙල්ලම් කලහොත්, එම කන්ඩායම තරගයෙන් ඉවත් කර, අනෙක් කන්ඩායම් දෙකට අලුතින් කොල බෙදා එතැන් සිට ඉතිරිය සෙල්ලම් කර ගෙන යෑමට ඉඩ සැලැස්විය යුතුය. ඉවත්වන කන්ඩායමේ කැටද ඉවත් කෙරේ.

 

කන්ඩායම් තුන කන්ඩායම් දෙකක් බවට පත් වූ පසු, කන්ඩායම් දෙක සතුවම වෙනම වෙනම කැට කොල 4 ට වඩා වැඩිපුර ඇති විටදී, එතැන් පටන් ඉදිරියට සෙල්ලම කර ගෙන යෑමේදී ලැබෙන කැට වෙනමත්, දෙන කැට වෙනමත් ලෙස සැලකිය යුතු අතර, යම් කන්ඩායමක දෙන කැට ඉවර වුනු විට, අනෙක් කන්ඩායම ජයග්‍රහනය කල යුතුය. මෙම රීතිය නැති විට අනවශ්‍ය ලෙස තරගය ඉතා දිගු කාලයක ඇදෙමින් සෙල්ලම එපා වනු ඇත.


Comments

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අ...

ත්‍රිකෝණමිතිය (trigonometry) - 1

හැඳින්වීම ත්‍රිකෝණමිතිය (trigonometry) යනු ගණිතයේ තිබෙන ඉතාම වැදගත් හා ප්‍රයෝජනවත් කොටසකි . මූලිකවම ත්‍රිකෝණයක් ආශ්‍රයෙන් මෙම ගණිත කර්ම හා සිද්ධාන්ත ගොඩනඟා ඇති නිසයි මෙම නම ඊට ලැබී තිබෙන්නේ (" ත්‍රිකෝණ ආශ්‍රිත මැනීම " යන තේරුම එහි ඇත ). එනිසා පළමුව ත්‍රිකෝණ ගැන කෙටියෙන් සලකා බලමු . ත්‍රිකෝණයක් (triangle) යනු කෝණ තුනක් සහිත සංවෘත ජ්‍යාමිතික රූපයකි . කෝණ ගණනට සමාන පාද ගණනක්ද තිබෙන බැවින් ත්‍රිකෝණයක පාද 3 ක්ද ඇත . ජ්‍යාමිතියේදී සරලතම ( එනම් අඩුම පාද ගණනකින් ඇඳිය හැකි ) සංවෘත තල රූපය වන්නේද ත්‍රිකෝණයයි . ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව අංශක 180 කි . ඕනෑම ත්‍රිකෝණයක එක් අභ්‍යන්තර කෝණයක් තෝරා ගන්න . එම කෝණය සෑදීමට පාද දෙකක් අවශ්‍ය කෙරෙනවා ( කෝණයක් සෑදීමට සරල රේඛා දෙකක් අවශ්‍ය කරනවානෙ ). මෙම පාද බද්ධ පාද (adjacent sides) ලෙස හැඳින්වේ . ත්‍රිකෝණයක පාද 3 න් දෙකක් මේ අනුව බද්ධ පාද ලෙස සලකන විට , ඉතිරි පාදය ( එනම් අදාල කෝණය සෑදීමට හවුල් නොවූ පාදය ) සම්මුඛ පාදය (opposite side) ලෙස හැඳින්වෙනවා . සලකා බලනු ලබන කෝණයට මුහුනලා හෙවත් සම්මුඛව එය පාදය තිබෙන න...

මෝහනය / mohanaya (hypnosis) - 1

මෝහනය (mohanaya - Hypnosis) ගැන සිංහල බසින් ලියවී නොමැති අතර, එය ගැන උනන්දුවක් දක්වන අයට පහසුවෙනුත් නිවැරදිවත් ඉගෙන එය වගකීම් සහගතව භාවිතා කිරීමට හැකිවන පරිදි එම විෂය පිළිබඳ ඉතා සවිස්තරාත්මකව මෙම පොතෙන් ඉදිරිපත් කිරීම අරමුණ වේ. එම පොතේ කරුණු කුඩා කොටස් වශයෙන් මෙම බ්ලොග් එකෙහි පළ කිරීම සිදු වේ. හැඳින්වීම දියුණු යැයි සම්මත බටහිර සමාජයෙත් “ මෝහනය ” ගැන තවමත් උගත් නූගත් බොහෝ දෙනා අතර පවතින්නේද වැරදි අවබෝධයක් වන අතර, එම තත්වය ශ්‍රී ලංකාව තුළ ඊටත් වඩා බරපතල ලෙස දක්නට ලැබෙනවා. මේ සෑම සමාජයකම මෝහනය ගැන යම් හෝ දැනුමක් ඔවුන් බොහෝ විට ලබා ගෙන ඇත්තේ සමහර චිත්‍රපට හා ටෙලිනාට්‍යවල ඇති මෝහනය ඇතුළත් දර්ශනවලිනි. අවාසනාවකට චිත්‍රපට හා ටෙලිනාට්‍යවලින් පෙන්වන්නේ කිසිසේත් මෝහනයෙන් කළ නොහැකි එහෙත් එම කලාත්මක නිර්මාණයේ රස උත්පාදනය සඳහාම ඇති තවත් ප්‍රබන්ධයන් පමණි. ඔබම සිතා බලන්න මෝහනය පිළිබඳ ඔබ යම් දැනුමක් ලබා ඇතිනම්, ඊට කොතරම් චිත්‍රපට දර්ශන ආදිය බලපා ඇතිද කියා. සෑම ක්ෂේත්‍රයකම මෙන්ම මෝහනයද නිවැරදිව අවබෝධ කර හා නොකර එහි නියැළෙන අය සිටී. කෙනෙකු මෝහනය කිරීමට පැයක් වැනි කුඩා කාලයකින් වුවද අවශ්‍ය නම්...