සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala)

ඔන්න මෙතෙක් කාලයක් මා මඟ හරිමින් සිටි මාතෘකාවක් ගැන තරමක් කතා කරන්නයි සූදානම් වන්නේ; ඒ කියන්නේ ක්වන්ටම් භෞතිකය තමයි මාතෘකාව. සැරින් සැරේ කමෙන්ට් හරහාත්, ඊමේල් ආදියෙනුත් මේ ගැන කතා කරමු යැයි කිහිප දෙනෙකුම යෝජනා කර තිබුණත්, මෙම විෂයේ නිසඟයෙන්ම තිබෙන අවුල් ස්වභාවය නිසාත්, විශේෂඥයෝ යැයි කියා ගන්නා අයත් මේ ගැන කතා කිරීමේදී "කොරවන නිසාත්", මේ ගැන ලියමින් යන විට අනිවාර්යෙන්ම මාව හිට් විකට් කිරීමට එවන පන්දු හමුවේ නොදැවී සිටීමට හැකිදැයි සැකයක් මා තුල තිබුණි.
 
එනිසා මා විසින්ම මට පනවා ගත් කොන්දේසියක් සමඟ මා ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමි. එම කොන්දේසිය වන්නේ මේ විෂය ගැන අසන කිසිදු පැනයකට මා පිලිතුරු නොදී සිටීමයි. එහෙත් ඕනෑම අයෙකුට ප්‍රශ්නය ඇසීමට මෙන්ම ඒවාට පක්ෂව හෝ විරුද්ධව කරුනු දැක්වීමට හා පිලිතුරු සැපයීමට ඇති අයිතිය මා අවහිර නොකරමි. විෂයට බහින්නට පෙර මේ විෂය සම්බන්දයෙන් මගේ ජීවිතයේ පැතිකඩක් පලමුව දිග හරින්නට කැමතියි.

මට ක්වන්ටම් විද්‍යාව ගැන උනන්දුවක් ඇති වූයේ සාපෙල කරන සමයේය (අද මෙන් අන්තර්ජාලයක් අපට එදා තිබුනේ නැත). මා පාසලේ 6 වසරේ සිට උසස් පෙල දක්වා අඛන්ඩව විදුසර පාඨකයෙකු වන අතර, එහි ඉතා කුඩා ලිපි මේ ගැන පල වී කියවූයෙමි (ඉදහිට අදද විදුසර බලන අතර, එදා විදුසර සමඟ බලන විට අද විදුසරෙහි ගන්නට දෙයක් නැති බව පෙනේ). ඉන්පසු උසස් පෙළ කරන සමයේ ක්වන්ටම් විද්‍යාවේ අයනු ආයනු ඉගෙන ගත්තෙමි. ෂ්‍රෝඩින්ගර් සමීකරණය ව්‍යුත්පන්න කිරීමට ආදිය හැකි විය. ඒ කාලයේ සිංහල බසින් ලියවූ ඉතා කුඩා පොත් පිංචක් ("කීර්ති" වැනි නමක් සහිත කතුවරයකුගෙද කොහෙද... හරිහැටි මතක නැත) මේ විෂය ගැන පුස්තකාලයෙන් ගෙන කියවීමි. එම නෝට්ස් අදටත් මා සතුව ඇත.

උසස් පෙල කරන සමයෙහි නලින් ද සිල්වා ආචාර්යතුමාගේ චින්තන පර්ෂදයටද සම්බන්ද කටයුතු කළත්, විද්‍යාවට වඩා දේශපාලන ස්වරූපයක් එහි තිබුණු නිසා ඉන්ද ඉගෙනීමට අවස්ථාවක් නැති බැවින් ඉන් මා ඉවත් වූයේ කලකිරීමකිනි. උදාහරණයක් ලෙස, "මනෝකායේ රසායනික සංයුතිය" යන තේමාව යටතේ අපේ ගමේ පංසලේ නලින් ද සිල්වාගේ දේශනයක් මා විසින් සංවිධානය කරන්නට යෙදුනු අතර, අවසානයේ එය "සිංහල රාජ්‍යය යලි පිහිටුවමු" යනුවෙන් තේමාවද වෙනස් කර තනිකරම දේශපාලන සංවාදයත් බවට පත් වූයේ එතුමාගේ හා බෙංගමුවේ නාලක හිමියන්ගේ දේශන දෙකක් පවත්වමිනි. තවද, ගම වටේ සිල්වා මහතාගේ පොත් විකුනන්නටද සිදු විය.

කෙසේ හෝ මගේ තනි උනන්දුව මත මා එය එකල ඉතා හොඳින් ඉගෙන ගත්තෙමි. ස්විස්ටර්ලන්තයේ CERN ආයතනයෙන් මට ඔවුන් විසින් ලොවපුරා ඉතා සීමිතව විද්‍යාර්ථයින් අතර බෙදා හරින පරමඅංශු භෞතික විද්‍යාව ගැන පර්යේෂණ දත්ත සියල්ල ඇති Journal of Physics G යන තඩි පොතක්ද ලබා දුනි. මා සිතන්නේ නැහැ එම ප්‍රින්ට් පොත ලංකාවේ වෙනත් අයකු සතුව ඇතැයි කියා. කෙසේ වෙතත් අවුරුදු දෙකකට සැරයක් යාවත්කාලීන කර අලුත් සංස්කරණයකින් ඉදිරිපත් කරන මෙම පොත අන්තර්ජාලයෙන් නොමිලේම pdf ෆයිල් එකක් ලෙස ඩවුන්ලෝඩ් කර ගැනීමට දැන් පහසුකම් ඇත.




මෙහිදී බොහෝ දෙනා නොදන්නා රසවත් කතාවක්ද කීමට සිතේ. ඔබ සමහරවිට දන්නේ නැතිව ඇති අද ඔබ අප සැවොම දිනපතා භාවිතා කරන අන්තර්ජාල වෙබ් සේවාව (worldwide web - www) හෙවත් කවුරුත් දන්නා "වෙබ්සයිට්"වල උපත සිදු වූයේද ක්වන්ටම් භෞතිකය (පරම අංශු භෞතික විද්‍යාව) නිසාය. මෙම විෂය ගැන සිදු කරන පර්යේෂනවල දත්ත පිටු දහස් හෝ දසදහස් ගණන් විශාලය. ඒවා ලොවපුරා විද්‍යාඥයන් අතර බෙදා හැරීමට එකල සිදු වූයේ ගුවන් යානයෙන් ගොස් පිටපත් හුවමාරු කර ගැනීමයි. මෙය ඉතාම මන්දගාමි ක්‍රමයක් බව අමුතුවෙන් කිව යුතු නැහැනෙ. ඉතිං ඊට විසදුමක් ලෙස තමයි මේ විෂය ගැන ලෝකප්‍රකට පර්යේෂණාගාරය වන CERN හි භෞතික විද්‍යාඥයකු වන ආචාර්ය ටිම් බර්නස් ලී විසින් වෙබ්සයිට් ක්‍රමය හඳුන්වා දුන්නේ. එමඟින් තත්පර ගණනාවකදී එම දත්ත ලොවපුරා පහසුවෙන් හුවමාරු කර ගත හැකි විය. එලෙස ඇරඹුනු වෙබ්සයිට් අද වන විට අපේ ජීවිත ආක්‍රමණය කරන තරමට ජනගත වී තිබේ.

ඉතිං, මගේ කතාවේදී, හිටිහැටියේම "සපත්තුවක්" කන්නට සිදු වීමෙන් සියල්ල අත් හැර අවුරුදු ගණනාවක්ම "ගිහිගෙය අත්හැර" සිටීම හේතුවෙන් මෙම විෂයෙන් හා ජීවිතයේ සියලුම වැඩකටයුතුවලින් ඉදිරියට යෑමට නොහැකි විය. එලෙස මගේ ආදර ප්‍රතිඅංශුවෙන් විධ්වංශනය වී එකවරම තරංගයක් බවට පත්ව අතුරුදහන් වූ ක්වන්ටම් අංශුව ඊයේ පෙරේදා දිනක නැවත මා ඉදිරියේ අංශුවක් බවට පත් ව දිස් වූයේ ඇනෝ කෙනෙකුගේ කමෙන්ටු නිරීක්ෂනයට හසු වී තරංග ශ්‍රිතය බිඳවැටීම හේතුවෙනි.

පාඨකයකු (හෝ කිහිප දෙනෙකුම) මාගේ පරන සටහන්වල රූපයක් දෙකක් පෙන්වන්න යැයි කිහිප විටකම කමෙන්ට් හරහා පැවසූ නිසා, පහත ඒ මාගේ අවලක්ෂන අකුරුවලින් ලියූ ක්වන්ටම් පිලිබද සටහන් කිහිපයක ඡායාරූප කිහිපයක් පළ කරමි.








විටින් විට ක්වන්ටම් විද්‍යා සංකල්පද පාදක කර ගනිමින් මා සිංහලෙන් මෙන්ම ඉංග්‍රිසි බසින් කුඩා කවි පේලිද ලියා ඇත. මා හිතන්නේ ක්වන්ටම් විද්‍යාව ඔස්සේ කවි ලියපු ලොව ප්‍රථමයා මා විය හැකිය. එම කවි සියල්ල මෙම බ්ලොගයේ මා පළ කර ඇත (එහෙත් මගේ කවි රසවත් නැති නිසාමදෝ ඒවා එතරම් බලා නොමැත). එම කවි මා "ක්වන්ටම් කවි" ලෙස හඳුන්වනවා. එලෙස ලියූ මාගේ පළමු ක්වන්ටම් කවිය පහත දැක්වේ.

A principle by name
Uncertainty as famed
Tells time weds energy
No time eternal
But time ephemeral
Nor energy in continuum
But energy in quantum
On the nuptial pledge
That their love aka
Product of their delta
Never be nought
Ever be at least
Reduced Planck over two...


හයිසන්බර්ග්ගේ අනිශ්චිත මූලධර්මය (Uncertainty prinicple) ගැන මේ කවියෙන් මා කියයි. එලෙස ලියූ තවත් (සිංහලෙන් හා ඉංග්‍රිසියෙන් දෙකෙන්ම) කවියක් පහත ඇත.

To fall through a quantum tunnel

In a virtual love sans bondage

Nor did Heisenberg nor Shroedinger

But did I find the equation... Eureka!


ක්වන්ටම් උමං ආචරණය (quantum tunnel effect) නම් සංසිද්ධිය ඇසුරින් මා එය ලියා ඇත. ක්වන්ටම් පැටලුම (quantum entanglement) යන සංසිද්ධිය ඇසුරින් පහත කව ලියුවෙමි.


පහත දැක්වෙන්නේ එවන් තවත් ක්වන්ටම් කවියකි. මේ සියලු කවිවලින් විදාරණය වන්නේ මගේ සපත්තු අත්දැකීමමැයි.


ස්ටීවන් හෝකිං නම් විද්වතා මිය ගිය අවස්ථාවේදීද මා එක්තරා විදියකට ක්වන්ටම් කවියක් ඔහු වෙනුවෙන් ලියුවෙමි. එය මා දැනට ලියා ඇති අවසාන ක්වන්ටම් කවියයි.

The black-hole absorbing all fermions 

And bosons of knowledge of science

Radiating theories of quarks and cosmos 

Ultimately transcended spiritually 

Through a divine quantum tunnel 

In its worm-hole to another universe of paradise 

To live with the God... 

RIP Stephen Hawking...

හරි... මේකයි ක්‍රමය. මට කාලය තිබෙන විදියට ක්වන්ටම් ගැන මින්මතු ලියනවා. එහෙත් ඒ සම්බන්දව අසන කිසිදු පැනයකට මා පිලිතුරු දෙන්නේ නැත. ක්වන්ටම් විද්‍යාව දන්නා ප්‍රාමානික දැනුමැත්තන් ලංකාවේද සිටී (නලින්ද සිල්වා, චන්ද ජයරත්න, ග්‍රැන්විල් ධර්මවර්ධන ආදි). එහෙත් මෙම විෂයේ නිසඟවම තිබෙන අවුල් සහගත තත්වය නිසා හෝ වෙනත් මොනයම් හේතුවක් නිසා හෝ මේ කිසිවෙකු අප කාටත් පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි එය විස්තර කරනු මා දැක නැත. ක්වන්ටම් අංශුවලින් ඔලු පැලෙන්න ගසන බවකුයි මට නම් දැනුනේ. එහෙත් මා එතරම් උගතකු නොවන බැවින් ක්වන්ටම් විද්‍යාව ගැන මා දන්නා සුලු දේ පැවසීමට මා සිතන්නේ තරමක පහසුවක් මට තිබේ. ඉංග්‍රිසි බසින් ඕනෑ තරම් පොත් මේ ගැන ඇත (මා ළඟද කිහිපයක් තිබේ). ඒ අතරින් ග්‍රිෆිත් ගේ ක්වන්ටම් විද්‍යා පොතට මා ප්‍රිය කරනවා. එහෙනම් වැඩේට බහිමු ඊ ළඟ ලිපිවලින්.

Comments

  1. ජේසුස් වහන්ටසේත් ඔබතුමා වගේ අයගැන මතක්කරලා තියෙනවා.

    "තවද, ස්වර්ගය අපේක්‍ෂාවෙන් තමන්වම නපුංසකයන් කරගන්නාවූ නපුංසකයෝද සිටිති."

    ReplyDelete
    Replies
    1. ජේසුස් වහන්සේට වචනයෙන් කියාගත නොහැකි දෙයක්ද තිබේ. ඒ කියමන නම්,

      "අනුන්ගේ නිවසේ සුන්දර දොරකඩ මල පහ කර අවටම ගඳින් පුරවන පවිටු සතුටක් ලබන හා තමන් විහින් ලොවට සෙතක් නොකරම වසලයන් සේ අනුන්ගේ නපුංසක බව සොයන්නේ තම මෑනියන් යොදා අන්‍යාගේ නපුංසක බව තහවුරු කර ගනු යෙහෙකි".

      Delete
    2. අයියෝ ලොක්කා කේන්තිගන්න එපා.
      එතනදී ජේසු නපුංසකයා කියලා කිව්වේ අපහාසයකට නෙමෙයි,
      අනගාරික ධර්මපාල තුමා වගේ ආගමික කටයුතුවලට කැපවෙලා. ගිහි ජිවිතයට යොමු නොවී ඉන්න අය ගැන.
      ඔබතුමත් එහෙම නපුංසකයෙක්නේ.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ඔබේ මහප්‍රාණ කුණුහරුප අපට තේරෙන්නේ නැත බහිජටා මහත්මයා. කරුණාකර තේරෙන සිංහලෙන් කතා කරන්න. :)

      සන්සුන් වන්න ටෙක්ක්‍රෝච් උතුමාණනි. චින්තන පරිසදේ පැත්තෙ ගියාම විද්යාර්ථීන් ඔයවගේ මහප්‍රාණ කතා කියනවා :) ඔබේ ලිපිය සුපිරී. අවුරුදු 11 ක් තටමල ඕන් අන්තිමට ක්වොන්ටම් ලිව්වා... හහා.. :) තැන්කූ ! ලිපිය කියවා කොමෙන්ටුවක් කොටන්නම්. ජය වේවා...

      Delete
    5. @බහිජටා
      එහෙමද? එහෙනම් අවුලක් නැහැ... හාහා... හැබැයි මං කිසිදු ආගමක් දර්ශනයක් අදහන කෙනෙකු හෝ පුද්ගලයන් පසුපස යන කෙනෙකු නම් නොවේ...

      @ඇනෝ
      ඒක ඇත්තටම බයිබල් පාඨය අර්ථකථනය කිරීමේදී (මා අතින්) සිදු වී ඇති අතපසු වීමක්. ඕනෑම ප්‍රකාශයක් සන්දර්භයෙන් පිට පළ කරන විට මෙවැනි අපභ්‍රංශ තත්වයක් ඇති වෙනවා (එය ජටාගේ අතපසුවීමක්). ඒ හැරත්, බයිබලය (හා කොරානය) වෙතින් ඒවායේ පාඨ ගෙනහැර පාන විට හෝ අර්ථ කථනය කරන විට පරිස්සම් වන්න කියා එම ආගම් ගැන පණ්ඩිතයන්ද නිතර කියනවා. මෙතැනත් එවැනි තත්වයකි.

      Delete
    6. භහීජටා මහත්තය ඇයිද කලබල මෙහෙම කියනවට සමාවෙන්න මිට කලින් youtube එකෙත් හොප්ස්කින්ග් ගෙ අවසන් පොත් ගැන කියපූ වීඩියෝඑකක කාන්තා පරානයක් දෙවියන් වහන්සේ අල්ලගෙන මැරෙන්න හැදුව මට දැන ගන්න පුලුවන්ද ලන්කවෙ දෙවිවරු විශ්වස කරන අය (බුද්දාගමික නොවන) විද්‍යාව පිලිනොගෙන මැවීමක් ම පිලිගෙන ඔහේ ඉන්නෙ ඇයි කියල

      Delete
  2. තැන්කූ ටෙක්ක්‍රෝච්. ලවු යූ සෝ මච් බොක්කහ්...:)

    ReplyDelete
  3. //මේ විෂය ගැන අසන කිසිදු පැනයකට මා පිලිතුරු නොදී සිටීමයි.//

    එසේ කරන්නට එපා. ඔබේ බ්ලොගය කියවන "විද්‍යාර්ථීන්ට" මතුවන ගැටලුවක් සාකච්ඡා කරන්නට ඔබ අපිට අවශ්යයි. කොහෙද ඉතින් අනික් උන් එකෙක්වත් ජීවතුන් අතර නෑ වගේ... :P :)

    ජගත් පතිරණ, ෂමින්ද ගමගේ, ග්+ඇටයා, දේශකයා, ලක්මාල්...

    ආ... තව නිහාර් ජයලත්වත් ආදරයෙන් මතක් කරන්න කැමතී... තව අර නංගිලව මෝහනය කරන ඩෑල් එක... හහා.... තව අර කවි ලියන එකා...

    //ස්විස්ටර්ලන්තයේ CERN ආයතනයෙන් මට ඔවුන් විසින් ලොවපුරා ඉතා සීමිතව විද්‍යාර්ථයින් අතර බෙදා හරින පරමඅංශු භෞතික විද්‍යාව ගැන පර්යේෂණ දත්ත සියල්ල ඇති Journal of Physics G යන තඩි පොතක්ද ලබා දුනි. මා සිතන්නේ නැහැ එම ප්‍රින්ට් පොත ලංකාවේ වෙනත් අයකු සතුව ඇතැයි කියා.//

    එසේ වෙලත් ඔබතුමා තවම ලංකාවේ සිට ඇට ගණන් කරන්නෙ ඇයිදැයි මට නොතේරේ ලංකාවේ නම ලෝකයට ගෙනියන්න අවස්ථා තිබියෙදී.. ඇයි ඔබතුමා මේ සපත්තුවක් නිසා ගිහිගෙය හැර ගියේ.. :'( ... සපත්තුව යනු හැමෝටම පොදු දෙයකි. සමහර විට එය ක්වොන්ටම් වලටත් වඩා abstract දෙයකි. කුඩා වෙනසකින් අසීමිත වෙනසක් සිදුවන ෆ්‍රැක්ට්‍රල් මෝස්තරයක් බදු, හයිසන්බර්ග්ගේ අවිනිශ්චිතා නියමයටවත් හසු නොවන කෙල්ලෙකුගේ සිතිවිලි වල සම්භාවීතා කුලකය ගැහැම් නොම්බරයත් ඉක්මවන ඇලිෆ්නෝල් ඔමේගා සීමාවේ පවතින මල හත්තිලවු අන්ප්‍රෙඩික්ටබල් බම්බුවකි... එය තේරුම් ගැනීම ක්ලයින් බෝතල් 2 ක් ගෙන 5 වන මානයේ පවතින දාර -1 ක් ඇති වස්තුවක් නිර්මාණය කිරීමට ගන්නා උත්සාහයක් වැනිය. සපත්තු කා ඇති කෙනෙකු ලෙස මං කැමතී ඔබේ සපත්තුව කෙබඳු එකක්දැයි දැනගන්නට ඔබ කැමති නම්.. හහා..

    //එකවරම තරංගයක් බවට පත්ව අතුරුදහන් වූ ක්වන්ටම් අංශුව ඊයේ පෙරේදා දිනක නැවත මා ඉදිරියේ අංශුවක් බවට පත් ව දිස් වූයේ ඇනෝ කෙනෙකුගේ කමෙන්ටු නිරීක්ෂනයට හසු වී තරංග ශ්‍රිතය බිඳවැටීම හේතුවෙනි.//

    මා ඔබව නිරීක්ෂණය කළෙමි. දැන් ඔබට බෑ තව දුරටත් තරංගයක් ලෙස හැසිරෙන්නට. මට ඔබව මැන ඔබේ ප්‍රතිඅංශුවේ ස්පින් එක ඔබ හට කියා කවදා හෝ ඔබට ගුරු පඩුරු පුදන්නට පුලුවන් වේවිද....?

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් භාෂාව ට්‍රැක් පැන්න තැන් කීපයකදී සමාවෙන්නෝනි ඇ...

      Delete
    2. තත් ස්නේහ මීසෝනය ස්ථායිව පැවතියේ ප්ලාන්ක් නියතයටත් අඩු කාල පරාසයකට පමනි. ප්‍රතිඅංශු ඕ මගේ මව් පිය සිය ප්‍රිය හා දත් නොදත් ඈ දනා අතථ්‍ය අංශුවල සතත බලපෑමට නතුව මා අංශුව විධ්වංශනය කර දමන්නට යෙදුනි. කල් යත්, ඕ අප් ක්වාර්කය ඩවුන් ක්වාර්කයක් සමඟ සස්වාමික වී කෙටි කලකින් සුරතල් තවත් ඩවුන් ක්වාර්කයක් ජනිත කර, සදහටම නිසල නියුට්‍රෝනයක් වෙද්දී, මා බොහොම වෙහෙසකින් පසු අංශුවක්ව ඉපැද, සුරතල් ඩවුන් ක්වාර්කයට විජ්ජුල්අයස්කාන්ත බලයෙන් බැඳී, ඒ වටා වසර ගනනක් භ්‍රමනය වන එරොනක් වූයේය. එම ආකර්ශනයත් කඩා, නැවතත් මා එරොන අයනීකරණයට ලක්ව ඈතට විසි වී ගියෙන් දැන් මුක්ත ඉලෙක්ට්‍රෝනයක්ව සරමි.

      නංගිලාව මෝහනය කරන එකෙකුත් මේකෙ හිටිය කියල මං දැනං හිටියෙ නැහැනෙ. මට තාම ඕක කර ගන්න බැරි වුණානෙ... හාහා

      ඔබ දක්ෂයෙකු සේ පෙනෙනවා. එනිසා ඉතා උනන්දුවෙන් ඉගෙන ගෙන අනර්ඝ පුද්ගලයකු වන්න.

      Delete
    3. මා වටා කක්ෂගත වූ ප්‍රතිඅංශුව මා මත පතිත වී දෙදෙනාම නියුට්‍රෝනයක් වනවා වෙනුවට ඉගෙනීම නැමැති ෆෝටෝනය අවශෝෂණය කර අයනීකරණය වුනා. එදයින් පසු එවැනි ඉලෙක්ට්‍රෝනයක් කිසිදා මා නොදිටිමි. නමුත් එක ඉලෙක්ට්‍රෝනයක් තිබ්බා එවැනි. නමුත් එය සැතපුම් දහස් ගණනක් දුරින් නුහුරු පරිසරයකයි තිබෙන්නේ.. මං දන්නෑ එය මා වටා කක්ෂගත කරගන්නේ කෙසේද කියා. සමහරවිට ඒ ඉලෙක්ට්‍රෝන දෙකම එකක් වෙන්ටෑති... හහා... මේ ගැන වරු ගණන් ලිවිය හැකී.. කෙසේ වෙතත් පළමුවැන්න දෙවැන්නේ ප්‍රක්ෂේපණයක් වැනිමය. නමුත් දෙවැන්න පළමුවැන්නට වඩා දහස් ගුණයක් මා හට ලස්සනයි...

      ඔබේ කතාව වෙනස් එකක් මං හිතුවට වඩා.. හහා... සපත්තුව පළමු එකද දැවැනි එකද කියා මා කල්පනා කරනවා. දෙකම සපත්තුද..? හහා..

      මුක්ත ඉලෙක්ට්‍රොන තමයි විදුලිය සන්නයනය කරන්නෙ. තැන්කූ වසර ගණනක් අඛණ්ඩව ඒ දෙය නොපිරිහෙලා ඉටු කළාට...

      නොදන්න වචන කීපයක්ම හම්බුනා වෙනද වගේම.. විජ්ජුල් අයස්කාන්ත බල, එරොනය. සුපුරුදු ලෙස ගූගල් කලාම කිසිවක් නොලැබුණි.. පැහැදිලි කරන්න වෙලාවක් නැතිනම් ඒ දෙකේ ඉංග්‍රීසි නම් දෙකවත් කියන්නකෝ..

      නංගිලාව මෝහනය කරන ඩෑල් එක : https://www.blogger.com/profile/12098853351041129384

      මටත් අර ස්වයං මෝහන ට්‍රැක් එක වට්සැප් කරන්න..

      //මේ විෂය ගැන අසන කිසිදු පැනයකට මා පිලිතුරු නොදී සිටීමයි.//

      එසේ කරන්නට එපා.. පුලු පුලුවන් වෙලාවට උත්තරයක් කොටන්න.

      තැන්කූ.. මං මුලින්ම විද්‍යාව කියා දෙයක් හරියට ආසාවෙන් ඉගෙනගත්තේ ඔබතුමාගෙන්. මා එයට ඔබට ණයගැති... ඔබට දහස් වාරයක් පින්..

      Delete
    4. එරොන යනු ඉලෙක්ට්‍රෝනයට යොදපු නමකි. මා දන්නා පරිදි කුමරතුඟු මුනිදාසයන් එම වචනය සකසා ඇත.
      විජ්ජුල් යනු විද්‍යුත් යන්නත් අයස්කාන්ත යන්න චුම්භක යන්නත් ලෙස ගත් විට එහි තේරුම විද්‍යුත්චුම්භක බලය යන්නයි.

      හාහා... සපත්තුව පලමු එක වන අතර, දෙවැන්න ඇගේ සුරතල් දියනියයි.

      මං ඒ ට්‍රැක් එකේ ලින්ක් එක එවන්නම්.

      Delete
  4. හොඳයි සර් ක්වොන්ටම් සම්බන්ධව ලියන්න.සර් හැකි ලෙස නිදහසේ අනෙක් පාඩම් වගේ රසවත් ලෙස
    විටෙක සර් නව මාවතකට යොමු වේවී ක්වොන්ටම් විෂය සම්බන්ධව.මට හිතෙන විදියට සර්ගේ ක්වොන්ටම් කවි වලිනුත්
    එ්ක පේනවා.මගේ පුංචි දැනුමට නම් එතරම් වැටහෙන්නෑ තවම හැබැයි උත්සහ කරනවා වටහාගන්න.
    සර්ගේ Electronics hand books නම් ඉතා අනර්ඝයි!

    ReplyDelete
    Replies
    1. :) මේ දවස්වල මං ඒක ලියන හැටි තමයි හිතන්නේ. ඉලෙක්ට්‍රොනික්ස් ගැන ලියමින් හිටපු තැන සිට නැවත ලියන්නත් හිතාගෙන ඉන්නවා. මගේ කම්ප්‍යුටර් සී ප්‍රෝග්‍රැමිං ලිපි පෙලත් එකවර අතරමඟ නතර වුණා. ඒවාත් සම්පූර්ණ කරනවා. එහෙත් ඉතිං ජීවිතයේ සමහර යථාර්ථවලට මුහුන දෙන විට අවශ්‍ය වුවත් සමහර දේවල් කිරීමට කල්ගත වෙනවා.

      Delete
  5. පොඩි වදනක් තියෙනවා... මේක ඇත්තද.. මේ සම්බන්ධව කට්ටියට හිතෙන්නෙ කොහොමද කියල දැනගන්න කැමතියි..

    වදන : Mathematics is the different between the reality and the projection we experience.

    මේක අන්තර්ජාලයෙන් ගත්තෙ.

    ReplyDelete
    Replies
    1. මේවා ඉතිං ලස්සන දාර්ශනික කියමන්... ඒක නිසා ඒ සම්බන්දව තමන්ට කොතරම් එකඟ විය හැකිද කොතරම් එකඟ විය නොහැකිද යන වග පමනක් සිතීම ප්‍රමානවත් මං හිතන්නේ.

      යථාර්ථය (නිරපේක්ෂ හෙවත් වාස්තවික සත්‍යය) යන්න කාටවත් එය මෙසේ විය යුතුය කියා ඔප්පු කර පෙන්විය නොහැකි දෙයකි. අප අධ්‍යනය කරන්නේ හා සංජානනය කරන්නේ එම යථාර්ථයේ විවිධ පැතිකඩවල් හෙවත් යථාර්ථයේ ප්‍රක්ෂේපන පමනි. විද්‍යාවෙන් කරන්නේ මෙම පැතිකඩවල් නිශ්චිත ක්‍රමවේදයක් (විද්‍යාත්මක ක්‍රමය) ඔස්සේ සොයා බැලීමයි. මෙම පැතිකඩවල් සමහරවිට වාස්තවික සත්‍යයම විය හැකියි; නැතිනම් ඊට අත්‍යාසන්න විය හැකියි; එසේත් නැතිනම් ඉන් ඉතා දූරස්ථ වියද හැකියි.

      ගනිතයද මා දෙයාකාරයකින් දකිමි. එකක් නම් එය සාමාන්‍ය ව්‍යවහාර ජීවිතයේම තවත් එක අංගයක් පමනි හරියට අප කතා කරන භාෂාව වගේම. බලන්න ඔබට පුලුවන්ද කියා එදිනෙදා ජීවිතයේදී අගයන්/සංඛ්‍යා හා සරල ගනිත කර්ම භාවිතා නොකර ඉන්න? බැහැනෙ. එහෙත් ගණිතය පසු කාලීනව වියුක්ත (abstract) බවක්ද අත්පත් කර ගන්නවා. එවැනි ගනිත සංකල්ප තමයි සාමාන්‍ය මනසට එකවර නොවැටහෙන්නෙත්. ඊට හේතුව මානවයා විසින් "අලුතින්" නිර්මානය කරමින් සිටින විද්‍යාව සංක්ෂිප්තව හා ඉතා නිවැරදිව ඉදිරිපත් කිරීමට යොදා ගන්නේද ගණිතය වීමයි. ඒ කියන්නේ ගනිතය යනු විද්‍යාවේ භාෂාවයි. මා ගනිතයේ දෙවැනි ස්වරූපය ලෙස සලකන්නේ එයයි.

      ඉතිං, සමහර විද්‍යා සංකල්ප ඇත්තටම අපට මනසේ මවා ගැනීමට නොහැකි විය හැකිය; නමුත් ඒවා ගනිත සූත්‍ර ඇසුරින් ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ ගනිතය සත්‍යය වෙතට අපව යොමු කරන පාලමක් වැනිය. පෙරත් කියූ ලෙස අප වාස්තවික සත්‍යය නොදනී; ප්‍රායෝගික සත්‍ය (එනම් අපගේ විද්‍යාත්මක අනුභූතිය හෙවත් අත්දැකීම්වලින් මතු කර ගත් සත්‍යය) අප දිනෙන් දින වැඩි වැඩියෙන් දැන ගනී. ඉතිං, ගනිතය යනු අර කියමනේ තිබෙන ආකාරයට සත්‍යය හා අපගේ අත්දැකීම්/සංජානන/දැනුම අතර වෙනස විය හැකිය.

      ඒ මාගේ අර්ථකථනයයි. වෙනත් අයෙකුට වෙනත් අදහස් මතිමතාන්තර පැවතිය හැකිය. දර්ශනයේ ස්වභාවය එයයි.

      Delete
  6. මා ඔබේ සටහන් කියවීමට උත්සාහ කලා. ඉංග්‍රීසියෙන් තියෙන නිසා කියෝගන්න බැරි උනා . නමුත් මං දැක්ක තරංග ශ්‍රිතය එහෙම ඉතා දරුණු විදිහට පාර්ශ්වික අවකලනයට ලක් කරලා දූෂණය කරලා තිබුණා.. හහා.. තව ෆේමන් ඩයග්‍රමුත් දෑක්කා ප්‍රෝටෝනයක් නියුට්‍රෝනයක් බවට පත් වන හැටි තිබ්බා..:) කෙසේ නමුත් මා ඉතා ආසාවෙන් බලා සිටිනවා ඔබේ ඊලග ක්වොන්ටම් ලිපිය එන තෙක්.

    ජයෙන් ජයම වේවා ඔබට...!

    ReplyDelete
    Replies
    1. තරංග ශ්‍රිතය හා මා ඊට කර ඇති දේ ගැන ඔබ කතා කළ සමහර වචන ඔස්සේම මට කදිම පිලිතුරක් දිය හැකි නමුත් එය වැඩිහිටියන්ට පමනයි යන ලේබලය යටතට වැටෙන නිසා හිතින් පමනක් පවසා වදනින් නිහඩ වෙමි.

      Delete
    2. තරහ ගන්න එපා ලොක්කා... තරංග ශ්‍රිතය ඇතුලත් ඔබේ ගණනය කිරීම් මට බරපතළ වැඩි නිසායි මං එහෙම කිව්වෙ හිටං...සොරි හොදේ..මීට පස්සෙ එහෙම කොමෙන්ටු දමන්නේ නෑ මං

      //ඕනෑම ප්‍රකාශයක් සන්දර්භයෙන් පිට පළ කරන විට මෙවැනි අපභ්‍රංශ තත්වයක් ඇති වෙනවා// :)

      Delete
    3. හාහා... මං ඒක කේන්තියෙන් කියපු දෙයක් නෙමෙයි... මං ඒ ලියපු දේට කැමැතියි... එහෙත් මටත් ලියන්නම හිතුනත් සමහර දේවල් හිතට එන විදියටම ලියන්න බැහැ...

      Delete
  7. ක්වොන්ටම් භෙතිකයෙන් කන්න බොන්න පුළුවන්ද?
    කාරෙකක් ගන්න පුළුවන්ද?
    පිස්සුවැඩ නොකර ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. භහීජාටා මහත්මයනනි ඔබ මේ මොහොතේ භාවිතාකරන දුරකතනයහිද පරිගනකයහිද ආදී බොහෝ තැන් හි ඇත්තෙ ක්වොන්ටම් පිහිටෙන් තැනූ ic වෙයි ඒක නිසා ඒක් කොහොමද උනේ කියල දැනගන්න කැමති අය ඉන්නව ඒ අයට කන බොන එලට වඩා ඔක වැදගත්

      Delete
    2. නවරුවන් නවතපු තැනින් පටන් ගත්තොත් ක්වොන්ටම් වලින් තොරොව අන්තර්ජාලයකුත් නෑ. මං පෞද්ගලිකව අන්තර්ජාලයෙන් මුදල් උපයල තියෙනවා. මගෙ යාලුවොත් ඇති පදම් අන්තර්ජාලයෙන් උපයනවා. ඒ කියන්නෙ මං ඇතුලු ලෝකයේ සුවහසක් දෙනා කාල බීල යැපෙන්නෙ ක්වොන්ටම් වලින්. තව මං ඉහත කී යාලුවන්ගෙන් සමහර අය ඒ මුදල් වලින් වාහන අරගෙනත් තියෙනවා. ඒ හැරත් සෑම සමාගමක්ම අන්තර්ජාලය භාවිතා කරනවා තම සමාගමේ සාර්ථකත්වය පතා. මේ අනුව වර්තමානයේ මුලු ලෝකයෙන්ම බාගෙකට වඩා යැපෙන්නෙ ක්වොන්ටම් නිසා බව අපි අකමැත්තෙන් හෝ පිළිගත යුතුයි...

      Delete
    3. මේ දිනවල විදුසර පත්තරේ තාපගතිකය ගැන ලිපි පෙලක් යනවා. ඒහි දැක්වෙන පරිදි වාශ්ප ඒන්ජිම නිපදවා ඇත්තේ අද තියෙන තාපගතික විද්‍යාව හැදෙන්න පෙර. ක්වොන්ටම් වලින් තොරොව අන්තර්ජාලයකුත් නෑ කියන තකාවත් ඒ් වගෙයි.

      Delete
  8. ක්වන්ටම් ඉවර කරල හරි අතර මැදදි හරි හීනියට වගේ සාපෙක්ශතා වාදය ගැනත් කියන්න පුලුවන්නම් ගොඩක් වටිනව සර් අනික මෙ මාතෘකා හොදට විකිනෙන ඒව නිස ගොඩක් වෙලාවට youtube එකට ගියත් පැහැදිලිව සින්හලෙන් ඉගෙනගන්න තියන අවස්තව අඩුයි (නැති තරම්) මොකද හිට් වෙන්න, ඔනේ එකෙක්ට තෙරෙන පොඩි පොඩි කෑලි ටික දානව මිසක් ගනිතමය පැත්ත හෝ ඔප්පු කිරීම් ගැන සදහනක් නැහැ

    (ගොඩක් ස්තූතී මෙච්චර දැනුම ගොඩක් එක තැනකින් නොමිලේ දෙනවට )

    ReplyDelete
    Replies
    1. ඔයා දන්නවද සාතන්ගේ සන්නාහයේ පපුව වැසෙන කොටසට ඔබ්බවා තියෙන මැනික්වර්ග 9 ගැන. නවරත්න මුද්දේ තියෙන්නෙත් ඒ මැනික්මයි.
      පාස්ටර් ඩිලන්ත ලියනගේ ගේ දේශනයක තිබුනේ
      ඒ නිසා හැකිනම් ඔය මිත්‍යා දෘෂ්ඨික නම වෙනස්කරගන්න.
      ආමෙන්.

      Delete
    2. මේකනේ අර ෆිසික්ස් පෙපර් වල සිංහල අවුල් වගේ සීන් එකක් මෙතන තියෙන්නෙ
      නව+රුවන් =නවරුවන්
      නව=9
      නව=අලුත්
      රුවන්=වස්තුන්
      රුවන්=මැනික්
      ඔයා කැමති තෙරුමක් දාගන්නකො මම නම් සාතන් වත් සර්වබ්ල දාරියෙක්වත් විස්වස කරන්නෙ නෑ එනිස මට ඒ නමේ අවුලක් නෑ 😉😉😉😉

      Delete
    3. බහිජටාණෙනි,
      නමක් තියෙන්නෙ අනන්‍ය බවට හා ලස්සනට බවයි මගේ හැගීම. නවරුවන් කියන නම ඔබේ පැත්තෙන් මිඨ්‍යා දෘෂ්ටික වෙන්න පුලුවන්. ටෙක්ක්‍රෝච් කියන නමත් මිථ්‍යා දෘෂ්ටිකයි ඔබේ තර්කයට අනුව. එහෙම බැලුවොත් මේ ලෝකයේ තියෙන ගොඩක් ප්‍රසිද්ධ සන්නම් නාම මිථ්‍යා දෘෂ්ටිකයි. ඔබේ නමත් මුලදි මට ටිකක් uncomfortable වගේ අන්තෝනියෝ බහිජටා මහත්මයා.. හහා... ඒත් ඒක ලස්සනයි.

      අනික බලන්න ඔබ අච්චර සරල කොමෙන්ටුවක් පස්සෙන් පන්නල දීපු රිප්ලයි එක.. අනේ මන්දා ඔබට මොනා වෙලාද කියලා.. ටික කාලෙකට කලින් හොදට හිටියනෙ ඔබ.. ඔබේ කොමෙන්ටු, ඔබේ බ්ලොගයේ පවා අති විශිෂ්ඨයි.. නමුත් මට හැගෙන්නේ සිල්වාට වූ දෙය ඔබටත් වේගන එන බවයි. දැන් ගොඩක් අයට එහෙම වෙනව. මං හුගක් ගරු කරන තිස්ස සර්ටත් එහෙම උනා. පතිරණ නම් සද රාහු මුඛයට පත් නොවේවායි මා ප්‍රාර්ථනා කරනවා

      Delete
    4. මොකද තිස්ස ජනනායකට වුනේ.

      හැබැයි ඒයා වැරදි ප්‍රකාශයක් කලා.
      මුලින්ම පෙනිසිලින් හොයා ගත්තේ දුටුගැමුණු රජ්ජුරුවොලු.
      දුටුගැමුණු රජුහෝ ඔහුට උපදෙස් දුන් කෙනා දැන හිටියා පුස්කාපු කැවුම්(මෙතන කැවුම් කියන්නේ පිටිවලින් හදන ඔ්නෑම කෑමක් වියයුතුයි)
      වලින් තුවාල පැසවීම වැලැක්විය හැකි බව.

      නමුත් පෙනිසිලිං හොයාගත්තේ ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං කියන අයිරිෂ් ජාතිකයම තමයි.

      Delete
  9. දැනට අවුරුදු හත අටකට උඩදි මේ වගේ සංවාදයකට මං මැදි වූවා නම් අනිවාර්යෙන්ම මං වචනවලින් අතපය ගැලවෙන්නම ගහනවාමයි. එහෙත් දැන් ගඟුලෙන් එගොඩ වී අඟුල ගඟේ පා කර යවා ඇති නිසා නීරෝ සමඟ වෙණ වයමි ("ගංජා ගසා ආතල් නොගෙන").

    එහෙත් ලංකාවේ උගතුන්ගේ තිබෙන එක විලාසිතාවක් ගැන අදහසක් පැවසීමට කැමැතියි. ඒ කියන්නේ උන්ට අනුව මුලු ලොවම කරකැවෙන්නේ ලංකාව මැදි කර ගෙනය. එකෙකුට අනුව මිසරයේ පිරමීඩ හැදුවේ අපේ එවුන්ය (මං කුමරතුඟුවන්ට, හෙල හවුලට ආදරය කරතත්, එහි සමහර සාමාජිකයන් විසින් කර තිබෙන විකෘති කිරීම් ගැන කනගාටු වෙමි). මුලින්ම විමානයක් පදවමින් උඩින් ගියෙත් අපේ එකෙකි. දැන් ප්‍රතිජීවක හදලා තියෙන්නෙත් අපේම එකෙකි. මේවා සිංහලෙන්ම මුං ලියා තබන නිසා පිටරට්ටුන් අපට සිනා සෙන්නේ නැත (උන්ට සිංහල තේරෙන්නේ නැති නිසා).

    මානවයා ඇති වූ දා පටන්ම කෑම කා තිබේ. ඒ අය කෑම නොකෑව නම් මානව වර්ගයා අද වන තුරු සිටිය නොහැකියිනෙ. ඒ කෑම අනිවාර්යෙන්ම ප්‍රෝටීන් අධික විය හැකිය (සතුන් කාපු නිසා). පලතුරු, එලවලු ආදියද කන්නට ඇති. එහෙත් ප්‍රෝටීන්, කාබ්ස්, විටමින් ගැන කිසිත් ඔවුන් දැන සිටියේ නැත. ඉතිං අපට කිව හැකිද ආදිතම මානවයා ප්‍රෝටීන්, කාබ්ස් ආදි පෝෂ්‍ය පදාර්ථ සොයා ගෙන තිබේය කියා. ලෝකයේ ස්වභාවිකව පවතින බොහෝ දේවල් අප දැනුවත්ව හා නොදැනුවත්ව භාවිතා කරනවා. එය වෙනමම කාරණයකි. එහෙත් ඒ ගැන අධ්‍යනය කර විධිමත්ව කරුනු සොයා බැලීම හාත්පස වෙනත් දෙයකි. නිව්ටන් ගුරුත්වාකර්ශනය ගැන කරුනු සොයා ඉදිරිපත් කිරීමට පෙරත්, ඇපල් වැටුනේ බිමටම තමයි. මට හිතෙන්නේ වංශෙ කබල් ගාන ජානයක් සිංහලයන්ගේ ඇඟේ තිබෙන බවයි.

    නවරුවන් යන වචනයට මගේම අර්ථ කිහිපයක් මට දිය හැකිය. නව රුවන් යන්න "අලුත් ස්වරූප" යන අරුතින් අන්‍ය සමාසයක් ලෙස ෆීන්ක්ස් කුරුල්ලා යන තේරුමද මං ඊට දෙමි. එම පද අරුතින්ම "සර්වබලධාරි දෙවි" යන අන්‍ය සමාස තේරුමද මම ඊට දෙමි. "නව්‍ය/නේක ස්වරූප ගන්නේ" යන අරුතින් pluripotent යන ඉංග්‍රිසි වදනට සමාන තේරුමද මම ඊට දෙමි. සංවාදයට හා සන්නිවේදනයට පමනක් වචනවල අර්ථ සීමනය කිරීමේ වැදගත්කමයි මට පෙන්වා දීමට අවශ්‍ය වූයේ.

    ReplyDelete
  10. අම්මටහුඩු මාව සර්වබල දාරී කරලනේ කතාව නැවතිල තියෙන්නෙ 😂😂😂😂
    සර් මිනිස්සු ආගමට ජාතියට ගොඩක් අනවශය ඇලීමක් දක්වනව මනුස්සයෙක් මොඩයො කරන්න මේ මතෘකා දෙක ප්‍රමානවත් මෙකට මනෝවිද්‍යාත්මක හෙතුවක් තියද (ආසන්නම සිදුවීම බෝම්බ කතාව හා සින්හල මුස්ලිම් ගැටලුව)

    ReplyDelete
    Replies
    1. වචනයකට යා හැකි දුර අතිවිශාල බව පේනව නේද? මා හමුවන්නට එන සමහරෙකු මගෙන් අසනවා අපේ පාර දිගේ දිගටම ගියොත් කොහේටද යන්න පුලුවන් කියලා... මං එතකොට කියනවා ඕන නම් යාපනයට වුවත් යා හැකියි; ඔයාට ඕනම තැනකට යා හැකියි කියලා.

      මේකනෙ... මිනිසුන්ට ස්වාභාවිකවම තියෙන ස්වභාවය තමයි තමන් පුරුදු දේට වැඩි කැමැත්තක් දැක්වීම. ඒකයි තම ජාතිය ආගම භාෂාව තමන්ගේ නෑයන් මිතුරන් වැනි අයට වැඩි කැමැත්තක් දක්වන්නෙ. ඊටත් අමතරව විවිධ ප්‍රවාහයන්ට හසුව ජාතිය ආගම වැනි පොදු සංකල්ප මත්තෙහිද ජීවිතය පරදුවට තබා කටයුතු කළ හැකි මට්ටමකුත් තිබෙනවා. හොඳින් බැලුවොත් පේනවා සමහර දේශපාලුවන් ඇයි භික්ෂු සමාජය (එහි මොන දෝෂ තිබුණත්) කෙරෙහි "කපටි" ආදරයකින් කටයුතු කරන්නේ කියලා. ඇත්තටම මේ ලෝකයේ හොඳ නරක කියල දෙයක් නැහැ; නිවැරදිව නාඩි අල්ලන එකා ජය ගන්නවා - එච්චරයි.

      Delete
    2. බාශාව ඉතාම කපටි විදියට පාවිච්චි කරන තැනක් කියන්නම්.
      මාස 2කට වඩා වැඩුනු කලලයට ඉංග්‍රීසියෙන් කියන්නේ fetus කියලා ඊට පෙර අවස්ථාව Embryo කියලා.
      ඔ්ක සිංහලයට පරිවර්තනය කරලා තියෙන්නේ භ්‍රෑනය, කලලය හැටියට.
      නමුත් හරියට පරිවර්තනය කරනවා නම් කරන්න ඔ්නේ මිනිස් පිලවා, කලලය
      හැටියට.

      පිලවා කියන්නේ නැතුව භ්‍රෑනය කියන අප්‍රානවාචී නාම පදය යොදන්න හේතුව ගබ්සාවක් කිරීම මහලොකු දෙයක් නෙමෙයි කියලා සමාජයට ඒත්තු ගැන්වීමයි.
      ඉංග්‍රීසියෙදි මෙහි ගැටළුවක් නෑ. එහිදී ක්‍රිස්තියානි සංස්කෘතියට අනුව පිලවෙක් මැරීම ගහක් කැපීමට සමානයි.

      Delete
    3. භ්‍රෑණය යන වචනයෙි නිරුක්තිය පොඩ්ඩක් කියනවද? පලමුව එය අප්‍රානවාචිද ප්‍රානවාචිද කියා දැන ගන්නට ඕන...

      හැමදෙයක්ම ආගමික ඇසින් දකින එක නම් එච්චර හරි නැති බවයි මගේ හැඟීම. මා දන්නා පරිදි (සාම්ප්‍රදායික) ක්‍රිස්තියානි/කතෝලික අය ගබ්සාවට තදින්ම විරුද්ධයි. එතැනදී කලලයේ වයස දවස් කීයද සති කීයද කිය කියා ඔවුන් බලන්නේ නැත. එම වචන යොදා ගන්නා කාලයේදී දියුනු වෛද්‍ය විද්‍යාවක්ද නොවීය. ඉංග්‍රිසි fetus යන වචනයේ කිසිදු අප්‍රානිකබවක් මා දකින්නේ නැත.

      අනෙක් පසින් ජීවියා යනු කුමක්දැයි අදටත් කවුරුත් අර්ථ කථනය කිරීමට බැරි දෙයක්ව පවතී. උදාහරණයක් ලෙස, වෛරසයක් යනු ජීවියෙකුද නැද්ද? බැක්ටීරියාවක් ජීවියකු වුවත්, අපගේ සෛලයක් ජීවියකු නොවේ. එබැවින් ශුක්‍රානුවක් ඩිම්බයක්ද ජීවියකු ලෙස සැලකිය නොහැකිය. ඒ දෙක සංසේචනය වී සෑදෙන zygote (යුක්තානුව?) ජීවියෙකුද නැද්ද? එය අනූනන සෛල විභජනයට (mitosis) පත්ව ඇති වන විශාල "පදාර්ථ ස්කන්ධය" ජීවියකු බවට අවසානයේ පත් වේ. එහෙත් අජීව දෙයකින් ජීවියා වෙන් වන්නේ කුමන අවස්ථාවේදීද යැයි නොදනී. එය හරියට දේදුන්නක එක් වර්ණයකින් අනෙක් වර්ණයකට යන්නේ කුමන ස්ථානයකදීද යන්න කිව නොහැකි සේය.

      එනිසා කවුරුන් හෝ ඔබ කියනා ලෙසට කූට අදහසකින් එලෙස නම් කළත් නිකංම අහඹු ලෙස ඒවාට නාමයන් දුන්නත් එතරම් ප්‍රබල වෙනසක් නැත. සාමාන්‍ය මවකගෙන් හෝ සාමාන්‍ය මනුස්සයකුගෙන් අහල බලන්න බඩේ ඉන්නේ පන තියෙන දෙයක්ද (බබෙක්ද) පන නැති දෙයක්ද ("බඩුවක්") කියා. අනිවාර්යෙන්ම දවස් සති ගැන නොතකා එකවර පන තියෙන දෙයක් බව කියයි. එනිසා වචනයේ නෙමෙයි මිනිසාගේ සිත තුලයි සංකල්ප පවතින්නේ. කවුරුන් හෝ කූට අදහසකින් ඔබ කියනා ලෙස එලෙස නම් කර ඇත් නම්, මට කියන්නට තියෙන්නේ උන් ෆේල් වී ඇති බවයි. ඒක නිසා සිල්වා වැන්නන් ඉදිරිපත් කරන මනස්ගාත අඩුම ගානේ ලංකා සමාජය තුල වුවද ජනගත නොවේ.

      Delete
  11. බොහෝම කාලෙකින්..බොහෝම ස්තුතී සර්..අලුත් බලාපොරොත්තුවක්...කමෙන්ට් කියවද්දිත් මොලේ වයර් ශෝට් උනා වගේ දැනුනා...පාඩම් කියවත්දී කොකොම වෙයිද දන්නේනෑ...හැබැයි එකක් දන්නවා සර් මොන දෙමලක් ලීවත් කියවන ඕනම කෙනෙක්ට පහසුවෙන් කියවන්නත් තේරුම්ගන්නත් පුලුවන් කියලා...ඉලෙක්ට්‍රොනික් පාඩම් මාලවත් විවේක තියන වෙලාවක ලියන්න අමතක කරන්න එපා සර්..හැමදාම කියනවා වගේ අංක එකේ වෙබ් සයිට් එකක් මේ බ්ලොග් එක...ජයවේවා...

    ReplyDelete
    Replies
    1. ☝️����

      Delete
    2. ෂමින්ද බොහෝ කාලයකට පසුව. :)

      Delete
  12. කලින් කොමෙන්ටුවෙ part 2 වගේ එකක්...

    සමහර ක්වොන්ටම් සංසිද්ධින් octonion මගින් පහසුවෙන් පැහැදිලි කරන්න පුලුවන්ලු (මං ඒක ගැන දන් නෑ. https://youtu.be/tbfFL-pyWYI 4:00 සිට)

    ඉතින් මට හිතෙනව ඇත්තටම ත්‍රිමානය ඉක්මවූ ලෝකෙකද අපි ජීවත් වෙන්නේ.. string theory ඇත්තවත්ද..?

    ReplyDelete
    Replies
    1. අවකාශය යනු ඉන්ද්‍රජාලික සංකල්පයකි. අප ඒකමාන ද්විමාන ත්‍රිමාන ආදි ලෙස ලේබල් ගසා ගත්තටම ඇත්තටම අවකාශය මගේ තේරුම්ගැනීම අනුව අමුතුම අමුතු එකකි. ඒ ගැන මගේ හිතේ තිබෙන දේ ඇත්තටම වචන හා රූපවලින් පැවසීමට අපහසුය. තවද, මා කිහිප අවස්ථාවකදීම පවසා තිබෙන ආකාරයට "පෞද්ගලිකව" මා අර සංජානනය නොවනවයි කියන බහුමාන නම් කිසිසේත් විශ්වාස කරන්නේ නැත. ස්ට්‍රිං තියරිය මට නම් පිස්සුවකි.

      Delete
    2. කලින් කොමෙන්ටුව ටයිප් කරකර ඉන්න ගමන් මට එකපාරටම නින්ද ගිහින්... හහා...

      මුලින්ම කියන්න ඕනෙ කොමෙන්ටුව දාර්ශනික කොමෙන්ටුවක් නෙවෙයි. මේක ගණිතය ලේ වල දුවන මිනිසුන් ගැන පාපොච්චාරණයක් වගේ එකක්. + නොම්මර එකේ පිස්සෙක්ගේ කොමෙන්ටුවක් වගේ පේන්නත් පුලුවන්. මං කතාව පුලුවන් තරම් දාර්ශනික පැත්තට යාමට නොදීමට වග බලාගන්නවා... (මොකද බොහෝ අය දර්ශනය ගනන් නොගන්නා නිසා... හිකිස්z...)

      මානයක් කිව්වම අපිට මතක් වෙන්නෙ 1,2,3,4 වගේ සංඛ්‍යාවක්. නමුත් පහත වීඩියෝවේ කියන විදිහට වස්තුවක් නිඛිල නොවන තාත්වික මානවලත් පවතින්න පුලුවන්. (වස්තුවක් කීව්වට වස්තුවක්ම නෙවෙයි. ෆ්‍රැක්ට්‍රල්ස්). මේක ගැන මොකෝ හිතන්නෙ කියලත් දැනගන්න කැමතියි.

      https://youtu.be/gB9n2gHsHN4

      හහා.. මටත් සමහර දේවල් පිලිබඳ පැහැදිලි කල නොහැකි ප්‍රතිභාමය අදහස් තියෙනවා. මගේ අවබෝධය අනුව ඔබ ටිකක් භෞතික විද්‍යාවට බර කෙනෙකි. මාත් එහෙමයි. මං කිව්වෙ ඔබට vector එකක් කිව්වම ඊතලයක් මතක් වෙන්නේ. ඒත් මගේ පරිගණක යහලුවන්ට vector එකක් යනු ඉලක්කම් කීපයකින් යුත් න්යාසයක් පමණයි. (තව මගේ Pubg ගහන මීහරක් යාලුවන්ට vector එකක් කිව්වම මතක් වෙන්නෙ තුවක්කුවක්.. හහා...) vector එකක abstract අදහස හුදු න්යාසයකි. නමුත් මං ඒකට කැමති නෑ. මොකද ඒක මට සංජානනය කල නොහැකි නිසා. මට vector එකක් යනු අර අහිංසක ඊතලයම වේ. මේක සරල උදාහරණයක් වගේම self test එකක්. අපේ මිතුරා ජගත්ට අනිවාර්යයෙන්ම vector එකක් කිව්වම මතක් වෙන්න ඕනෙ න්යාසයක්.. (මගේ අවබෝධය අනුව ඔහු ටිකක් programming පැත්තට බර කෙනෙක් ... හහා...) ඉතින් ඔබ යම්කිසි සංකල්පයක් හමුවේ නිතරම යතාර්ථය ගැන වද වෙනවා. ඉගෙන ගන්න හැම සංකල්පයම ජ්යාමිතිකව දකින්න උත්සාහ කරනවා ප්‍රස්තාර, දෙශික, ප්‍රක්ෂේපණ ආදිය ඇසුරෙන්. එහෙම කරන්න බැරි ඒව නිකම්ම වීජීයව තියාගන්නවා. ජ්යාමිතික නිරූපණ සමහර වෙලාවට මදි වෙනවා සමහර දේවල් නිරූපණයට (quaternion, ද්විමාන දෙශික දෙකක කතිර ගුණිතය වගේ අවස්ථාවලදී) මොහොතක් නැවතිල බලන්න physics අපි කරේ සංකල්ප ඔක්කොම ටික අපිට සංජානනය කල හැකි අවකාශයකට ගොනු කරපු එක. නමුත් computers ඇතුලෙ ඉන්න අය ඔය ඕන දේකට ඔට්ටුයි. ඒගොල්ලො කොහොමත් ජීවත් වෙන්නේ abstract ලෝකයක. සෛද්ධාන්තිකව ඕනෑම දෙයක් ඔවුනට කල හැකියි. නමුත් physics අපි යතාර්ථය තුල අපේ සංකල්ප හිර කරල තියෙන්නෙ. බලන්න ඒකෙත් හැටි. සංජානනය කල හැකි ප්‍රපංච තුලින් බිහි වූ ගණිතය අපේ සංජානනයෙන් ගොඩක් දුර ඈත ගිය සෛද්ධාන්තික දෙයක් වූ හැටි. අනික ප්‍රත්‍යක්ෂ සංජානනය කල හැකි දෙයක් වුවත් යතාර්ථය සංජානනය කල හැකි දෙයක් විය යුතු නෑ. මං ඔබට පොඩි ආරාධනාවක් කරන්නට කැමතියි. යතාර්ථය ටිකකට පසෙකින් තබා සෛද්ධාන්තික ලෝකය රසවිඳින්නට. පටන් ගන්න අනන්තයෙන් : https://youtu.be/SrU9YDoXE88


      මාන ගැන ජග්ත් මිතුරාද ඉතා හොඳ පෝස්ටුවක් ලිය තිබේ. http://anthoniyo-bahijata.blogspot.com/2015/09/interstellar.html?

      ටිකක් හිතල බලන්න ඔබ නිඛිල ලෙස දකින අවකාශීය මාන අපරිමේය වුනොත් කොහොමද/ සංකීර්ණ වුනොත් කොහොමද කියා.. හහා..

      දැන් මේ සීරියස් දෙකත් බලන්නකෝ. කලනය සම්බන්ධයෙන් තියෙන්නෙ. (සමහරවිට ඔබ බලලත් ඇති) අපි වගේ සංකල්ප දිහා අර අහිංසක ජ්යාමිතිකව බලන්න පුරුදු වෙලා ඉන්න අයට මේ ගණිතඥයාගේ වීඩියෝස් සෝමාලියාවට රෝස් පාන් දැම්ම වගේ තමා.

      https://www.youtube.com/playlist?list=PLZHQObOWTQDMsr9K-rj53DwVRMYO3t5Yr

      https://www.youtube.com/playlist?list=PLZHQObOWTQDNPOjrT6KVlfJuKtYTftqH6

      මං ස්ට්‍රිං තියරි පිළිගන්නවා. නමුත් පිළිගන්නෙ නෑ. (සිල්වාගේ චාතුස්කෝටිකය.. හහා..) අර සිමියුලේෂන් ෆැන්ටසියත් එහෙමයි. කෙසේ නමුත් ගණිතයෙන් ඔප්පු කරපු දෙයක් වරදින්න තියෙන සම්භාවීතාවය ඉතාමත් අඩුයි කියල තමා මං පිළිගන්නේ.. (හිග්ස් බෝසෝන, ගුරුත්වාකර්ෂණ කාච හා ගුරුත්වාකර්ෂණ තරංග පිලිබඳ අයින්ස්ටයින්ගේ පුරෝකථන, මැක්ස්වෙල්ගේ සමීකරණ පවා හුදු ගණිත හරඹ ඔහු තියරිය ගේන්න ඉස්සල්ලා)

      ටිකක් ඩේට කැපෙන වීඩියෝ මාලාවක්. mobitel time based පැකේජ් එකක් දාගෙන බාගන්න. (පැය 3 ක් unlimited රුපියල් 71 යි. මං පාවිච්චි කරන්නෙ ඒක) අමාරුවෙන් හෝ කොමෙන්ටුව කියෙව්වාට ඉස්කෝතුයි..බොහෝ විට මේක කියවන ගොඩක් අයට මේක දිරවන්නැතිවෙයි.....හහා :)

      Delete
    3. මට නම් මානයක් යනු ඉලක්කමක් නොවේ. අඹ ගෙඩියක රසයක් තිබේ; එය ඇපල් ගෙඩියේ රසයට වඩා වෙනස්ය. අඹ ගෙඩියේ හෝ ඇපලේ රසයන්ට ඉලක්කම් නැහැනෙ. ඉලක්කම් නැතිවම රසය නමැති සංකල්පයට තමන්ගේම වෙනම පැවැත්මක් තිබේ. එහෙත් අවශ්‍යම නම් ඊට ඉලක්කමක් ආරෝපණය කළද හැකිය කුමක් හෝ අපම සම්මත කර ගත් කොන්දේසී සමූහයක් මත (හරියට ග්‍රහවස්තුන්ගේ පිහිටීම පදනම් කර ගෙන පලාපල කියන්නා සේ). ඉතිං, මානයක් යනු යම් යම් entity (මොකක්ද සුදුසු සිංහල වචනය?) පැවතීමට ඇති ඉඩ හසරක් ලෙසයි මා දකින්නේ. එම එන්ටිටි එක සාම්ප්‍රදායික අර්ථයෙන් සලකන පදාර්ථයක් හෝ ශක්තියක් හෝ විය හැකිය.

      තවද, අපට අවශ්‍ය පරිදි වචන/සංකල්ප වෙනස් කර ගන්නා විට අප පෙර නොඇසූ නොදැනී සිටි බොහෝ දේවල් මතු කර ගත හැකිය. සරල උදාහරණයක් ගමු.

      මට නම් ඒක-මාන හෝ ද්වි-මාන වස්තුවක් ගැන සිතා ගැනීම අපහසු නොවේ. ත්‍රිමාන වස්තුවක් ගැන සිතා ගැනීමද කජ්ජක් නොවේ. (ඊට එහා බහුමාන ගැන නම් මට තවම සිතා ගත නොහැකිය) තවද, ඒකමාන හෝ ද්විමාන හෝ ත්‍රිමාන යන තුන් ආකාරයේම වස්තුව මගේ සිතේ යම් යම් ස්වරූපවලින් හොඳින් පැවතියත්, ඒ මාන තුන් ආකාරයේම වස්තුන් ගැන වෙනත් කෙනෙකුට පැවසීමේදී ඉතා විශාල අපහසුයක් ඇත. කෙනෙකුට සිතිය හැකියි ත්‍රිමාන වස්තුව ඉතිං පැවසීමට එතරම් අපහසුවක් නැහැනෙ කියා. එහෙත් මා දකින පරිදි ඒක,ද්වි,ත්‍රි යන මාන තුන් ආකාරයේම වස්තුන් ගැනම තිබෙන්නේ එකම ආකාරයේ අපහසුතාවකි. ත්‍රිමාන වස්තුවේදී සිදු වන්නේ අන්‍යයන් උපන්දා සිටම අවට ඇති සෑම ආකාරයේම ත්‍රිමාන වස්තුන් අත්විඳ/දැක/සංජානනය කර තිබෙන බැවින්, ඔබ යම් ත්‍රිමාන වස්තුවක් ගැන විස්තර කරන විටම, ඔහුගේ මනසේ එම වස්තුව පිලිබඳ පූර්ව අත්දැකීම් ඔස්සේ එය පහසුවෙන් තේරුම් ගැනීමයි. එහෙත් සත්‍ය ලෙසම ඔහු ඔබේ විස්තරයෙන් දැන ගත්තේ 100%ක්ම ඔබගේ සිතේ තිබෙන අදහසම නොවිය හැකිය.

      එලෙසම, ද්විමානය පහසුවෙන් තේරුම් ගැනීමට මා සෙවනැල්ල නමැති සංසිද්ධිය භාවිතා කරනවා. එනම් සෙවනැල්ලට දිගක් පලලක් විතරක් ඇති ඝනකමක් නැති නිසා, එය ද්විමාන වස්තුවක් ලෙස එකවර සිතේවි. එහෙත් සෙවනැල්ල යනු ඇත්තටම වස්තුවක් නොවේ. සෙවනැල්ල හැරෙන්නට ද්විමාන වස්තුවක් අපට පෙන්විය නොහැකිය! ඉතිං වස්තුව යන්නට සෙවනැල්ලත් ඇතුලු කර ගන්නේ නම් අපගේ ද්විමාන නම් සංකල්පයට යම් අරුතක් එකතු කර ගතද හැකිය. අන්න එලෙස විද්‍යාව තුලද පවතින සංකල්ප ගනිතය ඔස්සේ හෝ වෙනත් සංකල්පයක් ඔස්සේ හෝ වෙනස් කර ගත් විට, අපට අලුත් අලුත් සංකල්ප නිර්මානය කර ගනී. බහුමානයද මා දකින්නේ එවැන්නක් ලෙසයි.

      තවද, චතුර්මාන හෝ ඊටත් ඉහල මාන අපට සංජානනය කිරීම හෝ එවැනි බහුමාන වස්තුන්ද අප දැක නැත. සමහරවිට කෙනෙකු කියාවි අප ත්‍රිමාන ජීවින් නිසා හෝ අපගේ මනස ත්‍රිමානයට පමනක් සීමා වී ඇති නිසා හෝ එය කළ නොහැකි බව. එහෙත් පුදුමය වන්නේ අපට ඒකමාන ද්විමාන වස්තුන්ද දක්නට නැත. එවිට එයද මනසේ දුර්වලකමක්ද? ඒ කියන්නේ අපි පාසලේ එක වසරත් අසමත්ව දෙවැනි වසරත් අසමත්ව තුන්වෙනි වසරේ සිටින අතර ඉන්පසු හතරවැනි වසරත් ඊට පසු වසරවලුත් ෆේල් වී සිටින බවකි. මට එය "දිරවන්නේ" නැත.

      මානය ඉලක්කමක් නොයොදා තනි ඒකකයක් ලෙස සැලකීම මට පහසුයි. එහි දිගක් පලලක් උසක් ලෙස පැතිරීම අපට මැනිය හැකිය; එහි ගැටලුවක් නැත. කාලය මෙන්ම අවකාශයද සෑම "අංශුවකට" අනන්‍යව පැවතිය හැකිය. "සාමාන්‍ය අවස්ථාවල" මානය/අවකාශය සියලු අංශුන්ගේ එකමත එක "දළ වශයෙන් හෝ" සමපාතව පවතී. මෙවිට සියල්ලම තනි අවකාශයක් තුල තිබෙන බව අපට සංජානනය වේ. එනිසා ඔබේ ශරීරය සැදුම්ලත් සියලු අංශු එම අංශු ගණනට සමාන වෙන් වෙන් අවකාශවල පැවතියට "සාමාන්‍ය තත්වය" යටතේ සිටින විට ඒ සියලුම මාන එකිනෙකට සමපාතව සිටින නිසා ඔබගේ තනි ශරීරය පවතී. සාපේක්ෂතාවාදය අනුව අප කාලය සඳහා එවැනි සංකල්පයක් යොදා ගන්නවානෙ. ඉතිං අවකාශයටත් එය පොදු කරමු.

      ඒ ආකාරයට මේ එක් එක් කාරණය ගැන විවිධ ආකාරවලින් එක එක්කෙනාට බැලිය හැකිය. දැන් මට වෙලාවක් නැති නිසා ඊට වඩා ලිවිය නොහැකිය. වියුක්ත අදහස් ඇති කර ගැනීමට මට අපහසුතාවක් නැත. එහෙත් එවිට රෑට නින්ද යන්නේ නැතිකම, පාරක ගියත් අවට සිදුවන දේවල් නොදැනීම වැනි සයිඩ්ඉෆෙක්ට්ස් වලට මුහුන දීමට සිදු වන බැවින් ජීවිතයේ මේ අවස්ථාවේදී ඒවා අතේ දුරින් තැබීමට මා සිතාගෙන සිටී. මේවා හරියට අර කුමන්ත්‍රන න්‍යයාන් (conspiracy theories) වැනිය. විද්‍යාවේ ප්‍රායෝගික සත්‍ය කෙරෙහි ගැන පමනක් මා විශ්වාසය කරමි.

      මේ ගැන නැවත පසුවට තවත් මට හිතෙන දේවල් ටිකක් කියන්නම්. පස්සේ හමුවෙමු. :)

      Delete
    4. entity යන වචනයට මට "ස්වායත්ත පැවැත්මක් ඇති" වගේ තේරුමක් දිය හැක. (හරිද දන්නෑ.)

      //මානය ඉලක්කමක් නොයොදා තනි ඒකකයක් ලෙස සැලකීම මට පහසුයි.// එකඟයි.. ඛණ්ඩාංක ලබා ගැනීමට පමණක් මාන භාවිතා කිරීමට වග බලා ගනිමි. නැත්නම් මටත් අර සයිඩ්ඉෆෙක්ට්ස් ටික එයි... හහා...

      නමුත් මට ඇති ප්‍රශ්නය මේකයි. අපි දන්නවා ඒකමානය, ද්විමානය ආදී නිඛිලමය මාන. පහත වීඩියෝවේ කියා දෙන (නිඛිල නොවන) තාත්වික මාන පවතිනවා කියා . එසේ ගත් විට අතාත්වික මාන, සංකීර්ණ මාන වුවත් පවතිනවා වෙන්නට පුලුවන්.. හහා.. ඔළුව විකාර වෙනවා.

      https://youtu.be/gB9n2gHsHN4

      .
      .
      .

      මේ කොටස ටිකක් දර්ශනයට අදාළයි වගේ... හහා...

      //වියුක්ත අදහස් ඇති කර ගැනීමට මට අපහසුතාවක් නැත.//

      මං දන්නවා.. :) මං ඔබ හිතපු ආකාරයේ දෙයක් නෙවෙයි අදහස් කලේ... ඔබ වඩා සමීප/ආදරේ අර ජ්යාමිතික අදහස් වලට නේද..? මං කීව්වේ... නැවත වරක් කොමෙන්ටුව කියවා බලන මෙන් ඉල්ලා සිටිනවා.. හහා.. (මට ඒ අදහස කියන්නට තේරෙන්නේ නැත. කමක් නෑ ඒ කොමෙන්ටුව ඔබට අල්ලන්නැත්තන් අල්ලල දාන්න..)

      මා සහ මගේ මිතුරන් සිතන විදිහයි මං ප්‍රකාශ කලේ...(සමහර විට ගුරුවරුන්ගේ ආභාෂය නිසා වෙන්නෑති.) අභිමන්‍ය යන්න මිනිසුන් සිතන පතන ආකාරය සඳහා ඇප්ලයි කරන්නට බැහැ කියා මට අමතක උනා.. ටෙක්ක්‍රෝච් බ්ලොගයේ
      පාඨකයන්ගෙන් සමාව ඉල්ලනවා ඒක කියවලා ඔළුව අවුල් උනානම්..
      (මේ දවස් වල මගේ ඔලුව ටිකක් අවුල් වෙලා... හහා..)

      .
      .
      .

      අර මං දාපු playlist එහෙම බලන්න කස්ටිය... මාර ලස්සනයි ඒව... සුපිරියි... කැමතිනම් කලනය සම්බන්ධ එම වීඩියෝවල ලින්ක් පාඩම් මාලාවේ අන්තිමට දාන්න..


      පොඩි ඇඩ් එකක්..

      තව මගේ ගුරුතුමාගේ අලුත් චැනල් එක පැත්තෙත් ගිහින් කොමෙන්ටුවක් කොටා ඔහුව දිරිමත් කරන්න..

      https://youtu.be/2hItrdIGDrA

      Delete
    5. මෙවැනි විෂයන් හා සංකල්ප ගැන කතා කරන්නට කැමැති මිතුරු මිතුරියන් සමූහයක් සිටී නම් ඇත්තටම එය ජීවිතයේ ඉතාම රසවත් අත්දැකීම් එකතු කරන එකක්ම වේවි. කලකට ඉහතදී (මා මේ ගැන බොහෝ බැහැලා හිටපු කාලේ) මටද එවැනි මිතුරන් කිහිප දෙනෙකු සිටියා. මාව විශ්වාස කරන්න අද ඒ මිතුරන් අතරින් එක් කෙනෙකු (ඉංජිනේරුවෙකු වූ) භින්නෝන්මාදය හා තවත් මානසික ව්‍යාධියකට පත්ව ඇත. එනිසා ඕනම දෙයක් හදාරන්න; නමුත් ඉන් ජීවිතයේ අපට නොපෙනෙන නොදැනෙන පැති ගැන ඕනවට වඩා හිතන්න යන්නට එපා. විෂයක් ලෙස පමනක් ඕනෑම ගැඹුරකට අධ්‍යනය කරන්න.

      පෙරත් සඳහන් කළ ලෙසට ඔබලා විෂයානුබද්ධව කියන කිසිම කරුණකට මගේ අමනාපයක් හෝ සිත් රිදීමක් නැත. මේ විෂය ගැන මා තවමත් ලියන්න පටන් ගන්නෙත් නැතිව මෙච්චර කමෙන්ට් තොගයක් වැටීම ගැන සතුටුයි. මට තියෙන කනගාටුව මේ ගැන උනුසුම්ව වාද විවාද කිරීමට මට කාලයත් පැෂන් එකත් නැති වී තිබීමයි. ලංකාව තුල මෙවැනි විෂයන් යට යන්නට ඉඩ නොදී උනුසුම්ව පවත්වා ගන්නට ඔබලාට හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා.

      Delete
  13. අපූරු දේශපාලන වීඩියෝවක් දැක්කා
    https://www.youtube.com/watch?v=fca87lvdLVs

    ReplyDelete
  14. ඕයි සර්වබලධාරි දෙවියන් වහන්සේ කියන්නෙ අලි පචයක්😂
    ඔය කැතලික් උන් Feudal ages වලදි පල්ලියෙ කීමට පිටින්හැම එකාවම සාතන් අදහන මායාකාරයො, මායාකාරියො කියලා මරලා දැම්මා. ප්‍රංශයෙ ජෝන් ඔෆ් ආක්, ගැලීලියෝ ගැලීලී වගේ අය එහෙම. තව මතකෙට එන්නෙ නෑ. නැත්තන් හෙන ලිස්ට් එකක්ම තියේ.
    ඔය උඩ නවරත්න මුද්දක් ගැන කමෙන්ට් දාපු මෝඩයත් ඒ සෙට් එකේම එකෙක්😂
    අනික නවරත්න මුදු දාන එක ජෝතිෂ්‍ය වැඩක් මිස බෞද්ධ වැඩක් නෙවෙයි මෝඩයෝ.
    ඔය කැතලික් ඉස්ලාම් වගේ Abrahamic religions ඔක්කොම කිසි අර්ථයක් නැති මෝඩ ලොජික් තියෙන මොකෙක් හරි ගොනෙක් කියපු හෑලි.
    වැඩිය ඕනි නෑ ක්‍රිස්තියානි වල ස්වයං වින්දනය පවක්ලුනෙ😂😂
    ඔය වගේ තර්කයක් නැතුව මොකෙක්ගෙ හරි කීමකට පඹයො වගේ පස්සෙන් යන එක හරි මෝඩයි කියන එක තේරෙන නිසා තමයි ඇමෙරිකාව වගේ දියුණු රටවල බහුතරය තරුණ පිරිස නිරාගමික වෙලා තියෙන්නෙත්😂
    දුකයි අපේ රටේ තරුණ පරම්පරාව ගැන

    ReplyDelete
    Replies
    1. රිප්ලයි කරන්න අත නලියනවා වගේ.. එක්කො ඕන්නෑ :)

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

දෛශික (vectors) - 1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 7

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala) - 1

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 1