Skip to main content

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය

ජනතා විප්ලවය සාර්ථකව අවසන් වන තුරු අපි තවමත් බලාපොරොත්තුවෙන් පසු වෙමු. එහෙත් එය පහසුවෙන් ලැබෙන බවක් පෙනෙන්නට නැත. වට වන්දනාවේ ගොස් හෝ එය අවසානයේ ලබා ගත යුතුය. එම වට වන්දනාවේ යන අතරේ දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමක් ගැනත් කතා බහක් තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයක් සිදු කිරීමට බලාපොරොත්තු වේ නම්, පහත සංශෝධන අවශ්‍යයෙන්ම සිදු විය යුතුය.

1. ද්විත්ව පුරවැසියන්ට හෝ ලංකාවේ පුරවැසිබව නැති අයට පාර්ලිමේන්තු මන්ත්‍රි, පලාත් සභා හා පලාත් පාලන මන්ත්‍රි, ජනපති, රාජ්‍ය සේවක තනතුරු කිසිවක් දැරීමට ඉඩ නොදිය යුතුය.

2. ව්‍යවස්ථාවෙන්ම ස්ථාපිත ස්ථීර අමාත්‍යංශ තිබිය යුතුය. එම අමාත්‍යංශ ගනන 25ක් විය යුතුය. එක් අමාත්‍යංශයකට එක් කැබිනට් ඇමතිවරයකු හා එක් නියෝජ්‍ය ඇමතිවරයකු පමනක් පත් කල යුත්තේය. 

රාජ්‍ය අමාත්‍ය, ව්‍යාපෘති අමාත්‍ය ආදී විවිධ නාම යටතේ කිසිදු ඇමතිවරුන් පත් නොකල යුත්තේය.

ජාතික ආන්ඩු බහුපක්ෂ ආන්ඩු ආදිය පිහිටුවීමට ප්‍රතිපාදන හෝ එවිට අමාත්‍යංශ ගනන හෝ ඇමතිවරු ගනන වැඩි කිරීමට තිබෙන ව්‍යවස්ථා ප්‍රතිපාදන ඉවත් කල යුතුය.

3. ජනපති කිසිදු අමාත්‍යංශයක් නොදැරිය යුත්තේය (ආරක්ෂක අමාත්‍යංශය පවා).

4. ජනපති සමාව කොන්දේසි සහිත විය යුතුය. එනම්, මරණ දඬුවම ලැබූවෙකුට ජනපති සමාව දීමට නම් පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත හිමි විය යුතු අතර; එවිටද, නිදහස ලබා දිය යුත්තේ නිදොස් නොකොටය. ජීවිතාන්දය දක්වා සිර දඬුවම ලැබූවකුටද නිදොස් නොකර නිදහස ලබා දීමට පෙර ජනපති විසින් කැබිනට් මන්ඩලයේ අවසරය ලබා ගත යුතුය.

5. නැවත ස්වාධීන කොමිසම් සභා බලසම්පන්න කල යුතුය. ඒවා ස්වාධින කල යුතුය.

6. විශාල බලතල සහිත ස්වාධීන විගණන කොමිසමක් ඇති කල යුතුය.

7. නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීන කොමිෂමක් බවට පත් කල යුතුය. කොමසාරිස්වරු ලෙස නීතිපතිද ඇතුලුව සොලිසිටර් ජනරාල්වරු කිහිප දෙනෙකු පත් කල යුතුය.

8. නීතිපතිට හෝ ඕනෑම කොමසාරිස් කෙනෙකුට ස්වාධීනව නඩු දැමීමේ හැකියාව තිබිය යුතුය. එමඟින් දූෂිත නීතිපතියෙකුට නඩු ඉල්ලා අස් කිරීමේ හැකියාව මෙන්ම නඩු නොපවරා සිටීමේ හැකියාවද අවම වේ.

9. යම් කොමසාරිස්වරයකු විසින් නඩුවක් ඉල්ලා අස් කරගන්නේ නම්, එසේ අස් කර ගන්නට පෙර වෙනත් කොමසාරිස්වරයකු කැමති නම් එම නඩුව පවත්වාගෙන යෑමට ඔහුට එම නඩුව භාර ගැනීමට ඉඩ දිය යුතුය.

10. නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපතිද ඇතුලුව කිසිදු නිලධාරියෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට හෝ අභියාචනාධිකරණයට විනිසුරුවන් ලෙස පත් කළ නොයුත්තේය.

11. මහාජන සුභසිද්ධි නඩුකර (public interest litigation) සඳහා ප්‍රතිපාදන සැලසිය යුතුය.

12. මානව හිමිකම් නඩුකර පැවරීමේ මූලික අධිකරනය ලෙස අභියාචනාධිකරණය පත් කල යුතු අතර, ඉන් අභියාචනා කිරීම ශ්‍රේෂ්ඨාධිකරනයට සිදු කල හැකි විය යුතුය.

13. මහා මැතිවරණයකින් යම් පක්ෂයකින් පත් වූ මන්ත්‍රිවරයකු ආණ්ඩු පක්ෂයකට යෑමේදී තම මන්ත්‍රි අසුන අහිමි විය යුතුය. ආන්ඩු පක්ෂයේ මන්ත්‍රිවරයකුට ස්වාධීන වීමට අයිතිය තිබිය යුතුය.

14. සෑම මන්ත්‍රී අපේක්ෂයකුම ඡන්දයකට ඉදිරිපත් වන විට තමන්ගේ නමින් මෙන්ම තම පවුලේ අයගේ (කලත්‍ර, දූදරු) නම්වලින් තිබෙන වත්කම් මැතිවරන කොමිසමට ඉදිරිපත් කල යුතු අතර, දූෂන විමර්ෂන ස්වාධීන කොමිසම හරහා එම තොරතුරු සත්‍යෙක්ෂනය කල යුතුය.

15. තොරතුරු දැනගැනීමේ අයිතිය බලාත්මක කිරීමට බලය සහිත ස්වාධීන තොරතුරු දැනගැනීමේ කොමිසමක්ද පිහිටවිය යුතුය.

පිලිගත් (බලපත්‍රලාභි) මාධ්‍යයන්ට හා මාධ්‍යවේදින්ට පොදු ස්ථානයක සිදුවන සිදුවීමක් ආවරනය කිරීමට අයිතිය තිබිය යුතු අතර, ඊට බාධා කරන ඕනෑම කෙනෙකු වසර 3ක සිර දඬුවමකට ලක් කල යුතුය. 

මාධ්‍යයන්ට හෝ මාධ්‍යෙව්දින්ට තොරතුරු ලැබුනු ආකාරය හෙලි නොකර සිටීමට අයිතිය තිබිය යුතුය.

16. ප්‍රාදේශිය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා රජයේ සියලු ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඍජුවම අධීක්ෂනය කරන බලවත් ස්වාධීන ප්‍රසම්පාදන කොමිසමක් පිහිටවිය යුතුය.

17. ජනතා බදු මුදල් රුපියලක් හෝ යොදවා ඇති ව්‍යාපාර, ව්‍යාපෘති සියල්ල අනිවාර්යෙන්ම විගනන කොමිසමේ විගනනයට යටත් විය යුතුය.

විගනන කොමිෂම් වාර්තාවෙන් යම් දේශපාලකයකු හෝ නිලධාරියකු නම් කරන විට, වහම දූෂන විමර්ෂන කොමිසම විසින් ඔහු ගැන විමර්ෂනය කර නඩු පැවරිය යුතුය.

18. මන්ත්‍රි විශ්‍රාම වැටුප ලැබීමට නම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු අඩුම තරමේ වසර 10ක් එක දිගට හෝ කඩින් කඩ හෝ මන්ත්‍රීවරයකු ලෙස පත් වී සිටිය යුතුය.

මන්ත්‍රිවරයකුට මන්ත්‍රි වැටුපට හා හිමි සාමාන්‍ය වරප්‍රසාදවලට අමතරව කිසිදු දීමනාවක් මුදල් වශයෙන් හෝ අමතර වරප්‍රසාද ලෙස ලබා නොදිය යුතුය. ඇමතිවරයකුට මන්ත්‍රී වැටුප හා වරප්‍රසාදවලට අමතරව, ඇමති වැටුප හා ඇමතිවරයකුට හිමි වරප්‍රසාද පමනක් ලබා දිය යුතුය.

19. පිරිසිදු වාතය, පිරිසිදු ජලය, පෝෂ්‍යදායි ආහාර (වේල් 3ක්) සෑම පුරවැසියකුටම හිමි වීම මූලික අයිතිවාසිකමක් ලෙස ඇතුලත් කල යුතුය.

රටේ උපත ලැබූ කිසිවෙකු කුසගින්නේ සිටී නම් එවැනි රටක ආන්ඩුවක් තිබීමෙන් පලක් නැත. දුගීන් සවිබල ගන්වන වැඩසටහන් ක්‍රියාත්මක කල යුතු අතර, එමඟින් දුගී මිනිසුන් සවිබල වන තුරු, රජයේ වියදමින් හෝ ආහාර ලබා දීම අනිවාර්යෙන්ම කල යුතුය.

20. විදේශ රටක් සමඟ ඇති කර ගනු ලබන ඕනෑම වර්ගයක ගිවිසුමක් පාර්ලිමේන්තුවේ පූර්ව අනුමැතිය ලබාගත් පසු ගිවිසුම්ගත විය යුතුය.

21. ශ්‍රී ලංකා භූමියෙන් ඉඩම් කිසිදු විදේශිකයකු හෝ විදේශ ආයතනයකට සින්නක්කර අයිතිය නොලැබිය යුතුය. උපරිම 49 අවුරුදු බදු පදනම යටතේ පමනක් ලබා දිය හැකි විය යුතුය. 

දැනට සින්නක්කර ලබා දී ඇති ඉඩම්ද බදු පදනම් යටතේ පවරා දීම් බවට පරිවර්තනය කල යුතුය. 

තානාපති කාර්යාල සඳහා පමනක් අඛන්ඩව එම ඉඩම් එම තානාපති කාර්යාලවලට භුක්ති විදීමට අවසර දිය යුතුය.

22. ශ්‍රී ලංකාවට අනන්‍යව අයත් මුහුදු කලාපය ශ්‍රී ලංකා මුහුද (Sea of Sri Lanka) ලෙස නම් කල යුතුය.

23. ජාතික ලැයිස්තුවේ නම් කල මන්ත්‍රින් හැර ලැයිස්තුවෙන් පිට හෝ මැතිවරනයකින් පැරදුනු කිසිම කෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස පත් නොකල යුතුය.

ජාතික ලැයිස්තුවේ අනුපිලිවෙලට එම පත් කිරීම් කල යුතුය.

24. හදිසි පනත් ගෙන ඒමට තිබෙන ප්‍රතිපාදන ඉවත් කල යුතුය.

25. මහජන උපයෝගිතා කොමිසමද ව්‍යවස්ථාවෙන් ස්ථාපිත ස්වාධීන කොමිසමක් බවට පත් කල යුතු අතර, විදුලිය, ජලය, ප්‍රවාහනය, බල ශක්තිය (ඉන්දන හා ගෑස්) යන ක්ෂේත්‍රවල නියාමනය ඊට ලබා දිය යුතුය.

26. ස්වාධීන අධිකරන කොමිසම බලසම්පන්න කල යුතුය. 

නීතිඥයන් දිවුරුම්දීම, ඔවුන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීම මෙම කොමිසමෙන් සිදු කල යුතුය.

සියලු අධිකරනවල විනිසුරුවන්ගේ දූෂන චෝදනා ඇත්නම්, ඊට විරුද්ධව පැමිනිලි ලැබ විමර්ෂනය කිරීමට පුලුල් බලතල මීට හිමි විය යුතුය.

අධිකරන ආරක්ෂක අංශය මෙම කොමිසම විසින් පවත්වාගෙන යා යුතුය.

ප්‍රාථමික අධිකරනවල සිට උපරිම අධිකරනය දක්වා සියලු නඩුකාරවරුන්ගේ කාර්ය සාධනය සොයා වාර්තා තබා ගැනීම මෙම කොමිසම විසින් සිදු කල යුතුය.

27. අධිකරන අපහස නීතිය අර්ථ දැක්විය යුතුයි අධිකරනයකින් නඩු විභාගයකින් පසු ලබා දුන් තීන්දුවක් ඊට අදාල පාර්ශව විසින් පිලි නොගෙන කටයුතු කිරීම ලෙස. 

අධිකරනයට අවලාද නැඟීම සාමාන්‍ය අපරාද නීතිය යටතේ මාස 3කට නොවැඩි සිර දඬුවමක් ලබා දිය හැකි වරදක් ලෙස අර්ථ දැක්විය යුතුය.

28. නඩුකාරයන්ගේ ජ්‍යෙෂඨත්වය මත හා අධිකරණ කොමිසම විසින් පවත්වාගෙන යන නඩුකාරයන්ගේ කාර්ය සාධන දත්ත මත පමනක් ඔවුන්ට උසස් වීම් ලබා දිය යුතුය.

29. නඩුකාරවයකුව සිට විශ්‍රාම ගොස් හෝ ඉල්ලා අස් වූ පසු ඉදිරියට තවත් වසර 5ක් යන තුරු ස්වයංව නීතිඥයකු ලෙස හෝ නීති උපදේශකයකු ලෙස හෝ රජයෙන් වැටුප් හෝ දීමනා ලබන කිසිම තනතුරකට හෝ පත් වීමකට නුසුදුසු විය යුතුය.

30. රජයේ මුදල් වියදම් කරන සෑම විටකම, නිසි බලධාරි රාජ්‍ය සේවකයකුගේ අනුමැතිය යටතේ එය විය යුතු අතරම එම වියදම හා එම වියදම අනුමත කල නිලධාරියා නිශ්චිතව සටහන් විය යුතු අතර; ඊට අදාලව යම් අක්‍රමිකතාවක් සිදු වූ විට, එම රාජ්‍ය නිලධාරියා පෞද්ගලිකව එම වගකීම භාර ගත යුතුය. ඊට සුදුසු දඬුවම් සාමාන්‍ය අපරාධ නීතිය යටතේ පැනවිය යුතුය.

31. ආන්ඩුවේ ඇමතිවරයකු, නියෝජ්‍ය ඇමතිවරයකු බොරු දත්ත පාර්ලිමේන්තුව තුල ඉදිරිපත් කලහොත් පාර්ලිමේන්තු වගකීම් කාරක සභාව යනුවෙන් පිහිට වූ නව කාරක සභාවකට රටේ ඕනෑම පුරවැසියකු විසින් ඉදිරිපත් කරනු ලබන පැමිනිල්ලක් මත විභාගයක් පවත්වා; ඉන් වැරදිකරු වූ විට, මාස 3කට එම ඇමතිකම හෝ නියෝජ්‍ය ඇමතිකම අහෝසි කර සාමාන්‍ය මන්ත්‍රිවරයකු බවට පත් කල යුතුය.

32. ශරීයා නීතිය, තේසවලාමෙ නීතිය, කන්ද උඩරට නීතිය ඇතුලු පුද්ගල නීති අහෝසි කර, සියලු පුරවැසියන් රටේ එක පොදු නීතියට යටත් කල යුතුය.

33. රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨත්වය අනුව අමාත්‍යංශ ලේකම්වරු (අතිරේක ලේකම්ලාද) ඇතුලුව අමාත්‍යංශවල නිලධාරින්ද පත් විය යුතුය. රාජ්‍ය සේවයෙන් පිට අයට එම තනතුරු නොලැබිය යුතුය. 

විදේශ තානාපති සේවාව සඳහාද පත් කල යුත්තේ රාජ්‍ය සේවාව තුල සිටින නිලධාරින් පමනි.

34. කිසිදු ඇමති හෝ මන්ත්‍රීවරයකු තමන්ගේ කාර්ය මන්ඩලයට තම පවුලේ හෝ ඥාතිත්වයක් සහිත අය (දෙමව්පියෙක්, දූදරුවෙක්, දූදරුවෙකුගේ කලත්‍රයන්, කලත්‍රයන්, කලත්‍රයාගේ දෙමව්පියන්, කලත්‍රයගේ සහෝදරයන්, මුනුපුරන්, සහෝදරයන්, සහෝදරයන්ගේ කලත්‍රයන්, නැනදා, මාමා, පුංචි, බාප්පා) පත් කර ගැනීමට තහනම් විය යුතුය.

35. ජනපති, අගමැති, කතානායක යන තනතුර තුනට එකම පවුලේ හෝ ඥාතිත්තවයක් සහිත අය පත් නොවිය යුත්තේය. පවුලේ අය හා ඥාතිත්වය ඇති අය කවුරුන්ද යන්න ඉහත 34 වගන්තියේ අර්ථ දක්වා ඇත.

36. ජනපති හෝ අගමැතිගේ පවුලේ අය හෝ ඥාතිත්වයක් ඇති අයට කැබිනට් ඇමති තනතුරු උපරිම දැරිය හැක්කේ එකකි. (උදාහරන ලෙස, ජනපතිගේ හෝ අගමැතිගේ එක් ඥාතියෙකු පමනක් කැබිනට් ඇමතිවරයකු ලෙස සිටිය හැකිය). 

එලෙසම, නියෝජ්‍ය ඇමතිකම් උපරිම දැරිය හැක්කේ ඥාතින් දෙදෙනෙකුට පමනි.

 

 

තව අයට තවත් යෝජනා තිබිය හැකිය. ඇත්තටම තව යෝජනා රාශියක් තිබුනත් ඒවා ජනමත විචාරනයකට තුඩු දෙන බැවින් සටහන් කලේ නැත. ඉතිං, වහම 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ යුතුය. එලෙස සංශෝධන ගෙන ආවත්, පවතින ආන්ඩුව ජනතා අධිකරනය මත විභාග විය යුතුමය. ඔවුන්ට දඬුවම් දිය යුතුය. ඒ සියල්ලටම පෙර, පවතින පාලකයන් පන්නා දැමිය යුතුය. පාලකයන් තව ටික කලක් හෝ බලයේ ඉන්නට උත්සහ කරනවා නම්, එවුන් ලවා 21 වැනි සංශෝධනය සිදු කර ගත යුතුද වේ.


Comments

Popular posts from this blog

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

ඉලෙක්ට්‍රොනික්ස් III (Electronics) - 20

Tunnel Diode Esaki නම් ජපන් ජාතිකයා විසින් මෙය සොයා ගත් නිසා මෙම ඩයෝඩය එසාකි ඩයෝඩය ලෙසද හඳුන්වනවා . මෙම සොයා ගැනීමත් සමගම ඔහු විසින් ක්වන්ටම් ටනල් ආචරණයද සොයා ගත් නිසා නොබෙල් ත්‍යාගය පවා ඔහුට ලැබුණා . ක්වන්ටම් ටනල් ආචරණය සෙනර් ඩයෝඩයේදී දක්නට ලැබුණා මතකද ? මෙම ඩයෝඩයත් ක්වන්ටම් ටනල් ආචරණය මත පදනම්ව සාදා ඇති නිසාම ඊට ටනල් ඩයෝඩය ( උමං ඩයෝඩය ) යන නම ලැබී තිබෙනවා . එහි සංඛේතය පහත දැක්වේ .   සාමාන්‍ය ඩයෝඩයක මෙන්ම පී හා එන් කැබැලි දෙකකින් සෑදූ සන්ධියක් ඇත . එහෙත් සාමාන්‍ය ඩයෝඩයකට වඩා ඇති වෙනස නම් , එම අර්ධසන්නායක කොටස් ඉතා අධිකව මාත්‍රණය කර තිබෙනවා ( සාමාන්‍ය ඩයෝඩයකට වඩා ලක්ෂ ගුණයක් පමණ ). එවිට අර්ධසන්නායක කොටස් දෙකෙහිම යහමින් ආරෝපණ වාහක තිබෙනවා ( සාමාන්‍ය සන්නායකයක් වගේම ). එහි ප්‍රතිඵල දෙකක් තිබෙනවා . එකක් නම් , පෙර නැඹුරු කළ විට උමං ආචරණය සිදු වීම . දෙවැන්න නම් , පසු නැඹුරු කළ විට සාමාන්‍ය සන්නායකයක් ලෙස ක්‍රියා කිරීම . මේ දෙක දැන් සලකා බලමු . පෙර නැඹුරු කළ විට , උමං ආචරණය නිසා සුපුරුදු ඩයෝඩ ක්‍රියාකාරිත්වය නොදක්වයි . ඒ කියන්නේ 0 සිට වෝල්ටියතාව වැඩි කර ගෙන යන විට , ධාරාවද ක...